Monday, July 29, 2013

අවසරයි ලං වෙන්න: දහතුන්වන කොටස



ගෙදර ආපු දවසෙම ගිහින් බෙහෙත් අරන් ආපු හන්දා, සිකුරාදා වෙද්දි මට උණ සනීප වෙලයි තිබුණේ. ඒත් හිත තිබුනේ නම් ලෙඩ වෙලා වගේ. එදා හවස යන්න ගියපු භූප ගැන ආරංචියක් මට ලැබුනේ නෑ, සිකුරාදා හවස කේතකී මාව හම්බවෙන්න එනකල්ම. අපේ කඩුල්ල ඇරගෙන කේතකීයි, එයාගේ අම්මයි අපේ මිදුලට එද්දි මම උන්නේ ඉස්තෝප්පුවට වෙලා තාත්තගේ ලිය කියවිලි වගයක් ෆයිල් වලට දාන ගමන්.
"දැන් සනීපද?"
කේතකී එහෙම ඇහුවේ ගෙට ගොඩ වෙන ගමන්. කේතකීගේ අම්මත් ඒ එක්කම ඉස්තෝප්පුවට ගොඩ වුණා. මම පුටුවෙන් නැගිට්ටේ පුරුද්දට වගේ.
"ඔව්..."
"කෝ ළමයෝ අම්මා, කුස්සියෙද?" කේතකීගේ අම්මා එහෙම ඇහුවේ ගෙයි ඇතුලට එබෙන ගමන්.
"නෑ...අන්න ටීවී එකේ මොනවද බලනවා. යන්න නැන්දේ මැද සාලේ" මම කිව්වා.
කේතකී නම් අනාරාධනාවෙන්ම මම හිටපු පුටුවට ලඟින් තිබුණ අනෙක් පුටුවේ වාඩි වෙලයි උන්නේ.
"හොර ලෙඩ දාගෙන, lectures කට් කරලා ගෙදර එනවා නේද?"
" වැඩේමයි" මම කිව්වේ ආපහු වාඩි වෙන ගමන්.
"වැඩේ තමයි. අපේ අයියටත් ඉතින් හොඳ ජොබ් එක" කේතකී කිව්වේ අහක බලාගෙන හිනා වෙවී.
"මම අයියව බලෙන් එක්කගෙන ආවේ නෑ" මම කිව්වා.
"එතකොට එයාද බලෙන්ම ආවේ?" කේතකී ඇහුවේ මගේ දිහා බලලා.
එහෙම ඇහුවාම නම් මම නිරුත්තර වුණා. භූපට මොනම විදිහක වත් වරදක් කියන්න මට ඕන වුණේ නෑ.
"එයා උදව්වක්නේ කලේ" මම ඊට පස්සේ කිව්වා.
"හරි හරි. මොකෝ මම ඒක නොදන්නේ? දැන් හොඳටම හොඳද?"
"ඔව්. ඒත් තාම බෙහෙත් නම් බොනවා. දවස් පහකට දීලා තියෙන්නේ"
"හ්ම්..."
"අයියා පහුවදා ගියාද?" මම ඇහුවාම කේතකී මගේ දිහා බැලුවේ ඇස් කොනකින්.
"ඔය ගියේ. හැබැයි ගෙදර එද්දි නම් මට හිතුණා, අයියටත් උණදෝ කියලා" කේතකී කිව්වේ අහක බලාගෙන.
"ඇයි ?"
" වගේ පෙනුනේ ඒකයි"
"එක දවසින් උණක් බෝ වෙන්නේ නෑනෙ" මම කිව්වා.
"ඔව් ඒක ඇත්ත. ඒක් මේක මේ අද ඊයේ හැදුණ උණක් නම් වෙන්න බෑ" කේතකී කිව්වම මගේ කන් රත් වුනා.
"මොනාද අනේ මේ ඔයා කියන්නේ?"
"කියන්නේ ඉතිං මට දැනෙන දේ තමයි. අම්මත් ඇහුවා මොකෝ වෙලා තියෙන්නේ කියලා" කේතකී කිව්වා.
මගේ හද ගැස්ම වැඩි වෙලයි තිබුණේ. භූප එහෙම උන්නේ මම නිසාද?
"ඊට පස්සේ?"
"මොනා වෙන්නද? පුරුදු විදියටම කසාය බීපු ගොලුවා වගේ ගිහිං කාමරේට වැදුනා" කේතකි කිව්වා.
මට සුසුමක් හෙලුනේ ඉබේටම.
"භූප ඉස්සරත් එහෙමට කතා කරන කෙනෙක් නෙවෙයි නේද?" මම ඇහුවා ඊට පස්සේ.
ඒත් මට උත්තරයක් දෙන්න කලින් කේතකීගේ අතේ තිබුණ ෆෝන් එක නාද වෙන්න ගත්තා.
"අම්මෝ මෙන්න මතක් කරද්දිම කතා කරනවා..." කේතකී කිව්වේ ෆෝන් එක මට පෙන්නන ගමන්.
"හෙලෝ අයියා" කේතකී කතා කරද්දි නොසන්සුන් වීගෙන ආවේ මගේ හිත.
"නෑ...මම මේ  දුලාගේ ගෙදර ඉන්නේ. පිංකම ගැන කතා කරන්න ආවා අම්මා එක්ක"
මම යන්තම් හැරිලා කේතකී කතා කරන දේවල් අහගෙන උන්නා.
"ඔව් ඔව්. එයාට දැන් ඇති උණක් නෑ. මේ යසට ඉන්නේ" කේතකී එහෙම කිව්වේ මම දිහා බලලා හිනා වෙමින්."ආ...එහෙමද? රෑ වෙනවද? හරි හරි. හා අයියා. බුදු සරණයි"
කේතකී ෆෝන් එක කට් කලා එහෙම කියලා. මම ඈ දිහා බැලුවේ භූප කිව්වේ මොනාද කියලා අහගන්න උවමනාවෙන්.
"අද රෑට එනවලු. අනිද්දා පිංකමට වැඩ වගයක් කරලා දෙන්න කියලා කෝල් කලාලු පොඩි හාමුදුරුවෝ"
"ඇත්තද?"
"හ්ම්...ඔයාට දැන් හොඳද කියලා ඇහුවා"
කේතකී කියන ඒවා මට ඇහුනේ ඈතින් වගේ. මොකද එවෙලේ හිත මොකක්දෝ සතුටකින් පිරිලා ගිය හන්දා.
සෙනසුරාදා උදේ වරුවේ ඉඳන්ම අපේ තාත්තයි, ලොකු තාත්තයි දෙන්නම උන්නේ පන්සලේ. රෑට තියෙන පිරිත් පිංකමට වැඩ කටයුතු ලෑස්ති කරන්න පංසලේ ප්‍රධානම දායකයෙක් වුණ මේ දෙන්න මුල් තැන අරගෙන වැඩ කලා. ආච්චි අම්ම එදා උදේ අපේ ගෙදරට ඇවිත් හිටියේ පහුවදා තියෙන දානමය පිංකමට අවුල්පත් විදියට දෙන කැවිලි හදන්න.
මමයි, සෙනුරි අක්කයි අලුවා වගයක් හදන්න ඕන වෙන කලමනා හොයමින් ඉද්දියි, කලින්දා මහ රෑ ගෙදර ආපු පොඩි අයියා කුස්සියට එබුණේ.
"අම්මේ තේ එක දෙන්නකෝ"
"ආ...මහත්තයා නැගිට්ටද?" එහෙම ඇහුවේ අලුවා වලට පිටි හලමින් උන්නු ආච්චි අම්ම.
"කෝ අද ඔයාගේ හේමලයා නැද්ද?" අයියා මොනවත් කියන්න කලින් සෙනුරි අක්කා ඇහුවා.
"මොකා?"
"අයියෝ ඔයා සිංහල දන්නෙත් නැද්ද? හේමලයා කියන්නේ හෙවනැල්ලටනේ" මම කිව්වා.
"හරි හරි දැන් ඔය කවුරු ගැනද අහන්නේ?" අයියා ඇහුවේ අම්ම දීපු තේ එකත් අරගෙන කුස්සියේ බංකුවක වාඩි වෙන ගමන්.
"කවුද ඉතිං අර ඔයාගේ උඩරට නිලමේ ගැන මිසක්කා" සෙනුරි අක්කා කිව්වා.
අයියට හිනාවක් ගියා.
"ආ...චේතියද? පොර අද ගෙදර ගියා. අම්මා බනිනවලු ගෙදර එන්නෙම නෑ කියලා"
"අරුමයක්යැ? වැඩිපුරම ඉන්නේ මෙහේ නෙ" මම කිව්වා.
"පව් හලෝ එහෙම කියන්න එපා. මනුස්සයට එහේ ගියාට එහෙමට යාලුවෙක් නෑ. ඉගෙනගත්තේ කොලඹ නේ. අනික ගෙදරත් ඉන්න තරමක් සහෝදර සහෝදරියෝ ඉන්නේ රට. ගෙදර ඉන්නේ නාකි අප්පුලා දෙන්නෙකුයි, කුස්සි අම්මා කෙනෙකුයි, අම්මයි, අප්පච්චියි විතරයි. අනික ඒ ගෙදරත් මහා ලොකුයි. කට්ටිය නැතිකොට පට්ට පාලුයි ඉතිං මූ කැමති නෑ පාලුවේ ඉන්න ගෙදර යන්න"
"එහෙමයි කියලා ඉතිං ගෙදර නොගිහින් පුලුවනෑ" සෙනුරි අක්කා කිව්වේ පොල් ගාන ගමන්.
"අනේ මන්දා...පොර කොහොමත් කැමති එක්කෝ මෙහේ එන්න. නැත්තම් කොලඹ ඉන්න
අයියා එහෙම කිව්වම නම් මට චේතිය ගැන පොඩි සංතාපයකුත් දැනුනා.
"කතාව තියලා ඔය පොල් ටික ඉක්මණ් කරලා ගාලා ගන්නකෝ ළමයෝ" ආච්චි අම්මා ඕන්න පරල වෙන්න පටන් අරන්.
"මේ ගානව ආච්චි අම්මේ"
"පුතාත් උදේම පන්සල පැත්තේ යනවද?"
"යන්න ඉන්නේ අම්මා. පිරිත් මණ්ඩපේ හෙම හදන්න තියෙනවා කියලා උදේ භූප කතා කරලා කිව්වා. ගිහිං උදව් වෙන්න ඕන"
භූපගේ නම ඇහුණාම මට අයියා දිහා බැලුනේ ඉබේටම.
"අපි හවසටම එන්නම්, ගිලන්පස කලමනායි, කැවිලියි අරගෙනම එන්නම්. පිරිතට රැයක් නිදි මරන්නත් එපායැ" අම්මා අයියට කිව්වා.
"හ්ම්...හරි" අයියා එහෙම කිව්වේ බංකුවෙන් නැගිටලා මට හිස් කෝප්පේ දෙන ගමන්.
"අනේ මේ...මට කෝප්ප හෝදන්න බෑ. හෝදලා යන්න" මම කිව්වේ ඒක ආපහු එයා අතට තල්ලු කරලා.
"මොනවද නංඟි...හෝදලා තියන්නකෝ"
එහෙම කියාගෙන ඒක ලඟ තිබ්බ මේසේ උඩි තියලා එයා යන්න ගියා, මට මෝඩ හිනාවක් පාලා.
"හේදුවාම අත ගෙවෙනවද?" මා දිහා නුරුස්නා බැල්මක් හෙලාගෙන ආපු අම්මා කෝප්පේ හෝදන්න අරන් යන ගමන් කිව්වා.
මම කොච්චර හිටියත් අම්මට හැමදාම අගේ පොඩි පුතා තමයි. මම අම්මා දිහාට කට ඇද කරලා සෙනුරි අක්කා දිහා බැලුවා.
"අම්මගේ පුතාලනේ..."
හවස නාලා පිරිසිදු වෙලා, බෝරිච්චි අත් අතියෙන සුදු දිග ගවුම ඇඳගෙන මමත් අම්මලා එක්ක පන්සල් යන්න ලෑස්ති වුණා. ගමේ පන්සලේ හැම අවුරුද්දකටම වතාවක් ගමටයි රටටයි සෙත් පතලා පිරිතක් දේශණා කරලා, පහුවදාට හාමුදුරුවරුන්ට දානයක් දෙන එක නොවරදවාම සිද්ධ කෙරුණු දෙයක්.ගොඩක් වෙලාවට මේ කටයුත්ත, අලුත් අවුරුද්දෙන් පස්සේ එන අලුත් සහල් මංගල්ලෙට කලින් තමයි කෙරුණේ. එදාට මුලු ගමම වගේ මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. පිංකම කරන්නෙත්, දානෙ දෙන්නෙත් ගමේ හැමෝගෙම සහභාගීත්වයෙන්.
"පොඩි දෝණි...මෙන්න මේ සාරි පොටේ කට්ට ගහන්න ළමයෝ" සුදු සාරියකින් සැරසිලා ආපු ආච්චි අම්මා මට කිව්වා.
ආච්චි අම්මගෙයි, අම්මගෙයි දෙන්නගෙම සාරි හදලා, මම සෙනුරි අක්කල්ගේ ගෙදරට දිව්වේ පන්සල් යන්න ඈවත් එක්කගෙන එන්න. කොහොමින් කොහොම හරි අපි හවස පහ විතර වෙද්දි ලෑස්ති වෙලා පන්සලට එන්න ආවා. ඒ වෙද්දි සෑහෙන උදවිය පන්සලට ඇවිදිනුයි හිටියේ.
උදේ ඉඳන්ම සංයමයකින් තිබුණ මගේ හිත මේ වෙද්දි පොඩ්ඩක් විතර නොසන්සුන් වෙන්න පටන් අරන් තිබුණා. මම ඒක නවත්තගෙන ඉන්න හැදුවත් හිත මට ඒක්ට ඉඩ දුන්නේ නැති තරම්. ඒ උන්නු මහා සෙනග අතරේ මගේ ඇස් හැමතැනම හෙව්වේ එකම එක රූපයක් විතරයි.
"දුලාරා"
මම හැරිලා බැලුවා මගේ නම කියපු සද්දෙට. එවෙලේ හිනා වෙන්මින් මා දිහාට එමින් උන්නේ කේතකී.
"දැන්ද ආවේ?" කේතකී මගෙන් අහන ගමන් සෙනුරි අක්කට හිනාවක් පෑවා. "කොහොමද අක්කේ?"
"ඉන්නවා ඉන්නවා. ඉතිං කෝ අම්මලා?" සෙනුරි අක්කත් හිනා වෙලා ඇහුවා.
"බුදු ගේ දිහාට ගියා. තාත්තා නම් උදේ ඉඳන්ම පන්සලේ. අයියා කිව්වා එහේ මාමලා දෙන්නත් හිටියා කියලා" කේතකී කිව්වා.
අපි වට පිට බලද්දි, අපේ අම්මයි, ආච්චි අම්මයි, පුංචි අම්මයිත් සෙනග අස්සේ කොහේදෝ අතුරුදන් වෙලා.
"අම්මලා ආවාසේ දිහාට ගියා වෙන්න ඕන. ගිලන්පස ටික දෙන්න. අපි යමු නේද එහෙනම් බුදුන් වැඳලම එන්න" සෙනුරි අක්ක යෝජනා කලාම, මායි කේතකීයි ඒ අනුව චෛත්‍යය දිහාට එන්න ආවා.
"ඔන්න බලන්නකෝ, මේ පාර පිරිත් මණ්ඩපේ ලස්සන. අයියලා සේරම ආයේ ඉස්තරම්ම විදියට ඒක කරලා තියෙනවා. මම හොරෙන් බැලුවා බණ ගෙයි පැත්තෙන් එද්දි" කේතකී අපට කිව්වා.
"දැන් අයියා කෝ? අපේ පොඩි අයියා නම් අපි ගෙදරින් එනකොටත් ඇවිත් හිටියේ නෑ" මම කිව්වේ භූප ගැන දැනගන්න මට ඕන වුන හන්දයි.
"දැන් දැන් තමා ගියේ. ගෙදර ගිහින් නාලා ඒවි මහිතේ" කේතකී කිව්වා.
කේතකී එහෙම කිව්වත්, භූපව අපට හම්බවුණේ ඊටත් ගොඩ වෙලාවකට පස්සේ.
"දුලාරා...මේ මල් ටිකත් ගිහින් දෙන්න බණ ගෙට. සුදු මල් වට්ටියක් ඕන කියන්වා පිරිත් මණ්ඩපේට" පිරිතට ලෑස්ති වෙන පන්සල් මිදුලේ උන්නු ගමේ අක්කා කෙකෙක් මගෙ අතට මල් වට්ටියක් දීලා කිව්වේ මම, පැදුරු වගයක් ගේන්න අපේ බාප්පා හොයන්න යන අතරේ. සෙනුරි අක්කා උන්නේ අම්මලා එක්ක තේ හදන්න ලෑස්ති කරමින්. ඒ පිරිත් අහන්න එන අයට දෙන්න. කේතකීත් උන්නේ එතන.
මම යන්න ගිය වැඩේ නවත්තලා ඒ පාර මල් වට්ටිය අරගෙන බණ ගෙයි දිහාවට යන්න ආවා.
"ෂ්..ෂ්..." මම හදිසියෙන්ම යන අතරේ ඇහුණ සදයක් නිසා මම වට පිට යන්තම් බැලුවත් එහෙම මට කතා කරන කවුරුවත් මම දැක්කේ නෑ.
"දුලාරා" ආයෙම මම එන්න හැරෙද්දි මට ඇහුණේ භූපගේ හඬ. මම එතනම නැවතිලා ආපහු හැරිලා බැලුවා. ඊලඟට මගේ ඇස් නිලංකාර වෙලා ගියේ නොහිතපු විදියට භූප අතේ තිබුණේ කැමරාවෙන් මගේ ෆොටෝ එකක් ගත්තු නිසයි.
"අනේ සොරි...නොකියම ඒක ගත්තට. කියන්න ගියෝ pause එක වෙනස් වෙයි කියලා හිතුණා" භූප එහෙම කියමින් මගේ ලඟට එද්දිත් මම උන්නේ ඇස් පොඩි කරමින්.
"සොරි තමා. මගේ ඇස් නිලංකාර වෙලා ගියා" මම කිව්වේ ආපහු බණ ගෙයි දිහාට යන්න හැරෙමින්.
"ඔයා කොහෙද මේ තකහනියක් දුවන්නේ ඉතිං?" එහෙම ඇහුවේ භූප එක්ක උන්නු පුබුදු අයියා.
"මේ මල් ටික දෙන්න ඕන බණ ගෙට. පිරිත් මණ්ඩපෙන් තියන්න" මම කිව්වා.
"හරි ඕක දෙන්නකෝ මම ගිහින් දෙන්නම්. ඔය දෙන්නා ඔහොම ඉන්නකෝ" බලෙන්ම වගේ මගේ අතින් මල් වට්ටිය ගත්තු පුබුදු අයියා මම මුකුත් කියන්නත් කලින් එතනින් ඈතට ගිහිල්ලා උන්නා. මම හිටියේ හදිසියේම වුණ දේවල් හන්දා අන්ද මන්ද වෙලා.
"එයාට මක් වෙලාද, මල් වට්ටිය අරන් දිව්වේ?" මම ලඟ උන්නු භූප දිහාට හැරෙමින් ඇහුවා.
"ඔයානේ හදිසියෙන් වගේ දුව දුව හිටියේ. ඒකයි එයත් දුවන්න ඇත්තේ" භූප එහෙම කිව්වේ මා දිහා බලලා යන්තම් හිනා වෙලා.
හිතේ එතෙමින් තිබ්බ කෝල ගතිය ආපහු ඉස්මතු වුණා ඒ හිනාවයි, ඒ දෑසයි ලඟදි. මම බිම බලාගත්තේ ඒකයි.
"දැන් ඔයාට හොඳටම හොඳයි නේද?" භූප ඇහුවා.
"හ්ම්" මම හිස වැනුවා.
භූප ඊට පස්සේ මොහොතක් විතර නිහඬවම උන්නා.
'ම්ම්...මං යන්නද?" ඒ නිහඬ බව ඉවසන්න බැරි තැන මම ඇහුවා.
"ඔයා කොහාටද යන්නේ?"
"බාප්පා හොයා ගන්න ඕන. තව පැදුරු දෙක තුනක් අරන් එන්න කියන්න" මම කිව්වා.
"ඇයි දහම් පාසලේ පැදුරු?"
"ඒ ටික මදි"
"එහෙමද? හා...යමුකෝ එහෙනම්" භූප අන්වසරයෙන්ම ඉස්සර වුණා. මට පුංචි හිනාවක් ගියේ ඔහු මා ලඟ උන්නු සතුටට.
"දන්නවද?" එහෙම යන ගමන්ම් භූප මගෙන් ඇහුවා.
"මොකක්ද?"
"ඔයා අද ලස්සනයි" ඔහු එහෙම කිව්වාම මගේ කම්මුල් රතු වෙන්න ඇති.
"බොරු කියන්න එපා" මම කිව්වේ හෙමින්.
"නෑ ඇත්තමයි. ඇත්තටම ලස්සනයි"
"මම මීට කලින් කොච්චරවත් මේ ඇඳුම ඇඳලා තියෙනවා" මම එහෙම කිව්වේ ඔහු දිහා නොබලා.
"මට මතකයක් නෑ...සමහරවිට මම එහෙම උනන්දුවෙන් බලන්න නැතුව ඇති, දැන් වගේ..." භූපගේ හඬ දයාබරයි. මගේ හිත වේගයෙන් නොසන්සුන් වෙමින් තිබුණා. "දැන් වගේ?"
"හ්ම්...ඔව්. දැන් වගේ" ඔහු එහෙම කියලා පොඩ්ඩක් නිහඬ වුණා. "දුලාරා..." ඊට පස්සේ ඔහු ආයෙම මාව ඇමතුවා.
"ඇයි?" මම ඇහුවේ හෙමිහිට.
"කියන්න මට ඇයි එදා හවස ඔයා අර විදියට ඇස් වල කඳුලු පුරව ගත්තේ කියලා?" භූප එහෙම ඇහුවේ මම කොහෙත්ම බලාපොරොත්තු නොවුණ විදියට.
මට ඔහු දිහා බැලුණේ ඉබේටම. ඔහුත් බලාගෙන උන්නේ මා දිහා. මම ආයෙම අහක බලා ගත්තා.
"මම මෙච්චර කාලෙකට කවදාවත් දැකලා නෑ ඔයාව එහෙම. මම හෙණට අප්සට් ගියා. මම දන්නෑනෙ මගේ අතින් වරදක් වුණාවත් ද කියලා"
"එහෙම දෙයක් නිසා නෙවෙයි"
"එහෙනම්?"
"මම දන්නෑ භූප..." මම කිව්වේ එච්චරයි.
"දුලාරා...ළමයෝ කෝ බාප්පා හොයා ගත්තද?" අපට ටික එහායින් වෙන්න කොහේදෝ දුවමින් උන්නු පුංචි අම්මා හිටි ගම මාව දැකලා එතන ඉඳන්ම කෑ ගහලා ඇහුවා.
"මේ හොයනවා පුංචි අම්මා" මම කිව්වේ එක පාරටම ගැස්සුන හිතින් යුතුව.
"ටක් ගාලා හොයාගෙන පණිවිඩේ කියන පුතේ...දැන් පිරිත පටන් ගන්න එතන ලෑස්ති කරන්වා ඇති නේ" පුංචි අම්මා එහෙම කියාගෙනම සෙනග අස්සේ අතුරුදහන් වුණා. සුසුමක් හෙලපු මම මොහොතකට භූප දිහා බැලුවා.
"අපි...පස්සේ කතා කරමු" භූප මට කිව්වේ එහෙම.
මම ඔහුට උත්තරයක් නොදීම එතනින් එන්න ආවා. හිත තිබුණේ වේගයෙන් ගැහෙමින්.

Thursday, July 25, 2013

අවසරයි ලං වෙන්න: දොලොස්වන කොටස



දවල් දොලහට ඉවර වෙන lecture එක ඉවර වුණු වහාම ශාලාවේ පිටවෙන දොර ලඟ ඇති වෙන්නේ පුදුමාකාර තද බදයක්. ඒ එලියට පැනලා කැන්ටිමට දුවන්න බලාගෙන ඉන්න ළමයින් හන්දා. ඉක්මණට දුවන්න ඕන වෙන්නේ කෑම ගන්න පෝලිමේ ඉස්සරහට යන්නයි, ඉඳගන්න ඉඩක් අල්ලගන්නයි. මොකද ඒ වෙලාවට හැමෝම කැන්ටින් වලට එන හන්දා.
"මේ වැඩේ කරන්න බෑ අනේ. මට මේ දිවිල්ලයි, කෑමයි දෙකම එපා වෙලා ඉන්නේ" එහෙම කිව්වේ අමාරුවෙන් කෑම දෙකක් අරගෙන අපි උන්නු මේසෙට ආපු තාරකා. ගෙදර කෑම වගේ රහ නැති හන්දා අපි කලේ කෑම දෙකක් අරගෙන හතර දෙනා බෙදාගෙන කාපු එක. ඉතිරිවට චොකලට් හරි, බිස්කට් හරි තමයි අපි කෑවෙ.
"මොනා කරන්නද ඉතිං? නොමැරි ඉන්න නම් කන්නත් එපැයි" නිලීකා කිව්වා.
මම නම් උන්නේ කොහොමත් කන්න බැරි මූඩ් එකක. ඒ සතිය පටන් ගත්තු දවසේ ඉඳලම මට අසනීප ගතියක් දැනෙමිනුයි තිබුණේ.
"එහෙම නෙවෙයි. අපි උයන්න පටන් ගමුද? අපේ සීනියර්ලා ගොඩක් එහෙම කරනවා රූම් වල. හොට් ප්ලේට් වල තමා උයන්නේ. ඔය වලං දෙක තුනක් ගත්තෝ මෙච්චර වියදමක් යන එකකුත් නෑ" එහෙම යෝජනා කලේ තාරකා.
"උයන්න? ඒක කර ගන්න පුලුවන් වෙයිද?" චතූ ඇහුවේ සැකෙන් වගේ.
"අපෝ පුලුවන්. අපි සල්ලි දාලා බඩු ගේමු. ගෙනැත් උයමු. මම ඕන නම් හොට් ප්ලේට් එකක් ගේන්නම්" තාරකා කිව්වා.
"ඒ අදහසත් නරක නෑ හැබැයි. හොස්ටල් එකෙත් එලවලු හෙම තියෙනවනේ" චතූ කිව්වා.
අපි කවායින් නොකෑවායින් එලියට බැහැලා ආපහු lecture hall වලට එන්න ආවේ, අන්තිමට බඩු අරගෙන කාමරේම උයාගන්නත් සම්මුතියකට ඇවිල්ලයි. lectures වලට ආවත්, හවස් වරුවේ පලවෙනි lecture එක ඉවර වෙද්දි මම උන්නේ ගොඩක්ම අමාරුවෙන්. මට දැනුනේ උණක් ගැනීගෙන එනවා වගේ.
"මොකද අපි කරන්නේ? බෙහෙතක් ගන්න යන්න වේවි නේද? මෙවෙලේ Health center එකේ නම් බෙහෙත් දීලා ඉවර ඇති" මගේ නලලට අතක් තියලා උණ බලන ගමන් තාරකා කිව්වා.
"බල බල ඉඳලා බෑනෙ. අපි කොහේ හරි private තැනකටවත් යමුද?" චතූ ඇහුවා.
"ඕන නෑ අනේ. පැනඩෝල් බිව්වම ඇරේවි" මම කෙඳිරි ගෑවා.
"එහෙම කියලා බෑනෙ. මම මෙයාව එක්ක යන්නම් දැනට කැන්ටිමට. පැනඩෝල් දෙකක් බීලා කාගෙන් හරි අහලා බෙහෙත් ගන්න තැනකට යන්නම්. කාමරේදි හම්බෙමු" චතූ එහෙම කිව්වේ මම විරුද්ධ වෙද්දිමයි.
"ඔයාට තනියෙම පුලුවන්ද?" නිලීකා ඇහුවා.
"පුලුවන් පුලුවන්. ඔයාලා lectures ඉන්න. අපරාදෙනේ"
අන්තිමේදි වදෙන් පොරේන් මාඅවත් ඇදගෙන චතූ ආපහු කැන්ටිමට එන්න ආවා. එවෙලේ ඒක අස්සේ උන්නේ කවුද කියලාවත් මට පෙනුනේ නෑ තිබ්බ අමාරුව හන්දා. මම මේසයක් උඩ හිස තියාගෙන ඉද්දි චතූ ගියා පැනඩෝල් ගේන්න.
"දුලාරා" මට ඒ හඬ ඇහුණේ හීනෙන් වගේ. මම හිස උස්සලා බලද්දි මගේ ලඟ උන්නේ වෙන කවුරුවත් නෙවෙයි භූප. ඔහුගේ ඇස් අල තිබුනේ නොසන්සුන් ගතියක්.
"ඇයි මේ?" ඔහු මගෙ අසල තිබුණ පුටුවේ වාඩි වෙන ගමන් ඇහුවා.
"මෙයාට උණ අයියේ" එවෙලේ පැනඩෝල් අරගෙන එතනට ආපු චතූ කිව්වේ ඒවා මගේ අතට දෙන ගමන්.
භූප පොඩ්ඩක් මා දිහා බලාගෙන ඉඳලා මගේ නාලට අතක් තිබ්බා. මගේ ඇස් පියවුණේ ඉබේටම. ඒ අත සීතලයි.
"අනේ ඔව්මයි. උණ නේන්නම්. දැන් නම් Health center එකත් වහලා ඇති" භූප කිව්වේ කලබලෙන් වගේ.
"මචංඅර පේරාදෙණියේ ඩොක්ට ඇති නේ දැන්. එහාට එක්ක ගියා නම් හරි උණ වැඩි නම්" භූපගේ යාලුවෙක් වෙච්ච සාලියත් එතන උන්නු වග මම දැක්කේ එවෙලේ.
"කවදා ඉඳන්ද මේ උණ දුලාරා?" භූප මගෙන් ඇහුවා.
"උණ ගත්තේ නම් අද ඒත් සඳුදා ඉඳන්ම අමාරුවක් තිබුණා"
"බෙහෙත් නම් ගන්න වෙයි නේද අයියේ. මේ දවස් වල විවිධ උණ වර්ග තියෙන නිසා කෝකටත් හොඳයිනේ ගන්න එක" චතූ කිව්වා.
"හ්ම්ම්...ඒක නම් ඇත්ත. දුලාර අපි යමු බෙහෙත් ටිකක් ගන්න නේද?" භූප් මා දිහාට නැවිලා ඇහුවා.
"ඕන නෑ භූප. දැන් පැනඩෝල් බිව්වා නේ. අඩු වෙයි"
"එහෙම කියලා බෑනෙ. කෝකටත් බෙහෙත් ගන්න එක හොඳයි" භූප කිව්වේ තරමක් තදින්.
අන්තිමේදි කොහොමහරි මට වුනේ ඒ අයගේ කීම අහන්න. භූපයි, චතූයි, දෙන්නා මාවත් ත්‍රීවීල් එකක දාගෙන පේරාදෙණියට ආවා. යන්තම් පෝලිමේ පැයක් විතර ඉඳලා අපි බෙහෙතුත් ගත්තා. මට භූප ගැනත්, චතූ ගැනත් දැනුනේ ලොකු ආදරයක්.
"බෙහෙත් බීලා නිදාගන්න. උණ හෙට වෙද්දි අඩු වෙලා යයි" හොස්ටල් එක ලඟටම අපිව ඇරලන්න ආපු භූප කිව්වා. මම හිස වැනුවා.

කොහොම වුණත් පැය හයෙන් හයට නැග නැග බැහැපු උණ ඊලඟ දවසෙත් තිබුණා. ඒ නිසා මට Lectures යන්න විදිහක් තිබුණෙත් නෑ.
"අනේ මදා මොනා කරන්නද කියලා" උදේ ඇහැරිලා මගේ තත්වය දැකපු චතූ කිව්වේ එහෙම.
"මම පැනඩෝල් බීලා උණ බැස්සම ගෙදර යන්නම් චතූ. මෙහේ හිටියම ඔයාලටත් වදේ. බෝ වෙන්නත් පුලුවන්" මම කිවා.
"වදේ මොකක්ද? මට තියෙන ප්‍රශ්ණේ ඔයාට අමාරු එකයි"
"ඒත් ගෙදර යන එක හොඳ වෙයි නේද චතූ? මෙහේ කන්නත් නෑ. අපි ගියාම හදිසියකට බලන්න කෙනෙකුත් නෑනෙ" එහෙම කිව්වේ නිලීකා.
"ඒක තමයි" මමත් කිව්වා.
"ඒත් ගෙදර යන්නෙ කොහොමද තනියෙම?"
"උණ බැස්සම මට යතහැකි. මම අම්මට මගට එන්න කියනවා" මම කිව්වා.
අන්තිමේදි කරන්න දෙයක් නැති තැන චතූත් ඒකට එකඟ වුණා.
"භූප හම්බුණොත් කියන්න" මම චතූට කිව්වා.
උණ බහිනකල් නිදාගෙන ඉඳලා මම එලියට බහිද්දිමයි, මගේ phone එක නාද වෙන්න ගත්තේ. නොදන්න නොම්මරයක්.
"හලෝ"
"හලෝ දුලාරා, මං භූප. ඔය කොහේද ඉන්නේ?" ඒ හඬේ තිබ්බේ හදිසියක්.
"Hostal එකේ ඉන්නේ. ඔයාට චතූ හම්බවුණාද?"
"හරි...ලොබි එකේ ඉන්න. මම් මේ එන ගමන්"
"එන ගමන්?"
මම අහපු එකට වචනයක් වත් නොකියා භූප කෝල් එක කට් කලා. බෑග් එකත් එල්ලගෙන, මම හෙමි හෙමින් Common room එක දිහාට ගියේ නොසන්සුන් වුණ හිතින්. 'භූප එන්නේ ඇයි'
"උණ තියාගෙන කොහොමද ඔයා තනියෙම ගෙදර යන්නේ?"
මම ගිහින් ටික වෙලාවකට පස්සේ එතනදි මාව මුණ ගැහුණු භූප ඇහුවා.
"දැන් උණ බැහැලා තියෙන්නේ. මට යන්න පුලුවන්" මම කිව්වේ ඔහු දිහා නොබලා.
ඔහු සුසුමක් හෙලුවා."මම ඔයාව ගිහින් ඇරලන්නම්" අන්තිමේදි ඔහු කිව්වේ එහෙම.
"අනේ පිස්සුද? එපා එපා. මට යන්න පුලුවන් භූප"
"මං කිව්වනේ මම එනවා. ඔයාට තනියෙම යන්න දෙන්න බෑ"
"භූප.."
භූප කෙලින්ම මගේ දෑස් දිහා බැලුවා. ඒ ඇස් වල තිබුනේ තද බැල්මක්. මට ආයෙම බිම බැලුණා. කොහොමහරි මට ආයෙමත් වුණේ ඔහු කියපු දේට එකඟ වෙන්න. හිතේ පැත්තක ඒ ගැන සතුටක් නොතිබ්බා නෙවෙයි. ඒත් ඔහුට පාඩු වෙන වැඩ ගැන, ඔහුගේ කාලය නාස්ති වීම ගැන ඊට වඩා ලොකු බරක් හිතේ තිබුණා.
"බස් එකේ යමු. කෝච්චි අල්ලන්න හම්බෙන්නෑ. අනික වෙලාත් යාවි" භූප කිව්වේ මහකන්ද නුවර බස් එකකට නැගලා මා අසලින් වාඩි වෙන ගමන්.මම හිස වැනුවා විතරයි. කටේ තිත්ත ගතියත් එක්ක දැනෙමින් තිබුණ අප්පිරියාව නිසා මට හිතුණා කතා කලොත් වමනේ යන්න ඒවි කියලා.
කොලඹ බස් එකකට නැගලා, අපි මැද හරියේ සීට් එකක වාඩි වුණා. හිස රිදුම් දෙන්න පටන් ගෙන තිබුණ නිසා මම කලේ සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තු එක.
"ඔයා ඔහොම නිදාගෙන ඉන්න. මම බහින්න ලං වුණාම ඇහැරවන්නම්" භූප මට කිව්වේ දයාබරව.
මට ඔහු ගැන දැනෙමින් තිබුණේ කියාගන්න බැරි විදිහේ හැඟීමක්. ඒක සෙනෙහසක්, කණගාටුවක් වගේම ස්තුතියකුත් මුසු වුණ හැඟීමක්.
"මං නිසා ඔයාට කරදරයි භූප" මම එහෙම කිව්වේ ඒකයි.
"පිස්සු කතා නොකියා දැන් ඇස් පියාගෙන නිදා ගන්න"
මම තවත් වාද කරන්න නොගිහින් දැස් පියාගත්තේ අමාරුකම හින්දමයි.
බස් එක යන්න පටන් ගනිද්දි මට යාන්තම් නින්දක් යාගෙන එමිනුයි තිබුණේ. ඊට පස්සේ ආයෙම මට ඇහැරෙද්දි අපි උන්නේ අඹේපුස්ස හරියෙද කොහෙද. මම ඇස් ඇරලා බලද්දියි මට තේරුණේ මම භූපගේ උරහිසට හිස තියාගෙනයි නිදාගෙන ඉඳලා තියෙන්නේ කියලා. නිසා මම ඇහැරුණ ගමන් දනි පනි ගාලා කෙලින් වෙලා සීට් එකේ වාඩි වුණා. මේ වෙද්දි උණ ගතිය යන්තම් අඩු වෙලයි තිබුණේ. නමුත් මගේ කන් දෙක රත් වුණේ ලැජ්ජාවට.
"මොකෝ මේ? හීනයක් දැකලා බය වුණාද?"
භූප මා දිහා බලලා ඇහුවේ පුදුමෙන් වගේ.
"නෑ...මට නින්ද ගියා භූප. සොරි මම නොදැනම හේත්තු වෙලා..." මම අන්තිම වචන ටික කිව්වේ ඇහෙන නෑහෙන ගානට, අහක බලාගෙනම.
භූප සුසුමක් හෙලුවා.
"ඒකද මේ පණ කඩාගෙන ඈතට වුණේ? මනස්ගාත හිතන්න එපා දුලාරා. මම දන්නවා ඔයා ඉන්නේ අමාරුවෙන් වග..." භූප එහෙම කිව්වා.
ඒත් මම වචනයක් වත් කියන්න ගියේ නෑ. මගේ හිත තිබුනේ ආයෙම අමුතු වෙලා.
"තාම උණ ගතිය තියෙනවද?" භූප ටික වෙලාවකට පස්සේ එහෙම ඇහුවා.
"දැන් අඩුයි වගේ"
"ම්ම්...එක වෙලාවක ඔලුව ගොඩක් රත් වීගෙන ආවා මට දැනුනා. උණ අඩුයි නම් කමක් නෑ" භූප කිව්වේ දිහා දයාබරව බලලා.
එක මොහොතකට මම ඇස් දිහා බලාගෙන උන්නේ හිතේ වෙලෙන කියාගන්න බැරි හැඟීම් ගොන්නකුත් එක්ක. මේ පාර මුල්ම වතාවට ඉස්සෙල්ලම අහක බැලුවේ භූප. මම හෙමින් ඇස් හරවගත්තා ඊට පස්සේ. මම ආපහු සීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තත්, මට නින්දක් ආවේ නෑ. හිත තිබුණේ තරම්ම නොසන්සුන් වෙලා. මට හිතාගන්න බැරි වුණා, මේ තාක් කාලයක් මම දැන අඳුනගෙන උන්නු භූපව හදිසියේම මේ තරම් විශේෂව මට දැනෙන්නේ ඇයි කියලා.
"පරෙස්සමින් බහින්න"
ගෙදරට යන පාර ලඟ බස් එක නැවැත්තුවාම මම බහින්න යද්දි භූප මට කිව්වා.
එතනින් බැහැලා පාර පනින්න යද්දි, භූප මගේ අතේ මැණික් කටුව ලඟින් අල්ලගත්තේ මම නොහිතපු විදියට. හරියට පුංචි කාලේ අපි පාර පනින්න යද්දි අම්මලා අල්ලගන්නවා වගේ. ඔහුගේ අත තාමත් මට දැනුනේ සීතලට. එක්කම බොහොමත්ම සලිත වුණ හිත හන්දා මම තප්පරයක් දෙකක් ගල් ගැහිලා වගේ පාර අද්දරම උන්නා. භූප පිටිපස්ස බැලුවේ මගේ පමාව නිසා වෙන්න ඇති. පාර මම ඔහු දිහා නොබලම, පාර පැන්නා. භූප මාව අතෑරියේ ඊට පස්සේ. මට ඔහු ගැන දැනුනේ කියාගන්න බැරි තරම් ලෙන්ගතු හැඟීමක්.
"අපි threewheeler එකක යමු"
පාරෙ ඉඳලා ගෙවල් දිහාට තරමක් දුර යන්න තියෙන හන්දා භූප එහෙම කිව්වා. මම පයින් යන්න පුලුවන් කිව්වත් ඔහු මම කියන දෙයක් ඇහුවේ නෑ. ඉතින් අන්තිමේදි, අපි threewheeler එකක නැගලා විනාඩි පහ දහයකින් වගේ ගේ ලඟට ආවා.
එවෙලේ අම්මා උන්නේ ඉස්තෝප්පුවට වෙලා මොකක්දෝ ඇඳුමක් මහමින්. අපිව දැක්ක ගමන් අම්මා බය වෙලා වගේ මිදුලට දුවගෙන ආවා. අද තාත්තගේ කන්තෝරු කාමරේ තිබුණේ වහලා. අද ඔහු දිසාපති කාර්යාලයට යන හන්දා වග මට මතක් වුණේ එවෙලේ.
"දෝනි...ඇයි මේ මොකද?" අම්මා බය වෙලා වගේ ඇහුවේ භූප දිහාත් බලමින්.
"ලොකු දෙයක් නෙවෙයි අම්මා. මට එහේදි උණක් හැදුනනේ. එහේ ඉන්න කරද හන්දයි ගෙදර ආවේ"
මම එහෙම කිව්වාම අම්මගේ ඇස් යොමු වුණේ භූප දිහාට.
"එද්දි ටිකක් අමාරු ගතියක් තිබ්බ නිසා භූප මාව ඇරලන්න ආවා" මම ඊට පස්සේ කිව්වා.
අම්මා ලොකු හුස්මක් හෙලන ගමන් භූප දිහා බැලුවේ යන්තමට හිනා වෙලා.
"අනේ පුතේ පුතා මේ කරන උදව් වලට අපි කොහොම ස්තුති කරන්නද මන්දා. මේ ළමයා ගිය දා ඉඳන්ම මේ ළමයට අපි කොච්චර නම් කරදර කලාද? පුතාට පිං පුතේ මේ කෙල්ලව ගෙනැත් ඇරලුවට" අම්මා කිව්වේ හැඟීම්බරව.
"ඕක මොකක්ද නැන්දේ. උණ වැඩි වෙයි කියලයි මම කෝකටත් ආවේ"
"අපි යමුකෝ එහෙනම් ගෙට. පුතා අද ආපහු යන්නේ නෑ නේද?" අම්මා එහෙම කිව්වේ මාවත් අතින් අල්ලගෙන ඉස්සර වෙන ගමන්.
"නෑ. හෙට උදේම යනවා" භූප කිව්වේ අපිත් එක්ක ගෙට ගොඩ වෙන ගමන්.
"වාඩි වෙන්න පුතේ. මම ඉක්මණින් තේ පොඩ්ඩක් හදන්නම් දෙන්නටම. දෝණි ගිහින් ඇලවෙන්නකෝ එහෙනම්" අම්මා මට එහෙම කියාගෙන.
"තේ හදන්න කරදර වෙන්න එපා නැන්දේ. දැන් මම ගෙදරනේ යන්නේ" භූප කිව්වා.
"කෝලං නැතුව ඉන්න ලමයෝ. මම විගහට හදන්නම්. මොකෝ ගෙදර කඩදහි ලිපේ දාලා ආවයැ" අම්මා එහෙම කියාගෙන කුස්සිය දිහාට යද්දිත් මම උන්නේ සාලේ හිටගෙන.
ඉස්තෝප්පුවේ පුටුවට බරවෙලා උන්නු භූප හිස උස්සලා මා දිහා බැලුවා.
"ඔයා කාමරේට ගිහින් පොඩ්ඩක් ඇල වෙන්න දුලාරා. හොඳටම සනීප වෙනකල් කැම්පස් එන්න එපා"
මම බිම බලාගෙන හිස වැනුවා. ඊට පස්සේ ඔහු ආයෙම ඉස්සරහ බලා ගත්තා.
මාව එක්කගෙන ආවට ඔහුට ස්තුති කරන්න මට ඕන වුණත්, ඒකට වචන ගැටගහගන්න කට ඇරගන්න මට බැරි වුණා. හරියට හිතේ තිබ්බ සේරම බර උගුර ලඟට ඇවිත් හිර වෙලා වගේ.
භූප ආයෙම පිටිපස්ස බැලුවා. ඔහුගේ ඇස් ඇවිත් මගේ ඇස් ලඟ නතර වුණා. ඔහුගේ ඇස් වල තිබුණේ ප්‍රශ්ණයක්.'ඇයි?' මගේ ඇස් වලට කඳුලු පිරුනේ අහේතුකව. සමහරවිට ඔහු මේ තරම්ම මට දයාබර වෙන නිසා වෙන්න ඇති. කඳුලු වැටේවි කියන බයටයි මම බිම බලාගත්තේ.
"දුලාරා...ඇයි මේ?" භූපගේ හඬ ඇහුණේ මගේ ලඟින්මයි. ඔහු මගේ ලඟට ඇවිත්.
මම හිස වැනුවා මුකුත් නෑ කියන්න.
"ඇයි කියන්න ප්ලීස්?" ඔහු ඇහුවේ හෙමින්.
කියනවා නම්, ඔහුට කියන්න දාහක් දේවල් මගේ හිතේ තිබුණා. ඔහුට ස්තුති කරන්න, ඔහුගේ උදව් මට කොච්චර වටිනවද කියන්න, ඔහුට මගේ ලඟින්ම ඉන්න කියන්න මට ඕන වුණා. ඒත් මම එහෙම කියන්නේ කොහොමද? මම එහෙම කියන්නේ ඇයි?
භූප සුසුමක් හෙලුවා.
"මම අද ආපු එක වැරදිද දුලාරා?" භූප ඊලඟට එහෙම ඇහුවා.
මම හිස වැනුවා විතරයි.
"මගේ අතින් මොකක් හරි වරදක් වුණාද?"
මම ආයෙම හිස වැනුවා.
ඒත් ඔහුට ආයෙම වෙන දෙයක් අහන්න වුණේ නෑ. මොකද අම්මා කුස්සියේ ඉඳන් එන සද්දේ ඇහුණ නිසා. මම ඔහුට මුකුත්ම නොකියා ඉක්මණින් ඇවිත් කාමරේට වැදුනා. අම්මා ඔහු එක්ක කතා කරන සද්දේ විතරයි මට ඇහුණේ.
"දෝණි මේන්න භූප යන්න හදන්නේ"
අම්මගේ කටහඬ ඇහෙද්දිත් මම හිටියේ උන්නු විදියටම හිටගෙන. ආපහු මම සාලෙට ගියේ ගැහෙන හිතින්.
"මම ගිහිං එන්නම් දුලාරා" භූප කිව්වා.
මම හිස වැනුවා. ඔහු මගේ දිහා යන්තම් බලලා මිදුලට බැස්සා. මම දොර පලුවට හේත්තු වුණේ සුසුමක් හෙලලා. හිතේ මීදුමක් වගේ පැතිරිලා යමින් තිබුණේ පාලුවක්.
භූප ආයෙම හැරිලා මා දිහා බැලුවා. "යන්නම්"
වචන වලත්, බැල්මෙත් තිබුනේ මොකක්දෝ දුකක් කියලා මට හිතුණා.