Wednesday, January 4, 2012

පස්වන කොටස

"අර ආපු මහත්තුරු දෙන්නා ටික දවසක් ඉඳී වගේ කියලා තාත්තා කියන්නේ" සාලෙට වෙලා ආන්යාගේ හිස පීරමින් උන්නු අම්මා කිව්වාම ගෝපි එක්ක කැරම් සෙල්ලම් කරමින් උන්නු අනුහස් යන්ත්ම් හිස උස්සලා බැලුවා.
"අහන්නකෝ අම්මා, අපි එක දවසක් ආනන්ද් මහත්තයාගේ පුතාවයි, අලුත් මැනේජර්වයි දැක්කනේ"
ආන්යා කිව්වා.
"ඇත්තට, ඒ කොයි වෙලේද?" අම්මා ඇහුවා.
"අපි අර දවසක් උදේ අනූලා හොයන්න ගිය වෙලාවේ"
"අපිට එදා පුතාලා දෙන්නම හම්බුණා" අනුහස් කැරම් ඉත්තෙක්ට මාන බලමින් කිව්වා.
"කොහෙදිද?" ආන්යා ඇහුවා.
"ෆැක්ට්‍රි එක ලඟදි"
"අප්පා...ඒ දොරේ ලා දෙන්නා නියම හීරෝලා වගේ තමා"
ගෝපිත් කතාවට එකතු වුණා.
"රජිනි වගේ?" ආන්යා ඇහුවා.
"නෑ. නෑ බේබි..."
"මම හිතුවා ආනන්ද් මහත්තයාගේ පුතාල කියද්දි නිකම් සරත් කුමාර් වගේ උඩු රැවුලක් වවලා, වේට්ටි ඇඳලා ඇති කියලා. බලද්දි මේ ඩෙනිම් ටී ෂර්ට් ගහන හැන්ඩි කොල්ලෝ දෙන්නෙක් නේ" අනුහස් කිව්වා ආයෙමත්.
අම්මා හිනා වුණා.
"පුතාලා නම් හොඳ ඇති, ඒත් අර අලුත් මැනේජර් නම් අන්තිමයි. මනුස්සයෙක්ගේ මූණ බලලා කතා කරන්න වත් දන්න්නේ නෑ. කතා කරොත් අපි ගිලියි කියලා වෙන්න ඇති" ආන්යා කිව්වේ අමනාපෙන්මයි.
"ඔයා මොකටද එයාගේ වග බලන්න ගියේ? තාත්ත එහෙම දන්නවනම් බැනුම් අහන්න වෙයි" අම්මා කිව්වා.
"ඒකනේ" අනුහස් උඩගෙඩි දෙනවා.
"මම කතා කරන්න ගිය එකක් නෑ. දැක්ක දේ තමා මම කිව්වේ"
අම්මා සුස්මක් හෙලලා ආන්යාගෙ හිස මත අතක් තියාගෙනම කල්පනාවට වැටුණා.
"ඒ අයට කෑමක් දෙන්නත් ඕන කියලා තාත්තා කිව්වා"
"ඔව් ඔව්. බොස්ව ෂේප් කරලා තියා ගන්නත් එපායැ" අනුහස් කිව්වා. "අයියෝ..." ඊලඟට ඔහු ඔලුවේ අත ගහගත්තා.
"මොකෝ?"
"ආයෙම මේකා දිනුම් නේ.."
ආන්යා බලද්දි ගෝපි නැගිටලා පොඩි කාවඩි නැටුමක් නටනවා අද සිංහල සිංදුවක් කිය කිය.
"ජෙය අපටයි ලංකාවේ...ජෙය අපටයි ලංකාවේ..."

හවස ආයෙමත් වැස්සක් පටන් අරගෙන. ආන්යා ජර්සියක් දාගෙන කුස්සිය දිහාවට යද්දි අනුහස් එක්ක ගෝපි චිත්‍රපටියක් නරඹනවා සාලේ. ඒත් ඉතින් නරඹනවා කිව්වට අනුහස්ට නම් පුටුවේ නින්ද ගිහින්. ආන්යාගේ තාත්තා නැති වෙලාවට විතරයි ගෝපි මේ වගේ ගේ ඇතුලට ආවේ. තාත්තා ඉන්දැද්දි නම් ගෝපි පැත්ත පලාතකවත් හිටියේ නෑ. ආන්යාට හිනාවක් ගියා.
"ගෙදර කවුද?"
ආන්යා කුස්සියේ දොරකඩට යද්දිම වගේ ඉස්සරහින් කවුදෝ කතා කලා. ඒ හඬට හැරිලා බලපු ගෝපි ඈව දැක්කා.
"බලන්න ගෝපි කවුද කියලා" ආන්යා එතනම ඉඳගෙන කිව්වා.
"අප්පා...නාරද මාතියා"
එලියට හිස දාපු සැනින් අරගත්තු ගෝපි ආන්යට හඬ නොනගා කිව්වා.
"අනූව නැගිට්ටවන්න මම කතා කරන්නම් එතකල්"
ආන්යා ගෝපිට කියලා පෝටිකෝව දිහාට ගියා.
ඇය යද්දි ඉස්සරහා මිදුලේ නවත්තලා තිබුණ ජීප් එකෙන් එලියට හිස දාගෙන උන්නු නාරද ඇයට සුහද සිනාවක් පෑවා. නාරද ආන්යට වඩා අවුරුදු පහක් හයක් විතර වැඩිමල්, උස මහත, හිසකේ මුලුමණින්ම වගේ බූ ගාපු, බොක්සිං ක්‍රීඩකයෙක්ගේපෙනුම තිබ්බ තරුණයෙක්. පෙනුම ටිකක් විතර නපුරු වුණත් නාරද හිත හොඳ කෙනෙක් වග ආන්යා දැනගෙන හිටියා.
"ආ...මේ නාරද අයියා නේ. එන්න අයියා ගෙට" ඇයත් සුහදව සිනා වෙලා ඔහුට ගෙට ආරාධනා කලා.
මුරුගසන් වැස්සේ තෙමීගෙනම නාරද අඩියට දෙකට ගෙදර පඩිය උඩට පැන ගත්තා.
"දෙන්නම ආවා කියලා ආරංචි වුණා. ඒත් ඉතිං මේ වැඩ අස්සේ එන්නේ කොහොමද? කෑමට ගෙදර ආවේ දැන්. අලුත් මෑන් කෙනෙක් ආවා නේ. එයාට ඔරියෙන්ටේෂන් දෙන්න වුණා. අවුරුද්ද අන්තිම නිසා මේ දවස් වල යමරෙට වැඩ. ඉතිං කොහොමද? කෝ අනුහස් එහෙම? එදා බංගලාවට ඇවිත් දෙන්නා එක්ක සෙල්ලම් කලා කියලා අභි මට කිව්වා"
ඇඳුම් වලින් වතුර පිහින ගමන් නාරද කතාව පටන් ගත්තා.
"මේ ඉන්නවා...පොඩ්ඩක් නින්ද ගියා අයියා. ඉතිං කොහොමද විස්තර?" අනුහස් මෙවෙලෙම වගේ සාලෙට ආවා.
"වැඩි විස්තර නෑ කොල්ලෝ. පුරුදු විදියට ඉන්නවා. ඔයාලගෙනේ විස්තර තියෙන්නේ. කොහොමද කැම්පස් ජීවිතේ?"
පෝටිකෝවේම තිබ්බ පුටු දෙකකට බර වෙච්ච දෙන්න කතාව පටන් ගත්තා. ආන්යා ගේ ඇතුලට එන්න ආවේ අම්මට කතා කරන්න.
"අම්මේ...අම්මේ...අන්න නාරද අයියා ඇවිත්"
ආන්යා යද්දි අම්මට ඇඳේ නින්ද ගිහින්.
"ආ...මොකක්ද? ආ...ඔයාද? මොකක්ද කිව්වේ නාරද ආවා?"
"ඔව් ඔව්. අන්න සාලේ අනූ එක්ක කතා කර කර ඉන්නවා"
අම්මා ඇඳෙන් නැගිටල, හිස ටිකක් පීර ගත්තා.
"නින්ද ගියා ලමයෝ. හොඳ වැස්ස නේ. පුතේ, ඔයා කුස්සියට ගිහින් සෙල්ලම්මාට හරි රාධාට හරි කියන්න තේ මේසේ ළෑස්ති කරන්න කියලා. අපිත් දැන් තේ බොන වෙලාවනේ"
අම්මා එහෙම කියාගෙන කාමරෙන් පිට වුණා. ආන්යා කුස්සිය දිහාට ගියා.
"මේ දැන් කෑම කාලා මිසිස් වීරප්පෙරුම ආවේ. දැන් ආයේ තේ හදන්න කරදර වෙන්න-"
"කමක් නෑ එහෙම නම් කෝපි එකක් වත් බොමු. මම ලෑස්ති කරන්නත් කිව්වා"
ආන්යා කුස්සියට පණිවිඩේ කියලා ඉස්සරහට යද්දි අම්මා නාරදට තේ බොන්න කතා කරනවා.ආන්යා දොරකඩ හිටගත්තම නාරද ඈ දිහා බැලුවා.
"කොහොමද නංඟි? කොහොමද කැම්පස් එකේ තොරතුරු?"
ආන්යා බිම බලාගෙන හිනා වුණා.
"හොඳයි"
"හොඳට රැග් වෙලා ඉන්නේ" අනුහස් කිව්වා.
"රැග් එකත් කෑවද?" නාරද ඇහුවේ පුදුමෙන් වගේ.
"අනේ මේ අනූ කටවහගෙන ඉන්නවද? රැග් එක ඒ තරම් දෙයක් නෙවෙයි අයියේ. මේ අලයෝ ඒවා දන්නවයැ"ආන්යා කිව්වේ මවා ගත්තු අමනාපෙකින්.
ආන්යාට රැග් වෙන්න සිද්ධ වුණත් අනුහස් රැග් නොවි ඉන්න තීරණය කරලා තිබුණා. ඒත් ආන්යලගේ පීඨේ කාටවත් අල වෙන්න ඉඩ දුන්නේ නෑ.
"දැන් නම් වීරයා වෙලා. ඒ දවස් වල පණ බයේ පාරේ යන්නෙත්. මා එක්ක වත් කතා කරන්නේ නෑ" අනුහස් හදන්නේ ආන්යව අවුස්සන්න.
"රැග් එක ගැන් විස්තර මට නම් කිව්වේ නෑ" අම්ම ආන්යා දිහා බලලා කිව්වා.
"අනේ අම්මා දැන් ඒක ඉවරයි නේ. තවත් මොනාටද ඔය ගැන කතා කරන්නේ?"
"හරි හරි ඔය කතාව නවත්තමුකෝ. දැන් යමු තේ ටිකක් බොන්න" අම්මා එහෙම කියාගෙන නැගිට්ටා.
තේ මේසෙදි නාරද වදෙන් පොරෙන් වගේ කෝපි එකක් බිව්වා.

"ආර ආවයි කියපු මහත්තයලා දෙන්න කොහෙද, අද බංගලාවෙද?" අම්මා නාරදගෙන් ඇහුවේ ආන්යට තේ එකක් දෙන ගමන්.
"අද ගියා ඔන්න තලවකැලේ අර දිය ඇලි බලන්න යනවා කියලා. එද්දි රෑ වෙයිද දන්නේ නෑ. මටත් එන්න කිව්වා, ඒත් මේ වැඩ දාලා කොහේ යන්නද?" නාරද උත්තර දුන්නා.
"නාරදගේ ස්කූල් මේට්ලු නේද ලොකු ළමයා" අම්මා ආයෙම ඇහුවා.
"ඔව් ඔව්. අපි ඒ ලෙවල් ක්ලාස් එකේ එකට හිටියා. ඒකනේ මේ මාවම හොයාගෙන ඇවිත් අපේ බංගලාවේ ඉන්නේ"
අම්මා හිනා වුණා.
"වෙලාවක් කියලා එවන්නම්කෝ මහත්තයා අතේ, තුන් දෙනාම එන්න කෑමකට අපේ ගෙදර.අප්පු උයන ඒවම කාල එපා වෙලත් ඇති"
"වෙලාවකට නම් හිතෙනවා වලලු දාපු අතකින් උයපු කෑමක් කන්න තියේ නම් හොඳයි කියලත්. එනිවේ තෑන්ක්යූ මිසිස් වීරප්පෙරුම මම අභිලටත් කියන්නම්"
"අප්පුට වලල්ලක් දාගෙන උයන්න කිව්ව නම් හරිනේ අයියා" අනුහස් ඉතින් කිව්වොත් ඔහොම කතාවක් තමා.
නාරදයි, අම්මායි දෙන්නම් හිනා වුණා.
"දැන් ඉතින් තවත් බල බල ඉන්නේ නැතිව පෙලවහක් කර ගත්තා නම් ඔය ප්‍රශ්ණ මොනවත් නෑනෙ" අම්මා කිව්වා.
"අම්මා හදන්නේ මේ හොඳට ඉන්න කොල්ලව අමාරුවේ දාන්නද?" අනුහස් අහනවා.
අම්මා අනුහස් දිහා රවලා බලලා ආයෙමත් නාරද දිහාට හැරුණා.
"ඕන වුණාටම බෑනෙ මිසිස් වීරප්පෙරුම, කෙනෙක් ඉන්නත් එපැයි" එහෙම කියලා නාරද යන්තමට ආන්යා දිහාත් බැලුවා.
ආන්යා අපහසුවෙන් වගේ අහක බලා ගත්තා.
"ඔහොම යද්දි හම්බවෙයි. ඒක නෙවෙයි, කොහොමද අම්මලා එහෙම, හොඳින් ඉන්නවද?"
අම්මා ඒ පාර වෙනත් කතාවක් පටන් ගත්තා. නාරදගේ අම්මයි, ආන්යගේ අම්මයි කාලෙක ඉඳන් දන්න නිසා හොඳ යාලුයි. කොහොමින් හරි තව පැය බාගයක් විතර ගියාට පස්සේ නාරද යන්න නැගිට්ටා.
"එහෙනම් මම ගිහින් එන්නම්. ආයේ වෙලාවක එන්නම්කෝ"
නාරද එලියට බහිද්දි වැස්ස නැවතිලා.
"ඇති යාන්තම් වැස්ස නෑ, අම්මා මම ගෝපි එක්ක සයිකලේ පැදලා එන්නම් වටයක් ඈ?"
අනුහස් ගෙයි පිටිපස්ස දිහාට ඇදුනා.
"රෑ වෙන්න කලින් එන්න ඕනා" අම්මා ගෙට ගියේ එහෙම කියාගෙන.
ආන්යා මිදුලේ මොහොතකට තනි වුණා. ඈත මීදුමින් වැහිච්ච කඳු පෙල යාන්තම් පැහැදිලි වීගෙන එන හැටි ආන්යා දැක්කා. ඒ එක්කම් ආඅපු සීතල සුලං රැල්ලක් ඇගේ මූණේ වදිද්දි ඈ වෙව්ලුවා. ඒ එක්කම පහල වංගුවෙන් නාරදගේ ජීප් එක නොපෙනී යන හැටි ඈ බලාගෙන උන්නේ හැඟීමකින් තොරව.

3 comments:

  1. ලියන්න ටිකක් කල් ගියාට තරහා නැතුව ඇති කියලා හිතනවා. මේ දවස් වල විවිධ වැඩ ගොඩයි. ලියන්න වෙලාවක් හොයා ගන්න බැරි වුණා. ඒත් මම පුලුවන් හැම වෙලේකම ලියනවා හොඳේ...ඒ නිසා මේ පැත්තේ නැවීත්ම ඉන්න එපා....
    ඔන්න අද මම අලුත් කොටසක් දැම්මා, බලාගෙන ඉන්න ඔයාලා වෙනුවෙන්ම.

    ReplyDelete
  2. නෑවිත් ඉන්නේ කොහෙද .. හැමදාම එනවනේ .. :D

    ReplyDelete
  3. @ dream boy - eke thama :D

    ade kotasa kiywela mate nikan kathawe poddak pateluna wage ne :(

    ReplyDelete