Wednesday, January 15, 2014

අවසරයි ලං වෙන්න: තිස් අටවන කොටස



චේතියගේ ලොකු අප්පච්චි ගේ ගෙදර, ලොකු මිදුලකින් වට වෙලා තිබුණ විශාල ගෙයක්. පාරෙන් ගිහින් වත්ත ඇතුලට යනකල්ම එතන එහෙම ගෙයක් තියෙනවද කියලවත් හොයන්න බැරි වුණේ වත්ත වට කරගෙන වැවිලා තිබුණ ගස් කොලං නිසා. ගෙදර දකිද්දිම මගේ හිත පාලුවකින් බර වුණා.
"හම්මේ මෙන්න මෙයාලා එනවා.." චේතිය වාහනෙන් බැහැලා අපට බහින්න දොරවල් අරිද්දි එලියට ආපු ගෑණු ළමයෙක් කෑ ගැහුවා.
මම එලියට බැහැලා ඉස්තෝප්පුව දිහාට යද්දි දොර ලඟ හිටගෙන හිටියේ ලස්සන ගෑණු ළමයෙක්. ඒත් එයා මට වඩා නම් වැඩිමල් ඇති කියලා මට හිතුණා.
"කෝ අනික් අය?" චේතිය ඇහුවේ අපිවත් පෙරටු කරගෙන පත්තට යන ගමන්.
"ඇතුලේ ඇතුලේ. එන්න නැන්දේ ගෙට. එන්න මාමේ. නංඟි එන්න" බොහොම සුහද විදියට අපිව පිලි ගත්තා.
දැනුන කුලෑටිකම නිසා මම අම්මා ලඟින්ම වගේ ඇතුලට ගියා.
පුටු සෙට් දෙකකුයි, නා නා ප්‍රකාර බිත්ති සැරසිලි, උස පිත්තල මල්පෝච්චි වගේම සේසත් වලින් පවා සරසලා තිබුණ සාලේ දැක්කාම මට නම් බයත් හිතුණා. අපේ සාලේ වගේ තුනක් විතර සාලේ ලොකු ඇති.
"...එන්න එන්න.ඇවිත් වාඩි වෙන්න. අපි මේ ඒත් බැලුවා මොකද පරක්කු කියලත්"
සාලේ විස්තර බලමින් උන්නු මම හඬ ඇහිච්ච දිහාව බලද්ද්දි අපි ඉස්සරහට හිනාවකුත් එක්ක එමින් උන්නේ හැඩි දැඩි, ටික විතර වයසක පිරිමි කෙනෙක්.
"මේ අපේ ලොකු අප්පච්චි" චේතිය එහෙම කිව්වේ මම එහම වෙන්න ඇති කියලා හිතද්දිමයි.
ඒත් මම ඔහුව දැකලා පොඩ්ඩක් විතර පුදුම නොවුණා නෙවෙයි. මම ඇත්තටම දකින්න බලාපොරොත්තු වෙලා උන්නේ කලු, මහත, ලොකු උඩු රැවුලක් තියෙන සැරපරුෂ කෙනෙක්ව. ඒත් අපි ඉස්සරහ හිටගෙන උන්නේ, රැවුල සම්පූර්ණයෙන්ම මුඩු කරපු, කොට කලිසමකිනුයි ටී ෂර්ට් එකකිනුයි සැරසුණ ප්‍රසන්න කෙනෙක්.
"ආයුබෝවන්..." අපේ තාත්තයි, අම්මයි වාඩිවෙන්න කලින්ම ඔහුට ආචාර කලා. මම නම් හිටියේ කරන්නේ මොකද කියලා හිතාගන්නවත් බැරිව.
"මේ ගමන් අපි ඉතිං මෙහෙම එන්න හිතාගෙන උන්නු එකක් නෙවෙයි. ඒත් ඉතිං හදිසියේම එන්න වුණා නෙව"
මම වැඳලා ආචාර කරන වෙලේ එහෙම කතාව පටන් ගත්තේ තාත්තා.
"... ඉතිං ඒකට මක් වෙනවද? දැන් කාලේ ඔය දේවල් ඉතිං තරම්ම හිතන්න කාරණා නෙවෙයි නේ. දැන් දුවව නතර ක්රන්න ආවා. ආයෙම දවසක එන්න බැරියැ මෙහෙන් දුවෙක් අරන් යන්න නැද්ද ලොක්කෝ?"
පාර චේතියගේ ලොකු අප්පච්චි කිව්වේ හිනා වෙවී, චේතියගෙන් අහන ගමන්.
අම්මයි තාත්තයිත් හිනා වුනා කතාවට. මම නම් උන්නේ බිම බලාගෙන.
"මිස්ට බණ්ඩාර අපට මේ කරන්නේ විශාල උදව්වක්. නැත්තම් මේ හදිසියේ අපට වෙන කරන්න දේකුත් නැහැ" ඊට පස්සේ තාත්තා කිව්වා.
"පිස්සුද මිස්ට බාලසූරිය. ඕක මොකක්ද? මේ ගෙදර කෙල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා. තව එක කෙල්ලෙක් වැඩිවුණා කියලා මක් වෙනවද? අනික ඉතිං පිට ළමයෙක් නෙවෙයි නේ. කවදකහරි අපේම වෙන්න ඉන්න ළමයෙක් නේ"
චේතියගේ ලොකු අප්පච්චි එහෙම කියද්දි මම ඔහු දිහා බලාගෙන උන්නේ පුදුමෙකින්. රූපේ වගේම ඔහුගේ අදහසුත් ප්‍රසන්නයි කියලා මට හිතුණා. මොකද මම එන ගමන් බයේ ආවේ ලොකු අප්පච්චි සැර පරුෂ කෙනෙක් වෙන්න ඇති කියලා හිතාගෙන හන්දා.
"ලොකු දුව...කෝ මේ අපේ ගෝතමී, හැංගිලද?" පාර සාලේ එක්කම වගේ පොඩ්ඩක් උඩට වෙන්න තිබුණ කෑම කාමරෙන් එලියට එබුණේ අපි කලින් එද්දිම පිලිගත්තු කෙනා.
"නෑ. නෑ අප්පච්චි. මෙතන මට උදව් කරනවා" කිව්වේ හිනාවෙලා.
"මේ උත්පලා. මගේ ලොකු දුව. දෙවනියා යෂෝධා. එයත් මෙන්න මෙහේ හිටියා. කෝ පුතේ මද්දුමී?"
"දෙන්නම කුස්සියේ"
උත්පලා අක්කා අපට ආයෙම හිනාවක් පාලා උත්තර දුන්නා.
"අද තරඟෙට තේ හදනවද?ලතා අම්මා නැද්ද?"
"ඉන්නවා අප්පච්චි"
"පොඩිම දූ තමා ගෝතමී...මිස්ට බලාසූරියලගේ ගෙදර එන්න ඉන්නේ එයා තමා. අපි යමුකෝ තේ එකක් බොන්න එහෙම නම්. එතකොට කට්ටියම තව දැන ඇඳිනගන්න පුලුවන් නේ. මේසේ හරි නේද පුතේ?" එහෙම කියාගෙන චේතියගේ ලොකු අප්පච්චි නැගිට්ටා.
අපිත් අනුවම නැගිටලා කෑම කාමරේට නැග්ගේ තේ බොන්න. කැවිලි වර්ග තුන හතරක්ම තියලා මේසේ ලෑස්ති කරලා තිබුණේ ලොකු සංග්‍රහයකට වගේ.
"හප්පේ මේ දුවලා සෑහෙන්න මහන්සි වෙලා නෙව. මෙච්චර මොකට කරදර වුණාද මන්දා" අපේ තාත්තා කිව්වේ මේසේ ලඟ හිටගෙන උන්නු උත්පලා අක්කා ඇතුලු පිරිස දිහා බලන ගමන්.
"අනේ මොකක්ද මාමේ. වාඩි වෙන්න. අපි නෙවෙයි පොඩී තමා සේරම වගේ හැදුවේ" උත්පලා අක්කා කිව්වේ කුස්සියට එබෙන ගමන්.
"කෝ ගොතමී කුස්සියේ හැංගිලද?" චේතිය ඇහුවා.
"හ්ම්"
පාර චේතිය හොරෙන් වගේ කුස්සියට ගිහින් ඇදගෙන ආවේ දිගම දිග කැරලි කොණ්ඩයක් තිබුණ ලස්සන ගෑණු ළමයෙක්ව.
"අනේ එපා අයියේ" ඇය කෑ ගැහුවේ ලැජාවෙන් මූණ රතු කරගෙන.
බැලූ බැල්මට මට උත්පලා අක්කවයි, ගෝතමී අක්කවයි දෙන්නම් පෙනුනේ එකම වගේ. දෙන්නම ගොඩක් ලස්සනයි. ලොකු ඇස්, දිග කැරලි කොණ්ඩේ, ලස්සන හිණාව. ඒත් යෂෝධා අක්කා දෙන්නා තරම්ම ලස්සන නැහැ. දෙන්නට වඩා තලෙලුයි. ටිකක් විතර මහතයි. ඒත් වුනත් ප්‍රියමනාපයි කියලා මට හිතුණා. පස්සේ කාලෙක මගේ ආදරණීයම අක්කා වුණෙත් ඈමයි.
"...ආන්න අපේ කොල්ලත් ආවද කොහේද?" ගේ ඉස්සරහා පැත්තෙන් වාහනයක සද්දේ ඇහෙද්දි පැත්ත බලපු ලොකු අප්පච්චි කිව්වා.
ටිකකින් අපි උන්නු පැත්තට ආවේ මේ ගෙදරින් මම මුලින්ම දැකපු කෙනා. 'අනුක්'
"හාලෝ චේතිය බොස්. ආවද? ...අනේ සොරි. කොහොමද ආන්ටි? අන්කල්?"
චේතියට අත වනාගෙන එතනට ආපු අනුක් අපිව දැකලා පොඩ්ඩක් විතර ලැජ්ජාවෙලා වගේ හිනා වුණා.
"මෙයාව නම් දන්නවනේ. එහේ ගොයම් කපන්න ආවේ" ලොකු අප්පච්චි කීව්වා.
"ඔව් ඔව්. අපේ දිහා දවස් දෙකක් විතරම හිටියනේ" එහෙම කිව්වේ අම්ම.
කොහොමින් හරි අන්තිමට එහ පැයක්  දෙකක් ඉඳලා, මගේ බඩු හෙමත් කාමරේට දාන්න උදව් වෙලා, අම්මලා යන්න ලෑස්ති වුණා. මගේ දුක ආයෙම අලුත් වුණේ එවෙලේ.
"දෝණි ඔයා දැන්මේ ඉන්නේ වැදගත් ගෙදරක. අනික පොඩි අයියා සම්බන්ධ වෙන්න ඉන්න ගෙදරත් මේක. නිසා අනේ පුතේ, අපට අවනම්බු වෙන දෙයක් නම් කරන්න හිතන්නවත් එපා. අපි මෙහේ ඔයාව නවත්තලා යන්නේ මේ මිනිස්සුයි, ඔයාවයි දෙගොල්ලොම විශ්වාස කරන නිසා. එයාලත් ඔයා ගැන එහෙමම විශ්වාසෙකින් ඉන්නේ. නිසා ආයේම පරණ දේවල් අලුත් කරගන්න හෙම ලෑස්ති වෙනවා නෙවෙයි හොඳද. එහෙම දෙයක් ආයෙම වුණොත් අපට වෙන්නේ වස කාලා මැරෙන්න. චේතියගෙත් හිත නොරිද්දවා, හොඳින් ඉන්න බලන්න. පොඩි අයියත් ඔයාව බලලා යන්න එයි. රත්නත්තරේ පිහිටයි එහෙනම්"
මට වෙන් කරලා දුන්නු කාමරේට ආපු අම්මයි තාත්තයි මගෙන් සමු ගත්තේ එහෙම කියලා. වියදමට කියලා තාත්තා මට රුපියල් හත්දාහකුත් අතට දුන්නා.
"මෙච්චර සල්ලි?"
"තියාගන්න දෝණි. ඕන වෙන්න පුලුවන් නේ. අම්මා කිව්වා වගේ හොඳින් ඉන්න ඕන තේරුණාද? හැම සති අන්තෙකම ගෙදර එන්න ඕන නෑ. ඔයාට මෙහේ හිටියම හිත හදාගන්න ලේසි වෙයි, මෙහේ අර අක්කලා ගොඩකුත් ඉන්නවනේ. අපි එහෙමනම් ගිහින් එන්නද?"
මම මුකුත්ම නොකියා අම්මටයි, තත්තටයි වැඳලා සමු ගත්තේ කඳුලු පිරුණ ඇස් වලින්.
අම්මලා එක්කම චේතියත් යන්න ගියේ පහුවදා එන්නම් කියලා. ඊට පස්සේ මම හවස ගෙව්වේ පුදුම අමාරුවකින්. ගෙදර අය සේරම වගේ (අනුක් ඇරෙන්න) මා එක්ක ගොඩක් හිතවත්ව කතා කලා. ලොකු අප්පච්චි පවා විහිලු හෙම කර කර මාව හිනස්සන්නත් හැදුව. ඒත් උඩින් හිණා වුණත් ඇතුලාන්තෙන් මම උන්නේ අඬමින්.
උත්පලා අක්කයි, යශෝධා අක්කයි දෙන්නට වඩා මට හිතුණා ගෝතමී අක්කා ආඩම්බරයි කියලා. සමහරවිට ආපේ අයියා නිසා එයා මා එක්ක කතා කරන්න ලැජ්ජ වුණ නිසාද දන්නෙත් නෑ.
"නංඟා...එන්න පැටියෝ කන්න. ඔහොම ඇඳටම වෙලා ඉන්න එපා. ඉස්සරහට ඇවිත් TV එක වත් බලන්නකෝ. දුකයි තමයි ඉතිං ගෙදර අය ගියාම. ඒත් මොනා කරන්නද නේද? යමු යමු එන්න"
රෑ අටට විතර මගේ කාමරේට ආපු උත්පලා අක්කා එහෙම කියලා මාව ඇදගෙන ගියේ කෑම කන්න.
මම යද්දි මේසේ උන්නේ ළමයි ටික දෙනා විතරයි. ලොකු අප්පච්චි නෑ.
"අන්කල් කන්නේ නැද්ද?" මම ඇහුවේ උත්පලා අක්කාගෙන්.
"අප්පච්චි රෑට diet. තාම දුවලා ආවෙත් නෑ. එයා ආවම පලතුරු මොනා හරි කනවා. දැන් අපේ dessert වෙලාවට එයි සමහරවිට"
උත්පලා අක්කා කිව්වේ මට ඉඳි ආප්ප වගයක් බෙදන ගමන්.
"අනේ ඔච්චර එපා මට කන්නත් බෑ" මම කිව්වේ ඉඳිආප්ප විස්සක් විතර මට බෙදන්න හදද්දි.
එවෙලේ මම ඇස් කොනකින් දැක්කා අනුක් මා දිහා බලනවා. ඔහු උන්නේ මට කෙලින්ම ඉස්සරහින්.
"ඔයා වෙජිටේරියන්ද?" යශෝධා අක්කා ඇහුවා.
"නෑ. හැබැයි හරක් මස් කන්නෙ නෑ" මම කිව්වා.
"අපිත් කන්නෑ හරක් මස් නම්. මාලු කනවනේ" එහෙම කියලා මට මාලුත් බෙදුවා.
මම පුරුදු පරිදි හෙමි හෙමින් කන්න පටන් ගත්තා.
"එතකොට ඔයාටද මම හෙට ඉඳන් transport සපයන්න ඕන?"
කකා ඉන්න අතරේ හිටපු ගමන් එහෙම ඇහුවේ අනුක්. මම ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"නැත්තම් කාටද? එහෙම ඇහුවේ ගෝතමී අක්කා.
"මොකෝ ඔයා එහෙම අහන්නේ?" පාර ඇහුවේ යශෝධා අක්කා.
"නෑ නිකං, දැනගන්න" අනුක් කිව්වා.
"ඔයාට කිසීම දේකට බය වෙන්න දෙයක් නෑ නංඟා. මෙයා කැම්පස් එකට යනකල්ම මොකක් හරි quantum physics වගේ දෙයක් හිත හිත යයි. ඔයාට තියෙන්නේ පාර බලාගෙන යන්න" යශෝධා අක්කා කිව්වාම මම හිනා වුණා යන්තමට.
අනුක් මුකුත් නොකියා යශෝධා අක්කට ඇද කරලා කෑම කමින්ම හිටියා.
මම බලාගෙන උන්නේ මෙතනින් මිදිලා කීයට නිදාගන්න යන්නද කියලා. අන්තිමේදි කෑවායින්, නොකෑවායින්, කට්ටියටම good night කියලා මම කාමරේට එන්න ආවා ආයෙම කවුරුවත් මාව කතාවකට අල්ලගන්න කලින්.  ඒත් මම ඇඳ හද හද ඉද්දි බලාපොරොත්තු නොවුණ විදියට කාමරේට ආවේ ගෝතමී අක්කා.
"ඇඳ හදාගත්තද?" ආවේ එහෙම අහගෙන.
"ඔව් අක්කේ. හරි"
"ම්ම්. ඔයාට පාලුද? ඊට පස්සේ එහෙම ඇහුවා.
"නෑ, ගාණක් නෑ" මම කිව්වේ බොරුවක්.
ගෝතමී අක්කා වටපිට බල බල ඇවිත් මගේ ඇඳෙන් වාඩි වුණා.
"අපේ මල්ලි චූටි කාලේ නිදා ගත්තේ මේ කාමරේ. අපි තුන් දෙනාගේ කාමර දෙපැත්තේ නිසා එයාට තනියි කියලයි . ඊට කලින් මේක මගේ කාමරේ. ඊටත් පස්සේ දැන් ඔයාගේ" කිව්වා.
මම හිනාවුනා මිස මුකුත් කිව්වේ නෑ.
"ඔයා නයිටීස් හෙම ගෙනාවද?" ඊට පස්සේ මා දිහා බලලා ඇහුවේ මම තවමත් ගවුම පිටින්ම උන්නු නිසා වෙන්න ඇති.
"ඔව්. ඔව්"
"හ්ම්...ඔයා බය නෑනෙ තනියෙම නිදන්න? කලුවරයි නම්, මේ පොත් රාකේ ලඟ තියෙන නයිට් බල්බ් එක දා ගන්න" ජනේලේ දිහා තිබුණ පොත් රාකේ දිහාට අත දික් කරලා කිව්වා.
"හොඳයි අක්කේ. බයක් නම් නෑ මට"
පාර මා දිහා බලලා හිනාවුනා.
"වාඩිවෙන්නකෝ ඉතිං" ඊට පස්සේ මට කිව්වා.
මම ඇඳේ අනික් කොනේ වාඩි වුණා පාර.
"මට...දුලිත කෝල් කලා" ඊට පස්සේ කිව්වේ මා දිහා ඇස් කොනින් බලමින්.
"ඇත්තද?" මම ඇහුවේ දිහා යන්තමට බලලා.
"ඔව්. ඔයා ගැන අහන්න. කිව්වා ඔයා පාලුවෙන් ඇති ගිහින් බලන්න කියලා"
මම යන්තම් හිනා වුණා විතරයි. මොකදෝ මන්දා මට ඉස්සර වගේ පොඩි අයියා ගැන ලොකු ආදරයක් දැන් දැනුනේ නෑ. මගේ හිත කිව්වේ භූපටයි මටයි මෙහෙම වුණේ අයියා අපිව තේරුම් නොගත්තු නිසා කියලා.
"දැන් ඉතිං වෙච්ච දේවල් ගැන හිත හිත ඉන්න එපා. දේවල් වෙලා ඉවරනේ. ඔයාව අපි මෙහේ නවත්තගන්න හිතුවෙත්, ඒකට උදව්වක් වෙයි කියලා හිතාගෙන. ඔයා දන්නැතුවට නංඟි, දුලිත ඉන්නෙත් දුකෙන්. අපි කාගෙවත් හිත රිදෙන දේවල් නොකර ඉන්න එක නේ හොඳ නේද? වැඩියක්ම අපට ආදරේ කරන අයගේ" ගෝතමී අක්කා කිව්වේ ඈත කොහේදෝ බලාගෙන.
මට අහන්න හිතුණා එතකොට අපේ හිත රිදුණට කමක් නැද්ද කියලා. භූපගේ රිදුන හිතට වග කියන්න කවුරුත් නැද්ද කියලා. ඒත් මම කට වහගෙන උන්නේ ගෝතමී අක්කා ගැනත් නොරිස්සුමක් හිතේ එතෙද්දි.
"අනික ඔයාට චේතිය ඉන්නවනේ" ඊලඟට එහෙම කිව්වම මට දිහා බැලුනේ ගැස්සිලා වගේ.
"මම දන්නවා ඔයාට තාම චේතිය ගැන එහෙම හිතන්න බෑ කියලා. ඒත් කාලයක් යද්දි හිත හරියයි. චේතිය අයියා හරි හොඳයි. කුකුල් කේන්ති කාරයෙක් තමයි.ඒත් හිත මාර හොඳයි. කුඩප්පච්චි වගේමයි. එයා ඔයාට ගොඩාක් ආදරෙයි. ඒක්යි එයා මේ හැම දෙයක්ම කරන්නේ. එයාලා ගෙදර හිටපු driver සීයව වාහනෙත් එක්කම මෙහාට ගෙනැත් දැම්මෙත් ඔයා නිසා. අනුක් හවසට සමහරදාට පරක්කු වෙනවනේ. නිසා.
චේතිය අයියා බයයි ඔයා එයාට අකමැති වෙයි කියලා. එයාට ඕන ඔයාව impress කරන්න ගොඩාක් දේවල් කරන්න. පිස්සා...මෙතුවක් කාලෙකට මම නම් දැකලා නෑ එයා මේ වගේ, කෙල්ලෙක් වෙනුවෙන් දේවල් කරනවා. ඇත්තටම නංඟි මම මේ කියන්නේ, එයා ඉන්නේ ඔයා නිසා පිස්සු වැටිලා. දහ පාරක් විතර කෝල් කලා මට දැන් එයත්. හිතුවලු ඔයා නිදි ඇති කියලා. ඔන්න බලන්නකෝ. හෙට කුකුලත් අතින් අරන් මෙහේ ඒවි" " ගෝතමී අක්කා ආයෙම කිව්වා.
මම හිටියේ බිම බලාගෙන. හිතේ පිරිලා තිබුණේ නොරිස්සුමකුයි, දුකකුයි විතරයි. මට චේතිය ගැනවත් එයාගේ ආදරෙ ගැනවත් අහන්න ඕනකමක් තිබ්බේ නෑ.
"ඒක නෙවෙයි, මට කියන්න බැරි වුණා. ඔයා බය වෙන්න එපා. අර ගමේ බෝයි ගේ කේස් එක අපේ ගෙදර වෙන කවුරුවත් දන්නේ නෑ. නිසා ගැන ඔයාගෙන් කවුරුත් අහන එකක් නෑ. බැරි වෙලාවත් ඔයත් මුකුත් කියන්න එපා හොඳේ?" ඊලඟට කිව්වා.
මම අහගෙන උන්නා කතාවක් නැතුවම. ඊට පස්සේ තප්පර කීපයක්ම එහෙමම ගෙවිලා ගියා, අපි දෙන්නම කතා නොකර. ඊට පස්සේ මා දිහාට හැරුණේ හිනාවකුත් එක්ක.
"මටත් පිස්සු. මමත් මේ ඔහේ කියව කියව ඉන්නවා. ඔයාට නිදි මතත් ඇත් නේ. අහන්නකෝ...ඔයා තාම මෙහාට අලුත් නේ. පුරුදු වෙද්දි සේරම හරි යයි. ඔයාට මොනා හරි ඕන නම් මේ ගෙදර ඕන කෙනෙක්ගෙන් ඉල්ලන්න. ලැජ්ජ නම් මගෙන්ම ඉල්ලන්නකෝ. හරි නේද?"
මම හා කියලා හිස වැනුවා.
"එහෙනම් මම යන්නම්. අයියට මොනා හරි කියන්න ඕනද?" ඊට පස්සේ යන්න නැගිටලාමගෙන් ඇහුවා.
"නෑ" මම හිස වැනුව.
"හරි එහෙනම්. good night"
" good night අක්කා"

3 comments:

  1. මගෙ බ්ලොග් රෝලේ පොත්ගුල අප්ඩේට් වෙන්නෑනේ!

    ReplyDelete
  2. දුලාරට දැන් නම් චේතියගෙන් බේරුමක් නැති වෙයි වගේ.

    ReplyDelete