"දෙවන වේදිකාවට දැන් පමිණි දුම්රිය පොල්ගහවෙල බලා පිටත් වේ. එය පොල්ගහවෙල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත"
චේතියගේ වාහනේ මීරිගම දුම්රිය ස්ථානය ලඟින් ඇදෙද්දි, මට ඇහුණා දුම්රිය ස්ථානයෙන් ඇහෙන ඒ සුපුරුදු හඬ. ජනෙල් වීදුරුව පාත් කරලා එලියෙන්
එන හුලඟේ සුවඳ විඳගන්න බලා උන්නු මගේ හිත හීන් දුකකින් මිරිකිලා යනවා මට දැනුනා. මම සීට් එකට හේත්ත්තු වෙලා ඇස් පියාගත්තේ, ඒ වට පිටාව නොපෙනෙන්න. භූපයි මමයි, අනේක වාරයක් ඇවිදගෙන ගියපු ඒ පාරවල්, ඒ මතක සටහන් නොපෙනෙන්න.
"අප්පච්චියේ...ශ්‍රීමා ඇවිත් බලන්නකෝ මේ කවුද ඇවිත් ඉන්නේ කියලා"
මම ගෙදර මිදුලට බහිද්දි වාහනේ සද්දෙට එලියට ආපු තාත්තා අම්මට කතා කලේ හිනා කටක් එක්ක.
"අම්මේ"
අම්මා සාලෙට ඇවිත් ඇස් ලොකු කරගනිද්දි මම දුවලා ගිහිං අම්මට තුරුලු වුණේ පොඩි දවස්වල කලා වගේ.
"මදෑ ගෙදර එන්න හිතුණා" අම්මා කිව්වේ මගේ හිස අතගාන ගමන්.
ඊලඟට දවසේ බාගයක් ගෙවුණේ අම්මටයි තත්තටයි විස්තර කියන්නයි, ගෙදර අස් පස් කරන්නයි. ගෙදර අස් කරන්න තරම් දෙයක් නොතිබ්බත් මම ඒක කලේ පුරුද්දට වගේ. හවස අම්මයි, චේතියයි දෙන්නම එක්ක මම ගියා සෙනුරි අක්කා බලන්න. දැන් බබා ලැබෙන්න දවස් ලඟ නිසා අක්කගේ අම්මත් ගෙදර ඇවිල්ලයි උන්නේ.
"හම්මේ උඩරට මැණිකෙව දැකපු කල්" මාව දැක්ක ගමන් සෙනුරි අක්කා කිව්වේ එහෙම.
"දකින්න ඕන ඔයාවනේ" මම කිව්වේ ගිහින් ඈගේ අතකින් අල්ලගන්න ගමන්. "මොකෝ මෙච්චර කෙට්ටු?"
මම දකිද්දිට වඩා තව ටිකක් මහත් වෙලා හිටපු ඈ දිහා බලලා ඇහුවම අක්කා මට බොරුවට ගස්සලා අහක බලා ගත්තා.
"එහෙම තමයි බබෙක් හම්බෙන්න ඉද්දි. බලමුකෝ මෙයා මහත් වෙන්නේ නැති වෙයිද කියලා, නේද අම්මේ?" අක්කා චේතියත් ඉද්දිම එහෙම කිව්වම මට දනුනේ ලැජ්ජාවක්.
"හරි හරි... ඒක නෙවෙයි, කෝ අයියා?" මම ඇහුවේ අක්කගේ කතාව ගණං නොගත්තු ගානට.
"පොඩ්ඩකට ලොකු තාත්තලෑ දිහා ගිහිං එන්න ගියා මොකක්ද වැඩකට. දැන් එයි. ඉතිං ඉතිං? කෙල්ලට නුවර නම් අල්ලලා ගිහිං වගේ. සුදුත් වෙලා නේද අම්මේ?"
"ඔයාට පිස්සු...මේ ඒවයෙන් වැඩක් නෑ. දැන් බබාගේ කාමරේ හෙම ලෑස්තිද? යංකෝ බලන්න" මම අක්කවත් ඇදගෙන ගේ ඇතුලට ආවේ එයා තව මොනා මොනා කියයිද නොදන්න නිසා.
බබා ලැබෙන ආරංචිය ආපු දා ඉඳලම අයියා එයාට කාමරයක් හදන්න සෑහෙන මහන්සි වුණ වග මම දැනගෙන හිටියා.
"දැන් කෙල්ලෙක්ද, කොල්ලෙක්ද අක්කේ හම්බෙන්න ඉන්නේ? ඔයාලා බැලුවද?" මම ඇහුවේ ඒ යන අතරේ.
"කාමරේට ගිහින්ම බලන්නකෝ" අක්කා කිව්වා.
ඒ කියපු කාමරේට ඇතුල් වෙද්දි මට දැනුනේ රෝසපාට සුරංගනා ලෝකෙකට ඇතුල් වුණා වගේ හැඟීමක්. බිත්ති වල මල්, සමනල්ලු ඇඳලා, හැමදේම හදලා සරසලා තිබුණේ රෝසපාටින්.
"කෙල්ලෙක්ද? අනේ හරි ෂෝක්... හරිම ලස්සනයි...මටත් හිතෙනවා මේ වගේ කාමරයක් තිබ්බා නම් කියලා" මම කිව්වේ උඩ පැන පැන.
"දුමාල්ට පිස්සු. දැනගත්තු දවසේ ඉඳන් වැඩේම කාමරේ සරසන එක. අපි ඉතිං බබාව මේ කාමරේ තනියෙම තියන්නෙත් නෑ. ඒත් බලන්නකෝ සරසලා තියෙන හැටි?" අක්කා කිව්වා.
"එහෙම තමයි ඉතිං. පලවෙනි බබානෙ. එයාට ආස ඇති" මම කිව්වා.
අක්කා හිනා වුණා විතරයි.
"කවද්ද දැන් ඉස්පිරිතාලේ නවතින්න යන්න ඉන්නේ?" මම ඇහුවේ අක්කා එක්ක තේ හදන්න කුස්සියට යන ගමන්.
"ලබන මාසේ අන්තිම සතියේ. කියන්න බෑ ඊට කලින් අමාරු වෙන්නත් පුලුවන්. සති තිස් හත පැන්නම ඕන වෙලාවක බබා හම්බෙන්න පුලුවන්ලුනේ" අක්කා කිව්වේ හෙමින් ඇවිදගෙන එන ගමන්.
"දැන් පැංචි හොඳට දඟලනවා ඇති නේද?" මම ඇහුවා.
"ඔව් ඔව්. මෙන්න මේ ඉල ඇට වලට පයින් ගහනවා වෙලවකට රිදෙන්නම. දැන් ඉඩත් මදි ඇති නේ" අක්කා කිව්වේ ආදරෙන්.
මට ඈ ගැන දැනුනේ සතුටක්. ඒ වගේම ලොකු අයියා ගැනත්.
"ඉතිං ඔයා තාමත් කිව්වේ නෑනෙ නුවර කොහොමද කියලා" අක්කා මගෙන් ඇහුවා.
"වරදක් නෑ අක්කා. උදේට වාහනේ යනවා. හවසට එනවා. කනවා, බොනවා, පාඩම් කරනවා. ඔහොම තමයි. එහේ ඉන්නවා අක්කලා තුන් දෙනෙකුයි, තව මගේ වයසෙම අනුක් කියලා බෝයි කෙනෙකුයි. ලොකු අප්පච්චි නම් එන්නේ කලාතුරකින් තමා ගෙදර. තව ලතා අම්මයි, සීලා නැන්දයි කියලා දෙන්නෙක් ඉන්නවා ගෙදර වැඩට" මම කිව්වා.
"ආ...එහෙනම් ඉතිං මොකෝ. කෙල්ල සැපට ඉන්නවා වගේ. එතකොට චේතිය ඉන්නේ එහේ නෙවෙයි නේ?"
"නෑ නෑ. එයාලගේ ගෙවල් තව ඈත. ඉඳලා හිටලා ඇවිත් යනවා" මම කිව්වෙ බිම බලාගෙන. ඒ චේතිය ගන මගේ හිතේ තිබ්බ අකමැත්ත නිසා වෙන්න ඇති.
"එහෙමද? ම්ම්...කොහොමහරි ඉතිං ඔයාට එහෙ කරදරයක් නැත්තම් එච්චරයි"
"අනේ නෑ අක්කේ කිසි කරදරයක් නෑ" මම කිව්වා.
"එතකොට...අර...භූප? ඒක මොකද වුණේ?" කේතලේට වතුර එකක් පුරවගෙන ආපු අක්කා ඇහුවේ රහසින් වගේ.
මගේ හිත දුකෙන් මිරිකුණා ඒ නම අහපු ගමන්ම. උගුරත් රිදුම් දුන්නේ හිතේ දුක ආපහු ඉස්මතු වුණ නිසා වෙන්න ඇති.
"ගියාට පස්සේ එකමෙක පාරක් හම්බුණා...දැන් ඒවා ගැන ක්තා කරන්නත් මම ආස නෑ අක්කේ" මම කිව්වේ සුසුමක් හෙලන ගමන්.
"ඇයි? මොකද වුණේ?" අක්කා ඇහුවේ කේතලේ අතේ තියාගෙනම.
"එයා මාව හම්බවුණේ අපේ සම්බන්ධේ නවත්තමු කියන්න. එච්චරයි..."
"නෑ" අක්කා කිව්වේ ඇස් ලොකු කරගෙන. "එයා...එහෙම කිව්වද? අනේ දෙයියනේ...මම හිතුවේ ගෙවල් වලින් මොනා කිව්වත්, ඔය දෙන්නා වෙන් වෙන්නේ නැතිවෙයි කියලා. මම ඇත්තටම හිතුවා භූප මොනා කරලා හරි ආපහු ඔයා වෙනුවෙන් එයි කියලා. බලාගෙන යද්දි
මනුස්සයා මහා පුදුම එක්කෙනෙක් නේ" අක්කා සුසුමක් හෙලුවා.
"මම බලාපොරොත්තුවුණෙත් එහෙමයි අක්කා. ඒත්...අපි හිතන දේවල් එහෙමම වෙන්නේ නෑනෙ" මම කිව්වා.
"මට නම් මේක විශ්වාස කරන්නත් බෑ. හම්මෝ...මිනිස්සු තේරුම් ගන්න කොච්චර අමාරුද? එක අතකට හිතද්දි ඕක ගෙදරට ආරංචි වෙච්ච එකත් හොඳයි. නැත්තම් කාලයක් ගිහින් එයා ඔයාට ඔහොමම කිව්වා නම් මොකද කරන්නේ? තවත් දුක වැඩියි නේ" අක්කා කිව්වා.
"අනේ මම දන්නෑ අක්කේ. මට තාමත් හිතන්න බෑ එයා මට ආදරේ නෑ කියලා. මට හිතෙන්නේ එයා කැමති නෑ අපේ ගෙවල් වල අයගෙ හිත් රිද්දන්න"
"ඒත් ඉතිං?"
"මං දන්නෑ මොනා කරන්නද කියලා. මට එයාගේ පස්සෙන් යන්න බෑ. මට එහෙම කරන්න ඕන වුණත්, ඒක කරන්න බෑනෙ. ඉතිං මම ඔහේ ඉන්නවා" මම කිව්වේ ඇස් යන්න්තමට කඳුලු පටලයකින් වැහෙද්දි.
"නංඟි...ඔය වගේ දෙයක් නිසා ජීවිතේ හැම අරමුණක්ම අමතක කරලා, ජීවිතේ නාස්ති කරගන්න හිතන්න එපා. එයාට එපා නිසානේ ගියේ. එහෙමම ඉන්න කියන්න. ඔයා ගියේ නෑනෙ. ඔයා අවංකව හිටියනේ. ඉතිං එහෙම කෙල්ලෙක් අතෑරලා යන්න එයාට ඕන නම්, ඒක එයාගේ නොලැබීම. ඒකට ඔයාට කරන්න දෙයක් නෑ. හොඳම දේ ඔය සේරම හෙමිහිට අමතක කරන එක. දැන් බලද්දි හිතෙනවා චේතිය කොච්චර හොඳද කියලා. එයා ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කරන්වද? මම නම් කියන්නේ නංඟි ඔයාට තියෙන්නේ එයාට කැමති වෙලා, පිලිවෙලක් වෙන්න කියලා. ඊටත් වඩා හොඳ කෙනෙක් ආයෙම ඔයාට ලැබෙන එකක් නෑ"
සෙනුරි අක්කා අන්තිමට කිව්වේ එහෙම. අන්තිමට හැමෝම කිව්වෙත් එහෙමමයි. ඒත් මගේ හිතට තාමත් ඒ දේ පිලිගන්න හැකියාවක් තිබ්බේ නෑ. භූප ගැන මගේ හිතේ තියෙන ආදරේ එහෙම එක පාරටම උදුරලා දාන්නේ කොහොමද මම? තාමත් හිතේ ඈත කොනක සිතුවිල්ලක් තිබුණා කවදාක හරි මේ හැමදේම වෙනස් වෙයි කියලා. භූප මාව දාලා යන්න තීරණය කරපු වග දැන දැනත් මගේ හිත එහෙම බලාපොරොත්තු වුණේ මම තාමත් ඔහුට ගොඩක්ම ආදරේ කරපු නිසාමයි. ඒත් ඒ ආදරේ කවුරුත් තේරුම් ගත්තේ නෑ. අඩුම ගානේ භූපවත්. මට දරන්න බැරි වුණේ අන්න ඒකයි.
***
"දෝණි...ආපහු යන්න කලින්, පන්සලට ගිහින් එන්න ඕන. ලොකු හාමුදුරුවෝ අහලත් තිබුණා තාත්තාගෙන් දැන් ඔයා මොකද කරන්නේ කියලත්"
අම්මා කිව්වේ සෙනුරි අක්කලගේ ගෙදර ගිහින් එන ගමන්.
"එහෙනම් අද හවසට යන්න තියෙන්නේ නේද? හෙට හවස ආපහු නුවර යන්නත් එපැයි" එහෙම කිව්වේ චේතිය.
මම ඔහු දිහා බැලුවේ උත්තරයක් නොදී. ඔහු දැම්මම මගේ ජීවිතේට බලපෑම් කරන්න පටන් අරන් තියෙන හැටි?
කොහොමහරි අන්තිමේදි අපි එදා හවස පන්සලටත් ගියා. ඒ ගමනට තාත්තත් අපි එක්කම ආවා.
"දැං පුංචි නෝනා ඔය උපාධිය අරගෙන මොනවගේ රස්සාවක් කරන්නද බලාපොරොත්තුව?"
බුදුන් වැඳලා ඇවිත්, ලොකු හාමුදුරුවන්ට වැඳලා එකත්ප්පසව ඉන්න අතරේ උන් වහන්සේ ඇහුවා.
"එහෙම නිශ්චිතවම මේ රස්සාව කියලා නම් තාම හිතලා නෑ අපේ හාමුදුරුවනේ. සුදුසුකම් වලට ගැලපෙන හොඳ එකක් කරන්න තමා අදහස" මම හෙමින් කිව්වා.
"ඔව් ඒක හොඳයි. කොහොමත් දැන් ඉස්සර වගේ නෙවෙයි නෙව. කලා විෂයන් කරලා ගුරුවරියක් වෙන්න ඕන කියලා එකක් දැන් නෑනෙ. ඕන හැටියේ වෙන රස්සාවල් තියෙනවා නෙව" ලොකු හාමුදුරුවෝ කිව්වා.
"එහෙමයි අපේ හාමුදුරුවණේ" තාත්තා කිව්වා.
"මගේ අදහසක් තියෙනවා හාමුදුරුවණේ දුලාරව අපේම බිස්නස් වලට සම්බන්ධ කරගන්නත්. ඒ නිසා ඉතිං රස්සාවක් නොකලා කියලත් කමක් නෑ" එහෙම කිව්වේ චේතිය.
මායි තාත්තයි දෙන්නම ඔහු දිහා බැලුවේ එකට.
"ආන්න එක හොඳයි මහත්තයෝ. තමන්ගේ දේවල් තියෙනවා නම් ඒවා දියුණු කියුණු කරගන ඉන්න එකත් බොහොම වැදගත්. ස්වාමි දුවක් වුණාම තමන්ගේ ස්වාමියාගේ දියුණුවට අත හිත දෙන කෙනෙක් වෙන්න ඕන" හාමුදුරුවෝ කියද්දි මම බිම බලාගත්තා.
"එතකොට දැන් උපාධිය ගත්තු ගමන්ම මේ කටයුත්තත් කරන්නද අපේ මහත්තයෝ කල්පනාව?" හාමුදුරුවෝ අපේ තාත්තාගෙන් එහෙම ඇහුවේ හිනාවෙලා.
"තාම එහෙම ස්ථිරෙන්ම නම් හිතලා නෑ අපේ හාමුදුරුවනේ" තාත්තා කිව්වාම අම්මත් කතා කලා.
"ඒත්..පුලුවන් ඉක්මණින්ම කරන්න තමා අදහස"
අම්මා එහෙම කියද්දි චේතිය මම් අදිහා බලනවා මම ඇස් කොනකින් දැක්කා. මම මුකුත් ඇහුණේ නෑ වගේ හිටියේ, හිතේ ආපහු මහා බර ගතියක් දැනෙද්දි.
ආවාස ගේ දිහා ඉඳලා පන්සලෙන් පිටවෙන්න එන්න තිබුනේ බෝධිය තියෙන පැත්තෙන්. අපි හතර දෙනා හෙමි හෙමින් වැලි මලුව දිගේ ඇවිදගෙන එද්දි, බෝධිය ලඟ හිටගෙන උන්නු දෙන්නා දැක්කම මාව මොහොතකට නැවතුණේ නිරායාසයෙන්මයි. අකුණක් වගේ හිතේ වේදනාවක් පැතිරෙද්දි, මගේ දිහා ඒ වගේම වේදනාබර මූණකින් යුතුව බලාගෙන උන්නේ කේතකී. මම ආපහු අම්මා දිහා බැලුවා.
"අර කේතකී දුව නේද?" එහෙම ඇහුවේ තාත්තා."දෝණි කතා කරලම එන්න. අපි හෙමින් ඉස්සරහට යන්නම්කෝ"
තාත්තා ඊට පස්සේ කිව්වා.
කේතකී උන්නේ අනුලා නැන්දා එක්ක. ඒත් නැන්දා නම් ඇහැක් උස්සලාවත් අපි දිහා බැලුවේ නෑ. මම ඒ අය උන්නු දිහාට යද්දි, කේතකී ඉස්සරහට ආවා මට කතා කරන්න.
"කේතකී..." මම ඈට කතා කලේ හිතේ දුක ඉවුරු කඩාගෙන පිට පනිද්දි.
මට දුකක් දැනුනේ ඒ භූපගේ නංඟි නිසාම නෙවෙයි. ඒ මම දන්න කාලේ ඉඳලම මගේ හොඳම යාලුව නිසා.
"කොහොමද දුලාරා?"
කේතකී ඇහුවේ මලාණික හඬින්. ඒ මූණේ තිබුණෙත් විඩාපත් බවක් කියලා මට හිතුණා. ඒ එක්කම ඒ ඇස් තිබුණෙත් තෙත් වෙලා, මගේ වගේම.
"වෙනසක් නෑ කේතකී...කොහොමද ඔයා?"
"ඔහේ ඉන්නවා" ඈ කිව්වේ බිම බලාගෙන.
අපි එහෙමම කතාවක් නැතිව මොහොතක් උන්නා වෙන වෙන පැති බලාගෙන.
"ඔයා කවද්ද ආවේ?" ඊට පස්සේ කේතකී ඇහුවා.
"අද උදේ"
"එහෙමද?"
"ඔව්. පන්සලටත් ඇවිත් යන්න ආවා, ලොකු හාමුදුරුවෝ හම්බවෙන්න" මම කිව්වා.
"අපිත් ආවා බෝධි පූජාවට. දැන් හවස පහට පටන් ගන්නේ" කේතකී කිව්වේ බෝධිය ලඟ එහා මෙහා උන්නු අනෙක් සෙනග දිහාත් බලන ගමන්.
"මොනාද මේ දවස් වල කරන්නේ?" මම ඊට පස්සේ ඇහුවා.
"විශේෂ දෙයක් නෑ. සිංගර් එකේ මැහුම් පංතියට යනවා. ජොබ් දෙක තුනකටත් දැම්ම.ඒත් තාම මොකවත් නෑ" කේතකී කිව්වේ බිම බලාගෙනම. මට ඈ ගැන දැනුන දුක වැඩි වුණා.
"එතකොට....භූප?" මම ඇහුවේ උගුර රිදුම් දීලා ඇස් කඳුලු වලින් ආයෙම උණුසුම් වෙද්දි. කේතකී මා දිහා බැලුවෙත් කඳුලු පුරෝගෙන.
"ඔයා දන්නවා නේද ඔයා නැතිව එයාගේ ජීවිතේ හොඳ වෙන්න බෑ කියලා?" කේතකී ඇහුවේ කඳුලු බිංදුවක් කම්මුලක් දිගේ රෝල් වෙද්දි.
මම බිම බලාගත්තේ මගේ ඇස් වලිනුත් කඳුලු පිට පැන්න නිසා. ඒත් මම හිණාවුණා.
"ඒ ඉස්සර කේතකී...දැන් ඒ දවස් අතීතෙට එකතු වෙලා ඉවරයි. අයියා ඔයාට කිව්වේ නැද්ද එයා මට දැන් සති දෙකකට කලින් කියපු දේවල්?" මම ඇහුවා.
ඒත් කේතකී උන්නේ බිම බලාගෙන කඳුලු පිහදාමින්.
"හැමදේම නවත්තන්න ඕන වුණේ එයාටමයි. මට නෙවෙයි කේතකී...හැමදේම නැවැත්තුවෙත් එයා. මම නෙවෙයි" මම කිව්වා.
කේතකී මා දිහා බැලුවේ රතු වුණ ඇස් වලින්.
"දුලා...අයියා ඔයාට ගොඩක් ආදරෙයි...ඔයාට හිතාගන්නවත් බැරි තරම් ආදරෙයි...එයා මේ හැමදේම කරන්නේ ඒකයි. ඒ නිසා එයා ගැන අහිතක් හිතන්න එපා දුලා. එයාට වෛර කරන්න එපා...කවදාහරි ඔයාට ගොඩක් දුක හිතෙයි එහෙම වුණොත්..." කේතකී එහෙම කිව්වේ මගේ හිත වේදනාවෙන් මිරිකෙද්දි.
"මොකක්ද ඒ කතාවේ තේරුම?" මම ඇහුවා.
ඒත් ඒකට උත්තරයක් දෙන්න කේතකීට බැරි වුනා. ඒ අනුලා නැන්දා ඈට කතා කරපු නිසා.
"කේතකී...අද එනවද?"
"මම යන්න ඕන දුලා..." කේතකී කිව්වේ ඒ පැත්ත බලන ගමන්.
"කේතකී මං වෙනුවෙන් එක දෙයක් කරන්න"
"මොකක්ද?"
"භූප ගෙදර ආවොත් එයාට කියන්න, එයා මාව දාලා ගියාට මම තාම එතනමයි කියලා. මම එයාට ආදරෙයි කියලා...මැරෙනකල්ම ආදරේ කරනවා කියලා"
මම කිව්වේ ඇස් ආපහු බොඳ වෙද්දි. කේතකී අතින් කට වහගෙන දුවලා යන්න ගියේ ආයෙම මුකුත් නොකියා.
මම පොඩ්ඩක් එහෙමම හිටියේ කැලඹිච්ච හිත ටිකක් සංසුන් කරගන්න. ඒත් කේතකී එක්ක කතා කරලා ආපහු පෑරුණ හිත හදාගන්න ආයෙම මට තව කාලයක් යන වග මම දැනගෙන හිටියා. ඊටත් වඩා හිත කලබල කරලා තිබුණේ කේතකී කියපු දේවල්. 'භූප ඒ කියන තරම් මට ආදරේ නම් මාව දාලා ගියේ ඇයි?' හිතේ ඉතුරු වුන එකම ප්‍රශ්ණේ එක. උත්තරයක් නොතිබුණ එකම ප්‍රශ්ණෙත් ඒකමයි.
No comments:
Post a Comment