Tuesday, December 4, 2012

විසි තුන්වන කොටස



"පංචලී...ඇහැරෙන්නේ නැද්ද? හොඳටම පරක්කු වෙලා. අද උදේ ලෙක්චර් එක ප්‍රොෆෙසර් කෝල්මාන්ගේ. ළමයෝ..."
උදෑසන සොනාලිගේ හඬ මට ඇසුනේ ඈත ලෝකයක සිට පාව එන්නාක් මෙනි. මම අපහසුවෙන් දෑස් විවර කර බලද්දී, දේශණ සඳහා යාමට හැඳ පැලඳගෙන උන් සොනාලි මගේ යහන අසල සිටගෙන උන්නාය.
"අද යන්නැද්ද?" නිදිගැට කඩමින් යහනේ වාඩි වූ මගෙන් ඈ විමසුවාය.
"යන්න හිතක් නෑ සෝනු"
"යන්න හිතක් නෑ. ඔයාගේ මොලේ හොඳ නැද්ද? මේ, පිස්සු නැතිව ඇවිත් ලෑස්ති වෙන්න. ඉක්මණට ගියොත් යාන්තම් වෙලාවට යා ගන්න පුලුවන්" සොනාලි මාගේ පොරෝනය ඇද දමා මට අණක් නිකුත් කලාය.
"මට බෑ සෝනු. ඇවිත් හිත එකලස් කරගෙන වැඩක් කරන්න තරම් මගේ හිත තාම කලබල වැඩියි" මම ඇඳෙන් නොබැසම කීවෙමි.
"විකාර...මෙතන තනියෙම ඉද්දි ඕක තව වැඩි වෙනවා මිස අඩු වෙන්නෑ. ගියාම මොන මොනා හරි හන්දා දේවල් අමතක වේවි" සොනාලි කියා සිටියාය.
"මට බෑ සෝනු. ඔක්කෝටම වඩා ජේඩන් හම්බුනොත් එයාට මූණ දෙන්න මට බෑ" මම කීවෙමි.
"පංචලී කරුණාකරලා ලෑස්ති වෙන්න"
"මං කිව්වනේ...මට අද යන්න බෑ. ඔයා යන්න. ගිහින් ඇවිත් ඉගෙනගත්තුවා මට කියලා දෙන්නකෝ" මම යන්තම් හිනැහී ඈට පැවසුවෙමි.
සොනාලි බලවත් කලකිරීමට පත් වූවා සේ මදෙස මදක් රවා බලා සිටියාය.
"ඕන මගුලක්" ඊට පසුව එසේ කී ඈ පිටව ගියේ යලි හැරීවත් නොබලමිනි.
මාගේ මුවට යලි මදසිනාවක් නැගිනි. සොනාලි ඉක්මණින් තරහා ගත්තා වුවද කෙදිනකවත් මා හා බොහෝ වේලා උරණව නො උන්නාය. සවස් වන විට සියල්ල සමථයකට පත් වී ඈ මා හා යලි මිතුරු වන වග මම අත්දැකීමෙන් දැන උන්නෙමි.
වසන්ත කාලය ලං ලංව එන බැවින්දෝ, පරිසරය වඩාත් සුන්දර විය. කොල හැලී ගොස් නග්න වූවාක් සේ පෙනුනු ගහ කොල සියල්ල කොල පාටේ විවිධ ප්‍රභේද වලින් යුතු පත්‍ර වලින් සිය අතු ඉති සරසවාගනිමින් උන් අතර, චෙරි ගස්, ක්‍රැබ් ඇපල් ගස් සහ වෙනත් පළතුරු ගස්, මල් පොහොට්ටු වලින් පිරී ගොස් තිබුණේ ලඟ එන වසන්තයේ උපරිම පලදාවක් ලබා දෙන්නෙමැයි යන තිර අධිෂ්ඨානයෙන් වැන්න.
ජනේලයෙන් එපිට බලාගෙන, මේ සියල්ල නරඹමින් උන් මට මොහොතකට මා දුකෙන් උන් වග අමතකව තිබිණි. එහෙත් අලු පාට මාවත් ඔස්සේ දේශණ සඳහා ගමන් කරමින් උන් සිසු සිසුවියන් දැක යලිත් මහිත බර විය. ජේඩන් ද මේ සෙනග අතර ඉන්නවාට සැක නැත. ඔහු මා එනතුරු දෑස් අයාගෙන බලා ඉන්නවා විය හැක. එහෙත් මට යන්නට නොහැකිය. ඔහු දුක් වන වග සැබෑවක් වුවද, ඒ මුහුණ දකින්නට මට ශක්තියක් නොතිබිණි.
මම යලිත් පැමිණ ඇඳේ වැතිරුණෙමි. සියල්ල එකවරම මහත් පාලු හා නීරස ලෙස මට පෙනෙන්නට විය. මා එසේ මොහොතකින්නට ඇත, නමුත් එකවරම නාද වෙන්නට වූ මාගේ ජංගම දුරකථනය නිසා මා එකවරම තිගැස්සුනෙමි. එය අතට ගෙන බලද්දී එහි සටහන්ව තිබුණේ මා හට හුරු පුරුදු නොම්මරයක් නොවේ. මම සැකෙන් බියෙන් යුතුව ඇමතුම සම්බන්ධ කලෙමි.
"හෙලෝ..."
"පංචලී..." සිත විනිවිද යමින් මට ඇසුනේ ජේඩන්ගේ කටහඬයි."කරුණාකරලා ෆෝන් එක තියන්න එපා...මට කතා කරන්න ඕන" ඔහු යලි කීවේය.
එය විසන්ධි කරනවා තබා, සෙලවීමටවත් නොහැකි තරම් සසැලී උන් මම වදනක්වත් නොකියා අසාගෙන උන්නෙමි.
"පංචලී...ඔයා අහගෙනද ඉන්නේ?" ඔහු විමසීය.
මට සුසුමක් හෙලිනි. ඔහු මා ඉන්නා වග දැනගන්නට ඇත.
"ඔයා කොහෙද ඉන්නේ? අද එන්නෑ කියන්නේ ඇයි?" ඔහුගේ හඬ නො ඉවසිලිමත් විය.
"මට සනීප මදි" මම සෙමෙන් කීවෙමි.
"මොකක්ද අසනීපේ? අසනීප නම් බෙහෙත් ගන්න ඕන. කියන්න මොකද කියලා?" එවර ඔහුගේ හඬට වේගවත් විය.
"ලොකු දෙයක් නෙවෙයි" මම කීවෙමි.
මට ඔහුගේ හඬ නාසා ඉන්නට ඇවැසි විය. ඒ හැම වචනයක් ගාණේම මහිත රිදෙන තරම් ඔහු දැන උන්නේ නැත.
"ඔයා එන්නේ නැත්තේ මං නිසානේ? ඇයි මට බොරු කරන්න හදන්නේ? පංචලී ඔයා දන්නෑ මම ඉන්නේ කොච්චර අවුල් වෙලාද කියලා. ඔයා එක පාරටම සේරම දමලා ගහලා යන්න ගියා. හරියට මම වරදක් කලා වගේ. මං දන්නෑ මම එහෙම දෙයක් කලාවත්ද කියලා. මට මේ හැමදේම මහා ප්‍රෙහේලිකාව පංචලී...අපි එදා කොච්චර සතුටින් උන්නද? ඒත් අද? ඔයා...ඔයා ඇයි මෙහෙම කරන්නේ?"
ජේඩන්ගේ වදන් වල වූ වේදනාව පිහි තුඩක් සේ මා හදවත පසාරු කරගෙන ගියාක් සේය. දෙනෙත් වලට පිරෙන කඳුලු වලකන්නට මට හැකියාවක් තිබුණේ නැත. උගුරේ විශාල ගුලියක් සිරවී ඇත්තාක් සේ දැනෙන හැඟීමෙන් මම පීඩිතව උන්නෙමි.
"ඔයාගේ වරදක් නෑ ජේඩන්. කරුණාකරලා එහෙම හිතන්න එපා" වචන ගැටගසාගත හැකි වූ සැනින් මම ඔහුට කීවෙමි.
"එහෙනම් ඇයි එදා අර වගේ මහා දරුණු දේවල් මට කිව්වේ? ඇයි කිව්වේ අපි අතර වුන දේ අත්වැරැද්දක් විතරයි කියලා?"
"ජේඩන්...ඒක වරදක් තමයි. ඔයාගෙ නෙවෙයි මගේ. ඒ මොනා වුණත් මට එතනින් එහාට දෙයක් හිතන්න බෑ. මට මෙහෙම ඉන්න ඕන" මම තතනමින් කීවෙමි.
"කොච්චර කල් ඉන්නද පංචලී? කොච්චර කල්ද? මාසයක්? අවුරුද්දක්? ඇයි ඔයාට බැරි ඒ අතීතයෙන් මිදිලා එන්න? පංචලී මං ඔයාට ආ..."
"එපා...අනේ ඔහොම කියන්න එපා...මං ගැන හිතන්න එපා. කරුණාකරලා..." මම එසේ පවසා දුරකථනය නිවා දැමුවෙමි. ඒ මට ඔහු යලි අමතන වග දන්නා නිසාය.
රැයක් පහන්වනතුරු අසීරුවෙන් හදාගත් සිත යලි විසිරී තිබිණි. ජේඩන්ගේ හඬ මට දරාගත නොහැකි තරම් විය. උදෑසන හෝ දවල් කන්නට පිරියක්ද නොමැතිව මම මුලු දවසම ඇඳට වී ඔහේ බලගත් වන්ම බලාගෙන උන්නෙමි. මම සිදු වූ සියල්ල මුල සිට මෙනෙහි කලෙමි. යලි යලිත් මෙනෙහි කලෙමි. සංකේත් විසින් සිතේ ගැඹුරට හෑරූ තුවාලය තවමත් රිදුම් දුනි. එහෙත් ජේඩන් වෙත ගොස් එය සුවපත් කරගැන්මට මට දිරියක් නොවීය. ඉදින් ඔහුත් මා දමා ගියේ නම් මගේ ලය පැලී මිය යනවා නිසැකය. තවත් දුක් ගන්නට මම අන් කවරදාටත් වඩා බිය වීමි. ආදරය...මේ තරම් දුකක් වන වග කවුරු නම් සිතත්ද?
දහවල් දවසම නින්දත් නොනින්දත් අතර ගත කල මට සවස් භාගය වන විට ඇහැරුනේ උගුර දැවිල්ල දෙන තරම් දරුණු බඩගින්නක් සමගය.
ඒ වන විටත් සොනාලි දේශණ වලට ගොස් පැමිණ උන්නේ නැත. මම ශීතකරණය වෙත ගොස් අතට අසු වන දෙයක් රැගෙන කටේ දමා ගත්තේ බඩගින්න එතරම් දැඩිව මට දැනුන බැවිනි. මම ශීතකරණයෙන්ගත් කිරි වීදුරවෙන් උගුරක් බිව්වා පමණි, කාමරයේ දොරේ අගුලු ඇරෙන ශබ්දයක් ඇසී මම මොහොතකට හුන් තැනම ගල් ගැසුනෙමි. එහෙත් ඊලඟ මොහොතේ මගේ තිගැස්ම පහව ගියේ කාමරය තුලට පැමිණෙමින් හුන් සොනාලි දැකීමෙනි.
"ආ...ඔයාද?"
මා එසේ ඇසූවත් සොනාලිගේ මුහුණේ වූයේ අමුතු පෙනුමකි. ඇය කාමරය තුලට බාගෙට ඇතුලු වී මදෙස බලා උන්නේ වරදක් කල අයෙකු සේය.
"සෝනු...මොකෝ?"
"මට සමාවෙන්න පංචලී, ඒත්...මට වෙන කරන්න දෙයක් නෑ ඔය දෙන්නා වෙනුවෙන්" ඈ එසේ කියා දොර අසලින් මෑත් වූවාය.
"ඔයා මොනාද මේ...." මා අසන්නට සැරසුනත් ඊලඟ තප්පරයේ දොර අසලින් කාමරය තුලට පැමිණි රුව ම සහමුලින්ම ගොලු කලේය. මම අත තිබූ කිරි වීදුරුව මේසය මත තබා මේසයට හේත්තු වූයේ හදිසියේ හැදුන වෙව්ලීම නිසා මා බිම පතිත වේවි යන බියෙනි. කිසිවක්ම යලිත් නොකියා සොනාලි නැවත කාමරයෙන් අතුරුදන්ව උන්නාය.ජේඩන් ද දොර අසලම හිඳ ගල් ගැසී මෙන් මදෙස බලා උන් අතර ඔහුගේ බැල්ම දරාගත නොහැකි තරම් තියුණු විය. තවත් ඔහු දෙස බලා ඉනු නොහී මම දෑස් පියාගෙන අනෙක්පසට හැරුණෙමි. සිතේ වූ හැඟීම් සියල්ල කඳුලු වල දියව ඇද වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබෙද්දී, ජේඩන් මා අසලට විත් ඇඟේ ගෑවෙන නොගෑවෙන දුරින් සිටගත්තේය. ඔහුගේ සුසුම් වල උණුසුම මගේ හිස මුදුනතට දැනුනි. සොනාලි කල දෑ ගැන මහිතේ සියුම් කෝපයක් වූවත්, එය ජේඩන් දුටු විට හිතේ පැන නැගි හැඟීම තරම් ප්‍රබල නොවිණි. මහිත සිතුවිලි රැසක් පැටලී එකම අවුල් ජාලයක්ව තිබූ අතර මේ මොහොතේ කල යුත්තක් මට සිතාගත නොහැකි විය.
"පංචලී..." ජේඩන්ගේ මුදු හඬ මා සවනත පතිත වෙද්දී ඔහුගේ දෑතෙ පහස මගේ උරහිස මත මට දැනුනි. මම උරහිස හැකුලුවේ නිරායාසයෙන් මෙනි. එහෙත් ඔහු මා අතහැරියේ නැත.
"මා දිහා බලන්න..." ඔහු දෑතේ වෙර යොදා මා ඔහු වෙත හරවාගන්නට උත්සාහ කලේය.
"මට ඉන්න දෙන්න ජේඩන්" බැරිම තැන මම ඔහුගේ අත ගසා දමා ඔහුගෙන් ඈතට වීමි. එහෙත් යහනේ හැපුණ පසු මට තවත් යන්නට දුරක් තිබුණේ නැත. මම එහි සිටගෙන බිම බලා උන්නෙමි. ජේඩන්ගේ මුහුණේ වූ දුක මුසු පරාජිත බැල්ම මා ඇතුලාන්තයෙන් දව හලු කරලන සුලු විය.
"මොනාද පංචලී ඔයා මේ කරන්නේ?" සිය හිස අතගාමින්, කලකිරීමෙන් මෙන් හිස වැනූ ජේඩන් මගෙන් විමසීය. මම මුනිවත රැක්කෙමි.
"ඇයි මට මෙහෙම කරන්නේ? මම මොකක්ද ඔයාට කරපු වරද? කරුණාකරලා මට කියන්න...මට මේක දරාගන්න හරි අමාරුයි..." ඔහුගේ හඬ වේදනාබර විය.
නෙතේ වියලෙමින් තිබූ කඳුලු යලි අලුත් විය. මට තවමත් ඔහු දෙස බලන්නට දිරියක් නොතිබිණි.
"ඇයි ඔයා ආවේ?" මම ඇසුවෙමි.
"මොකක්ද?" ජේඩන් අසිහියෙන් මෙන් විමසීය.
"ඇයි....මෙහෙම ආවේ?"
මා දෙස මොහොතක් විමතියෙන් මෙන් බලා හුන් ජේඩන් මදෙසට විත් යලි මා උරහිස් දැඩිව අල්ලා ගත්තේය.
"ආවේ...ආවේ මට දැනගන්න ඕන නිසා ඔයා ඇයි මෙහෙම කරන්නේ කියලා...දෙයියන්ගේ නාමෙට මට ඒක කියන්න. ඔයා හිටපු ගමන් ඔහොම වෙනස් වුණාම මම කොච්චර අවුල් වුණාද කියලා ඔයා දන්න්වද? හැමදේම එක රැයකින් කණපිට පෙරලිලා වගේ හරියට. දැන්වත් කියන්න පංචලී, ඇයි ඔයා මෙහෙම කරන්නේ?"
ඔහු මා උරහිසින් අල්වා මා සෙලවීය. ඔහු මා අතෑරිය පසු ඒ වේගයට මම ඇඳේ ඉන්දවිනි. එවර මම දෝතේ මුහුණ සඟවාඅගෙන හඬන්නට වීමි. ජේඩන් මා අසල දණගසාගෙන මා දෑත ඇද මාගේ මුහුණට එබුණේය.
"අඬන්න එපා...අඬන්න එපා!! මට උත්තරයක් දීලා ඉන්න. මොකක්ද මේ සිද්ධ වෙන දේවල් වල තේරුම?" ඔහුගේ හඬ නො ඉවසිලිමත් වූවා සේම එහි මද කෝපයකුත් විනැයි මට සිතිණි.
"ජේඩන්..." අවසන කඳුලු අතරින්ම මම ඔහුව ඇමතුවෙමි. "ඔයා හිතන විදියට ඔයාට ලං වෙන්න මට බෑ. මට ඒක කරන්න බෑ"
"ඇයි ඒ? ඔයා ඇයි එහෙම කියන්නේ? සංකේත් නිසාද? මොකක්ද ඔයයි සංකේතුයි අතර් තියෙන දේ? ඔයාමයි කියන්නේ ඔය දෙන්න වෙන් වුණා කියලා. එහෙම නම් දැන් ඇයි මේ?" එවර ඔහුගේ හඬ මදක් මුදු විය.
"ඔව්...සංකේත් හන්දා තමයි. ජේඩන් මට සංකේත්ව අමතක කරන්න හිත හදා ගන්න බෑ. මට ඔයා ගැන හිතන්න බෑ"
"මට කියන්න ඒ ඇයි කියලා පංචලී. වෙන් වෙලා නම් මොකක්ද තියෙන තව බැඳීම?"
"සංකේත්...මගේ කලින් මහත්තයා" මම අවසානයේ එය කියා දැමීමි.
"මොනවා? ඒ කියන්නේ...ඒ කියන්නේ..."
"ඔව් මම බැඳපු ගෑනියෙක්, එක පාරක්" මෙය මා තුලින් වියරුවක් සේ පිටවිණි.
"කලින් මහත්තයා කියන්නේ, දැන් නෑ කියන එකනේ? පංචලී...මේ අහන්න..." ඒ වර ඔහු මා උකුල මත වූ දෝත අල්වා ගත්තේය. "ඔයා මිනිස්සු දාහක් බැඳලා අයින් වුණ කෙනෙක් වුණත් මට කමක් නෑ. ඒ ඔයාගේ අතීතය. මට ඒක සතපහක වැඩක් නෑ. මට ඕන අද මේ ඉන්න ඔයාව...මට ඔයාව ඕන අදට, අනාගතේට. කරුණාකරලා පංචලී, ඔය වගේ දෙයක් නිසා මගෙන් ඈත් වෙන්න හිතන්න එපා" ඔහු ඉන්පසු කීවේය.
"මට ඒක කරන්න බෑ ජේඩන්" මම හිස වැනීමි. "මම එක දවසකුත් කිව්වා වගේ, අපේ සමාජ වෙනස්. මහත්තයා මැරුණත් එයා වෙනුවෙන් තනිකඩව ජීවිත කාලෙම ඉන්න රටක මම හැදුනේ. මම එහෙම කෙනෙක්. සංකේත් මට නොලැබුණ එක ඇත්ත. ඒත්, මට තාමත් එයාව අමතක කරන්න බෑ. ඒ වේදනාව මට ආයෙම විඳින්න ශක්තියකුත් නෑ" මම සෙමෙන් කීවෙමි.
"මොකක්ද ඔයා කියන්නේ? ඔයා කියන්නේ අපි එහෙම ඉන්නෑ කියලද? එහෙම ඉන්න බෑ කියලද? එහෙම ඉන්න එක නෙවෙයි පංචලී වැඩේ. හරි  ඔයාට ආදරෙන් උන්නු කෙනෙක් නම් ජීවිත කාලෙම කැප වෙලා උන්නට කමක් නෑ. ඒත් ඔයා මේ නහින්න හදන්නේ, ඔයාට ආදරේ නොකරපු කෙනෙක් වෙනුවෙන්" ඔහු එසේ කී විට මට ඔහු දෙස බැලුනේ නිතැතිනි. ඔහු මෙය දන්නේ කෙසේද?
"ඔයා..කොහොමද...?"
"පංචලී...මම මනෝ විද්‍යාව හදාරන කෙනෙක්. මිනිස්සුන්ගේ චර්යා මම හොඳට අඳුරන්වා. ඒත්...ඇත්තටම ඔයා කලින් බැඳලා ඉන්න ඇති කියලා නම් මම කොහොමටවත් හිතලා තිබුණේ නෑ. පංචලී...දැන් ඔය ඇති. ඔය අතීතෙන් එලියට එන්න. මගේ ලඟට එන්න පංචලී" ඔහු අවසන දයාබරව කීවේය.
"මට බෑ ජේඩන්..." මම හිතට එකඟව නූනද එසේ කියා ඔහුගේ දෑතට මැදිව තිබූ මගේ දෝත මුදා ගතිමි.
"පංචලී...ඔහොම කියන්න එපා" ඔහු යලි මා දෝත වැරෙන් අල්ලාගෙන කීවේය.
"මාව අතාරින්න. මට බෑ. මම කිව්වනේ. ආයෙත් බෑ"
"ඇයි?"
"මට විශ්වාස නෑ...කාවවත්..." මම ඒ වදන් පෙල කීවේ කෑගසා මෙන්ය.
"මාවවත්?" ජේඩන් ඇසීය.
මම නැතැයි කියන්නට හිස වැනීමි.ඔහුගේ ග්‍රහණය බුරුල් විය.
"ඔයා හිතන්නේ, මම ඔයා ඉද්දි වෙන ගෑනු පස්සේ යාවි කියලද?"
"මම දන්නෑ" මම ඔහු දෙස නොබලා කීවෙමි.
"ඔයා ඇත්තටම එහෙමද හිතන්නේ? මම විශ්වාසය තියන්න බැරි කෙනෙක් කියලා?"
"මම දන්නෑ ජේඩන්.මං කොහොමද දන්නේ?"
ඔහු සිය දෑත මවෙතින් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත්තේය.
"මම හිතුවා...ඔයා...ඔයාගේ හිතේ..මං ගැන විශ්වාසයක් ඇති කියලා. එදා අපි අතර වුණ දේවල් වලින් පස්සේ මම හිතුවා පංචලී ඔයා මට ආදරේ ඇති කියලා. මම දැනං හිටියා ඔයා දුක් විඳපු වග. මට ඕන වුණේ ඒ හැම දුකක්ම අමතක වෙන්න තරම් ඔයාට ආදරේ කරන්නයි. වෙන එකක් තියා...මං...මං ඔයාව කසාද බඳින්න පවා හිතුවා...ඒක ලොකු තීරණයක් මිනිහෙක්ගේ ජීවිතේ. ඒත් ඔයා? ඔයා...මාව විශ්වාස කලේ නෑ. මට ආදරේ කරලත් නෑ...ඇයි පංචලී? ඇයි?" ඔහුගේ හඬ පරාජිත විය.
මට කල හැකි වූයේ හැඬීම පමණකි. මා හඬමින් යහන මත හිඳගෙන ඉද්දි ඔහු මගෙන් ඈත්ව ජනේලය අසලට ගියේය.
"විශ්වාසය කියන එක සම්බන්ධෙකට ගොඩක් වැදගත්. ඉතිං ඔයා මාව විශ්වාස නොකරනවා නම්, අපි අතර එහෙම දෙයක් තියෙන්න බෑ. ඒක මට තේරෙනවා. ගොඩක් රිදෙනවා පංචලී...මෙතන (ඔහු සිය පපුතුරට මිට මොලවා පහරක් ගසාගත්තේය ), මේ හිත ගොඩක් රිදුම් දෙනවා...ඒත්, ඔයාට මොනවත් කියන්න මට බෑ. විශ්වාසේ කියන එක ආදරේ වගේ මට ඔයාට දෙන්න බෑ. ඒක ඔයා තුල ඉබේම ඇති වෙන්න ඕන දෙයක්. මට ඒක ඇති කරන්න බැරි වග මම දන්නවා. මොකද කිව්වා වගේම අපේ සමාජ වෙනස්. අපෙ ආත්ම වලට ඇතුලත් කරපු සමහර දේවල් අයින් කරන්න අමාරුයි" එසේ කියූ ඔහු යලි මවෙතට හැරුණේය.
"මම ආයෙමත් ඔයාට කරදර කරන්න මෙහෙම එන්නෑ පංචලී. ඔයාට රිද්දන්න, ඔයා කලබල කරන්න මට ඕන නෑ. මම යන්නම්. මගේ දුක ගැන ඔයා හිතන්න එපා. මම ඒක මොනා හරි කර ගන්නම්. ඔයා සතුටින් ඉන්න එච්චරයිඔහු හැඟීම් විරහිතව මෙන් එසේ කියා තව මොහොතක් මදෙස බලා උන්නේය. මම ඔහු දෙස බැලුවේ විමතියෙනි.
"ජේඩන්..."
"ඔයාට කරදර කරන්නෑ...පොරොන්දු වෙනවා මම"
"ජේඩන්..."
"මං යන්නම්"
ඔහු තව වදනකුදු නොදොඩා දොර අසලට ගියේ මම ගල් ගැසී බලා හිඳිද්දීය. ඔහුව අමතන්නට, මා ද මා යන්න එපා යැයි කියන්නට මසිතට උවමනා විය. එහෙත් මාගේ බුද්ධිය, මට එසේ කරන්නට ඉඩ දුන්නේ නැත. රෑ වැටුණ වලේ දවල් වැටෙන්නට එපා යැයි එය මා සිතට උඩින් මොර දෙන්නට විය. මේ පරස්පර විරෝධී සිතුවිලි වලින් පරි පීඩිතව මම ජේඩන් යන දෙස හඬමින්ම බලා උන්නෙමි. දොර අසලදී වරක් මදෙස හැරී බැලූ ජේඩන් ඊලඟ මොහොතේ දොර තුලින් නොපෙනී ගියේය. මට නැගිට ඔහු පසුපස දුවන්නට උවමනා විය. එහෙත් අතපය සියල්ල අවසඟ වී ඇතුවාක් මෙන් මට දැනුනි. අන්තිමේදී මට යන්තම් නැගිටින්නට දිරියක් ලැබුණ සැනින් මම දොර හැරගෙන පිස්සියක සේ කොරිඩෝව දිගේ දුව ගොස්, පොදු කාමරය හරහා ජේඩන් සොයා දිව ගියෙමි. එතනිනුදු නොනැවතී පාරා දක්වාම දිව ගියෙමි. එහෙත් ජේඩන් උන්නේ නැත. ඔහු මා දමා නික්ම ගොස් උන්නේය.
'ජේඩන්...මං ඔයාට ආදරෙයි...ආදරෙයි"
කඳුලු කැට රාශියක් කම්මුල් තෙමා වැටෙද්දී මම මටම කියා ගතිමි.

2 comments:

  1. මේ දවස්වල එක්සෑම් කරන ගමන් ඉන්නේ.ඉවර වුණු ගමන් ඇවිදින් මුල ඉදලා ඔක්කොම කියවනවා.

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි සහෝදරී...ඔයාලගේ අදහස් මට ගොඩාරියක් වටිනවා. හැමදාම මගේ කතා එක්ක එකතු වෙලා ඉඳීවි කියලා හිතනවා...
    ඔයාගේ විභාගෙට සුබ පැතුම්...ඉහලින්ම පාස් වෙන්න ඕන..

    කතාව ලියන්න පරක්කු වෙන එක ගැන යාලුවෝ හැමෝගෙන්ම සමාව අයදින්න ඕන. ඒත් පුලුවන් වුණ පලවෙනි වෙලාවෙ ලියනවා මම...තරහා වෙන්න එපෝ...

    ReplyDelete