Tuesday, June 12, 2012

පනස් හත්වන කොටස


ආන්යා සිවිලිම දිහා නෙත් යොමාගෙන ෆෑන් එක කැරකෙන දිහාව බලාගෙන උන්නේ හිතට එන එක සිතුවිල්ලක් ගැනවත් නිනව්වක් නැතිව. ඈට හිතන්න දාහක් දේවල් තිබුණත්, ඒ මොනවත්ම ගැන නොහිතා ඔහේ ඉන්නයි ඈට ඕන වුණේ.
"ආන්යා...අදත් එන්නැද්ද?" බදාදා දවසක හවස අංජලී කතා කලේ හතරවෙනි පාරට.
"මේ සතියත් ඉඳලා එන්නේ අංජු" ආන්යා එහෙම කිව්වත් ඒ ගැනත් ඈ හිතලා තිබුණේ නෑ.
තාත්තා විතරක් ආපහු වැඩට යන්න හැටන් ගියා. අම්මා ආන්යා එක්ක නුගේගොඩ ගෙදර නැවතුනා. එහේ උන්නු ගීතාන් මේ සිද්ධි දාම හරිහැටි නොදැන උන්නු නිසා, හිටියේ අන්ද මන්ද වෙලා වගේ. අනුහසුත් ආන්යා හන්දා මේ දවස් ටිකේම නුගේගොඩම ඉන්න තීරණය කලේ ආන්යගේ බලවත් විරෝධය මැදමයි.
"මම ඉන්න ඕන...මට එහේ ගියත් හිතේ එකලසක් නැති වෙයි... ඒ නිසා මේක මොකක් හරි වෙනකල් මම ඉන්න ඕන" ආන්යා එහෙම විරෝධය පල කරපු වෙලාවක කාමරේ උන්නු අනුහස් ඈට කිව්වේ එහෙම.
ආන්යට හිනාවක් ගියා...සතුටට නෙවෙයි, දුකට.
"එහෙනම් ඔයාට ජීවිතකාලෙම මට තනි රකින්න වෙයි අනූ"
අනුහස් ආන්යා දිහා හැරිලා බැලුවේ වේගෙන්.
"මීනු..." අනුහස් කතා කලාම ආන්යා ඇස් පියාගත්තා.
"ප්ලීස් අනූ මට ඔය නම කියන්න එපා" ඇගේ හඬේ තිබ්බේ වේදනාවක්.
අනුහස් සුසුමක් හෙලලා, තමන්ගේ හිසකේ අතරින් ඇඟිලි යවලා කෙස් මිතක් මිරිකගත්තේ, කේන්තියෙන් වගේ.
"අහන්න ආන්යා...හැමදේම දැන් ඉවරයි, තවත් ඒ දේවල් ගැන හිතන්න එපා..."
"අමතක කරලා හිත හදාගන්න තිබුණා අනුහස් මම වැරැද්දක් කලා නම්..." ආන්යා කිව්වේ දෑස් පුරුදු පරිදි කඳුලු පටලයකින් වෙලෙද්දි.
"ඔයා...ඒ තරම්ම අභීට ආදරේ කලාද?" අනුහස් ඇහුවේ නෑහිය යුතු දෙයක් අහන්න වගේ පරිස්සමින්.
"මම දන්නෑ අනූ... ඇත්තටම මං දන්නෑ. ඒත් මට දුකයි. මම හිතාගෙන හිටියා කවදාහරි මට පුලුවන් වෙයි කියලා අභීට ඕන විදියට එයාට ආදරේ කරන්න...මම එහෙම කලාද නැද්ද කියලා මම දන්නෑ. ඒත්...එයාට මම ගොඩක් ලං වුණා. ඒක බොරුවක් නෙවෙයි" ආන්යා කිව්වේ සුසුම් ගොඩක් හෙලමින්.
"එතකොට ආර්යන්? එයා ගැන අභී කියපුවා?" අනුහස් ඇහුවේ ආන්යා දිහා සැලකිල්ලෙන් බලන ගමන්.
ආන්යා අනුහස් දිහා එකපාරටම බලලා අහා බලාගත්තා.
"එදා එයා පිලිගත්තනේ එයා කරපුවා" ආන්යා කිව්වා.
"මම අහනේ එයා ගැන නෙවෙයි, ඔයා ගැන. මට ඇත්තම කියන්න ආන්යා, ඔයාගේ හිතේ ආර්යන් ගැන තිබ්බේ පැහැදීමක් විතරමද?" අනුහස් ඇහුවා.
ආන්යා අනුහස් දිහා ආයෙම බැලුවා.
"ඔයාට කියන්න බැරි දෙයක් මට මේ ලෝකේ නෑ අනූ. ඒ නිසා මම ඔයාට අද ඇත්තම කියන්නම්. මගේ හිතේ ආර්යන් අයියා ගැන පැහැදීමක් ඇති වුණේ එයාව දැකපු දවසෙමයි. ඊට පස්සේ එක එක දේවල් හන්ද අපි මුණගැහෙද්දි, කතා කරද්දි ඒ පැහැදීම වැඩි වුණා. ඊටත් පස්සේ එයා කීප දවසක් මා එක්ක නුවර යන්නත් ආවා. මා දිහා ඔහොම බලන්න එපා ඉතින් අනූ. මට ඒක කාටවත් කියන්න බය හිතුනා. ඉතින් ඔහොම ඉද්දි සමහරවිට මගේ හිතේ එයා ගැන පැහැදීමකට වැඩි දෙයක් ඇති වෙන්න ඇති. ඒ වුණත් එයා ශර්මිලා එක්ක එන්ගේජ් වෙලා කියලා දැනගත්තම, මම එයා එක්ක තිබුණ ආශ්‍රය අඩු කලා..."
"එතකොට එයා මොකද කිව්වේ?"
""එයා කිව්වේ එයා ගැන විශ්වාසේ තියාගන්න, එයා ගෙදරින් කොහොමහරි කැමැත්ත ගන්නම් කියලා. ඒත් මට එහෙම කරන්න බැරි වුණා අනූ. මට ශර්මිලාගේ හිත රිද්දන්න හිත හදාගන්න බැරි වුණා"
"ඒ කියන්නේ ඔයා හිතින් ආර්යන්ට ආදරේ කර කර එයාව එපා කිව්වා?"
"මං දන්නෑ අනූ...එහෙම වෙන්න ඇති සමහරවිට"
"එතකොට අභී?"
"අභී...කොන්වකේෂන් එකට රට යන්න කලිනුයි මගේන් ඇහුවේ. ඒත් මට එයාට කැමති වෙන්න ඕනකමක්වත්, පුලුවන්කමක්වත් එතකොට තිබ්බේ නෑ..."
"ඔයාගේ හිතේ ආර්යන් උන්නු නිසා?" අනුහස් ආන්යගේ හිත කියෙව්වා වගේ ඇහුවා.
"ඔව්"
"ඊට පස්සේ?"
"ඊට පස්සේ ශර්මිලා ගේ සිද්ධිය වුණා. අභී ආයෙම ආවා. ඇවිත් ආර්යන් ඉස්සරහදිම මට ආදරෙයි කිව්වා. අනේ...එතකොතත් මම එයාට බෑ කිව්වා අනූ...මට ආර්යන් අයියව හිතෙන් අයින් කරන්න බැරි වුණ හන්දා" ආන්යා කිව්වේ කඳුලු පිරි ඇස් වලින්.
"ඉතින් ඔච්චරම බෑ බෑ කිය කිය හිටපු ඔයා කොහොමද අභී එක්ක යාලු වුණේ?"
"අභීගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මට එයා ගැන ලොකු දුකක් දැනුනා අනූ. එයාට වුණ සේරටම වැරදි මම කියලා මට හිතුණා. එයා එච්චරම දේවල් කලේ මට ආදරේ නිසයි කියලා මම හිතුවා. ඒකයි"
"එහෙම නැතිව ඔයාගේ හිතේ ඇතිවුණ ආදරයක් නිසා නෙවෙයිද?"
"නෑ...අභීට කරදරයක් නොවුනොත් මම එයාට කැමති වෙනවා කියලා මම හිතාගත්තු නිසා"
අනුහස් දෑස් පියාගෙන හිස වැනුවේ ලොකු වැරැද්දක් වෙලා වගේ.
"ආන්යා...ආන්යා...ඔයා හැමදේම පටලගෙන නංගා. ඇයි ඔයා මේ මොනවත් මට නොකිව්වේ? ඇයි මට ඔයාට මීට කලින් උදව් කරන්න නොදුන්නේ?"
"ඔයා ඇයි එහෙම කියන්නේ?"
"මේ අහන්න...වෙච්ච දේවල් සේරම අමතක කරන්න පොඩ් වෙලාවකට. අමටක කරලා පොඩ්ඩක් ඔයාගෙම හිතට එබිලා බලන්න ආන්යා ඇත්තටම ඔයා ආදරේ කාටද කියලා. ප්ලීස්...ටිකක් හිතලා බලන්න වෙලා අරන්, ඔයාගේ හිතට දැනෙන්න, ආත්මෙටම දැනෙන්න වගේ ඔයාට ලං වුනේ ආර්යන්ද, අභීද කියලා? මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතිව...හිතලා මට කියන්න" අනුහස් කිව්වේ මොනවදෝ තව ගොඩක් දේවල් හිතේ තියාගෙන කියලා ආන්යට හිතුණා.
"ඔයා මොනා කියනවද කියලා මට තේරෙන්නෑ"
"මම කියපු දේ කරන්නකෝ. මං එහෙම කියන්නේ නංගා, මට හිතෙනවා ඔයා එක තැනකදි සේරම වරද්දගෙන කියලා..."
"ඒත් වැරදි හදන්න දැන් අපට ඉඩක් නෑ නේද අනූ?"
අනුහස් ආන්යා දිහා බලලා උත්තරයක් දෙන්න කල් ගත්තා.
"ඔක්කොම නූණත් හදන්න පුලුවන් ලොකුම දේවල් ටික හදාගන්න බැරිවෙන එකක් නෑ"
අනුහස් මෙහෙම කියන්නේ ඇයි කියලා ආන්යට තේරුණේ නෑ. ආන්යා ඊට පස්සේ මොන්වත් නොකියා මුනිවත රැක්කා. අනුහසුත් ටිකක් වෙලා නිහඬව උන්නා. ඒ ඉන්න ගමන් ආයෙම කල්පනාබර වුණ ආන්යා දිහාත් වරින් වර බැලුවා. ඒ අතරේ ආන්යට ඇහුණා තාත්තාගේ වාහනේ ගෙදරට ආපු හඬ. තාත්තා ගැනයි, අම්මා ගැනයි ආන්යගේ හිතේ තිබුණ නොනිවෙන දුක ආයෙම හිතේ පැන නැංගා.
"මට අපේ අම්මලා ගැන දුකයි අනූ. ඒ අය මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්ද මං ගැන? ඒත් අන්තිමට වුණේ දරාගන්න බැරි දුකක් ඒ අයටත් උරුම වුණ එකයි. ඒකට නම් මට කවදාවත් අභීට සමාවක් දෙන්න බැරි වෙයි" ආන්යා කිව්වා.
ඒ පාර  අනුහස් මොනවත්ම නොකියා සුසුමක් හෙලුවා.
"අම්මලා මොකද කියන්නේ අනූ?" ඈ ආයෙම ඇහුවා.
"මොනවත්ම කියන්නෑ. එහෙම දෙයක් නොවුණ ගාණට ඉන්නවා මිසක. ඒ ගැන කතාවත් කරන්නෑ" අනුහස් උත්තර දුන්නා.
ආන්යා අනුහස්ගේ උරහිසකට හිස තියාගත්තා.
"මම කොහොමහරි හිත හදාගන්නවා අනූ...අම්මලට දුකක් වෙන්න මම ඉඩතියන්නෑ. මම සෙනසුරාදට ආපහු හොස්ටල් යන්නයි හිතාගෙන ඉන්නේ. මාව ඇරලවනවා නේද?" ආන්යා ඇහුවා.
"ඔයා කියන ඕන දෙයක් කරනවා" අනුහස් කිව්වාම ආන්යා හිනා වුණා.
"මම කියපු දේ ගැනත් හිතන්න නංගා...ඉක්මණටම හිතලා බලනවානම් තමා හොඳ" අනුහස් කලින් කියපු දේ ආයෙම ආන්යට මතක් කලා.
"බලමු"

"මනී මහත්තයා අස්වීම බාරගන්න බෑ කියනවා රූපා"
කෑම කාමරේට යන්න පය ඔසවපු ආන්යට සාලේ දිහාවෙන් එහෙම කතාවක් ඇහුණා. ඈ දොර රෙද්දට මුවා වෙලා අහගෙන උන්නා.
"බෑ කියනවා? ඉතින් ඔයා මොකද කිව්වේ?" ඒ අම්මගේ හඬ.
"මම කිව්වා, මට ඉන්න බෑ කොහොමටත් කියලා. මොකද මම කෙන්යා වල පෝස්ට් එකට හා කිව්වා කියලා"
තාත්තා එහෙම කිව්වාම ආන්යගෙ හිත ඇවිලුනා. 'තාත්තා මේ මොනවා කරන්න යනවද?'
"ම්ම්...ඒක හොඳයි. කොහොමටත් තවත් අපට ඒ අයගේ මූණ බල බල ඔතන ඉන්න බෑනෙ. කවදාහරි යන්න තිබුණ එකේ දැන් ගියාම මක් වෙනවද? මේ...අර අහවලා ගන ආරංචියක් නැද්ද?" අම්මා ඒ අහන්නේ කා ගැනද කියලා හිතාගන්න ආන්යට අමාරු වුණේ නෑ. ඈ කන් දීගෙන උන්නා තවත් හොඳින්.
"නෑ...මම අහන්න ගියෙත් නෑ. ඒත්, ආර්යන්ගේ වෙඩින් එක කෙරෙන්නෑ කියලා මනී මහත්තයා මට කිව්වා. මං දන්නෑ හේතුව මොකක්ද කියලා. මනී මහත්තයත් හිටියේ කවදාවත් නැති තරම්, නිකං වෙහෙසට පත් වෙලා වගේ කියලා මට හිතුණා. හිතාගන්න බෑ එදා අපි ආවට පස්සේ මොනා වුණාද කියලා. කොහොමහරි, මැඩම්ගෙත් ප්‍රෙශර් නැගලා, අමාරු වුණ කතාවකුත් කවුදෝ කියනවා මට ඇහුණා. අනේ මන්දා රූපා...අපට කාගේ ඇස්වහක් වැදුනද මන්දා" තාත්තා ලොකු සුසුමක් හෙලලා නිහඬ වුණේ ආන්ය‍ හිතන්න බොහෝ දේ ඉතිරි කරලා.
'එතකොට ආර්යන්ගේ මංගල්ලේ වැඩ නැවතිලා...ඒ මොනා හන්දා වෙන්න ඇතිද? මැඩම්ට ප්‍රෙශර් නගින්න තරම් බරපතල වෙන්න ලොකු සිද්ධියක් වෙන්න ඇත්ද? එතකො අභී?' ආන්යගේ හිතට ප්‍රශ්ණ දාහක් විතර ආවා. ඈ කෑම කාමරේට ගියේ මේවා ගැන හිත හිතමයි.
"ආ...සුදු දූ කන්න ආවද? කමු එහෙනම්, මටත් බඩගිනියි" ආන්යව දැකපු තාත්ත හැමදාම වගේ බොරු සතුටක් මුහුණට නගා ගත්තු වග ආන්යා දැක්කා. ඈට අම්මයි, තාත්තයි ගැන දැනුනේ දුකක්.
"ගීතාන්, අනූ...කන්න එන්න"

"සුදු දූ...සෙනසුරාදා ආපහු කැම්පස් යනවා කියන්නේ ඇත්තද?" ගෙදර බැල්කනියට වෙලා සුලඟ වැදි වැදී උන්නු තාත්තා ඇහුවේ එතන පඩියක වාඩිවෙලා අම්මගේ උරහිසකට වාරු වෙලා උන්නු ආන්යගෙන්.
"ඔව් තාත්තා මම එහෙම තමා හිතාගෙන ඉන්නේ" ආන්යා උත්තර දුන්නා.
"කැම්පස් ගිහින් ගෙදර එන්න ඕන වුණොත්, ඔයා ආපහු හැට න් එන්න ඕන නෑ. මෙහේ එන්න. අම්මා දිගටම මෙහේ ඉඳීවි" තාත්තා කිව්වා.
"ඇයි තාත්තා ඒ?"
තාත්තා උත්තර දෙන්න මොහොතක් ගත්තා. ඔහු ආන්යට පිටුපාලා බැල්කනියට බර වුනා.
"අපි තවත් ඒ ගෙදර ඉන්නේ නෑ. මම ඒ ගෙදර බාර දෙනවා ආපහු. මම එහෙන් අයින් වෙන්න ඉන්න නිසා" තාත්ත කිව්වේ හිතේ අමාරුවෙන් කියලා ආන්යට හිතුණා.
"තාත්තා රිසයින් වෙන්නද හදන්නේ?" ආන්යා ඇහුවා.
ඔහු හිස වැනුවා විතරයි.
ආන්යට ගොඩක් දුක හිතුණා. ඒ තාත්තා ඒ පරිසරයට, මිනිස්සුන්ට, ඒ රස්සාවට කොච්චර ආදරේද කියලා ඈ දන්න නිසා. ආන්යා දන්න දා ඉඳන්ම හැදිලා වැඩුන ඒ ගෙදර බාර දෙනවා කියද්දි ආන්යට දැනුනේ තමන්ගේ ජීවිතෙන් කොටසක් ඒ එක්ක දිය වෙලා යන්නා වගේ. ඇගේ ජීවිතේ හැම විශේෂ සිදුවීමක්ම වුණේ ඒ ගෙදරදි. ඊටත් වඩා ඇගේ හිත පෑරුණේ එහේ ඉන්න ගෝපිලා, රාධාලා මතක් වෙද්දි. ඈ නැගිටලා තාත්තා උන්නු දිහා ගියා.
"ඇත්තටමද තාත්තේ ඒ කිව්වේ?" ඈ ඇහුවේ අහක බලාගෙන උන්නු තාත්තගෙන්. ඔහු හිස වැනුවා.
ආන්යා අම්ම දිහා බැලුවා. ඈ උන්නෙත් දුකෙන් වගේ බිමට නෙතු යොමාගෙන.
"එතකොට අපි හැමදාම එහෙන් එනවද තාත්තා?"
තාත්තා ආයෙම හිස වැනුවා.
"මේ හැමදේම මං නිසා නේද තාත්තේ?" ආන්යා ඇහුවේ දුක්බර හඬින්.
ඒ පාර තාත්තා ආන්යා දිහාට හැරිලා ඇගේ උරහිසට අත තියලා ඇගේ මූණට එබුණා.
"නෑ පුතේ එහෙම හිතන්න එපා. ඔයාලා තුන් දෙනා වෙනුවෙන්, මුලු ලෝකෙම වුණත් දාලා එන්න මේ තාත්තට පුලුවන්. කොහොමත් අපට ඒ ගෙදර අයිති වෙන්නෑනෙ. කවදාහරි යන්න වෙනවා. කොහේ හිටියත් අපි එකට, සතුටින් ඉන්න එකයි වැදගත්. ඔයා ඒ ගැනත් දැන් හිතන්න යන්න එපා" තාත්තා කිව්වා.
ආන්යා තාත්තගේ පපුවට කම්මුලක් හේත්තු කරගත්තා.ඇගේ හිත තිබුනේ ආයෙම වැලපෙමින්.
"ඇයි තාත්තේ අපට මෙහෙම වුණේ?" ආන්යා ඇහුවේ වෙව්ලන හඬින්.
"පුතේ...හැමෝගෙම ජීවිත වලට කරදර එන කාලයක් තියෙනවා. අපි ඒ කරදව වලින් ඔයාලව රැකගත්තු කාලයක් තිබුණා. ඒත් දැන් ඔයාලා ලොකු ළමයි. ජීවිතේ දුක සැප දෙකම දරාගන්න පුරුදු වෙන්න ඕන පුතේ..."
ආන්යලා ලඟට ආපු අම්මා එහෙම කිව්වේ ආන්යගේ හිස අතගාලා.
ඒත් ආන්යගේ හිත නිවන්න ඒ වචන වලට පුලුවන් වුණේ නෑ. ඈ තාත්තගේ පපුතුරේ මුහුණ හොවාගෙන නෙත් වලින් උනපු කඳුලකට ඔහෙ ගලා යන්න ඉඩ හැරියා. 


18 comments:

  1. අනේ මන්ද මොනව වෙන්න යනවද කියලා.... හිත රිදෙන්නේ නැති අවසානයක් තිබු‍ණෝත් හොදයි අක්කියෝ....

    ReplyDelete
  2. මට ගීතාන්ව අමතක වෙලා තිබ්බේ. :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගීතාන්ව කතාවට එකතු කර ගත්තට එයා ගැන ලියන්න බැරි වුණා .... :)

      Delete
  3. ‍ගොඩක් ලස්සනයි මගේ අක්කේ..
    වෙන තාත්තෙක් නං ආන්යාට මොනා නොකරයිද? ඒ අතින් මේ තාත්තයි අනුහසුයි මාරම ග්‍රේට්.
    ලස්සනට කතාව ගලා යාවි කියල හිතෙනවා.දිගටම ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගේ. ඔයාවත් පොත් ගුලට සාදරෙන් පිලිගන්නවා...

      Delete
    2. හය්යෝ.. මං අලුත් කෙනෙක් නෙවෙයි අනේ.මං වර්ෂා.අමතක වුණා නම ලියලා යන්න!

      Delete
    3. :0 :) hane hane...meya karana weda? mama baluwaa me kawuda kiyala. :)
      dan hari...aye patalenna :)

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Athi yaantham Nethu nangi,, google acc. Eka upset wela thibuna,,,. Comments danna baruwa, Dan hari,,,
    Kathawa lassanai,, shermila ta mokada une?... Geethan Ada innawa,,,
    Oya dannawada eeye man Apoorwa ge kathawa ayemath mula indan baluwa,,,
    E-book ekak karanna barida?..
    Kumari akka,,

    ReplyDelete
    Replies
    1. මේ කතා දෙකම පොත් දෙකක් විදියට පබ්ලිශ් කරන්න තමා හිතාගෙන ඉන්නේ. ඒත් ඉතින් ඒවා කරන්නේ කොහොමද කියලාවත් මම තාම දන්නේ නෑ. ඒ නිසා ලඟකදි නම් කෙරෙන එකක් නෑ. ප්‍රතිපාදන සපයාගන්නත් ඕනනේ... :)
      …බලමු නේද? ලිව්වොත් අනිවාර්යෙන්ම ඔයාලා හැමෝටම එලිදක්වන දවසට එන්න වේවි..

      Delete
    2. Prathipadana walata sulu aadharayak karanna bari wena ekak na,,,

      Delete
    3. :) පිස්සු... අනේ අක්කා එහෙම කරන්න ඕන නෑ. ඒ වුණත් වචනෙකින් හරි ඔයාගේ තියෙන අවංක සහයෝගයට ගොඩම ගොඩක් ස්තුතියි!

      Delete
  6. thanks for all my dear friends who took time to comment on this,,,,

    ReplyDelete
  7. හම්මේ කියවන්න බැරි උන කොටස් ගොඩයි

    පව් අනේ ආන්යා ට හෙන ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න සිද්ද වෙලානේ

    හරි හරි කමක් නැ කොහොම හරි හොද විදිහට ගලාගෙන යන්න දෙන්න කතාවට
    අයෙ අමතක නොකර කියවන්න පටන් ගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලක්ශ්, ඔයා කොහෙද ගිහින් හිටියේ? :) සෑහෙන දේවල් වුණා. බලන්නකෝ ඉදිරියට මොනා වෙයිද කියලා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පොඩි නිවාඩුවකට ලංකාවට ගියා එකයි එන්න බැරි උනේ මෙහාට

      එක තමා නේද එන්න බැරි උණු දවස් ටිකට මහා ලොකු පෙරලියක් වෙලානේ හෆොයි

      Delete