Monday, January 13, 2014

අවසරයි ලං වෙන්න: තිස්හත්වන කොටස

"දෝණී... කෑම කන්න එන්න හොඳ ළමයා වගේ. අරහේ තාත්තා බලාන ඉන්නවා"
අම්මා ඇවිත් මට කතා කලා උදේ කෑම කන්න.
හිතේ වේදනාව නිසාම හිත ඔද්දල් වෙලා හිටපු මම අමාරුවෙන් වුණත් එලියට ගියේ තවත් අම්මගෙයි තාත්තගෙයි හිත් රිද්දන්න මට බැරි නිසා.
"මට තේරෙන්නේ නෑ ළමයෝ මොනා කරන්නද කියලා. මේ ළමයා අඬන හැටි දැක්කම මගේ හිත වාවන්නේ නෑ. පොඩි කාලේ ඉඳන් අපි එයාව හැදුවේ මලක් වගේ. කාලේවගේ තුරුලු කරන් නලවන්න පුලුවන් නම්, ආයෙම දුකක් වෙන්නෑ කියලා අපට සහතික වෙන්න පුලුවන් නම්, කඳුලු පිහලා සනසන්න පුලුවන් නම්...මම ඕන දෙයක් දෙන්න ලෑස්තියි එහෙම වෙනවා නම්. ඒත් එයා දැන් ඉල්ලන දේ දෙන්න අපට බෑ පුතේ. දැන දැන ජීවිතේ අවුල් කරගන්න ඉඩ දෙන්නේ කොහොමද අපි එයාට?"
මම සාලෙට යද්දි මට ඇහුණා තාත්තා එහෙම කියනවා. මම එතනම බිත්තියට හේත්තු වුණේ ඇස් වලින් ආපහු කඳුලු කැට ගොඩක් වැටෙද්දි. තාත්තා, අම්මා, මගේ භූප, මේ හැමෝම ගැන උපන් දුක නිසා.
"දෝණි...පොඩ්ඩක් ඔහොම හිටියා නං"
කතාවක් නැතිවම කෑම කාලා ඉවර වෙලා මම එන්න නැගිටින්න හදද්දි තාත්තා මට කිව්වා.
"තාත්තේ?"
"අපි තීරණය කලා ආපහු ඔයාව කැම්පස් යවන්න" තාත්තා එහෙම කිව්වම මම හොඳටම පුදුම වුණා.
"ඔය ඇත්තම තාත්තේ?" මම ඇහුවේ ඒක අදහාගන්න බැරිව.
"ඔව්...මේ වෙච්ච දේවල් නිසා ඔයාගේ ඉගෙනීම කඩාකප්පල් වෙනවට අපි කැමති නෑ" තාත්තා ආයෙම කිව්වා.
මම අම්මා දිහාත් බැලුවේ හිනාවෙන්න උත්සාහ කරන ගමන්. කාලාන්තරේකට පස්සේ හිතේ ඇති වෙලා තිබූණේ සතුටක්.
"හැබැයි...ඔයා මීට පස්සේ නවතින්නේ හොස්ටල් නෙවෙයි" තාත්තා එහෙම කිව්වාම මගේ සතුට එක පාරටම අපැහැදිලි වුණා වගේ. මම තාත්තා දිහායි, අම්මා දිහායි බැලුවේ කිව්ව දේ තේරුම් ගන්න බැරිව.
"මේ චේතිය ළමයා තැනක් හොයලා තියෙනවා ඔයාට නතර වෙන්න. පිට කවුරුවත් නෙවෙයි මේ ළමයගෙම ලොකු තාත්තලගේ ගෙදර"
"අස්ගිරියේ" තාත්තට පස්සේ චේතිය කිව්වා.
එච්චරයි. මගේ සතුට එහෙමම එතනම වියැකිලා ගියා. මම බිම බලාගත්තේ ඒකයි.
"දුවට බය වෙන්න දේකුත් නෑ, මොකද පොඩි පුතාගේ ගෑණු ළමයා ඉන්නෙත් එහේ නෙ" එහෙම කිව්වේ අම්මා.
"ඔව්. එයාම තමයි කිව්වේ ඔයාව එහේ ගෙනත් නවත්තන්න පුලුවන්නේ කියලා. එහේ තව අක්කලා දෙන්නෙක් ඉන්නවා. අනුක් ඉන්නවා. ලොකු අප්පච්චි නම් එන්නේ සතියකට සැරයක් වගේ තමා. ගෙදර වැඩට ඉන්න වයසක උන්දලා දෙන්නෙකුයි, ගෙදර watcherයි, driver සීයයි ඉන්නවා. ඒහේ ඕන තරම් ඉඩත් තියෙනවා, පාඩම් කරන්න නිදහසත් තියෙනවා.  ඔයාට කැම්පස් යන එන ප්‍රශ්ණෙකුත් ඇති වෙන එකක් නෑ. මොකද අනුක් උදේට කැම්පස් යනවනේ. එයා යන්නේ එයාගේ කාර් එකේ. එයා නැති දවසට driver සීයා ඔයාව ගේන්න ගෙනියන්න ඉන්නවා. මම හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. ලොකු අප්පච්චිටත් මම සේරම කියලා තියෙන්නේ. ඉතිං ඔයා විදියට කැමති නම්, හෙටම වුණත් යන්න පුලුවන්. අනික මාත් සතියට දවස් දෙකක් Kandy  නේ ඉන්නේ" චේතිය ආයෙම කිව්වා.
"කරදර වුණත් මේ ළමයි මේ දේවල් මෙහෙම ලෑස්ති කරලා තිය්න්නේ ඔයා හන්දා පුතේ. ආයෙම ඔයාට ඉගෙන ගන්න ඉඩ හදන්න ඕන නිසා. තේරුණාද? නිසා දැන්වත් අපි කියන දේ අහලා මේකට කැමති වෙන්න" අම්මා මට කිව්වා.
මම මුකුත්ම කිව්වේ නැහැ ඒත්.
"ඔයා කැම්පස් ගියාට පස්සේ ඔයා එහෙදි කරන්නේ නොකරන්නේ මොනවද කියලා අපි දන්නේ නෑ දෝණි. ඒත් අපි හිතනවා ඔයා ආයෙම පාරක් අපේ විශ්වාසේ බිඳින්නේ නැති වෙයි කියලා. මොනා වුණත් ඔයා අපි කියන දේ අහනවා කියලා, අපි ගැණත් හිතනවා කියලා පොඩි හරි විශ්වාසයක් තියෙන නිසා තමයි අපි ආපහු ඔයාව මෙහෙම යවන්නෙත්. ඔයාට ඒක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. නිසා කරන්න යන වැඩේ හරියට කරන්න හිතාගන්න. ආයෙමත් මේ වගේ අපි හැමෝගෙම හිත් රිදෙන වැඩ කරන්න නම් එපා දෝණි" අම්මා එහෙම කිව්වේ ගොඩක්ම කරුණාවෙන් වගේ.
මම බිම බලාගෙන හිටියේ හිත මොකක්දෝ දුකකින් පිරෙද්දි. අම්මා කියන්නේ ගොඩ වෙලාවට තාත්තාට වඩා ඉක්මණට කලබල වෙන, තරහා යන කෙනෙක්. ඒත් අද අම්මා මට කතා කලේ ගොඩක්ම කරුණාවෙන්.
"ඔයාට තේරුණා නේද මම කියන දේ?" අම්මා ආයෙම ඇහුවාම මම යන්තමට හිස වැනුවා.
"ඉරිදා අපි කෙලින්ම හොස්ටල් ගිහින් ඔයාගේ බඩු ටිකත් අරගෙනම යමු. නැත්තම් ආයෙම ඔයාට ඕවා ඇද ඇද ඉන්න බෑනෙ" එහෙම කිව්ව්වේ චේතිය.
"මේ කරන උදව් වලට අපි පුතාට කොහොම ස්තුති කරන්නද මන්දා" ඊටපස්සේ අම්මා චේතියට කිව්වා.
"ඔව් ඒක නම් ඇත්ත. නැත්තම් මේ හදිසියේ අපට බෝඩිං හොයන්නයි, හොයලා බලන්න කියන්නයි, ඔය සේරම කරන්න විදියක් වෙන්නේ නෑනෙ. ඒත් ඉතිං මම නම් තාමත් හැටි කැමැත්තක් නෑ ඔය ළමයින්ට කරදර කරන්න. මේක ඉතිං ඇත්තටම ලොකු උදව්වක් නෙව" තාත්තත් කිව්වා.
"එහෙම හිතන්න එපා අන්කල්. මේ ගෙදර අන්කල්ලා මාව කී දවසක් නවත්තගෙන ඇද්ද, මට කොච්චර වේල් ගාණක් කන්න දීලා ඇත්ද? මේ මම කරන්න මහ ලොකු උදව්වක් නෙවෙයි. අනික දුලාරා යන්නේ පිට ගෙදරකටත් නෙවෙයිනේ. තමන්ගෙම නෑයෝ වෙන්න ඉන්න ගෙදරකටනේ. ඇන්ටිලා කොහොමවත්, මොන දේකටවත් බය වෙන්න ඕන නෑ. මම ඉන්නවනේ" චේතිය කිව්වා.
මම මොනවත්ම ඇහුණ නෑහුණ ගාණට ඔහේ හිටියා විතරයි. එක පැත්තකින් මට අම්මලට අකීකරු වෙන්න කොහොමවත් බැරි වෙද්දි, මේ විදියට චේතිය එක්ක තියෙන බැඳීම් වැඩි කරගන්නත් මට ඕන වුණේ නෑ. මේ හැම උදව්වක්ම ගන්න ගන්න අන්තිමට මට වෙන්නේ ඒකට ප්‍රති උපකාරයක් විදියට ඔහුටම අයිති වෙන්න කියන එක තේරුම් ගන්න මට අනාගතේ ගොඩක් දුර දකින්න ඕන වුණේ නෑ.
"දැනට ඉතිං අපට තියෙන හොඳම විසඳුම මේක නේ. අපි එහෙම කරමු දෝණි. වෙන විකල්පයක් නෑ" ලොකු හුස්මක් ගත්තු  තාත්තා එහෙම කිව්වා.
මම අප්පච්චි දිහා බැලුවේ අසරණව. ඒත් මට හිතන්න ගොඩක් දේවල් තිබුණේ නෑ. මට ඕන වුණේ කොහොම හරි මුලින්ම කැම්පස් එකට යන්න. ඉතිරි දේවල් ඊට පස්සේ බලා ගන්නවා කියලා මම හිතුවා. අඩු ගාණේ මට භූපව දකින්නවත් ලැබේවි කියන ඕනකම හිතේ තිබුණා.
"තාත්තලගේ කැමැත්තක්" මම අන්තිමට එහෙම කිව්වා.
"හොඳයි. එහෙම නම් ඊලඟ සතියේ සඳුදා කැම්පස් යන්න බලාගෙන අපි ඉරිදා ඔයාව ගිහින් දාන්නම්. එහෙම හොඳයි නේද චේතිය?" තාත්තා කිව්වා.
"ඔව් අන්කල්. No problem. මම සේරම ලෑස්ති කරන්න කියන්නම්" චේතිය කිව්වා.
ඊට පස්සේ මම කාමරේට ආවේ සේරම හැඟීම් දැනීම් සාලෙම ඉතිරි කරලා වගේ. දුකක් වත් සතුටක් වත් හිතේ තිබුනේ නෑ. හෙට දවස ගැන පැහැදිලි අදහසක්, සැලසුමක් තිබ්බෙත් නෑ. ඒත් එකම එක උවමණාවක් තිබ්බා. භූපව එකපාරක් මුණගැහිලා චේතිය කියපු දේවල ඇත්ත නැත්ත දැනගන්න එක. මම කොහොමහරි ඒක කරනවා කියලා නම් මම තරයේම හිතා ගත්තා. ඒත් අම්මලා ගැන හිතද්දි හිතේ වරදකාරී හැඟීමක් ඇති නොවුණා නෙවෙයි. 'එක පාරයි..එකමෙක පාරයි' මම මටම කියාගත්තේ නිසා. ඒත් කවුරු මොනවා කිව්වත්, ආත්මෙන්ම කරපු ආදරයක් හිතේ වලලන්න මට පුලුවන් වේවිද?
****
ඉරිදා දවල් මම අම්මයි, තාත්තයි එක්ක හොස්ටල් එකට යද්දි චේතිය එතනට වාහනේම ඇවිත් හිටියා. පේරාදෙනියෙන් බැහැපු වෙලේ ඉඳන් මගේ හිත තිබුනේ දැවි දැවී. මායි භූපයි ඇවිදගෙන ගිය පාරවල්, අපි නාර වෙලා කතා කරමින් හිටපු තැන් හෙම දකිද්දි ඇස් දෙක තෙත් වුණේ ඉබේටම වගේ. හිතේ ඈත කොනක බලාපොරොත්තුවක් තිබුණා භූප ඈතින් හරි මට පෙනේවි කියලා. ඒත් ඔහු කොහේකවත් උන්නේ නෑ.
හොස්ටල් කාමරේට යද්දි මගේ යාලුවෝ තුන් දෙනාම පුදුමෙකට වගේ එහේ උන්නා. මගේ හදිසි පැමිනීමයි, මම මෙහෙන් යන්න යන කතාවයි ඇහුවම තුන් දෙනාම උන්නේ පුදුමයටත් කම්පාවටත් පත් වෙලා.
"ඉතිං    ඇයි මෙහෙන් යන්නේ?" එහෙම ඇහුවේ නිලීකා.
මගේ පොත් ටික බෑග් එකට අහුරන්න මට උදව් කරමින් හිටපු අම්මා මා දිහා බැලුවේ මම මොනාද කියන්න හදන්නේ කියලා බලන්න වගේ.
"අපේ නෑදෑ වෙන කට්ටියක් ඉන්නවා අස්ගිරියේ. අපි මෙයාව එහේ නවත්තන්න හදන්නේ. මෙයා බඳින්න ඉන්න ළමයත් එයාලගෙන නෑයෝ වෙනවා" පොත් ටික දාලා බෑග් එක වහන ගමන්ම නිලීකාගේ ප්‍රශ්ණෙට උත්තර දුන්නේ අම්මා.
පාර අනික් තුන් දෙනාම උන්නටත් වඩා තක්බීර් වෙලා වගේ මා දිහා බලාගෙන හිටියා.
මම බිම බලාගෙන හිටියේ දුකයි, අම්මා කියපු දේ ගැන හිතට දැනුන නොරිස්සුමයි දෙකම නිසා.
"ඔයා එහෙනම් එන්නකෝ හෙමින්. මම ගිහින් මේ බෑග් එක වාහනේට දාන්නම්" අන්තිමේදි අම්මා මට එහෙම කියලා යන්න ගියේ මම චතුලා එක්ක හෙමින් common room එක පැත්තට යද්දි.
"මොකක්ද දුලා මේ හතරබීරි කතාව?" අම්මා ඇහෙන මානෙන් ඈත් වුණ ගමන් එහෙම ඇහුවේ තාරකා.
"හැමදේම ඉවරයි තාරු. අපේ ගෙදරින් භූපට කැමති නෑ. ගිය සති අන්තේ මම ගෙදර ගියාම සේරම එලියට ආවා. මම හෙට ඇවිත් තව විස්තර කියන්නම්. දැන් කියන්න බෑනෙ. යන්නත් එපැයි" මම කිව්වේ සුසුමක් හෙලලා.
හිතේ තිබ්බෙත් ලොකු  දුකක්. හරියට නොකා නොබී හරි, පිස්සු නට නට හිටපු තැනයි, යාලුවෝ ටිකයි දාලා නඳුනන තැනකට මට යන්න වෙන හන්දා.
"හයියෝ...මාර වැඩේ නේද? ඉතිං කෝ දැන් භූප?" එහෙම ඇහුවේ නිලීකා.
"මම දන්නේ නෑ නිලී"
"එයාව මම ගිය සඳුදා නම් දැක්කා. ඊට පස්සේ දැක්කෙම නෑ. මම නම් හිතුවෙව නෑ ඔයා එන්නේ නැත්තේ මෙහෙම දෙයක් වුණ නිසා කියලා. මට ඇත්තටම මාර දුකයි දුලා" චතූ කිව්වේ දයාබරව.
"මොනා කරන්නද චතූ. දැන් මම ඔහේ ඉන්නවා, ඕන මගුලක් කියලා"
" කියන්නේ ඔයා භූපව අමතක කරනවා කියන එකද?" තාරකා ඇහුවා.
මම දිහා බැලුවේ දුකෙන්.
"මුලු ජීවිත කාලෙම උත්සාහ කලත් මට ඒක කරන්න බැරි වෙයි තාරු. මම භූපට තරම්ම ආදරෙයි. ඒත් මට අම්මලාගේ හිත් රිද්දන්ත් බෑ. මොනා කරන්නත් කලින් මම එයාව හම්බවෙන්න ඕන" මම කිව්වා.
තාරකා මගේ අතක් අල්ලගෙන මිරිකගත්තා.
"අපි ඔයාට ඕන උදව්වක් කරන්නම්. ඔයා බය වෙන්න එපා" ඊට පස්සේ කිව්වා.
මම හිනාවුණේ ලෙන්ගතු කමට ස්තුති කරන්න.
"ඔයා යන එක අපට පාඩුවක්. වගේම ඔයා නැතුව අපට ගොඩක් පාලුත් දැනෙයි" නිලීකා කිව්වා.
"ඒත් මට තරම් පාලුවක් දැනෙන එකක් නෑ. මම ආයෙම හිරකාරියක් වෙන්න යන්නේ. මම දන්නෑ නිලී. මට හෙට දවස ගැන බලාපොරොත්තුවක් නෑ. හැමදේම මට එපාවෙලා. මම මෙහෙම හරි ආවේ භූප හන්දා. මට අඩු ගාණේ එයාව බලන්නවත් හම්බවෙයි කියලා. නැත්තම් මට මේ මොනවත් ඕන නෑ" මම කියාගෙන ගියා.
"එහෙම හිතන්න එපා දුලා. හැමදේම වෙන්නේ හොඳටයි කියන්වනේ. අපි බලමු. හැම කලු වලාකුලකම රිදී ඉරක් තියෙනවා" චතූ කිව්වා මගේ අනික් අතින් අල්ලගෙන.
වෙද්දි අපි උන්නේ කොමන් රූම් එක ලඟ.
"භූප බැරි වෙලාවත් හම්බවුණොත් විස්තරේ කියනවද? මගේ ෆෝන් එකත් නෑ දැන්. මට වෙන විදියක් නෑ එයාට කතා කරන්න. හැමවෙලේම කවුරුහරි පිටිපස්සෙන් ඉන්නවා. අනේ ප්ලීස් චතූ, හම්බුණොත් කියන්න" මම අන්තිම විනාඩි කීපෙදි හදිසියෙන්ම චතූට කිව්වා.
"ෂුවර්...හොයාගෙන ගිහිල්ලා හරි කියන්නම්කෝ"
"ඒත් ඔයාට භූපව හෙට හම්බෙන්න පුලුවන් නේද? තාරකා ඇහුවා.
"එහෙම කරන්න බැරි වෙයි තාරකා. චේතියගේ හෙංචයියෝ කැම්පස් එක පුරාම. කවුද වත් මම දන්නෑ. ආයෙම කතා කරනවා වත් දැක්කොත් මගේ කැම්පස් ගමනත් ඉවර වෙයි...අඩු ගාණේ මේ දවස් ටිකේවත් මම මෙහෙම ඉන්න ඕන" මම කිව්වේ සුසුමක් හෙලලා.
යෙහෙලියෝ තුන් දෙනාම මා දිහා බලාගෙන උන්නේ දුකෙන්.
"අපට පුලුවන් උදව්වක් අපි කරන්න බලන්නම් දුලා. ඔයා යන තැනක පරිස්සමින් ඉන්න. හෙට හම්බවෙමු. ඔයා කියනවත් වගේ මේ දවස් වල පරෙස්සමින් ඉන්න එක හොඳයි තමා. නිසා අපි එකතු වෙලා මොනා හරි කරන්න බලමු" නිලීකා අන්තිමට කිව්වා මාව වැලඳගෙන සමු දෙන ගමන්.
"මං ගිහිං එන්නම්"
යෙහෙලියෝ කඳුලු පිරිච්ච දෙනෙත් වලින් බලා ඉඳිද්දි මම එන්න ආවෙත් කඳුලු පිහ පිහ මයි.

No comments:

Post a Comment