Friday, April 27, 2012

තිස් පස්වන කොටස


"හලෝ...කොහෙද මේ කඩාගෙන බිඳගෙන යන්නේ? අන්න අරහේ කට්ටිය පැදුරකට සෙට් වෙනවා. තාත්තයි, අම්මයි එතන. ඔයාට එන්න කිව්වා. අපේ ආන්යා මන්ගේෂ්කාර් නැතිව පැදුරක් තියන්න බෑනෙ කොහොමටවත්"
ආන්යා කාමරයට ඇතුල් වෙන්න හදද්දිම වගේ ඈ පස්සෙන් දුවගෙන ආපු අනුහස් ඈව නවත්තගත්තේ එහෙම කියමින්.
"අනේ අනූ..." ආන්යා නොකැමැත්තක් ප්‍රකාෂ කලා.
"ඒයි මොනාද හලෝ එන්න. නැත්තම් අම්මලා මොනා හිතයිද? යං යං. ආර්යනුත් ඔන්න දැනුයි අර කොහෙද ගිහින් ආවේ. කට්ටිය බලන් ඇති මීනු, යමු ප්ලීස්"
ආන්යා සුසුමක් හෙලුවා. අනුහස්ගේ ඉල්ලීම නිසා කෙසේ වෙතත් ඈට ඕන වුණේ ආයෙම එක පාරක් හරි ආර්යන්ව දැකගන්න. ඒ නිසා ඈ අන්තිමේදි අනුහස්ට අවනත වෙලා ඔහු ඔඅස්සෙන් ඇදුනේ, බංගලාවේ ලොකු සාලේ සැප කාපට් එලලා ලෑස්ති කරලා තිබුණ පැදුරු පාටිය දිහාවට.
"ආ...එන්න එන්න. අපට ආරංචි වුණා ගෑණු ළමයා හොඳ සිඟර් කෙනෙක් කියලා"
එහෙම කියලා ඈව එතනට ප්ලි ගත්තේ මනී මහත්තයා. ඔහු දැක්කාම ආන්යට හිතුණේ ඔහු බීලා වෙන්න ඇති කියලා. මොකද නිකම් වෙලාවට ඔහු සාමාන්‍යයෙන් කා එක්කවත් වැඩිය කතා කරන කෙනෙක් නොවුන නිසා. ආන්යා ලැජ්ජවෙන් වට පිට බැලුවා. බිම රවුමට වාඩිවෙලා උන්නු පිරිස අතරේ අන්තිම කෙලවරක ආර්යන් ත්ව ගෑණු ළමයින් දෙන්නෙක්ට මැදි වෙලා බුම්මගෙන වගේ ඉන්නවා ඈ යන්තමට දැක්කා. ආන්යත් වාඩි වුණාට පස්සේ හැමෝම ආයෙම ගීත ගයන්න පටන් ගත්තා.
"මදුර යාමේ.."
"මුලදි බැන්ද ආදරයක මිහිර දැන්"
"ඈ නීල වරල පීරලා..."
ඔය වගේ ගීත මහ ගොඩක් කට්ටියම ගායනා කලේ හරිම සතුටින් හිනා වෙමින්. මේ අතරේ අනුහස් ඉදිරියට පැනලා රංගනයක් එක්කම ඉදිරිප ත් කරපු ගීතය හැමෝවම තවත් කුල්මත් කරන්න සමත් වුණා.
"සමරු පොතේ පිටු ගැලවී සුලඟේ දුවනවා... සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා
ඔබ සිහි වෙනවා...සිහින මැවෙනවා, සිහින මැවෙනවා...ඔබ සිහිවෙනවා..."
එම්. එස්. ප්‍රනාන්දු මහත්තයාගෙම ඇක්ෂන් දමමින් තමා ඔහු ඒක ඉදිරිපත් කලේ. ඒක ඉවර වෙලා අනුහස් ඈ අසලින් වාඩි වෙද්දි ඈගේ ඇස් වලට කඳුලුත් ඇවිත් හිනා වෙලාම.
"ෂා...වීරේගේ සනා ඕල් රවුන්ඩර් නේද?" ගොඩක් අය එහෙම කිව්වා.
"වීරේ වගේම නැතෑ" එහෙම කිව්වේ මනී මහත්තයා.
"ආන්යත් කියන්නකෝ සිංදුවක් අපට අහන්න, මේ බයිලා අයියලා කෝපි බොනකල්" කට්ටිය කෝපි බොන්න මොහොතකට පැදුර නතර කරපු වෙලාවේ ඇගෙන් ඉල්ලුවේ ආර්යන්.
"අනේ බෑ" ආන්යා අම්මා අස්සට වෙමින් කිව්වා.
"ප්ලීස්...ඔච්චර ගණං උස්සන්න එපා, නේද මිස්ට වීරප්පෙරුම? කියන්නකෝ" ඔහු ආයෙමත් කිව්වා.
"මොකක් හරි කියන්න පුතේ" තාත්තා ඈට කිව්වේ දයාබර හිනාවක් පාලා.
ආන්යා මොහොතක් පැකිලෙමින් ඉඳලා අන්තිමට බේරෙන්න බැරි තැන හඬ අවදි කලා.
"තෙරී බින්දියාරේ...අයේ හයේ තෙරී බින්දියාරේ..." ආන්යා ගායනා කලේ, අභිමාන් චිත්‍රපටයේ තිබුණ ගොඩාක් සුන්දර ගීතයක්. සේරම ඒක අහගෙන උන්නේ මීයට පිම්බා වගේ නිෂ්ශබ්දව. ඊලඟට ගීතය අවසන් වුණාම ඈට ලොකු අත්පොලසන් නාදෙකුත් ලැබුණා.
"අනේ හරිම ලස්සනයි ආන්යා...මට මතකයි මම ඔය මූවි එක බැලුවේ අභී හම්බෙන්න ඉන්දැද්දි. එයාට අභිමන්යු කියලා දාන්න අපි හිතාගත්තෙත් ඕකට හිතුණ ආසාව නිසාමයි" අනුලා මැඩම් තමන්ගේ අතීතාවර්ජනයක් ඉදිරිපත් කලේ එතන එවෙලේ උන්නු කීපදෙනාට. ආන්යාට පුදුමයක් එක්කම දැනුනේ පොඩි සසල වීමක්. නොදැන හරි තමන් අභීට සම්බන්ධ දේවල් වලට මේ තරම් ගෑවෙන්නේ ඇයි කියලා ඈ කල්පනා කලා. අනුහස් මුකුත් නොකීවත් ඇගේ දිහා බලලා ඇස් වලින් ඉඟි කලේ අභී ගැන වග ආන්යට තේරුණා. ඈ ඔහුට රවලා අහක බලාගත්තේ ඒකයි. ඊට පස්සේ ආයෙම පැදුර පටන් ගත්තා. කෝපි නොබිව්ව ආන්යට ගීත කියලා පිපාසයක් දැනුනා.
"අම්මා මං වතුර එකක් බිලා එන්නම්" ආන්යා පැදුරෙන් නැගිට්ටේ අසල තිබුන කෑම බීම තියපු මේසෙන් වතුර වීදුරුවක් ගන්න හිතාගෙන. ඈ වතුර වීදුරුව බීලා ඉවරවෙන්නත් කලින්, එතන පෙනී හිටියේ ආර්යන්. ඔහු උන්නේ මේසේ එලිය නොවැටෙන පැත්තේ කණුවක් අසලට වෙලා.
"යූ හැව් අ ඩිවයින් වොයිස් ආන්යා...හරිම ලස්සනයි ඔයා සිංග් කලා" ආර්යන් කිව්වේ රහසින් වගේ.
"තෑන්ක් යූ" ආන්යට කියන්න වෙන දෙයක් මතක් වුණේ නෑ.
"හවස හදිසියෙන්ම මම ගියාට තරහා නෑ නෙද?"
"අපෝ නෑ. අම්මා එන්න කියපු නිසානේ ගියේ" ආන්යා උත්තර දුන්නා.
ආර්යන් මහා සුසුමක් හෙලුවා. හරියට හිතේ බරකින් නිදහස් වෙන්න වගේ.
"මට ඔයා එක්ක කතා කරන්න ඕන ආන්යා..." ඔහු ඊලඟට කිව්වේ එහෙම.
"ඉතින් මේ කතා කරන්නේ"
"එහෙම නෙවෙයි, නිදහසේ. වැඩිය කවුරුත් නැති වෙලාවක, තැනක"
"අයි ඒ?"
"කාගෙන්වත් බාධාවක් එනවට මං අකමැති නිසා"
"එහෙම කරන්න බෑනෙ. මෙහේ කට්ටිය හුඟක් ඉන්නවනේ"
"මෙහේදි නෙවෙයි" ආර්යන් කිව්වම ආන්යාඅ අඳුරේ යන්තම් දිලිසෙමින් තිබුණ ආර්යන්ගේ ඇස් දිහාව බැලුවා.
"එහෙනං?"
"වෙන කොහෙදි හරි. ඔයා ගෙදර ආවාම...නැත්තම් මං එන්නද ඔයාගේ යුනිවර්සිටි එකට?"
ආන්යට ඒකට එක පාරටම දෙන්න උත්තරයක් හිතාගන්න බැරිවුණා.
"හිතලා කියන්න, දැන් යන්න අම්මා කීප පාරක්ම හැරිලා බලනවා මං දැක්කා" ඇගෙන් උත්තරයක් නැති තැන ආර්යන් එහෙම කිව්වා.
"යන්නද එහෙනම්?" ඈ ඇහුවා.
"ඉන්න කිව්වත් ඉන්නෙ නෑනෙ" ආර්යන් ඈට යන්න දෙන්නේ නෑ වගේ.
"ඉන්න බෑනෙ" ආන්යා උත්තරයක් දුන්නා.
ආර්යන් සුසුමක් හෙලුවා විතරයි. ආන්යා තවත් එතන නොඉඳ එන්න ආවා. ඊට පස්සේ පැදුර තව පැයක් විතරම ඇදුනත් ආර්යන් නම් පේන්න උන්නේ නෑ. ඔහු නිදාගන්න යන්න ඇති කියලා ආන්යා හිතුවා.
සේරම අහවර වෙලා, රෑ එකට විතර ආන්යා නිදාගන්න ලෑස්ති වෙලා ෆෝන් එක අරන් බලද්දි ආර්යන්ගෙන් එස්. එම්. එස්. එකක් තිබුණා. ඒක බලපු ඈ කොට්ටේ මූණ ඔබාගත්තේ හිනාවෙමින්.
'ඔබ සිහි වෙනවා...සිහින මැවෙනවා
සිහින මැවෙනවා...ඔබ සිහිවෙනවා...'
පෝයදා වුණ සඳුදා උදේම ආන්යා නැගිට්ටේ එදා මේ ආපු ගමනේ අවසාන දින නිසා. ඈට ඕන වුණා නිදහසේ වට ලස්සන තව ටිකක් බලාගන්න. ඈ බැල්කනියට වෙලා පුටුවක් තියාගෙන අවටැ සිරි නැරඹද්දි අම්මා නම් තාමත් උන්නේ නින්දේ.
අම්මට් අකලින් ලෑස්ති වෙලා තේ බොන්න හිතාගෙන ආන්යා කෑම කාමරේට ගියේ එවෙලේ එතන ගොඩක් සෙනග නොහිටිය නිසයි. ආන්යා යද්දි තාත්තයි, තව මැනේජර් කෙනෙකුයි එතනට ඇවිත් උන්නා. ආන්යා තේත් අරගෙනම තාත්තලා උන්නු මේසේ අසලින්ම වාඩිවුණා.
"ගුඩ් මෝනින්ග් පුතා...මොකද මේ උදේම ඇහැරලා අද?" තාත්ට ඇහුවා.
"මෙහේ ලස්සන උදේම තමා. මීදුමයි, කොල පාට කඳු ගැටයි, සීතලයි...හරි ෂෝක්" ආන්යා කිව්වේ හුරතලෙන්.
ආන්යලා තේ බීලා අහවර කරද්දිම වගේ ඇතුලේ කාමරයක් දිහාවෙන් ආවේ කීප දෙනෙක් තර්ක කරගන්නවා වගේ හඬක්. හැමෝටම ඒ පැත්ත බැලුනේ ඉබේටම වගේ.තේ මේසේ දිහාවට එමින් උන්නේ අනුලා මැඩම් එක්ක, ආර්යනුයි තව ගෑනු ළමයෙකුයි. තුන් දෙනාම එකපාර කතා කරමින් උන්නු නිසයි මේ ගෝසාව ඇහිලා තිබුණේ.
"ගුඩ් මෝනින්ග් මැඩම්, මොකෝ මේ උදේ පාන්දර කට්ටිය විවාදයක්ද?" තාත්තා එහෙම ඇහුවේ එවෙලේ එතනට ආපු අනුලා මැඩම්ගෙන්.
"අනේ නෑ වීරේ, දන්නැද්ද මේ ආරුගේ වැඩ? අද මේ කෙල්ලන්ව ගිහින් දාන්න කොලඹ යන්න බෑ කියලනේ මේ" අනුලා මැඩම් කිව්වා.
ආන්යා උන්නේ ආර්යන් දිහාවත් නොබලා. තාත්තට හරි අනුලා මැඩම්ට හරි වෙනසක්  තේරෙවි කියන බයට.
"මේ එතකොට කවුද?" එතන උන්නු අනෙක් මැනේජර් අනුලා මැඩම්ගෙන් එහෙම ඇහුවේ ඔවුන් ලඟ උන්නු ගෑණු ළමයව පෙන්නලා.
"ආ...මිස්ට මඩුගල්ල දන්නේ නෑනෙ නෙද? මේ ඉන්නේ මගේ අනාගත ලේලි පොඩ්ඩ...ආරුගේ ෆියොන්සී, ශර්මිලා"

 

Thursday, April 26, 2012

තිස් හතරවන කොටස


සිකුරාදා දවස උදා වුණේ හීන් පොද වැස්සක් එක්ක. එදා යන්න නියමිතව තිබුණ ගමන නිසාදෝ ආන්යගේ හිතේ තිබුණේ තරමක උද්‍යෝගයක්. ආන්යා සති ගාණක් තිස්සේ ආරූඨ කරගෙන උන්නු දුක්බර, සුසුම් හෙලන මූණ වෙනස් වෙලා නිසා කාමරේ උන්නු ඇගේ යෙහෙලියෝ පිරිස එක්තරා විදියක පුදුමයකටත් සතුටතත් පත් වෙලා හිටියා. ආන්යට මේ ගමන ගැන හිතන්න දෙයක් නොතිබුණේ, ඇගේ හිත කලබල කරවන  දෙන්නම මේ ගමනට එක් නොවෙන හන්දත් වෙන්න ඇති.
"අප්පෝ ඇති යාන්තම් අද කෙල්ලගේ මූණට හඳ පායලා තියෙන්නේ? මොකෝ අද ගෙදර යන නිසාද?" අංජලී උදේම ඇහුවේ හිනා වෙවී.
"ම්ම්...කාලෙකින් අපි මේ පවුලේ අය එක්ක පිට යන්නේ. තාත්තට හැමදාම මොනා හරි වැඩක් නේ. ලොකු අයියට නම් එන්න බැරි වෙනවා. ඒත් ඉතින් ගෙටම වෙලා ඉන්න අම්මට යන්න ඉඩක් ලැබෙනවනේ. කට්ටියම යන නිසා මට සතුටුයි තමා" ආන්යා කිව්වා.
"අර ඔයාගේ පෙම් කුරුල්ලෝ දෙන්නත් එනවද?" දත් බුරුසුව වන වන එතනින් යමින් උන්නු සම්මානි ඇහුවේ උපහාසෙන් වගේ.
"අපෝ නෑ. එනවනම් මම යන්නෙත් නෑ" ආන්යා කෑ ගහලා වගේ කිව්වා.
"ආර්යන් එනවනනුත් යන්නේ නැද්ද?" සම්මානි එහාට මෙහාට වෙනකල් ඉඳලා අංජලී ඇහුවාම ආන්යා නිරුත්තර වුණා. අංජලී ඒකට උත්ත්‍රයක් බලාපොරොත්තු වුණෙත් නෑ.
එදා මුලු දවසම ගෙවුණේ උඩපේරාදෙණියේ පිහිටවලා තිබ්බ මාවෙල ෆාම් එකේ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට. එදා ඔවුන්ට කරන්න යෙදිලා තිබුණේ කිරි ගවයින් වර්ග හඳුනාගැනීම සහ ගව පාලනයට අදාල වෙනත් දේවල් වුණු කෑම දෙන ආකාරය, පට්ටි පිරිසිදු කිරීම, පැටවුන් රැක බලාගැනීම වගේ දේවල්. කොහොමින්හරි පාඩම් ඉවර වෙලා එද්දි හැමෝම උන්නේ එච්චර ප්‍රසන්න සුවඳක් වහනය වුණේ නෑ. තාතා ඇවික් ඇමතුමක් දෙද්දි ආන්යා යන්තම් නාලා අහවර වුණා විතරයි.
"ආ...මොකද අද මෙයා පුටු මාරු කරලා?" තාතාගේ ජීප් එකේ පිටිපස්සෙන් නගිද්දි ඒ ආසනේ උන්නේ වෙනදා වගේ අම්මා නෙවෙයි, අනුහස්. අනික් දවස් වලට ඉස්සරහම යන්න වලි කන අනුහස් අද පස්සේ ඉන්නවා දැකලා ආන්යට හිනාවක් ගියා.
"එහෙම තමා...ඔක්කොම අපේ පුටු නේ, අපට ඕන පුටුවක යන්න පුලුවන්, ලොකු පුටුවට ඇරෙන්න" අනුහස් කිව්වේ තාත්තව පෙන්නලා, ආන්යට ඉඳගන්න අයිනට වෙන ගමන්.
ඉස්සරහ උන්නු අම්මා මේ දෙන්නගේ වාදේ දිහා බලාගෙන හිනා වුණා.
"අනික ඉතින් අපි අපේ මව්තුමීගේ නිසි තැන දෙන්න ඕන නේ" අනුහස් ආයෙම කිව්වා.
"ඒක ඔයා දෙන්න ඕන නෑ, අම්මා ඉන්නේ නිසි තැන තමා හැමදාම නේද තාත්තා?" ආන්යා කිව්වේ වාහනේ පණගන්වලා ඉස්සරහට ගත්තු තාත්තට.
"ඈත්තට... ඒ කොහෙද?" අනුහස් ඇහුවේ කට ඇදකරලා.
"තාත්තගේ හිතේ" ආන්යා කිව්වාම අම්මයි, තාත්තයි අනුහසුයි තුන් දෙනාටම එකපාරම හිනා ගියා.
"අම්මෝ මෙයා දියුණු වෙලා තියෙන තරම් නේද අම්මා? මොකද දන්නෑ...ප්‍රේමයෙන් මනරංජිත වේ නන්ජිත වේ..." අනුහස් හිස වන වන කිව්වා.
" ආ...මං කිව්වේ බොරුවක්ද හා?" ආන්යා ඇහුවත් අම්මා රතු වුණ මූනින් යුතුව හිනා වුණා මිසක් මොනවත්ම කිව්වේ නෑ.
පේරාදෙණියේ ඉඳලා නුවඑරලියට යන්න සාමාන්‍යයෙන් ගත වුණේ පැය එකහමාරකටත් අඩු කාලයක්. ඒ යන පාර ලස්සන වුණත් වංගු වැඩි නිසා වමනේ යන්න වගේ ආපු අම්මා උන්නේ නිදාගෙනමයි. මේ අතර තාත්තට නෑහී රහස් කතා කරන්න පොඩි අවස්ථා කීපයක් ආන්යටයි, අනුහස්ටයි ලැබුණා.
"ආයේ අරයා කතා කලේ නැද්ද?" ආන්යා එහෙම වෙලාවක ඇහුවා.
"මොකෝ අහන්නේ? එදා කිව්වේ වදයක් කියලා" අනුහස් ඇහුවේ ඈ දිහා ඇස් කොනකින් බලන ගමන්.
"ෂ්...හෙමින්. මට දැනගන්න ඕන එයා දැන්වත් හැදිලද කියලා, ඒකයි"
"ඔය කතා ඕන නෑනෙ මීනු. ඊලඟට ඔයා ආයෙම මූඩ් ගැහුවොත් මේ ගමනත් අපරාදේ" අනුහස් කිව්වා.
"ඒ කියන්නේ කතා කරලා තියෙනවා?"
අනුහස් සුසුමක් හෙලලා ඈ දිහා බැලුවා. "එයා ගැන උනන්දුවකුත් නැත්තේ නෑ නේ?"
"අනූ...කියන්න බැරි නම් ඕන නෑ. පිස්සු කතා නම් කියන්න එපා" ආන්යා කිව්වේ අමනාපෙන් අහකබලා ගන්න ගමන්.
කොච්චර නෑ කියලා හිතුවත්, හිතේ එක කොනක් අභී ගැන අහන බව ආන්යාට නොතේරුණා නෙවෙයි. ඔහු ගන දැනගන්න ඈ උනන්දු වුණේ ඒකයි.
"කියවන්න පුලුවන් නම් මැසේජස් ඇති පනහකටත් වඩා, ඊමේලුත් ඒ තරම්ම...හැබැයි, මූඩ් ගහන්න බෑ හරිද? ඔයා ඉල්ලන නිසා දෙන්නේ" අනුහස් කිව්වේ ආන්යා දිහාවට ඔහුගේ ෆෝන් එක දික් කරන ගමන්.
ආන්යාගේ හිතත මෝදු වුණේ අභී ගැන පුංචි දුකක්. ඈ ෆෝන් එක අරගෙන අනුහස් පෙන්නපු කෙටි පණිවිඩ සමූහය දිහා බැලුවා.
"I really do wish anya would understand me machan, god knows how much I need her-" ආන්යාට කිය්වන්න පුලුවන් වුණේ එකම එක කෙටි පණිවිඩයක් විතරයි. පුංචියට හිතේ ලියලාගෙන ආපු දුක හිතම වසාගෙන පැතිරෙනවා ආන්යට දැනුනා. ඈ ෆෝන් එක ආපහු අනුහස්ට දික් කලා.
"හරිද? සන්තෝසද? ඒකනේ මං කිව්වේ" අනුහස් ඒක අතට නොගෙනම කිව්වා.
"ඇයි අනූ ඔයා නොකිව්වේ මෙහෙම කරන්න එපා කියලා?" ආන්යා ඇහුවේ වේදනාවෙන්.
"කිව්වා, ලිව්වා, කරන්න තියෙන සේරම කලා. ඒත් එයා බලාපොරොත්තුව අතාරින්න ලෑස්ති නෑ වගේ මීනු. අනේ මන්ද...මට මිනිහා ගැන දුකයි. ආපු ගමන්ම ඔයාට බෑ කියන එක කියන්න මීනු. දෙපැත්තට වැනෙන්න නම් එපා. ඌ තවත් වීඳවයි, පව්"
"මං දැනුත් කරන්න හදන්නේ ඒක අනූ. අදවත්, හෙටවත් මට කැමති වෙන්න නම් බෑ"
හොඳවෙලාවට තාත්තා උන්නේ අම්මා ගැන සිහියෙන් නිසා, රහසින් රහසින් දෙන්නට මේ දේවල් කතා කරගන්න ඉඩ ලැබුණා.
"අපි මොනා හරි බීලා යමු. අම්මට ඇඹුල් දෙයක් කෑවොත් ඔය ගතිය අඩු වේවි" තාත්තා මග තිබුණ පුංචි කඩයක් ලඟ ජීප් එක නැවැත්තුවා.
"උණු උණු පොල් රොටී කමු...කිතුල් හකුරු සමග කහට.."

ආන්යා ඇතුලු පවුලේ අය අඹේවෙලට ලඟ වෙද්දි රැ හතත් පහු වෙලා තිබුණා. ඒ වෙද්දි, මනී මහත්තයා සහ නෝනා, තව ඩිරෙක්ටර්ලා තුන් දෙනෙක් සහ ඒ අයගේ පවුලේ අය වගේම, හෙඩ් ඔෆිස් එකේ මැනේජර්ලා දෙතුන්දෙනෙකුත් මනී මහත්තයාට අයිති වුන ලොකු ගල් බංගලාවට ඇවිත් උන්නා. රෑ නිසාදෝ හත්පසම තිබුණේ පුදුම සීතලක්. වෙලාවට තාත්තා නුවර එලියේ වාහනේ නවත්තලා උණුසුම් ඇඳුම් කිපයක් ආන්යලට අරන් දීලා තිබුණා.
"ආ...මේ ඉන්නේ දෝටර් නේද? දැන් ලොකු කෙල්ලෙක්නේ" මනී මහත්තයාගේ බිරිඳ වුණු අනුලා මැඩම් (අභීගෙයි, ආර්යන්ගෙයි අම්මා) ආන්යාගේ මූණ මිරිකලා කිව්වාම ආන්යා අමාරුවෙන් ඈට හිනාවක් පෑවා. පුතාලා දෙන්නගේ වැඩ ගැන දන්නවා නම් අම්මා මොනවා කියවිද කියලා හිතන්නත් ආන්යා බය වුණා. මනි මහත්තයා නම් ඈට හිනාවක් පෑවා විතරයි. මනී මහත්තයාගේ ආරෝහ පරිණාහ දේහ විලාසයත්, ආර්යන් වගේම වැඩිපුර කතා නොකරන ගතියත් ඔහුට එක් කරලා තිබුණේ ආන්යට බය හිතෙන විදිහේ ගාම්භීර කමක්. අනික් අතට සුන්දර, හැමවෙලේම හිනාවෙලා ඉන්න කාන්තාවක් වෙච්ච අනුලා මැඩම් අභී වගේ කියලයි ආන්යට හිතුණේ.
"නැන්දම්ම හොඳද?" ආන්යගේ කනට කරලා එහෙම ඇහුවේ අනුහස්. රැ කාම බෙදාගනිමින් උන්නු ආන්යා අතින් පිඟාන අතනෑරුණේ නූලෙන්.
"අනූ...! ඔයාට නම් මොලේ කොලප්පන්. කාට හරි ඇහුණානම් එහෙම? දෙන්න හිතෙනවා දෙකක්"
අනුහස් හිනා වෙවී, ආන්යා කිව්ව දේ නෑහුණා වගේ ඈ ඉස්සරහට පැනලා කෑම බෙදාගෙන යන්න ගියා. ආන්යා සුසුමක් හෙලුවා. අභීයි, ආර්යනුයි නැති එක කොයි තරම් හොඳද කියලා ඈට හිතුණා. හිටියා නම් අනිවාර්යෙන්ම තමන්ට 'හාට් අටෑක් එකක්' හැදේවි කියලා ඈට හිතුණා.
සැප මෙට්ටෙක, උණුසුම් බූල් බ්ලැන්කට් ස්ථයකින් වැහිලා, අම්මට තුරුල් වෙලා නිදාගෙන නිදාගත්තු ආන්යාට කලින්දා එක නින්දට නින්ද ගිය නිසා උදේ ඇහැරෙද්දි දැනුනේ නැවුම් බවක්. ඈ ඇඳ අයිනේ රැක් එකේ තිබුණ ජර්සිය දාගෙන කාමරේ බැල්කනියට ගියේ වට පිට සිරි බලන්න. ඈට පෙනුනේ මීදුම් පටල වලින් යන්තමට වැහිලා ගිය, පිරිසිදු කොලපාට තණකොල වලින් ගැවසුනු පුංචි කෝම් පිට්ටු වගේ දිස්වුණ පොඩි කඳු ගැට යායක්. මිනිස් පුලුටක් වත් නැති මේ පාලු කඳු ගැට මැදි මැදින් උස ගස් තැනින් තැන වැවිලා තිබුණා. මේ සේරම කොලපාටේ විවිධ ප්‍රභේද වලින් සැරසිලා පරිසරයට එක් කරලා තිබුණේ අමුතුම සුන්දරත්වයක්.
"පුතේ...හතට උදේ කෑම, ඉක්මණට ලෑස්ති වෙන්න පහලට යන්න" නාන කාමරේ ඉඳලා එලියට ආපු අම්මා ආන්යගේ සොබාසිරි වින්දනයට බාධා කලා.

"අපි උදේම ෆාම් බලන්න යමු. හවස පෑව්වොත් පොඩි මැච් එකක් කාරිය ගහලා, හවස බාබිකියු එකට සෙට් වෙමු. පෑව්වේ නැත්තම් අපට බැරියැ බිලියඩ් හරි ස්නූකර් හරි ප්ලේ කරන්න. මොකද කට්ටිය කියන්නේ? එහෙම හොඳද සර්?" කම්පැනියේ ඩිරෙච්ටර් කෙනෙක් වුණ මිස්ට හේවගේගේ යෝජනාවට හැමෝම එකඟ වුණා.
ආන්යට නම් ඒක ඒ තරම්ම අරුමයක් නොවුනේ මාසෙකට විතර කලිනුත් ආන්යලා ෆීල්ඩ් ට්‍රිප් එකක් මෙහාට ඇවිත් තිබුණ නිසා. සිකුරාදා දවසම ගවයෝ එක්ක ගත කරලා ආපු ආන්යට පහුවදාත් ආපහු ගවයෝ බලන්න අවස්ථාවක් ලැබුනේ ඒ විදියට. ඒත් ඒක ඈට හොඳ අත්දැකීමක් වුණේ, එදා කරපු සමහර ක්‍රියාකාරකම් ඇත්තටම ක්ෂේත්‍රයේ කෙරෙන ආකාරය ආපහු බලාගන්න ඉඩක් ලැබුණ නිසයි.
"බලන්න ඔයාගේ යාලුවෝ ඉන්නවද කියලා?" ගවයෝ ගාල් කරලා උන්නු තැන් වලින් ඇවිදගෙන යන අතරේ එහෙම කිව්වේ අනුහස්.
"අනේ මේ නිකම් ඉන්නවද? බලන්නකෝ අම්මා" ආන්යා අම්මට කිට්ටු වුණා.
"නෑ ඉතිං මං කිව්වේ මෙයා ෆැකල්ටියේදි මේගොල්ලෝ ගැන ඉගෙන ගන්න නිසයි" අනුහස් මෝඩ හිනාවක් පාලා කිව්වා.
"මේ ළමයට ඉන්න දෙන්නකෝ අනූ" අම්මා කිව්වේ තදින් නෙවෙයි.
"අප්පට සිරි...මීනු අර බලන්නකෝ, නිකං කිරි කිරි ටොයියෝ දෙන්නෙක්. මේ ඒ අය අපි එක්කද ආවේ?" අනුහස් කිව්වේ එලියට වෙලා අනුලා මැඩම් එක්ක කතා කරමින් උන්නු ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් පෙන්නලා. අනූට අම්මා ඉන්නවාඅ කියලවත් ගාණක් නෑ.
"මම නං දන්නෑ. ගිහින් අහන එකනේ ඇත්තේ" ආන්යා මූණ හරවගෙන කිව්වා.
"ඉරිසියාවේ පැලෙන්න යනවා. මොනාද හලෝ ලස්සන දෙයක් දැක්කාම ලස්සනයි කියනවකෝ"
"මම දැන් කැතයි කිව්වද? මම කිව්වේ ගිහින් අහගන්න කියලා"
ආන්යා අලුත උපන් වසු පැටියෙක් උන්නු ගාලකට එබෙන ගමන් කිව්වා.
"එයාලා ඉන්නේ අපි එක්ක නම්, බලන්නකෝ මම කතාකරවගන්නේ නැද්ද කියලා" අනුහස් කිව්වේ ආයෙම අර ගෑණු ළමයින් දිහාට බැල්මක් හෙලන ගමන්.
"බලමුකෝ නේද අම්මා?" ආන්යා අනුහස්ට ඇද කරලා කිව්වා.
එද දවසේ වැස්සක් වහින පාටක් නොතිබුණ නිසා ආන්යලා දවල්ට කන්න යද්දි අනික් අය ලෑස්ති වෙවී උන්නේ ක්‍රිකට් තරඟයක් පවත්වන්න.
"ගෑණු ළමයිනුත් එනවා නේද?" කණ්ඩායම් බෙදමින් උන්නු මාකටින් මැනේජර් වුණ අර්ජුන ඇහුවේ කෑම ගන්න පෝලිමේ උන්නු ආන්යලගෙන්.
"අනේ මට නම් බෑ" ආඅන්යා අම්මා පිටිපස්සට වෙමින් කිව්වා.
"මොනාද ළමයෝ, ඔය වයසට සෙල්ලම් කරලා එහෙම ඉන්න එපැයි" එහෙම කිව්වේ අර්ජුන ලඟම උන්නු හේවගේ මහත්තයා.
ආන්යා ඒකට මුකුත් නොකියා හිනාවුණා. ආන්යා නොගියට අනුහස් නම් මේ තරඟෙට ඉදිරිපත් වුණේ පැනලා. අනුහස් ඇරෙන්න ආන්යට වඩා රමක් බාල තව පිරිමි ළමයි කීප දෙනෙකුත්, ගෑණු ළමයින් තුන් හතර දෙනෙකුත් තරුණ අය විදියට ඉදිරිපත් වුණා. කොහොමහරි තාත්තයි, අනුහසුයි අයත් වෙලා උන්නේ   කණ්ඩායම් දෙකක. තරුණ,මහලු සේරෝන්ගෙන්ම සැදුම්ලත් කණ්ඩායම් දෙක පිටියට යනවා ආන්යා බලාගෙන උන්නේ තනියෙම පුටුවකට වෙලා. අම්මයි අනෙත් ඇන්ටිලා ටිකයි උන්නේ ඉස්සරහම පුටු වල වාඩි වෙලා. ආන්යා පොතකුත් අරන් ආපු නිසා ඈ පොතයි තරඟයයි දෙකම බලමින් පිටිමපස්සේ පේලියේ උන්නා. 
අනුහස්ලගේ කණ්ඩායම දිගට හරහට තාත්තලගේ කණ්ඩායමට පහර දෙද්දි ප්‍රේක්ෂකාගාරේ සද්දේ එන්න එන්නම වැඩි වුණේ, ඒ කණ්ඩායමේ අනෙක් ක්‍රීකයන්ගේ අතිමහත් උද්‍යෝගිමත් කෑගැහිල්ල නිසයි.
"කමෝන්...හේවගේ අන්කල්..."
"ගෝ අනුහස් ගෝ.." අනුහස් ක්‍රීඩාකරන වෙලාවේ එහෙම සද්දත් ඇහුණා. අනුහස් බැල්ම හෙලමින් උන්නු ගෑණු ළමයි දෙන්නා තරඟෙට කෑ ගහන හැටි දැක්කාම නම් ආන්යට හිනාවකුත් ගියා.
 කොහොමහරි තේ වෙලාව එද්දි අනුහස්ලා තාත්තලාගේ කණ්ඩායමට විසාල ලකුණු ගාණක ඉලක්කයක් ලබාදීලයි තිබුණේ.
"කොහොමද අපේ වැඩ?" දාඩිය පිහිමින් ආන්යා අසලට ආපු අනුහස් ඇහුවේ ආඩම්බරෙන් වගේ.
"හොඳා හොඳා...අනේ මේ ලඟට නම් එන්න එපා දාඩිය ගඳේ බෑ" ආන්යා කිව්වේ ඔහුගෙන් ඈතට වෙන ගමන්. "අනික ඉතින් තාම තාත්තලා තාම වැඩ පෙන්නුවේ නෑනෙ නේද අම්මා?"
"බලමුකෝ කවුද වැඩකාරයෝ කියලා" අනුහස් පිඟානක් අතට අරන් කන්න දෙයක් බෙදාගන්න යන ගමන් කිව්වා.
"පුතේ මම පොඩ්ඩක් අර කාන්ති ඇන්ටිලා ඉන්න දිහාට ගිහින් එන්නම්. තාත්තා කතා කරනවා. ඔයා අනූ එක්ක තේ එකක් ගන්නකෝ මම එනකල්" අම්මා හදිසියේම එහෙම කියලා එහාට යන්න ගියා.
කෑම අරන් උන්නු ආන්යා අනුහස් එනකල් මේසයක් අසලින් වාඩි වුණා.
"කෝ අම්මා?" අනුහස් රෝල් එකකුත් කටේ ඔබගෙන ඇවිත් ආන්යා අසලින් වාඩි වුණා.
"අන්න අරහෙට ගියා කාන්ති ඇන්ටි හම්බවෙලා එන්න"
ආන්යා කිව්වේ අසලින්යන ගමන් තමන් එක්ක හිනාවුණ කීප දෙනෙක්ට පෙරලා හිනාවකින් සංග්‍රහ කරන ගමන්.
"මෙහේ කෑම නම් මරු" අනුහස් එහෙම කියමින් කන්න පටන් ගත්තා. ආන්යත් නිහඬවම කෑම කන්න පටන් ගත්තා.
"මාත් මෙතනටම එන්නද?" ඒ හඬ ඇහුණේ ආන්යට පිටිපස්සෙන්. ආන්යා කමින් උන්නු එක එකපාරටම නැවැත්තුවා. අනුහසුත් කන එක නවත්තලා හිනා කටක් පුරෝගත්තා.
"හායි ආර්යන්..එන්න එන්න. කවද්ද ගොඩබැස්සේ? කෝ අභී ආවේ නැද්ද?"
ආන්යා උන්නේ ගල්වෙලා. ඊලඟ වචන පෙල ඇහෙනකල් ඈ හුස්ම නවත්තගෙන උන්නා. ආර්යන් හමදාමත් නොහිතපු වෙලාවල, නොහිතපු විදියට ආන්යගේ ජිවිතේට ආවේ හරිය, අනුමාන කරන්න බැරි වැස්සක් වගේ. ඔහු අද මෙහාට කොහොම ආවද, මොකට ආවද, වෙන එකක් තියා ඈ මේ දකින්නේ හීනයක්ද කියලාවත් ආන්යා හරියටම දැනගෙන හිටියේ නෑ.
"අභී ආවේ නෑ කොල්ලෝ. එයා එන්න කොහොමත් තව ටික දවසක් යාවි. ඉතින් කොහොමද?" ආර්යන් කිසිම වෙනසක් නොපෙන්වා ආන්යා අසල පුටුව ඇදලා වාඩි වුණා.
ආන්යට පොඩි සනසීමක් දැනුනේ අභී නාපු එක ගැන විතරයි.
"කවද්ද ඉතින් ආවේ? අපට ආරංචි වුණේ එන්න කල් යාවි කියලා" අනුහස් දිහටම කතාව.
ආන්යා කකා උන්නු පේස්ටිය එහෙමම අතේ තියාගෙන අහගෙන උන්නා විතරයි.
"අද උදේ ආවේ. කොහොමත් අභීට කලින් මම එන්න තමා හිටියේ, මොකද සයිට් ඒකේ වැඩ බලන්නත් ඕන නේ. අනික ඉතින් ඔයාලා මෙහේ ජොලි කරද්දි අපි අරහෙට වෙලා වේලි වේලි ඉන්න ඕන නෑනෙ" ආර්යන් ආන්යා දිහා ඇස් කොනින් බලමින් කිව්වා.
"ඕක කන්නේ නැත්තම් මට දෙන්න" අනුහස් කිව්වේ ආන්යාගේ පිඟානේ ඉතිරි වෙලා තිබුණ කෑම පෙන්නලා.
"ගන්න" ආන්යා කිව්වා.
"අයියෝ මීනු,කන්නකෝ. ගත්තේ මොකටද කන්න බැරි නම්. එහෙනම් බොන්න දෙයක් ගේන්නද?" අනුහස් ඇහුවාම ආන්යා හිස වැනුවේ වෙන කරන්න දෙයක් නැති නිසා.
"එක්ස්කියුස් මී ආර්යන් මම මේ වාතෙට බොන්න දෙයක් අරන් එන්නම්, ඔයාට මුකුත් ඕනද?" අනුහස් කිව්වේ පුටුවෙන් නැගිටින ගමන්.
"නෝ තෑන්ක්ස්. ඕන සේරම තියෙනවා"
"තේ ගේන්නම් මීනු" අනුහස් එහෙම කියාගෙන සෙනග අතරේ අතුරුහදහන් වුණා.
"ම්ම්...කිව්වා වගේම ඔන්න මම ඉක්මණට ආවා..." ආර්යන් ආන්යා දිහා නොබලම හෙමිහිට මිමිණුවා.
"හිතුවෙ නෑ ඒවි කියලා" ආන්යත් හෙමින්ම කිව්වා.
"නෑවිත් ඉන්න බැරි වුණා...එන්න හිටියේ නම් අද නෙවෙයි"
"ඉතින් එහෙනම්?" ආන්යා කතා කලේ බයෙන් වට පිට බලමින්.
"මම අද ආවට අකමැතිද?" ආර්යන් ඇහුවම ආන්යට ඔහු දිහා බැලුණා.
"එහෙම හිතලා ඇහුවා නෙවෙයි"
"ආවේ එහාට වෙලා ඉන්න බැරි නිසා. ආන්යා...මට ඔයාට දෙයක් කියන්න ඕන, ඒකට තවත් පරක්කු වෙන්න මට බෑ කියලා හිතුණා...පරක්කු වෙන්න වෙන්න දේවල් තව ටෆ් වෙනවා විතරයි" ආර්යන් මේසෙට නැවිලා ආන්යා දිහා බලලා කිව්වා.
"මොකක්ද?" ආන්යා ඇහුවත් ඔහු කියන්න යන දේ ගැන අංශු මාත්‍රික ඉවක් ඈට තිබුණා.
"ඒක මෙතන මෙහෙම කියන්න බෑ ආන්යා. ඒක වචනෙකින්, දෙකකින් කියන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක මහ ලොකු කතාවක්"
ආර්යන් එහෙම කිව්වාම නම් ආන්යා ටිකක් අන්ද මන්ද වුණා.'ලොකු කතාවක්?'
ආන්යා ඔහු දිහාව ඇස් උස්සලා බැලුවා ආයෙම. ඔහු බලාගෙන උන්නෙත් ඈ දිහා. ඒ මූණේ තිබුණේ වෙන් කරලා අඳුනගන්න බැරි හැඟීම් ගොඩක්.
"පුලුව වෙයිද අහන් ඉන්න?" ඔහු ඇහුවා.
ඒත් ආන්යා ඊට උත්තයක් දෙන්න කලින් අනුහස් සෙනග අතරින් මතු වුනෙත්, ආර්යන්ගේ අම්මා පැත්තකින් මතු වුණෙත් එකටම වගේ. ආන්යා ඉක්මණට වෙනසක් නොවුණ පෙනුමක් මූණට ආරූඨ කරගන්න උත්සාහ කරමින් බිමට නෙත් යොමා ගත්තා.
"ආරූ...වෙයා වර් යූ? අයි වස් ලූකින්ග් ෆෝ යූ එව්‍රි වෙයා" ආර්යන්ගේ අම්මා මුලින්ම එතනට ආවා.
"මම මේ යාලුවෝ දෙන්න  දැකලා මෙතනට ආවා අම්මා. හදිසියක්ද?" ආර්යන් ඇහුවේ ආදරෙන් හිනාවෙලා.
"නෑ,හදිසියක් නෙවෙයි, අද හවස රාමචන්ද්‍රන්ලත් එනවා කියලා කතා කරලා කිව්වා. එයාලගෙන් දෙන්නෙක් අද නුවර එලියේ නවතිනවලු. ශර්මිලයි අම්මයි එක්ක එන්න ඔයාට යන්න කියන්නයි මම මේ ඔයාව හෙව්වේ" 
ආන්යා බලා ඉද්දි ආර්යන්ගේ මූණ අමුතු වුණා.
"අද, මේ දැන්ද?"
"දැන් තමා"
"අයියෝ, යෙන්න අම්මා. නාන් ඉප්ප තානේ වන්දද (අනේ අම්මා මම දැන් නේද ආවේ)?" ආර්යන් මූණ ඇඹුල් කරගෙන කිව්වා.
මේ අතරේ අනුහස්, ගෙනාපු තේ එක ආන්යට දීලා ඔහුගේ අසුනට බර වුණා. ආර්යනුයි ඔහුගේ අම්මයි මේ දෙන්නා අතරින් තාමත් වාද කරන්න වුණා. 
"යෙන්නාල මුඩියාද(මට නම් බෑ)" ආර්යන් අන්තිමට එහෙම කිව්වා.
"අප්පට ඇවිත් කියන්න. ශර්මිලා ඔයාට එන්න කිව්වනේ. ඔයා දැන් කොයි දවසකින්ද ආවේ? නපුරු නොවී යන්න පුතා" අනුලා මැඩම් කිව්වේ ආන්යලා දිහාත් බලමින්.
"බලන්නකෝ පුතා, මෙයා-" අනුලා මැඩම් ආන්යටයි, අනුහස්ටයි කියන්න හැදුවත් ආර්යන් ඊට කලින් මැදින් පැන්නා.
"ඕකේ, ඕකේ. නාන් පෝරෙන්" ආර්යන් මේසෙන් නැගිට්ටේ මූණ නපුරු කරගෙන. ආන්යා කවදාවත් ඔහුව එහෙම තරහින් දැකලා තිබුණේ නෑ.
"සී යූ අරවුන්ඩ් දෙන්" ආර්යන් දෙන්නටම කියලා යන්න ගියා ඔහුගේ අම්මා එක්කම.
"අම්මලත් වෙලාවකට මහ වාතයක්. අර කොල්ලට කන්නවත් දුන්නේ නෑනෙ" අනුහස් තේ එක බීලා කෝප්පය අතේ තියාගෙනම කිව්වේ ආර්යන්ලා ගිය දිහාව බලාගෙන. ඒත් ආන්යා උන්නේ වෙනම ලෝකෙක. ආර්යන් ඈව මුනගැහිලා කියන්න හදන ලොකු කතාව මොකක් වෙන්න ඇතිද කියලා විතයි ඈට හිතන්න පුලුවන් වුණේ.
ක්‍රිකට් තරඟය වැඩි මහන්සියකින් තොරව අනුහස්ලම දින්නා. හැමෝම උන්නේ ගොක් සතුටින්, ආන්ය ඇර. තේ බොන වෙලේ අතුරුදහන් වුණ ආර්යන් රැ කෑම වෙනකලුත් ආන්යා ඇහැටවත් දැක්කේ නෑ. තවම නොදැකපු මේ ශර්මිලා චරිතය ගැන මොකක්දෝ නුහුරු බයක් ආන්යට දැනෙමින් තිබුණා.ඕනෙවට එපාවට රෑ කෑම ගත්තු ආන්යා ආර්යන්ව නොදැකම නිදන කාමරේට ඇදුනේ ආයෙමත් නොසන්සුන් වුණ සිතකින්.


Tuesday, April 24, 2012

තිස්තුන්වන කොටස


'මිස්ඩ් කෝල්ස් තිස් හතරක්!' කොට්ටේ අස්සේ තිබිලා ෆෝන් එක එලියට ගත්තු ආන්යා ඇස් ලොකු කර ගත්තා. 'ගෙදරින් හතරයි, අනුහස්ගෙන් පහයි, ඉතිරි සේරම ආර්යන්ගෙන්?' ආන්යා ඇඳේ ඉඳගත්තා. ආර්යන් කතා කරලා තිබුණේ කලින් දවසේ. ආන්යගේ හිතට ආවේ දුකක් වගේම පසුතැවිල්ලක්. එදා වුණ දේවල් නිසා නිකමටවත් ෆෝන් එක දිහා බලන්නවත් ඈ උනන්දු වුණේ නැති නිසයි ඈට ආර්යන්ගේ ඇමතුම මගෑරිලා තිබුණේ. ආර්යන්ට මොනා හිතෙන්න ඇත්ද කියලා ආන්යා කල්පනා කලා. ඒත් ඒ කිසිම දෙයක් දැන ගන්න ආර්යන් ආයෙමත් ආන්යට කතා කලේ නෑ දවස් ගනණාවක් යනකල්.
ආන්යට දුක නොහිතුණා නෙවෙයි, ඒත් එන්න එන්න්ම වැඩිවුණ ඉගෙනීමේ වැඩ නිසා ඈට මේ දේවල් ගැන හිතන්න කාලයක් ලැබුණේ නැති තරම්. රැ දොලහ එක වෙනකල් පාඩම්, පැවරුම් කරලා ඉවර කරන්නේ ඇඳට වැටිලා ඇස් පියා ගන්න බලාගෙන. ඒත් ඉඳහිට තප්ප්‍රෑඅකට හරි ආර්යන්ව මතක් වුණාම හිත දුකකින්පිරෙන එක වලක්වගන්න ආන්යට පුලුවන් වුණේ නෑ. ඒ තරම්ම කණගාටුවක් අභී මතක් වෙද්දිත් ආන්යගේ හිතට දැනුනා. මේ දෙන්නමත් තමන් ගැන හිතමින් ඉන්නවා ඇති කියන එක ඈට අරුමයක් වුණේ නෑ. ඈට තිබුණ එකම ප්‍රශ්ණේ මේ දේවල් කොහෙන් කොහොම කෙලවර වේවිද කියන එකයි.
වෙනදට හැමදාම ගෙදරට කතා කරන ආන්යා මේ දවස් ටිකේ ගෙදරට කතා නොකරපු තරමයි. ඒ නිසාම ගෙදර නොම්මරේ ෆෝන් එකේ දැක්කාම ඈට දැනුනේ වරදකාරී හැඟීමක් වගේ එකක්.
"අම්මා..." ආන්යා චාටුවෙන් වගේ කතා කලා.
"අම්මා නෙවෙයි මම" එහා පැත්තෙන් ඇහුනේ අම්මගේ නෙවෙයි තාත්තගේ හඬ.
"අනේ තාත්තා, කොහොමද ඉතින්?"
"කොහොමද තමා, ගෙදර මතකම නෑ නේද?"
"අනේ නෑ තාත්තා. වැඩ ගොඩායි ඒකයි. කෝ අම්මා?"
"අම්ම අන්න අරහේ රාමසාමි අල්ලගෙන මොනාද හිටෝනවා. ඉතින් මං මේ කතා කලේ පුතේ පොඩි කාරණාවක් කියන්න"
"මොකක්ද තාත්තා?"
"මේ එන ලෝන්ග් වීකෙන්ඩ් එකේ අපේ සීනියර් මැනේජර්ලා කීප දෙනෙක් පොඩි ට්‍රිප් එකක් යන්න ලෑස්ති කරගෙන ඉන්නවා, පවුල් වල අයත් එක්කම. අපි යන්නේ මේ අඹේවෙල දිහා තියෙන මනී මහත්තයාගේ බංගලාවට. කාලෙකින් යන්නත් බැරි වුණානේ ඒකයි. ඉතින් පුතාට පුලුවන් වෙයිද එන්න? අනුහස්ට නම් පුලුවන් කිව්වා" තාත්තා විස්තරේ කිව්වා.
"අඹේවෙල කියන්නේ නුවර එලියේ නේද?"
"හ්ම් ඔව්"
"පුලුවන් පුලුවන්. මං ආසයි එහේ යන්න" ආන්යා කිව්වේ උද්‍යෝගයෙන්.
එහාපැත්තෙන් තාත්තා හිනාවෙන හඬ ඈට ඇහුණා. ඇගේ හිතේ තිබුණෙත් සතුටක්.
"හරි එහෙමනම්, මම සිකුරාද එනවා ඔයාල එක්ක යන්න"
"තාත්තේ, මනී මහත්තයලත් එනවද?" ආන්යා ඇහුවේ සැකෙන් වගේ. ඇගේ හිතේ තිබුණේ මොකක්දෝ වරදකාරී හැඟීමක්.
"නැතුව? එයාලනේ මේක ඔර්ගනයිස් කරන්නේ. පොඩි පුතාගේ කොන්වකේෂන් එකට ගිහින් ඒ අය ආවේ පෙරේද. ඒ ආවට පස්සේ යන්න තමා කොහොමත් ලෑස්තිය තිබ්බේ. ළමයි නැතුව පාලුයි කිය කිය තමා මැඩම් මේ දවස් වල ඉන්නෙත්. ඉතින් ඒ දෙන්නා ඒවි. මොකෝ එහෙම ඇහුවේ?"
"නෑ නිකං. මං හිතුවේ ඒ අය යූ කේ කියලා තාමත්" ආන්යා යන්තම් බොරුවක් කිව්වා.
තාත්තාගේ ඇමතුම ආයෙමත් ආර්යන් ගැනයි, අභී ගැනයි සිතිවිලි සමුදායක් ආන්යාගේ හිතට අරන් ආවා. 'තාත්තා කියපු විදියට එහෙනම් තාමත් ආර්යන්වත්, අභීවත් ආපහු ඇවිත් නෑ. පේන විදියට ඊලඟ සතියෙත් එන එකක් නෑ' ආන්යා හිතුවා. කොහොමටත් ඒ අය නැතිව මේ ගමන යන එක හොඳයි කියලා ආන්යට හිතුණේ, එහෙම නොවෙන්න මේ අයියා මලෝ දෙන්නට එකවර කොහොම මූණ දෙන්නද කියලා ඈට හිතාගන්න තවමත් බැරි වුණ නිසා.
ආයෙම ආන්යගේ ෆෝන් එක නාද වෙද්දි ඈ හිතුවේ තාත්තට මොකක් හරි අමතක වෙලා වෙන්න ඇති කියලයි. ඒත් තිරයේ සටහන් වෙලා තිබුණේ නොදන්නා දිග නොම්මරයක්.
"හෙලෝ..." ආන්යා කතා කලේ සැකෙන්.
"තෑන්ක්ගෝඩ්, අදවත් ඉස්සුවා. මම ආර්යන් ආන්යා"
එහා පැත්තෙන් ඇහුණ හඬ මොහොතකට ආන්යව ගොලු කලා. ආර්යන්? නොහිතපු වෙලාවක...නොහොතපු විදියට...ඒත් ඔහු ගැන හිතමින් ඉන්දැද්දි...
"ආන්යා...ආ යූ දෙයා?" ඔහු ආයෙම ඇහුවා.
"ඔව්" ඈ දුන්නේ කෙටි උත්තරයක්.
"ඉතින් කොහොමද?" ආර්යන් දිග හුස්මක් හෙම අරන් ඇහුවා.
"වරදක් නෑ. අනේ එදා ගන්න බැරි වුණාට මොනවත් හිතන්න එපා. ෆෝන් එක හොස්ටල් එක අමතක වෙලා ගිහිනුයි තිබුණේ" ආන්යා අවසර ලැබුණ වෙලාවේ සමාව අයැදුවා.
"ඒකට කමක් නෑ ආන්යා, ගියාට පස්සෙම මටත් කතා කරන්න බැරි වුණානේ. මායි, අභීයි හිටියේ එකට. ඒකයි කතා කරන්න අමාරු වුණේ, අභී බැලුවොත් මොකද කියලා නේද? ඔයාටයි හොඳ නැත්තේ. ඒකයි කතා නොකලේ" ආර්යන් කිව්වාම ආන්යගේ හිතට අභී පිවිසුනේ පොඩි තිගැස්මකුත් එක්ක.
"අභී කොහොමද?" ආන්යා ඇහුවා.
"හොඳින් ඉන්නවා. එදා ෆන්ක්ෂන් එක හොඳට තිබුණා. දැන් අපි මේ ආපහු ලන්ඩන් යන්න එයර් පෝට් ආපු ගමන්. අපේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ එහේ"
"එහෙමද?"
"ඉතින් මට ඔයා ගැන කිව්වේ නෑනෙ" ආර්යන් ඇහුවේ දයාබර හඬින්.
"අලුත් මොනවත් නෑ. වැඩ තමයි ඉතින්. ආ...අපි ලබන සතියේ අඹේවෙල ඔයාලගේ බන්ග්ලෝ එකට යනවා ලෝන්ග් වීකෙන්ඩ් නිසා. අපරාදේ ඔයාලට ඒක මිස් වෙනවා" ආන්යා කිව්වා.
"රියලි? අප්පා කිව්වෙවත් නෑනෙ...ම්ම්..මොනා කරන්නද නේද? ඔයාලා එන්ජොයි කරලා එන්න එහෙනම්" ආර්යන් කිව්වේ වෙනස් හඬකින්. හරියට දුකෙන් වගේ.
"එහෙනම් මම තියන්නද? ඔයාට ගොඩක් බිල යනවා ඇති" ආන්යා කිව්වේ හදිසියෙන්ම ආර්යන් නිහඬ වුණ නිසා.
"ඔයාට මා එක්ක කතා කරන්න ඕන නැද්ද?" ආර්යන් ඇහුවේ හෙමිහිට.
"එහෙම නෙවෙයි...සල්ලි යන නිසයි මං කිව්වේ"
"ඔයා එක්ක අන්තිමට කතා කරලා දවස් දහයක් ගිහින්... අමාරුවෙන් ඉඩක් හොයාගෙන කතා කරද්දි ඔයාට කතා කරන්න ඕන නෑ"
"දැන් මං ඒකද කිව්වේ?" ආන්යා ඇහුවේ ආර්යන්ගේ බොරු මැසිවිල්ල නිසා නොඉවසුම් වෙලා.
"තරහා ගියාද?" ආර්යන් ආයෙමත් මුදු වෙලා.
"නෑ"
ආර්යන් ලොකු සුසුමක් හෙලුවා."දන්නවද?" ඔහු ඊට පස්සේ ඇහුවා.
"මොකක්ද?"
"මෙහේ හරිම පාලුයි ආන්යා. බලන්න, කරන ගොඩාක් දේ තිබ්බත්, කට්ටිය ගොඩාක් හිටියත් හරි පාලුවක් මට දැනෙනවා. හරියට හිතේ කොටසක් අමතක වෙලා ඇවිත් වගේ"
ඔහු කියපු දේට ආන්යා මොනවත්ම කියන්න ගියේ නැහැ. ඇගේ ගත වෙව්ලනවා ඈට දැනුඅනා.
"ආන්යා...ඔයා අහගෙනද ඉන්නේ?"
"හ්ම්"
"අයි මිස් යූ..." ආර්යන් කිව්වේ රහසින් වගේ. ආන්යා සුසුමක් හෙලුවා විතරයි.
"ඩෝන්ට් යූ මිස්ස් මී?"
"මං දන්නෑ" ආන්යා කිව්වේ හිතට එකඟව නෙවෙයි.
"අයි නෝ යූ මිස් මී" ආර්යන්ගේ වචන හිත විනිවිද යනවා ආන්යට දැනුනා.
"දන්නවනම් ඇයි අහන්නේ?" ආන්යා ඇහුවේ ආර්යන් කියපු දෙයින් අපහසුතාවයට පත් වුණ නිසා.
"මට ඒක ඔයාගේ කටින්ම අහගන්න ඕන නිසා. කියන්න ආන්යා, ඔයාට මාව මතක් වුණාද එක පාරක් හරි කියලා?" ආර්යන් අහනේ දරාගන්න බැරි තරම් මුදු හඬකින්.
"නෑ..."
"නෑ?"
"එක පාරකට වඩා...මතක් වුණා" ආන්යා කිව්වේ ඇහෙන නෑහෙන ගාණට.
ඒ පාර ගොලු වුණේ ආර්යන්. ඔහු කියන්න දෙයක් කල්ප්නා කරනවා වෙන්න ඕන.
"මං ඉක්මණට, ඉක්මණටම එනවා... "
"හ්ම්" ආන්යා කිව්වේ ආර්යන්ගේ හැඟීම්බර හඬ නිසා දෑස් තෙත්වුණ ගමන්.
"ආන්යා..." ආර්යන් ආයෙම හදන්නේ මොකක්දෝ කතාවකට මුලපුරන්න.
"මං යන්න ඕන. දැන් තියන්න" ආන්යා එහෙම කිව්වේ තවත් හිතේ බර දරාගන්න බැරි වුණ තැන. ආර්යන් තවත් විනාඩියක් විතර නිහඬව ඉඳලා කතා කලා.
"ඔයා කියනවානම්, තියන්නම්. ටේක් කෙයා දෙන්. අයි විල් ම් ටු සී යූ ඉන් ද ෆස්ට් චාන්ස් අයි ගෙට්"
ආර්යන් ඇමතුම නිමා කලේ ආන්යගේ හිත තවත් චංචල කරලා. ඒත් ඊට පස්සේ හිත චංචල කරන්නවත් ආර්යන් ආයෙමත් කතා කලේ නැහැ.