Saturday, January 18, 2014

අවසරයි ලං වෙන්න: තිස් නමවන කොටස



අස්ගිරියේදි මගේ ජීවිතේ අලුත්ම පරිච්චේදයක් පටන් ගත්තා කියලා මට හිතුණා. ආපු මුල්ම දාට පස්සේ දවස් දෙකක් විතරම මාව කැම්පස් එක්ක ගියේ ආවේ චේතිය. මට හරියට දැනුනේ නාසි සිරකාරියක් වගේ වද වේදනාවක්. හු අහන ප්‍රශ්ණ වලට මට උත්තර තිබුණේ නෑ. මම ගොඩ වෙලාවට හිටියෙම නිශ්ෂබ්දව. අන්තිමට ඒක මට පුරුද්දටම ගියා වගේ වුණා. ගෙදරදිත් මම කතා බහක් නැතුවම මගේ ලෝකේ තනිවෙලා උන්නා මිසක්, අක්කලා සේරම පිස්සු නටද්දි පවා මම පැත්තකට වෙලා බලාගෙන උන්නා විතරයි.
හිතේ කොහොමවත් සැනසුමක් තිබුණෙත් නැහැ. මොකද කැම්පස් එකේ කොහේදිවත් මට භූපව දකින්නවත් නොලැබුණ නිසා. ඔහුව මගේ යෙහෙලියකටවත් මුණගැහිලා තිබුනේ නෑ. අඩු තරමේ භූපගේ යාලුවෙක් එක්ක කතා කරන්න්වත් අපට ඉඩක් නොලැබුණේ අපි ඈතින් දැක්ක ගමන්ම අය කොහේ හරි අතුරුදහන් වෙන්න පුරුදු වෙලා හිටපු නිසා.
"මේකේ නම් මොකක් හරි කොස්සක් තියෙනවා දුලා. නැත්තම් මොකටද අපි දැක්කම සාලියලා හැංගෙන්නේ?"
එක දවසක් ඔය වගේ දෙයක් වුණාට පස්සේ මට එහෙම කිව්වේ තාරකා.
මම එවෙලේ හිටියෙත් ගොඩක් හිත රිදිලා. ඒත් අපට එවෙලේ වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ. කොහොමටත් වෙලාවක් තිබුණෙත් නෑ ලෙක්චර්සුත් එක්ක, ගැන හොයන්න. අර කාටද වගේ මට කැම්පස් එකේ තිබුණේ අට පහ වෙලාව විතරනේ කොහොමත්.
චේතිය කොලඹ ගියාට පස්සේ මම උදේ ගියේ අනුක් එක්ක. අක්කලා එක්ක හුරතල් වෙවී පිස්සු නැටුවත් අනුක් මා එක්ක නම් හැසිරුණේ බොහොම සංයමකින් කියලා මට හිතුණා. ඔහු මා එක්ක කතා කලෙත් වචන දෙක තුනක් විතරයි.
"Can you please come to the front seat?"
මුලින්ම ඔහු එක්ක යනදා, මම  පිටිපස්සේ සීට් එකේ වාඩි වෙන්න හදද්දි අනුක් ඇහුවා.
"කමක් නෑ මම පිටිපස්සේ එන්නම්" මම කිව්වා.
එතකොටම වගේ යශෝ අක්කත් එලියට ආවේ අනුක්ගේ අමතක වුණ කෑම එකත් අරගෙන.
"මොකෝ මේ අද යන්නේ නැද්ද?" ඈ ඇහුවේ අපි දෙන්න වාහනේ දෙපැත්තේ හිටගෙන උන්නු හැටි දැකලා.
"අක්කාවත් කියන්නකෝ. මෙයාට බැරිලු ඉස්සරහට එන්න. මෙහෙම පිටිපස්සේ යද්දි මම නිකං driver වගේ නෙ" අනුක් කිව්වා.
"අනේ නංඟියෝ ඔන්න ඔහේ ඉස්සරහින් නගින්න. නැත්තම් අද වාද කර කර මෙතනම ඉන්න වෙයි" යශෝ අක්කා මා දිහා බලලා කිව්වා.
"It is rude to sit in the back unless you are in a taxi" අනුක් ආයෙම කියනවා.
මම යශෝ අක්කා දිහා බැලුවා.
"ඔව්. ඉතිං එහෙම එකකුත් තියෙනවා"
"මම හිතුවේ එහෙම ඉස්සරහින් නගින එක rude කියලා" මම කිව්වේ මම ඇත්තටම හිතාගෙන උන්නු විදිහ.
"නෑ නෑ. එහෙම නොකලොත් ඒක එලවන කෙනාට insult එකක් වගේ කියලා තමයි සාමාන්‍යයෙන් හිතෙන්නේ. හරි හරි..දැන්වත් යන්න. නැත්තම් දෙන්නටම පරක්කු වෙයි" ‍යශෝ අක්කා කෑම එක අනුක් අතට දෙන ගමන් කිව්වා..
මම සුසුමක් හෙලලා ඉස්සරහින් නැග්ගේ වෙන කරන්න දෙයක් නැති නිසා. ඒත් මේ හැම දෙයක්ම මට දැනෙමින් තිබුණේ හරි වදයක් විදියට. මට උන්නු විදියට හොස්ටල් එකේ ඉන්න දුන්නා නම් මෙහෙම වදයක් මටවත්, අනුක්ලටවත් නෑනෙ කියලා මට හිතුණා. මම කල්පනා කලේ කවදා මේ දේවල් ඉවරයක් වේවිද කියලා.
"මාව ගලහා හන්දියෙන් දැම්මොත් මට බස් එකක යත හැකි" එදාම ගලහා හන්දියට වාහනේ සේන්දු වෙද්දි මම කිව්වා.
"නෑ.නෑ. මට කියලා තියෙන්නේ ඔයාව සෙනෙට් එක ලඟටම දාන්න කියලා. මම වාහනේ එතන දාලා පයින් යන්නම්" ඔහු කිව්වේ එච්චරයි.
"කීයටද අද lectures ඉවර?" එදත් අනික් ගතවුන හැමදාකමත් උදේ බහිද්දි අනුක් මගෙන් ඇහුවා.
ඇහුවා වගේම හැමදාකම ඔහු වෙලාවට මාව එක්ක යන්නත් ඇවිත් හිටියා. මට හිතුණේ මෙයා නම් චේතියටත් වඩා හපන් watch dog කෙනෙක් කියලා.
"ඒයි දුලා...අර අතන notice board එක ලඟ ඉන්නේ සාලිය අයියයි, රනිල් අයියයි නේද?"
සිකුරාදා දවල් ගෙම්බා එකෙන් කෑම කාලා lecture hall එක පැත්තට යද්දි මගේ අතකින් ඇදලා පෙන්නුවේ චතූ. මම පැත්ත බලද්දි, එතන පොදි කකා උන්නු සෙනග අස්සේ දෙන්නා ඉන්නවා මටත් පෙනුනා.
"මම අද කොහොමහරි දෙන්නට කතා කරනවා" මම තදින්ම කිව්වා.
"lecture එකට තව විනාඩි දහයයි තියෙන්නේ. ඒක කට් වෙයි දැන් ඔය දෙන්නා එක හොරා පොලිස් කරන්න ගිහින්" එහෙම කිව්වේ නිලීකා.
"කමක් නෑ. ගිහිං බලමුකෝ" තාරකා එහෙම කියාගෙන ඉස්සර වුණා.
අපි එතනට යද්දිම වගේ රනිල් අපිව දැක්කත් එවෙලේ දෙන්නට අපිව මගාරින්න තරම් වෙලාවක් වුණේ නෑ.
"...මේ.. මෙයාලනේ. කොහොමද?" සාලිය අයියා ඇහුවේ අපි දිහා යන්තම් යන්තම් බලමින්.
"අයියලා මොකද දැන් අපි දැක්කම හැංගෙන්නේ?" කවදත් කට වැඩි තාරකා ඇහුවා.
"හැංගුණා? මේ අපි නෑ..." රනිල් කිව්වෙ තතනමින් වගේ.
"නැත්තේ මොකද මේ සතියෙම අපි ඔයාලව අල්ලගන්න කොච්චර මහන්සි වුණාද?" චතූත් කිව්වා.
සාලිය අයියාවත්, රනිල් වත් මා දිහා කෙලින් බැලුවේ නෑ.
"කෝ අයියේ භූප?" බැරිම තැන මම ඇහුවා.
පාර දෙන්නා මූණෙන් මූණ බලාගෙන ආපහු බිම බලාගත්තා.
"ඇයි ඔයාලා භූප ගැන ඇහුවම ඔහොම හැසිරෙන්නේ?" මම ඇහුවේ හිතේ දුකක් මෝදු වීගෙන එද්දි.
"අනේ මට කියන්න අයියේ භූප කොහෙද කියලා. මම එයාට ගෙදර ඉද්දිත් කෝල් කලා. ෆෝන් එක උස්සන්නෙත් නෑ. මට වෙන පණිවිඩයක් දැනගන්න කෙනෙකුත් නෑ...අඩු ගාණේ ඔයාලවත් දන්නේ නැද්ද එයා ගැන විස්තරයක්" මම ඇහුවා ආයෙම.
"මේ...භූප දැන් කැම්පස් එනවා අඩුයි නංඟි. අර project එක කරන්න පිට ගිහින් නේ ඉන්නේ" සාලිය එහෙම කිව්වේ මා දිහා යන්තම් බලලා.
"ඔයාලා දන්නවා නේද මේ දෙන්නට වෙච්ච දේ?" තාරකා ඇහුවා පාර.
"හ්ම්" දෙන්නම හිස වැනුවේ එකට.
"අපට ඇත්ත කියන්න. භූප ආයේ කැම්පස් එන්නෙම නැද්ද?" තාරකා ආයෙම අහද්දි, මගේ ඇස් වලට කඳුලු පිරෙන්න ගත්තේ උල්පතකින් වතුර ගලන්නා වගේ.
"අනේ පිං සිද්ධ වෙයි අයියේ, මට එයා ගැන විස්තරයක් හොයලා දෙන්න. දැන් මාසයක් විතරම එයාව මම දැක්කෙත් නෑ, එයා ගැන තොරතුරකුත් නෑ. එයාට මොනා වෙලාද දන්නෙත් නෑ. මට මෙච්චර දුකක් උහුලන්න බෑ දෙයියනේ. භූප ගැන මතක් වෙන වාරයක් ගාණේ මගේ පපුව හිර වෙනවා. මම කොහොමද මෙහෙම ඉන්නේ එයාට මොනා වුණාදවත් නොදැන?" මම කියාගෙන යද්දි කඳුලු ඉබේම ඇස් කෙවෙණි වලින් කම්මුල් වලට බේරුණා. මම ඉක්මණට පිටි අල්ලෙන් කඳුලු පිහ ගත්තා.
සාලියයි, රනිලුයි මා දිහා බලාගෙන උන්නේ දුකකින්. චතූ මගේ අතකින් අල්ලගෙන උන්නා.
“භූප කරදයක් නැතුව ඉන්නවා. ඔයා ගැන හිත කරදර කරගන්න එපා. research වැඩ පිලිවෙලක් වෙද්දි ආපහු මෙහේ ඒවි. ආයෙම එහෙම එන දවසක් තිබුණොත් අපි කියන්නම්" සාලිය කිව්වා.
"එයා කොහේද දැන් ඉන්නේ?" මම ඇහුවා.
"මේ...රත්මලානෙ මම හිතන්නේ" රනිල් එක පාරටම පැනලා උත්තර දුන්නා.
"ඔයාලට කෝල් කරනවද?"
"එහෙම කතා කරන්නේ නෑ නිතරම. ඒත් අපි අද කතා කරලා කියන්නම්කෝ ඔයා හම්බවුණ වග" සාලිය කිව්වා.
"මට එයාට කතා කරන්න ඕන. ඒත් එයා කොයි වෙලේකවත් ෆෝන් එක answer කරන්නේ නෑ" මම කිව්වා.
"මේකයි... එන්නේ රෑට රෑ වෙලානෙ. නිසා වෙන්න ඕන" සාලිය කිව්වා.
"මම දන්නවා වෙච්ච දේවල් එක්ක ආපහු අපට ඉස්සර වගේ ඉන්න පුලුවන් වෙයිද කියන එක ප්‍රශ්ණයක් කියලා. ඒත් මො කරන්නත් මට මුලින් භූපව හම්බවෙන්න ඕන. මට කිසි දෙයක් ගැන තනි තීරණයක් ගන්න බෑ" මම කිව්වා.
"අපට තේරෙනවා නංඟි. වෙච්ච දේ ගැන අපටත් දුකයි. බලමුකෝ මොකද කරන්නේ කියලා නේද?" රනිල් කිව්වා.
"නංඟියෝ...මෙහෙම අපි කතා කර කර ඉන්න එක ඔය නංඟිටමයි හොඳ නැත්තේ. අපි මොනා හරි ආරංචියක් ආවොත් අනිවාර්යෙන්ම කියන්නම්. දැන් හොඳ කෙල්ලෝ වගේ යන්න lecture එකට" එහෙම කිව්වේ සාලිය.
රනිල් නිහඬවම උන්නත් මට හිතුණා ඔහු මොකක්දෝ දෙයක් හිතේ හංගගෙන ඉන්නවා කියලා. 'ඒත් මං කොහොමද හිත කියවන්නේ?'

එදා හවස මම අනුක්ගේ වාහනේට නැග්ගෙත් කල්පනාබරවමයි. මට හිතුණෙම මට නොපෙනෙන්න හරි භූප මේ කැම්පස් එකේ කොහේම හරි ඉන්නවා ඇති කියලමයි.
"are you OK?" වාහනේ ගැටඹේ පන්සල පහු කරද්දි වගේ ඉස්සරහ කණ්ණාඩියෙන් මා දිහා බලපු අනුක් ඇහුවා.
"ඇයි එහෙම අහන්නේ?" මම ඇහුවා.
"මූණත් මැලවිලා වගේ නිසා. මොකද අද lectures upset ද?" අනුක් ඇහුවා.
"ම්ම්...ටිකක් විතර. හවස් වෙද්දි නම් ඇති වෙලා ඉන්නේ" මම ඔහේ කිව්වා.
"හනේ ඔව්. වෙලාවකට මටත් එහෙමයි. හවස් වෙද්දි සේරම pickle වෙලා. අනාතයි" එහෙම කියපු අනුක් හිනා වුණා.
ඔහු මා එක්ක මෙහෙම කතා කරපු පලවෙනි වතාවද මන්දා.
"පැනඩෝල් ගන්න ඕනද? ඔහු දොඩම්වල හන්දියෙන් ඇවිත් පරණ පාරට වාහනේ හරවණ ගමන් ඇහුවා.
"අනේ ඕන නෑ. මේක ඇරිලා යයි" මම කිව්වා.
"are you sure?"
"ඔව් ඔව්"
ඊට පස්සේ ගෙදරට එනකල්ම ඔහු ආයෙම කතා කලේ නෑ. මම සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගෙන ආඅවා.
"චේතිය අයියා ඇවිත් වගේ" ගෙදර ඈත තියාම අනුක් කියද්දි මමත් එබිලා බැලුවා.
බැලින්නම් ඔහු ඇවොත් තමා. මම වාහනෙන් බැස්සේ තවත් හිසරදේ වැඩි වෙලා. මම යද්දි චේතිය උන්නේ සාලේ තේ එකක් බිබී.
"...මේ වෙලාවට එන්නේ"  
අපි දැක්ක ගමන් චේතිය කිව්වේ හිණා වෙලා.
මම ඔහුට යන්තම් හිනාවක් පාලා කාමරේට එන්න ආවා.ඇවිත් ඇඳට වැටිලා මම කල්පනා කලේ භූප ගැන. මගේ හිතට බයක් නොදැනුනා නෙවෙයි. මට එක එක විකාර දේවල් හිතුණා. ඒත් මම එක දෙයක් දැනගෙන හිටියා. කොහේක හරි මම වෙනුවෙන් ගැහෙන හදවතක් එක්ක භූප ඉන්න වග. මට හැමවෙලේකම මතක් වුණේ අපි අන්තිමට සමු ගත්තු දවස. ඊට පස්සේ චේතිය මට කියපු දේවල්. මම තාමත් කෝක විශ්වාස කරන්නද කියලා නොදැන, ඔහේ අරමුණක් නැති වලාකුලක් වගේ පාවී පාවී උන්නා.
"දුලාරා..."
මම කල්පනා ලෝකෙන් මිදුණේ චේතියගේ කටහඬට. මම හිස යන්තම් හැරෙව්වේ ඔහුව ඇහුණ බව අඟවන්න.
"මොකෝ අසනීපයක්ද?" චේතිය එහෙම ඇහුවේ කාමරේ ඇතුලටම එන ගමන්.
මම ඇඳෙන් නැගිටලා ඇඳේම කොනක වාඩි වුණා.
"මගේ හිස කකියනවා" මම බොරුවක් කිව්වා.
"අපි..යමුද පොඩ්ඩක් එලියට. සමහරවිට හුලං වැදුණම අඩු වෙයි ඕක" ඔහු ඇහුවා.
අකමැත්තෙන් වුණත් මම නැගිටලා එලියට ආවෙ ඔහු එක්ක කාමරේ තනි වෙන එක නොමනා නිසා.
එලියට බැහැපු අපි අන්තිමට නතර වුණේ, වත්තේ පොඩි pond එක ලඟ. එතන පැත්තක තිබුණා උණ ගහකුත්. ගහ මුල පොඩි බංකුවකුත් තිබුණා.
"මම දන්නවා මොකද හිස කකියන්නේ කියලා" එතන නැවතුණ චේතිය මට එහෙම කිව්වම මම ඔහු දිහා බැලුවා. ඔහුත් මා දිහා බැලුවා.
"ඔයා කොහොමද දන්නේ?" මම ඇහුවේ නොරිස්සුමක් හිතේ ඉපදීගෙන එද්දි.
"මොනවද අද අර භූපගේ පන්දමාලා දෙන්නා එක කතා කර කර හිටියේ?" චේතිය එහෙම ඇහුවම මාව උඩ ගියා. 'මෙයා කොහොමද ඒක දන්නේ?'
"දැන් කැම්පස් එකේ අය එක්ක කතා කරන්නත් මම ඔයාගෙන් අවසර ගන්න ඕනද?" මම තරහා නිසාම කතා කලේ කැත්තට පොල්ල වගේ.
"මගෙන් නම් අවසර ඕන නෑ. ඒත් මට දැනගන්න ඕන මොනාද උන් කිව්වේ කියලා"
"ඒක අපේ කතාවක්" මම කිව්වා.
"දුලාරා...මගේ යකා අවුස්සගන්න එපා. මම මේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් කලාට පස්සෙත් ඔයා මට කතා කරන්නේ ඔහොමද? මට අයිතියක්  නැද්ද ඔයා කරන්නේ මොනාද කියලා දැනගන්න. අනික ඔයා අමතක කරන්න එපා අම්මලා ඔයා ගැන ලොකු විශ්වාසයක් තියලයි මෙහේ එව්වේ කියලා" චේතිය කියාගෙන ගියේ මූණත් නපුරු කරගෙන.
මමත් ඔහු දිහා බැලුවේ ගිනි පිටවෙන දෑසින්මයි.
"මේක හරි කතාවක් නේ දෙයියනේ. මනුස්සයෙක් එක්ක කතා කරන්නත් මට බැරිද?" මම ඇහුවේ ටිකක් සද්දෙන්.
"කතා කර කර තාම අහන්නේ හොයන්නේ අරූ ගැන නම්, ඒක ගැන හොයන එක මට අදාලයි දුලාරා. අම්මලා, අයියා මගේ වචනේ විශ්වාස කරලයි ඔයාව මෙහේ එව්වේ. අපේ ලොකු අප්පච්චිලා මාව විශ්වාස කරන නිසයි, මං නිසයි ඔයාව මෙහේ තියාගන්නේ. සේරම ආයෙම අවුල් කරන්නද හදන්නේ ?" චේතිය ඇහුවා.
"ඒක එහෙම නම්, මට මෙහේ ඉන්න ඕන නෑ. මට campus ඕනත් නෑ, මොන මගුලක් වත් ඕන නෑ. මම යනවා යන්න" මම එහෙම කියලා එතනින් එන්න යද්දි චේතිය මගේ බාහුවකින් ඇදලා මාව නතරකර ගත්තා.
"ඉන්නවා ඔහොම ටිකක්. එහෙම ඕන ඕන නටන්න බෑ මා එක්ක. තමුසේ දැන් මගේ. තමුසේ දැන් ඉන්න ඕන මට ඕන විදියට. මගේ යකා අවුස්සගන්නේ නැතුව, මින් පස්සේ ඔය වැඩේ නතර කරනවා. මම මේ පිස්සු බල්ලෙක් වගේ නහින්න හදන්නේ තමුසේ නිසා...ඒක තේරුම් ගන්නවා"  
චේතිය කිව්වේ රිදෙන තරම් හයියෙන් මගේ බාහුව මිරිකගෙන.
මම උන්නේ මගේ කන් දෙක අදහගන්න බැරුව. ජීවිතේ කවදාවක් මට මතක ඇති කාලෙක, කලාතුරකින් පොඩි අයියා ඇරෙන්න වෙන කවුරුවත් මට තමුසේ කියලා කතා කරලා නෑ. මගේ හිත තරහකින් පිරුණේ ඇසිල්ලකින්.
"ඔය හිතාගෙන ඉන්න දේවල් කවදාවත් ඉෂ්ඨ වෙන්නේ නෑ. මම ආදරේ භූපට. භූපට විතරයි. ඒක වෙනස් කරන්න කාටවත් බෑ"
"මොකක්ද තමුසේ කිව්වේ? ආයෙම කියනවා බලන්න"
"මම ආදරේ භූපට. භූපට භූපට විතරයි. ඇයි මොනා කරන්නද?" මම ඇහුවෙත් තරහින්මයි.
"මොනා කරන්නද? මට කරන්න පුලුවන් දේවල් තමුසේ තාම දන්නේ නෑ දුලාරා. තමුසේ දැනගන්නවා මේ ලෝකේ මට ඕන කියලා හිතුණ හැමදේම මම ලබාගෙන තියෙනවා. හොඳින් හරි නරකින් හරි. තියෙද්දි මම මෙච්චර ආදරේ කරන තමුසෙව කොහෙවත් යන එකෙට අරන් යන්න මම ඉඩ දෙයි කියලා හිතන්න එපා. අනික මම කිව්වනේ, භූප ගියා කියලා. හැමදේම එපා කියලා ගියා කියලා" චේතිය කිව්වේ තර්ජනාත්මකවද මන්දා. ඇස් දැක්කම මගේ හිතට දැනුනේ බයක්.
"මට මේවා අහන්න ඕන නෑ. කරුණාකරලා මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න. භූප ගියා නම් ඒක මගේ ප්‍රශ්ණයක්. ඒක මම තනියෙම විසඳගන්නම්. දෙයියන්ගේ නාමෙට මට මෙහෙම වද දෙන්න එපා චේතිය අයියා. ඔයා කාටවත් බැරිද අඩු ගාණේ මට මගේ හිත හදාගන්න ඉඩ දෙන්න? මේ හැමදේම වෙලා තව මාසයක්වත් නෑ. ඇයි තවත් මට මෙහෙම රිද්දන් නේ? මට වෙච්ච දේවල් මදිවටද? මම භූපට ගොඩක් ආදරෙයි තාමත්. ඒක කොහොමද මම ඔයාලා කියන විදියට දවසින් දෙකෙන් අමතක කරන්නේ? ඔයාට පුලුවන්ද එහෙම කරන්න? මට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න. ඔයාලට ඕන වුණේ භූපව මගෙන් ඈත් කරන්න නේ. දැන් ඒක වෙලානේ. ඉතිං මට ඉඩ දෙන්න හිත හදාගන්න. please..මගේ ඔලුව පැලෙන්න එනවා චේතිය අයියා. අනේ මට මෙහෙම වද දෙන්න එපා. මට යන්න දෙන්න. මට තවත් කතාකරන්න බෑ"  මම චේතියට කිව්වේ ඇස් කඳුලු වලින් තෙත් වෙද්දි.
මගේ දිහා බලාගෙන මොහොතක් උන්නු චේතිය ඊට පස්සේ වචනයක් වත් නොකියා යන්න ගියේ මාව එතනම තනි කරලා. තවත් මොහොතක් එහෙමම ඉඳලා මම ආපහු ගෙට එන්න එද්දි චේතියගේ වාහනේ වේගෙන් මාව පහු කරගෙන ගියේ මම උන්නද වත් නොබලා. ඒත් මට දුකක් දැනුනේ නෑ.
"මොකෝ අරයා පිඹගෙන යන්න ගියේ? දෙන්නා රණ්ඩු වුණාද?" මම ගෙට යද්දිම දොරකඩ හිටගෙන උන්නු ගෝතමී අක්කා ඇහුවා.
මම උත්තරයක් නොදී යන්තමට හිනා වෙලා එන්න ආවේ, ඇතුලාන්තෙන් හිත හොඳටම අඬද්දි. එහෙන් භූප ගැන ආරංචියක් වත්  නෑ. මෙහෙන් චේතියගේ විකාර. මම දැනගෙන උන්නේ නෑ කරන්නේ මොකක්ද කියලා. දුකට නෙත් කෙවෙණි තෙත් වුණාත තවත් අඬන්න මට කඳුලු තිබුණේ නෑ. හරියට මගේ ජීවිතේම මිදිලා ගිහින් වගේ. හෙට දවස ගැන තිබුණ එකම බලාපොරොත්තුව, කොයි වෙලේක හරි මට භූපව මුණගැහෙයි කියන එක විතරමයි.

1 comment:

  1. Oyage katawa godak lassanai akki. Mame oyage hama katawama kiyawanawa. But mame hitanawa me katawa hoda widiyakin iwara wei kiyala. Hama katawama iwara wenne akama widihen. Hma katawenma pennanne demawpiyan waradi kiyana aka. at me godak welawata demawpiyan tamai hari. mame hitanawa oyawat me katawen kiyawana ayata adarshayak dei kiyala.

    ReplyDelete