ඒ මුලු සතියම වගේ හැමදාම උදෙයි, හවසයි මට භූපව හම්බවුණා. ඒ එක මොහොතක් වත් නැති කර ගන්න මට ඕන වුණේ නෑ. ඒ සති අන්තේ මම ගෙදර නොගිහින් නැවතුනෙත් භූපටත් ගෙදර යන්න විදියක් නොතිබුණ හන්දා. ඔහු ඒ සති අන්තේ research එකේ වැඩ කරන්න හොස්ටල් නැවතුණ නිසා මමත් නැවතුණා. පහුගිය දවස් වල සිද්ධ වුණ දේවල් හන්දදෝ භූප ගැන, අපි දෙන්නා එකට ඉන්න කාලේ ගැන මට දැනුනේ ලෝබ කමක්. මට ඉඩක් ලැබුණ හැම වෙලේකම, භූප නිදහස් හැම වෙලේකම අපි උන්නේ එකට. හම්බවුණ හැමදාකම වගේ අපි හය හත වෙනකල් කොහේට හරි වෙලා කතා කර කර උන්නා. කතා නොකලත් මට ඕන වුණේ ඔහු ලඟින් ඉන්න. සමහරවිට ඒ මට වඩා මගේ යටි හිතට අපේ අනාගතේ පෙනුන නිසාද කියන්නත් මම දන්නේ නැහැ. අපි දෙන්නට බාධාවක් නැතිව මුණගැහෙන්න නිදහස තිබුණ එකම තැන සරසවිය විතරමයි. ඒත් ඒ සරසවිය තවදුරටත් එහෙම වුණේ නෑ කියලා මම දැනගත්තේ ගොඩ කාලෙකට පස්සේ. එහෙදිත් අපි දෙන්නා ගැන හොයපු, චේතියගේ ඇස් තිබුණ හන්දා.
"අපි අද බයික් එකේ ගෙදර යමුද?" සිකුරාදා උදේ ගෙම්බා එකේ කෑම කකා ඉද්දි භූප ඇහුවා. මම ඇස් ලොකු කර ගත්තේ ඒකේ තියෙන බරපතලකම නිසා.
"හම්මෝ ඔයාට පිස්සුද? හෙට වෙද්දි ගමේ කැලෑ පත්තරත් ගහලා තියෙයි. මට නම් බෑ. අපි කෝච්චියෙම යමු" මම කිව්වා.
"බයගුල්ලි. කැලෑ පත්තර ගහන්න මොකෝ අපි හොර ජෝඩුවක්යැ? අපි හවස් වෙලා යමු. එතකොට ගෙදර යද්දි රෑ වෙනවනේ. මම ඔයාව ගෙදරට මෙහා වංගුවෙන් දාන්නම්" භූප කිව්වා.
"අනේ මංදා"
"ගෙදර අය තාම බයික් එක දැක්කේ නෑ. මට ඔයාව තනියෙම කෝච්චියේ යවන්නත් බෑ"
"තනියෙම යන එක සැපයි. අපේ ගෙදරට හෙම ආරංචි වුණොත් මම ඉවරයි"
"ආරංචි වුණොත් හොඳයි නේ. එතකොට මට එන්න අලුත් හේතුවකුත් තියෙනවා කෙලින්ම ඇවිත් අම්මලටම කතා කරන්න"
"ඔයාට නම් විහිලු භූප"
"විහිලු නෙවෙයි දුලාරා. මම කිව්වනේ මම දුලීට කියන්නම් කියලා. මොනාහරි වුණොත් මම ගෙදරට එන්නම්. ඔයා බය වෙන්න එපා"
මම ඒකට එච්චරම කැමති නැති වුණත්, අනිතිමේදි මම භූප එක්ක එකඟ වුණා. ඒ නිසා සිකුරාදා පහට විතර අපි දෙන්නා පේරාදෙනියෙන් එන්න පිටත් වුණේ භූපගේ බයික් එකේ. ඒක මට කවදාවත් අමතක නොවෙන ගමනක් වුණා. අපි මග නතර කර කර, කකා බිබී හිනා වෙවී ආවේ, අපේ ප්‍රශ්ණ සේරම මොහොතකට අමතක කරලා. එන මග දිගට වැහි අඳුරක් තිබුණත් අපි මීරිගමට එනකල්ම වැස්සක් ආවේ නෑ අපේ වෙලාවට. කොහොමහරි අපි අන්තිමේදි ගෙවල් පැත්තට හරවන පාරට දාද්දි, වැස්ස හෙමි හෙමින් කඩා වැටෙන්න ගත්තා. වැස්ස නිසයි, රෑ නිසයි මුලු පරිසරයම තිබුණේ තිත්ත කලුවරක ගිලිලා. කිව්වා වගේම භූප මාව අපේ ගේ ලඟ වංගුවෙන් බැස්සුවා. බැහැලා කුඩෙත් ඉහලගෙන මම මොහොතක් නැවතුණේ ආයෙම හම්බවෙනකල් ඔහුගෙන් සමු ගන්න.
"එහෙනම් මම යන්නද?" අඳුරේ, හෙල්මට් එක අස්සෙන් පෙනුන භූපගේ ඇස් දෙක දිහා බලලා මම ඇහුවා.
භූප හෙල්මට් එක ගැලෙව්වේ වැස්සත් නොතකාම. මම ඔහුටත් එක්කම කුඩේ ඇල්ලුවා ඒ පාර. ඒත් අපි දෙන්නම උන්නේ බාගෙට තෙමිලා.
භූප සීතල අතකින් මගේ කම්මුලක් හෙමිහිට පිරිමැද්දා.
"යන්න දෙන්නත් බෑ වගේ" භූප කිව්වේ හෙමින්.
"ඒත් අරන් යන්නත් බෑනෙ" මම කිව්වේ මදහසක් පාලා.
"ඒක නේන්නං. එහෙනං අවුරුදු තෑග්ගවත් ගන්නම් නේ. මතක් වෙන්න" භූප කිව්වා.
"මොකක්ද?"
ඒ භූප උත්තරයක් නොදීම පාත් වෙලා මගේ දෙතොල් සිප ගත්තා. ඒ උණුසුමෙන් මිදෙන්න ලෝබ හිතුණත්, මොහොතකට පස්සේ මම ඔහුගෙන් ඈත් වුණේ කවුරුත් ඒවි කියන සැකේටයි, දැනටමත් ගෙදරයන්න පරක්කුයි කියලා මතක් වුණ නිසයි.
"මම ඔයාට ගොඩාක් ආදරෙයි දුලාරා...මොනා නිසාවත් මම ඔයාට මගෙන් ඈත් වෙන්න දෙන්නේ නෑහරිද? ඒ නිසා ඔය වෙන දේවල් ගොඩක් හිතට ගන්න එපා. දැන් එහෙනම් යන්න. මම ඔයා යනකල් බලාගෙන ඉන්නේ. ඒ නිසා බය නොවී යන්න හොඳේ" භූප මගේ හිස අතගාලා කිව්වා.
"ඉරිදා හම්බවෙමු එහෙනම්" මම එහෙම කියලා ඔහු ලඟින් මෑත් වෙලා ගෙදර එන්න ආවා වැස්ස තව තද වෙද්දි.
මම එද්දි අම්මා උන්නේ මග බලාගෙන.
"ආ...ඇති යන්තම් ආවද? මම දැන් කී පාරක් කෝල් කලාද? ෆෝන් එක ඇහෙන්නේ නැද්ද ළමයෝ?"
"වැස්ස නිසා දුවගෙන ආවා අම්මා. ඇහුණේ නෑ" මම එහෙම කියාගෙන ගෙට එන්න ආවා.
"ඉක්මණ් කරලා ඔය තෙත ඇඳුම් ගලවලා දාලා ඇඳුමක් මාරු කරගෙන එන්න. මම තේ ටිකක් හදන්නම්"
අම්මා එහෙම කියනවා ඇහුණා මට කාමරේට. මම තෙත ඇඳුම් පිටින්ම කාමරේ ජනේලේ ලඟට ගියා. එලියේ තිබුණේ තිත්ත කලුවරක්ම විතරයි. භූප තෙමි තෙමීම ගෙදර යන්න ඇති කියලා මට හිතුණා. ඒ එක්කම මගේ සිහියට ආවේ දැන් මොහොතකට කලින් අපි ලං වෙලා උන්නු හැටි. ඒ උණුසුම, ඒ ආදරේ මගේ ජීවිතේ එක්ක කොච්චර නම් වෙලිලද? දාහක් ප්‍රශ්ණ හිතේ තවමත් ඉතිරි වෙලා තිබුණත්, මෙවෙලේ හිතේ තිබුණේ පිරුණු ගතියක්...සතුටක්...ඒ මගේ භූප නිසා.
***
සෙනසුරාදට පහන් වෙද්දි හිතේ තිබුණේ නිවී සැනසුන ගතියක්. කලින්දා වැහැපු වැස්ස තුරල් වෙලා, අව්වක් වැටිලා තිබුණා. මම ගේ අතු ගාල අස් පස් කරලා ඉවර වෙලා, තාත්තට ලියකියවිලි වගේක වැඩ කරන්න උදව් කර කර ඉද්දි පොඩි අයියා ගෙදර ආවේ හදිසියෙන් වගේ.
"ආ...පොඩි පුතා ආවද? මම හිතුවේ මේ සතියේ එන එකක් නෑ කියලා" අම්මා කිව්වා.
කෑම මේසේ ලඟ උන්නු මම කරමින් උන්නු වැඩේ නවත්තලා ඒ දිහා බලද්දි අයියා කෙලින්ම එමින් උන්නේ මගේ ලඟට. ඒ මූණේ තිබ්බේ මම කවදාවත් නොදැකපු විදිහේ හැඟීමක්.
"එන්න නෙවෙයි, ගමෙනුත් යන්න තමයි අපට ඊලඟට සිද්ධ වෙන්නේ" අයියා එහෙම කිව්වේ පස්සෙන් ආපු අම්මට.
මම ඔහු දිහා බැලුවේ ගැස්සිලා. අයියට මෙච්චර තරහා ගියේ ඇයි? සමහරවිට භූප මොනා හරි කියන්නවත් ඇතිද කියලා හිතද්දි මට දැනුනේ බයක්.
"මොනාද පුතේ ඔයා මේ කියන්නේ?" අම්මා උන්නෙත් අන්ද මන්ද වෙලා.
කුස්සියට ගිහින් උන්නු තාත්තත් මේ සද්දේ ඇහිලා සාලෙට ආවා.
"මොකක්ද මේ කෑගැහිල්ල? පොඩි පුතා...ඔයා කොයි වෙලේද ආවේ? මොකක්ද මේ හදිසිය?" තාත්තත් ඇහුවා.
"හේතු භූත ඔක්කොම අහන්න ඕන මෙයාගෙන්" අයියා මා දිහාට අතක් දික් කරලා කිව්වා.
"ඇයි...මම මොකද කලේ?" මම ඇහුවේ අයියා දිහාම බලාගෙන.
හපෝයි..
ReplyDelete