Saturday, June 29, 2013

හයවන කොටස



"ඒයි ප්‍රෙෂී..."පොදු කාමරයේ පෝලිමේ හිටගෙන බිම බලාගෙන ඉන්න වෙලාවක එතනට ආපු ජේෂ්ඨයෙක් මට කතා කලා. මම ටිකක් විතර ගැස්සුනත්, හිත තද කරගෙන හිස උස්සලා බැලුවා. මෙච්චර වෙලා විවිධ අයගෙන්  නිස්කාරනේ බැනුම් අහමින් හිටපු මගේ ඉවසීම දැන් අන්තිම සීමාවටත් ලඟා වෙලයි තිබුණේ. මම හිස උස්සලා බලද්දි මගේ ලඟ හිටියේ මම මීට කලින් නොදැකපු කෙනෙක්. 
"මොකක්ද නම?" මනාව සකසපු රැවුලක් තිබුණ, උස පුද්ගලයෙකු වුණු ඔහු මා දිහාට තද බැල්මක් හෙලලා ඇහුවා.
"දු...දුලාරා ජේෂ්ඨතුමා..." මම ඔහුගේ දෑස් මගෑරලා අහක බලාගෙන කිව්වා.
"මොකක්? දුලාරා ජේෂ්ඨතුමා. ඒක යකාගේ නමක්නේ! ඒයි ජේෂ්ඨතුමා මෙහේ එන්නකෝ. මේන් මෙතන ෂෝක් නමක් තියෙන ප්‍රෙෂියෙක් ඉන්නවා" ඔහු එහෙම කියලා තව කාටදෝ අඬගැහුවා. මත හිනා යන්න ආවත්, බැනුම් ඇහීමේ කෙලවරක් නැති වෙන හන්දා මම තොල හපාගෙන ආයෙම බිම බලා ගත්තා.
"ප්‍රෙෂී මෙන්න මේ ජේෂ්ඨයා කියනව බලන්න නම"
මම ආයෙම හිස උස්සලා බලද්දී එතන උන්නේ භූප. ඔහු මා දිහා නොබලා අහක බලාගෙනයි උන්නේ. මොකක්දෝ හේතුවකට හිතට පිවිසුනේ සියුම් දුකක්.
"ප්‍රෙෂී මේ ජේෂ්ඨයව දන්නවද?" කලින් මට කතා කරපු ජේෂ්ටයා ඇහුවා.
භූප ආයෙම මා දිහා බලද්දී, මගේ දෑ තිබුණේ කඳුලු වලින් බොඳ වෙලා. ඒ පාර ඔහු මා දිහා මොහොතක් බලාගෙන උන්නේ ගල් ගැහිලා වගේ.
"මං කියපු එක ඇහුන්නැද්ද ප්‍රෙෂී?"
ඒ පාර භූපගේ යාලුවා ඇහුවේ සැරෙන්. මම 'ඔව්' කියලා හිස වැනුවා.
"ආ...ප්‍රෙෂී එහෙනම් ජේෂ්ඨයන්වත් දන්නවනේ..." ඔහු ඇදලා පැදලා කියද්දී භූප නොසන්සුන් වෙනවා මට පෙනුනා.
"ජේෂ්ඨතුමා අපි යමු" භූප ඔහුගේ මිතුරා දිහාට හැරිලා කිව්වා.
"ඉන්නකෝ, ඉන්නකෝ ටිකක්. ඔබතුමාව දන්නේ කොහොමද කියලා අහගන්න" භූප කියන දේ අහන්න ඔහු ලෑස්ති වුණේ නෑ.
"ජේෂ්ඨතුමා අපි යමු" භූප ඒ පාර කිව්වේ තරමක් තදින් වගේ. .
"හරි හරි. ඔච්චරම කියන්වනම් අපි යමුකෝ. හැබැයි මම ආපහු එනවා ප්‍රෙෂී ඈ..." එහෙම කියන මිතුවත් ඇදගෙන භූප යන්න ගිය.
මට සැනසුම් සුසුමක් හෙලුනේ එයාලා එතනින් ගියාට පස්සේ. ඒත් ඒක එතනින් ඉවර වුණේ නෑ ඊලඟ මොහොතේ මං ඉස්සරහ පෙනී හිටියේ ගොඩක්ම නපුරු කියලා නම ගිය ජේෂ්ඨ සිසුවෙක්. ඔහුට අපි 'යකා ජේෂ්ඨයා' කියලා අනවර්ත නමකුත් පටබැඳලා තිබුණේ ඒ නපුරු කම හින්දමයි.
"ඒයි ප්‍රෙෂී...උඹ හේදෙනවනේ..." එහෙම පටන් ගත්තු බැනුම් පෙල, තව තව දරුණු වුණේ ගල් වරුසාවක් වගේ. ඔහු මට කොච්චර බැන්නද කිව්වොත් අන්තිමට මම උන්නේ අඬමින්.
"ආයෙම හේදුනොත්, මම බලා ගන්නම්" ඔහු යන්න ගියේ එහෙම කියාගෙන.
"ප්‍රෙෂී...ප්‍රෙෂී.. මේ බලන්න" මම පැත්තකට වෙලා අඬමින් ඉන්දැද්දි මගේ ලඟට ආපු ජේෂ්ඨ සිසුවියෝ දෙන්නෙක් මාව ඇමතුවත්, මම ඒ අය දිහාවත් බලන්න ගියේ නැහැ.
"ප්‍රෙෂී දැන් අඬන්න එපා. ආයෙම ඔය ලොකු සීනියර්ස්ලා කතා කලාම මගෑරලා ඉන්නකෝ. එතකොට හරි. කෝ මේ ලේන්සුව අරන් කඳුලු පිහ ගන්න" එයින් එක්කෙනෙක් මගේ දිහාට ලේන්සුවක් දික් කරලා කිව්වා.
මම ඒක අතටවත් නොගෙන පිටි අල්ලෙන් කඳුලු පිහ ගත්තා. මගේ හිතේ තිබුණේ සකල ජේෂ්ඨයෝ වෙනුවෙන්ම ඉපදුනු තරහක්.

"ඒකා නම් මහා එපා කරපු එකෙක්. මට පේන්න බෑ. කොයි වෙලේ කාට බනින්නද කියලා ඉන්නේ. යක්ෂය" චතුරි හවස බෝඩිමට ඇවිත් ඇති තරම් බැන වැදුනා.
මම එතකොටත් උන්නේ දවල් වුණ සිද්ධිය හන්දා පෑරුණ හිතින්.
"ඔයා ඕවා ගණන් ගන්න එපා දුලාරා. ඔය යකා මට හැමදාම උදේට බනිනවා" අපේ අල්ලපු කාමරයේ ඉඳලා මෙවෙලේ අපේ කාමරයට ඇවිත් හිටපු නිලීකා කිව්වා.
"මිනිහට මූලග්ගින්නද කොහෙද. අපි හරියට කතා කරගෙන හේදෙනවා වගේ කියන්නේ" නිලීකාගේ කාමරයේ හිටපු අනෙක් යෙහෙලිය වුණු සුජානි ත් කිව්වා.
"මොනා කිව්වත්, ඔයා අඬන්න එපා මීට පස්සේ. අපි අඬද්දී තව වැඩියි කරදර" නිලීකා ආයෙම මට කිව්වා.
මට සුසුමක් හෙලුණේ ඉබේටම. කොහොමහරි කාගෙන ඉන්නවා කියලා හිතේ එකතු කර ගත්තු ධෛර්යය තුනී වෙලා යන්වා වගේ මට දැනෙමින් තිබුණා. ආයෙම ගෙදර යන දවස ඉක්මණින්ම එල්ඹේවා කියලා හිතමින් මම කැලැන්ඩරය දිහා බැලුවා. මහේ යෙහෙලියෝ නම් තවමත් අවලාද කියමින් ඉන්නවා ඒ අතරේ මට ඇහුණා. සිකුරාදා වෙන්න තව දවස් දෙකක් ඉතිරි වෙලා තිබුණා.
       
"මීරිගම ටිකට් එකක් දෙන්න..." සිකුරාදා හවස තුනහමාර වෙද්දි  මම හිටියේ සරාසවි උයන station එකේ. තුනයි හතලිස්පහට එතනින් යන කොළඹ කෝච්චියේ ගෙදර යන්න. මම කෝච්චිය එනකල් වාඩි වෙලා ඉන්න අතරේ මට ඒ දවසෙ වුණ දේවල් මතක් වුණා. තුන හමාරට ගෙදර යන්න අවසර ගත්තෙත් හරිම අමාරුවෙන්. ගෙවල් දුර නොවෙන හන්දා නිලීකලට නම් මට ලැබුණ අවසරය ලැබුණේ නෑ.
ඒ දවසේ නම් අපට වැඩිපුර බැනුම් අහන්න වුණේ නෑ. සිංදු කියන්නයි, වෙන වෙන හිනා යන වැඩ කරන්නයි තිබුණ හන්දා ඒ දවසේ මගේ හිතේ  ඒ තරම් කැලඹීමක් තිබුණේ නැහැ. කල්පනාවෙම උන්නු හන්දා මට එහා පැත්තෙන් කෙනෙක් ඇවිත් වාඩි වුණ වගවත් මට නොදැනුන තරම්.
"දුලාරා..." තවත් විනාඩියකට විතර පස්සේ මට ඇහුණේ වෙන කාගෙවත් නෙවෙයි භූපගේ කට හඬ. මම ඔහු දිහාට හැරුණේ ගැස්සිලා වගේ.
"භූප?"
ඔහු මා දිහා බලලා හිණාවුණේ අපහසුවෙන් වගේ.
"ඔයා බය වුණාද?" ඔහු ඉන්පස්සේ ඇහුවා.
"නෑ" මම එහෙම කියද්දි, කෝච්චිය දැන් එන වග නිවේදනය කලා station එකෙන්.
"ඔයත් අද ගෙදර යනවද?" මම ඇහුවේ ඉඳගෙන උන්නු තැනින් නැගිටලා වේදිකාවේ ඉස්සරහට එන ගමන්.
"හ්ම්..." ඔහුත් බෑග් එක අරගෙන මා එක්කම එමින් කිව්වා.
මම වටපිට බැලුවේ බැරි වෙලාවත් සීනියර් කෙනෙක් ඉන්නවද කියලයි. ඒ කොහොම වුණත් භූප ඉන්න එක හන්දා සිතට දැනුනේ අස්වැසිල්ලක්.
"කෝච්චිය එනවා...හැබැයි හිටගෙන තමා යන්න වෙන්නේ" භූප එහෙම කිව්වේ, station එකෙත් තරමක් සෙනග උන්නු නිස වෙන්න ඇති.
"කමක් නෑ. පැය දෙකක් යයි නේ වැඩිම"
"බලමුකෝ...කලබල නොවී නගින්න හොඳේ" භූප මට එහෙම කියලා ඈත එන කෝච්චිය දිහාවට ඇස් හැරෙව්වා.
දුම් රිය වේදිකාවෙ හිටපු මිනිස්සු සේරම කෝච්චියට නගින්න, ඒ එක්ක දුවන්න සැදී පැහැදී බලාගෙන හිටියා. අන්තිමේදි කෝච්චිය නැවැත්තුවාම මමයි, භූපයි අමාරුවෙන් ඒකට නැග ගත්තා.
කෝච්චියේ සෙනග ඉන්න වග පෙනි පෙනීත සමහර මිනිස්සු සීට් හොය හොය පිස්සුවෙන් වගේ එහාට මෙහාට ගියේ ඇයිද කියලා මට නම් හිතාගන්න බැරි වුණා. මොකද හිටගෙනත් සෑහෙන පිරිසක් ඒකේ හිටියනේ.
අවුරුදු ගාණක් කෝච්චියේ ගිහිල්ල පුරුද්දට අපි දෙන්නම හිටගත්තේ දොර ලඟ. බෑග් එක බිමින් තියලා, පෙට්ටියට හේත්තු වුණාම දැනුනේ දැන්මම ගෙදර ගියා වගේ හැඟීමක්. මට ඉස්සරහින් පෙට්ටියට හේත්තු වෙලා උන්නු භූප මා දිහා බලලා යන්තම් හිනා වුණා.
"එදා...අර මම තව කෙනෙක් එක්ක ඇවිත් කතාබහක් වුන දවසේ ඔයාට ගොඩක් බැනුම් අහන්න වුණාලු නේද?" මොහොතක් දෙකක් නිහඬව හිටපු ඔහු එහෙම ඇහුවා. ඔන්න කෝච්චියත් යන්න පටන් ගත්තා. භූප අහපු එකට මම කලේ ඉවත බලාගෙන සුසුමක් හෙලපු එක.
"මම දැක්කා ඔයා අඬනවා. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නෑ දුලාරා. අපේ බැච් එක නෙවෙයි නේ. ඒ නිසා ඒවට ඔලුව දාන්න විදිහක් නෑ. දන්නවනේ ඊට පස්සේ වෙන වෙන ප්‍රශ්ණ ඇති වෙනවා" ඔහු කිව්වේ සේරම වැරදි ඔහුගේ පිටම පටවගෙන වගේ.
"ඔයාට ඒකට කරන්න දෙයක් නෑ කියලා මම දන්නවා භූප. ඔයා හිතේ අමාරුවක් හදා ගන්න එපා" මම ඔහු දෙස නොබලම කිව්වා.
"ඔයාට මේක අමාරු නම් ඔයා මේකට නෑවිත් ඉන්න දුලාරා" ආයෙම මොහොතක් නිහඬව උන්නු ඔහු එහෙම කිව්වා.
කෝච්චිය පේරාදෙනිය දුම් රිය ස්ථානයේ නැවැත්තුවාම, අපි දෙන්නා මැදින් සෙනග ගොඩාරියක් කෝච්චියට නැග්ගා. අන්තිමේදි ඔහුව මට පෙනුන වෙලාවේ මම ඒ මූණේ දැක්කේ විඩාබර පෙනුමක්. මූණ පුර වැවුණු රැවුලයි, මුදු මුදු වගේ කැරලි ගැහුණු හිසකේයි තවත් දික් වෙලාදෝ කියලා මට හිතුණා. භූපගේ නිදිබර ඇස් දෙක තිබුණ මං දිහාට යොමු වෙලා.
"ඇයි ඔයාම නේද දවසක් කිව්වේ රැග් නොවුණොත් වැඩක්  නෑ කියලා?" මම ඒ ඇස් දිහා බලාගෙන ඇහුවා.
"රැග් වෙන්වා කියන්නේ, කාගෙන්වත් බැනුම් අහලා අඬන එක නෙවෙයි. ඒක එහෙම වෙන එක වැරදියි"
"අනේ මන්දන්නෑ. මට නම් රැග් එක ඔය නොවෙනවා කියපු එකම විතරයි. උදේ හිටන් අපි කරන්නේ බැනුම් අහන එක මිසක වෙන මොකක්ද?" මම කිව්වේ උපහාසෙන් වගේ.
"ඔයාට බැරි නම් අල වෙන්න. දැන් වුනත් පුලුවන්" භූප ආයෙම කීවේ නො ඉවසිල්ලෙන් වගේ.
"ඇයි? ඇයි මට අල වෙන්න කියන්නේ?"
භූප එවෙලේ මගේ නෙත් මගෑරලා ඉවත බලාගෙන කතා කරන්න වුණා.
"ඔයා අඬද්දී මට දුක හිතුණා දුලාරා. මට මතක් වුණේ මගේ නංඟිව. ඔයත් මට ඒ වගේ. මම ඔයා දන්නේ පොඩි කාලේ ඉඳලා. එහෙමත් වෙලා ඔයා නිස්කාරණේ අපි හන්දා බැනුම් අහලා අඬද්දී මට දුක හිතුණා. ඒකයි"
ඔහු එහෙම කිව්වම මට ඔහු ගැන දැනුනේ මොකක්දෝ විදිහක සෙනෙහසක්. ඒ හැඟීමෙන්ම මම ඔහු දිහා බලලා හිනාවුණා.
"මම දුලිතට කිව්වා, ඔයාව බලාගන්නවා කියලා. ඒත් මට ඒක කරන්න බැරි වුණා"
"ඒ ගැන වැඩිය හිතන්න එපා භූප. රැග් එක හැමදාම තියෙන්නේ නෑනෙ. ඒකත් ඉවර වෙන්න එපැයි. කොහොමටත් අල වෙලා, මට රැග් එක දරන්න බෑ කියලා අර යක්ෂ ජේෂ්ඨයට පෙන්නන්න මට ඕන නෑ. මම කොහොමහරි ඉවසගෙන ඉන්නවා" මම කිව්වේ අධිෂ්ඨානශීලීව.
"අයියා වගේම නංඟිත් චන්ඩි නැතෑ නේද?" භූප මට එහෙම කියලා හිනා වෙද්දි මමත් ඔහු එක්ක එකතු වෙලා හිණා වුණා.
කොච්චිය හෙමි හෙමින් කොළඹ දිහාවට ඇදිලා යද්දි, අපි එක එක වල් පල් කියෝ කියෝ, රැග් එක ගැන මත පල කර කර උන්නා. එවෙලෙත් භූප මට තවත් එක අඳුනන කෙනෙක් වුණා විතරයි. ඒ අඳුනන කම් ජීවිතේ කොටසක් වේවි කියලා එවෙලේ නම් මම කොහොමටවත් හිතුවේ නැහැ.
භූප එදා යන්න ගියේ මාව ගෙදරට ඇරලවලාමයි. එවෙලේ එතරම්ම රෑ වෙලා නොතිබුණත් භූප් මා එක්ක ගෙදරටම ආවා.  ඒත් අම්මයි, පොඩි අයියයි ටිකක් ඉඳලා යන්න කියලාපෙරැත්ත කරද්දිත්, ඔහු යන්න ලෑස්ති වුණේ තේ එකක් වත් බොන්න නො ඉඳ.
"ඉනාවක් දාලා දෙයි කියලා වෙන්න ඇති අම්මා" මම එහෙම කිව්වේ යන්න එලියට බැහැලා උන්නු භූප දිහා බලලා.
"එහෙම දෙයක් නෙවෙයි. මට පොඩි වැඩක් තියෙනවා ගිහින් කරන්න. අදම මගේ ගෲපොන්ට දන්න ඕන හෙට වැඩේ පටන් ගන්න. ඒකයි" භූප කිව්වා.
"ඉතිං බං උඹ අපරාදෙනේ එහෙනම් ගෙදර ආවේ" පොඩි අයියා කිව්වේ විහිලුවට වගේ.
ඒ පාර භූප යන්තමට මා දිහාත් බලලා පොඩි අයියට හිනාවක් පෑව.
"එන්න හේතුවක් තියෙද්දි, ඉන්න හිත දුන්නේ නෑ බං. ඉස්සරහට වැඩ වැඩි වෙන හන්දා ගෙදර එන්න තියෙන කාලේ අඩු වෙන්න පුලුවන්. ඒකයි"
"හා හරි හරි. පලයංකෝ. මම හෙට හවසට ඒ පැත්තේ එන්නම්. හෙට අරූත් එනවා. මේ අපේ චේතිය. මම ඌත් එක්ක එන්නම්" පොඩි අයියා කිව්වා.
හිස වනපු භූප යන්න හදද්දි මම ආයෙම ඔහුව ඇමතුවා.
"කේතකීට කියන්න මාත් හෙට එනවා කියලා"
"හරි ඕ කේ"

Thursday, June 27, 2013

පස්වන කොටස



අන්තිමේදි විශ්වවිද්‍යාලේ යන්නේ අදයි කියන දවසත් එලඹුණා. මට දැනුනේ ලියුම ආදා ඉඳලා වේගෙන් කාලේ ගියා වගේ. කලින් එක දවසක ගිහින් රෙජිස්ටර් වෙලා ආවාත්, අද මට යන්න වෙලා තිබුණේ එහේ නවතින්නම බලාගෙන. ඒක මගේ හිතට එකතු කරලා තිබුණේ මහා සාංකාවකුයි, දුකකුයි. මට පේරාදෙනියේ යන්න, චේතිය කැමැත්තෙන්ම එයාගෙ වාහනේ අරගෙන ඇවිත් තිබුණේ අයියා එපා කියද්දිමයි. අම්මලා වුණත් ඒ ගැන සතුටු නොවුණත්, කරන උදව්ව ගැන නම් ඔහුට ස්තුතිවන්ත වුණා.
"පිස්සුද ඇන්ටි...මේක මොකක්ද? යාලුවෝවෙනුවෙන් පණ වුණත් දෙන්න ලෑස්ති කොල්ලෝ අපි. නැද්ද දුලාරා? චේතිය කිව්වේ හිනා වෙවී.
කොහොමහරි අන්තිමේදි අපි පේරාදෙනියේ එන්න ආවේ චේතියගේ වාහනේ මයි. අපි යද්දි ගලහ හන්දියේ බස් නැවතුමට වෙලා භූප අපි එනකල් මග බලාගෙන උන්නා. ඒ ඔහු මට හොයලා තිබුණ බෝඩිමට අපිව එක්ක යන්න.
භූප හොයලා දුන්න බෝඩිම කොහොමවත් ගෙදර වගේ සුව පහසු එකක් නම් වුණේ නැහැ.මගේ කාමරයටත් වඩා පොඩි කාමරයක් තව ගෑණු ළමයෙක් එක්ක බෙදා ගන්න මට සිද්ධ වෙලා තිබුණා. ඒ ගෑණු ළමයත් මම වගේම අලුතින් විශ්ව විද්‍යාලෙට එන කෙනෙක්. මේ වෙලාවේ ඈ හිටියේ කාමරෙන් එලියේ අම්මලා ලඟට වෙලා අඬ අඬ. මටත් ඇඬෙන්න ඔන්න මෙන්න කියලයි තිබුණේ.
"අනේ මන්දා මේ කුකුල් කූඩුව වගේ එක අස්සේ මේ ළමයි කොහොම ඉන්නද?" වටපිට බලපු අම්මා එහෙම කිව්වම එතන උන් පොඩි අයියා "ෂ්" කියලා ඇගේ කතාව නැවැත්තුවා.
"අනේ අම්මා...කෑ ගහන්න එපා. භූපට ඇහුණොත්. ඒ මනුස්සයා මොනා හිතයිද? පේන විදියට මේක තමා හොඳම තැන. භූප දන්නවනේ අපේ විදිහ. දැනට ඉන්නකෝ ඔයා. පස්සේ තව හොයලා බලමු. කැම්පස් එකට ඇවිදගෙන යන දුරනේ" පොඩි අයියා එහෙම කියලා මාව සනසන්නට උත්සාහ කලා.
"ඔන්න බඩු සේරම ගෙනාවා. අර, එහා පැත්තෙත් මේ වගේම කාමර ගොඩක් තියෙනවා. මට පේන්නේ තව ළමයි හුඟක් ඉන්නවා වගේ" මගේ බඩු බාහිරාදිය අරගෙන කාමරයට ආපු තාත්තා කිව්වා.
"ඔව් අන්කල්. අපේම අය තමා ඉන්නේ" කොහේදෝ ඉඳලා මතුවුණු භූප කියනවා මට ඇහුණා.
"ඔන්න අන්තිම බෑග් එක" එහෙම කියාගෙන ඊලඟට ආවේ චේතිය. "ඔයාට මෙතන ලඟ හන්දා මිසක්ක, නැත්තම් මගේ ලොකු අප්පච්චි ඉන්නේ අස්ගිරියේ. මට එහේ වුණත් කතා කරලා දෙන්න තිබ්බා. බලමු නේද? මෙහේ අවුල් නම් මම කතා කරන්නම්. කොහෙද අපේ ගෙවල් තියෙන්නේ දිගන නේ. නැත්තම් එහේ වුණත් තියාගන්න තිබුණා. එහේ ඉඳන් දුර වැඩි නේ"" චේතිය කිව්වේ වට පිට බලමින්.
"අනේ පුතේ පිස්සුද. ඔච්චර කරදර වෙන්න ඕන නෑ. මේ තැනේ කිසි වරදක් නෑනෙ. අනික ඉතිං දවසම ඉන්නෙත් නෑනෙ" එහෙම කිව්වේ තාත්තා.
"කැම්පස් එකට ලඟින්ම ඉන්න එක තම හොඳ. ඒක තේරෙන්න යන්න එන්න ගියාම, විභාගේ දවස් වලට එහෙම" පැත්තක හිටපු භූපත් කිව්වා.
"යන එන එක නම්  මොකක්ද? ලොකු අප්පච්චිගේ පුතා මෙහේ ඉංජෙක්. second  year. පොර එන්නේ වාහනේ, කිව්වොත් එයා ගෙනැත් දාවි" චේතිය ආයෙම කිව්වා.
මම පොඩි අයියා දිහා බැලුවා.
"පිස්සුද මචං? උඹ මේ කරපු උදව්ව ඕනවාටත් වඩා වැඩියි. කරද වෙන්න ඕන නෑ. භූප කියනවා වගේ මෙතන ඉන්න එක කෝකටත් හොඳයි" පොඩි අයියා එහෙම කිව්වා.
"ඔව් පුතේ. කරදර වෙන්න ඕන නෑ තවත්" අම්මත් කිව්වා.
"භූපත් මේ ලඟද ඉන්නේ?" එහෙම ඇහුවේ තාත්තා.
"ඔව් මාමෙ. මෙතන ඉඳන් ටික දුරයි අපේ හොස්ටල් එකට තියෙන්නේ"
ඒ අය කතා කරන අතරේ මම ආපහු කාමරේ සිසාරා බැලුවා. මගේ ඇඳට යාබදව තිබ්බ අනෙක් ළමයාගේ ඇඳ දැක්කම මට මතක් වුණේ කේතකීව. මෙහේ එන්න කලින්දා ඈව හමු වෙලා සමුගත්ත විදිහ මතක් වෙලා මගේ හිත තවත් සාංකාවෙන් බර වුණා. ඈවත් හිටියා නම් මට මෙච්චර තනිකමක් නොදැනේවි කියලා මට හිතුණා.
"එහෙනම් ඉතින් අපි දැන් යමු නේද? රෑත් වෙනවනේ. කොච්චර හිටියත් ඉතින් යන්න එපැයි" අන්තිමේදී තාත්තා එහෙම කිව්වා.
මගේ උගුර හිරවෙලා, ඇස් වලට කඳුලු පුරාගෙන ආවා. මම අම්මාගේ අතක් තදින් අල්ලාගෙනම උන්නා.
"අපි එහෙනම් යන්නද පුතේ. රෑ වෙද්දි අමාරුයි නේ ඩ්‍රයිව් කරන්නත්. මේ ළමයා කොලඹ යන්නත් ඕන නේ. ඔයා සිකුරාද ගෙදර එනවනේ. හොඳ දෝණි වගේ දැන් නාඬා ඉන්නකෝ" කඳුලු බේරෙන ඇස් වලින් යුතුව මම ගොලු වෙද්දී තාත්තා මගේ හිස අතගාලා කිව්වා. අම්මා නම් මොනවත්ම නොකියා ඔසරි පොටින් කඳුලු පිහිමින් අහක බලාගෙන හිටියා. 
"ගිහින් එන්නම් නංඟි අපි එහෙනම්" අම්මා ලඟ උන්නු චේතිය එහෙම කිව්වාම මම හිස වැනුවා.
පොඩි අයියා කතා නොකරම ඇවිත් මගේ දෑතම තදින් අල්ලගෙන මහිස සිපගත්තා. එවෙලේ තවත් උණු කඳුලු ධාරාවක්ම කම්මුල් හරහා බිම පතිත වුණා.
"පරෙස්සමින් ඉන්න සුදු නංඟි. රැග් වෙන්න එහෙම යන්න එපා. තේරුණාද?" ඔහු හෙමින් කියද්දී මම හිස වැනුවා.
"මම ඉන්නවනේ. බය වෙන්න එපා" භූප කියනවා මට ඇහුණා.
අන්තිමේදි හැමෝගෙන්ම සමු ගත්තට පස්සෙත් අම්මා ආයේ ඇවිත් මාව ඉඹලා, කඳුලු පිසිමින් යන්න ගියා. හැමෝම වාහනයේ නැග්ලා පිටත්වෙලා යද්දී මට පපුව හිර කරවන තරම් දුකක් දැනුනා. ආයෙම කඳුලු කැට කිහිපයක් සට සට ගාලා බිම පතිත වුණා.
"අඬන්න එපා දුලාරා. පළවෙනි දවසේ ඔහොම තමා. කල් යද්දී සේරම හුරු වේවි. කෝ ඉතිං දැන් කඳුලු පිහ ගෙන හොඳ ළමයා වගේ කාමරේට යන්න. මොකක් හරි උවමනාවක් උණොත් මට කෝල් එකක් දෙන්නකෝ ඈ. ආ...අනික තමයි, කැම්පස් එද්දි ෆෝන් එක අරන් එන්න එපා මේ දවස් වල. ඔය ඉතිං තාම අඬනවනේ. මේ අහන්න දුලාරා. ඔයා මොනාටවත් බය වෙන්න එපා. ඕන දේකට මම ඉන්නවා. හරිද? දැන් යන්න. මාත් යන්න ඕන. අපි කැම්පස් එකේදි හම්බවෙමු එහෙනම්"
භූප මට එහෙම කිවා. මම ඔහු දිහා බලලා හිස වැනුවා. ඔහු ඉන්න එක හිතට පොඩි අස්වැසිල්ලක් නොගෙනාවම නෙවෙයි. ඔහු මා දිහා බලාගෙන උන්නේ දයාබරව.
"යන්න. කාමරේට වෙලා ඉන්නකෝ. කොහොමටත් ගොඩක් ඇවිදින්න, එලියට එන්න එපා මේ දවස් වල. තාම ඔයාලා අලුත් නේ. මොනා හරි ඕන වුණොත් මට කියන්න. මං යන්නද එහෙනම්? " භූප එහෙම ඇහුවම මම හෙමින් හිස වැනුවා.  ඊට පස්සේ භූප යන්න ගියා. 
මම දිග සුසුමක් හෙලා ආපහු කාමරය ඇතුලට ගියා. අස් කරන්නට දේවල් ගොඩක් තිබ්බත් මට උදාසීන, නිදිමත ගතියක් දැනුනා. මේ වෙලාවේ කාමරයේ අනෙක් ඇඳ අසල හිටපු  ගැහැණු ළමයා මං දිහා බලලා මද සිනාවක් පෑවා. මාත් පෙරලා හිනාවුණා.
"අම්මලා ගියාම දුකයි නේද ගොඩක්?" ඈ ඇහුවා. ඇගේ ඇසුත් අඬලමදෝ රතු වෙලා වග මට පෙනුනා.
බූසියක් වගේ කොණ්ඩෙයි, රවුම් මූණයි, පුශ්ටිමත් දේහයයි නිසා මට ඈව පෙනුනේ මහත හාවෙකු වගේ. ඒ වගේම ඈට කාන්තිමත් ඇස් දෙකකුයි සුන්දර හිනාවකුයි තිබුණා. මම ඈ අහපු දේට හිස වැනුවේ ආයෙම හිත දුකෙන් බර වෙද්දි.
"මම චතුරානි. ඔයා ?" ඈ මගෙන් ඇහුවා.
"මම දුලාර, දුලාරා සඳගෝමි"
"ලස්සන නමක්" ඈ එහෙම කිව්වේ යන්තම් හිනා වෙලා. මම ත් හිනාවෙන්න උත්සාහ කලා.
ඉතින් ඔන්න ඔය විදියට මගේ ජීවිතේ සරසවි ජීවිතය කියන පරිච්චේදය ඇරඹුණා. චතුරානි, එහෙම නැත්තම් චතූ, මං එක්ක ගොඩක්  හිතවත් වුණා. ඒත් ඒක හුදෙක්ම නිශ්චල ඇරඹුමක් වුණා විතරයි. ඒකේ චංචල පැතිකඩ දකින්න අපට තව කල් තිබුණා.
සරසවියේදි දැනුන පාලුව තනිකම මකාගන්න මට ලොකු අස්වැසිල්ලක් වුණේ චතූ. කේතකී තරම් හිතට ලං නොවුණත් චතූ හොඳ ගැහැණු ළමයෙක් කියලා තේරුම් ගන්න මට ඉක්මණින්ම පුලුවන් වුණා. අපි කැම්පස් එකට ගිය පළවෙනි සතිය ඇතුලේදී සැලකිය යුතු දෙයක් සිද්ධ වුණේ නෑ. හඳුන්වාදීමේ උත්සවය දා අපිත් එක්ක බොහොමත්ම සුහදව කතා කරපු 'අයියලා අක්කලා' අපට කිසිදු කරදරයක් කරාවියි කියා හිතන්නටවත් බැරි තරම් වුණා. මේ අතරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් හදාරන්න තෝරාගත්තු අපි වෙනුවෙන් ඉංග්‍රීසි පංතියක් විතරක් මුල් සති කිහිපයේ පැවැත්වෙනවා කියලා අපට දැනගන්නට ලැබිලා තිබුණා. අපේ මුළු කණ්ඩායමේම සිසු සිසුවියන් තුන්සීයක් විතර උන්න. දවස් එක එක ගෙවිලා යද්දී අපි එක එක්කෙනා එක්ක වඩ වඩාත් යාලු වුණා. එයිනුත් මම ගොඩක්ම කැමති වුණේ (චතුරි ඇරුණු කොට) කටකාර, දඟකාර කෙල්ලක වූ තාරකායි තාරකාට නොදෙවෙනි වෙච්ච හසිනිටයි. අපි හතර දෙනාම එකම අනු කණ්ඩායමක උන්නු හන්දා අපි ගොඩක්ම ඉක්මණට යාලු වුණා.
"සමහරවිට දැන් රැග් නොකරනවද දන්නවයැ?"
තවමත් කිසිදු වෙනසක් නැති එක ගැන කතාවෙමින් ඉන්න අතරතුරේ චතුරි කිව්වා.
"හිතාගන්න බෑ මේ අය මොනා කරන්න යනවද කියලා. හරි බැරි වෙලාවත් රැග් කලාම කියමු, අපට අල වෙන්නත් පුලුවන්නේ" එහෙම කිව්වේ හසිනි.
හිසේ මුදුනට කරලා බැඳල තිබූණු කොණ්ඩය ඈ කතා කරද්දී එහා මෙහා සෙලවෙන විදිහ මම නිනව්වක් නැතිව බලාගෙන උන්නා.
"ඔයා මොකද කරන්නේ දුලාරා?"
"ආ...ම්ම්...මොකක්ද? මමද? අනේ මන්දා. මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් මෙහේ ඉන්නවා. එයා නම් කියන්නේ රැග් නූනොත් වැඩක් නෑ කියලා. ඒත් මට නම් ඒ කතාව ගැන ෂුවර් එකක් නෑ" මම කිව්වා.
"බලමුකෝ මොකද වෙන්නේ කියලා" තාරකා මේසය ලඟින් නැගිටිමින් කතාව ඉවර කලේ එහෙම.
මේ කාලෙදි මම විශ්ව විද්‍යාලෙදි භූපව දැක්කේ ඉඳ හිට වගේ. එහෙම වෙලාවක වුණත් හිනාවෙලා ඉක්මණින්ම යන්න ගියා මිසක කතා කරන්න ඔහුට වෙලාවක් තිබ්බේ නැති ගාණයි. ඒ හින්දම මෙහාට ආපු පළවෙනි දවසින් පස්සෙම අපි කතා කලේම නැහැ. සමහරවිට භූප එහෙම කලේ හිතලමද කියලත් මට හිතුණා. ඒත් ඔහු එහෙම කලේ ඇයි කියලා මම දැනගත්තේ පස්සේ. ඒ මොක වුණත් මට ඒ වග ඒ තරම්ම නොතේරුණේ, දැන් දැන් බැච් එකේ යාලුවෝ එක්ක මම ගොඩක් හිතවත් වීගෙන ආපු නිසයි.
මම සතිඅන්තේ ගෙදර ගියත්, කේතකීව මුණගැහෙන්න වෙලාවක් වුණේ නැහැ. මොකද ඈ ආයෙම පංති යන්න පටන් ගෙන තිබ්බ හන්දා. ඈ ගෙදර එද්දි හවස් වෙන හන්දා සති දෙක තුනක්ම මට ඇගේ ගෙදර යන්න වුණෙත් නැහැ.
එක දවසක සති අන්තයේ ගෙදර ගිහිල්ල ටිකක් රෑ බෝ වෙලා ආපු මායි චතුරියි ඊලඟ දවසේ වෙන්න යන පෙරලිය ගැන නොදැන සැනසිල්ලේ ඇඳට වැටිලා නිදාගත්තේ සුපුරුදු උදෑසනම බලාපොරොත්තුවෙන්. එහෙත් නිසංසලව ගෙවුණේ උදය වරුව විතරයි.
දවාලේ ඉංග්‍රීසි පංතිය ඉවරවෙලා බෝඩිමට යන්න එද්දී, බෝඩිං  වලට නොගිහින් අපේ පීඨයේ පොදු කාමරය දිහාට පේලියට ඇදෙමින් හිටපු බැච් එකේ අනෙක් අය අතරට අපටත් එක් වෙන්න සිද්ධ වුණා. අපි ඇතුලට යද්දි එතන තිබුණේ එකම ගාල ගෝට්ටියක්. සමහරු තමන්ගේ පොත් බෑග් ඔලුව උඩ තියාගෙන ඉන්නවා අපි දැක්ක. ඊට පස්සේ ලඟ උන්නු කෙනෙක් අපට සැරෙන් වගේ කිව්වේ අපේ බැගුත් ඔලුව උඩ තියා ගන්න කියලා. මට දැනුනේ එකපාරම අහස කඩාවැටුනා වගේ හැගීමක්.
ඊලඟට සිද්ධ වෙච්ච සේරම ගැන කෙටියෙන්ම කිව්වොත්, ඒ සිදු වෙමින් තිබුණ සේරම තරමක් බිය උපදවන සුලු මල විකාරයක් වගේ කියලා කිව්වොත් මම හරි.
හදිසියේ වුණ මේ වෙනස හන්දා, අපිට සිහි එලවාගන්නත් තව ටික වෙලාවක් යන්න ඇති. මම යන්තම් ඇස් උස්සලා වට පිට බලද්දි, වටේම තිබුණේ නපුරු කර ගත්තු මූණු ගොඩක් විතරයි. ඒ ඇරුණම කන කාරවන විදිහේ මහා ඝෝෂාවකින් මුලු පොදු කාමරේම පිරිලා ගිහින් තිබුණා. ඒ මුලු වරුවම ගෙවුණේ නම ගම අනික් අයට කියන්නයි, බැනුම් අහන්නයි විතරමයි. අන්තිමේදි දවස ඉවර වෙද්දි මාත් ඇතුලුව තව බොහොමයක් ගැහැණු ළමයි උන්නේ අඬමින්. හිතින් වගේම ගතිනුත් විඩාපත්ව වෙලා අපි බෝඩිම් වලට ගියේ වැනි වැනී වගේ. තේරුමක් නැතිව බැනුම් අහන්න වුණ හන්දා හිත තිබුණේ හොඳටෝම අවුල් වෙලා. ඒත් මේ වුණ දේවල් ගෙදරට කියන්න මට හිතුණේ නැහැ. ඒ ගෙදර අය කලබල වේවි කියලා හිතුණ හන්දා.  අම්මා රෑ කථා කරපු වෙලාවේ වුණත් මම ඒ දවසේ වුණ කිසිම දෙයක් කිව්වේ නැහැ.
"මට නම් හෙට යන්නත් බයයි දුලාරා" කෑම කන වෙලාවේ චතුරි මට එහෙම කිව්වා.
"හ්ම්ම්...මටත් එහෙමයි. අනේ ඇයි චතූ එයාලා අපට මෙහෙම බැන්නේ? අපි මොනා කරාටද?"
"මොනවත් කරාට නෙවෙයි, අපිව ඕන දේකට මූණ දෙන්න ලෑස්ති කරන්න කියනවනේ"
"කවුද එහෙම කියන්නේ?"
"එහෙම නිසාලු ඔහොම කරන්නේ කියලා මම අහලා තියෙනවා"
"ඒක යකාගේ කතාවක්නේ. බැනලා කොහොමද මිනිස්සුන්ව ධෛර්‍යමත් කරන්නේ?"
"අනේ මන්දා. එහෙම තමයි කියන්නේ" චතූ සුසුමක් හෙලුවා.
"ඒක මහම මහා පිස්සු කතාවක් එච්චරයි" මම කිව්වා.
"ඒත් ඉතිං අපට එක අහන්න පුලුවන්ද? කියන්න පුලුවන්ද?"
"හ්ම්ම්...ඒක නම් ඇත්ත" වෙන මොනවත් හිතාගන්න බැරි වුණ හන්දා මට වුණේ මගේ තර්කෙම ගිල ගන්න. එහෙම කලා වුණත්, මට ඕන වුණේ නෑ නිකරුණේ බැනුම් අහන්න. ඒත් අපට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. හිත ගොඩක්ම ඔද්දල් වෙලා උන්නු ඒ වෙලාවේ මගේ හිතේ තිබුණේ ජේෂ්ඨයෝ ගැන ලොකු කලකිරීමක් එක්කම තරහක් විතරයි.