මම අස්ගිරියේ නවාතැනට ආවට පස්සේ වහින පලවෙනි වැස්ස. ඒක අපේ ආච්චි අම්මා කියනවා වගේ මුරුගසං වැස්සක්. වාහනේ ඉස්සරහා වීදුරුවේ එක සීරුවට වැදෙන වැහිකැට පිහදගෙන windscreen එක මත එහාට මෙහාට වේගෙන් පැද්දෙන wiper
එක දිහා මම බලාගෙන උන්නා. කොහේ දෝ ඉඳන් ආපු පුංචි සීතලක් නිසා ගත කිලිපොලාගෙන ගියා.
"මේක මහා පුදුම වැස්සක් නෙ" අනුක් කිව්වේ ප්රධාන පාරට දාන්න වාහනේ නතර කරගෙන ඉන්න වෙලේ.
"ඒක තමයි. අද දවසම වහීවි වගේ. සීතලත් එක්ක" මමත් කිව්වා.
හිස හරවලා අනුක් හෙමින් මා දිහා බැලුවේ මෙවෙලේ.
"දුලාරා..." ඒ හඬේ තිබුනේ මම කලින් කවදාවත් අහලා නොතිබුණ විදිහේ ස්වරයක්.ඒ ස්වරයේ ගැබ් වෙලා තිබුණේ දයාබර බවක් කියලා මට හිතුණා.
"ම්ම්" මම ඇහුවේ තවමත් ඉස්සරහ වීදුරුව දිහා බලාගෙන.
"ඊයේ...මම අහපු දෙයක් නිසා ඔයාගේ හිත රිදුනා නම් සොරි" අනුක් කිව්වේ හෙමින්.
ඒ පාර මට ඔහු දිහා බැලුණා. ඒත් ඔහු උන්නේ වෙනතක් බලාගෙන.
"අනේ එහෙම දෙයක් වුණේ නෑ. ඇයි ඔයා එහෙම හිතන්නේ?" මම ඇහුවේ ඔහු ගැන උපන්න දයාවක් හිතේ පැතිරෙද්දි.
"නැත්තං ඇයි ඔයා ඊයේ කාමරේට වෙලා අඬ අඬ හිටියේ?" අනුක් ඇහුවාම මම මොහොතකට නිරුත්තර වුණා.
"නෑ..."
"නැත්තේ මොකද? මම ඒක දැක්කේ නෑ කියලද ඔයා හිතන්නේ?" ඔහු ඇහුවා.
"මම කිව්වේ, ඒ ඔයා කියපු දෙයක් නිසා නෙවෙයි කියලා" මම ආයෙම කිව්වා.
අනුක් මොහොතක් ගත්තේ මම ඒ කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න වෙන්න ඇති.
"දැන් පාර clear...දාන්න පුලුවන්" ඔහු මුකුත් කියන්න කලින් මම එහෙම කිව්වාම ඔහු කතාවක් නැතුවම වාහනේ ප්රධාන පාරට දැම්මා.
ඊට පස්සේ මුල්ගම්පොල හරියට එනකල්ම වගේ අපි අතරේ කතාවක් වුණේ නැහැ.
"මුකුත් හිතන්නේ නැත්තම්, මට අහන්න පුලුවන්ද එදා ඒ දේ වුණේ අපේ ගෙදරදි ඔයාට වෙච්ච වෙන මොකක් හරි දෙයක් නිසාද කියලා?"
අනුක් ඇහුවා. එතකොට ඔහු මේ වෙනකල්ම කල්පනා කර කර ඇවිත් තියෙන්නේ ඒකද?
"අනේ නෑ අනුක්. එහෙම හිතන්නවත් එපා. ඔයාලගේ ගෙදර අය මට මගේම ගෙදර අය වගේ. කිසීම අඩු පාඩුවක් හිත් රිදීමක්, කිසිම වරදක් මට එහෙදි වෙලා නෑ. ඇත්තටම එදා මම දුකෙන් හිටියේ මගේ පෞද්ගලික ප්රශ්ණයක් නිසා මිස, වෙන කිසි දෙයක් නිසාවත් නෙවෙයි" මම කිව්වේ අවංකවම.
"ඒත් ඒ ප්රශ්ණේ ඇදුනේ මම අහපු දෙයක් නිසා නෙවෙයිද?" අනුක් ආයෙම ඇහුවේ හේතුව ඉවෙන් වගේ දැනගෙන වගේ.
මම සුසුමක් හෙලුවා.
"නෑ අනුක්"
"ඇයි ඔය-"
"අපි මේ කතාව නවත්තමු අනුක්... "
අනුක් ආයෙම මොකක් හරි අහන්න යද්දි මට තවත් දෙන්න උත්තර තිබුණේ නෑ ඇත්ත කියනවා විනා. ඒත් ඒ දේවල් මොනවත් මට අනුක්ට කියන්න පුලුවන් දේවල් නෙවෙයි. අපි අතරේ තිබුණේ යන්නතම් දැන ඇඳුනුම්කමක් මිස ලොකු ලෙන්ගතුකමක් නෙවෙයි. එහෙම ලෙන්ගතුම කෙනෙක්ට වුණ්ත් භූප ගැන, මගේ ප්රශ්ණ ගැන මට කියන්න මම කැමති වෙයි කියලා මට හිතුණේ නෑ.
“I am sorry I…I ..did not mean to poke into your private life” අනුක් එහෙම කිව්වම මට පොඩි පසුතැවිල්ලක් නොදැනුනා නෙවෙයි මම කතාකරපු ස්වරය ගැන.
"එහෙම හිතන්න එපා" මම කිව්වේ ඒකයි.
අනුක් මා දිහා එක පාරක් බලලා ආයෙම ඉස්සරහ බලා ගත්තා. ඒත් ඊට පස්සේ කැම්පස් එක ලඟ මාව බස්සනකල්ම ආයෙම කතා කලේ නැහැ.
"හවස driver සීයා එයි" මම බහිද්දි අනුක් කිව්වා.
"හරි..ඔයා කාර් එකේම නේද ආපහු ෆැකල්ටි යන්නේ? එහෙම යන්න නැත්තම් තෙමෙන්න වෙයි හොඳට" මම බැස්සේ එහෙම කියාගෙන.
"ඔයත් තෙමෙන්න එපා. ඉක්මණට දුවලා යන්න" අනුක් කිව්වා මම දනි පනි ගලා දොර වහද්දි.
මම හිස වනලා දුවගෙන එන්න ආවේ, මහ වැස්ස මාව හුඟක් තෙත බරිත කරන්න කලින්.
***
ලෙක්චර් හෝල් එකට ඇතුල් වෙද්දි මගේ සෙප්රෙප්පු දෙක නම් වතුරෙන් පෙඟිලයි තිබුණේ. ඇඳන් උන්නු සායෙත් වියතක් විතර උඩට එනකල්ම තිබුණේ තෙමිලා. ලෙක්චර් හෝල් එක ලඟට මම යද්දි, ඒ අතරමගක මම එනකල් චතූලා රැකගෙන ඉන්නවා දැක්කම මට දැනුනේ පොඩි පුදුමයක්. ඒ තුන් දෙනාම මාව පිලිගන්න මගටම දුවගෙන වගේ ආවා.
"චතූ...ඇයි?"
"දුලා...අද උදේ අපට භූප හම්බවුණා.." චතූගේ ඒ වචන මට ඇහුනේ හීනෙන් වගේ.
මම චතූගේ අතක් අල්ලගත්තේ මට පණ නැති ගතියක් දැනෙද්දි.
"භූප"
"ඔව් ඔව්. එයා අද උදේ අපේ හෝල් එක ලඟට ඇවිත් හිටියා. මෙන්න මේ නම්බර් එක දුන්න එයාට කතා කරන්න කියලා" චතූ කලබලෙන් මගේ අතේ පුංචි කොල කෑල්ලක් තිබ්බා.
"කෝල් කරන්න?" මම උන්නේ මොනවත්ම හිතාගන්න බැරුව.
"ආ..ආ...මේක ගන්න. මේකෙන් කෝල් කරන්නකෝ" තාරකා තමන්ගේ අතේ තිබ්බ ෆෝන් එක මගේ අතේ තිබ්බා.
මම තෙමුණ ඇඟිලි වලින්ම කොලේ තිබුණ නොම්මරේ තාරකාගේ ෆෝන් එක එබුවේ වෙවලමින්.
ෆෝන් එක කනේ තියාගද්දි මගේ හද ගැස්ම පිටට ඇහෙන තරමටම වැඩි වෙලයි තිබුණේ.
"බීප් බීප්...බීප් බීප්...හෙලෝ"
Rings දෙකක් යනකොටම එහා පැත්තෙන් ඉස්සුවා. කලබලෙන් වගේ කතා කලත් මගේ භූපගේ හඬ අඳුනන්න මට මිලි තප්පරයක් වත් ගියේ නැහැ.
"භූප..."
"දුලාරා..."
"භූප...ඔයා කොහේද භූප ඉන්නේ? ඇයි මාව බලන්න එන්නේ නැත්තේ? ඔයා කොහේද ඉන්නේ කියන්න?" මම කතා කරද්දි මගේ හඬ වෙව්ලුවේ, හිතට දැනුන හැඟීම් වල ප්රබල කම නිසා වෙන්න ඇති. මගේ ඇස් කඳුලු වලින් පිරුනේ ඇසිල්ලකින්.
"දුලාරා...අහන්න. මේ අහන්න. මම දැන් ඉන්නේ ගම්පහ. මම අද පේරාදෙණියේ එනවා. එද්දි එක
විතර වෙයි. මට ඔයාව හම්බවෙන්න ඕන. ඒත් අපට කැම්පස් එකේදි කතා කරන්න බෑ..."
"මම එනවා භූප. මට එන්න ඕන. අපි කොහේ හරි යං. අපි කොහේ හරි ගිහිං කතා කරමු. මට ඔයාව බලන්න ඕන" මම කිව්වේ භූප කියලා ඉවර වෙන්නත් කලින්.
"මට ඔයාට lectures cut කරන්න
කියන්න බෑ ඒත්..."
""ඒකට
කමක් නෑ. මම එන්නම්. උදේ lectures ඉඳලා මම
එන්නම්" මම කිව්වේ ආයෙමත් ඔහු කොහේ හරි අතුරුහදන් වෙයි කියලා බය වුණ නිසා.
"හරි...ඔයා එහෙනම්, එකට විතර garden එක ලඟින් බහින්න. මම එතනට එන්නම්." භූප එහෙම කියලා ෆෝන් එක තිබ්බා.
"දැන් කොහේද යන්න යන්නේ?" මම ෆෝන් එක තාරකාට දෙද්දි තුන් දෙනාම ඇහුවේ ලොකු කුතුහලේකින්.
""දැන්
නෙවෙයි. භූප එද්දි එක විතර වෙයි කියලයි කිව්වේ. ඒ නිසා මට ගොඩක් වෙලාවට හවස lectures
එවෙන එකක් නෑ”
මම කිව්වාම චතූ සුසුමක් හෙලුවා.
"ඇති යනතම් භූපට එන්න හිතුණා. දැන් සේරම හරි නේද?" ඈ ඊට පස්සේ ඇහුවේ මගේ දිහා බලලා හිනාවක් පාන ගමන්.
"සේරම නෙවෙයි ටිකක් හරි වගේ" මම කිව්වෙත් හිතේ පොඩි සැනසුමක් පැතිරෙද්දි.
ඒත් තිබුණ එකම ප්රශ්ණේ එක වෙනකල් ඉවසගෙන ඉන්නේ කොහොමද කියන එක. උදෙ වරුවේ ආපු lecturersලා මොන මොනවාදෝ දේශණා කරද්දි, මම නම් උන්නේ මේ ලෝකේ නෙවෙයි.කොහොම හරි කල්ප කාලාන්තරයක් වගේ දැනුන පැය කීපෙකට පස්සේ යන්තම් අපට දවල් විවේකය ලැබුණා.
"ඉතිං ඔය කන්නෙත් නැතුවද යන්න යන්නේ?" මම යන්න ලෑස්ති වෙද්දි එහෙම ඇහුවේ තාරාකා.
"අපි මොනා හරි කන්නම්" මම කිව්වා.
"හ්ම්...එහෙනම් good
luck. ප්රශ්ණ සේරම විසඳගෙන, හිනාවක් අරන් එන්න හොඳ ද?" මට හිනාවක් පාලා එහෙම කිව්වේ චතූ. මමත් තුන් දෙනාටම හිනාවක් පාලා AT එක ලඟට ඇවිදගෙන ආවා බස් එකක නගින්න.
බස් එකකට නැගලා පේරාදෙණිය garden එක ලඟින් බහිනකල්ම මම ආවේ කොහොමද කියලාවත් මම දන්නේ නැහැ. හිත තිබුණේ ඒ තරම් කලබල වෙලා, නොසන්සුන් වෙලා. භූපගෙන් අහන්න, භූපට කියන්න දහසක් දේවල් හිතේ කැකෑරෙමින් තිබුණා.
කුඩෙත් ඉහලගෙන ගාඩ්න් එක ලඟින් බැහැලා මම වට පිට බැලුවේ භූප කොහේද කියලා. ටිකකින්, ලොකු කලු කුඩේකුත් අරගත්තු, කැප් එකක් දාගෙන මගේ ඉස්සරහට ආවේ භූප. මම උන්නු තැනම මොහොතක් ගල් ගැහුණත්, ඇස් වලට පිරුණු කඳුලු නතර වුණේ නැහැ. කැප් එකට යටින්, අර ආදරණීය නිදිබර ඇස් දෙක මම බලා ඉඳිද්දිම බොඳ වුණා.
"දුලාරා..." ඔහු මට කතා කලේ තව ටිකක් මා අසලට ඇවිත්.
මම කුඩේ අකුලලා භූපගේ කුඩේ යටටම වුණා. ඊට පස්සේ අපි හෙමි හෙමින් ඇවිදගෙන garden එක ඇතුලට ගියේ වචනයක් වත් කතා නොකරම. කියන්න අහන්න ගොඩාක් දේවල් තිබුණත් මම උන්නේ පුදුමාකාර විදිහට ගොලු වෙලා.
ගේට්ටුවෙන් මෑත් වෙලා ටික දුරක් එද්දි, මම හෙමින් ඔහුගේ සුරතේ වෙලුණේ ඉස්සර පුරුද්දට. ඒ අතේ තිබුණ පුරුදු සීතල මට දැනුනාම මට සුසුමක් හෙලුණා. ඒ හිතට සැනසීමක් දැනුන නිසා. භූප මගේ අත මුදුවට මිරිකගත්තා.
මට ඕන වුණා ඔහුගේ උණුසුමට තිරුල් වෙන්න, ඔහුව වැලඳගෙන මගේ හිතේ දුක යනකල්ම අඬන්න. ඒත් එහෙම කරන්නේ කොහොමද? ඒ නිසා මම කලේ ඔහුට තවත් ලං වෙලා ඒ අත හයියෙන්ම මිරික
ගෙන
උන්නු එක.
ඒ සතියේ දවසක් වුණ නිසයි, දවල් වරුව වුණ නිසාදෝයි සෙනග ගොඩක් garden එක ඇතුලේ උන්නේ නෑ. ඒ නිසා, අපි දෙන්නට ඒ තරම් නොතෙමුණ පොඩි summer house එකක් හොයාගන්න අමාරු වුණෙත් නැහැ. වැස්සෙන් යන්තම් බේරුණ සිමෙන්ති බංකුවේ මාව වාඩි කරපු භූප මගේ පැත්තකින් වාඩි වුණේ මගෙ දෝතම අල්ලගෙන.
මම එක අතක් මුදාගෙන ඔහු දාගෙන උන්නු කැප් එක ගැලෙවා. එතකොටයි මම හරියටම ඔහුගේ ස්වරූපය දැක්කේ. භූප උන්නෙ පුදුම තරම් අපිලිවෙල වෙලා. හිසකෙස් අවුල් වෙලා, ඇස් යට ගිලිලා, රැවුලත් තිබුණේ වෙනදට වඩා වැවිලා. ඒ එක්කම, ඇඳගෙන උන්නු සුදු කමිසේ ඔහුට ලොකුයි වගේ පෙනුනේ ඔහු කෙට්ටුත් වෙලා හන්දදෝ කියලා මට හිතුණා. හිත දුකින් පිරුණෙයි, ආපහු ඇස් කඳුලින් පිරුණෙයි ඇසිල්ලකින්. මම අනවසරයෙන්ම ඔහුගේ බෙල්ල මුල හිස තියාගෙන ඔහුට තුරුලු වුණුඒ කඳුලු කැට ඒ කමිසේ තවත් තෙත් කරද්දි.
"අපට මොකද භූප මේ වුණේ?" මම අඬ අඬම ඇහුවේ එහෙම.
භූප මගේ හිස අතගෑවේ ආදරෙන්, ඒත් උත්තරයක් නොදීම.
"ඔයා දන්නෑ මම අද වෙනකල් කොච්චා නම් දුක් කන්දරාවක් උහුලගෙනද මේ හිටියේ කියලා? ඇයි භූප කලින් මාව බලන්න නාවේ? මම කොච්චර බලාගෙන හිටියද?" මම ආයෙම ඇහුවා කඳුලු අතරින්ම.
"මට සමාවෙන්න දුලාරා. මම එන්න මෙච්චර දවස් ගත්තට මට සමාවෙන්න..." භූප කිව්වෙත් බිඳුණු හඬින්.
"කමක් නෑ ඔයා කොහොමහරි ආවනෙ. මම දැනං හිටියා ඔයා ආපහු මගේ ලඟට එනවාමයි කියලා. මම දැනං හිටියා ඔයා මට වුණ පොරොන්දුව ඉෂ්ඨ කරනවාමයි කියලා..." මම කිව්වේ ඔහුට තවත් තුරුලු වෙමින්.
මම එහෙම කියද්දි භූප රිදෙන තරම් හයියෙන් මගේ අත මිරිකගත්තා.
"ඔයා දන්නෑ භූප ඔයා නැති දවස් ටිකට මොන තරම් නම් දේවල් සිද්ධ වුණාද කියලා. අම්මලා මාව කැම්පස් වත් එවන්නෑ කියලාමයි හිටියේ. ඒත් අන්තිමට චේතිය කිව්වම එයාලට ඕන වුණා මාව එවන්න...ඔයා දන්නවද මට දැන් ඉන්න වෙලා තියෙන්නේ එයාගේ ලොකු අප්පච්චිගේ ගෙදර. මට යන්න, එන්න වෙලා තියෙන්නේ එයාගෙ මුරකාවල් එක්ක... ඔයා දන්නෑ එයා මට කොච්චර කරදරයක්ද කියලා...එයා කොච්චර මට වද දෙනවද කියලා... " මම එහෙම කියලා හිස ඔසවලා භූපගේ ඇස් වලට එබුණම ඒ ඇස් මා දිහා බලගෙන උන්නේ වේදනාවෙන් වගේ.
"මම ඒ හැම දෙයක්ම විඳ දරාගෙන හරි ඉන්නවා කියලා ආපහු ආවේ ඔයා හන්දා. මට ඔයාව ඈතක ඉඳන් හරි බලන්න ඕන නිසා. අපි එකට නැති වුණාට, අපි ඇවිදගෙන ගිය පාරවල්, අපි කතා කර කර හිටපු තැන්...ඒ දේවල් වල මතක සුවඳත් මට ජීවත් වෙන්න හිතට ශක්තියක් දෙන නිසා...මම ආවේ ඒ නිසා භූප. නැතුව මම චේතියට කැමති වුණ නිසා නෙවෙයි...ඔයා ඒක දන්නවා නේද?"
මම පිස්සියක් වගේ ඔහේ කියවගෙන් අයද්දි, අහගෙනම විතරක් උන්නු භූප හිස වනද්දි, මම දැක්කා ඒ තොල් වෙව්ලන විදිහ. ඒ ඇස් වේගෙන් සැලෙන විදිහ. මට දැනුනා ඒ හිත ඇතුලාන්තෙන් කොච්චර අඬා වැලපෙනවද කියන වග.
"අනේ මොනවා හරි කියන්න භූප...ඔහොම ඉන්න එපා මට ඒක දරාගන්න බෑ" මම කිව්වේ ඔහුගේ ඇස් වලට එබිලා. ඒ ඇස් තිබුණේ මලානික වෙලා වගේ. ආදරේට වඩා ඒ ඇස් වල තිබුණේ ආයාචනයක් කියලා මගේ හිත මට කිව්වා. ඒත් ඒ ඇයි?
"දුලාරා...මම මහා පව්කාරයෙක් දුලාරා..." මගේ බැල්මෙන් ඇස් මුදාගෙන හිස බිමට නමාගත්තු භූප කිව්වේ එහෙම.
"එහෙම කියන්නේ ඇයි?"
"මම නිසා හිත් කීයක් අද දුක් විඳිනවද?" ඔහු උත්තර දුන්නේ එහෙම.
"ඔයා නිසා විතරක්ද? එතකොට මම නිසා?"
"නෑ දුලාරා. ඔයා අද මේ දුක් විඳින්නෙත් මම හන්දා. ඔයාලගේ අම්මලා, සහෝදරයො, අපේ ගෙදර අය...යාලුවෝ...මේ සේරම හිතෙන් විඳවන්නෙත් අද මම හන්දා"
"එහෙම කියන්න එපා..." මම කිව්වේ ඔහුගේ අත ආයෙම මිරිකගන්න ගමන්.
"මේ පව් මට ජීවිත කාලයක් විඳවන්න වෙනවා දුලාරා..." භූප කිව්වේ හෙමින්.
"ඔයා මොනවද භූප මේ කියන්නේ?" මම අහුවේ හිතේ ඈත කොනක මොකක්දෝ පුංචි බයක් ලියලාගෙන එද්දි.
භූප හිස උස්සලා මා දිහා බැලුවේ ලොකු වේදනාවකින් වගේ. ඊටපස්සේ ඔහු ඔහුගේ සීතල අතක් මගේ කම්මුලක් මත තියලා මට ලං වුණේ ඔහුගේ සුසුම්වල උණුසුමත් මට දැනෙන තරමට. මම ඒ ඇස් දිහාම බලාගෙන උන්නා.
ඒ ඇස් වල තිබුණේ ලොකු වේදනාවක්. මලානික වෙලා තිබුණ ඒ ඇස්
වල තිබුණෙත් පුංචි කඳුලු පටලයක්ද?
"ඇයි මේ?" මම ඇහුවේ ඔහුගේ කම්මුලක් මත අත තියලා.
"ඇයි අපට මෙහෙම වුණේ දුලාරා...?" භූප ඇහුවේ මගේ ඇස් දිහාම බලාගෙන.
"අපට මොනවත් වුණේ නෑ භූප. මම තාම ඔයාගෙමයි. මම හැමදාම ඔයාගෙමයි. මොන ප්රශ්ණ ආවත් මගේ හිත වෙනස් වෙන්නේ නෑ" මම කිව්වා.
භූප මා දිහා බලාගෙන උන්නේ දුකෙන් වගේ.
"ඔයාට මං කොච්චර නම් ආදරේද?" ඔහු කිව්වේ එහෙම.
"මම ඒක දන්නවා. මම එක හොඳටම දන්නවා. කවදාහරි ආයෙම අපට එකතු වෙන්න පුලුවන් දවසක් තියේවි භූප. දවසක් තියේවි අපට මේ බනින හැමෝම අපිව තේරුම් ගන්න. අන්න එදා වෙනකල් අපි මෙහෙම ඉන්න ඕන. මම දන්නවා ඔයා එහෙම ඉන්න වග. කවදාහරි මාව ගෙනියන්න ඔයා එනකල් බලා ඉන්න මට පුලුවන් භූප...ජීවිතේ අන්තිම තප්පරේ වෙනකල් හරි බලා ඉන්න මට පුලුවන්..." මම එහෙම කියද්දි භූප ඇස් පියාගත්තා.
ඒ අත් දඬු අඬුවක් තරම් තදින් මගේ අත් මිරිකගත්තා. මම ආපහු ඔහුගේ උරහිසට හිස බර කරගත්තා. භූප ඉස්සරෝම දවස් වල වගේ ඔහුගේ කම්මුල මගේ හිස මත තෙරපගත්තේ කතාවක් නැතුවම.
"ඔයා මොනාද ඔය තරම් හිතන්නේ?" මම ඇහුවේ එහෙමම තව ටික වෙලාවක් ගෙවිලා ගියාට පස්සේ.
භූප දිග සුසුමක් හෙලුවා විතරයි, මට උත්තරයක් දුන්නේ නෑ. මගේ හිතට ලොකු දුකක් දැනුනේ ඔහු ඉන්නේ මොකක්දෝ වේදනාවකින් කියලා හැමවෙලේකම මට හිතුණ නිසා.
"භූප...ඇයි මේ?" මම හිස උස්සලා
ඔහු දිහා බැලුවා. භූප මා දිහා බලද්දි ඒ ඇස් තිබුණේ බොඳ වෙලා.
"ජීවිතේ අන්තිම තප්පරේ වෙනකල්ම මාත් ඔයාට ආදරෙයි දුලාරා...ඒත් ඒක මේ ජීවිතේන් විතරක් නවතින එකක් නෑ. උපදින හැම ආත්මෙකම ඔයා මගේමයි...ඒත්..."
" ඒත්...?"
භූප මා දිහා බලාගෙනම තවත් තප්පර කීපයක් උන්නේ, ඒ මූණ වේදනාවකින් පිරෙද්දි. දෙතොල් හෙමිහිට වෙව්ලද්දි. මගේ හිතට දැනුනේ අහේතුක බයක්.
"ඒත් කියන්නේ ඇයි භූප?"
"ඒත් මේ ආත්මෙදි ඒ වාසනාව මට නෑ දුලාරා..." භූප කිව්වේ ආයෙම ඇස් කඳුලින් පිරෙද්දි.
මට දැනුනේ මොහොතකට මුලු ලෝකෙම නැවතුණා වගේ.'ඒ කියපු දේ තේරුම මොකක්ද?'
"භූප...?"
"අපට තවත් අපේ වෙලා ඉන්න බෑ මැණික..." භූප කිව්වේ මගේ දෝතින්ම අල්ලගෙන, මුදුවට.
මම මගේම දෑත් එකට මිරිකගත්තා තදින්. මට ඒ ඇහුණ වචන විශ්වාස කරන පුලුවන් වුණේ නැ.
"ඔයා මොනාද මේ කියන්නේ?"
"අපට...අපට මේ සම්බන්ධේ නවත්තන්න වෙනවා දුලාරා...වෙන කරන්න දෙයක් නැහැ" භූප කිව්වාම, මම මගේ අත් දෙක ඔහුගෙන් ඉවතට ඇදලා ගත්තා එක පාරටම.
"මොනවද?"
මම භූපගේ ඇස් වලට එබිලා අහද්දි, ඔහු බිම බලාගත්තා. මට දැනුනේ මගේ මුලු ලෝකෙම ඇස් පණාපිට කඩාඉහිරෙනවා වගේ හැඟීමක්. ලොකු කම්පනයක්. ඒ එක්කම පරාජිත බවක්. ඒත් තාමත් මට ඒ ඇහුණ දේ අදහාගන්න මට පුලුවන් වුණේ නෑ.
"එතකොට....අද ඔයා මට එන්න කිව්වේ ඒ ටික කියන්නද? මෙච්චර දවස් මම දුක් විඳ විඳ ඔයා එනකල් බලාගෙන උන්නේ මේ ටික අහන්නද භූප? අම්මලාගේ හිත රිදව රිදව, චේතියගේ දහසක් කරදර ඉවස ඉවස මම හිටියේ ඔයාගෙන් මේ ටික අහන්නද?"
මම එහෙම අහද්දි භූප හිස උස්සලා මා දිහා බැලුවා.
"මම ඔයාගෙන් සමාව ඉල්ලන්නේ නෑ දුලාරා...මම ඔයා ඉස්සරහා මහා වැරදිකාරයෙක්. ඔයාගේ හීන, ඔයාගේ බලාපොරොත්තු සේරම බිඳලා දාපු මහා පව්කාරයෙක්...ඒ නිසා මට වෛර කරන්න...මට වෛර කරන්න... ඒත් එහෙම කරලා හරි මාව අමතක කරන්න...මාව අමතක කරන්න දුලාරා..."
භූප එහෙම කියද්දි මට ඉවසගෙන ඉන්න පුලුවන් වුණේ නැහැ. මට කෑගහලා ඇඬුනා. මට හිතුණා ඒ ලඟ තිබුණ බිත්තේ මගේ හිස පැලෙනකල් ගහගන්න. ඒත් මම ඒ වෙනුවට කලේ භූපගේ කමිසේ එල්ලිලා, ඒක ඉරෙන තරම් තදින් ඇදගෙන ඔහුගෙන් අහපු එක, "ඇයි මට මෙහෙම කලේ' කියලා. අන්තිමට මම ඇඬුවේ ඔහුගෙම පපු තුරේ හිස ගහගෙන. භූප ගහක් ගලක් වගේ නිසොල්මනේ උන්නා විතරයි.
මම දන්නේ නෑ මම එහෙම කොච්චර වෙලා ඇඬුවද කියලා. වැස්ස තිබුණේ තවමත් එක සීරුවට ඇදහැලෙමින්. හරියට හඬ වැටෙන මගේ හිත වගේ. අන්තිමට මට තවත් අඬන්න කඳුලු තිබුණේ නෑ. මම භූපගේ කමිසේ අතෑරලා ඔහුගෙන් ඈතට වුණේ තවත් ඔහු මට අයිති නෑ කියන සිතුවිල්ල හෙමි හෙමින් හිතට කිඳා බහිද්දි.
"එතකොට ඔයාටත් ඕන මම චේතිය එක්ක යන්නද?" තවත් අඬන්න බැරි තැන මම ඇහුවා.
"මගෙන් ඔහොම අහන්න එපා දුලාරා" භූප කිව්වේ මලානික හඬින්.
"මං කාගෙන්ද අහන්න ඕන? ඔයා කියනවා නම් මට ඔයාව අතාරින්න කියලා, ඇයි කියන්න බැරි මම අතාරින්න ඕන කා නිසාද කියලා?"
"ඔයා නිසා....ඔයාගේ අනාගතේ, ඔයාගේ දෙමව්පියෝ, අපේ අම්මලා...මේ හැමෝම නිසා" භූප කිව්වා.
"මට දැන් අනාගතයක් නෑ භූප...ඒ අනාගතේ, මගේ බලාපොරොත්තු අද මේ වැස්ස එක්කම මෙතනදිම දිය වෙලා ගිහිං ඉවරයි..."
"එහෙම කියන්න එපා දුලාරා...ඔයාගේ අනාගතේ විනාශ වුණොත් මට හෙණ ගහයි..."
භූප කිව්වම
මම හිණාවුණා...ඒ දුකට.
"මට දුක ඔයාට මෙච්චර ආදරේ කරන මාව ඔයා තේරුම් නොගත්තු එක. මම තාමත් දන්නෑ ඇයි ඔයා මෙහෙම මට කලේ කියලා. ඒත් මම දන්නවා එක දෙයක්...ඔයා දන්නෑ මම ඔයාට කොච්චර ආදරේද කියලා...දන්නවානම් ඔයාට බෑ මට මෙහෙම කරන්න..." මම කිව්වේ නිර්දය විදිහට.
"මට සාප කරන්න ඔයාට අයිතිය තියෙනවා දුලාරා...ඔයාට මේ දුන්නු දුකට වන්දි ගෙවන්න මට ආත්ම ගාණක් ගියත් සමහරවිට බැරි වෙයි...ඒත් කවදාහරි ආයෙම ආපස්ස හැරිලා ජීවිතේ දිහා බලද්දි ඔයාට හිතෙයි අද මේ තීරණේ ගත්තු එක හරියි කියලා. මම පව්කාරයෙක් වුණාට කමක් නෑ දුලාරා...මට ඕන ඔයා හොඳින් ඉන්න විතරයි..."
භූප කියද්දි මට ඔහු ගැණ දැනුනේ තරහක්. ඒ එක්කම ලොකු ලෝබ කමක්. භූප ඕන කියලා මගේ මුලු ආත්මෙම කෑ ගහද්දි, මම තව තවත් කෝප ගත්තා විතරයි.
"ඔයා එහෙම හිතනවද? ඔයා මාව දාලා ගියාට පස්සේ මම හොඳින් ඉඳීවි කියලා? ඔයා කොහොමද භූප එහෙම හිතන්නේ?"
මම අහද්දි භූප උත්තරයක් දුන්නේ නෑ.
"මට ඔයාගේ අම්මලට දුකක් දෙන්න බෑ දුලාරා. මට දුලිතට ද්රෝහී වුණ යාලුවෙක් වෙන්න බෑ. මට මගේ අම්මගේ කඳුලු බලන්න බෑ...ඒ ඔක්කොටම වඩා මට නිවටයෙක් වගේ ඔයාගේ ජීවිතේ නාස්ති වෙනවා බලන්න බෑ...තේරුම් ගන්න දුලාරා...මම මේ හැම දේම කරන්නේ ඔයාට ආදරේ නිසා..." භූප කිව්වා.
"ආදරේ නිසා? ආදරේ නම් මෙහෙම දාලා යන්නේ කොහොමද භූප? මට තේරෙන්නේ නෑ ඒක..."
"ඔයාට මට වඩා දහස් ගුණයකින් හොඳ කෙනෙක් හම්බවේවි දුලාරා..." ඒ පාර භූප කිව්වේ වෙව්ලන හඬින්.
"ඔයා ඔය කියන්නේ චේතිය ගැනද? හරි...ඔයා කියන්නේ මට චේතියට කැමති වෙන්න කියලනේ...කමක් නෑ...ඔයාට ඕන ඒක නම් මම ඒකත් කරන්නම් භූප. ඔයාට ඕන ඒක නම්..."
භූප ඒ පාර මුකුත්ම කිව්වේ නෑ, වේදනාව පිරුණ මූණෙන් මා දිහා බලාගෙන උන්නා මිසක.
මගේ හිත ඔහු ඉස්ස්රහදි තව තව කඩා වැටුණා විතරයි...ඒ නිසා මම නැගිට්ටා. භූප හිස උස්සලා මා දිහා බැලුවේ දෑස් විසල් කරගෙන.
"මම යනවා..."
භූපත් නැගිට්ටා.
"කොහෙද යන්න හදන්නේ?" භූපගේ හඬේ තිබුණේ පුංචි
බයක් කියලා මට හිතුණා.
"හිස හැරිච්ච අතක" මම කිව්වා.
"දුලාරා...මම කියන දේ අහන්න. කලබල වෙලා, තරහෙන් යන්න
එපා ඔහොම. මේ පාරට විතරක්, මට ඔයාව ඇරලවන්න එන්න දෙන්න" ඔහු කිව්වා.
මම ආයෙම හිණාවුණා.
"ආයෙමත් මට තනි රකින්න ඔයාට එන්න පුලුවන්ද? ඊට පස්සේ
අද ඉඳන් ජීවිතකාලෙම මේ තනිකම මාව පෙලද්දි, ඔයාට ආයෙම එන්න පුලුවන්ද භූප ඒ තනිකම මකන්න?
පුලුවන්ද?" මම ඇහුවේ ආයෙම ඇඬුම් එද්දි.
භූපගේ මූණේ තිබුණේ, දුකක්ද, අසරණකමක්ද මොකක්ද කියන එක මට
තේරුනේ නෑ. ඒත් ඔහු උන්නේ වචනයක් වත් කියාගන්න බැරිව වගේ.
"මම හිතුවේ නෑ හීනෙකින්වත් ඔයා කවදාවත් මට මෙහෙම කියයි කියලා...භූප ඔයා මට මේ මොහොතේ පැනලා යන්න කතා කලා නම්, මම ඒත් එන්න ඉඩ තිබුණා. මොකද මම මේ ලෝකේ වෙන කිසි දේකට වඩා ඔයාට ආදරේ නිසා...මම එක වචනේ කෙල්ලෙක් භූප. ඔයා කියන කියන විදිහට වෙනස් කරන්න පුලුවන් හිතක් මට නෑ... ඒ නිසා ඔයා මට ආදරේ කලත් නැතත් මැරෙනකල්ම මම ආදරේ කරන්නේ ඔයාට...ඔයාට විතරමයි...ඒක ඔයාටවත් වෙනස් කරන්න බෑ...කාටවත් වෙනස් කරන්න බෑ..."
භූප අතකින් මූණ වහගෙන දෑසම මිරිකගත්තේ, තවමත් වචනයක්වත් නොකියා. එච්චරයි...මට තවත් එතන නවතින්න හේතුවක් තිබුණේ නෑ. මම තව වචනයක්වත් නොකියා එතනින් දුවගෙන එන්න ආවා.
"දුලරා.." මට ඇහුණා භූප මට කතාකරනවා. ඒත් මම නොනැවතීම, ගේට්ටුවෙන් එලියත එනකල්ම දුවගෙන එන්න ආවේ තෙමි තෙමීමයි.
දෙපාරක් නොහිතා මම ඒ ලඟ තිබුණ ත්රීවීලර් එකකට නැග්ගේ ආයෙම ඇස් වලින් කඳුලු වරුසාවක් ගලද්දි.
"කොහාටද මිස්?"
"කැම්පස්...AT එක ලඟට" මම කිව්වේ මූණ පිහින ගමන්.
AT එකලඟ බහිද්දි, වැස්ස ගොඩක් තුරල් කරලයි තිබුණේ. මම ත්රීවීලර් එකෙන් බැහැලා, AT එකේ බැම්ම උඩ ඉඳගත්තේ, අහල පහලින් ගිය අය මා දිහා බලනවා වත් නොතකා.
කාලයක් ආදරෙන් ගොඩනගපු හීන ජීවිතේ එක්කම, මේ වැස්සේ දිය වෙලා යනවා වගේ මට දැනුනා. ඇස් වලින් ගලපු උණු කඳුලු, එක සීරුවට කම්මුල් මත පතිත වෙන සීතල වැහි බිංදු එක්ක එකතු වෙලා ඔහේ ගලාගෙන ගියා. මට අඬන්න තව වාරු නොතිබ්බත් මම ඇඬුවා. ඒ අදින් පස්සේ මට අඬන්න ඕන නොවුණ නිසා. අඬන්න කඳුලුවත්, හිතන්න හිතක්වත්, ජීවත් වෙන්න ජීවිතයක්වත්, අදින් පස්සේ මට නෑ කියලා මට හිතුණා. මොකද ඒ සේරම තිබුණේ භූප ලඟ නිසා. ඔහු හන්දා නිසා...ඒ සේරම ආදරෙන් මට දීපු ඔහුම අද ඒ සේරම මගෙන් උදුරගෙන ගිහින් තිබුණා...
මේ කොටස ගැන කාටවත්ම මොනවත්ම කියන්න නැද්ද? :) කට්ටිය කලකිරිලාවත්ද දන්නෑ...
ReplyDeleteඑහෙම හිත අධෛර්ය කරගන්න උවමනාවක් නැහැනෙ. comments අඩු උනාට ඔබේ blog එක 73000 කට වැඩිය බලනවනෙ.මගේ blog එකෙත් comments නැහැ ඒ උනත් එක 3200 කට වඩා බැලීම ගැන මම නම් ඉන්නේ ඉතා සතුටෙන්. තවත් එක නිහඬ පාඨකයෙක් විදියට මමත් ඔබේ කතාව මුල ඉඳලම කියවනවා.
Deleteno... no... pl don't think like that.
Deleteකොහොමද මොනවත් කියන්නෙ... ඒ තරමට දුකයි...
ReplyDeleteකවදා හරි දවසක භුප දුලාරටම ලැබෙන්න ඕන... ඇත්ත ජීවිතේදි සමහර විට බැරි වුණත් කතාවකදිවත් ඇත්තටම ආදරය කරන දෙන්නෙක් එක්වෙනවා දකින්න මම කැමතියි..
මේ වේදනාව දරා ගන්න එක කොයි තරම් අමාරුද?
Comments දාන්න try කළා. ඒත් මොකක් හරි ප්රශශ්නයක් තියෙනවා upload කරන්න බැරි
ReplyDelete