Friday, February 27, 2015

විහංඟනාවී- හතරවන කොටස

"නංඟිට ජොබ් එකක් හම්බුනාලු නේද?"
වැඩට යන්න දවස් දෙකකට විතර කලින් පන්සලට ගිහින් එන ගමනෙදි, මාමාලාගේ ගෙදරට ගොඩවුණ වෙලාවේ ගෙදර ඇවිත් උන්නු ලොක්කයියා ඇහුවේ හිනාවකුත් එක්ක.
ලොක්කයියා මාමගෙම කපාපු පලුව කියලා ගමේ හුඟක් අය කිව්වේ ඔහු මාමා වගේ හැඩහුරුකම් දරපු නිසාම විතරක් නෙවෙයි. ඔහුගේ ගතිගුණත් අතිනුත් මාමා වගේම සෞම්‍ය කෙනෙක් වුණ හන්දයි. කූරු කොණ්ඩේ ටිකක් කොටට කපලා දෙපැත්තට බේදලා පීරලා උන්නු ඔහුව අයුමිට පෙනුනේ කොලඹදි දැකපු ගොඩක් ඔෆිස් යන පිරිමි ළමයි වගේ පිලිවෙලකට ලස්සනට. ඔහුට තිබුණේ නැන්දගේ වගේ රවුම් ඇස් දෙකක්. ගමේ කොල්ලෝ අතරේ සන්සුන්, උගත් කෙනෙක් විදියට නමක් දිනාගෙන උන්නු හන්දා, ගමේ කෙල්ලොත් අයියට දැක්වුවේ මාර උනන්දුවක්. අයුමිගේ ගමේ යාලුවෝ නම් කිව්වේ ලොක්කයියා හරියට බිමල් ජයකොඩි වගේ කියලයි. ඒත් අයුමිට නම් එහෙමම පෙනුණේ නෑ.
"ඔව් පුතේ. අපි මේ පන්සලට ගිහින් එන්න ගියෙත් ඒකයි. පුතා ඊයෙද ආවේ?" උත්තර දෙන ගමන්ම අම්මා ඇහුවා.
"ඔව් නැන්දේ ඊයේ රෑ වුණා එද්දි. මම ඒ පැත්තේ එන්න උන්නේ විස්තර අහන්න"
අයියා අයුමි දිහා බලලා කිව්වම ඈ හිනාවුණා.
"BMICH එක ලඟලු නේද ඔෆිස් එක?"
"ඔව් ලොක්කයියේ" අයුමි උත්තර දෙන ගමන්ම ජොබ් එකේ විස්තරත් කෙටියෙන් ලොක්කයියට කිව්වා.
"ම්ම්...කියන විදියට නම් ජොබ් එක හොඳයි වගේ. ඒත් ඉතිං උදේ හවස ගෙදර ඉඳන් නම් යන්න එන්න අමාරු වෙයි නංඟි. කොල්ලෙක් වෙලා මටත් අමාරුයි. තාත්තා මට කිව්වා මේ බෝඩිමක් බලන්න කියලා. මම බලන්නම්කෝ" ඔහු ඊට පස්සේ කිව්වා.
"අනේ ඔව් පුතේ ඒක නම් ලොකුම උදව්වක්"
"ආ...මේ අක්කලනේ. මම ඒත් බැලුවා කවුද කියලා කටහඬ ඇහෙද්දි" ඒ අතරේ ගෙයි ඇතුලේ ඉඳන් එබුණේ නැන්දා.
"මේ පන්සලට ගියා නංඟියේ" අම්මා කිව්වේ ගේ ඇතුලට යන ගමන්.
"ම්ම්...හොඳ සුවඳක් එන්නේ, මොනවද පොලොස්ද?" අම්මා එහෙම අහගෙන කුස්සිය දිහාවට යනවා අයුමිට පෙනුනා.
"අම්මා මම ගෙදර ආ වෙලේ ඉඳලා කුස්සියේමයි. අරවා උයනවා, මේවා උයනවා" ලොක්කයියා කිව්වේ ඒ දෙන්නා යන දිහා බලාගෙන හිනා වෙවී.
"එකම පුතානේ ඒක වෙන්න ඇති" අයුමි කිව්වේ පොඩි එකෙක් වගේ.
"එකම පුතා කියලා ඉතිං කවලා මරන්න ඕනයැ නේ අයියේ?" මෙච්චර වෙලා නිහඬව උන්නු මල්ලි ඒ පාර කට දැම්මා.
ඒ කතා දෙකටම ලොක්කයියා හිනාවුණා විතරයි.
වත්ත පහල ලිඳට ගිහින් නාගෙන එමින් උන්නු අමාලියි, හිමාලියි ගෙට ගොඩවුණෙත් මෙවෙලෙම වගේ.
"ආනේ අයුමි අක්කා... දැන්ද ආවේ?" අමාලි ඇහුවේ ලොකු හිනාවක් පාලා.
හිමාලි නම් අයුමි දිහාට ආඩම්බර බැල්මක් හෙලලා මුකුත් නොකියම ගෙට යන්න ගියා. හිමාලිට වගේ අමාලිට දිග කොණ්ඩයක් නොතිබ්බ හන්දා, උරහිස් මත තිබ්බ හිසකෙස් වලින් බේරුණ වතුර වලින් ඇගේ පිට තෙත් වෙලා තිබ්බ වග අයුමිට පෙනුනා.
"කොණ්ඩේ පිහගත්තේ නැද්ද, තාම වතුර බේරෙනවා" අයුමි ඇහුවේ ඒකයි.
කට ඇදකරලා හිස ගස්සපු අමාලි හිනාවුණා. රවුම් ඇස් දෙකක් එක්ක, ටිකක් මහත ඇඟකුත් තිබ්බ හන්දම අයුමිට අමාලිව පෙනුනේ හරිම හුරතල් විදියට හැමදාමත්. ඈ මිටිත් හන්දා ඉස්කෝලේ කොල්ලෝඅ ඈට කිව්වේ අල බෝලේ කියලා. ඒ වෙලාවට ඈට කොච්චර තරහා යනවද කිව්වොත්, හිමාලි පරාදයි කියලා අයුමිට හිතුණ වෙලාවල් තිබුණා. ඒත් හුඟ වෙලාවටඇස් ලොකු කරගෙන, හැමවෙලේම හිනාවෙවී ඉන්න අමාලි, මාමලාගේ ගෙදර සීදේවිම කෙල්ල කියලා ආච්චි අම්මා නිතරම කියපු එකත් එක්ක අයුමිට එකඟ වෙන්න පුලුවන් වුණා, මොකද හිමාලිගේ නපුරුකමට වඩා හුඟක් හොඳ ගතිගුණ ඈ ලඟ තියෙන වග අයුමි දන්න හන්දා.
"ඉතිං කවද්ද ජොබ් එකට යන්න තියෙන්නේ?" අමාලි ඇහුවේ අයුමි ලඟින් වාඩි වෙන ගමන්.
"මේ එන සඳුදා අමා"
"හරි ෂෝක් අනේ. හැබැයි ඉතිං ඔයා ගියාම අපට පාලු වෙයි නේද සිතූ" අමාලි ඇහුවේ අයුමිගේ මල්ලි සිතුම්ගෙන්.
"අනේ මට නම් ඇති පාලුවක් නෑ" සිතුම් කිව්වේ අයුමිට දිව දික් කරන ගමන්.
"ඈ... බලමුකෝ නැති වෙයිද කියලා...පොඩි අක්කේ පොඩි අක්කේ කියාගත්තු ගමන් කොයි වෙලෙත්" අමාලි කට ඇද කලා.
"අමාලි...ඔය ඕපදූප කියෙවා මදෑ, ඔය රෙදි ටික වනන්නේ නැද්ද?" මේ අතරේ ආයෙම ඉස්තෝප්පුවට ආපු හිමාලි කිව්වේ අමාලිට රවන ගමන්.
"මේ යනවා..." අමාලි නැගිට්ටම හිමාලි ආයෙම ගෙට ගියා.
"අනේ කාට හරි බැරිද දන්නෑ අපේ අක්කට ඔය ඈත තූත්තුකුඩිය වගේ දිහාවකට මාරුවක් දෙන්න" අමාලි කිව්වම සේරටම හිනා ගියා.
"ඒත් ඉතිං පව් අර අහිංසක ලමයි ඉස්කෝලේ ඉන්න. මෙයා මල යක්සනී වගේනෙ...මම රෙදි ටික වනලා එන්නම්" අමාලි මුල් ටික කිව්වේ රහසින් වගේ.
ඈ ආයෙම මිදුලට බැහැලා ගෙයි පිටිපස්සට යන හැටි අයුමි බලාගෙන උන්නා.
"අපේ ලොකු නංඟි කියන කරන ඒව ගණං ගන්න එපා මද්දු. ඔයා දන්නවනේ එයාගේ හැටි" ලොක්කයියා හීන් සුසුමක් හෙලලා එහෙම කිව්වා.
අයුමි හිතුවා හිමාලි මුකුත් නොකියම ඇයි ලොක්කයියා එහෙම කතාවක් කිව්වේ කියලා. ඒත් ඈට ඒ එක්කම හිතුණා හිමාලි ගෙදරදි තමන්ට විරු ද්ධව මොනා හරි කියන්නවත් ඇති කියලා.
"අනේ පිස්සුද ලොක්කයියේ. මං මොනා හිතන්නද?"
අයුමි කියද්දි ඈට පෙනුනා මල්ලි තමන් දිහා ඇස් කොනකින් බලපු හැටි. ඒත්  හිමාලි කරපු දේවල් වලින් තවත් ඇගේ හිත රිදුණේ නෑ. ඒ සමහරවිට, ඒ වගේ හැඟීමක් නොදැනෙන තරමට ඇගේ හිත ලොකු උද්‍යෝගයකින් පිරිලා තිබ්බ නිසා වෙන්න ඇති.
*****
අවිස්සාවේල්ලේ බස් එකේ ඇවිත් බැහැලා තුම්මුල්ල හන්දියට අයුමි සඳුදා උදේ එන්න ආවේ ලොක්කයියා එක්කමයි. ඒ වෙනකොටත් බස් ගමන අයුමිට එපා වෙලයි තිබුණේ.
" නංඟිට එපාවෙලාද?" ලොක්කායියා ඇහුවේ ඒ බව දැකලද මන්දා.
"නෑ අයියේ" අයුමි හිනාවක් පාලා කිව්වා.
"මෙතනින් 154 නගින්න ඕන. ඊට පස්සේ ටික දුරයි" ලොක්කයියා කිව්වා.
කොහොමින් හරි යන්තම් අටට කාලක් විතර වෙද්දි ලොක්කයියා අයුමිව වැඩ කරන තැනට ඇරලුවා. ඔහු යන්න ගියේ හවස අයුමි එක්ක යන්න එන වග කියාගෙනම.
අලුත් තැනක, අලුත් මූණු මැද අයුමි ලොබි එකට වෙලා වාඩි වෙලා හිටියේ අපහසුවෙන්. රිසෙප්ෂන් එකේ හිටපු ගෑණු ළමය හසිකා. ප්‍රියන්ති එනකල් අයුමිට වාඩිවෙලා ඉන්න කියලා කිව්වේ ඈ. ටිකකින්, ප්‍රියන්ති, සමින්ද, තේ හදන අන්කල් එක්ක එහේ වැඩ කරපු   මාකටින් එකේ අස්මි සහ එරිකා (අයුමි මේ අයගේ නම් දැනගත්තේ පස්සේ) හෙමි හෙමින් ඔෆිස් එකට ආවා.
"ඔයා වැඩ කරන තැන තියෙන්නේ උඩ තට්ටුවේ සර්ගේ රූම් එකට එහා පැත්තේ. ඊට එහායින් තමා සමින්ද ඉන්නේ. සර් ආවම ඔයාට වැඩ ගැන විස්තර කියලා දෙයි. එතකල් මේ ඔෆිස් එකේ report, කරපු project ගැන විස්තර තියෙන magazine ටික ඔයා බලන්න. තව ඕන නම් උඩ අපේ පොඩි ලයිබ්‍රියත් තියෙනවා...." ප්‍රියන්ති අයුමිට ඉන්න තැන පෙන්නන්න එක්ක යන ගමන් කිව්වේ ඈ අතට මොනවදෝ සඟරා වගේකුත් දෙන ගමන්.
තමට වැඩ කරන්න තිබ්බ ඉඩවරය දැක්කම අයුමිට දැනුනේ සතුටක්. ඒ ඉඩ පොඩි වුණත්, මේසෙට දකුණු පැත්තෙන් තිබ්බ ලොකු ජනේලෙන් එලියේ ගාඩ්න් එක හොඳටම පෙනුන නිසා ඉඩ මදි වග එහෙම පෙනුනේ නෑ. ගාඩ්න් එකේ තිබ්බේ රොබරෝසියා ගස් දෙකක් තාමත් මල් නොපිපුණු. ඈට ලොකු screen එකක එක්ක desktop computer එකකුත්, තව ඇගේ වැඩ වලට ඕන වෙන දේවල් හෙමත් ඒ කාමරේ ඒ වෙනකොටත් තියලා තිබුණා.
"ඔයාට ඕන ඔක්කොම මෙතන තියෙනවා. සර්ම තමා මේවා ගෙන්නලා තියෙන්නේ. සර් කැමතියි හැමදේම හරියටම, පිලිවෙලටම වෙනවට. මම මේ කිව්වේ ඔයාට නිකං දැනගන්න" ප්‍රියන්ති කිව්වේ අයුමිගේ අතට පත්වීමේ ලිපිය දෙන ගමන්.
"සර් සැරද?" අයුමි ඇහුවම ප්‍රියන්තිට හිනාවක් ගියා.
"එහෙම සැර නෑ. ඒත් කේන්ති යනවා. එහෙමයි කියලා අපට බනින්නේ නෑ. ටිකකින් එයාම හරියනවා. එතකල් අපි අපේ වැඩක් බලාගෙන සද්ද නොකර හිටියම හරි. පස්සේ ඔය මොනවත් මතක නෑ එයාටම"
ප්‍රියන්ති එහෙම කිව්වත් අයුමිගේ හිතේ නම් තැවරුණේ පොඩි බයක්.
"එහෙනම් ඔයා වාඩිවෙලා ඔය ටික බලන්න. සර් ඇවිල්ලා එන්න කිව්වම මම ඔයාට කියන්නම්. ආ....කෑම කන කාමරේ තියෙන්නේ පහල හොඳේ" එහෙම කියලා ප්‍රියන්ති යන්න ගියා.
අයුමි ලොකු හුස්මක් අරන් මේසේ අසල කැරකෙන පුටුවේ වාඩි වෙලා තමන් අත තිබ්බ ලියුම දිහා බැලුවා.
"Designation: Junior Interior Decorator" ඒකේ උඩින්ම ලියලා තිබ්බේ එහෙම.
උදේ දහය විතර වෙද්දි අන්කල් තේ එකක් අරන් අයුමි උන්නු තැනට ආවත්, MD නම් ආපු පාටක් පේන්න තිබ්බේ නෑ. කාලා ආවේ උදේම හන්දා තේ එක අයුමිට දැනුනේ අමෘතය වගේ. magazine කියවලා ඈට නිදිමතකුත් එමිනුයි තිබුණේ.
"තාම සර් ඇවිත් නැද්ද අන්කල්?" අයුමි තේ අන්කල් යන්න හදද්දි ඇහුවා.
"ඇවිල්ලා මිස් ඉන්නේ. ගොඩ වෙලා ඇවිත්" අන්කල් එහෙම කියාගෙන යන්න ගියා.
අයුමි හිතුවා සර්ට ගොඩක් වැඩ හන්දා වෙන්න ඇති ඈට කතා කරන්න පරක්කු වෙන්නේ කියලා. අන්තිමේදි කම්පැනියේ project report  එකක් කියවන අතරේ බාගෙට ඇස් පියවෙමින් ඉන්න වෙලාවක ඈ ලඟ තිබ්බ ටෙලිෆෝන් එක නාද වුණා. අයුමි ගැස්සුන පාරට නිදිමතත් නැතිව ගියා.
"සර් ඔයාට එන්න කිව්වා"
ප්‍රියන්ති කිව්වට පස්සේ අයුමි උන්නු කාමරේ දොර ඇරගෙන එහා පැත්තේ තිබ්බ MD ගේ කාමරේට යන්න හැරුණා.
‘Ravin Kashyapa Senanayake- Managing Director’. දොරේ රිදී පාට පුවරුවක එහෙම ගහලා තිබුණා.
'රවීන්?' අයුමිට මතක තිබුණේ නෑ ඒ නම අහපු වගක්. දොර මැද තිබුණ විනිවිද පෙනෙන වීදුරු පටියෙන් අයුමි ආ වග දැකපු MD ඈට ඇතුලට එන්න කාතා කලේ ෆෝන් එකත් කනේ ගහගත්වනමයි. ඈ ඇතුලට ගියාම ඔහු ඈට වාඩි වෙන්න කියලා අතින් පෙන්නුවා.
ඔහු කෝල් එක ගන්න අතරේ අයුමි යන්න්තම් හොරෙන් වගේ බැලුවේ ඒ කාමරේ වටපිටාව. MDගේ මේසේ තිබ්බෙත් අයුමිගේ වගේම ජනේලෙට පැත්ත හරවලා. මේසෙට ඉස්සරහින් තිබුණ කබඩ් එකට උඩින් තිබ්බේ වියලි මල් කොල වලින් හදපු උස රාමු කරපු චිත්‍රයක්. මේසේ මත විවිධාකාරේ awards, trophies තියලා තිබුණා. ඒවා මැද තිබුනේ රාමු කරපු ෆැමිලි ෆොටෝ එකක්. ඒත් ඒක අයුමිට හරියටම පෙනුනේ නෑ. ඊට එහායින් තිබ්බේ attached bathroom එකේ වහපු දොර. මේසේට වම් පැත්තේ තිබ්බේ ලොකු කලු පාට ලී කබඩ් එකක්. ඒකේ උඩ තට්ටුව රාක්කයක් වගේ හදලා මොන මොනවදෝ පොත් වගයක් තියලා තිබුණා. ඒකට පැත්තකින්,  ඇතුල් වෙන දොර පැත්තේ ගහලා තිබ්බේ කම්පැනි එකේ රාමු කරපු සහතික. ඒ සේරම ඇරුණාම MDට කෙලින්ම පිටිපස්සේ තිබුණේ මොනවත්ම නැති සුදු පාට බිත්තියක්.
ඔහුගේ මේසේ මත සුදු පාට ක්‍රිස්ටල් වලින් වගේ කරපු ලස්සන ලෝක ගෝලයකුත්, රිදී පාට pen holder එකකුයි, කාඩ් හෝල්ඩර් එකකුයිත් තිබුණා. ඊට අමතරව තිබුණේ ඔහුගේ පැත්තට හරවපු පිංතූර රාමුවකුයි, ෆයිල් වගයකුයි, MDගේ ඇපල් ලැප්ටොප් එකයි විතරයි.
"So…Ayumi… Welcome to  Celeste... " MD ගේ හඬ ඇහුණමයි අයුමි මේසෙන් හිස උස්සලා ඔහු දිහා බැලුවේ.
හීන් හිනාවකින් සැරසුණ ඒ මූණ දැක්කම හිත ගැස්සුණේ ඇයි කියන්න අයුමිට තේරුණේ නෑ. ඈ හිතුවේ ඒ ඈ නොහිතපු වෙලාවක ඔහු කතා කල නිසාදෝ කියලා. ඔහුට තිබ්බේ නිදිබර වගේ ඇස් දෙකක් වුණත් ඒවයේ තිබ්බ බැල්ම තියුණුයි කියලා ඈට හිතුණා. ඔහු අද ඇඳලා උන්නේ සුදු පාට කපු අත්දිග කමිසයක්. ඒ නිසාමද මන්දා ඔහු පින් පාටයි කියලා අමුතුම සිතිවිල්ලකුත් මොහොතකට අයුමිගේ හිතට ආවා.
"අයුමි අද ගෙදර ඉඳලමද ආවේ?" MD හෙවත් රවීන් කතාව පටන් ගත්තේ එහෙම.
ඔහු දිගටම ඉංග්‍රීසියෙන් කතා නොකරපු එක ගැන අයුමිට දැනුනේ සතුටක්.
"ඔව් සර්"
එහෙම ඇරඹුණ කතාව අයුමිගේ පොඩි පොඩි විස්තර වගේ දේවල් එක්කම, ඊලඟට කරන්න ඕන වැඩ පැත්තට යොමු වුණා.
"මෙතන ඩිසයින් වැඩ දිගටම මෙච්චර කල් කලේ මම අයුමි. ඒත් දැන් එන ප්‍රොජෙක්ට් ලොකුයි, වැඩ වැඩියි ඒ නිසයි මම ඔයාව මෙතනට ගත්තේ. celeste කියන්නේ ඇත්තටම කිව්වොත් මගේ hobby එක. මේක මගේ බිස්නස් එක නෙවෙයි. මට තව බලන්න බිස්නස් කීපයක් තියෙනවා. ඉතිං මට ඕන, ඒ කියන්නේ ඉස්සරහදි ඔයාව මේ කම්පැනි එකේ මගේ Deputy Designer විදියට train කරන්න. ඔයාට අපි ලොකු training එකක් දෙන්න ලෑස්තියි. ඔයා මෙහේ confirm වුණාම ඔයාට degreeඑක වුණත් කරන්න පහසුකම් දෙන්න අපට පුලුවන්. ඒත් එකම දේ තමයි, ඔයාට පුලුවන්ද ඒ commitment එක ගන්න කියන එක. මොකද මම කලින් මේකට ගත්තු කොල්ලා මාස හයක් යන්න කලින් මෙහෙන් ගියා. training කරන්න ගියපු මගේ කාලේ අපරාදේ වුණාරවීන් කියද්දි අයුමි බොහොම අවධානෙන් ඒවා අහගෙන උන්නා.
මම ඔයාව ගන්න මූලිකම හේතුව ඔයාගේ ඇතුලේ මේ subject එක ගැන මම දැකපු උනන්දුව. ඔයා interview ආපු පලවෙනිදා vase එක හරි නෑ කියපු එකේ ඉඳන්, අටපෙතියා design එක කරපු වෙලාවෙදිත් මම ඒක ඔයා ඇතුලේ දැක්කා කියලා මට හිතුණා"
රවීන් එහෙම කියද්දි අයුමි බිම බලාගෙන හිස වැනුවේ ලැජ්ජාවෙන් වගේ කම්මුල් රත් වෙද්දි.
"මම මේ වැඩ වලට කැමතියි සර්...ඒකේ ඉස්සරහටම යන්න තමයි මගෙත් බලාපොරොත්තුව" අන්තිමේදි අයුමි කිව්වා.
රවීන් ඒ පාර යන්තම් හිනාවක් පෑවා.
"මහන්සි වෙලා වැඩ කලොත් දියුණු වෙන්න අමාරු නෑ අයුමි. ඕනම වැඩක්, වැඩක් කියලා ඔලුවට ගත්තොත් තමා ඒක කාලෙකදි එපා වෙන්නේ. ඒත් තමන් කරන වැඩේ enjoy කරන්න පුලුවන් නම් කරන වැඩේ වදයක් වගේ දැනෙන්නේ නෑ කොයිම වෙලාවකවත්"
රවීන් කියද්දි අයුමි හිස වැනුවා.
ඈ ඇස් උස්සලා බලද්දි රවීන් උන්නේ ඈ දිහා බලාගෙන හිනාවෙලා. අයුමිත් හිනාවක් පෑවා. මොකක්දෝ අහේතුක කාරණාවකට ඈට දැනුනා රවීන් ඉස්සරහදි ඇගේ හිත මොකදෝ අමුතුම හැඟීමකින් සැලෙන වග.
"ඔයා මේ දවස් දෙකේ අපේ projects, reports හෙම බලන්න. තව අපේ client ලා ගැන විස්තර බලන්න. ඔයා මෙහාට e mail address එකක් හදාගෙන මට ඒකෙන් mail එකක් දාන්න. මම ඔයාට තව material එවන්නම්. අපි ඒවා බලලා, idea එකක් අරගෙනම වැඩට බහිමු. හරි නේද?"
රවීන් සැහැල්ලුවෙන් වගේ එහෙම ඇහුවත්, අයුමිගේ නම් හිත තිබ්බේ ටිකක් බර වෙලා, වැඩ කොහොම වෙයිද නොදන්න නිසා.

"හා සර්" නමුත් ඈ හිස වනලා කිව්වා.

Tuesday, February 24, 2015

විහංඟනාවී- තුන්වන කොටස

අයුමි සඳුදා කොලඹ ගියෙත් මාමාත් එක්කමයි. අර කලු සුදු ලොබි එකේ වාඩි වෙලා ඉද්දි ඇගේ හදවත තිබ්බේ අහේතුකවම ගැහෙමින්. ඈ එතන ඉන්න අතරේ ඇතුලට ගිය එක ගෑණු ළමයෙක් එලියට ආවා. ඒ ගෑණු ළමයගේ අම්මද කොහෙද වාඩි වෙලා උන්නේ අයුමිට එහා පැත්තේ.
"මොකද වුණේ?" අයුමිට ඇහුණා ඒ අම්මා අහනවා.
"අනේ මේ විකාරයක් අම්මේ. කැලෑ මල් ඇරෙන්ජ් කරන්නයි...යමු අපි යන්න" අර ගෑණු ළමය කිව්වේ ඕනවට එපාවට වගේ.
අයුමිට හිතාගන්න බැරි වුණා එහෙම එපා වෙන්න තරම් දෙයක්ද කරන්න තියෙන්නේ දන්නෑ කියලා. ඉතිං ඈ තව ටිකක් නොසන්සුන් වුණා විතරයි.
"මිස් අයුමි එන්න"
receptionist කියද්දි ඈ පුටුවෙන් නැගිටලා පහල තට්ටු වේ වෙන කාමරේක තිබුණ ඉන්ටර්විව් එකට ගියා. ඈ ඒ කාමරේට ඇතුල් වෙද්දිම ඇගේ හිත පුදුමයකින් පිරුණා. කාමරේ වටේට තිබුණේ පෑන්ට්‍රියක වගේ ග්‍රැනයිට් මතුපිටක් තිබ්බ තට්ටුවක් වගේ එකක්. කාමරේ මැද රවුම් මේසයක් උඩ තියලා තිබ්බේ විවිධ වර්ගයේ මල් වර්ග, කොල වර්ග හෙම. කාමරේ එක කොනක උන්නේ එදා ඉන්ටවිව් එකේ උන්නු ගැහැණු ළමයා. වෙන කවුරුවත්ම හිටියේ නෑ. ඈ ඇතුල් වෙනකොටම  ඈ දිහා බලාගෙන හිනාවකින් මුව සරසගෙන හිටපු ගැණු ළමයවත් හරියටම දැක්කේ එදාද කියලා අයුමිට හිතුණේ ඇගේ ලස්සන මුදු මුදු වගේ කැරලි වුණ දිග කොණ්ඩේ දැක්කම. ඒ සුදු පාට කාමරයක් හන්දා, ඇගේ තලෙලු සමයි, පැලඳගෙන උන්නු ලොකු කලු කොටු රාමුවක් තිබ්බ කණ්ණාඩි දෙකයි අයුමිට වෙනමම පෙනුනා වගේ.
"එන්න...අද තියෙන්නේ පොඩි ටෙස්ට් එකක්" ඒ ගෑණු ළමය හිනාවේලා අයුමිට කියද්දි ඈ මේසේ උඩ තිබුණ මල් දිහා බැලුවා.
" පොඩි පේපර් එකක් තියෙනවා කරන්න මුලින්ම. ඒකට ඔයාට මේ ලැප්ටොප් එක පාවිච්චි කරන්න වෙයි. ඒකට විනාඩි හතලිස්පහක් දෙනවා. ආ...එදා ඔයා කිව්වනේ අපේ බෝඩ් රූම් එකේ මල් සැරසිල්ල හරි නෑ කියලා. ඔන්න දැන් මෙතන මල් තියෙනවා. ඔයාට පුලුවන් බෝඩ් රූම් එකට ගැලපෙනවා කියලා හිතෙන මල් සැරසිල්ලක් මේවයෙන් හදන්න. ඒකට ඔයාට ඕන තරම් කාලේ ගත්තට කමක් නෑ" ඈ අයුමිට විස්තර කලේ සුහදව.
මල් වාස් එක ගැන කතාවට ටිකක් ලැජ්ජ හිතුණත් අයුමි හිස වනලා බෑග් එක පැත්තක තියලා ලැප් ටොප් එක ලඟට ගියා.
"ඔයාට දැන් පටන් ගන්න පුලුවන්. මම මේ පිටිපස්සේ ඉන්නම්"
ලැප් ටොප් එකේ තිබ්බේ ඈ පාඨාමාලාවෙදි හදාරපු විෂයන් වල කරුණු ඇතුලත් කරලා. පිංතූර එක්ක හෙම තිබ්බ ප්‍රශ්ණ පත්තරයක්.. ඒකෙදි පාට ගැලපීම්, විවිධ බඩු කාමරේක තියන විදිය වගේ දේවලුත් අහලා තිබුණා. ඈට ඒක නම් ඒ හැටි අමාරුවක් විදියට දැනුනේ නෑ. ඒ අමාරු දේ වුණේ මල් සැරසිල්ල.
සැරසිල්ල කරන්න ගෙනැල්ල තිබුණේ සාමාන්‍යයෙන් භාවිත කරන රෝස, ඩේසි, ඕකිඩ් වගේ මල් නෙව්වෙයි, කැලෑ මල්. එතන ගොඩක්ම තිබ්බේ අටපෙතියා මල්. ඊට අමතරව කහ තැඹිලි පාටවල් මිශ්‍ර හැලිකෝනියා මල් තිබුණා කොලත් එක්කම. බඩල් හනස් ඉති කීපෙකුත් තිබුණා එහෙන් මෙහෙන්, මන්කි ටේල් කියන තෘණ මල් එක්කම. එක පාරටම අයුමිට හිතාගන්න බැරිවුණා මේ තරම් නොගැලපෙන පාට, වර්ග ගොඩකින් මොනා කරන්නද කියලා. ඈ ගිහින් රවුම් glass bowl එකක් වගේ පෝච්චියක් පැත්තක තියා තිබ්බ පෝච්චි ගොඩෙන් තෝරගෙන ආවෙත් අවිනිශ්චිත හිතකින් යුතුව.
ඈ හිතල හිතලා තීරණය කලා අටපෙතියයි, බඩල් හනසුයි වලින් විතරක් මල් සැරසිල්ල කරන්න. මල් දාමින්, ආපහු ගමින්, හිත හිත අයුමි ටික වෙලාවක් ගත්තා සැරසිල්ල හදන්න. ඒ හදන අතරේ ඈට ඇහුණා තව කෙනෙක් කාමරේට එනවා වගේ. ඒත් ඈ හැරිලා බැලුවේ නෑ.
"ආ...සර්..." ඈට ඇහුණා අර ගෑණු ළමයා කියනවා.
"සොරි..." කියනවා විතරයි අයුමිට ඇහුණේ ලඟ වචන පෙල ඔහු කිව්වේ රහසින් වගේ හන්දා.
අන්තිමේදි පැයකට විතර පස්සේ අයුමිට සෑහීමකට පත් වෙන්න සිද්ධ වුණා තමන් හදපු සැරසිල්ල ගැන.  අයුමි ඒ හන්දා පිටිපස්සට හැරුණා අර ගෑණු ළමයට තමන් වැඩේ කරලා ඉවරයි කියන්න.
එතකොට ඇගේ නෙත ගැටුණේ ඒ ගෑණු ළමයා අසලින් උන්නු කෙනා දිහාට. තද නිල් පාට සැහැල්ලු කමිසෙකුයි, ක්‍රීම් පාට කලිසමකුයි ඇඳලා උන්නු ඔහුව එක පාරටම දැක්කම අයුමිට අඳුනගන්න බැරි වුණේ ඔහු කොණ්ඩේ වෙනස් විදියකට පීරලා උන්නු හන්දා. ඒ හිටියේ එදා අයුමිව ඉන්ටර්විව් කරන්න හිටපු MD මයි. ඔහු අද කොණ්ඩේ පස්සට පීරලා අගිස්ස එකතු කරලා පුංචියට බැඳලයි හිටියේ. අයුමිට ඔහුව අදත් වෙනසක් නැතුවම කඩවසම් විදියටම පෙනුණා ඒත්.
"සැරසිල්ල ඉවරද?" ඈ දිහාත් තප්පරයක් දෙකක් විතර බලාගෙන උන්නු ඔහු ඇහුවා.
එතකල් මොකක්දෝ ලියමින් උන්නු ඇර ගෑණු ළමයක් හිස උස්සලා අයුමි දිහා බැළුවා.
"ඔව්" අයුමි හිස සෙලෙව්වේ බිම බලාගෙන.
"මට ඒක බලන්න පුලුවන්ද?" MD සුහදව ඇහුවමයි අයුමිට තේරුණේ තමන් ඉන්නේ මල් සැරසිල්ල වහගෙන කියලා. ඈ ඉක්මණින් එතනින් අයින් වුණා.
"ඔයා පොඩ්ඩක් එලියෙන් ඉන්න අයුමි මම කතා කරන්නම්" අර ගෑණු ළමයා එහෙම කිව්වම අයුමි බෑග් එක අරගෙන එන්න ආවා එලියට.
ආපහු ඇවිල්ලත් වාඩි වෙලා විනාඩි දහයක් පහලවක් විතර ගියාම  ඈව ආයෙම කැඳෙව්වා කලින් කාමරේටම. ඒ පාර ඇගේ සැරසිල්ල ඇරෙන්න අනික්වා සේරම අස් කරලා, රවුම් මේසේ අනික් පැත්තේ MD සහ අනික් ගෑණු ළමයා වාඩි වෙලා උන්නා.
"අද ආවට තෑන්ක්ස් අයුමි" අර ගෑණු ළමයා කියද්දිම වගේ MD ත් අයුමිගෙන් ප්‍රශ්ණයක් ඇහුවා.
"ආ... සොරි සර් අහන්න"
"එතකොට අයුමි හිතනවද මේ සැරසිල්ල අපේ කොන්ෆරන්ස් රූම් එකේ තියන්න තරම් හොඳයි කියලා" MD එහෙම ඇහුවේ අයුමි දිහා කෙලින්ම බලාගෙන.
ඈට එක පාරටම හිතාගන්න බැරි වුණා ඒකට මොනා කියන්නද කියලා. හැදුවට පස්සේ හොඳ නෑ කියන්නයැ.
"ඔව් සර්"
"ඒත් මේක මේ කරලා තියෙන්නේ අටපෙතියා වලින් විතරනේ. තව එතන මල් වර්ග කීපයක්ම තිබ්බනේ?"
"ඒත් ඒවා ගැලපෙනවා කියලා මට දැනුනේ නෑ" අයුමි කිව්වා.
"ඇයි විවිධත්වය තුලින් සුන්දරත්වයක් ගන්න බැරිද?"
"පුලුවන්, ඒත් අර කොන්ෆරන්ස් රූම් එකට ඒක හරියන්නේ නෑ. එහෙම විවිධත්වය හොඳයි බිත්තියක් අයිනේ තියෙන කබඩ් එකක් ලඟට, නැත්තම් රිසෙප්ෂන් එකට වගේ" අයුමි කිව්වේ හෙමින්.
"ම්ම්..." MD හිස හෙලුව්වා විතරයි.
ඒත් අයුමිට දැනුනේ නෑ ඈ තමන්ගේ අදහස ඔහුට ඒත්තු ගැන්නුවද කියලා හරියටම.
"ප්‍රියන්ති..." ඔහු එහෙම කියලා ඊලඟට අවස්ථාව දුන්නා ලඟ උන්නු ගෑණු ළමයට.
"අයුමිව තෝරගත්තොත් හෙට ඉඳන් වුණත් වැඩට එන්න පුලුවන් ද?" ඈ ඇහුවේ එහෙම.
"ආ...ඔව්" අයුමි කිව්වේ වැඩිය නොහිතා.
ඊලඟට ප්‍රියන්ති ඒ කම්පැනියේ වැඩ කරන වෙලාවල්, රස්සාවේ තත්වය වගේ සාමන්‍ය දේවල් ටිකක් ඈට විස්තර කලා. ඊලඟට ඕන පඩිය කීයද, එන්නේ කොහොමද තේරුණොත් වගේ දේවල් කීපෙකුත් ඇහුවා.
ඒ මුලු වෙලාවෙම MD නම් උන්නේ කිසිම දෙයක් නෑහෙන ගාණට ෆෝන් එක අතේ තියාගෙන බැරෑරුම් මූණක් මවාගෙන මොනවදෝ බලබල, ෆෝන් එක ඔබමින්.
"ඕකේ එහෙනම් අයුමි. සර් තව මොනා හරි අහන්න තියනවද?" ප්‍රියන්ති අහද්දියි ඔහු පියවි ලෝකෙට ආවේ.
"ආ...ඔව්. ඔයාට පුලුවන්නේ ලබන Monday ඉඳලා වැඩට එන්න? හෙට එන එක ටිකක් අමාරුයි නේ හදිසියේම නිසා නේද?"
MD එහෙම ඇහුවම අයුමි උන්නේ පුදුම වුණ පාර හුස්ම ගන්නත් අමතක වෙලා වගේ. ඈට හිතුණා ප්‍රියන්ති උන්නෙත් ඒ වගේම පුදුම වෙලා කියලා.
"පු...පුලුවන් සර්" අයුමි අන්තිමේදි වචන ගැටගහගත්තා.
"ඕකේ එහෙනම්. අපි Monday ඔයාව බලාපොරොත්තු වෙනවා. හරිනේ ප්‍රියන්ති..." ඔහු ඇහුවේ කිසිම වෙනසක් නැතිව පුරුදු ශාන්ත බවින්මයි.
"හරි සර් "
කිසිම විදියකින් බලාපොරොත්තු නූන විදියට සිද්ධ වුණ මේ දෙයින් කම්පනය වෙලා උන්නු අයුමි ගෙදරට එනකල්ම ආවේ මොකක්දෝ වෙලා වගේ. ඒත් ඇගේ හිත තිබ්බේ සතුටකින් පිරිලා දොරේ ගලන්න ඔන්න මෙන්න. මාමා ගැන කිව්වොත් මේ ආරංචිය අහලා කොළඹදි නැගුණ හිනාව ගමට එනකලුත් මාමගේ වතේ තිබුණද කොහෙද.
"අම්මේ...මාව අදම තෝරගත්තා" අයුමි ගෙට දිව්වේ එහෙම කියාගෙන.
එවෙලේමද කොහෙද ගෙදර ආපු අම්මටත් ඒක හිතාගන්න ටික වෙලාවක් ගියා.
"හානේ... කොච්චර එකකද?" ඊට පස්සේ ඒක තේරුම් ගත්තු වහාම අම්මා කිව්වෙත් හිනා කටක් එක්ක.
ආච්චි අම්මත් උන්නේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් වගේ.
"ඒක නොවැ මම කිව්වේ මේ පාර ඕක හරියනවා කියලා. මම අර ගමේ නුග ගහේ පඬුරකුත් බැන්දලා බාරවුණා" ඈ කිව්වේ එහෙම.
"එහෙනම් අක්කේ රුක් දෙයියොමද දන්නෑ ඔයාගේ බොසුත්" මල්ලි කිව්වේ ආච්චි අම්මටයි, අම්මටයි නෑහෙන්න රහසින් වගේ.
"එහෙම කියන්න එපා අනේ" මම කිව්වේ ඔහුගේ කරට අතක් දාගෙන හිනාවෙමින්.
"මේ පලවෙනි පඩියෙන් මට මොනා හරි අරන් ඕන ඈ?" මල්ලි ඊලඟට කිව්වා.
"හරි හරි ඒක බලමුකෝ"
එදා ගෙදර තිබ්බේ ලොකු සතුටකින් පිරිලා වගේ. අයුමිගේ හිතටත් දැනෙමින් තිබ්බේ ලොකු ශාන්තිදායක සතුටක්. ඒත් ඈ හිතුවේවත් නෑ මේ ඇගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වෙයි කියලා.

"දැන් ඔයාට වැඩට යන්න අලුත් ඇඳුමක් හෙමත් ගන්න ඕන වෙයි නේද?" අනුකි අයුමිගෙන් ඇහුවේ රෑ ලිඳ ලඟ දත් මදින වෙලේ.
"එහෙමට ඕන නෑ අක්කේ. ඔය තියෙන එක දෙක ඉස්සෙල්ලම අඳිනවා. ඊට පස්සේ පඩිය අතට ආවම තව එක දෙකක් ගන්න පුලුවන් නේ" අයුමි කිව්වා.
"ඒ වුණාට ඔයා යන්න හදන්නේ ටිකක් හොඳ තැනකටනේ. ඒ නිසා අලුත් ඇඳුමක් දෙකක් ගන්න ටිකක් අලුත් තාලේ. මම සල්ලි දෙන්නම්"
"අනේ ඕන නෑ අක්කේ. ගෙදර වියදනුත් තියෙනවනේ"
"පිස්සු නැතුව ගිහින් අලුත් ඇඳුමක් ගන්න. ඕක ගත්තා කියලා අපි හාමත් වෙන්නේ නෑ මෝඩියේ" අනුකි අයුමිගේ අතක් යන්තම් කොනිත්තමින් කිව්වේ ආදරෙන්.
අයුමිට ඇගේ සහෝදරිය ගැන දැනුනේ ලොකු සෙනෙහසක්. රෑ දවල් නැතුව ඉස්පිරිතාලේ මහන්සි වෙවී ඈ අමාරුවෙන් හම්බ කරන සල්ලිවලින් ඇඳුම් ගන්න අයුමිට හිතක් තිබුණේ නෑ. ඒ හන්දම අනුකි බලෙන් වගේ අයුමිව එක්ක ගිහින් ඇඳුම් දෙකක් ඈට අරන් දුන්නා ඉස් ඉස්සෙල්ලම රස්සාවට යන්න.
"මුල් සතියේ වගේ ගෙදර ඉඳන් ගිහින් බලන්න. ඒ වුණාට බස් එකේ දෙවේලේ යන එන එක නම් ලේසි වැඩක් නෙවෙයි. ඒ හන්දා ලඟ පාතකින් බෝඩිමක් වත් හොයාගන්න වේවි මට හිතෙන්නේ" මාමා ඇයුමේ යෑම් ඊම් ගැන කතා කරද්දි දැරුවේ එහෙම අදහසක්.
"ඒක නම් ඇත්ත මල්ලි. හැමදාම කොලඹ යනවා එනවා කියන එක කරන්න බෑ" අම්මත් කිව්වා.
අයුමි නිහඬව උන්නේ ඒ කාරණාව ඇගේ හිතට දුකක් එකතු කරපු හන්දා.
"අපි ලොකු පුතාට කියමු තැනක් හෝදිසි කරලා බලන්න කියල. මාමා කිව්වේව් ලොක්ක්කයියත් වැඩ කලේ කොළඹ හන්දා.
"ඔව්. එහෙම හොඳයි" අම්මත් කිව්වා.
"එහෙම කරමු නේද දුවේ?"

මාමා අන්තිමේදි ඈ දිහා බලලා ඇහුවම අයුමිගේ උගුර තිබ්බේ ඉදිමිලා වගේ. ඈ බිම බලාගෙන හිස විතරක් හෙලෙව්වේ ඒකයි.