Friday, December 23, 2011

තෙවන කොටස


දෙසැම්බර් මාසේ මේ කාලේ තිබුණේ වරු වැස්ස නිසා, හවස වහින්න කලින් උදේ හොඳට අව්ව පායලා තිබුණා. උදේ හතට විතර අවදි වුණ ආන්යා මූණ සෝදගෙන කෑම කන්න එද්දි තාත්තා කෑම කන්න මේසෙටත් ඇවිත්. කලින්දා රෑ තාත්තා එන්න ගොඩක් රෑ වුණ හන්දා තාත්තා එද්දි ආන්යා උන්නේ නින්දේ.
"ආ...ස්ලීපින් බියුටි දැනද නැගිට්ටේ?" තාත්තා ඇහුවේ හිනා වෙවී.
"ම්ම්...සීතලයි නේ උදේම නැගිටින්නේ කොහොමද? තාත්තා කීයටද ඊයේ ආවේ?"
ආන්යා කෑම මේසෙන් වාඩි වෙන ගමන් ඇහුවා.
"දොලහමාරයි එද්දි. මගදි කැබ් එකේ පැච් එකක ගියා නේ, අවිස්සාවේල්ල හරියෙදි, ඒකයි"
තාත්තා දුම් දමන ඉඳි ආප්ප බෙදා ගන්න ගමන් කිව්වා.
ආන්යත් ඉඳි ආප්ප දෙක තුනක් පිඟානට දා ගත්තා. අම්මත් මෙවෙලේ ඇවිත් රස පාට පොල් සම්බෝලයක් මේසේ උදින් තිබ්බා.
"කෝ අම්මා අනු? තාම නිදිද?"
"නෑ, ඕන්න උදේ පානදර ඇහැරලා කැලේ යනවා කියලා ගියා කුරුල්ලෝ බලන්න ගෝපිත් එක්ක"
"ඒක හොඳයි" තත්තා කිව්වා.
'කොහොමටත් ඉතින් එයාට ඒ කාලේ ඉඳලම ඔය පිස්සුව තිබ්බනේ..." අම්මා කිව්වේ තාත්තට අල හොදි බෙදන ගමන්.
ඊට පස්සේ ටික වෙලාවක් යනකල් කතා නොකර ආන්යයි, තාත්තයි දෙන්නම කෑම කෑවා.
ආන්යට මතක ඇති කාලෙ ඉඳලම අම්මා කෑවේ තාත්තයි, ඒ ගොල්ලොයි කාලා ඉවර වුණාම. ඒ අම්මාගේ ගෙදරත් එහෙම  කරපු නිසයි. අම්මා කිව්වේ හොඳ හැදිච්ච ගෑණු උදවිය කරන්න ඕන එහෙම කියලයි.
තාත්තා කොච්චර එපා කිව්වත් අම්මගේ මේ ගතිගුණ නම් වෙනස් වුණේ නෑ.
"අද අලුත් ඇසිස්ටන්ට් මැනේජර්ගේ පලවෙනි ඩියුටි දවස. පොඩි ඔරියෙන්ටේෂන් එකක් තියෙනවා.මනි මහත්තයාගේ පුතත් ඒවි මහිතේ" තාතා කාලා ඉවර වෙලා අම්මට කිව්වා.
"ඊයේ නාරදගේ ගෙදර ආවේ ඒ අයද?" අම්මා ඇහුවා.
"ඔව්...ඔය ලොකු පුතා නාරදගේ ක්ලාස් මේට්ලු ඉස්කෝලෙ යන දවස් වල. ඒකනේ එහේ නවතින්න ඇවිත් තියෙන්නේ" තාත්තා කිව්වේ යන්තම් හිනාවෙලා.
"ආ..එහෙමද?"
"අපරාදේ කියන්න බෑ හරිම හොඳ ළමයා. හොඳට සිංහල එහෙමත් පුලුවන් දෙන්නටම. සිංහල ඉස්කෝල වලටනේ ගියේ. කිසි ආඩම්බරයක් නෑ, ඒ වගේමයි දැනුමත්. ආනන්ද් මහත්තයට බය වෙන්න දෙයක් නෑ අනාගතේ ගැන නම්" තාත්තා ආයෙම කිව්වා.
ආන්යා කෙසෙල් ගෙඩියල් කන ගමන් තාත්ත දිහා බැලුවා.තාත්ත කොහොමත් සුබ්‍රමනියම් මහත්තයාගේ පවුලට ලැදියි. සුබ්‍රමනියම් මහත්තයත් තාත්තත ඒ වගේම සැලකුවා. මේ අතරේ ආන්යට මතක් වුණේ ගීතාන්ව.
"ලොකු අයියා එහෙම කොහොමද තාත්තේ?"
"ආ...ඉන්නවා, ඉන්නවා. හැබැයි ඉතින් ගෙදර නම් අපාය වගේ. අස් කරලා නෑ කාලෙකින්. මම මනුස්සයෙක් දාලා අස් කරෝලා දැම්මා. ගීතාන්ට ඕවා කරන්න වෙලාවක් නෑනෙ. මේ සති අන්තේ පුලුවන් වුණොත් එනවා කිව්වේ"
ඒක ඇහුවාම ආන්යට දැනුනේ සතුටක්.
"හරි ෂෝක්!"

තාත්තත් වැඩට ගියාට පස්සේ ආන්යට දැනුනේ පාලුවක්. අනුහස් තාම ගෙදර ඇවිත් තිබ්බෙත් නෑ. අව්ව පායපු වෙලාව නිසා අම්මයි, සෙල්ලම්මායි ගෙදර පිළිකන්නේ රෙදි සෝදනවා. ටීවී බලන්නත් කම්මැලි හිතුණ නිසා ආන්යා හිතුවා පාර පැත්තට ගිහින් එන්න.
"අම්මා, මම කුට්ටියි, රාධායි  එක්ක පාර දිහාට යනවා. අනු එනවද බලන්න"
කුස්සියට ගිහින් එලියට එබුණ ඇය අම්මට කියලා තුන්දෙනාඑක්ක පාරට එන්න ආවා. පාරක් කිව්වට ඒක මහා කලබලකාරී පාරක් නෙවෙයි. ඒකේ ගිය එකම වාහන වුණේ මැනේජර් නාරදගෙයි, ආන්යගේ තාත්තගෙයි කැබ් දෙක විතරයි. ඒ ඇරුණම කලාතුරකින් වත්තේ ලොරියක් දෙකක් එහේ මෙහේ ගියා. ඒ වුණත් ඒ පාර තාර දාලා, හොඳට මට්ටම් කරලා, පළලට හදලා තිබ්බ එකක්.
ආන්යා පාරට ඇවිත් දෙපැත්ත බැලුවා. මනුස්සයෙක් තියා බල්ලෙක් වත් පේන්න නෑ. අපි පාර දිගේ පහලට යමුද?" ආන්යා ඇහුවාම අනික් දෙන්නා හිස වැනුවා.
ඊට පස්සේ ඔවුන් තුන්දෙනා පාර දිගේ පහලට ඇවිදගෙන යන්න වුණා. අනුහස් බලන්න ගිය කැලේ තිබ්බේ තේ වත්ත පහල මායිමේ.
"මීනු බේබි...මේ බලන්නකෝ කහ මල්...අපි ඒවා පුපුරවමුද?"
නිත්‍යා හිටපු ගමන් නැවතිලා තේ වත්තේ එලිමහන් කොටසක් පෙන්නලා ආන්යගෙන් ඇහුවා. එතන කහ පාට කැලෑ මල් විශේයක් පිපිලා තිබුණා. කහ පාට හුලං පිරුණ පුංචි පැතලි බැලුම් වගේ මල් තිබ්බ මේ පැලෑටියේ මල් කඩාගෙන නලල මැද ගහලා පුපුරවන එක ආන්යගෙයි, නිත්‍යාගෙයි එක විනෝදාංශයක් වෙලා තිබුණා. 'පුටුස්' හඬින් ඒවා පුපුරද්දි දෙන්නම ලබුවේ ලොකු සතුටක්.
"හා...එන්න යමු කඩන්න"
ආන්යා නිත්‍යාවත් ඇදගෙන එතනට දිව්වා. ඊට පස්සේ දෙන්නත් එක්ක මල් කඩාගෙන නලලේ ගහලා පුපුරවන්න ගත්තේ තරඟෙට වගේ. රාධා පාරට වෙලා බලාගෙන හිටියා.
හැම මලක්ම පිපිරුවේ නෑ, පොඩි වුණා විතරයි. ඒ දෙන්න මේ වැඩේ කරමින් ඉන්න අතරේ ආන්යා දැක්කා කවුදෝ දෙන්නෙක් උඩ තේ වත්තේ ඉඳලා බැහැගෙන ඒ පැත්තට එනවා. ආන්යා කවදාවත් දැකලා නැති දෙන්නෙක්. එක්කෙනෙක් සැහැල්ලු ටී ෂර්ට් එකකුයි, ඩෙනිම් කලිසමකුයි ඇඳලා. අනික් කෙනා නම් පිලිවෙලකට කමිස කලිසම් ඇඳලා, බෙල්ට් දාලා. ඒ දෙන්න ලං වෙද්දි ආන්යට පෙනුනා, දෙන්නම උස, කදවසම් තරුණයෝ දෙන්නෙක් වග. ඇයයි, නිත්‍යායි එතනම හිටගෙන බලා ඉද්දි, ටී ෂර්ත් එක ඇඳපු කෙනා හිනාවීගෙන ඒ අය ලඟ නැවතුනා. අනික් කෙනා නම් උන්නේ අහක බලාගෙන. රාධාත් හෙමීට ආන්යා උන්නු තැනට කිට්ටු වුණා.
"එක්ස්කියුස් මී...මට කියන්වද ෆැක්ට්‍රි එකට යන පාර කොහොමද කියලා?"
'පාර නම් හොඳයි කියලා ආන්යට කියන්න හිතුණත් ඈ ඒ සිතිවිල්ල මැඩගෙන සුහද වෙන්න උත්සාහ කලා.
"මේ පාර දිගේම පහලට යද්දි, දකුණු අත පැත්තේ තියෙන්නේ. යද්දි පේනවා"
"ආ...හරි. තෑන්ක් යූ වෙරි මච්"
"යූ ආ වෙල්කම්"
ඒත් ඔහු යන වගක් පෙනුනේ නෑ.
"කමක් නැද්ද මම මේ පොඩි ළමයගේ ෆොටෝ එකක් ගත්තට..මේ මල් එක්කම?" ඔහු ඊලඟට ආන්යගෙන් ඇහුවා.
ඔහුට එහා පැත්තේ හිටපු කෙනා ඔහු දිහා බලලා නොඉවසිලිමත් හඬක් නැගුවා. ආන්යට හිතුණා ඒ අර අලුතින් ආව කිව්ව මැනේජර් වෙන්න ඇති කියලා ඇඳන් උන්නු විදිහට. එතකොට මේ අනික් කෙනා ආනන්ද් මහත්තයාගේ පුතා වත්ද?
"ආ...කමක් නැද්ද නිත්‍යා?" ඇය නිත්‍යාගෙන් ඇහුවේ නිකමට. නිත්‍යා මුකුත් හිතා ගන්න බැරුව වගේ බලාගෙන හිටියා.
"කමක් නෑ ගන්නකෝ එහෙනම්" ආන්යා මල් ගොල්ලෙන් අයින් වෙලා පාරට එන ගමන් කිව්වා.
දැන් අර ෆොටෝ ගන්න කෙනා නිත්‍යාව විවිධ පැති වලට හරවලා ෆොටෝ ගන්නවා. ආන්යා ඒ දිහා බලාගෙන ඉන්න ගමන්, එතන හිටගෙන අහක බලාගෙන උන්නු පුද්ගලයා දිහාත් ඇස් කොනකින් බැලුවා. ඔහු උස, පැහැපත්, මූණ පුර යන්තම් රැවුලක් වවපු, ආන්යලා කියන විදියටැ හැන්ඩි කෙනෙක් කියලා බැලු බැල්මට පෙනුනත්, ඔහු උන්නේ සසර එපා වෙලා වගේ කියලාත් ඇයට හිතුණා. ඒ වගේම ඔහු හරි පණ්ඩිත පාටයි කියලත් ඈ හිතුවා.'අනේ ඇසිස්ටන්ට් මැනේජර්ලට ගිය කල' ඈ කට කොනකින් හිනාවුණා. විනාඩි දහයකට විතර පස්සේ ෆොටෝ ගත්තු කෙනා ආන්යා දිහාට හැරුණා.
"තෑන්ක්ස්...මම ලස්සන ෂොට්ස් ටිකක් ගත්තා. බයි ද වේ මම අභිමන්යු...සුබ්‍රමනියම්...කෙටියෙන් කියන්නේ අභි.."
ආන්යගේ ඇස් උඩ ගියා. එහෙනම් මේ ඇත්තටම ආනන්ද් මහත්තයාගේ පුතා.
"ආ...ම..මම ආන්යා..ආන්යා වීරප්පෙරුම. ජෙනරල් මැනේජර් මගේ තාත්තා. මෙයා රාධා,  මේ නිත්‍යා"
" ඕ..ඇත්තද? නයිස් ටු මීට් යූ...මේ ඉන්නේ-" ඔහු අනික් පුද්ගලයා දිහාට අත දික් කරද්දිම ආන්යා මැදින් පැන්නා.
"මම දන්නවා, අලුත් ඇසිස්ටන්ට් මැනේජර් නේද? තාත්තා මට කිව්වා"
ඇය කිව්වාම අභිමන්යු ඈ දිහා බලලා අනික් පුද්ගලයා දිහා බැලුවා. ඔහු පළමු වතාවට ආන්යා දිහා බැලුවේ එවෙලේ.
"ඇසිස්ටන්ට්... මැනේජර්...?ආ ඔව් ඔව්, මේ එයා තමා. මේ ආර්යන්... අපි මේ ෆැක්ට්‍රි එකට යන ගමන්"
අභිමන්යු තතනමින් කිව්වා.
'ආර්යන්..නම නම් තියෙන්වා, ඒත් ඉන්න හැටි, හරියට කසාය බීපු ගොලුවා වගේ...' යටි හිතින් හිතමින් ආන්යා ඔහුට යන්තමට හිනා වුණා.
"කැන් වී ගෝ නව්...?" ආන්යා දිහා නොබලම ඔහු අභිමන්යුගෙන් ඇහුවා.
"යමු. එහෙනම් ආන්යා අපි යන්වා. සී යූ අරවුන්ඩ් දෙන්, බායි"
ඔවුන් දෙන්න යන්න ගියා. ආන්යයි, රාධා යි දෙන්නම ගල් ගැහිලා වගේ ඔවුන් යන දිහා බලාගෙන හිටියා. අභි උඩ පැන පැන හිනා වෙවී මොනවදෝ කියවමින් යද්දි, අනික් කෙනා මෝල්ගහක් ගිලලා වගේ කෙලින්ම ඇවිදගෙන යන හැටි ආන්යට පෙනුනා.
"බේබි..."
"හ්ම්ම්"
"අලුත් සින්න දොරේ නම් හැඩයි නේ?"
ආන්යා රාධා දිහා බැලුවේ සරදම් හිනාවක් මුවේ රඳවගෙන.
"රාධාගේ හිත ගියාද?"
"අනේ නිකං ඉන්න බේබි විහිලු නොකර. කාට හරි ඇහුනොත් මම ඉවරයි" රාධා රථු වෙලා.
"හරි, හරී...මම් නිකම් කිව්වේ. අපි යමු"

5 comments:

  1. awuuuuuuuuuuuu abhi da aryan da wadiya handsome??? :P shoy ane me kathawe :D

    ReplyDelete
  2. aiyo mata meke feeds enne nane reader ekata :(

    ReplyDelete
  3. අය්යෝ ඊලග කොටසත් දාන්න අක්කියෝ ..

    ReplyDelete
  4. හි හි ඔන්න මටත් අලුත් සින්නදොරේට හිත ගියා..

    ReplyDelete