Saturday, May 4, 2013

අවසන් කොටස...



එදින රාත්‍රිය මා හට වෙහෙසකර හා නොසන්සුන් එකක් වූ නිසාදෝ, පසුදා උදේ පාන්දරට වන්නට මට තදින්ම නින්ද ගොස් තිබිණි. කලින්දා සොනාලි හා එකතුව ඔනෑවට එපාවට මෙන් බෑග් කිහිපයක් සූදානම් කර ඇඳට වැටුණු පසු, ජේඩන් හමු වූ පසු කුමක් කෙසේ කියම්දැයි සිතමින් මම රාත්‍රියේ බොහෝ වේලාවක් නිදිවර්ජිතව ගත කලෙමි. එනිසාදෝ, සොනාලි මහත් සේ සොලවමින් මාව අවදි කරද්දී මට දැනුනේ තප්පර කිහිපයක් නිදාගත්තාක් වැනි හැඟීමකි.
"නැගිටින්න...පංචලී...අනේ හයාමාරයි වෙලාව...නැගිටින්නකෝ..."
මා දෑස් හැරියත් අද දවස පිළිබඳව මට මතක්වන්නට තවත් තප්පර කිහිපයක් ගත විය. එහෙත් ජේඩන් සිහි වූ වහාම මම ඉද්ද ගැසුවාක් සේ නැගී හුන්නෙමි.
"ජේඩන්...මොකක් හරි ආරංචියක් ආවද? කවූරුත් කතා කලේ නැද්ද?" මම බිමටපැන නාන කාමරය වෙත දුවමින් ඇසීමි.
"කතා කලා...මන්ජීත් ලා දැන් එහාට යන ගමන්. ඉක්මණට සෝදගෙන එන්න. එයාලා පහල පොදු කාමරේට ඒවි ජේඩන් එක්කගෙන"
මා උන්නේ කෙතරම් කලබලයකින්ද යත් විනාඩි පහලවකින් පමණ හැඳ පැලඳ ගතිමි. මේ වද්දී නයෝමි හා පූජා ද අපගේ කාමරයට පැමිණ උන්නහ.
"අපි බෑග් තියලා  යමු. සුදම් ආවම බැරියැ ඒවා ගෙනියන්න" පූජා කීවාය.
අවසානයේ අපි සිව් දෙනා ලහි ලහියේ පොදු කාමරය බලා පල්ලම් බැස්සෙමු. නමුදු තවමත් මන්ජීත්ගෙන් අපට පණිවිඩයක් නොලැබිණි.
පොදු කාමරයේ ඔරලෝසුවේ හත වැද්ණු අතර, එය නොසන්සුන්ව තිබූ මහිත තවත් නොසන්සුන් කරලන්නට සමත් විය. සුදම් එන්නට තව ඇත්තේ පැයක පමණ කාලයකි. ජේඩන් එන ලකුණක් තබා මන්ජීත්ගෙන් පණිවුඩයක්ද නැත. මම අවුල්ව ගිය සිතින් සොනාලි දෙස බලදී ඇය සිය දුරකථනය ඔබමින් එහා මෙහා සක්මන් කරමින් උන්නාය.
"කෝ අනේ මේ මිනිස්සු?" පූජා මා තරමටම නොසන්සුන්ව උන්නා සේය.
යන්තම් ඔරලෝසුව උදෑසන හතයි කාල දක්වද්දී වේගයෙන් ඇදී ආ රියක් නේවාසිකාගාරයේ දොරතුව අසල නැවැත්වූයෙන් අපි සියල්ලෝම එදෙසට දිව්වෙමු.
ඒ ඩීනෝගේ කාර් රථය විය. එය නැවැත්වූ වහාම දොර හැරගෙන එලියට පිලිපන්නේ ජේඩන්ය. ඔහු දුටු වහා මහිත මොහොතකට නැවතුනාක් සේ මට දැනුනි.
"පංචලී..." ඔහු මවෙතට දිව එද්දී මම ඔහු හමු වීමට ඉදිරියට ගියෙමි.
"ජේඩන්..." කතාකරගන්නට නොහැකිව මාගේ උගුර සිරවන්නාක් මෙන් මට දැනුනි.
ජේඩන් වටේ හුන් යෙහෙලියන්ට කලබලයෙන්ම මද සිනා පාමින් මා අසලට පැමිණ මා දෑස් වලට එබී නතර වූයේය.
"මොකක්ද මේ වෙන්නේ? ඇයි මේ හැමෝම කලබලෙන්? මන්ජීත්ලා මගේ ගෙදර දොර නොකැඩුවා විතරයි. මම ගෙදර ආවේ රෑ දෙකට විතර. මට හොඳටම නින්දත් ගිහින් තිබුණේ. මේ අය හැසිරුණ විදිහට මට හිතුණා ඔයාට මොකක් හරි කරදරයක් වත්ද කියලා" ඔහු එක හුස්මට කියවාගෙන ගියේය.
"අපි ඇතුලට ගිහින් කතා කරමු ජේඩන්" මම කීවෙමි.
මාගේ යෙහෙලියන්, ඩීනෝ සහ මන්ජීත් පසෙකට වී අප දෙස බලමින් කතා බහක යෙදී ඉන්නා අතරේ මම ජේඩන් හා යලි පොදු කාමරය තුලට ගියෙමි. ඔහු හා නිදහසේ වදනක් හෝ දොඩන්නට මහිතට ඇවැසි වූ සේය. නිවාඩුවට බොහෝ සිසුවියන් නිවෙස් බලා ගොස් සිටි නිසාදෝ, පොදු කාමරයේ රැඳී හුන්නේ අතලොස්සක් දෙනා පමණි.
මා අසල වූ පුටුවකට බර වූ පසු ජේඩන් සිය ආසනය මවෙතට ඇද මට ලංව වාඩි ගත්තේය. මහිත යලි නොසන්සුන් විය. කියන්නට අසන්නට දහසක් දේ විනිද, ඔහු ඉදිරියේ මා පුදුමාකාර ලෙස ගොලු වීමි.
"මදැයි...ඔයාව බලන්න සති තුනක් පෙරුම් පුරාගෙන ඉඳලා ඉඳලා අන්තිමට නිදි මරගාතෙම එන්න වුණ හැටි" ජේඩන් කීවේ මද සිනා පාමිනි. මම එයට කිව යුත්තක් ගලපාගන්නට වෙහෙසුනෙමි.
"දැන්වත් කියන්න ඇයි මේ බොහොම හදිසියෙන් මාව ඇදගෙන ආවේ කියලා?"
"මට...මට තියෙනවා ඔයාට කියන්න දෙයක්..." මම ගොත ගසමින් හඬ අවදි කලෙමි.
"මෙච්චර හදිසියෙන් කියන්න තරම්?"
"හ්ම්..." මම හිස වැනීමි.
"ඊට කලින් මට ඔය මූණ පෙන්නන්න බැරිද හරියට. ආපු වෙලේ ඉඳලම බිම බලාගෙන නේ ඔයා" ඔහු කීවේ දයාබරවය.
නුහුරු හැඟුමකින් මහිත බරවද්දී, මම සෙමෙන් නෙතු ඔසවා ඔහු දෙස බැලීමි.
ඔහුගේ දෑස් වල පුරුදු පරිදි දරාගත නොහෙන තරම් වූ කාන්තියක් විය. මට එසැනින්ම වාගේ යලි බිම බැලිනි.
"සති තුන දැනුනේ අවුරුදු තුනක් වගේ...හිතුවේ නෑ ඒ තරම් ඔයා නති පාලුව මට දැනේවි කියලා"
"ඔයා...කතා කලේ නෑ ඒත්. මම බලාගෙන හිටියා. ෆේස් බුක් පණිවිඩයක් පණිවිඩයක්  තිබ්බා. ඒ එකකටවත් උත්තර නොදී ඔයා මොකද කලේ ජේඩන්?" මම හිතට වද දෙමින් තිබූ පළමු පැනය ඔහුගෙන් විමසීමි.
"හ්ම්...ඒක ලොකූ කතාවක්. මම ටෙක්සාක් ගියාට පස්සේ එතන ගුවන් තො‍ටුපොලේදී මගේ බෑග් එක පොඩ්ඩක් එහා මෙහා වුණා. ඒක හොයන්න එහේ මෙහේ දුවන අතරේ මම ෆෝන් එක කොහේදෝ දාලා, ඒකේ බැටරිත් බැහැලා, අන්තිමේදි හොයා ගන්න බැරි වුණා. සේරෝගෙම නොම්මර ඒකේ. යන්තම් එහේ යාලුවාව හොයා ගෙන මම වැඩ කරන්න පටන් ගත්තා ඉක්මණින්ම. මට ඕන වුණේ ගිය වැඩේ ඉක්මණට ඉවර කරලා ආයෙම මෙහාට එන්න. ඒ අධ්‍යයනයනය ටිකක් බරපතල එකක් නිසා වෙන වැඩක් කරන්න වෙලාවක් තිබ්බේ නැති තරම්. ඊ මේල් එකක් දාන්නවත්, ෆේස් බුක් යන්නවත් වෙලාවක් වුණේ නෑ. එහෙමත් කලා නම් මට මෙච්චර ඉක්මණට වැඩේ ඉවර කරලා එන්න වෙන්නේ නෑ. ඒකයි එහෙම වුණේ. අනෙක් අතට මම හිතුවා...ඔයා මං ගැන ඇත්තටම හිතනවා නම්, විශ්වාසේ නැති නොකරගෙන මා වෙනුවෙන් ඉඳීවි කියලා...ඒ හිතුවා වගේම ඔයා එහෙම හිටියා...එහෙම නේද?"ඔහු මේසය මත වූ මා සුරත මුදුවට ස්පර්ෂ කරමින් කීවේය.
"ඒත් ඔයාට තිබුණා නිකමට හරි කතාකරන්න..."
"මම දන්නවා...ඒත් මට ඕන වුණා, ඔයා ඉඳීවිද කියලා බලන්න... සමහරවිට ඒක මහා බොලඳ දෙයක් වෙන්න ඇති..."
"මම නොහිටියා නම්?"
"මම දන්නෑ මම මොනා කරාවිද කියලා"
ඔහු කී විට මහිතේ පිරුණේ සංතාපයකි. එකෙනෙහිම වාගේ ඔරලෝසුවේ හතහමාර වැදුනෙන් මහිත කලබල විය.
"ජේඩන්...මට ඔයාට දෙයක් කියන්න තියෙනවා"
"කියන්න...ඕනම දෙයක් කියන්න. අපට ඕන තරම් වෙලා තියෙනවා..."
ඔහු එසේ කියද්දී, මහිත තවත් දුකින් බර වූයේ ඔහු පවසන ලෙසට කාලය අපට නැති බැව් මා දන්නා නිසාය.
"ජේඩන් ඇත්තටම කිව්වොත්, අපට මුලු දවසම කතා කර කර ඉන්න බෑ. මොකද කිව්වොත්...මට බොස්ටන් යන්න සිද්ධ වෙලා තියෙනවා"
මා එසේ කියද්දී, ඔහු තිගැස්සී මෙන් ම සුරත මිරිකා ගත්තේය.
"මොකක්? කවද්ද? කොයි වෙලාවටද?"
"අද...තව පැය දෙකකින් විතර" මම අපහසුවෙන් ඒ වදන් පෙල කියා ගතිමි.
ජේඩන් මා සුරත අත හැරියේ ය. ඔහු දෙස බලන්නට මට හැකියාවක් නොවිනි. තත්පර කිහිපයකට නිහඬතාවය අපව වෙලා ගත්තේය.
"මොනාද මේ ඔයා කියන්නේ පංචලී? ඔයා මට කියන්න හදන්නේ, මෙච්චර කරදර විඳගෙන, රෑ එලි වෙනකල් ඇහැරගෙන වැඩ කරලා දවස් ඉතිරි කරගෙන මම ඔයාව බලන්න එද්දි, ඔයා මාව දාලා යන්න ලෑස්ති වෙනවා කියන් එකද?" ඔහුගේ හඬේ වූයේ පරාජිත බවකි.
ඔහු තරහා ගත්තා නම් මට ඉවසිය හැකිව තිබිණි. එහෙත් මෙසේ ඔහු දුකට පත් වීම මට වාවා ගත නොහැකි විය.
"මේක...මම...හිතලා දා ගත්ත දෙයක් නෙවෙයි...අක්කලා ලෑස්ති කරපු දෙයක්. මම ඔයාට කලින් කතා කරන්න උත්සාහ කලෙත් එකයි...මේක කියන්න" මම සෙමෙන් කීවෙමි.
ජේඩන් ආයාසයෙන් සිය හැඟීම් පාලනය කරගෙන ඉන්නා සෙයක්, ඔහු දෙස හොරහින් බැලූ මට පෙනුනි.
"කෝ දැන් අක්කලා?" ඔහු ඒවර ඇසුවේ මා තවත් අපහසු තාවයට පත් කරලමිනි.
"අක්කලා ආවේ නෑ"
"එහෙනම් යන්නේ තනියෙමද?"
"නෑ...මේ...සු..සුදම්...ඇවිත් ඉන්නේ"
"සුදම්? කවුද සුදම්? අර...අර දොස්තර නේද?"
"හ්ම්" මම හිස වැනුවේ බියෙනි.
ඒ මා බිය වූ පරිදිම, ජේඩන්ගේ ඉවසීම එතකින් අහවර විය.
ඔහු මැඩගත් කෝපයෙන් දෝ සිය අසුනට වැරෙන් හේත්තු වූයේය.
"මොන මගුලක්ද පංචලී ඔයා මේ කියන්නේ? මට එන්න කිව්වේ මේක කියන්නද? ඔයා අර දොස්තරයත් එක්ක බොස්ටන් යනවා බලන්නද මාව ගෙන්නුවේ?"
"ජේඩන්...අනේ එහෙම දෙයක් නෙවෙයි. ඔයා එනකල් මම කොච්චර බලාගෙන හිටියද කියලා ඔයා දන්නෑ.. ඒත් ඒක මෙහෙම වෙයි කියලා මම හිතුවේ නෑ"
"හරි...හරි...ඔයා මම ගැන හිතනවා නම් නොයා ඉන්න. අද නොයා ඉන්න. ඔයාට පුලුවන්ද ඒක කරන්න?" ඔහු මවෙතට නැමී ඇසුවේය.
මම මදක් තිගැස්සී ඔහු දෙස බැලීමි.
"ජේඩන්?"
"නවතින්න....මම වෙනුවෙන්"
"මට...මට ඒක කරන්න බෑ...අක්කලා අරහේ මම එනකල් බලගෙන ඉන්නවා" මම කීවෙමි.
"එතකොට මම?"
"මම සදහටම එහේ ඉන්න යනවා නෙවෙයි ජේඩන්..."
"ඇත්තද? එතකොට දොස්තර? ඔයා හිතන්වද මේ වෙන්නේ මොකක්ද කියලා තෝර ගන්න බැරි තරම් මම මෝඩයි කියලා?"
"එහෙම දෙයක් නෙවෙයි?"
"එහෙනම්, කොහොම දෙයක්ද? මට කියන්න පංචලී...ඔයාගේ පවුලේ අයට ඕන ඔයා මේ දොස්තර එක්ක එකතු කරන්න නෙවෙයිද කියලා මට කියන්න"
"ඒක...ඒක මම දන්නෑ. මම දන්නේ මගේ හිතේ එහෙම දෙයක් නැති වග විතරයි. ඔයාට ඒක විශ්වාස නැද්ද?" මම ඔහු දෙස කෙලින්ම බලා ඇසීමි.
"එහෙනම් ඒක ඔප්පු කරන්න. යන්න එපා" ඔහු කීවේ මුරණ්ඩු පොඩි එකෙකු පරිද්දෙනි.
එහෙත් එය මහිතට එක කලේ මද නොරිස්සුමක් මිස අන් දෙයක් නොවේ. ඔහුට මා කියන්නක් තේරුම් ගත නොහැකි හැටි.
"මම කොහොමද එහෙම කරන්නේ? එයාලා හැමදේම සූදානම් කරලා එව්වටත් පස්සේ? අනික මේ වෙන කිසි දෙයක් අක්කලා දන්නේ නෑ. මට එහෙම එයාලා කියන දේට පිටින් යන්න බෑ ජේඩන්..." මම කීවේ බියෙනි. ඔහුගේ බැල්ම මා බියටත් දුකටත් පත් කරන්නට සමත්ව තිබිණි.
"මම හිතුවේ ඔයාට නිදහස්, ස්වාධීන තීරණ ගන්න පුලුවන් කියලා..." ඔහු සෙමෙන් කීවේය.
"එහෙම පුලුවන් අපට පවුල් වල බැඳීම් නොතිබුණා නම්..."
"ඒක බැඳීමද,, නිදහස සීමා වීමද කියන්න මට තේරෙන්නේ නෑ" ජේඩන් දෙස නොබලා කීවේය.
"කවුරුත් මගේ නිදසහ සීමා කරලා නෑ ජේඩන්. එහෙම ඒ අය කරන්නෙත් නෑ. එකම දේ, මම ඒ මිනිස්සුන්න්ට දුන්නු දුක හැටියට මට අද හිතෙන හිතෙන විදියට ජීවිතේ තීරණ ගන්න බෑ...මට බෑ හිතුවක්කාර වෙලා තවත් ඒ අයට දුක් දෙන්න. එහෙම කරන්න මම බයයි..." මම සිතේ උපන් සියල්ල කියා දැමීමි.
ජේඩන් මදෙසට හෙලුවේ තියුණු බැල්මකි. ඉන්පසු ඔහු හුන් තැනින් නැගී සිටියේය. මම කලබල වීමි.
"ජේඩන්...මං කියන දේ අහන්න...මම ගිහින්, හැමදේම තේරුම් බේරුම් කරගෙන ආපහු එනවා...මාව විශ්වාස කරන්න" මම අයාචනාත්මකව කීවෙමි.
එහෙත් ඔහු මදෙස බැලුවේ නැත.
"ඔයාට තේරුණේ නැද්ද පංචලී මම හැමදාම කලේ බලා හිටපු එකයි කියලා? හැමදාම මම බලාගෙන හිටියා ඔයා කවදාහරි තේරුම් ගනීවි මාව කියලා...ඒත් කවදාවත්, අදවත් ඔයා එහෙම කලේ නෑ..."
"ජේඩන්..." මට සිට ගැනුනේ නිරායාසයෙන් මෙනි.
"මට හරි මහන්සියි පංචලී...බලා ඉඳලා ඉඳලම...තවත් මෙහෙම ඉන්න එකේ තේරුමක් නැති වග මට අද තේරුණා..."
ඔහුගේ වදන් මා බලවත් කම්පනයකට පත් කලේය මම අසල වූ පුටුව අල්වාගෙන වාරු ගතිමි.
"ජේඩන්..."
ඔහු මදෙසට හැරුණේ වේදනාවෙන් අඳුරු වූ දෙනෙත් වලින් මදෙස බලාගෙනය.
 "ඔයා යන්න..." ඔහු පරාජිත ලෙස ඉන්පසු කීවේය.
මම ඔහුගේ දෑස් දෙස බලා උන්නෙමි.
"මාත් යනවා...ආයෙමත් එන්නෑ ඔයාගේ ජීවිතේට කරදරයක් වෙන්න..."
ඔහුගේ වගන් අසා මම ඇතුලාන්තයෙන් බිඳී ගියෙමි. ඔහු මා තේරුම් නොගැනීම ගැන වූ සියුම් අමනාපයක් මහිත පතුලෙන් නැග එමින් තිබිණි. එහෙත් ඔහු නිවැරදි වූවා විය යුතුය. මා ඔහුට දුක් දුන්නා වැඩි යැයි මහිතේම එක් පසක් මට දොස නගන්නට විය.
කුමක්දෝ අරුම පුදුම හේතුවකට මට මෙවෙලේ සංකේත්ව සිහි වූයේ නිතැතිනි. මා දමා යනදා ඔහුද මෙසේම මට සමු දුන්නා එවෙලේ මට සිහි විණි. එකම වෙනස වූයේ ඔහුගේ දෙනෙත් තුල ජේඩන්ගේ බඳු වේදනාවක සේයා නොතිබීම පමණකි. එහෙත් ඔහු පවා සැරසෙමින් උන්නේ මා දමා යන්නටම ය. බිඳක් නතර වී මා තේරුම් ගන්නට ඔහුටද නවතින්නට පුලුවන්කමක් නොතිබූ සෙයකි.
කිසිවක්ම නොකියා මම බිමට නෙතු යොමා ගතිමි. ඔහුට යන්න එපා යැයි කියන්නට මට පුලුවන්කමක් නොතිබිණි. එසේම මා තේරුම් නොගෙන නික්ම යන්නට සැරසෙන ඔහුව නවතන්නටත් මහිත නැමුනේ නැත. මිතේ ගුලි කරගෙන දුක් වනවාට වඩා මිටින් මුදා හැර දුක් වන්නට මම කැමති වීමි.
"ඔයාට කියන්න මොනවත්ම නැද්ද?" ජේඩන් ඇසීය.
මෙවෙලේම වාගේ දොරටුව දෙසින් සුපුරුදු හඬක් නැගී ආයෙන්, මොහොතකට අප දෙදෙනාටම එදෙස බැලිනි.
"කෝ තාම ලෑස්ති නැද්ද? යාලුවන්ට සමු දෙනවා වගේ" දොරටුවෙන් මෑත්ව අප දෙසට එමින් උන්නේ සුදම් ය. කුමක්දෝ හේතුවකට ඔහු සතුටින් උන් වගක් පෙනුනි.
"ආ...හලෝ. හමු වීම සතුටක් ආයෙමත්. අපේ කතාව ඉවරයි...මම මේ යන්න හිතුවා විතරයි"
මා කිසිවක් කියන්නටත් පෙර ජේඩන් සුදම් හට ආචාර කොට කතා කලේය.
මම ජේඩන් දෙස මොහොතක් බලා උනිමි. එහෙත් ඔහු මදෙස බැලුවේ අන්තිමටය. ඔවුන්ගේ කත බහ අතරේ මම ගල් ගැසී කිසිවක් කර කියාගත නොහැකිව උන්නෙමි.
"එහෙනම් මම යනවා...දෙන්නටම සුබ ගමන්..." හදිසියේම ජේඩන් එසේ කියනු ඇසී මම පියවි ලොවට පැමිණීමි.
ඔහු යන්තමට පමණක් මදෙස බලා එතැනින් පිටව යද්දී, මම අඩියක් පවා සොලවාගත නොහැකිව, නමුත් ඇතුලාන්තයෙන් දැවෙමින් හුන් තැනම සිටගෙන උන්නෙමි.
"බෑග් කොහෙද තියෙන්නේ?" සුදම් විමසනු මට ඇසුණේ හීනෙන් මෙනි.
"කාමරේ..."
"අපි ගිහින් ගේමු නේද?" කොහේදෝ සිට පැමිණි පූජාගේ හඬ මට ඇසුණි.
නේවාසිකාගාරයේ දොරටුවෙන් නොපෙනී ගිය ජේඩන්ගේ රුව දෙසම බලා හුන් මම අවසානයේ  ඈ සමග යන්ත්‍රානුසාරයෙන් මෙන් ඇදී ගියෙමි.
"මොකද වුණේ?" අප දෙදෙනා එන තුරු මග රැකගෙන හුන් යෙහෙලියෝ නො ඉවසිලිමත්ව විමසූහ.
"මුකුත් නෑ" මම හැඟීම සඟවාගනිමින් කීවෙමි. ඔවුන් ඉදිරියේ හඬන්නට මට ඇවැසි නොවිණි.
"මුකුත් නෑ?"
"හ්ම්"
ඔවුන් යලි කිසිවක් මගෙන් විමසුවේ නැත. ඒ ඔවුන් අමනාප වූ නිසාද නැතහොත් පුදුම වූ නිසාද කියා මම නොදනිමි. අවසානයේ සිහිනයෙන් මෙන් මම යන්නට සූදානම්ව, සුදම් සහ කුලී රථය අසල සිටගෙන උන්නෙමි. සොනාලි අගේ සුරත අල්වාගෙන හුන් අතර, මම ඇගේ අත යන්තමට මිරිකා පමණක් ඇයට සමු දුනිමි.
කතා කරන්නට හෝ, වැලඳගෙන සමු දෙන්නට මම බිය වූයේ, මා කඩාවැටේවි යන බිය නිසාමය. එසේ වුවහොත් එය මට දරාගත නොහැකි බව මම දැන උන්නේ අත්දැකීමෙනි.
"මන්ජීත්ලට කියන්න..." ඔවුන් පෙනෙන්නට නොසිටි නිසාවෙන් මම පූජාට කීවෙමි.
ඇය පුදුමයද කෝපයද කිව නොහැකි හැඟීමක් පිරුණු දෑසින් මදෙස බලා උන්නාය.
"අපි යමු නේද?" සුදම් මට දොර හැර දෙමින් කීවේය.
මම සොනාලි දෙස බැලීමි. ඇය මගේ අත අතාරින්නට උත්සාහ නොකරම මදෙස බැලුවේ දුකෙන් මෙනැයි මට සිතිණි.
"හැමදේම ඉවරයි සොනාලි...එච්චරයි" මම ඈට එසේ පවසා, අන් අය දෙස වරක් පමණක් බලා රියට නැග්ගෙමි. යෙහෙලියෝ පිරිස අන්ද මන්දව මදෙස බලා උන්නා විනා, අතවනා මට සමු දුන්නේද නැත. සුදම් නගින්නට පෙර මම මාගේ අව් කණ්ණාඩිය පැලඳගත්තේ, අනවසරයෙන්ම කඳුලු පිට පැන්න නිසාවෙනි.
රථය ඉදිරියට ඇදුනේ මද දුරක් පමණි. මා හුන් පැත්තේ වීදුරුවෙන් හදිසියේම මට ජේඩන්ගේ නවත්වා තිබූ රිය පෙනුනි. ඔහු රියට නොනැග එතන සිටගෙන සිටිනු මට වේගයෙන් ඇදී යන රියේ වූ මට පෙනුනේ යන්තමටය. මම තොල සපා ගෙන හැඬුම් වලකාගන්නට යත්න දැරීමි. 'ඔහු බලා උන්නේ මා ඒවි කියා වත්ද?'

මා තුල වූ කැලඹීම ගැන කිසිත් නොදත් සුදම්, ලිය කියවිලි සහිත ෆයිල් කවරයක් දිගහැරගෙන මොනවාදෝ කියමින් උන්නේය. නමුත් ඔහුට සවන් දෙන්නට තරම් මහිතේ එකලසක් නොතිබිණි. ජේඩන් දමා යන්නට මහිතේ ඇති අකමැත්ත, එනිසම උපන් දුක සහ අප දෙදෙනාගේ අතීතයේ විවිධ මතක සටහන් වලින් මහිත පිරී තිබිණි.
සරත් සමයේ එක සවසක ඩොලීස් හිදී ඔහු මුලින්ම මුණගැසුණු දා මගේ සිහියට නැගිණි. එදවස ඔහු කෙතරම් සැහැල්ලුවෙන් උනාද? ඉන්පසු කෙමෙන් කෙමෙන් අප ලං වූ සැටිත්, දිගින් දිගටම මම ඔහුව මගහැරිය අයුරුත් සිහි වී මගේ කඳුලු යලි අලුත් වූයේ නිතැතිනි. එහෙත් ඉන්පසුව අප කෙතරම් නම් එකිනෙකාට ලං වූවාද? හිම කුණාටු රාත්‍රිය, ජෙඩන්ගේ උණුසුම සහ ඔහුගේ කාන්තිමත් දෑස් සිහි වද්දී මහිත ඉහිරුණේ, මුවින් පිට වූ ඉකියක්ද සමගය.
"පංචලී..." මට සුදම්ගේ හඬ ඇසුණි. ඔහු මදෙස බලා උන්නේ විශ්මයෙන් මෙනි.
"ඇයි මේ?"
මම මුකුත් නැතැයි කියන්නට හිස වැනීමි.
"මට ඇත්ත කියන්න...ඔයා අඬනවා නේද?"
"නෑ"
"නැත්තේ මොකද? කෝ මෙහේ බලන්න" සුදම් සියල්ල නවතා මා තමන් දෙසට හරවාගන්නට වෙහෙසුනේය.
"නෑ දෙයියනේ නෑ...." එවර දුකටත් තරහටත් මට කෑ ගැස්සිනි.
ඉදිරි පස හුන් රියැදුර ගැස්සී මෙන් අප දෙස බලනු මම යන්තමට දුටිමි.
සුදම්ද විදුලි සැර වැදුනු කලෙක මෙන් මගෙන් ඈත්ට වූයේ නිරායාසයෙනි. එවෙලේ මට මා ගැනම දැනුනේ ලැජ්ජාවක් සහ කෝපයකි. මා තුල වූ කැලඹිල්ල සහ, මා විහින් කර ගත් දෑ වලට සුදම් පලි නැත.
"ම්...මට...සමාවෙන්න සුදම්...." මම ආයාසයෙන් වචන ගැටගසාගතිමි.
සුදම් ඉක්මණ් සුසුමක් හෙලීය. "ඔයාගේ හිත කබලයි නේද?" ඉන්පසු ඔහු විමසීය.
"මම දන්නෑ සුදම්..." මට කියවිණි.
සුදම් පරීක්ෂාකර්‍රිව මොහොතක් මදෙස බලා උන්නේය.
"මම පංචලීගෙන් දෙයක් අහන්න, මට ඇත්තම කියනවද?"
මම යන්තම් දෑස් ඔසව ඔහු දෙස බැලීමි.
"ඔයා මෙහේ හිටපු කාලෙදි ඔයාට විශේෂ කෙනෙක් හම්බවුණා නේද?" ඔහු සෙමෙන් විමසීය.
මම කිසිවක්ම නොකියා ඔහු වෙතින් දෑස් මුදවාගෙන ඉවත බල ගතිමි.
"දැන් ඔයාගේ හිත කලබල වෙලා තියෙන්නේ එයාව දාලා යන්න බැරි නිසා නේද?"
මට යලි ඔහු දෙස බැලිණි. "මොකක්ද...ඔයා මේ...කියන්න හදන්නේ?"
"කියන්න හදනවා නෙවෙයි. ඔයාගෙන් අහලා දැන ගන්නයි මට ඕන. මොකද මම ආපු වෙලේ ඉඳලා, මේ ගමන එන්න පිටත් වෙනකලුත් මම දැක්කේ එදා මුල්ම දවසේ මම දැක්ක කෙනා නෙවෙයි. ඔයාගේ ඇස් වල තිබුණේ මොකක්දෝ කලබලයක්. හරියට කාව හරි හොයනවා වගේ. අද...අද ඔයාගේ ඇස් වල තිබ්බේ දුකක්. මොකක්දෝ බය වෙච්ච ගතියක්. හරියට කාගෙන් හරි වෙන් වෙන්න ඕන නෑ වගේ...ඒ හැඟීම මීට ටික කාලෙකට උඩදි තව කෙනෙක්ගේ ඇස් වල මම දැකලා තියෙනවා..." සුදම් මෙවර කීවේ ඉවත බලාගනිමිනි.
මම ඒ කවුරුන්දැයි දැනගැනීමට ඔහු දෙස බැලීමි.
"හිම කුණාටුව ඉවර වෙලා ඔයාව එක්කගෙන එන වෙලාවේ, ඔයාව ආරක්ෂා කරගත්තු අර හාදයගේ ඇස් වලත් තිබ්බේ අන්න ඒ වගේ හැඟීමක්...මම හරි නේද පංචලී?"
මම ඔහු දෙස දෑස් විසල් කොටගෙන බලා උන්නෙමි. ඔහු මේ සියල්ල බලා උන්නාවද?
"ඔයා හිතන්නේ මට ඒක තේරුණේ නෑ කියලද? ඒක එදත්, අදත් මට තේරුණා පංචලී...එකම දේ මට ඔයාව නොතේරෙන එකයි"
"මා...මාව?"
"හ්ම්...මට තේරෙන්නැත්තෙ මේ තරම් හිතේ වේදනාවක් පුරෝගෙන, අනුන්ගේ හිතත් රිදෝලා ඔයා ඇයි මේ ගමන යන්නේ කියලා"
"ඔයා මොනාද මේ කියන්නේ සුදම්? මම යන්නේ අක්කලා මාව එක්ක යන්න ඔයාව එවපු හන්දා. මට....ආයෙමත් හිතුවක්කාර වෙන්න බැරි හන්දා" මම අවසන් වදන් පෙල කීවේ සෙමිනි. මට යලිත් හඬන්නට උවමනා නොවීනි.
"එතකොට අර කොල්ලට මොකද වෙන්නේ? එයා ඔයා නවතීවි කියලා මගට වෙලත් බලාගෙන හිටියා නේද පංචලී..."
ඔහු එසේ අසද්දී මට සිත වාවාගත නොහැකි විය. මම තොල සපාගෙන හැඬුම් වලකාගන්නට උත්සාහ කලෙමි.
"ඔයාට යන්න ඕන නම් පංචලී, ඔයා යන එක වලක්වන්න කාටවත් බෑ. ඒත් ඒක තියෙන්නේ ඔයාගේ අතේ. ඔයාට යන්න ඕනද කියන එක විතරයි වැදගත් වෙන්නේ?"
මම සුදම් දෙස බැලුවේ පුදුමයෙනි. ඔහු මා සිතා උන්නාට වඩා බෙහෙවින් වෙනස් කෙනෙකු වග මට මුල්ම වරට තේරුම් යමින් තිබිණි.
"ඒත්...කොහොමද එහෙම කරන්නේ? අපි දැනටමත් දුර ඇවිත් ඉන්නේ" මම කීවෙමි.
සුදම් හිනැහුනේය.
"සත් සමුදුර තරණැය කරලා ආවේ නෑනෙ. කියන්න පංචලී, ඔයාට යන්න ඕනද?"
මම ඔහු දෙස බලා උන්නේ දෑස් ආඅදහාගත නොහැකිවය.
"මම..."
"ඉක්මණට කියන්න,මගේ හිත වෙනස් වෙන්න කලින්...ඕනද යන්න ආපහු?"
"අනේ මන්දන්නෑ...මං?"
"ඕනද ළමයෝ?" ඔහු එවර උස් හඬින් ඇසුවේය.
"ඔව්" මට කියවුණේ ඉබේටම මෙනි.
සුදම්ගේ මුවේ ලොකු සිනහවක් පිපිණි.
"බිලී...කරුණාකරලා අපි ආපහු කැම්පස් එකට යමුද?"
"ඇයි සර් මොනාහරි අමතක වුණාද?" රියදුරා ඇසුවේ රියේ වේගය බාල කරමිනි.
"ඔව්...මෙයා සේරම දාලනේ ඇවිත් තියෙන්නේ" සුදම් මදෙස බලා මද සිනා පාමින් කීවේය.
මට පලමු වතාවට සිනාවක් නැගිනි. රියදුර යලි රිය හරවදී, මහිත කෙමෙන් කෙමෙන් සැහැල්ලු වනු මට දැනුනි. 'ජේඩන්...මම ආපහු එනවා...'
එහෙත් ඒ සැහැල්ලුව පැවතුනේ අප මද දුරක් එන තුරු පමණි. මා නික්ම ආවාට පසු ජේඩන්ගේ සිත වෙනස් වන්නට ඇතිදෝ යන සිතිවිල්ල එක්වරම සිතට ආවේ යලිත් සිත බර කරවමිනි.
"අපි දැන් කොහාට ගියොත් හොඳ වෙයි කියලද ඔයා හිතන්නේ?"
මා සිතිවිලි සමග පොර බදන අතරතුරේ සුදම් මගෙන් විමසීය.
'ආ...ම්ම්..."
"ඔයා හිතනවද එයා තාම කැම්පස් එකේ ඉඳීවි කියලා? සමහරවිට වෙන කොහේ හරි ගිහින් නම්?" මා පිලිතුරක් ගොනු කරන අතරතුරේදී ඔහු යලි ඇසුවේය.
"අපි කාට හරි කෝල් එකක් දීලා බලමුද?" මම අවසානයේ යෝජනා කලෙමි.
"එහෙම බලමු එහෙනම්"
දෙවරක් නොහිතාම මම දුරකථනය අතට ගෙන සොනාලිගේ නොම්මරය එබීමි.
"පංචලී...ඔයා කොහේද ඉන්නේ? මොකක් හරි අමතක වුනාද?" මා කථා කරන්නටත් පෙර සොනාලි ඇසුවේ කලබලෙන් මෙනි.
"නෑ නෑ...එහෙම දෙයක් නෙවෙයි...මම මේ...ආපහු එන ගමන්"
"ආපහු එන ගමන්? ඒත්...ඇයි? මොකද වුණේ?" සොනාලි තවත් කලබල වූ සෙයකි.
"මුකුත් වුණා නෙවෙයි. මම ඇවිත් විස්තරේ කියන්නම්. මට දැන් කියන්න, මම ආවට පස්සේ ජේඩන් ආපහු ඔහෙන් ගියාද? නැත්තම් එයා තාම ඉන්නේ කැම්පස් එකේද?"
"ජේඩන්...? ආ...එයා නැවතුනේ නෑ. ඔයාලගේ වාහනේ ගියත් එක්කම වගේ එයා ගිය මම හිතන්නේ. පංචලී...ඔයා ආයෙම එන්නේ එයා හොයාගෙනද?"
"ඔව්...අනේ මට එයාව හොයා ගන්න ඕන සෝනු..."
"හරි...මම බලන්නම් මෙහේ කාට හරි කතා කරන්න. ඔයා ඒ ආරේ එයාගේ ෆෝන් එකට අරන බලන්නේ නැත්තේ ඇයි?" සොනාලි ඇසුවාය.
"එහෙම බැහැ. මට එයාව මුණගැහිලම කතා කරන්න ඕන" මම කීවෙමි.
"හ්ම්ම්... ඒකත් එහෙමද? හරි, මම කෝල් කරලා හොයලා බලා කියන්නම්කෝ"
"ස්තුතියි සොනාලි..."
"පිස්සු හටන..." ඈ හිනැහෙනවා මට අනෙක්පසින් ඇසුණි.
සුදම් මදෙස බලා උන්නේ තොරතුරක් අපේක්ෂාවෙන් මෙනි. මම ඔහු දෙස බැලීමි.
"කැම්පස් එකේ නැහැලු. සෝනු හොයලා කියයි"
අවසානයේ අප නගරයට ආසන්න වන විට සොනාලි යලි මා ඇමතුවාය. ජේඩන්  මෙවෙලේ සිටින්නේ ඔහුගේ නිවසේ බව ඈ සොයාගෙන තිබුණාය. මහිතේ වූයේ නො ඉවසිල්ලක් සේම, චකිතයකි. ජේඩන් මා කෙසේ පිලිගනීවිද?
රියදුරාට පාර කියමින්, කෙමෙන් කෙමෙන් ජේඩන්ගේ නිවෙස අසලට සේන්දු වදී, මහිතේ පහල වෙමින් තිබුණේ බෙහෙවින්ම රිනාත්මක වූ සිතුවිලි රාශියකි.
"සුදම්...මට බයත් හිතෙනවා..." මම සෙමෙන් කීවේ ජේඩන්ගේ නිවෙස දෙසට හැරෙන හන්දිය වෙතට රිය ධාවනය වද්දීය.
"ඇයි ඒ?"
"ජේඩන් මාව ආයෙම පිලිගනීවිද? මම එයාට ගොඩක් රිද්දලා තියෙනවා" මම කීවෙමි.
සුදම් කරුණාවන්ත බැල්මකින් මදෙස බලා මද සිනාවක් පෑවේය.
"ආදරේ කියන දේ එහෙම පැයෙන් දෙකෙන්, දවසින් දෙකෙන් වෙනස් වෙන්නෑ නේද? ඇත්තටම ආදරේ නම් එහෙම වෙන්නේ නෑ...පිස්සු දේවල් හිතන්න එපා...දැන් කොයි පැත්තටද හරවන්න ඕන?" සුදම් ජනේලයෙන් එබෙමින් ඇසීය.
"දකුණට" මම කීවෙමි.
"ඒත් මගේ හිතට මොකක්ද වගේ..."
"වැඩිය හිතන්න එපා...සේරම හරියාවි. ඒක  මට විශ්වාසයි" සුදම් කීවේය.
අවසානයේ කෙසේ හෝ අප හුන් රිය ජේඩන්ගේ නිවෙස අසල නතර කරන ලදී. මගේ හදවත චකියෙන් පිරී, අනියත බියකින් ගැහෙමින් තිබිණි. සිතේ වූ සිතිවිලි පොදිය උගුර මුලට විත් හිරවී ඇතුවාක් සේ අපහසුතාවයක් මට දැනුනි.
"යන්න...මම ඔයා එනකල් මෙතන ඉන්නම්" සුදම් කීවේ හිනැහෙමිනි. "ජය වේවා!"
මම දිගු හුස්මක් ගෙන රියෙන් බිමට බැස්සෙමි. සුපුරුදු පඉර්දිම, අවට වූයේ ශාන්ත නිහැඬියාවකි. පාරේ ඉඳහිට ඇවිද ගිය මිනිසෙකු හැරෙන්නට නිවෙස් වලින් පිට කිසිවකු සිටියේ නැත. මම සෙමෙන් සෙමෙන් ජේඩන්ගේ නිවෙස වෙත දිවෙන බොරලු ඇතිරූ පටු පාර දිගේ ඇවිද ගියෙමි. විවිධාකාර තුරුලියවලින් හෙවුණු ජේඩන්ගේ නිවසේ පැති මිදුල දෙසින් කිසිවකුගේ සිනා හඬක් ඇසෙමින් තිබුණෙන් මම නිරායාසයෙන්ම එදෙසට ඇදුනෙමි.
පැති මිදුල මැද මෙලිස්සා සහ ඩේව්, සිය සුරතල් බලු පැටියාද සමග බෝලයක් ගෙන සෙල්ලම් කරමින් සිටිනු මට ඈතට පෙනුනි. මා සිත නතර වූයේ ඒ අසල ගසක් යට හිඳගෙන කල්පනාබරව මෙන් ඔව්න් දෙදෙනා දෙස බලා හුන් ජේඩන් දැකීමෙනි. මගේ උගුර තවත් රිදුම් දෙන්නට විය. ඔහු මා උදේ දුටු ඇඳුමින්ම සැරසී ඉදිරියට බරව දෙපා වලට වැලිමිටින් බරදීගෙන හුන් අතර, කාට පෙර ඩේව් ගේ සුරතල් බල්ලා මා දුටුවේය. ඌ මදෙසට දුව නො ආවත්, එතැනම සිටගෙන මා උන්දෙසට හැරී බුරන්නට පටන ගත්තේය. එතැන වූ තිදෙනාම මා උන් දෙස බැලුවේ එකටමය.
ඉන්පසුව, ඩේව් සහ මෙලිස්සා හිනැහි මට අත වැනුවේත්, ජේඩන් හුන් තැනින් නැගිට්ටේත් එකටම වාගේය. ජේඩන්ගේ මුහුණේ වූයේ අපැහැදිලි හැඟීම් ගොන්නකි.
"පංචලී...එන්න එන්න" මෙලිස්සා කෑගාවාය. ඩේව තවමත් බුරන බලු පැටවා අල්වාගෙන උන්නේය. මම යලි ජේඩන් දෙස බැලීමි. නමුත් ඔහු මට එන්නට කීවේ නැත. එනිසාම මම අනවසරයෙන්ම ඔහු වෙත ඇවිද ගියෙමි.
"ඉතිං කොහොමද? ඔයාව දකින්න ලැබීම සතුටක්" ම වෙත ඇවිද විත් මාගේ අතක් මුදුවට අල්වාගෙන මෙලිස්සා තෙපලුවාය. මම ඈට සිනාව පෑවෙමි.
"මටත් එහෙමමයි මෙලිස්සා"
"ඔයා...මොකද මෙහේ කරන්නේ?" මා පසෙකින් ඇසුනේ ජේඩන්ගේ හැඟීම් විරහිත කටහඬ ය. මම ඔහු දෙස බැලීමි.
උදෑසන දී මා දුටු කාන්තිය දැන් ඒ දෑස් වලින් අතුරුදන්ව තිබිණි. මට බිම බැලුනේ ඉබේටමය.
"මට ඔයා එක්ක කතා කරන්න ඕන" මම කීවෙමි.
"අ...එහෙනම් අපි ගිහින් පස්සේ එන්නද?" ඩේව් සෙමෙන් ඇසුවේය.
"නෑ..නෑ...ඔයාලා ඉන්න. අපි... පොකුණ පැත්තට යන්නම්. ඔයාලා ඉන්න. වැඩිවෙලා යන්නෑ"
එසේ කියූ ජේඩන් මදෙස බලා, මිදුලේ කොනක තිබූ පුංචි පුකුණ වෙතට අත දිගු කොට මට ඉස්සර වන්නට සන් කලේය.
සිත මදක් රිදුනද මම ඉස්සර වීමි.
පොකුණ අසල වූ පුංචි ලී බංකුවේ මම වාඩි ගත්තද ඔහු මට පිටුපා සිටගෙන උන්නේය.
"ජේඩන්..."
"ඇයි ආයේම ආවේ?" ඔහු මට බාධා කරමින් ඇසීය.
"ඔයා ඉන්නේ මා එක්ක තරහින් නේද?" මම අසීමි.
"තරහක් නෙවෙයි පංචලී...මගේ හිතේ තියෙන්නේ කලකිරීමක්..." ඔහු කී විට මහිත යලි රිදිනි.
"ඒ කියන්නේ...මම ආයෙම ආපු එක ඔයාට වැඩක් නෑ කියන එකද?" මම ඇසීමි.
"ඔයා ආයෙම ආවේ ඇයි කියන්න මම දන්නේ නෑ. එහෙම නොදැන මට ඒක කියන්න බෑ" ඔහු තවමත් උන්නේ මට පිටුපා ය.
"මම ආවේ, ඔයාට කියන්න බැරි වුණ, මගේ හිතේ විතරක් මෙච්චර කල් මම තියාගෙන උන්නු දේ ඔයාට කියන්න ඕන නිසයි..." මම සෙමෙන් කීවෙමි.
"දැන්...දැන්ද ඒක ඔයාට කියන්න ඕන වුණේ? මම කොච්චර බලාගෙන හිටියද ඔයා මොනවාම හරි කියාවි කියලා...ඒත් දැන් මගේ හිත කැඩිලා ඉවරයි පංචලී..."
"මම කියන දේ අහන්න ජේඩන්...මේ කිසි දෙයක් මම හිතලා ඔයාගෙන් දුරස් වෙන කල දේවල් නෙවෙයි. ඔයා තරමටම මමත් හිතින් විඳෙව්වා...ඒත් ඔයාට වඩා බාධක මට තිබුණා. ආයෙමත් කාටවත් ලං වෙන්න මාව බය කරපු අතීතයක් මට තිබුණා. මම නිස හිත රිද්ද ගත්තු, තාමත් හිතින් දුක් විඳින පවුලක් මට තිබුණා...මම මොනවත්ම නොකියා හිටියේ ඔයා ගැන නොහිතන නිසා නෙවෙයි..." මම හැඬුම්බරව කීවෙමි.
"ඔයා කියන්න හදන්නේ ඔයා දැන් ආවේ මම උදේ ඔයට ඉන්න කියපු නිසා කියලද? එහෙම නම් ඇයි එවෙලේ නැවතුනේ නැත්තේ? කොහොමද හදිසියේම ඉන්න හිතක් ඔයාට පහල වුණේ?" ඔහු මදෙසට හැරී ඇසුවේය.
මම ඔහු දෙස බැලීමි. මට මා  ගැන මෙන්ම ඔහු ගැනද දැනුනේ දුකකි. ඔහු වැරදි නැත. මෙතරම් කලක් මා වෙනුවෙන් සිටි, මට ආදරය කල ඔහු වැරදි නැත. එනිසා මේ සියල්ල මා ඇසිය, විඳවිය යුතු විය.
"ඉන්න නො ඉන්න එක තිරණය වෙන්නේ, ඔයාට මාව ඕනද එපාද කියන එක මත ජේඩන්. ඒත් මම ආවේ ඒ නිසා නෙවෙයි. මගේ හිතේ තියෙන දේ ඔයාට කියන්න ඕන නිසා. සමහරවිට මම එද්දි මගේ හිතේ ඉන්න ඕන කියලා හිතක් තියෙන්න ඇති. ඒත්...දැන් ඔයා දිහා බැලුවාම ඒක ගැන මට හිතන්න බෑ. ඒකට ඔයා වැරදි නෑ ජේඩන්...වැරදි මමයි" මම කීවෙමි.
ඔහු මදෙස බලා උන්නේ අපැදිලි හැඟීමකින් මෙනි.
"මම ආවේ...දැන් සෑහෙන දවසක ඉඳලා...ඔයා නොදන්නවට...මම ඔයා ගැන හිතන වග කියන්නයි. ඒක මෙහේමයි කියලා විස්තර කරන්න මට බෑ. ඒත්...ඔයාව මතක් නොකරපු දවසක්, පැයක්...මේ ගෙවුණ මාස කීපෙදි තිබිලා නෑ. ඔයා ටෙක්සාස් ගිහින් ආවාම මම මේ සේරම කියන්න හිටියේ. ඔයා මගෙන් අහපු ප්‍රශ්ණෙට උත්තරයක් විදියට..." මම අපහසුවෙන් වචන ගලපාගනිමින් කීවෙමි. ඕනෑම මොහොතක මට හැඬෙන්නට ඉඩ තිබුණු බැවින් මම කතා කලේ සෙමිනි.
"ඔයා...දැන්....? පංචලී..."
"මම ඔයාට ආදරෙයි ජේඩන්...මහා ගොඩක් ආදරෙයි..."
අවසානයේ මා ඔහුට එය පවසන්නට සමත් වීමි. ජේඩන් දෑස් අයාගෙන මදෙස බලා උන්නේය.
මම බංකුවෙන් නැගිට ඔහු පසු කර අඩියක් දෙකක් ඉදිරියට ඇදුනෙමි.ඔහුගේ කලකිරීම, හිත් වේදනාව, අප අතර යම් පවුරක් බැඳ ඇත්තාක් සේ මට දැනුනි. එනිසාම සිත මහත්සේ වේදනාවට පත්ව තිබිණි. යලි ඔහුට දුකක් දෙන්නට මට උවමනා නොවීය. ඔහුට මා එපාව ඇතැයි කියා මහිත මට පවසන්නට වූයෙන්, තවත් එතැන හිඳින්නට මට හැකියාවක් නොවිණි.
"ඒත්...මම ඔයාට වදයක් වෙන්න ආස නෑ. ආයෙම හිත රිද්දන්න ආස නෑ. ඒ නිසා...මම....යන්නම්"
 එසේ කියා මම මට පැත්තකින් සිටගෙන උන් ජේඩන් දෙස යන්තමට බැලීමි. ඔහු කල්පන කරමින් උන්නේය. නමුදු කිසිවක්ම කීවේ නැත. ඉන්නට හෝ යන්නට කියා කීවේද නැත. අපි වචනයකුදු නොදොඩා තව මොහොතක් දෙකක් නිසොල්මනේ උන්නෙමු. ජේඩන් කිසිවක් හෝ කියාවි යැයි මහිත බලාපොරොත්තු වුවද ඔහු නිහඬවම උන්නේය. ඉතින්, මසිත විසිරිණි. තවත් එතන රැඳෙන්නට හේතුවක් ඉහු මට දුන්නේ නැත.
"හැමදාමත් මම ඔයාට ආදරේ කරනවා...ඒක වෙනස් වෙන්නෑ...මම ගිහින්.....මම යන්නම්"
ජේඩන් යලි කිසිවක්ම කියන්නට පෙර මම එතැනින් දිව එන්නට ආවෙමි. ජේඩන්ගේ මිදුලේ සීමාව පනින්නටත් පෙරම මට මහා හයියෙන්නම හැඬෙන්නට විය.
කාඳුලු පිසින්නට හෝ පමා නොවී මම ආපසු අප පැමිණි කුලී රිය වෙත දිව ගියෙමි. මා දොර හරිද්දී, මද නින්දකට වැටී හුන් සුදම් ගැස්සී මෙන් රියට නැග වාඩි වූ මදෙස බැලුවේය.
"පංචලී...මොකද වුණේ? ඔයා...ඇයි මේ? මොකද වුණේ කියන්න?" ඔහු කලබලව උන්නේය.
"අපි යමු...කිසි දෙයක් වුණේ නෑ...අපි යමු. ආපහු කැම්පස් එකට" මම නොහඬා ඉන්නට උත්සාහ කරමින් රියදුරුට කීවෙමි.  නමුදු තවම්ත් දෑස් ව්ලඉන් කඳුලු වැටෙමින් තිබිණි.
"ජේඩන් හිටියද? එයා මොකද කිව්වේ?" රියදුරා රිය පණගනවා පාරට දමන අතරේ සුදම් යලි මගෙන් විමසීය.
මා හිස වැනුවා පමණි. කථා කරන්නට හැකියාවක් මට තිබුණේ නැත. දුක සේම සියුම් ලැජ්ජාවක්ද මහිතේ පැතිර යමින් තිබිණි.
"මට ...මේක විශ්වාස කරන්නත් බෑ...මම හිතුවා..." සුදම් ඉතිරිය කීවේ නැත. මම දණහිසේ හිස හොවාගෙන හැඬුම් වලකාගෙන, හිස නිරවුල් කරගන්නට උත්සාහ කලෙමි. සිදු වූ දෙය මට මහත් කම්පනයක් ගෙන දුන්නක් විය. රියදුරා වාහනය නොහරවාම ඉදිරියට ධාවනය කලේය. එහි වූ අනෙක් වංගුවෙන් හැරවූ පසු අපගේ සරසවිය දෙසට ගමන් කල හැකි තව මාර්ගයක් තිබූ බව මම දැන උන්නේ, ජේඩන් හා මා කීප වරක් එම මග ඔස්සේ ගොස් ඇති බැවිනි. එනිසාම, ජේඩන්ගේ නිවෙස පසු වනු පවා මට යලි දකින්නට නොලැබිණි. සුදම් අනවසරයෙන්ම මුදුවට මහිස අතගෑවේය.
මීලඟට සිදු වූයේ මා කිසි සේත්ම අපේක්ෂා නොකල දෙයකි. හදිසියේම අප හුන් රිය වේගයෙන් තිරිංග දමා නැවතුණු අතර, රියදුරුගේ මුවින් පිට වූයේ අසැබි වදනකි. දණහිසේ හොවා හුන් මහිස ඉදිරිපස ආසනයේ වේගයෙන් වැදුනු අතර සුදම් ඒ සැනෙන් මා පිටුපසට ඇද ගත්තේය.
"මොන...මැරෙන්න හදනවද මන්දා!"
කිසිවකු රියේ ගැටෙන්නට ගියාදෝයි බලන්නට අප දෙදෙනාම රියේ ඉදිරිපසින් එබුණේ එකවරය.
"මොකද? කවු...ද?"
නමුත් එයට ඉබේටම පිලිතුරු ලැබිණි. මම අසල හුන් සුදම්ගේ අතක් මිරිකාගත්තේ ඉබේටමය. සුදම් ද වික්ෂිප්තව බලා හුන්නේය.
"ජේඩන්...." ඊලඟ මොහොතේ මම වහා රියෙන් බැස ගතිමි. ජේඩන් බගෙට නැමී දනි අල්වාගෙන හති ලමිනුන්නේ බොහෝ දුරක් දිවූ කලෙක මෙනි. මම ඔහු වෙත ඇදුනේ කිසිවක් සිතාගත නොහැකිවය. මා අසලට එනු දුටු ඔහු කෙලින් වී මදෙස බලාගෙන හති ලන්නට විය.
"ඉන්න...පොඩ්ඩක් නවතින්න..." ජේඩන් හතිලමින්ම එසේ කීවේය.
මම තවමත් අන්ද මන්දව ඔහු දෙස බලා උන්නෙමි.
"මට...කතාකරන්න ඕන..." ඔහු යලි කීවේය.
මම සෙමෙන් ඇවිදගෙන ඔහු අසලට ගියෙමි. සිදු වූ දෙය අනපේක්ෂිත වුවද සිතේ බලාපොරොත්තුවක් සෙමෙන් ලියලමින් තිබිණි. අප අතර අඩි කිහිපයක පරතරයක් තිබියදී මම ඔහු දෙසම බලාගෙන නතර වීමි. ඒ අතරේ සුදම් රියදුරා අස්වසන්නට යමක් පවසනවාත් යන්තමින් මට ඇසුණි.
"කියන්න..."මම සෙමෙන් කීමි.
"මාව...දාලා....යන්න...එපා...පංචලී...." ඔහු හති ලමින්ම මට කීවේය.
මට මොහොතකට දෙසවන් අදහාගත නොහැකි විය. එනිසාම මම ගල් ගැසී ඔහු දෙස බලා උන්නෙමි.
"මො...කක්ද?"
ජේඩන් මා අසලට ඇවිද විත් මාගේ දෝතම අල්වාගෙන මගේ දෑසට එබුණේය. එහෙත් මට ඔහුගේ රුව පෙනුනේ බොඳව ය. සිතුවිලි වල දැඩිකම නිසාදෝ මා දෑස් වලට කඳුලු පුරමින් තිබිණි.
"මම ටිකකට කලින් හැසිරුණ විදිහ ගැන මට කණගාටුයි පංචලී...මට ඔයාව ඕන නොවුණා නෙවෙයි...මට...ඔයා නැතිව ඉන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි වුණා විතරයි. මමම් තරහින් හිටපු වග ඇත්ත...ඒත්...ඔයාව ඕන නූනා නෙවෙයි..." ඔහු සෙමෙන් කියන්නට විය.
මම බිම බලාගතිමි.
"මට සමාවෙන්න පංචලී..."
"නෑ..නෑ...එහෙම කියන්න එපා..." මම මුල්ම වතාවට කතා කරමින් එසේ කීවෙමි.
"ඇත්තමයි මම බය වුණා ඔයා යන්න ඇති කියලා. මම අර පැත්තේ වංගුව දිහාටත් දුවලයි මේ පැත්තට ආවේ...මං ඇත්තටම බය වුනා ඔයා ගිහින් ඇති කියලා" ඔහු කීවේ හැගුම්බරවය.
"ඒ තරම් ඉක්මණට මම ඔයාගෙන් ඈත්වේවි කියලා ඔයාට හිතුණද?" මම ඇසීමි.
"මම දන්නෑ...කියන්න ඔයා මට සමාව දෙනවා නේද කියලා?"
"ඇයි ඒ? ඇයි එහෙම කියන්නේ?"
"මම ඔයාව ඇඬෙව්වා..."
"ඒකට කමක් නෑ. මම අනන්තවත් ඔයාගේහිත රිද්දලා තියෙනවා..." මම කීවෙමි.
"ඒක එහෙම වුනා වුණත්, මම ඒ ගැන හිතන්නෑ. ඒක මට වැඩක් නෑ දැන් ඔයා මා ලඟට ඇවිත් ඉද්දි. මම කියන්නේ...මම කලින් හැසිරුණු විදිහ වැරදියි. ඇත්ත, මම හිටියේ දුකෙන්, කලකිරීමෙන් තමයි. ඒත්...ඔයාව එපා වුණේ නෑ. කවදාවත්. කොහොමටවත්. දුක වැඩියෙන් දැනුනේ ඒ නිසා වෙන්න ඇති"
"මට තේරෙනවා ජේඩන්..."
ඔහු මා දෝත මිරිකාගත්තේය.
"මට නපුරු වෙන්න ඕන වුණා, ඒකයි ඇත්ත. ඔයාව මම නැවැත්තුවේ නැත්තේ ඒකයි. ඒත්...මට ඔයාව නැති කරගන්න ඕන වුණේ නෑ. වැඩියක්ම ඔයා මට...ආදරේ වග දැන දැන..." ඔහු පුන පුනා එකම දේ කීවේ එය වඩාත් තහවුරු කරන්නට ඔහුට උවමනා වූ නිසාවෙන්මය.
"ඒක්ද වාහනේට හැප්පෙන්න ආවේ?" මම සිනාසෙන්නට උත්සාහ කරමින් ඇසීමි.
"හ්ම්...හැප්පිලා හරි නතරකරගන්න ඕන වුණා තමයි. හිතන්න...ඔයා අද මට මගෑරුණා නම්, මොනවා වෙයිද?"
"මොනා වෙයිද?" මම එයම ප්‍රතිරාවය කලෙමි.
"ඔයාගේ හිත රිද්දපු තව කෙනෙක් කියලා ඔයා මාව අමතක කරන්න හදාවි..."
"ඔයා එහෙම හිතනවද?"
"මට එහෙම හිතුණා..."
"අද ගියාට අපි ආයෙම මුණගැහෙන්න ඉඩ තිබුණා" මම කීවෙමි.
"ඔව්...ඒත් සමහරවිට, මම ඔයාව අමතක කලා කියලා හිතලා ඔයා වෙන තීරණයක් ගන්නත් ඉඩ තිබුනා. නේද?"
"ඔයා එහෙම හිතනවද?" මම ඇසීමි.
"මට හිතුණේ වෙන්න පුලුවන් නරකම දේවල් ඒතරයි පංචලී...ඔයා ගියාට පස්සේ මොනා හිතන්නද කියලා මට තේරුණේ නෑ"
මම ඔහුගේ දෑස් දෙස කෙලින්ම බැලීමි.
"ඔයා මාව විශ්වාස කරනවද ජේඩන්?" මම ඇසීමි.
"ඒක අහන්න ඕන මමයි.ඔය, මාව විශ්වාස කරනවද? සංකේත් වගේ දුකක් ඔයාට මම නොදේවි කියලා ඔයා විශ්වාස කරනවද?"  ඔහු මුදුව ඇසිය.
"මම හිතන්නේ...ඔව්"
මම මද සිනාවක් පෑවේ සිතින් සෙනෙහස දොරේ ගලද්දීය.
"විහිලු නෙවෙයි පංචලී...ඒක මට ඇත්තටම දැනගන්න ඕන දෙයක්"
"මම කිව්වේ ඇත්තටම. ඒත් ඒකේ තේරුම ඔයා මට බැඳිලා කියන එක නෙවෙයි. මම තේරුම් ගත්තු දෙයක් තිබුණා ජේඩන් මෙහේදි. ඒ තමයි...කිසි දෙයක් අතේ ගුලි කරගෙන තියාගන්න බෑ කියලා. අපි ආදරේට නිදහස දෙන්න ඕන. ඒක රැඳෙනවා නම් රැඳේවි. නැත්තම් ගසාගෙන යාවි
ජේඩන් මදෙසට හෙලුවේ සුපරීක්ෂාකාරී බැල්මකි.
"හරියටම කිව්වොත් ඔයා මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නෑ කියන එයයි ඒ කියන්නේ. එහෙම නේද?"
"නෑ...ජේඩන්. එහෙම නෙවෙයි. මම කියන්නේ ඔයාගේ නිදහස මම නිසා සීමා කරගන්න එපා කියලයි. ඔයා මිනිස්සු ආශ්‍රය කරන විදිහ මත මම ඔයා ගැන හිතන විදිහ වෙනස් වෙන්නෑ කියලයි මම කියන්නේ"
ජේඩන් සුසුමක් හෙලුවේය.
"පංචලී...දවසක් ඔයා තේරුම් ගනීවි, මම ඔයාට කොච්චර විශ්වාසවන්තව හිටියද කියන එක...මම දන්නවා, ඔයාට වෙච්ච දේවල් එක්ක එක පාරටම තව කෙනෙක් ගැන පූර්ණ විශ්වාසයක් ඇති කරගන්න අමාරු වග. ඒ නිසා...ඒ කාලේ ඔයාට දෙන්න මට ඕන" ඔහු කීය.
මම ඔහුට මද සිනාවක් පෑවෙමි.
"ඔයාට ස්තුත්යි ජේඩන්...සත්තයි මටත් ඔයා ලඟ ඉන්න ඕන..."
"මම කවදාවත්...කවමදාවත්...ඒ විශ්වාසේ කඩන්නේ නෑ. මම ඔයාට පොරොන්දු වෙනවා..." ඔහු කීය.
"පොරොන්දු තියෙන්නේ කඩ කරන්න..." මම කීවෙමි.
"ඒ මේ පොරොන්දුව නම් නෙවෙයි..."
"ඇත්තමද?"
"ඇත්තමයි..."
ඉන්පසු මොහොතක් අපි අප දෙදෙනා දෙස බලා උන්නෙමු. ඔහුගේ ආදරය, කැපවීම මෙන්ම සෙනෙහසත් මට පසක් වී තිබිණි. වචනයෙන් පැවසිය නොහැකි කුමක්දෝ බැඳීමකින් මා ඔහුට සමීප වී තිබිණි. එය හිතේ ගැඹුරින්ම පසක් වූ, වචනයට නැගිය නොහැකි වූ විශ්වාසයක් සහ බැඳීමක් විය.
අවසන ඔහු මුදුවට මා වැලඳගත්තේය. පාරේ ගමන් කරමින් තිබූ වාහන හෝ, මග දෙපස හුන් මිනිසුන් හෝ ගැන නොසිතා ඔහු මා වැලඳ ගත්තේය.
"මම ඔයාට ආදරෙයි පංචලී...ගොඩක් ගොඩක් ආදරෙයි..." ඔහු මාගේ කනට සෙමින් කෙඳිරීය.
"මමත් ආදරෙයි ජේඩන්....මමත් ආදරෙයි..."
අවසන සියල්ල මා සිතූ ලෙසම හා ජේඩන් පැතූ ලෙසම ඉටු වී තිබිණි.

"මදෑ...අපි මහන්සි වෙච්ච තරමක්..."
එදින රාත්‍රියේ ජේඩන්ගේ නිවසේ, සුදම් ද ඇතුලුව අප දෙදෙනාගේ සියලුම යහලු යහෙලියන් රැස්ව උන්නහ.  ලොකූ සාදයක් නොවූවත්, එය සතුටුදායක හැන්දෑවක් විය. ඩීනෝ, සොනාලි හා එක්ව මට සරදම් කරමින් උන්නහ. සුදම් සහ නයෝමි සාලයේ එක පසෙකු කුමක්දෝ බරපතල කතාවක යෙදී හුන් සෙයක් පෙනුනි.
"එහෙම තමයි...හොඳ දේවල් ලේසියෙන් ලබා ගන්න බෑ..." පූජා කීවේ බැරෑරුම් බවක් මවා ගනිමිනි.
"හා...පේනවා. පේනවා...ඔයා  හුඟාක් වටින වග නම් පේනවා... ඒකනේ කවුරුත් තාම ලබාගෙන නැත්තේ" මන්ජීත් කීවේය. පූජා චට පට ගා මන්ජීත්ට බැන වදිනු මම බලා හුන්නේ සිනසෙමිනි.
"මට නම් කියාගන්න බැරි තරම් සතුටුයි පංචලී...මම බයේ හිටියේ ඔය දෙන්න වෙන් වේවිදෝ කියලා...වාසනාවට එහෙම වුණේ නෑ...කොච්චර දෙයක්ද?" මා සමීපයේ හුන් එරික් කීවේ බෙහෙවින්ම හැඟුම්බරව ය.
අසල වූ නජීබා සිනහව මැඩගෙන දෑස් රෝල් කරමින් අහක බලා ගත් අතර, මම ඈට රවා එරික් හට ස්තුති කලෙමි.
"එහෙනම් ඔයාලා විනෝද වෙන්න...හෙට පංචලී යන්නත් ඕන හන්දා අපට පොඩ්ඩක් වෙලාව දෙන්න-."
"මොනා කරන්නද?" ජේඩන් කියා අවසන් කරන්නටත් පෙර ඩීනෝ ඇසීය.
"කතා…….. කරන්න..." මන්ජීත් ඇද පැද කීවේය.
මම ලැජ්ජාවට පත් වීමි.
"ඇත්තටම කතා කරන්න තමයි...එන්න පංචලී..." ජේඩන් එසේ පවසා මාත් ඇදගෙන ගෙතුලෙන් මෑත්ව පිහිනුම් තටාකය තිබූ දෙසට පැමිණියේය. අඩ සඳ අහසේ පාත කෙලවරක පායා තිබූ අතර, තටාකය අවට තිබුණේ එහි මන්දාලෝකය හා ගෙතුලින් වැටී තිබූ මුදු ආලෝකය පමණි. අප අදෙදෙනා තටාකය අසල වූ දිගු පුටුවක වාඩි ගතිමු.
"ඔයා හෙට ගියාම මට පාලුයි. ඒත්...ඔයා ගිහින් පවුලේ අය හම්බවෙලා එන එකට මම කැමතියි" ජේඩන් මගේ සුරත අල්වාගෙන කීවේය.
"හ්ම්...සමහරවිට එයාලා එක පාරම මේක තේරුම් ගන්න එකක් නෑ. ඒත්...මම උත්සාහ කරනවා ඒක තේරුම් කරන්න" මම කීවෙමි.
"අකමැති වුණොත්?" ජේඩන් ඇසීය.
"ඒක අපි එවෙලෙට බලමු" මම හිනැහී කීවෙමි.
"ඔයාව මගෙන් ඈත් කරන්න බෑ. මම එහෙම කරන්න දෙන්නෑ"
"එහෙම ඕන වෙන එකක් නෑ" මම ඔහුව අස්වසාලමින් කීවෙමි.
ජේඩන් හිනැහුණේය.
"සුදම් හොඳ කෙනෙක්" ඉන්පසු ඔහු කීවේ සුසුමක්ද හෙලමිනි.
"ඔව්.."
"හදිසියෙන් වුණත් එයාව අඳුනගන්න ලැබීම මට සතුටක්. නැත්තම් මම ජීවිත කාලෙම මිනිහට ඉරිසියා කරන්නත් ඉඩ තිබුණා" ජේඩන් හොරැහින් මදෙස බලමින් කීය.
"හපෝ...හරි නරකයි නේ"
"නරකයි නෙවෙයි...ආත්මාර්ථකාමීයි" ජේඩන් මා නිවැරදි කලේය.
එකටම සිනාසුනු අප දෙදෙනා තප්පරයක් දෙකක නිහඬව රාත්‍රියට ඇහුම්කන් දෙමින් උන්නෙමු.ඈත දිලෙන සඳ දෙස බලාගෙන කල්පනා බරව හුන් ජේඩන් දෙස මම බැලුවේ මහත් වූ සෙනෙහසිනි. ආදරය...කෙතරම් සුන්දරද?
කාලන්තරයක්, මා හැඬවූ, මා පෙලූ ආදරයම අද ම හට සතුට හා සැනසීම ගෙනැවිත් දී තිබිණි. ඒ ආදරය සොයා ලෝකයේ එක් කෙලවරක සිට තව කෙලවරකට මට පැමිණෙන්නට වුවද, විශ්වීය වූ ප්‍රේමය මා ජේඩන්ගේ නෙතු තුල, ඔහුගේ උණුසුම තුල අවසානයේදී සොයා ගතිමි.
මේ සියල්ල නිදහස් වූ සිතින්මෙනෙහි කරමින්මම ජේඩන්ගේ උරහිසට බර වීමි. සිතට සියුම් දුකක දැනවූ එකම දෙය වූයේ සතිතුනකට ජේඩන්ගෙන් වෙන්ව, හෙට මා යලි බොස්ටන් බල යා යුතු වීමයි.  මට සුසුමක් හෙලුනේ ඉබේටමය. ඔහු හිස හරවා මදෙස බැලීය.
"ඇයි පංචලී?"
"අපි ආයේ මෙහෙම මුණගැහෙන්නේ සති තුනකින්...කොච්චර දිග කාලයක්ද?" මම කීවෙමි.
"ඒත්...අද මුලු රෑම අපට තියෙනවා..." ජේඩන් කීවේය.
"මුලු රෑම ඇහැරලා ඉන්නද කල්පනාව?" මම දෑස් පුංචි කොට ඇසීමි.
"මට පේන්නේ එහෙම වෙයි වගේ"
"ම්ම්?"
"මුන් ටික යන පාටක් නෑනෙ අද" ජේඩන් හිනැහෙමින් කීවේ සාලය දෙසින් නැගී ආ උස් සිනා හඬ දෙසට හිසින් සන් කරමිනි.
මම සිනාසෙමින්ම, ඔහු දෙස බලා උන්නේ ඔහුගේ සතුට ගැන වඩාත් ප්‍රීති වෙමිනි.
"සති තුන ඉක්මණට ගෙවෙයි නේද?"
"ඔව් අනිවාර්යෙන්ම. මම හැමදාම ඔයාට කතාකරන්නම්කෝ. හරිද?"
"හරි" මම පොඩි එකකු සේ හිස වැනීමි.
මම මොහොතක් බිම බලාගෙන හෙට දවස ගැන කල්පනා කලෙමි.
"මට ඔයා නැති පාලුව දැනේවි ගොඩක්..." ජේඩන් සෙමෙන් කීවේය.
"මටත් ඔයා නැති පාලුව දැනේවි" මම කීවෙමි.
මම ජේඩන්ගේ දිලිසෙන දෑස්  වෙත එබුණෙමි. ඔහු මදෙස බලා උන්නේ දයාබරව ය.
"ආයෙම මුණගැහෙනකල්..."
"ඔව්...ආයෙම මුණගැහෙනකල්..."
සුමුදු සඳ හා තරු එලියේ ඔහු මා මුදුවට සිප ගත්තේය. මම ඔහුගේ උණුසුමට ගුලි වුණෙමි. එදා ඒ සඳ එලිය තරම්ම, ඒ නිහඬ රාත්‍රිය තරම්ම සිතද ශාන්ත හා නිශ්චලව පැවතිණි.අවසානයේ හෝ ප්‍රේමය මා හට මා සෙවූ, සතුට සහ සැනසුම උදා කර දී තිබිණි.



නිමි.

6 comments:

  1. තවත් ලස්සන කතාවක අවසානය..
    සුභ පැතුම් නෙතූ..

    ReplyDelete
  2. හෆොයි නෙතු මේකේ අන්තිමේ නම් චා ඈ අනිත් කතා 2 තරම් උනන්දුවකින් ලියලා නැද්ද මන්ද :/


    කොහොම උනත් ස්තුතියි කතාව දුන්නට ^_^

    ReplyDelete
  3. ane manda kalabele kathawe liyala iwere karala wage thama mate hithennne nam :( nywy thanks for the update and for the new story,, i hope you wont run with that new story :) cheers !!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. it is an interesting story...I read it twice...good luck

    ReplyDelete