අස්ගිරියේ මගේ අලුත් නවාතැන මම හිතපු තරම්ම නීරස තැනක් වුණේ නෑ ටික ටික පුරුදු වෙද්දි. එහේ අක්කලා හැමෝම වගෙ මට සැලකුවේ එයාලගෙම නංඟි කෙනෙක්ට වගේ. අනුක්ගේ නම් හැසිරීමේ වෙනසක් වුණේ නෑ. පුරුදු විදියටම වචනයක් දෙකක් කතා කරලා උන්නා මිසක. ඒ අය වගේම ගෙදර උයන පිහන වැඩ කරපු ලතා අම්මයි, අතුගාන අස් පස් කරන වැඩ වලට උන්නු සීලවතී නැන්දයි දෙන්නත් මා එක්ක ගොඩක්ම හිතවත් වුණා.
"දුලාරා නෝනට කියන්න අපේ ලොකු මැණිකේ ඉන්න කාලේ මේ ගෙදර පුදුම සිරියාවක් තිබුණේ. හැමදේම ගැන ඒ ඇත්ති හොයලා බැලුවේ අඩුවක් නතුව. අපට වුණත් සැලකුවේ ගෙදරම අයට වගේ. අනේ ඒ උත්තමාවි නැති වුණේ අපේම අහේතුවට තමා. ඒ නැති වුණත් හරි ලොකු අප්පෝ ගෙදර එන එකත් අඩු වුණා. අන්තිමේදි මේ අපි දෙන්නයි, අර දරුවෝ හතර දෙනයි මේ ගෙදර තනි වුණා. හනේ අප්පේ දැන් ඉතිං ගෙදර සේරම බලා කියාගෙන ලොකු මැණිකේ වගේ ඉන්නේ අපේ උත්පලා මැණිකේ තමයි...තමන් ගැන හිතන්නෑ හැමවෙලේම සහෝදරයෝ ගැනයි, අප්පච්චි ගැනයි තමා හිතන්නේ. මේ ගේ දොර වතුපිටි වල ආදායම් හෙම ගණං මිනුම් බලන්නෙත් අපේ උත්පලා මැණිකෙයි, යශෝ මැණිකෙයි තමා. හනේ ඉතිං මට තියෙන දුක මෙව්වා ගැනම බල බල ඉඳලා මේ ඇත්තිලා ගෙදරටම වේවිද කියලයි"
මට දවසක් ලතා අම්මා කිව්වේ එහෙම. මම කුස්සියේ ජනේලෙන් ඈත පෙනෙන විදුලි එලි දිහා බලාගෙන උන්නා.
"ඉතිං අන්කල් කියන්නේ නැද්ද අක්කලට කසාද බඳින්න කියලා? මම ඇහුවා.
රෑ කාලා ඉතිරි වුණ කෑම ටික අස් පස් කරමින් උන්නු ලතා අම්මා මා දිහා බැලුවේ සුසුමක් හෙලන ගමන්.
"අනේ අපරාදේ කියන්න බෑ, නිතර ගෙදර නාවත් ලොකු අප්පෝ ළමයි ගැන නම් ඕන්වටත් වඩා හොයලා බලනවා. යෝජනා නම් එක සීයකට වඩා එන්න ඇති. කෝ ඒත් ඉතිං මේ මැණිකේ එකකටවත් කැමති නෑ නොවැ. පයිලට මහතැන් කෙනෙකුත් එක පාරක් ආවා බලන්න. මොන...මැණිකේ නෙවෙයි ඇහැක් උස්සලා බැලුවේ" ලතා අම්මා අඟර දඟ පපා කියන විදිහ බලා ඉද්දි මට හිනත් යන්න ආවා.
"හරි අපරාදෙනෙ" මම කිව්වා.
"කාට කියන්නද නෝනා...ඔන්න යන්තම් ගෝතමී මැණිකේ හන්දා නම් ලොකු අප්පොට කරදරයක් නෑ. නෝනගේ අයියා හරි හොඳ මහත්තයා. අපේ ලොකු අප්පොත් හොය හොය හිටියේ ඒ වගේ ගුණ යහපත් කෙනෙක් තමයි" ලතා අම්මා කිව්වා.
මම ඒ ගැන මුකුත් නොකියා හිණාවුණා.
"ලතා අම්මේ...කෝ සීලා අම්මා? මගේ ඇඳ හදලා නෑනෙ"
ඔය අතරේ පිජාමා එකකුත් ඇඳගෙන, ඔලුවත් කහ කහ කුස්සියට ආවේ අනුක්.
"ආ...ඔයා මොකෝ කුස්සියේ?" මාව දැකලා නැවතුණ ඔහු ඇහුවා.
"වතුර එකක් ගන්න ආවා"
"ආ. කෝ සීලම්ම?" අනුක් ආයෙම ලතා අම්මාගෙන් ඇහුවා.
"අනේ පොඩි අප්පෝ සීලට ආයෙම හන්දිපත් රුදාව වැඩි වෙලා නෙව. ඔන්න දැන් කාමරේට වෙලා උන්නා තෙල් ගගා"
"ආනේ...ඉතිං කිව්වෙවත් නැත්තේ? බෙහෙතක් ගන්න යන්න තිබානේ. කෝ දැන් කාමරේද?" අනුක් ඇහුවේ ඇත්තතම ලොකු සැලකිල්ලකින්.
"ඔව් මහිතේ. නින්ද ගොහිල්ලා ඇත්ද දන්නෑ"
"හ්ම්...කමක් නෑ. හෙට උදේම මම එක්ක යන්නම් බෙහෙත් ගේන්න"
"මම ඇවිත් ඇඳ හදලා දෙන්නම් අප්පෝ විනාඩියක් දෙන්නකෝ" ලතා අම්මා කිව්වා.
"එපා එපා. ලතා අම්මා ඔය වැඩේ කරන්නකෝ. මම මොනා හරි කරන්නම්" අනුක් එහෙම කියලා යන්න ගියා.
"හනේ තාම පොඩි එකා වගේ. ඔය ද්වල්ට නිදාගන්නවා ආපු ගමන්. රෑට ඇහැරීගෙන පාඩම් කරන්වා. අපරාදේ කියන්න බෑ, ඇඳ හදාගන්න මිසක වෙන කිසීම දේකට අපට කියන්නෑ පොඩි අප්පෝ. ඉස්සර මැණිකේ ඉද්දි හැමදාම ඇඳ හදලා දුන්නේ ඒ ඇත්ති. එකම කොල්ලා නේ, හරී ආදරෙයි. ඉතිං ලොකු වෙනකල්ම හුරතලෙන් තමා හැදුවේ. ලොකු මැණිකේ නැති වුණාට පස්සේ, අනුක් බේබි තනි වුණා වගේ වුණා. පව්. සීලා අනික් අයට කොච්චර බැන බැන වැඩ කලත්, පොඩි අප්පොට නම් වචනයක් කියන්නෑ" ලතා අම්මා කිව්වා.
එවෙලේ මට අනුක් ගැනයි, අක්කලා සේරම ගැනයි දැනුනේ දුකක්. අම්මා කෙනෙක් නැතිව ඉන්න එක මොන තරම් අමාරුද? අපේ අම්මා නැති ගෙදරක් ගැන මට නම් හිතන්නවත් බැරි වුණා. මොන දේ කලත් දෙමව්පියෝ වගේ ආයෙම මේ ලොකේ කවුරුවත් අපට ඉන්නේ නෑ. මට වැඩියක්ම දුක හිතුණේ ඒකයි.
ලතා අම්මා එක්ක කතා කරලා ඉවර වෙලා මම සාලේ මැදින් කාමරේට යන්න යද්දි අනුක් සාලේ කොනක තනියෙම TV බලනවා. මම එනවා ඇහිලදෝ ඔහු මා දිහා බැලුවා.
"නිදන්නද යන්නේ?" ඔහු ඇහුවා.
"ඔව්. ඔයා පාඩම් කරන්නද හදන්නේ? කෝ අක්කලා?"
"පාඩම් කරන්නත් තියෙනවා. මේ mid term එකක් තියෙනවා ඒකට. ලොකුයි, මද්දුයි office room එකේ accounts
හදනවා. චුට්ටි මලක් කපනවා. ඔයාගේ අයියා එක්ක. මම මෙතන. කම්මැලියි පාඩම් කරන්න" අනුක් කිව්වා.
"මම හිතුවා නිදා ගන්න යන්න වෙන්න ඇති කියලා, තකහනියක්ම ඇවිත් ඇඳ හදා දෙන්න කිව්වම" මම කිව්වා.
නිතරම වගේ යන එන නිසාදෝ, අනුක් ගැන මට තිබ්බේ මගේ අයියලා ගැන දැනුනා වගේ සහෝදර හැඟීමක්. අද ලතා අම්මා කිව්වා කතාව නිසා ඒ දැනිච්ච හැඟීම ලෙන්ගතුකම වෙලා කියලා මට හිතුණා.
"නිදා ගන්න නෙවෙයි පාඩම් කරන්න" අනුක් කිව්වා.
"ඇඳේ ඉඳන්?"
"ඔව්...මම පාඩම් කරන්නේ ඇඳේ ඉඳන් නේ. ඒක මට පුරුද්දකට ගිහින්" ඔහු කිව්වම මට හිනාවක් ගියා.
"හොඳයි හොඳයි"
මෙවෙලෙම වගේ ලතා අම්මා සාලෙට ඇවිත් උඩ තට්ටුවට නැග්ගේ අනුක්ගේ ඇඳ හදලා දෙන්න වෙන්න ඇති. මම ආපහු අනුක් දිහා බලද්දි, ඔහුත් උන්නේ ලතා අම්මා නගින දිහා බලාගෙන.
"මමත් යනවා අනුක් නිදාගන්න එහෙනම්. ගුඩ් නයිට්" මම එන්න ආවේ එහෙම කියාගෙන.
"ගුඩ් නයිට්"
****
ගෙදර පුරුද්දට මට ඉරිදත් උදේ පාන්දරම ඇහැරුණා. ගෙදරදි නම් නැගිටලා කරන්න දහසකුත් එකක් වැඩ තිබුණත්, මෙහෙදිනම්
එහෙම කිසිම දෙයක් කරන්න තිබුනේ නෑ. මම මූණ සෝදගෙන ඇඳුමක් දාගෙන සාලෙට එද්දි, යශෝධා
අක්කා බුදුන් වඳිනවා තියනවා. ඈව දැක්කම හිතට දැනුනේ පහන් හැඟීමක්.
"ආ...නංඟි
නැගිට්තද?" බුදුන් වැඳලා අහවර මාව දැකපු ඈ ඇහුවා.
"පුරුද්දට ඇහැරෙනවා අක්කේ"
"හ්ම්...අපටත් එහෙම තමයි. හැබැයි චුට්ටියි, මල්ලියි
නම් තාම නිදි" යශෝ අක්කා කිව්වා.
"උත්පලා අක්කා?"
"එයා උදේම යෝග කරන්න ගිහින්. මේ ලඟ යාලුවෙක් ඉන්නවා
එයාගේ. අන්න එහාට" ඈ උත්තර දුන්නා.
ඊට පස්ස්සේ අපි දෙන්නම් සාලෙන් ඇවිත් වාඩි වුණේ, TV
එකේ ලෝක සිතියම වැඩසටහන ප්‍රචාරය වෙමින් තිබුණ නිසා.
"ඉතිං, මොකෝ හිතෙන්නේ මෙහේ ගැන? පාලුද, එපා වෙලාද,
නැත්තම් හොඳයිද?" යශෝ අක්කා ඇහුවා.
"අනේ නෑ. එපා වෙන්නේ මොකටද? එහෙම ගාණක් නෑ" මම
කිව්වා.
"මම හිතුවා සිකුරාදා චේතිය ආවේ ඔයාව ගෙදර එක්ක යන්නද
කියලා" අක්කා කිව්වා.
"නෑ. මට මේ සතියේ ගෙදර ගිහින් බෑ, කැම්පස් එකේ වැඩ
වගයක් තියෙනවා" මම බොරුවක් කිව්වා.
"ඇත්තටම ඔයා කරන විෂය මොකක්ද? මම දන්නෙත් නෑ"
"Psycholoy. මම special කරන්න ඉන්නේ Social
Paychology" මම කිව්වා.
"ෂා...නියම විෂයක් නේ. මම කරේ Management, ඒත් මම
ආසාවෙන් හිටියා Art කරන්නත්"
"අක්කා කොහෙද university?"
"මම ජපුරේ. මම නම් දැන් out වෙලා අවුරුදු තුනක්. ලොකු
අක්කත් එහේමයි. ගෝතමී නම් කැම්පස් යන්න බෑ කියලා prrivate කලා HRM කෝස් එකක්."
යශෝ අක්කා කිව්වා.
"එතකොට අනුක් තමයි science පැත්තට ගියේ?"
"ඔව් ඔව්. එයා ඉතිං පොඩි කාලේ ඉඳලම ගණං කාරයා තමා"
යශෝ අක්කා එහෙම කියලා හිණා වුණා.
"මේ මේ...ඔය මං ගැනද කතා වෙන්නේ?"
ඒ හඬට අපි දෙන්නම හැරිලා බැලුවා. ඇඳන් උන්නු සුදු අත් දිග
කමිසේ අතකුත් නව නව අපි දිහාට එමින් උන්නේ අනුක්.
"වැඩේමයි නේද නංඟි?" යශෝ අක්කා කිව්වා.
"වැඩේ තමයි" අනුක් කිව්වේ ඒ පාර අනික් කමිස අත
නවන ගමන්.
"අනුක් උදේම කොහේ හරි යන්නද?" මම ඇහුවා.
"ඇයි ඔයා දන්නැද්ද, මෙයා යනවනේ අස්ගිරියේ දහම් පාසලේ
උගන්නන්න. පොඩි කාලේ ඉඳලම මෙයා ගියෙත් ඒකට. ඉතිං එහේ පොඩි හාමුදුරොවෝ මෙයා එක්ක හරි
යාලුයි. " යශෝ අක්කා කිව්වා.
"අනේ ඇත්තද? කොච්චර හොඳද?" මම කිව්වා.
"වෙලාවක අපි යමුකෝ පංසල පැත්තේ ගිහින් එන්න"
යශෝ අක්කා ඊට පස්සේ කිව්වා.
"ඉතිං අද එන්නකෝ" එහෙම කිව්වේ අනුක්.
"අද? ඔය දහම් පාසලත් තියෙන අස්සේ?"
"ඒක ඉවර වෙන වෙලාවට එන්න. මා එක්කම ආයේ එන්න පුලුවන්
නේ" අනුක් කිව්වා.
"මට නම් අද
එන්න වෙන එකක් නෑ. හෙට ගෙනියන්න තියෙන assignment එකක් හදන්න තියෙනවා" මම කිව්වා.
"එහෙනම් වෙන දවසක යන්න බැරියැ" යශෝ අක්කා කිව්වා.
"ok ok" අනුක් එහෙම කියාගෙන කුස්සිය දිහාට
යන්න ගියා.
"ඔයා දන්නවද? අපේ මල්ලි ඔහොම හිටියට මාර ලැජ්ජකාරයා.
පුදුමයි ඔයා එක්ක ඔහොමවත් කතා කරන එක" ඔහු ගියාට පස්සේ යශෝ අක්කා මට කිව්වේ රහසින්
වගේ පොඩි හිණාවකුත් එක්ක.
"එහෙමද?"
"හ්ම්...චේතිය වැඳලා වගේ තමයි ඔයාව campus එක්ක යන්නත්
කැමති කරවගත්තේ. දන්නැද්ද, පොඩි කාලේ ඉඳන්ම අම්මා එක්කයි, අපි එක්කයි හුරතල් වෙච්ච
එකේ ප්‍රතිපල තමා…" එහෙම කියලා ඊට පස්සේ යශෝ අක්ක සුසුමක් හෙලුවා. මම ඈට බාධා
කරන්න නොගිහින් අහගෙනම හිටියා.
"අම්මා නැති වුණ එක මල්ලිට ලොකු shock එකක් වුණා.
අම්මා නැති වෙලා මාසයක් විතර යනකල්ම වැඩිය කා එක්කවත් කතා කලෙත් නෑ. අපි බයත් වුණා.
එයා නොපෙන්නුවට මට හිතෙනවා තාමත් එයාට ඒක හිතිං අතෑරගන්න බෑ කියලා. ඒකයි අපි වුණත්
මුකුත්ම නොකියා, පොඩි එකට වගේ සලකන්නෙත්. එයාට පොඩ්ඩ බැරි වෙන්න බෑ දුක හිතෙනවා. හරී
පරෙස්සමින් තමා එයා එක්ක වැඩ කරන ඕන. ඒක වෙන්න ඇති කා එක්කවත් වැඩිය ආශ්‍රයට නොයන්නෙත්.
සමහර වෙලාවට හරියට තරහත් යනවා. ඔයා ඉතිං ඕවා දැනගෙන ඉන්න එක හොඳයි නේ. නිතරම යන එකනකොට
කොහොමාත් ඔයාලා කාලෙකදි හිතවත් වෙයි නේ නේද?" යශෝ අක්කා කිව්වා.
"හ්ම්"
මම හිස වැනුවා. ඒ එක්කම මම කල්පනා කලේ මේ පවුලේ අය අතරේ
තිබුණ බැඳියාව ගැන. ලඟදි වුන ප්‍රශ්ණේ නොවෙන්න
අපේ පවුලේ උණත් ඒ වගේ බැඳියාවක් තිබා නේද කියලා හිතද්දි හිතට දුකක් නොදැනුනා නෙවෙයි.
මොකද අන්තිමේදි ඒ බැඳියාව කැලැල් කලේ මම නේද කියලා මගේ හිත මගෙන්ම අහපු නිසා. ඒත් හිත
අනික් පැත්ත කිව්වෙම, ගෙදර අය මට ඕන මොනාද කියලා තේරුම් ගත්තේ නෑ කියලා. හිත් වල තියෙන
බැඳියාව කියන්නේ අනික් කෙනාගේ හැඟීම්, ඕනකම් තේරුම් ගැනීමත් නෙවෙයිද?
"නංගියෝ ඔයා එහෙමනම් මල්ලි එක්ක කන්න. මම අර ගෝතේව නැගිට්ටවලා, ලොකු
අක්කත් ආවමම කන්නම්. උදේම ලොකු කිරි එකක් බිව්ව නිසා දැන්ම කන්න බෑ වගේ"
මගේ දැහැන බිඳුනේ යශෝ අක්කගේ හඬට.
බඩගින්නක් නොතිබ්බත් මම ඈට අවනත වෙලා කන්න ගියේ, ගෙදර වගේ
හිතෙන හිතෙන වෙලාවට මෙහෙදි මට කන්න කරන්න බැරි නිසා. මම යද්දි අනුක් උන්නේ මේසේ වාඩි
වෙලා ෆෝන් එකට එබීගෙන. ලතා අම්මා දුම් දමන බටු මාලුවක් මේසෙන් ගෙනැත් තිබ්බේ, පොල්
සම්බෝලෙයි, කරවල බැදුමටයි අමතරව.
"දුලාරා නෝනා බත් කනවද පානුත් ගේන්නද?" ලතා අම්මා
ඇහුවේ මට පිඟානක් දෙන ගමන්.
"බත් හොඳයි ලතා අම්මේ" මම කිව්වා.
මම බත් බෙදාගන්න අතරේ, ලතා අම්මා අනුක්ට කෑම බෙදුවා.
ඊට පස්සේ ඈ යන්න ගියාම කෑම මේසේ ඉතිරි වුණේ අපි දෙන්නා
විතරයි. මම කතාවක් නැතිවම කෑම කන්න පටන් ගත්තා.
"දුලාරා...හෙට හවස මට කුප්පියක්. ඒ නිසා මම එද්දි
රෑ වෙනවා. ඒ නිසා හෙට driver සීයට එන්න කියන්න ඕන. ඔයා එයා එක්ක එන්න" අනුක්
මට කිව්වා කන අතරෙම.
"හා"
"අද චේතිය අයියා එනවද?" ඊට පස්සේ ඔහු ඇහුවා.
"අනේ මම දන්නෑ" මට කියවුණා.
"ඇයි...එයා ඔයාට කියලා නෙවෙයිද එන්නේ?" චේතිය
ඒ පාර ඇහුවේ කට කොනකින් හිනාවෙන ගමන්.
මට තේරුණේ නෑ ඒකට කොහොම උත්තරයක් දෙන්නද කියලා. මම මුකුත්
නොකියා උන්නේ ඒකයි.
"මොකද දෙන්න එක්ක වලියක්වත් ගියාද?" අනුක් ඊට
පස්සේ ඇහුවා.
ඒ පාර මම ඔහු දිහා කෙලින්ම බැලුවේ, චේතියයි මමයි ගැන එයාලා
මෙහෙම හිතන එක මට කියන්න බැරි තරම් වදයක් විදියට දැනුන නිසා.
"චේතියයි මායි අතරේ ඔයා හිතාගෙන ඉන්නවා වගේ දෙයක්
නෑ අනුක්" මම එක පාරටම කිව්වේ ඒකයි.
"WHAT?" අනුක්ට ඒ පාර කෑම පිට උගුරෙත් ගියා.
ඔහු හොඳටම කහිද්දි මම කෑම කන එක පැත්තක දාල ඔහුට වතුර එකක්
දීලා පිටට පාරවල් කීපයක් තට්ටු කලා. අපට පිට උගුරේ ගිය වෙලාවට අපේ අම්මා කරනවා වගේ.
"හරි..Ok I am ok now" මගේ අතෙන් වතුර එක ගන්න
ගමන් ඔහු කිව්වේ මා දිහා බලලා.
බලාපොරොත්තු නොවුණ විදියට, ඒ කඳුලු පිරුණ ඇස් මගේ හිතේ
ඇති කලේ ගැස්මක්. ඒ... ඒ ඇස් හරියටම භූපගේ වගේම නිසාමයි. මම තප්පරයක් දෙකක් ඒ ඇස් දිහා
බලාගෙන ඉන්න ඇති. ඊට පස්සේ මොනවත් නොවුණු ගාණට මම ආපහු ඉක්මණට එතනින් එන්න ආවේ හිත
තාමත් ගැහෙද්දි.
"Thanks.." අනුක් හෙමින් කිව්වේ තවත් විනාඩියකට
විතර පස්සේ.
"It’s ok" මම කිව්වේ ඔහු දිහා නොබලම.
"මම හිතුවා..." අනුක් ආයෙම කතාව පටන් ගත්තේ මම
ආපහු කන්න පටන් ගනිද්දි. මට ඔහු දිහා බැලුණා.
"ඇත්තම කිව්වොත් අපි ඔක්කොම හිතාගෙන හිටියේ ඔය දෙන්නා අතරේ affair එකක් තියෙනවා කියලා" අනුක් කිව්වෙ අහක බලාගෙන.
"චේතිය කියන්නේ අපේ අයියගේ හොඳම යාලුවෙක්. කාලෙක ඉඳන් දන්න අපේ පවුලේ හිතවතෙක්. ඒ නිසා එයා මේ කරන්නේ මට උදව්වක්. ගොඩක් ලොකු උදව්වක්. මම දන්නේ එච්චරයි"
මම කියාගෙන ගියා. මම දැනං හිටියේ නෑ ඇයි මම අනුක්ට මේවා කියන්නේ කියලා. එහෙම දේවල් කියන්න තරමට යාලුකමක් අපි අතරේ තිබුණෙත්වත් නැතිව. සමහරවිට ඒ චේතිය ගැන මගේ හිතේ තිබුණ අප්‍රසාදය නිසා වෙන්න ඇති. ඒ පාර අනුක් හිස උස්සලා මා දිහා බලාගෙන උන්නේ මම කියන දේ තේරුම්ගන්න බැරුව වගේ. මම ඒ අවසරෙන් කෑම කන එක නවත්තලා අතහෝදගන්න නැගිට්ටා.
"ඔය කාලා ඉවරද?" අනුක් ඇහුවා.
"ඔව්. මම යන්න ඕන අර වැඩේ පටන් ගන්න" මම බොරුවක් ගැලපුවා. ඇත්තටම මට ඕන වුණේ එතනීන් පිටවෙලා යන්න විතරයි.
මම ඉඳුල් පිඟාන කුස්සියෙන් තියලා අතසෝදගෙන එද්දි, අනුක් කෑම මේසේ උන්නෙත් නෑ. ඔහු උන්නේ සාලේ. මම සාලෙට බහින සද්දෙට ඔහු හැරිලා බැලුවා.
"යන්නද හදන්නේ?" මම ඇහුවේ කිසි දෙයක් නොවුණු ගාණට.
ඔහු හිස වැනුවා විතරයි. ඒත් ඒ මූණේ තිබුණේ ලොකු ප්‍රශ්ණාර්ථයක් කියලා මට හිතුණා. මම ඔහුට යන්තම් හිනාවක් පාලා, කාමරේට එන්න ආවේ මට තවත් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බැරි නිසයි.
හිතේ තිබුණේ ගැස්මක්, දුකක්, ඒ එක්කම ලොකු එපාවීමක්. මේ සේරම දමලා ගහලා ගෙදර දුවන්න ඇත්නම් කියලා මට හිතුණා. කෝච්චියෙන් බැහැලා, භූපගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන දුරින්, කුඹුර මැදින් දිවෙන පුංචි පාර දිගේ පියවර මැන මැන යන ලස්සන හැන්දෑවල් ආයෙම කවදාවත් එන එකක් නෑ කියලා මතක් වෙද්දි හිතේ පිරුණේ ලොකු දුකක්. ඒ එක්කම විදුලියක් කොටන්නා
වගේ හිතේ මතු වුණේ, මොහොතකට කලින් දැකපු අනුක්ගේ ඇස් දෙක. ඒ බැල්ම හිතේ වේලිලා තිබුණ තුවාලේ ආයෙම මුලටම පෑරුවා කියලා මට හිතුනා. ඒ ඇස් එකම වගේ වුණේ මොන එහෙකටද කියලා මම හිතුවේ තරහින්. ඒ මදිවට චේතියයි මමයි ගන මේ ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්න විදිය හිතට එක් කරලා තිබුණේ කියන්න බැරි තරම් බරක්. අඩුම තරමේ භූප ලඟ පාතක උන්නා නම් හිතවත් හදාගන්න තිබුණා නේද කියලා මම හිතුවේ මිලියන්වෙනි සැරේට වෙන්න ඇති. භූප නොදැක, ඔහු ගැන අහන්නවත් නැතුව දුකෙන් බර වෙලා තිබුන හිත අද තිබුණේ වැලපෙමින්. ඔහු කොහේ ඉන්නවා ඇත්ද? මොනා කරනවා ඇත්ද? ඔය වගේ දේවල් හිත හිත මම මේසේ අයිනේ හිටගෙන ඉද්දි, ඇස් වලින් කඳුලු බිංදු දෙකක් මේසේ උඩට වැටුණේ මටත් නොදැනීම.
"දුලාරා..."
නොහිතපු වෙලාවක මාව අමතනවා ඇහුන නිසා, මම එහෙමම හැරුණේ පුරුද්දට වගේ.
දොරකඩ ලඟ හිටගෙන, දොර රෙද්ද පොඩ්ඩක් මෑත් කරගෙන මා දිහා බලාගෙන උන්නු අනුක් මට පෙනුනේ බොඳ වෙලා. මම ඇස් පිහ ගත්තා ඉක්මණට. මාව දැකපු ගමන් ඔහුගේ මූණේ හැඟීම් වෙනස් වුණ වග ඒත් මම දැක්කා.
"Sorry,
I …came to ask if you want anything from town"
ඊට පස්සේ අනුක් කිව්වේ අහක බලාගෙන.
"මොනවත් ඕන නෑ. thanks"
"ok"
එහෙම කියාගන
ඔහු එතනින් යන්න ගියා. මම ආයෙම සැරයක් මගේ දුකින් පිරුණ පුංචි ඉඩේ තනි වුණා.
ඔන්න මාත් ආව... ඒත් මං අදනෙ ආවෙ කියවන්න එපැයි මුල ඉදං... ඇත්තටම හොයාගන්න බෑ මට මුල... දානවවද පළවෙනි කොටසෙ ලිංකු 1... එතකොට හොයාගන්න පුලුවං වෙයිනෙ නේද
ReplyDeletehttp://nethunovel2.blogspot.com/search?updated-max=2013-06-22T19:22:00-07:00&max-results=1&start=3&by-date=false
DeleteAkke man oyage rasikayek hamadama balanawa me novel eka dulara mage jiwithe wage eya va anuk ta lan karanna akki eka tama sadarana ma de katawata
ReplyDelete