Tuesday, January 28, 2014

අවසරයි ලං වෙන්න: හතලිස් හයවන කොටස



"මොකක්ද අනේ අර වලේ කට්ටියක් කරන්නේ?"
lecture එකක් cancel වුණ නිසා හවස් වරුවේ වැඩක් නොතිබුන නිසා, චතූලා එක්ක මම WUS එකට තේ බොන්න යද්දි, WUS වල පැත්ත පෙන්නපු නිලීකා අහුවම අපිත් දිහා බැලුවා.
"ඇයි අනේ මතක නැද්ද? මේ සිකුරාදා අපේ super seniorsලගේ going down එක නේ" එහෙම කිව්වේ තාරකා.
ගැන කට්ටිය කතා වෙනවා ඇහිලා තිබ්බත් ඒක හරියටම මටත් මතක් වුණේ එවෙලේ.
" ඔව්මයි නේ?"
එක්කම මට මතක් වුණේ going down එක දෙන්නේ භූපලගේ batch එකට නේද කියලා. හිත ආපහු දුකෙන් බර වුණේ ඇසිල්ලකින්. මම හිතන්නේ අනික් තුන් දෙනාටත් ඒක මතක් වෙලා වෙන්න ඇති මා දිහා එක පාරටම බලන්න ඇත්තෙත්.
"ඔයාලා එනවද බලන්න?" මම ඇහුවේ මට එහෙම මොනවත් මතක් නොවුණ ගාණට.
"ඔව්..එන්න ඕන. එමු නේද?" එහෙම කිව්වේ චතූ.
මමයි, නිලීකයි ආප්ප ගන්න පෝලිමේ ඉද්දි, කවුදෝ මගේ පිටට තට්ටුවක් දැම්මම මම එක පාරටම හැරිලා බැලුවා.
"අනුක්?"
"හායි...කොහොමද?" මගේ ලඟට ඇවිත් හිනා වෙවී උන්නු අනුක් ඇහුවා. ඔහු එක්ක උන්නේ සිතිරයි, මනීෂයි තවත් දෙන්නෙකුයි.
"ඔයාලා කොහෙද මෙහේ?" මම ඇහුවේ පොඩ්ඩක් පුදුම වෙච්ච නිසා.
"ඇයි වදේ මේක අපේ university එක නේ...අපිට ඕනම කැන්ටිමකින් කන්න පුලුවන්" එහෙම කිව්වේ මනීෂ.
සද්දෙට නිලීකත් හැරිලා බැලුවා.
ඊට පස්සේ මම නිලීකට අනුක්වයි, යාලුවන්වයි අඳුන්වලා දුන්නා.
පාර අපටත් එක්ක තවත් කෑම ගොඩකුත් ගත්ත අනුක් ඇතුලු පිරිසත්, අපේ කට්ටිය එක්කම තේ බොන්න වාඩි වුණා.
"අද ලෙක්චර්ස් නැද්ද?" කට්ටියම ක්රමයෙන් හිතවත් වෙන අතරේ මගෙ ලඟ ඉඳගෙන උන්නු අනුක් ඇහුවා.
"අද අන්තිම ලෙක්චර් එක ගන්න සර් ආවේ නෑ. ඉතිං අපි තේ එකක් බොන්න ආවා..."
" කියන්නේ හවස මොනවත් නැද්ද?"
"නෑ. ඒත් මම පුස්තකාලේ යන්නත් ඕන. ITC එකට යන්න ඕන. assignment එකක් තියෙනවා කරන්න. මේක type කරලම දෙන්න ඕන එකක්" මම කිව්වා.
"ඔයා ITC යන්නේ ඒක type  කරන්නද?"අනුක් ඇහුවා.
"ඔව්. වෙන කොහෙන්ද ඒක type  කරන්නේ?"
එහෙම කිව්වම අනුක් සුස්මක් හෙලලා මා දිහා බැලුවේ හිස ඇල කරගෙන.
"ළමයෝ ඉතිං කියන්න එපැයි computer එක ඕන කියලා. අපේ ගෙදර දෙකක් තියෙනවනේ. මගේ ලැප් එක දෙනවනේ මම ඔයාට කිව්වානම්" ඔහු කිව්වා.
"ඉතිං මම දන්නේ නෑනෙ"
"ITC යන්න ඕන නෑ. ඔයා ගෙදර තියෙන එකකින් type කරන්න. මටත් හවස ලෙක්චර්ස් නෑ. ඔයා library ගිහිං එන්නකෝ, අපි ඊට පස්සේ ගෙදර යමු" අනුක් කිව්වා.
"මොකක්ද මේ උඹේ ලැප් එක කාටද දෙන කතාවක් ඇහුණේ" අපි ලඟ ඉඳගෙන චතූලා එක්ක බර කතාවක උන්නු සිතිර අපි පැත්තට හැරිලා ඇහුවා.
"ඇයි, උඹට අවුල්ද?" අනුක් ඇහුවාම මට හිනා ගියා.
"මේකනේ බං, උඹේ ලැප් එක කියන්නේ උකුල. ඉතිං මෙතන මොනා හරි නොමනා දෙයක් වෙන්න වත් යනවද කියලයි මම බැලුවේ"
"අනේ මේ...මගෙන් මුකුත් නාහා හිටපං"
අපි මෙහෙම කතා කර කර ඉද්දි අපට ඇහුණා WUS වල පැත්තෙන් අපේ seniorsලද කොහෙද music practise කරන සද්දේ. හැමෝගෙම අවධානේ පැත්තට යොමු වුණා.
"මොකක්ද අතන තියෙන්නේ?" මනීෂ ඇහුවේඅ.
" අපේ super seniorsලගේ going down  එකේ මොනවද. හෙට නේ එක තියෙන්නේ" උත්තර දුන්නේ තාරුකා.
"... ඔයාලගේ faculty එකෙ function එකක්ද? ඒයි මාර වයලීන් සද්දයක් නේ ඇහෙන්නේ. යමුද බලන්න?" එහෙම කියාගෙන නැගිට්ටේ අනුක්.
ගැන හාංකවිසියකවත් වගක් නැතුව මමත් ඔහු එක්කම නැගිට්ටා. චතූලයි, අනුක්ගේ යාලුවෝ ටිකයි අපි සේරම වුස් වල ලඟට බැස්සේ music එක මොකක්ද බලන්න. එතන අපේ faculty එකේ තව සෑහෙන පිරිසකුත් උන්නා.
"ඒයි මචං මේ අර අරූ නේද අර වයලීන් එක ගහන්නේ?"
සිතිර අනුක් ලඟට කිට්ටු වෙලා එහෙම අහද්දි මගේ අතට දැනුනා සීතල අතක පහස.
"දුලා..." එක්කම මගේ කන ලඟින් ඇහුණේ චතූ මුමුණණ හඬ.
මිමිණිල්ලට හේතුව මගේ ඇස් ඉදිරිපිට stage එකේ තිබුණා. දැහැනකට සමවැදිලා වගේ වයලීන් එක ගහමින් උන්නේ වෙන කවුරුත් නෙවෙයි, භූප. මම එතනම ගල් ගැහිලා වගේ බලාගෙන උන්නා.
"ඔව්මයි නේ. අර අපේ පැදුරට ආවේ නේද? කවුද මේ නම...මොකක්ද මහ අමුතු නමක් තිබ්බේ.." මට ඇහුණා අනුක් අහනවා.
"භූප" එහෙම කිව්වේ මම.
අනුක් මා දිහා බැලුවා.
"අන්න හරි...ඔව් ඔයාලා දන්නවා ඇති නේ. ඔයාලගේ faculty නේ. මාර talented පොරක් " අනුක් මට කිව්වා.
"අපි තව ටිකක් ලඟට යමුකෝ" අනුක් එහෙම කියාගෙන ඉස්සරහට ගියා. ඒත් මම  චතූ එක්ක එතනම උන්නා.
"එන්නකෝ..." අනුක් කතා කලා.
"යමු යමු" වදෙන් පොරෙන් වගේ මාවත් ඇදගෙනම තාරකාලා ඉස්සරහට ගියා.
මගේ ඇස් නැවතිලා තිබුණේ භූප ලඟමයි. අපි ගොඩක් දෙනා පැත්තට ගිය නිසාදෝ ඔහු හිස උස්සලා බලද්ද්දි, ඇස් එකපාරටම ඇවිත් නැවතුණේ අපි ලඟ. ඊට පස්සේ මම ලඟ. මම සැනින්ම බිම බලාගත්තා.
"භූප අපි අනික් සින්දුවත් බලමුද?"
මට ඇහුණා කවුදෝ එහෙම කියන හඬ. මම උන්නේ බිම බලාගෙනම. ඊට පස්සේ ලයාන්විත විදිහට භූපගේ වයලීන් එකේ නාදය නැගීගෙන එද්දි මම ආපහු ලඟ උන්නු චතූගේ අතකින් අල්ලගත්තා.
ඇහුණ නාදය වික්ටර්  රත්නායකයන්ගේ මම ගොඩක්ම ආස ගීතයක අනුවාදනයක්. මට ඇහුණා මගේ එහාපැත්තේ උන්නු අනුක්ගේ යාලුවෙක් ගීතය මුමුන්ණන හඬ.
"ඔබෙදෙතොල් පෙති ලිහී පිපුණ හසරැල් විලේ- හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී... එවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වෙයි....සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ..."
භූප වයලීන් වාදනය කරන හැම වෙලේකම මගේ දෑස් වලට කඳුලු ඉණුවේ ඉබේටම. ඒක අදටත් එහෙමමයි. ඒත් කඳුලු එදා ඉනුවේ අහේතුකව වුණාට අද කඳුලු වල කැටි වෙලා තිබුණේ ඔහු නිසා මම උහුලන දුකයි, විඳවන වේදනාවයි.
"ඔයාට ඉන්න බැරි නම් අපි යමු?" අනික් අය වශී වෙලා වගේ වාදනය අහගෙන ඉද්දි, චතූ ආයෙම මගේ කනට කරලා මිමිණුවා. මම හිස වැනුවේ ඕන නෑ කියන්න.
"--අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා...සිතින් අප එක වුණත් ගතින් දෙදෙනෙකු වෙලා...මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා...සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ..." අනුක්ගේ යාලුවාගේ හඬ මට ඇහුණේ හීනෙන් වගේ.
ඊට පස්සේ වාදනය ඉවර වුනාම, අනුක්ගේ යාලුවෝ සේරම, අනුක් එක්කම හයියෙන්ම අත්පුඩි ගැහුවා.
ඒත් මම හිස උස්සලාවත් බැලුවේ නෑ.
"ෂා...මාරම මාරයි ..." අනුක් කිව්වේ මට.
"ම්ම්" වෙනසක් ඔහුට පෙන්නන්න බැරි නිසා මම හිස වැනුවා.
"දුලා අපි යමුද? දැන් library යන්නත් ඕන නේ"
මම උන්නේ අඬන්න ඔන්න මෙන්න වග දන්න නිසාදෝ චතූ ඇහුවේ අනුක්  තව මොනවදෝ කියන්න හදද්දි.
මම ආපහු එක පාරක් හිස උස්සලා වේදිකාව දිහා බැලුවා. ඒත් එතකොට භූප වේදිකාවේ හිටියේ නෑ.
"බෑනෙ බං මෙහෙම කරන්න. මූව අල්ලගන්න බෑනෙ ඔක්කොටම වැඩිය. දැන් බලහං කරපු දේ. ගහන්න තියෙන සිංදුව නෙවෙයි ගැහුවේ. පාර ඔන්න යන්න ගියා. දැන් හෙට එන්නෙත් රෑ වෙලාලු, කවද්ද මේක practise කරන්නේ?"
මට ඇහුණා වේදිකාව පහල අපට පොඩ්ඩක් එහායින් උන්නු දෙන්නෙක් කතා වෙනවා.
ඒක අහගෙන උන්නේ මමයි චතූයි විතරයි. අනුක්ලා උන්නේ තමන්ගෙම මොකක්දෝ කතාවක පාර.
"අනුක් අපි යන්නද එහෙනම්?" මම අනුක්ගෙන් ඇහුවා.
"......ok ok. library ගිහිං එන්නේ කීයටද? අපි මේ හරියෙම ඉන්නවා"
"හතරමාර විතර වෙයි" මම කටට ආවට කිව්වා.
"හරි. මම වෙලාවට කාර් එකට ඇවිත් ඉන්නම්. ඔයා කෙලින්ම එතනට එන්න" අනුක් කිව්වා.
මම චතූ එක්ක එතනින් එන්න ආවේ හොඳටම සිඳිලා , බිඳිලා ගිය හිතක් එක්ක. 'භූප ඇයි එහෙම කලේ?' දහස් වතාවක් මම මගෙන්ම අහගන්න ඇති.
"අපරාදෙනේ අපි එතන ඉන්න ගියේ. ඒකෙන් වුණේ හිත රිදෙන එක විතරයි" චතූ නෝක්කාඩු කිව්වා.
"භූප සිංදුව play කලේ ඇයි චතූ?" මම ඇහුවේ හැඬුම්බරව.
"අනේ මම දන්නෑ" චතූ කිව්වේ අමනාපෙන් වගේ.
මගේ ඇස් වලට පිරුණු  කඳුලු වේලෙන්න මම හයියෙන් ඇසිපිය ගැහුවා.
"ඔයා තවත් එයා ගැන හිතන්නේ ඇයි දුලා? ඔයාට මොනා වෙලාද? දැන් මේක ඉවර කරමු කිව්වේ එයානේ. තවත් එයා ගැන ඔහොම හිතන එක බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නෑ කියලා ඔයාට නොතේරෙන්නේ ඇයි? කවදා වෙනකල් මෙහෙම අඬන්නද බලන්න? අනික දැන් හෙටින් පස්සේ එයාලා යන්න යාවි. එතකොට මේ සේරම ඉවරයි. දුලා භූප ඔයාට ආදරේ නම් මෙහෙම ප්රශ්ණ වලින් පැනලා යන්නේ නෑ. මෙහෙම ගියොත් ඔයාට පිස්සු හැදෙයි. විකාර නොකර, අම්මලා වෙනුවෙන් වත් ඉගෙන ගන්න. ඔන්න ඔය මගුල අමතක කරලා දාන්න.එච්චරයි මට කියන්න තියෙන්නේ"
චතූ මට දොස් කිව්වා. මට ඒකට දුක හිතුනේ නෑ. චතූ එක්ක තරහක් දැනුනෙත් නෑ. එහෙම කියන්නේ මම ගැන තියෙන ලෙන්ගතුකම නිසා වග මම දන්න නිසා. ඒත් මම කොහොමද එහෙම භූපව අමතක කරන්නේ? ඒත් චතූ කියනවා වගේ මම මගේ දෙමව්පියෝ ගැන හිතන්න ඕන. හිත සන්සුන් කරගන්න මට තිබුණ එකම හේතුව අම්මයි, තාත්තයි විතරයි.

"දුලා මම second floor  යනවා. ඔයා මෙතනම ඉන්නවා නේද?" library එකේ පලවෙනි මහලට නැග්ගට පස්සේ චතූ ඇහුවා.
"ඔව් මම මේ floor එකේම තමා ඉන්නේ. ඔයා පොත හොයාගෙන එන්න. අපි බලා, ඕන ටික photocopy කරගෙන යමු" මම කිව්වා.
අපේ ලොකු පුස්තකාලේ, පලවෙනි දෙවෙනි මහල් වල වහල උසට පොත් ගොඩගහලා තිබ්බ නිසාදෝ හාත්පසම තිබ්බේ මද අඳුරකින් වගේ වැහිලා. එක්කම මීක් සද්දයක්වත් නොතිබ්බ නිසාත් පොත් රාක්ක අතරේ තනි වුණාම මට දැනුනේ ගුප්ත හැඟීමක්. එක්කම පොත් වලින් ආපු අමුතුම සුවඳ නිසා මගේ නහයත් කසන්වා වගේ මට දැනුනා. ඒත් පොත් අතරේ තනි වෙන්න, පොත් හොයන්න, ඒවා කියවලා බලන්න මට හැමදාමත් තිබ්බේ නොනිම් ආසාවක්.
"social Stratification..." මම පොතේ නම මුමුණ මුනුණ ඒක හොයද්දි, එක පාරටම මම උන්නු හරියට හෙවනැල්ලක් වැටුණම මට පැත්ත බැලුණේ ඉබේටම. එක්කම මට දැනුනේ මගේ හිත කඩාවැටුණා වගේ හැඟීමක්.
"දුලාරා..."
මගේ දිහා, වෙදනාබර බැල්මකින් බලාගෙන උන්නේ භූපගේ නිදිබර ඇස් දෙක.
"ඔයා මොකද මෙතන කරන්නේ?" මම ඇහුවේ මම අහන්න හිතපු දේ නෙවෙයි. මම උන්නේ තරමට කලබල වෙලා.
"මට විනාඩියකට ඔයා එක්ක කතාකරන්න පුලුවන්ද?" ඔහු ඇහුවේ හෙමින්.
මම ඔහු දිහා බලාගෙන උන්නේ දුකෙන්. ඔහු තවත් කෙට්ටු වෙලා කියලා මට හිතුණා. එක්කම ඇස් තිබුණෙත් මැලවිලා. රැවුලයි, කොණ්ඩෙයිත් මාසා ගාණකින් කපලා නෑ වගේ අපිලිවෙල වෙලා. ඔහු ඇඳගෙන උන්නු තනි සුදු ඇඳුම නිසා දුබර බව තවත් වැඩි වෙලා මට පෙනුනා.
"අපි තව මොනා කතා කරන්නද?" හිත ඔහු එක්ක කතා කරන්න ඕන කියලා කෑ ගහද්දි මම එහෙම ඇහුවා.
" එහෙම කියන්න එපා දුලාරා..." භූප කිව්වේ ආයාචනාත්මකව.
ඔහුව අමතක කරන්න කියලා මට කියපු දේවල් මතක් වෙලා මෙවෙලේ මගේ හිතේ ඇති වෙලා තිබුනේ ඔහු ගැන නොරිස්සුමක්. මේ තරම් ආදරේ නම් ඇයි මට එහෙම කලේ කියලා මට කෑ ගහලා අහන්න ඕන වුණා.
"මම හිතුවා ඔයා, කියන්න තියෙන දේවල් එදා සේරම කිව්වා කියලා"
මම එහෙම කිව්වේ මම ගැනම පුදුම වෙමින්. මට ඇත්තටම ඕන වුණා ඔහු කියන දේ අහන්න. ඒත් හිතුවක්කාර සිතුවිලි ඒකට ඉඩ දුන්නෙම නෑ.
"දුලාරා...මම මේ දේවල් කලේ ඔයාව අඬවන්න, ඔයාව දුකට පත් කරන්න නෙවෙයි. ඔයාගේ අනාගතේ හොඳ වෙන්න ඕන නිසා. ඔයා ගෙදරට හොඳ දුවෙක් වෙනවා බලන්න මට ඕන නිසා. ඔයාගේ කඳුලු බලන්න නෙවෙයි" භූප කිව්වා.
"මගේ කඳුලු තවත් ඔයාගේ ප්‍රශ්ණයක් නෙවෙයි භූප. ඒක මගේම ප්‍රශ්ණයක්. මගේ දුකත් එහෙමයි. මගේ දුක නිවෙන්නේ අපි එකට හිටියොත් විතරයි කියලා මම කිව්වොත්, ඔයාට පුලුවන්ද ආයෙම මාව ලඟට ගන්න. ඔයා මාව අරන් යනවද? ඔයා මාව කසාද බඳිනවද? ඔයාට ඒක කරන්න පුලුවන්ද?"
මම ඇහුවම භූප මා දිහා බලාගෙන උන්නේ වේදනාවෙන් පරිපීඩිත වෙලා වගේ. මට දුක හිතුණා. ඒත්...මම මොනවා කරන්නද?
"ඔයාට පුලුවන්ද එහෙම කරන්න?" මම ආයෙම ඇහුවා.
"ඔයා ඒකට උත්තරේ දන්නවා දුලාරා" භූප කිව්වේ එච්චරයි.
මගේ ඇස් වලට කඳුලු පිරුණා.
"ඔව්. ඒක තමයි මම කියන්නේ මගේ කඳුලු තවත් ඔයාගේ ප්‍රශ්ණයක් නෙවෙයි කියලා. ඒක චේතියගේ ප්‍රශ්ණයක්, නේද? ඒක නේ ඔයාටත් ඕන වුණේ. ඒක මම එයා එක්කම විසඳගන්නම්...ඔයා එදා කිව්වේ ඔයාව අමතක කරන්න කියලනේ. අපට එකට ඉන්න බෑ කියලනේ. ඉතිං මං ගැන හොයන්න එපා...මට මෙහෙම මගේ පාඩුවේ ඉන්න දෙන්න" මම කිව්වේ තීරණාත්මක ස්වරයකින්.
භූප බිමට නෙත් යොමා ගත්තා.
"මම දන්නවා මම මහා පව්කාරයෙක් කියලා. මලක් වගේ තිබුණ ඔයාගේ හිත පොඩි කලේ මම. ඒකට මම මේ දැනුත් විඳවනවා දුලාරා. ජීවිත කාලෙම මම විඳවයි මෙහෙම. ඒත්...මම නිසා ඔයා විඳවන එක මට දරාගන්න බෑ"
"ඒකට ඔයාට කරන්න දෙයක් නෑ" මම කිව්වා.
"මම ඒක දන්නවා...." භූප කිව්වේ මට ඇහෙන නෑහෙන ගාණට.
"ඇයි භූප ඔයා මෙහෙම කරන්නේ? ඔයා...ඔයා..මට ඔයාව අමතක කරන්න කිව්වා. අපේ සම්බන්ධේ ඉවරයි කිව්වා. එහෙම කියලා ආයෙම මේ වගේ ඇවිත් මගේ හිත රිද්දන්නේ ඇයි? ඔයා ආයෙ ආයෙ ඇවිත් කියන්නෙත් ඔයාව අමතක කරන්න කියලා. අපි වෙන වෙලා ඉන්න ඕන කියලා. ඇයි එහෙම කරන්නේ? ඇයි ආයෙ ආයෙ මේ විදියට ඇවිත් මගේ හිත රිද්දන්නේ? මම දුක් විඳින තරම් මදිද භූප?" මම ඇහුවේ පපුව හිරවෙන තරම් දුකක් මාව පෙලද්දි.
භූප ඇස් පියා ගත්තා.
"මම දන්නෑ මට මොනා වෙලාද කියලා...මං හරියට අද අයාලේ පාවෙන කොලයක් වගේ. මගේ ජීවිතේ අරමුණු, හීන...මේ සේරම කොහේදෝ නැතිවෙලා ගිහින්...මට කිසි දෙයක් හිතන්න බෑ.... ඔයා ගැන ඇරෙන්න...මට ඔයා නොදැක ඉන්න බෑ...මට ඔයාව අමතක කරලා එහෙම ඉන්න බෑ..." භූප කියාගෙන කියාගෙන යද්දි මගේ ඉවසීමේ සීමාව ඉක්මවන්න ඔන්න මෙන්න තිබුණේ.
"එහෙනං ඇයි මාව දාලා යන්න හදන්නේ?" මම ඇහුවේ ඇස් බොඳ වෙද්දි.
"ඔයාට ගැලපෙන කෙනා මම නෙවෙයි දුලාරා. ඒකයි...ඔයාගේ අයියා කියනවා වගේ, ජීවිතේ වගකීම් ගන්න මම බය ඇති...ඔයාලගේ දෙමව්පියෝ බලාපොරොත්තු වෙන ජීවිතේ ඔයාට දෙන්න මට බැරි වෙයි. එහෙම වෙලා කවදාක හරි ඔයාට පුංචි හරි දුකක් වුණොත් ඒක මට දරාගන්න බැරි වෙයි..."
"භූප...ඇති. ඔය ඇති. මට තවත් මේවා අහන්න බෑ..." මම අත් දෙකෙන් කන් දෙක වහගත්තා.
"දුලාරා..."
"ඔයා යන්න භූප. ඔයා යන්න. කවදාහරි ඔයාට පුලුවන් වුණොත් මාව ගෙනියන්න හිත හදාගන්න, අන්න එදාට එන්න. එහෙම නැත්තම් ආයෙ එන්න එපා...ආයෙ එන්න එපා භූප. ආයෙම එක පාරක් හරි ඔයා කිව්වොත් අපිට එකතු වෙන්න බෑ, ඔයාව අමතක කරන්න කියලා, මට ඒක අහගෙන ඉන්න බැරි වෙයි. මගේ පපුව පැලිලා මාව මැරෙයි භූප...මට ඒක ආයෙ ආයෙ ඔය කටින් අහන්න බෑ..."
මම එහෙම කියද්දි මගේ ඇස් වලින් කඳුලු වැටුණා. මම ඒවා නවත්තන්න උත්සාහ කලේ නෑ. භූප ලඟ තිබුණ පොත් රාක්කේ අල්ලගෙන අනෙක් අතින් දෑසම පොඩි කරගත්තා. ඔහු හුස්ම උඩට අදිද්දි මට දැනුනේ මගේ හිස්ම හිර වෙනවා වගේ. විශ්වාස කරන්න භූප ඇඬුවා...පුංචි ළමයෙක් වගේ අතකින් ඇස් වහගෙන ඔහු ඇඬුවා. මගේ මුලු ආත්මයම ඔහු ඉස්සරහා දිය වෙලා යනවා වගෙයි මට දැනුනේ. මම ඔහු ලඟට ගියේ මට තවත් බලාගෙන ඉන්න බැරි නිසා.
"භූප..."
මම වෙව්ලන හඬින් ඔහුව ඇමතුවාම ඔහු එක පාරටම හැරිලා එතනින් යන්න ගියේ ආපහු මුකුත්ම නොකියා. මම ඔහු ගිය දිහා ගල් ගැහිලා වගේ බලාගෙන උන්නා. ඒත් මම දැනගෙන උන්නා මට දැන් කරන්න දෙයක් ඉතිරි වෙලා නැති වග. හැමදේම තිබුණේ ඉවර වෙලා. ආයෙම රකින්න, හදන්න දෙයක් අපේ ආදරේ ඉතිරි වෙලා තිබුණේ නෑ. මම එහෙමම බලාගෙන ඉද්දි, පොත් රාක්කේ අද්දරින් මෑත් වුණේ චතූ. ඇස් තිබුණෙත් කඳුලු වලින් පිරිලා. මම ඉස්සරහට ආවා.
"අපි යමු චතූ"
මගෙ මුලු ඇතුලාන්තය මේ දැනුන මහා දුකෙන් ගල් ගැහිලයි තිබුණේ. නිසා ඇස් වල කඳුලක්වත් දැන් තිබුණේ නෑ. ඒත් පපුව ඇතුලේ දුක හුස්ම හිර කරන තරම් තදින් හිරවෙලයි තිබුණේ. මම ලොකු සුසුමක් හෙලුවා. චතූ මා දිහා බැලුවේ ඇඟිල්ලකින් ඇහැක් පිහදාන ගමන්.
"දුලා..."
"එපා චතූ... අහන්න එපා...අපි යමු"

No comments:

Post a Comment