Monday, October 27, 2014

අනූවන කොටස

නුවර ඉඳන් ආවට පස්සේ හිත වෙලාගෙන තිබ්බේ මොකදෝ ලොකු පාලුවක්. අනුක්ට ෆෝන් එකෙන් කතා කලා වුණත් ඒ පාලුව නැති වුණේ නෑ. භූප ගෙදර ඇවිත් උන්නේ නැති එකත් ඒකට හේතුවක් වෙන්න ඇති කියලා මට හිතුණා. දවස් දෙකකට පාරක් විතර භූප ඉඳහිට කතා කලත්, ඉස්සර වගේ ගොඩ වෙලාවක් අපි කතා කලේ නෑ. කෑවද, බිව්වද, කොහෙද ඉන්නේ වගේ සාමාන්‍ය දේවල් ඇරෙන්න වෙන දෙයක් අහන්න භූපට වෙලාවක් තිබ්බේ නැති තරමයි.
අනුක් අලුත් රස්සාවට කොලඹ ආවෙත් මේ කාලෙමයි. කොලඹ ආවට ඔහු අපේ ගෙදර ආවේ නෑ ආයෙමත්. දාපු රස්සාවල් එකකින් වත් interview කතා නොකල එක ගැනත් මගේ හිතේ පොඩි ලතැවුලක් හෙමින් ලියලමින් තිබුණා. රස්සාවක් වත් හම්බවුණානම්, ජීවිතේ මේ ඒකාකාරී බව නැති වෙයි කියලා මට හිතුණා. ඒ එක්කම තාම ජොබ් එකක නැති එක ගැන අම්මා උන්නෙත් විස්සෝපෙන්.
"ඔයාට කියලා හම්බ කරන් කන්න නෙවෙයි දරුවෝ, ඒත් ඔය ඉගෙන ගත්තු ඒවායින් මොනා හරි වැඩක් තියෙන්නත් ඕන නේ"
අම්මා කිව්වේ එහෙම. තාත්තත් ඒ ගැන අම්මා එක්ක එකඟ වුණා.
"ඉස්සෙල්ලම CV එක හොඳට හදාගන්න ඕන දුලාරා" මම ඒ ගැන කියපු වෙලාවක අනුක් මට කිව්වා.
"ඔයා මට ඒක එවන්න මම බලලා ටිකක් improve කරලා දෙන්නම්" අනුක් අන්තිමට කිව්වේ එහෙම.
මම ඒක ඔහුට යැව්වේ මගේ උවමනාවටත් වඩා අම්මගේ මුණු මුණුව අහගෙන ඉන්න බැරි හන්දා. ඒ නිසාම මම ගොඩක් වෙලාවට සෙනුරි අක්කලගේ ගෙදර ගිහින් උන්නේ චූටි දූ එක්ක ඉද්දි මේ සේරම මොහොතකට අමතක වෙන හන්දා.
"ඈ ළමයෝ...දැන් අර භූප ගෙදර එන්නෙම නැද්ද?"
තාත්තගේ කමිසෙක ගැලවුණ බොත්තමක් අල්ලමින් උන්නු මගෙන් ඉස්තෝප්පුවට පුටුවකට බරවෙලා උන්නු අම්මා ඇහුවා. හිතට පිවිසුණේ බරක් ඒ ප්‍රශ්ණෙත් එක්කම. භූප සති දෙකකින් විතරම ගෙදර ආවේ නැති හන්දත්, ඊට කලින් සතියෙත් මම ඔහුව බලන්න නොගිය හන්දත් අම්මට ඒක දැනිලද කොහෙද.
"ගෙදර එනවා. මේ ඉතිං නැකැත් මාසේ හන්දා එයාලට වැඩ වැඩි නේ අම්මා" මම කිව්වා.
"ම්ම්. කොහොමත් ඔයා එහේ යන්න ඕන නෑ. ඒ ළමයට කියන්න හම්බෙන්න ඕන නම් ආයෙම අපේ ගෙදර එන්නයි කියලා. අත්තම්මලත් කතා වුණා ඔයා එහේ යන එන එක ගැන. ගෑණු ළමයි එහෙම යන එක හොඳ නෑනෙ. අනික දැන් ඒ ළමයට සනීපයි නේ" අම්මා කිව්වා.
මම අහගෙන උන්නා විතරයි උත්තරයක් නොදීම. හිතේ ඒ ගැන සතුටක් ඇති වෙන්න ඕන වුණත්, එහෙම විශේෂ සතුටක් මට නොදැනුනේ ඇයි කියන්න මම දන්නේ නෑ.
භූප දවස් දෙක තුනකින් කතා නොකල හන්දත්, ඔහුගේ ගෙදර හුඟ දවසකි නොගිය හන්දත් මම පහුවදා උදේ වරුවේ එහේ ගියේ අම්මගේ මේ පණිවිඩේ අඩු තරමේ කේතකීටවත් කියලා එන්න හිතාගෙන.
"ආ...නෑනෝ. එන්න එන්න" එලියේ වැලේ රෙදි වනමින් උන්නු කේතකී මාව පිලිගත්තේ හිනා කටක් පුරෝගෙන.
"උදේම රෙදි හේදුවද?"
"ඔව් අනේ. මේ අයියගේ රෙදි. සති ගානක ඒවද මදා. අපරාදේ කලින් ආවා නම් ඔයාටම දෙනවා හෝදන්න"
"? භූප ආවද?"
"හා...මෙයා දන්නෙම නෑ. උදේම හොර පූසි වගේ ආවේ දන්නේ නැතුව වෙන්න ඇති එහෙනම්" කේතකී මට විහිලු කලත් මම උන්නේ ටිකක් විතර නොසන්සුන් වෙලා.
"අනේ නෑ කේතකී. මම ඇත්තටම දන්නේ නෑ. එයා කොයි වෙලේද ආවේ?"
"අද උදේ එකට දෙකට විතරද කොහෙද. ඔයාට කිව්වේ නැද්ද එන වග?" කේතකී ඇහුවේ විමසිල්ලෙන් වගේ මා දිහා බලමින්.
"නෑ. වැඩ අතරේ හදිසියෙන් එන්න ඇති. කෝ දැන් නිදිද?" මම ඇහුවේ හිතේ කැලඹිල්ල සඟවගන්න උත්සාහ කරමින්.
"ආයෙත් අහලා. යන්න යන්න. අම්මා කුස්සියේ" කේතකී කිව්වේ මා එක්කම ගෙට එන ගමන්.
මම දෙපාරක් නොහිතම භූපගේ කාමරේට ගියේ හිත දුකකිනුයි, තරහකිනුයි කැලඹෙද්දි. භූප උන්නේ ඇඳේ මුනින් අතට නිදාගෙන. ගෙනාපු බෑග් සේරම ඔහේ කාමරේ බිම තැන තැන තියලා. ඒ එක්කම කාමරේ තිබ්බේ මොකක්දෝ අපුල ගඳක්. හරියට මත්පැන් ගඳක් වගේ. මම නහය අකුලගෙන ගිහින් කාමරේ ජනෙල් දෙක ඇරලා දැම්මා. ඒ එක්කම හිතේ තරහා තවත් වැඩි වුණේ භූප ආයෙම බොන්න පටන් ගෙනවත්දෝ කියලා සැකයක් හිතේ ලියලපු හන්දා. ජනේල අරින සද්දෙටදෝ පොඩ්ඩක් ඇහැරුණ භූප හිස හරවලා බලද්දි මම මේසේ ලඟ හිටගෙන උන්නේ ඔහු දිහාම බලාගෙන.
"දුලාරා..." ඔහු නිදි මතේම මිමිණුවේ බාගෙට ඇස් ඇරගෙන.
"දුලාරා තමයි" මම කිව්වේ හිතේ තිබ්බ ආවේගේ නිසා.
ඒ පාර භූප හොඳටම ඇස් ඇරියා.
"දුලාරා...ඔයා..ඔයා කොයි වෙලේද ආවේ?" ඇස් පිහ පිහ නැගිටලා, ලොකු ඈනුමකුත් ඇරලා, ඇඳෙන් වාඩිවෙන ගමන් භූප ඇහුවේ පොඩ්ඩක් විතර මවිත වෙලා වගේ.
"හිතුවේ නෑ නේ මම ඒවි කියලා?"
තවමත් නිදිමතේම වගේ අත්වලින් ඇඳට වාරු වෙලාඅ බිම බලාගෙන උන්නු භූප මා දිහා බැලුවා.
"මොකක්?"
"නොකියම ආවේ මාව හම්බෙයි කියලා බයට වෙන්න ඇති නෙ. මගේම කරුමෙට මටත් එන්න වුණානෙ" මම කිව්වේ උගුර රිදුම් දෙද්දි.
"දුලාරා...මොනාද මේ කියන්නේ. මම එද්දි ඊයේ ගොඩක් රෑ වුණා. ඉතිං කතා කරන්නේ කොහොමද?"
"ඔව් කතා කරන්න බෑ. එනවා කියලා මතක් වුණේ මෙහේ බැහැපු වෙලේ වෙන්න ඇති එහෙනම්"
"දුලාරා...මම එන්න හිටියේ නෑ. යාලුවෙක් රෑ එකොලහට විතර කිව්වේ මේ පැත්තට එනවා ඕන නම් යන්න පුලුවන් කියලා"
"ඉතිං මැසේජ් එකක්වත් එවන්න බැරි වුණාද?"
"ෆෝන් එකේ සල්ලි තිබ්බේ නෑ දුලාරා..."
"ඔච්චර බොරු කියන්න එපා භූප" අහන් ඉන්න බැරිම තැන මම කිව්වේ ටිකක් උස් හඬින්.
භූප මා දිහා බලාගෙන උන්නේ පුදුම වෙලා වගේ.
"ඔයාට මොකද මේ වෙලා තිය්න්නේ?"
"මට මුකුත් වෙලා නෑ තාම. ඒත් මෙහෙම ගියොත් නම් ලඟදිම මට පිස්සු හැදෙයි" මම කිව්වා.
ඒ පාර භූප නැගිටලා මා ලඟට ආවා. උඩුකය නිරුවත්ව උන්නු නිසාදෝ මට ඔහුව පෙනුනේ තවත් කෙට්ටුවට.
"දුලාරා...මොනාද මේ ඔයා කියන්නේ? දැන් මම හිතලම කතා කලේ නෑ කියලද ඔයා කියන්නේ?"
"ඒක මම දන්නේ කොහොමද භූප? මට ඔයාගේ හිත කියවන්න බෑනෙ. ඒක දන්නේ ඔයා"
"නිකං මලවිකාර කියන්න එපා. වෙච්ච දේ කිව්වම ඇයි ඔයාට පිලිගන්න බැරි?"
"ඔව් දැන් මම මලවිකාරයක් නේ ඔයාට"
"දුලාරා මේ කාලෙකට පස්සේ ගෙදර ආවම මේ වගේ රණ්ඩු වෙන්නද ඔයාට ඕන? මම නැගිටලා ඔයාට කතා කරන්න හිටියේ"
"බොරු කියන්න එපා භූප"
ඒ පාර භූපගේ ඉවසීමේ සීමාව ඉක්මගියා වගේ. ඔහු දිග සුසුමක් පිට කරලා මූණත් නපුරු කරගෙන මගේ ඉවතට හැරුණා. මම එහෙමම හිටගෙන උන්නේ හිතුවක්කාර විදියට.
"එක පාරක් කිව්වම පිලිගන්න බැරිනම් ඔයා ඕන එකක් හිතාගන්න. ඔය තරම් හිතුවක්කාර වෙන්න ඕන නම් මට මොනවත් කරන්න බෑනෙ" ඔහු ඊට පස්සේ කිව්වා.
"ඔව්. දැන් ඉතිං මොනා කරන්නද? මේක මගේම මෝඩකම. ඔයා හරි. ඔයාට මේ හිතුවක්කාරකමට වගේම ඒ මෝඩකම ගැනත් මොනවත් කරන්න බෑ"
මම එහෙම කිව්වම භූප මා දිහා හැරුණේ විදුලි වේගෙන්.
"එතකොට දැන් මොකක්ද ඔය මෝඩකම? කියන්න බලන්න"
මම ඔහුගේ නපුරු මූණට බය වුණේ නෑ. මං තුල ඇවිලෙමින් තිබ්බ කෝපය ඊට වඩා බලවත් වුණා.
"ඒක මම කියන්න ඕන නෑනෙ. ඔයා දන්නවනේ"
මම කියපු එකට මුකුත් නොකියපු භූප ආපහු හැරිලා ලඟ තිබ්බ බෑග් එකට හයියෙන්ම පයින් එකක් ගැහුවම ඒක ඈතට වීසි වෙලා ගියා. අල්මාරියේ අයිනක වැදෙන්න කලින් බෑග් එකේ තිබ්බේ දේවල් වලින් වැඩිහරිය එලියට වීසි වුණා.ඒ අතරින් මගේ ඇහැ එක පාරටම ගියේ එලියට වීසි වුණ රතුපාට පොඩි පෙට්ටිය දිහාට. ඊලඟට 'ඩොක්' ගලා අල්මාරියේ වැදිලා නැවතුන කලුපාට පොඩි බෝතලේ දිහාට. මොහොතක් වෙලා ඒ දිහා බලාගෙන උන්නු මම ආයෙම භූප දිහා බැලුවේ අදහාගන්න බැරුව. භූප උන්නේ අහක බලාගෙන හයියෙන්ම හුස්ම ගනිමින්.
මම හෙමින් ඇවිදගෙන ගිහින් රතුපාට සිගරට් පෙට්ටියයි, මත්පැන් බෝතලෙයි අතට ගත්තේ හිත හත්කඩකට පැලෙන්නා වගේ දැනෙද්දි.
"මොකකද මේකේ තේරුම?" මම භූප දිහා බලලා ඇහුවේ සද්දෙන්.
භූප උත්තරයක් දුන්නේ නෑ.
"එතකොට වැඩට යනවා කියලා ගිහින් ආයෙම පුරුදු වුණේ මේවා කරන්නද භූප?"
මම ඊලඟ පාර ඇහුවේ ඔහු අසලට ගිහින්. භූප මා දිහා බැලුවේ හැඟීම් ගොඩක් පිරුණ ඇස් වලින්.
"ඇයි?? ඇයි??" මම ඇහුවේ කෑ ගහලා.
"මට ඕවට උත්තර බඳින්න ඕන නෑ...මම කරන්නේ මට ඕන දේ!" භූප කිව්වෙත් කෑ ගහලා.
මම හොඳටම කම්පනය වුණා ඒ කතාව ඇහුණම. එහෙමම මම මේසෙට හේත්තු වුණේ ඇඟට පණ නැති ගතියක් දැනුන හන්දා. ඒ එක්කම ඇස් වලට කඳුලු පුරාගෙන ආවා.
"මං මොන තරම් මෝඩද?" මම කිව්වේ මටම උපහාසෙට හිනාවෙමින්. "හැමවෙලේකම මම හිතුවේ අපි දෙන්න එක්කෙනෙක් කියලා. මම ඕන දෙයක් කලේ මුලින්ම ඔයා ගැන හිතලා. මම හිතුවා ඔයත් එහෙම ඇති කියලා. ඒත් ඒක මගේ මෝඩකම"  මම කිව්වේ හෙමින්, ඇස් වලින් කඳුලු වැලක්ම ගලද්දි. භූප එක පාරටම අනික් පැත්ත හැරිලා මේසෙට අත්දෙක ගහගෙන, මේස කොන මිරිකගත්තේ වේදනාවෙන් වගේ. ඒ එක්කම සද්දේ ඇහුණ හන්දදෝ කාමරේට දුවගෙන අවේ කේතකී.
"මොකක්ද මේ සද්දේ?" කේතකී ඇහුවේ අපි දෙන්නා දිහාම බලමින්.
"ඇත්ත එලිවෙච්ච සද්දේ" මම එහෙම කියලා අතේ තිබ්බ සිගරට් පෙට්ටියයි, බෝතලෙයි කේතකී අතට දීලා එන්න හැරුණා.
ඒ එද්දි මගේ කකුලේ වැදිලා වීසි වුණේ මේරූන් පාට පුංචි ආභරණ පෙට්ටියක්. මුද්දක් හරි කරාඹු ජෝඩුවක් හරි දාන තරමේ එකක්. ඒත් මගේ අවධානේ එවෙලේ ඒ දිහාට යොමු වුණේ නෑ. මම කඳුලු පිහ පිහ කාමරෙන් එන්න ආවේ කේතකී බිරාන්ත වෙලා වගේ බලාගෙන ඉද්දි.

මම දන්නෑ ඒ දවසේ ඉතිරි ටික මම ගෙව්වේ කොහොමදවත් කියලා. දුකයි කඳුලුයි හිතේ හිර කරගෙන මම ගෙදරදි හැසිරුණේ රොබෝ කෙනෙක් වගේ. අම්මලා ඉස්සරහදි අඬලා ඒ අයගේ හිත් වලට දුකක් දෙන්න මට ඕන වුණේ නෑ. මොකද මේ සේරම මගේම වරදින් වුණ දේවල් නිසා. මගේම හිතුවක්කාරකම නිසා වුණ දේවල් නිසා. භූප එක්ක තරහා වෙලා එන්න ආවත්, පැය විසිහතරෙම වගේ අතේ තිබ්බ ෆෝන් එක දිහා පැයෙන් පැයට මම බැලුවේ භූප නිකමට හරි මට කතා කරාවි කියලා. ඒත් ඔහු කතා කලේ නෑ. අන්තිමේදි මගේ හිතේ පීඩාව කොච්චර වැඩි වුණාද කිව්වොත් මට හිතුණා මිදුලේ කනේරු ගහේ  ඇට ටිකක් කාලා මැරුණා නම් මීට හොඳයි කියලා. මට අනුක් මතක් නූනා නෙවෙයි. ඒත් වැඩ අස්සේ කතා කරලා මගේ ප්‍රශ්ණ ඔහුට කියන්න මට ඕන වුණේ නෑ.
"Hope you had a good day honey bunny. Good night"
පුරුදු විදියට අනුක් මට මැසේජ් එකක් එවලා තිබුණා. ගුඩ් නයිට් කියලා විතරක් ගහලා මම ඇඳට වැටුනේ හිතේ හිර කරගෙන උන්නු දුක ආයෙම පිටාර ගලද්දි. උගුර රිදුම් දිදී කඳුලු කොට්ටේ තෙත් කරද්දි මම ඉකි ගැහෙන එක වල්ක්වගෙන උන්නේ අමාරුවෙන්.
"ඇයි මට මෙහෙම කලේ?" මම එහෙම අහලා භූපට මැසේජ් එකක් දැම්මා බැරිම තැන.
ඒත් ඔහු මට උත්තරයක් එව්වෙත් නෑ. මම අඬ අඬම නිදා ගත්තා. ගොඩ වෙලාවක් නින්ද ගියේ නැතත් අන්තිමේදි කීයට හරි මට නින්ද ගිහින් තිබුණා.

Wednesday, October 22, 2014

අසූනමවන කොටස



ඇඳුම් මහන්න ගියපු ගමන පිස්සුවක් වගේ මට දැනුනේ. වෙඩින් එකේ සියලූම දේවල් උත්පලා අක්කලා බාර දීලා තිබ්බේ එකම තැනකට. ඉතිං ඇඳුම් මහන එකත් කලේ ඒ වෙඩින් ප්ලෑනර්ස්ලමයි. ඇඳුම් මහන තැන හිටියේ අමුතුම තාලේ කොල්ලෙක්. මම බයේ හිටියේ මිනුම් ගන්නත් එයාම ඉඳීවිදෝ කියලා. වෙලාවට ලස්සන පොඩි ගෑණු ලමයි දෙන්නෙක් මිනුම ගන්න තැන ඉන්නවා දැක්කමයි මගේ හිත හොඳ වුණේ.
"මේකනේ අනුක්..." ඉෂාන් හෙවත් අර කලින් කියපු කොල්ලා අනික්ගේ අතට තට්ටු දදා ලොකු කතාවක.
මම ඒ පැත්ත බලද්දි අනුක් උන්නේ මගේ දිහා බලාගෙන. මමයන්තම් හිනාවක් පලා අහක බලාගත්තේ ඉෂානුත් මා දිහා බලපු නිසා.
"මේ...අනුක්ගේ ගර්ල් ද?" ඉෂාන් අහනවා මට ඇහුණා.මම ඒ පැත්තට කන් දීගෙන උන්නේ අනුක් මොනාද කියන්නේ අහන්න.
"ඇයි ඉෂාන් එහෙම ඇහුවේ?"
"ඇයි වදේ...ආව වෙලේ ඉඳලා ඔයා වැඩිපුරම කලේ එයා දිහා බලාගෙන ඉන්න එකනේ"
ඉෂාන් කිව්වම මට හිනායන්නත් ආවා. මට ඇහුණා අනුක් හිනාවෙන සද්දෙත්.
"ම්ම්...මේන් බලන්නකෝ වැඩක්. හිනාවෙන්න දෙයක් කිව්වද මම?" ඉෂාන් ඇහුවේ නෝක්කාඩු තාලෙන්.
නෑ නෑ.ඉෂාන්ටත් හිතෙන දේවල් කියලා මට හිනා ගියේ" අනුක් කිව්වේ මා දිහාත් බලමින්.
"ඒ කියන්නේ ගර්ල් නෙවෙයි?"
"නෑ...එයා මගේ යාලුවා"
"ආ...එහෙමත් වෙන්න පුලුවන්ද අනේ?"
ඒ පාර ඒ දෙන්නට මාතෘකාවක් වෙන්න ඕන නැති හන්දා මම ගෝතමී අක්කාගේ මිනුම් ගන්න තැනට ආවා. පස්සේ අනුකෙගන්ම තමයි මට දැනගන්න ලැබුණේ ඉෂාන් කියන්නේ මෙහේ ප්‍රධාන dresser කියලා.
"මධුකටත් මාර ගෝලයෝ ටිකක් තමා ඉන්නේ, hair කරන බාගයක්ම කෙල්ලන්ටත් වඩා හපන් කොල්ලෝ" ආපහු එන ගමනෙදි ගෝතමී අක්කා කිව්වේ හිනාවෙවී.
"කොහොමත් ඔය තැන්වලට හරියන්නෙත් එහෙම අය තමා" ඒ කිව්වේ යශෝ අක්කා.
"මොනා ගැනද ඔයාලා මේ කියන්නේ? මට නම් එහෙම වෙනසක් පෙනුනේ නෑ. මොකෝ කෙල්ලන්ට අන්දනවා කියලා කෙල්ලොම එතන ඉන්න ඕනද? සාස්තරේ දනවා නම් gender බලන්න ඕන නෑනෙ. අනික ඔය ගෑණු කොච්චර කෑගැහුවත්, මේ ලොකේ හොඳම dressersලා කවුද? පිරිමි. හොඳම කුක්ලා කවුද? පිරිමි.නැද්ද දුලිත අයියා? මෙයාලා මේ ඉරිසියාවේ" එහෙම කිව්වේ අනුක්.
අපේ පොඩි අයියත් ඒකට හූමිටි තියන්න ගිහින් ගෝතමී අක්කාගේ කෙනිත්තුම් පාරක් ලබා ගත්තා.
"ඒ වුණාට ඒ අයව මට නම් අල්ලන්නේ නෑ" ගෝතමී අක්කා ඊට පස්සේ කිව්වා.
"අක්කේ...නිකං එකදාස් නවසිය බර ගණන් වල හිටපු, හැට පැන්න හණමිටි අදහස් තියෙන ආච්චි කෙනෙක් වගේ කතා කරන්න එපා. ඒක ඒ මිනිස්සු හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක ජාන වලින්ම එන දෙයක්. හෝමෝන වල බලපෑමෙන් වෙන දෙයක්. එහෙම අය දිහා වපර ඇහෙන් බලන්න එපා අක්කේ පව්. ඒ මිනිස්සුන්ටත් තියන්නේ අපට වගේම හැඟීම් දැනීම්ම තමයි" අනුක් කිව්වාම මාගේ හිතත් සසල වුණා.
"ආ... මෙයාට මේ මොනා වෙලාද?" ගෝතමී අක්කා කිව්වේ අහංකාර ලීලාවෙන්.
"අනේ දෙන්නම දැන් ඕක නවත්තගන්නවද? බලන්න දුලිත මේ දෙන්නාගේ වැඩේම පොර කුකුල්ලු වගේ පැටලෙන එක හැම තිස්සෙම" අන්තිමේදි උත්පලා අක්කා මැදිහත් වෙලා දෙන්නගේ වාදේ නතර කලා.
කොහොමහරි අපි ගෙදර එද්දි දවල් දෙකත් පහුවෙලා තිබුණා. ආපු ගමන්ම කෑම කාලා යශෝ අක්කයි, උත්පලා අක්කයි කාමරේට වැදුනේ මහන්සියි කියලා. අපේ පොඩි අයියයි, ගෝතමී අක්කයි උන්නේ ඉස්සරහ මිදුලේ වාඩි වෙලා බර කතාවක. අනුක්ලගේ අප්පච්චි නම් අපි එන්නත් කලින්ම යාලුවෝ වගයක් හම්බවෙන්න ගිහින් තිබුණා. ඉතිං සාලේ ඉතිරි වෙලා හිටියේ මම විතරයි අනුක් පේන්න උන්නෙත් නැති නිසා.
ටීවී එක දාගෙන ඒකේ ගිය නම නොදන්න සිංහල චිත්‍රපටීයක් දිහා බලාගෙන මමත් උන්නේ නිදිබර වෙලා. භූපට කෝල් එකක්වත් ගන්න ඕන කියලා හිතලා මම ෆෝන් එක අතට ගද්දි කොහේදෝ ඉඳන් ආපු අනුක් මට ඉස්සරහ තිබුණ පුටුවෙන් වාඩි වුණේ ටීවී එක දිහා බලාගෙන හරියට මාව දැක්කෙවත් නෑ වගේ. මම ඔහුව නොතකා භූපගේ නොම්මරේ එබුවා. ඒත් භූපගේ ෆෝන් එක ඕෆ් කරලා. මම ආපහු ෆෝන් එක ආපහු ටීපෝව උඩින් තිබ්බේ සුසුමක් හෙලලා. අනුක් මා දිහා යන්තමට හැරිලා බැලුවා. මම ආයෙම ටීවී එක දිහාට හැරුණා.
"මොකක්ද මේ ෆිල්ම් එක?" අනුක් ඇහුවේ එක පාරටම.
"අනේ මන්දා...මමත් බලද්දි බාගයක් ගිහින්"
"හොඳ එකක්ද?" ඊලඟට ඔහු ඇහුවා.
"දන්නෑ"
"එහෙනම් බලන්නේ?"
"ඔය මම දාද්දි තිබුණ එක. මම වෙනස් කලේ නෑ" මම කිව්වා.
"ම්ම්. මම වෙනස් කරනවා එහෙනම්. ඒක නෙවෙයි කෝ අයියලා?" චැනල් එක වෙනස් කරන ගමන් ඔහු ඇහුවා.
"එලියේ ගාඩ්න් එකේද කොහෙද"
"ආ. එයාලගේ වෙඩින් ප්ලෑන් කරනවා වෙන්න ඇති" අනුක් හිනා වුණා.
"ම්ම්. ඒකත් ලේසි නෑ. මගේ නම් ඔලුවත් කකියනවා අද ඇවිදිල්ල නිසා" මම කිව්වේ පරණ පුරුදු විලාසෙන්.
"ඔව්. මටත් එපා වුණා. මෙයිට හොඳයි පැනලා ගියා නම්. කිසි කරදරයක් නෑ"
"ආ...හරි ෂෝක්. ඔයාගේ හිතේ ඇති එහෙම කරන්න නේ?"
අනුක් මා දිහා බැලුවේ යන්තමට හිනාවෙලා.
"හිතේ නම් කොච්චර දේවල් තියනවද කරන්න"
ඔහු එහෙම කිව්වම මම ආපහු ටීවී එක දිහාට හැරුණා.
"ඒකෙන් වැඩක් නෑ. කවද්ද දැන් ඔයාලගේ වෙඩින් එක ගන්නේ?" අනුක් ඇහුවේ මොනවත්ම වුණේ නැති ගාණට.
"තාම හිතලා නෑ"
"ඇයි?"
"තව කල් තියෙනවනේ" මම කිව්වේ අනුක් දිහා නොබලා. භූප මතක් කලත් හිත මේ තරම් රිදෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ.
මම අනුක්ගෙන් මූණ හංගගන්න උත්සාහ කලේ ඔහු මගේ මේ වෙනස දකින වග මම දන්න නිසා.
"ම්ම්. දැන් භූපට හොඳටම සනීපයි නේද?" අනුක් ඊලඟට ඇහුවා.
"අනේ මන්දා. බෙහෙත් බොනවා, ක්ලිනික් යනවා. ටෙස්ට් කරනවා. ඉවරයක් නෑ" මම සුසුමක් හෙලුවා.
"ඒත් එයා වැඩට යනවනේ? හොඳ නැත්තම් වැඩට යන්න බෑනෙ"
"ම්ම්. මාත් එහෙම හිතනවා. ඒත් භූප දැන් දැන් හරි හිතුවක්කාරයි. කියන දේ අහන්නේ නෑ" මට කියවුණා.
ඒ පාර අනුක් මා දිහා බැලුවේ විමසිල්ලෙන්.
"කියන දේ අහන්නෑ? ඒ කිව්වේ?" අනුක් ඇහුවා.
"මං කිව්වේ මේ, වැඩ කරන්න ගියාම වෙන කිසි දෙයක් ගැන එයාට ගානක් නෑ. බෙහෙත් බොන එක ගැනවත්, වෙන මොනා ගැනවත්"
"ඒකද ඔය ආව වෙලේ ඉඳලා මූඩ් ගහලා ඉන්නේ?" අනුක් ඇහුවා.
"මම මූඩ් ගහලා නෑ" මම කිව්වා.
"නැත්තේ මොකද? ඔයා හිතන්නේ මම අන්ධයෙක් කියලද? මම ඔයා ගැන දන්නවා දුලාරා. ඔයාගේ පොඩි වෙනසක් වුණත් තාම මට දැනෙනවා" ඔහු කිව්වා.
මම මුකුත් නොකියා බිම බලාගෙන උන්නේ ඒ දයාබරත්වය ඉස්සරහදි මට ඇඬෙන්න ඉඩ තිබ්බ නිසා.
ඒ පාර අනුක් මගේ ලඟ තිබ්බ bean bag එකෙන් ඇවිත් වාඩි වුණා.
"දුලාරා...අහන්න. මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් මට කියන්න ප්ලීස්. ඔයාට මට කියන්න බැරි දෙයක් නෑනෙ" අනුක් කිව්වේ ගොඩාක් දයාබරව.
මම ඒත් මුනිවත රැක්කේ දුක හිත හිර කරද්දි. එක පැත්තකින් මට ඒ ගැන අනුක්ට කියන්න ඕන වුණේ නෑ. එහෙම වුණත් ඒක කියන්න මාව තේරුම් ගන්න වෙන කෙනෙක් මට උන්නෙත් නෑ. අනුක් නිහඬවම මගේ උත්තරේ බලාපොරොත්තුවෙන් ඉද්දි මම හිටියේ හිතත් එක්ක තර්ක කර කර.
"අනික්වා සේරම අමතක කරන්න. මම ඔයාගේ යාලුවෙක් කියලා විතරක් හිතලා මොකද වුණේ කියලා මට කියන්න දුලාරා. ඔයා ඔහොම හිතින් විඳවන එක මට බලං ඉන්න අමාරුයි" අනුක් එහෙම කිව්වම මම ඔහු දිහා බැලුවා. ඔහු උන්නේ බැරෑරුම් විදියට මා දිහා බලාගෙන.
"භූප...වෙනස් වෙලා අනුක්..." මම තවත් තප්පර කීපෙකට පස්සේ කිව්වා.
"වෙනස් වෙලා? ඒ කියන්නේ... මොන විදියටද?" අනුක් ඇහුවා.
මම වෙච්ච දේවල් එකින් එක අනුක් ඉස්සරහ කියාගෙන කියාගෙන ගියේ, හිතේ තිබුණ මහාමෙරක් වගේ බර හන්දමයි. ඒ ගෙවුණ විනාඩි කීපෙට මගේ ඇස් කීපාරක්නම් කඳුලින් බර වෙන්න ඇත්ද? හැමදේම ඇහුවට පස්සේ අනුක් උන්නේ කල්පනාබර වෙලා.
"මගේ ඔලුව අවුල් වෙලා අනුක්. මම හැමදේම කලේ ආපහු එයා ලඟට ලං වෙන්න. එයා එක්ක එකතු වෙන්න. එහෙම වෙද්දි එයා මෙහෙම් මගෙන් ඈත් වෙන්න හදන එක මට දරාගන්න බෑ..." මම කිව්වේ ඇස් අගින් බේරුණ කඳුලක් පිහින ගමන්.
"මම නම් හිතන්නේ එයාට වැඩ වැඩි හන්දා වෙන්න ඇති කියලා දුලාරා. එයා...ඔයාගෙන් ඈත් වෙන්න හදනවා කියලා මම හිතන්නේ නෑ. එහෙම කරන්න හේතුවක් නෑනෙ" අනුක් කිව්වේ මුදු හඬින්.
"මම දන්නෑ අනුක්. එයා...මේ...වැඩ කරන්නේ ලස්සන ගෑණු ළමයි එක්ක. සමහරවිට ඒ කෙනෙක්ට හිත ගිහින්ද දන්නේ නෑනෙ..." මම කිව්වා බොලඳ කතාවක් වුණත්, ඒක මගේ හිතට වද දිදී තිබ්බ දෙයක්.
"මොන පිස්සු කතාවක්ද ඒ? ඒක නම් කොහොමටවත් වෙන්න බෑ. එහෙමනම් ඒක කලින් වෙන්න එපැයි. මොකද භූප අද ඊයෙ ඉඳන් කරන රස්සාවක් නෙවෙයි නෙ. අනික කොච්චර කවුරු හිටියත් ඔයා වගේ කෙල්ලෙක් අමතක කරන්න පුලුවන්ද? ඔයා...ඔයා එහෙම ලේසියෙන් හොයාගන්න පුලුවන් විදියේ කෙල්ලෙක් නෙවෙයි දුලාරා..."
මම අනුක් දිහා බැලුවා.
"ඒ ඔයා හිතන විදිය අනුක්...භූප එහෙම හිතනවද කියලා අපි දන්නේ නෑනෙ"
මම එහෙම කියද්දි අනුක් මා දිහා බලාගෙන උන්නේ හැඟීම්බර ඇස්වලින්.
"ඔයා හිතන්නේ මමයි භූපයි ඔයා ගැන හිතන්නේ දෙවිදියකට කියලද?"
මම ඉක්මණින් අහක බලාගත්තා.
"මම දන්නෑ"
"දුලාරා...මේ අහන්න"
අනුක් කිව්වේ මගේ දෝතම ඔහුගේ උණුසුම් දෝතට මැදිකරගන්න ගමන්. මම ආපහු ඔහුගේ ඇස් වලට එබුණා.
"මොකක්ද?"
මම ඇහුවේ ඔහු මුකුත් නොකියා මගේ ඇස් දිහා බලාගෙන මුනිවත රැක්ක හන්දා. ඔහු ආපහු කතා කලේ අපේ දෑත් දිහා බලාගෙන.
"අනවශ්‍ය දේවල් හිතලා නිකං හිතට දුක් ගන්න එපා. ඔය busy ගතිය අඩු වෙද්දි එයාගේ විදිය හරි යයි"
"ම්ම්"
"ඔයාට මොනාම හරි දෙයක් කියන්න ඕන කියලා හිතුණොත් මට කතා කරන්න දුලාරා. මම හිතාගෙන ඉන්න දේවල් ගැන ඔයා හිතන්න ඕන නෑ. ඒවා මගේ හිතේම තිබුණාවේ. ඒ කිසිම දෙයක් ඔයාටවත්, භූපටවත් බලපාන්න මම ඉඩ තියන්නේ නෑ. I promise. So..please don’t keep things to you ok.."
අනුක් කිව්වේ ගොඩක්ම දයාබරව. මම හිස වැනුවේ ආයෙමත් හිත දුකින් බරවුණ හන්දා.
ඊට පස්සේ අපට ආයෙම තනියෙම කතා කරන්න වෙලාවක් ලැබුණේ නෑ. පහුවදා අපි ආයෙම ගෙදර එන්න පිටත් වෙද්දි අනුක් මට සමු දුන්නේ බලාපොරොත්තු නොවුණු විදියට මගේ කම්මුලක් ඉඹලා, කවුරුවත් දකින්න කලින් කෑම මේසේ ලඟදි. අනුක් ගැන හිතේ තිබ්බේ දුකක්. ඔහුගේ සතුට වෙනුවෙන් මොනා හරි කරන්න මට ඕන වුණත්, ඔහු හොයන සතුට මට දෙන්න බෑ කියන එක අපි දෙන්නම දැනගෙන හිටියා.

Thursday, October 9, 2014

අසූ අටවන කොටස



සති අන්තේ සෙනසුරාදා මම නුවර යන්න පිටත් වුණේ පොඩි අයියා එක්ක. භූප එක්ක ඇතිවුණ කතාබහ සමථයකට පත් වෙලා තිබුණත්, මොකක්දෝ කහටත් ඒ සිද්ධිය හිතේ ඉතිරි කරලා තිබුණා කියලා මට හිතුණා. භූප මට කතා කලත් ඒ වචන වල ඉස්සර තිබ්බ ආදරේ නෑ කියලා මට දැනෙමින් තිබුණා.
"දැන් භූප මොකද කියන්නේ?" විවිධ දේවල් ගැන කතා කරමින් ආපු පොඩි අයියා එහෙම ඇහුවම මට හිතාගන්න බැරි වුණා ඔහු අහන්නේ මේ මොනා ගැනද කියලා.
"මොනා ගැනද අයියේ?"
"ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන" අයියා ඇහුවා.
භූප සනීප වෙලා ආවට පස්සේ අයීයා දෙතුන් පාරක් ඔහුව බලන්න ගියත්, ඉස්සර තරම් ලඟින් කතාබහ කරන්න නැතුව ඇති කියලා මට හිතුණා.
"එහෙම විශේෂ දෙයක් කියන්නේ නෑ. එකම දේ අවුරුදු තුනක්වත් යනකල් බඳින්න නම් අදහසක් නෑ අපේ" මම කිව්වා.
"ම්ම්...එහෙමද? එයා හිතාගෙන ඉන්නේ ඔය කරන ෆීල්ඩ් එකේම ඉන්නද දිගටම?"
"ඔව්"
අයියා භූප ගැන වෙන මොනවත් ඇහුවේ නෑ. කෝච්චියේ ආපු අපි උදේ නවය විතර වෙද්දි නුවරින් බැස්සා. අපිව ගෙදර එක්ක යන්න ඇවිත් හිටියේ සිරිදාස සීයා. මම අනුක්ව බලාපොරොත්තු වුණ හන්දදෝ හිතට දැනුනේ පොඩි සංතාපයක්. අපි ගෙදරට එද්දි අක්කලා තුන් දෙනාම උන්නේ මග බලාගෙන. අනුක්ලගේ අප්පච්චිත් ඒ අතරේ උන්නා. ගෙදර දකිද්දි මට දැනුනේ සතුටක්...හරියට අපේ ගෙදර දැක්කා වගේ.
ගෙට අඩිය තිබ්බ ගමන්ම යශෝ අක්කා ඇවිත් මාව වැලඳ ගත්තා. ඊලඟට අනික් දෙන්නා. ඒ අයගේ ග්‍රහණයෙන් මිදිච්ච ගමන්ම මම වට පිට බැලුවේ අනුක් ඉන්නවද කියලා.
"කෝ මල්ලි?" මම වෙනුවට අයියා ඒක ඇහුවා.
"අන්න තාම නිදි. ඊයේ ස්විස් එකේ පාටියකට ගිහිං ආවේ උදේ තුනට" එහෙම කිව්වේ ගෝතමී අක්කා.
"ඔහොම තමයි නේද පුතා. මේ කාලේ නොගන්න ජොලි කොයි කාලේ ගන්නද? අනික ඉතිං හෙට අනිද්දට රස්සාවකට යන්න නේ ඉන්නේ" අනුක්ලගේ අප්පච්චි කිව්වා.
ඒ දෙන්නා කතා කරමින් ඉන්න අතරේ අක්කලා තුන් දෙනා මාව ඇදගෙන ආගිය තොරතුරු කතා කරන්න ආවා මැද සාලෙට. භූප ගැන, ගෙදර ගැන, මම කරපුවා ගැන කියමින් ඉන්න අතරේ අනුක්ගේ තේ මග් එක අරන් එතනින් යන්න ආවේ ලතා අම්මා.
"හප්පේ මේ අපේ පුංචි නෝනා නේ. අනේ දැක්ක කල්. කොහෙද ඉතින් ගියා ගියාමයි මේ පැත්තේ ආවාවත් යැ" ලතා අම්මා කිව්වේ බොහොම ලෙන්ගතුකමින්.
"ආවේ නැතුවට අමතක වුණා නෙවෙයි ලතා අම්මේ" මම කිව්වේ හිනාවක් පාලා.
"අනේ ලතා අම්මේ, ඔන්න ඕක දීලා අර යෝදයව ඇහැරවන්න කෝ. අද වැඩ ගොඩක් තියෙනවා කර ගන්න" මේ අතරේ ගෝතමී අක්කා කිව්වා.
ලතා අම්මා මට එන්නම් කියලා උඩට යද්දි මට ඒ දිහා බැලුණේ නිරායාසයෙන්ම. ලතා අම්මා ආයෙම පහලට එද්දිත් අපි උන්නේ කතා කරමින්.
"නැගිට්ටද?" උත්පලා අක්කා ඇහුවා.
"ඉස්සෙල්ලා නම් ඇහුණෙත් නෑ වගේ උන්නේ. ඔන්න මේ නෝනලා ආවා කියපු ගමන් දනි පනි ගාලා නැගිටගත්තා" ලතා අම්මා හිනා වෙවී කිව්වේ අක්කලාවත් හිනස්සමින්.
"ආ...ඒක හොඳ එලාම් එක එහෙනම්"
"වෙනදට කන ලඟ දවුල් ගැහුවත් ඇහැරෙන්නේ නැති එක්කෙනා මොකද දන්නෑ එහෙම කලේ?" ගෝතමී අක්කා කිව්වේ මා දිහාට ඉඟි පාමින්.
මම වෙනසක් නොපෙන්වා හිනාවෙන්න උත්සාහ කලා.
"එයා එහෙනම් ලෑස්ති වෙයි නේ, අපිත් ලෑස්ති වෙන්නම්. අනේ ලතා අම්මා, අපේ නංඟටයි, දුලිතටයි කෑම අරින්න මේසෙට" උත්පලා අක්කා කිව්වේ යන්න නැගිටින ගමන්.
ඒ පාර එයාලා ලෑස්ති වෙන්න ගිය අතරේ මම ලතා අම්මා එක්ක කුස්සිය දිහාට එන්න ආවා. අයියා නම් තාමත් උන්නේ සාලේ අනුක්ගේ අප්පච්චි එක්ක කතාවක.
"ඉතිං පුංචි නෝනේ...මොනවද තොරතුරු?" ලතා අම්මා ඇහුවේ කුස්සියට යන්න කෑම කාමරේ පඩිපෙල නගින ගමන්.
"විශේෂ දෙයක් නෑ ලතා අම්මේ. වෙනදා වගේ ඉන්නවා"
"රස්සාවක් හෙම බැලුවේ නැතෑ?"
"දාලා තියෙන්නේ"
"අනේ හොඳයි...ඉගෙන ගත්තු දේවල් වලින් පොරොජනේකුත් තියෙන්න ඕන නේ"
ලතා අම්මා කෑම ලෑස්ති කරනකල් මම පුරුද්දට වගේ කුස්සියෙන් එලියට බැස්සේ ඒ පැත්තෙන් පෙනුන කඳු වැටිය බලන්න. ඉස්සර කෙලින්ම හොඳට පෙනුන කඳු වැටිය අද පොඩ්ඩක් විතර මුවා වෙලා තිබුණේ වත්ත පිටිපස්සේ හදලා තිබුණ පුංචි මහෝගනී ගස් පෙල උස ගිහින් තිබ්බ නිසා.
"අනේ මේ ගස් කොච්චර උස ගිහින්ද...තව ටික දවසකින් ගස් ලොකු වුණාම කඳු වැටිය පේන්නෙම නැති වෙයි නේද ලතා අම්මා?"
මම ඇහුවේ එලියට එනවා ඇහුණ ලතා අම්මගෙන් වුණාට, කුස්සියේ දොරෙන් එලියට ඇවිත් මා දිහා බලාගෙන උන්නේ ලතා අම්මා නෙවෙයි, අනුක්.
මගේ වචන උගුරේම හිර වුණා වගේ දැනෙද්දි මට හිනාවෙන්නවත් මතක් වුණේ නැහැ. අපි එහෙමම එකිනෙකා දිහා බලාගෙන මොහොතක් ඉන්න ඇති. ඊලඟට මුලින්ම බිම බලාගත්තේ මම.
"දැන්ද ආවේ?" ඔහු ඇහුවේ මුදු ස්වරේකින්.
"ම්ම්" මම හිස වැනුවා.
"කෝච්චියේද?"
"ඔව්"
"කා එක්කද ආවේ?"
"පොඩි අයියා එක්ක"
මම උත්තර දෙද්දි අනුක් උන්නේ මගේ ලඟටම ඇවිත්. මම ඒ ලඟ තිබ්බ කණුවට වාරු වෙලා අනුක්ට මුවා වුණා.
"එන වගක් මට කිව්වෙවත් නැත්තේ ඇයි?"අනුක් ඇහුවේ කණුවේ අනික් පැත්තෙන් ඇවිත් මගේ දිහාට එබිලා.
මම යන්තම් හිස හරවලා ඔහු දිහා බැලුවා. ඔහු මට දවසක් කිව්වා වගේ, ඒ ඇස්වල තිබ්බේ ගින්දරක්. ඒ ගින්නෙන් හිත පිච්චිලා යනවා දැනුනත් මම අහක බලාගත්තේ නෑ.
"මම හිතුවා දන්නවා ඇති කියලා" මම කිව්වේ ඒ දෑස් වල තිබුණ හැඟීම් නොපෙනුනා වගේ.
"එනවා කියලා දන්නවා, ඒත් අද එනවා කියලා දන්නේ නෑ" අනුක් කිව්වා.
"එහෙමද?" මම ආයෙම අහක බලා ගත්තා.
"ඔයා හොඳින් නේද?" අනුක් ඊලඟට ඇහුවේ එහෙම.
"ඔව්" මම හිස වැනුවා.
"ඔය ඇත්තමද?" ඔහු ඇහුවා.
"ඇයි එහෙම අහන්නේ?"
"ඔයාගේ ඇස්...මලානික වෙලා නිසා" ඔහු කිව්වම මට ආයෙම ඔහු දිහා බැලුණේ නිරායාසයෙන්.
"හැම දේම හොඳින් නේද දුලාරා? භූප එහෙම?"
භූප මතක් කරපු ගමන් හිතේ පිරුණේ දුකක්, ආත්මානුකම්පාවකුත් එක්ක. ඒත් මම ඉවසගෙන හිටියා. මම ඉක්මණින් බිම බලාගත්තේ ඇස් වලට කඳුලු පිරෙන වග සහතික නිසා.
"ඔව්"
මම කිව්වත්, අනුක් පහල පේමන්ට් එකට බැහැලා මගේ ඉස්සරහින් ඇවිත් හිටගත්තා.
"මා දිහා බලන්න..." ඔහු කිව්වා.
පහලට බැහැලත් මට වඩා උස වුණ අනුක් මගේ ලඟට ආවම ඔහුගේ දෑස් තිබ්බේ මගේ දෑස් වලට යන්තම් උඩින්. මම නොබැලුවත් ඔහුගේ බැල්ම මට ස්පර්ෂයක් තරම් තියුණුවට දැනුනා.
"ඔයා ඉන්නේ මා එක්ක තරහින්ද?" අනුක් ඇහුවා.
"නෑ..."
"එහෙනම් ඇයි මේ අහක බලාගෙන?"
ඔහුගේ මුදු බව ඉස්සරහා මගේ හිත දියවෙමින් තිබුණේ. මම ආපහු ඔහු දිහා බලද්දි ඒ වත පෙනුනේ බොඳ වෙලා. අනුක් එක පාරටම පොඩ්ඩක් තිගැස්සුනා වගේ වුණා. ඊලඟට ඒ වතේ ඇඳුනේ දුකක්.
"ඇයි මේ?" අනුක් ඇහුවේ ගොඩාක්  දයාබරව.
මම හිස වැනුවා මුකුත් නෑ කියන්න. ඒ පාර අනුක් කලේ හෙමින් මගේ සුරත අල්ලගත්තු එක. ඒ පාර තිගැස්සුනේ මම. මම අත ඇදගන්න යද්දි ඔහු ග්‍රහණය තද කලා.
"ඔයා මොනාද මේ කරන්නේ? මාව අතාරින්න ප්ලීස්..."
"මොකද වුණේ කියන්න" ඔහු කිව්වා.
"කිව්වනේ මුකුත් නෑ කියලා"
"මට කියන්න බැරි ඇයි?"
අනුක් එහෙම ඇහුවම මම ඔහුගේ දෑස් දිහා කෙලින්ම බැලුවා.
"මෙච්චර දවස් හිටියා වගේ ඔයාට ඉන්න බැරි ඇයි?" මම ඇහුවාම අනුක්ගේ මූණ වෙනස් වුණා.
ඔහු ටිකක් වෙලා මා දිහා බලාගෙන උන්නේ මම ඒ කියපු එක තේරුම් ගන්න වගේ. මම ඒ අතරේ ඔහුගේ ග්‍රහණෙන් මිදුණා.
"ඔයා හිතන්නේ එහෙම ඉන්න එක ලේසියි කියලද?" ඔහු ඊලඟට ඇහුවා.
"මම දන්නෑ අනුක්. මම එහෙම කරලා නෑ"
"මම එහෙම කලේ ඔයාගේ හිතට වද දෙන්න බැරි හන්දා දුලාරා. මට ඉන්න පුලුවන් නිසා නෙවෙයි..."
"ඒකට කමක් නෑ... "
ඔහුගේ වචන වලට හිත සසල වුණත් මම කිව්වේ ඔහු දිහා කෙලින්ම බලලා. මට ඔහුට පෙන්නන්න ඕන වුණේ මම ඒ ගැන හිතන්නේ නෑ කියලා.
"කමක් නැත්තම් කමක් නෑ" අනුක් කිව්වේ මම මුවා වෙලා උන්නු කණුවටම හේත්තු වෙන ගමන්.
"ඒත් මට තේරුම් ගන්න බෑ..." මම කිව්වා.
"මොකක්ද?"
"ඇයි ඔයාට ඉස්සර අනුක් වෙන්න බැරි කියලා. ඔයා...ටිකින් ටික මට මගේ හොඳම යාලුවාව නැති කරන්නේ ඇයි කියලා" මම කිව්වේ උපේක්ෂාවෙන්.
"ඉස්සර අනුක් එයාගේ යාලුවට ආදරේ කලේ නෑ. ඒත් දැන් අනුක් එයාට ආදරෙයි...ඒ ආදරේ හිතේ තියාගෙන ඉස්සර වගේ ඉන්න අනුක් දන්නේ නෑ දුලාරා...ඉස්සර වගේ වෙන්න ගියොත් නවතින්නේ හැමෝගෙම හිත් රිදිලා වග මට දැනෙනවා..."
"ඒත් අනුක් ඔයාට තේරෙන්නේ නැද්ද ඔයාට මම හොයන්නේ ඒ ඉස්සර උන්නු අනුක්ව කියලා?"
"තේරෙන්නේ නෑ. ඔයාගේ ඇස් කියන්නේ ඒ කතාව නෙවෙයි"
මම දිග සුසුමක් හෙලලා අහක බලාගත්ත.
"මට ඒ ගැන කතා කරන්න ඕන නෑ"
"ඔව්. ඔයාට ඒ ගැන කතා කරන්න බෑ. මොකද ඔයා දන්නවා ඇත්ත මොකක්ද කියලා"
"ඒ හන්දා නෙවෙයි අනුක්...මට ඔයා එක්ක වාද කරන්න බෑ. මට මහන්සියි. තර්ක කරන්න මානසිකත්වයක් මට නෑ. ඒකයි" මම කිව්වා.
ඒ පාර ලොකු සුසුමක් හෙලුවේ අනුක්.
"මං ඔයාට වද දෙන්නේ නෑ. ඔය ඇස් මොනා කිව්වත් මම දන්නවා අපට හීන ලෝක වල ජීවත් වෙන්න බැරි වග. අපි අන්තිමේදි පියවි ලෝකෙට එන්නම ඕන" ඔහු ඊලඟට කිව්වා.
හිත අහේතුක දුකකින් බර වුණා.
"මේ හැමදේටම මුල මං...මං මෙහේ නාවා නං අඩු තරමේ ඔයාගේ හිතේ නිදහසවත් රැකිලා"
"ඔව්...සේරටම මුල ඔයා තමයි. ඒත් ඒ ඔයා හිතන විදියට නෙවෙයි. ඔයා මෙහේ නො එන්න මම ආදරේ මේ තරම් තේරුම් ගන්න එකක් නෑ. ආදරේ තියෙන්නේ ලබා ගැනීමම විතරයි කියලා හිතාගෙන මම ඉන්න ඉඩ තිබ්බා. ඒත් ඔයා හන්දා මම තේරුම් ගත්තා දුලාරා ආදරේ උතුම්ම දේ අනික් කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ හැමදේම පරිත්‍යාග කරන්න පුලුවන් වෙන එකයි කියලා. එදා ඒක කලේ ඔයා,භූප. අද ඒක කරන්නේ මම. ඒත්...මට හැමවෙලේකම හිතෙනවා දුලාරා...ඔයා ..." අනුක් කිව්වේ හැඟීම්බරව.
"අපි මේ කතාව නවත්තමු අනුක්..."
ඒ පාර අනුක් මා දිහාට හැරුණම ඒ ඇස් මගෑරලා අහක බලන්න මට පුලුවන් වුණේ නෑ.
"මාව පව්කාරියක් කරන්න එපා අනුක්..." මම මිමිණුවා.
අනුක් දෑස් පියාගත්තා ඒ වචන පෙල ඇහෙද්දිම. මගේ හිත පුපුරන්න තරම් දුකක් මට දැනුනේ ඇයි කියන්න මම දන්නේ නෑ.
"මල්ලී..." ඊලඟට අනපේක්ෂිත විදිහට ඇහුණෙ ගෝතමී අක්කගේ හඬ.
අපි දෙන්නටම දොර දිහා බැලුණේ ඉබේටම. මට පියවි සිහිය ආවේ එවෙලේ වගේ. ඒ අවසරෙන් මම අනුක්ගෙන් මිදිලා වචනයක්වත් නොකියා සාලේ දිහාට දුවලා එන්න ආවා.