Monday, September 16, 2013

අවසරයි ලං වෙන්න: දහ අටවන කොටස



"මේ ළමයා තවමත් නිදිද හැබෑට? දෝනී...වෙලාව හතත් වෙලා"
හීනයක් දැක දැක උන්නු මම උඩ ගිහින් ඇහැරුණේ අම්මගේ කටහඬට.
"පොඩ්ඩක් නිදාගත්තාවදෙන්කෝ ඒ ළමයා. හැමදාම උදේම ඇහැරගන්නවා ඇති නේ" මට ඒ එක්කම ඇහුණා තාත්තා එහෙම කියනවා.
තාත්තා හැමදාමත් එහෙමයි. හැමදාමත් මොන දේ වුණත් තාත්තා මගේ පැත්තට හිටියා.
"අනේ මන්දා ඔයා තමා මේ කෙල්ලව නරක් කරන්නේ. මේ පිට ළමයෙකුත් ඇවිත් ඉද්දි ඔහොම පස්ස පැත්තට එලිය වැටෙනකල් නිදාගෙන උන්නම ඒ ළමයා වුණත් මොනා හිතයිද"
කවදාව නැතුව අම්මා චේතිය ගැන අමුතුවෙන් හිතන්න පටන් අරන් තියෙන්නේ මොකද කියලා මම් නිදි මතේම කල්පනා කලා.
"මොනවත් හිතන්න ඉස්සර වෙලා උන්දලා ඇහැරිලා ඉන්න එපායැ. දෙන්නා අද දවල්ට කන්නවත් ඇහැරෙන පාටක් නෑ. ළමයින්ට පාඩුවේ නිදා ගන්න දීලා, ඔයාත් පොඩ්ඩක් නිවාඩු පාඩුවේ ඉන්නකෝ" තාත්තා එහෙම කියනවා ඇහෙද්දි මම හොඳටම ඇහැරලයි හිටියේ.
'අනේ ඔව්, පැත්තක ඉන්නමයි මට ඉඩක් තියෙන්නේ" අම්මා හඬ ඈතින් වග ඇහුණේ ඈ ආපහු කුස්සිය දිහාට ගිය නිසා වෙන්න ඇති.
මම හිනා වෙවීම ඇඳෙන් නැගිටලා කොට්ටේ යට තිබුණ ෆෝන් එක අතට ගත්තේ පුරුද්දට වගේ. කැම්පස් ඉද්දි නැගිටින්න වෙලාව බලන පුරුද්දට. මගේ හිනාව වැඩි වුණේ උදේ පාන්දරම භූප මට මෙසේජ් එකක් එවලා තිබුණ නිසා.
රැයේ නිදි නැත ඔබේ මතකය සිතට ගෙන එයි කල්පනා...
ඔබේ සෙනෙහස ගැනම සිත සිත පැතුම් සහසක් අමුණනා...
විටෙක නිදි දුවණි ඇවිදින් කලත් මට ආරාධනා...
ඔබේ තරු නෙතු මසිත දල්වයි නිදන්නට කෝ කාරණා...
කවිය කියෙව්වාම මට දැනුනේ භූප ගැන ලොකූ ආදරයක්.  උදේ කියලා හිතුවට කවිය ලියලා තියෙන්නේ ඊයේ රෑ වෙන්න ඇති කියලයි ඒක කියෙව්වම මට හිතුණේ. මම ආපහු ෆොන් එක කොට්ටේ යටටම ඔබලා කාමරෙන් එලියට ආවා. ඒ එද්දි තාත්ත සාලෙට වෙලා පත්තරේ විස්තරේ බලනවා TV එකේ.
"ගුඩ් මෝනිං තාත්තා..." මම එහෙමකියාගෙන ගිහින් තාත්තා ලඟින් වාඩි වුණා.
"ආ...මේ ඇහැරලා ඉන්නේ"
තාත්තා එහෙම කියලා ආපහු යොමු වුණේ පත්තරේ විස්තරේ බලන්න.
ටික වෙලාවක් යද්දි අයියයි, චේතියයිත් නැගිටලා සාලෙට ආවා නිදි ගැට කඩ කඩ.
"අම්මේ...තේ එකාක්..." එහෙම කියාගෙන අයියා කෙලින්ම කුස්සියට යද්දි, චේතිය අවිත් සාලේ අපි එක්කම වාඩි වුණා.
"ඊයේ රෑ කියද ඉලන්දාරි ටික නිදා ගද්දි?" තාත්තා ඇහුවේ චේතිය දිහා බලලා හිනා වෙමින්.
චේතිය ඒකට උත්තරයක් නොදී හිනා වුණා විතරයි.
"ග්‍රාම සේවක මහත්ත්යෝ..." ඔය අතරේ කවොදෝ තාත්තට කතා කරනවා එලියේ ඉඬහ්න්.
"ආ...සේදිරිස් ඇවිත්. පත්තරේ ගේන්න යැව්වා මම උදේම"
TV එකේ පත්තරේ බලමින් උන්නු තාත්තා ඒ පාර ඉස්තෝප්පුව දිහාට ගියේ පත්තරේ ගන්න වෙන්න ඇති. ඉතිං චේතියයි මමයි විතරයි සාලේ ඉතුරු වුණේ.
"අද මොනාද දෙන්නගේ ප්‍රොග්‍රෑම්?" නිහඬවම ඉන්න එක සුදුසු නෑ වගේ දැනුන හන්දා මම TV බලන ගමන්ම චේතියගෙන් ඇහුවා.
"මොකක්ද ඇහුවේ?"
"අද මොනාද කරන්න ඉන්නේ කියලා" මම කිව්වා.
"ගෙදර යනවා" චේතිය කිව්වේ වියලි හඬකින් කියලා මට හිතුණා.
"එහෙමද? එතකොට අද ගිහින් හෙට ආයෙම කොලඹ එනවද?" මම ඇහුවේ මොනා හරි කියන්න ඕන නිසයි.
පාර චේතිය මා දිහා කෙලින්ම බලුවා.
"ඇයි යන්නේ කියලා අහන්නේ නැද්ද?" ඊට පස්සේ ඔහු ඇහුවා එහෙම.
මට ඒකට එකපාරටම කියන්න දෙයක් මතක් වුණේ නෑ.
"මම හිතාගෙන ආවේ නම් හෙට දුලී එක්කම කොලඹ යන්න"
"ඉතිං?"
"ඉතිං ඔයා මට ඊයේ කට්ටියම එක්කලා හිනා වුණා නේ. ඒකයි මම යන්නේ"
චේතිය එහෙම කිව්වාම මට ඔහු දිහා බැලුණේ ඉබේටම.
"මම හිනා වුණා?"
"ඔව්...අර කෝච්චි කතාව කියලා හිනා වුණේ"
චේතිය එහෙම කිව්වාම මට හිනා ගියා.
"ඉතිං ඔයාමනේ ඒක ඇදලා ගත්තේ. අනික ඔයා මොකටද අනික් අයව බයිට් කරන්න ගියේ?" මම ඇහුවේ හිනා වෙවීමයි.
"අනික අය කියන්නේ භූපටනේ. මොකද ඔය තරම් භූපට අදින්නේ?" චේතිය පාර නම් ඇහුවේ ඕන නැති දෙයක්. මම හිනාව නවත්තගත්තා.
"මේකයි...මම කැමති නෑ, කවුරුත්, කාටවත් නිස්කාරණේ එක එක දේවල් කියන්වට. අනික එවෙලේ අපි ආවා විතරයි. භූප ගෙට ගොඩ වෙන්නත් කලින් ඔයාලා එයාව බයිට් කරන්න ගත්තා. ඊයේ භූප උන්නු තැන ඔයා හිටියා වුණත්, මම අනික අයට බනීවි. ඊයේ කලා වගේම. ඔයා හිතන්න එපා මම එහෙම කලේ භූප නිසාමයි කියලා" මම කිව්වේ ඔහු දිහා නොබලා. ඒක සම්පොර්රණයෙන්ම ඇත්තම නොවුණත්, මම චේතියව කවුරුහරි බයිට් කලත් ඒකට විරුද්ධ වෙන වග මම දැනගෙන උන්නා. මම එහෙම දේවල් වලට කොහොමත් අකමැති හන්දා.
චේතිය මා දිහා බලා උන්නේ මොකක්දෝ හැගීමකින්, මට තේරුම් ගන්න බැරි විදිහේ. ඊට පස්සේ ඔහු මට හිනාවක් පෑවා.
"අයෑම් සොරි. මම එහෙම කිව්වේ විහිලුවට.නැතුව ඇත්තටම අප්සට් ගිය නිසා නෙවෙයි. ඔයා එක ගනං ගන්න එපා. හරිද?"
ඊට පස්සේ ඔහු එහෙම කිව්වත්, මොකද මන්දා මට හිතුණා ඇත්ත නෙවෙයි කියලා.
"හරි හරි" මම එහෙම කියලා නැගිට්ටේ කුස්සියට එන්න."මම තේ හදලද බලලා එන්නම්"

උදේ කෑම කලා, නාගෙන, කාමරේට වෙලා කොණ්ඩේ පීරන ගමන් මම කල්පනා කරමින් හිටියේ භූප ගැන. පහුගිය සතියේ අපි කරපු කියපු දේවල් ගැන.
"බුහ්..." මම එක පාරටම උඩ ගියේ, සද්දයක් දාගෙන කාමරේට පැනපු කේතකී හන්දා.මම දිහාට හැරුණේ ඇස් ලොකු කරගෙන. කෙතකීට නම් හොඳට හිනා.
"මොකෝ මෝඩියේ?" මම ඇහුවේ තාමත් හයියෙන්ම පපුව ගැහෙද්දි.
"මොකෝ තමා. මම ඇවිත් විනාඩි පහක් විතර දොර ලඟ බලාගෙන හිටියා. දැක්කේ නෑනෙ? කොමල හිනාවක් දාගෙන, ලතාවකට කොණ්ඩේ පීර පීර හිටියා මිසක. මොකෝ මේ තනියෙම හිනාවෙන්නේ. කලුකුමාර දෝසෙද දන්නෑ?"
පාර නම් මට පොඩි ලැජ්ජාවකුත් දැනුනා. කේතකී දන්නවනම් මම හිත හිත උන්නේ කා ගැනද කියලා.
"අනේ මේ පිස්සු නොකියා ඉන්න. අද ක්ලාස් නැද්ද? උදේ ඉඳන්ම රස්තියාදු ගහන්නේ?"
මම කොණ්ඩේ ආපහු සැරයක් ගසා දාලා පොඩි කොණ්ඩ කටුවක් ගහ ගන්න ආපහු කණ්ණාඩි මේසේ දිහාට හැරෙන ගමන්.
"අද ක්ලාස් එකේ නිවාඩු. හෝල් එක රෙපෙයාර් කරනවා"
"අනේ දෙයියනේ...ඉතිං වෙන තැනක්ම නැල්ලුද? ළමයින්ගේ කාලේ අපරාදෙනේ" මම කිව්වා.
"අනේ මංදා ඒක නම්. මම නම් කොහොමටත් වැඩි ආසාවකින් නෙවෙයි මේ පාර මේක කරන්නේ දුලා. ඇත්තමයි" කේතකී මගේ ඇඳේ වාඩි වෙන ගමන් එහෙම කිව්වා.
"අනේ මේ...විකාර කියන්න එපා. ඔයාට මේ පාර කැම්පස් යන්න පුලුවන් අනිවාර්යෙන්ම"
"බලමුකෝ" කේතකී එහෙම කිව්වේ බිම බලාගෙන.
"බලයි බලයි මේ පාරත් කැම්පස් යන්න බැරි වුණොත් හෙම" මම කිව්වේ ඈ දිහාට නොපහන් බැල්මක් හෙලමින්.
"අනේ මේ ඔය විකාර දෙඩෙව්ව ඇති. මම මේ ආවේ කජු ඇහිඳින්න යමු කියන්න. අපේ ඕවිටේ ගස් දෙකේ කජු පුහුලන් වැටිලා මේ දවස් වල" කේතකී කිව්වේ මගේ ඇඳ උඩට වෙලා කකුල් දෙක වන වන.
"ඉතිං ඕක කියන්න තකහනියේ එන්න ඕනයැ. කෝල් එකක් දුන්නා නම් මම එනවනේ" මම කිව්වා.
"නෑ...අපේ තාත්තත් මෙහේ ආපු හන්දයි මම ආවේ. අපේ කුඹුරේ ගොයම් කපන්න ලෑස්තිය ලබන සතියේ. ඒක කතා කරගන්නයි ඔය ආවේ. ඉතිං මාත් ආවා" කේතකී කිව්වා.
"ආ...එහෙමද? අනේ මේ පාර ඒක මට අමතකත් වුණා. කවද්ද දන්නෑ?"
ඇත්තටම කුඹුරු කපන එක මට මේ පාර අමතක වෙලයි තිබුණේ. මොකද කුඹුරු වැඩ කරන කාලෙදි මේ පාර මම ගෙදර උන්නේ නැති හන්දා.
අපේ ගමේ ගොඩක් දෙනා කුඹුරු කලේ අත්තම් ක්‍රමයට. මම දන්න කාලේ ඉඳලම ඒක කෙරුණේ ඒ විදියට. ඒක අපේ සීයලාගේ කාලේ ඉඳලම පැවතගෙන ආපු දෙයක් කියලයි ආච්චි අම්මා අපට කියලා තිබුණේ. ඉතිං අපේ තාත්තත්, ගමේ අනෙක් උදවිය ගොඩ දෙනෙකුත් කුඹුරු වැඩ කලේ අනික් හැමදෙනාගෙම උදව්වෙන් අත්තම් ක්‍රමයටමයි. අපේ තාත්ත තරාතිරම නොබලා පුලුවන් හැම කෙනාටම තමන්ගේ ශ්‍රම දායකත්වය දැක්වුවා. ආච්චි අම්මා නම් ඒකට ඒ තරම්ම කැමැත්තක් දැක්වුවේ නෑ හැබැයි.
අපේ තාත්තා ආවත් නැතත් ගමේ හුඟ දෙනෙක් අපේ කුඹුරු වැඩ වලට උදව් දෙන්න ආවේ තාත්තට තිබුණ ගෞරවේ හින්දමයි.
කේතකීලගේ කුඹුරු වැඩ කරද්දිත් අපේ පවුලේ කවුරු කවුරුත් පුලුවන් ව්දියට දායක වෙන එකත් මම දන්න කාලේ ඉඳලම සිද්ධ වුණ දෙයක්. කේතකීගේ තාත්තා ඒ  දවස් වලත්, අපේ කුඹුරු වැඩ කරන ගොඩ දවස් වලටත් කොහොමින් හරි උදව් කරන්න අමතක කලේ නෑ, රාජකාරි තිබුණා වුණත්. සූරි මාමා නැත්නම්, කේතකීගේ අම්මා හරි ඇවිත් පුලුවන් දේකට උදව් කරන්න පුරුදු වෙලා හිටියා. පොඩි කාලේ වගේම ලොකු කාලෙත්, අපේ අයියලයි, භූපයි, එයාලගේ යාලුවොයිත් මේ දේවල් වලට නිතරම දායක වුණා.
"ලබන සති අන්තේ. අයියත් ඉන්නවනේ එතකොට" කේතකී කිව්වා.
භූපව මතක් වුණාම හිත පොඩ්ඩක් විතර සැලුණා වගේ මට දැනුනේ, කේතකී නොදන්න රහසක් මගේ හිතේ තිබුණ හන්දා වෙන්න ඇති.
"ම්ම්...ඒක ඇත්ත. සති අන්තේඅපේ අයියලත් ගෙදරනේ"
මම කිව්වේ කේතකී දිහාවත් නොබලා.
අපි යාලුවෝ වෙලා උන්නු මුලු කාලෙ ඇතුලතම අපි අතරේ කිසිම රහසක් තිබුණේ නැති තරම්. ඒ හන්දම දැන් මේ වගේ රහසක් රකින එක, ඊටත් වඩා එයාගෙම අයියා ගැන රහසක් රකින එක මහා බැරෑරුම් දෙයක් කියලයි මට දැනුනේ. 'ඇත්තටම කේතකී මේ ගැන දැනගත්තොත් මොනා කියයිද?' මට හිතාගන්න බැරි වුණා. පුලුවන් තරම් කල් මේ සේරම හැමෝටම රහසක් වෙනවා නම් හොඳයි කියලයි මට හිතුණේ.
කොහොමහරි අපි කජු ඇහිඳින්න යන්න හිතාගෙන එලියට එද්දි, තාත්තලා දෙන්නම තවමත් සාලේ කතාවක. අම්මා තේ හදාගෙන සාලෙට ආවෙත් අපි සාලෙට යද්දිම වගේ. තාත්තලට අමතරව, පොඩි අයියා, ලොකු අයියා, චේතිය එක්කම සෙනුරි අක්කත් සාලේ කතා බහේ යෙදිලා උන්නා.
"මටත් ආසයි ගොයම් කපන දවසට එන්න" එහෙම කියමින් උන්නේ චේතිය.
"එන්න ඇහැක් නං ඒක කොච්චර දෙයක්ද? හයි හත්තිය තියෙන කොල්ලො දෙතුන්දෙනෙක් ඉන්නවනම් කුඹුරු එකට දහයක් කපන්න බැරුවයැ?" අපේ තාත්තා එහෙම කිව්වේ හිනා වෙවී.
"මේ ළමයට ඔව්වයේ පුරුද්දක් තියෙන එකක්යැ?" එහෙම කිව්වේ අපේ අම්මා.
"මොකෝ පුරුදු නැතුව? සෙංකඩගල කුඹුරු යායවල් පිටින් අස්වද්දපු පරම්පරාවක කොල්ලෙක් වෙච්චි කොට" තාත්තා ආයෙම එහෙම කිව්වම චේතිය හිනා වුණා.
"ඒ ලියදි ඉතිං අස්වද්දන්න අපි යන්නෑනෙ මාමේ. මම කවදාවත් ගොයම් කපලා නෑ. කුඹුරු වැඩ කරලත් නෑ. ඒත් දැකලා තියෙනවා. ආස ඒකයි" චේතිය කිව්වා.
"හැබෑට?" අපේ තාත්තා කිව්වේ තරමක් පුදුම වෙලා වගේ.
"එමුකෝ එමුකෝ ළමයෝ. අපි පුරුදු කරලා ගන්නම්" කේතකීලගේ තාත්තා හැමදාම වගේ පුරුදු සුහද බව පාමින් කිව්වා.
"කෝ නංඟි භූප? මොකෝ අද එයා නාවේ?" හිටි ගමන් කේතකීගෙන් එහෙම ඇහුවේ අපේ ලොකු අයියා.මම ඉක්මණට බිම බලා ගත්තා.
"එයා අපි එද්දිත් නිදි ලොක්කයියේ. මේ දවස් වල මහ රෑ වෙනකල් වයලීන් එකක් ගහ ගහ මොකක්ද එකකට පුරුදු වෙනවනේ" කේතකී කිව්වා.
කේතකී ඒ කියන්නේ අපේ පීඨයේ පීඨ දිනයට තියෙන උත්සවේට භූප සූදානම් වෙන එක ගැන වෙන්න ඕන. භූපයි, තව එයාගේ යාලුවෝ කීප දෙනෙකුයි instrumental අංගයක් ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන වග මට ඔහු කියලා තිබුණා.
"ආ එහෙමද? ඔව් ඉතිං  එයා කරන විෂයේ හැටියට ඒවා ඇති නේ" අයියා කිව්වා.
අපි කතා කරන අතරේ තාත්තලා තාමත් උන්නේ කුඹුරු ගැන කතාවෙමයි.
"අම්මේ මම කේතකීලගේ ගෙදර ගිහිං එන්නද?" මම ලඟ උන්නෙ අම්මගෙන් ඇහුවේ තාත්තලගේ කතාව දැන්ම ඉවර වෙන පාටක් නැති හැඩක් දැනුන හන්දයි.
"දැන්?"
"ඔව් නැන්දේ. ඔවේටේ කජු වැටිලා ගොඩාරියක්. කොහෙද මේ පාර මෙයා ඉන්න එකක්යැ හැමදාම අහුලන්න? අද අහුලමුද කියලයි බැලුවේ. නැන්දලට අලුවා වලට දාන්න හෙම" කේතකී කිව්වේ ඇඩ් එකක ඉන්න ගෑණු ළමයෙක් වගේ ලතාවකට.
අම්මට හිනා ගියේ ඉබේටම.
"මට අමතක වුණානෙ, දෙන්නගේ අවුරුදු පතා කරන චාරිත්‍රේ හැබෑටම. හා...හා...යන්න එහෙනම්. කජු නැතත් කමක් නෑ. කිරි ගාගෙන කට වණ කරගන්නවා හෙම නෙවෙයි පුහුලන් කාලා. අනික් එක සර්පයෝ හෙමත් ඇති පුතේ කුඹුරේ. පරෙස්සමින්" අම්මා ඊට පස්සේ අපට කිව්වා.
"කොහෙද මේ යන්න හදන්නේ?" අපි ලඟ උන්නු සෙනුරි අක්කටත් කතාව ඇහිලා.
"කජු ඇහිඳින්න. ඔයත් එනවද?" මම ඇහුවේ අම්මගේ වසරේ ලැබුණ හින්දා දැනුන උද්‍යෝගයෙන්මයි.
"අනේ අද බෑ නගෝ. මොකද මන්දා උදේ ඉඳන් ඔලුව බරයි වගේ...උදේම ඉව්වා, ඒත් කන්නත් බෑ වගේ. උණක් හැදීගෙන එනවද මන්දා මට" ඈ කිව්වා.
මම ඇගේ මූණ දිහා බැලුවේ එහෙම ලකුණක් පේන්න තියේද කියලයි. හැබැයි අපරාදේ කියන්න බෑ, ඒ ජම්බු මූණේ කිසීම අසනීපෙක ලකුණක්වත් මට නම් පෙනුනේ නෑ. ඒත් මම ඒක කියන්න ගියේ නෑ.
"එහෙනම් ඉතිං මොනා කරන්නද? අපි දෙන්නවත් යන්නම්. ඔයාට කජු ගේන්නම්කෝ" මම කිව්වා.
"ආච්චි අම්මලේ දිහාත් ඇති කජු පුතේ" අපේ කතාව ඇහිලදෝඅ තාත්තත් කිව්වා.
"ලොකු තාත්තගේ නංඟිලා ඒවට ගාණට වග කියලා ඇති" මම කිව්වා.
"එහෙම කියලා නෑ. ආච්චි අම්මා ඔයාලගේ පංගුව් අකොහොම හරි අරන් තියලා ඇති" තාත්තා කිව්වේ හිනා වෙවී.
"කොහෙද මේ කජු තියෙන්නේ මචං?" එහෙම ඇහුවේ චේතිය.
"තැනක් කියලා නෑ. මේ දෙන්නා අවුරුදු පටන් ගන්න මාසෙකට විතර කලින් ඉඳන් කරන්න පටන් ගන්න රාජකාරිය තමා ඕක හැමදාම. ඒත් ඉතිං අන්තිමට බලද්දි ඇහිඳපු කජ්ජකුත් නෑ, ගස්වල පුහුලනුත් නෑ" පොඩි අයියා කිව්වේ මා දිහා බලලා ඇද කරන ගමන්.
"අනේ ඔව්. කවුද දන්නෑ, පුච්චන පුච්චන එක කාලා අපටත් කජු නැති කරන්නේ" මම කිව්වේ ඔහුට රවලා.
"හරි හරි. දැන් ඔය දෙන්නා යන්නකෝ. ගිහිල්ලා දවල් වෙන්න කලින් එන්න ඕන දෝණි හොඳේ" අම්මා කිව්වා.
කේතකීලගේ තාත්තා මේ ගමන්ම ස්ටෙෂන් එකට යන හන්දා, අපි දෙන්නා විතරක් මගට බැස්සා කේතකීලගේ කුඹුරට එන්න.
මගේ හිතේ තිබුණේ මොකක්දෝ කෝල හැඟීමක්. ඒ මට තව ටිකකින් භූපව මුණගැහෙන හන්දා වෙන්න ඇති.
"අයියා තාමත් නිදිද දන්නෑ" මම හිතපු දේ ඇහිලා වගේ කේතකී කිව්වා.
මම යන්තම් හිණා වුණා විතරයි.
"අයියා මේ දවස් වල ඉන්නේ මොකක්දෝ වෙලා වගේ දුලා" ඊලඟට කේතකී එහෙම කිව්වාම මගේ සතුට කොහේදෝ හැංගිලා හිතට එකතු වුණේ පොඩි බයක් වගේ හැඟීමක්.
"මොකක්ද වෙලා කිව්වේ?"
"අනේ මන්දා, නිකං ලොකු සතුටකින් වගේ" කේතකී කිව්වේ කල්පනාබරව.
"එහෙමද?" මම මුකුත්ම නොදන්නවා වගේ ඇහුවා.
"හැබැයි ඒ විදියට මම කැමතියි දුලා. එතකොට අයියා හරි ජොලි. පිස්සු විකාරයක් වෙනවා,අර හුරු පුරුදු බුම්මටු තත්වයෙන් මිදිලා"
කේතකී එහෙම කිව්වාම මට හිණා ගියා. ඒත් ඒ හිනාවේ තේරුම කේතකීට තාම කියන්න මට හැකියාවක් තිබුනේ නෑ.
කේතකීගේ ගෙදරට ලං වෙද්දි නම් මගේ හද ගැස්ම හොඳටම වගේ වැඩි වෙලයි තිබුණේ. ඒත් ඒ තරමටම, නැත්නම් ඊටත් වඩා මහා උවමණාවක් මගේ හිතේ තිබුණා ඔහුව දකින්න. ඇත්තටම ආදරේ මේ තරම්ම මායාකාරීද?

4 comments:

  1. මේ කොටස දාන්න ගොඩ කල් ගියාට යාලුවෝ මට සමාවෙන්න ඕන. ඛප්පරක් වැඩ ගිය සති දෙකේම. ඒකයි මොනවත්ම ලියන්න වෙලාවක් වුණේ නැත්තේ.
    ඒත් පුලුවන් වුණ ගමන්ම මම කතාව දානවා. ඒ නිසා ඉඳහිට ඇවිත් බලලා යන්න හොඳේ...
    හැමෝටම සුබ සතියක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අපෝ ඔවු ඉද හිට ඇවිත් යනවා ඔයාගේ බ්ලොග් එකේ අලුත් කොටසක් දැම්මට blogger වල reading list එකේ පෙන්නනේ නෑ එක නිසා ඇවිත් බලනවා

      Delete
  2. Hammow. Thanks. Balagena hitiye alut ekak rnakam. Thanks

    ReplyDelete
  3. Ammo hena kalekin dala ^_^ tnxxxxxxxxxxxxxxxx

    ReplyDelete