ආන්යා උදේම ඇහැරිලා සාලෙට යද්දි තාත්තා කා එක්කදෝ
ෆෝන් එකෙන් බර කතාවක් කරමින් ඉස්තෝප්පුවේ දොර ලඟ හිටගෙන උන්නා. අම්මත් සේරම වැඩ
නවත්තලා සාලෙ බඩු පුරවලා තිබුණ පෙට්ටියක් උඩ වාඩි වෙලා ඉන්නවා දැක්කාම ආන්යට
හිතුණා මොකක් නමුත් අමුත්තක් වෙලා තියෙන වග. ආන්යා අම්මා ලඟට කිට්ටු කලේ
කුතුහලෙන්.
"මොකෝ අම්මා?"
අම්මා ආන්යා දිහා බලලා ආයෙම තාත්තා දිහා බැලුවේ හිතේ
කරදරෙන් වගේ.
"මනී මහත්තයා කතා කරනවා" ඈ කිව්වා.
ආන්යට දැනුවේ පුංචි බයක් වගේ එකක්.
"ඇයිද දන්නෑ?"
"අනේ මන්දා මේ තාත්තගෙත් වැඩ ලමයෝ.
දැන් මේ පණ කඩාගෙන ගෙදරින් යන්න හැදුවට මොකද මනී මහත්තයා තාම අස්වීම බාර අරන්
නැහැල්ලු" අම්මා කිව්වා.
"බාර අරන් නැල්ලු? ඉතින් දැන් මොකද වෙන්න යන්නේ?"
"අනේ මන්දා...කතා කරලා ආවාම තමා බලන්න වෙන්නේ"
ඒ පාර ආන්යයි, අම්මයි දෙන්නම ඉස්තෝප්පුවේ කෙලවරට ගිහින් උන්නු තාත්ත
දිහා බලාගෙන හිටියා. තාත්තා ආඵු ආවේ තවත් විනාඩි දහයකට විතර පස්සේ. ඒ එද්දි ඔහුගේ
මූණේ තිබුණෙත් නොඉවසිල්ලක් වගේ හැඟීමක් කියලා ආන්යට හිතුණා.
"මොකෝ කියන්නේ?" අම්මා බෙල්ල උස්සලා හිටගෙන උන්නු තාත්තා දිහා බැලුවා.
"තව ටිකක් හිතලා බලන්න කියනවා. ඒ අය අර සයිට් එක බලන්න එන ගමන් මගලු ඉන්නේ.
එනකල් ගෙයි අස් කරන්නේ නැතිව ඉන්නලු. තව හිතන්න කියලා තමා කිව්වේ"
තාත්තා කිව්වේ ෆෝන් එක අතේ කරකවමින් කල්පනාවක්
පිටමයි.
"ඉතින් ඔයා මොකද කිව්වේ?"
"මොනා කියන්නද මන්දා රූපා. කියන්න තියෙන හැම විදිහෙන්ම කිව්වත් මනී මහත්තයා
අහන්නේ නැති එකනේ වැඩේ. මේකනේ ඉතින්, අපි දෙන්නම වැඩට ආවේ එක කාලේ. ගොඩක් කල් ඉඳලා
දන්නවා. ඒ සේරටම වැඩිය කෙන්යා වල ඉන්නේ අපේ කම්පෙටිටර් කෙනෙක් නේ. එයාලා ගාවට මම
යනවට මෙයා කැමති නෑ" තාත්තා කිව්වා.
"ඒත් තාත්තා කෙන්යා වල අයට එන්නම් කිව්වා නේද?" ආන්යා ඇහුවා.
"මම කිව්වේ හිතලා බලන්නම් කියලා විතරයි ඇත්තටම" තාත්තා කිව්වේ ආයෙම
කල්පනා කරමින්.
කොච්චර කිව්වත් තාත්තත් මේ වත්ත දාලා යන්න ගොඩක්
අකමැතියි කියලා ආන්යා දැනගෙන උන්නා. ඒ හැමදාම්ත් ඔහු මේ වත්තට මේකේ ඉන්න
මිනිස්සුන්ට හරි ඇතිකමින් යුතුව, සලකපු හන්දයි.
"මම දන්නවා ඔයා දැන් හිතන්නේ මොකක්ද කියලා. මනී මහත්තයා තවත් පාරක් කිව්වොත්
ඔයා අනිවාර්යෙන්ම නවතිනවා, අස් වෙන්නෑ. මම දන්නැද්ද ඔයාගේ හැටි. අනේ වීරේ අපි කවදා හිටියත් මෙහෙන්
යන්න ඕන එකේ, අපි මේ පාර යමු යන්න" අම්මා කිව්වා.
තාත්තා අම්මා දිහාට හෙලුවේ නොපහන් බැල්මක්.
"ඔයත් මහ පුදුම කතානේ රූපා කියන්නේ? මේ මනුස්සයා මට අස්වීම දෙන්නැත්තම් මම ගහලා ගන්නද? නොදී
ඉන්න හේතුවක් ඇතිනේ. දැන් ආවාම කතා කරගමුකෝ. ඔයා කතා කරන්නේ හරියට මම යන්න බෑ
කිව්වා වගේ නෙ...දැන් මෙතන විකර කියකිය නොඉඳ යන්න ගිහින් ඔය ඉතිරි බඩු ටික ලෑස්ති කරගන්න"
තාත්තා කිව්වා.
අම්මා පෙට්ටිය උඩින් නැගිට්ටේ මොනවදෝ තනියෙම
මුමුණමින්. ආන්යට පුංචි හිනාවකුත් ගියා.
"එන්න තේ බොන්න" ආන්යට එහෙම කියාගෙන අම්මා කුස්සිය දිහාවට ගියා.
තාත්තටත් තේ එකක් අරගෙන ආන්යා සාලෙට එද්දි තාත්තා
පේන්න උන්නේ නෑ. ආන්යා ඉස්තෝප්පුවට ගිහින් බලද්දි තාත්තා උන්නේ මිදුල මයිමේ හිටගෙන
ඈත කඳු දිහා බලාගෙන. ආන්යත් ඒ දිහාවට පා නැගුවා.
"තාත්තේ තේ" ආන්යා එහෙම කියද්දි ඇගේ තාත්තා ඈ දිහා බැලුවේ ටිකක්
ගැස්සිලා වගේ.
"ආ..."
"තාත්තා මොනාද ඔය හැටි කල්පනා කරන්නේ?" ආන්යා ඇහුවේ ඔහු දිහා සුපරීක්ෂාවෙන් බලලා.
තාත්තා හිනා වුණා.
"කල්පනා කරන්නද දේවල් නැත්තේ සුදු දූ"
"තාත්තා මෙහෙන් යන්න ආස නෑ නේද? ඒක මං දන්නවා. තාත්තා දැන් ඉන්නේ දෙගඩියාවෙන්, යන්වද
නැද්ද කියලා. එහෙම නේද?" ආන්යා ඇහුවේ ඈත කඳු වලල්ලේ නෙත් රඳවන ගමන්.
තාත්ත සුසුමක් හෙලන හඬ ඈට ඇහුණා. ඔහු උන්නෙත් ඈත
බලාගෙන.
"ඒ මොකද දුව එහෙම කියන්නේ? දුවට හිතෙනවද මම එහෙමයි කියලා?"
"තාත්තා මේ වත්තට, මිනිස්සුන්ට කොච්චර ආදරේද කියන එක රහසක් නෙවෙයි නේ තාත්තේ. ඒකනේ මිනිස්සු
මෙච්චරම තාත්තට ආදරේ. ඊයේ රෑ කීය වෙනකල් කට්ටිය ආවද? ඒ තාත්තට ආදරේ හන්දා. මේ වත්ත මේ තත්වෙට ගෙනාවේ
තාත්තා කියලා හැමෝම දන්න්වා. ඒකම වෙන්න ඇති තාත්තා යනවට මනී මහත්තයා වුනත් අකමැති.
තාත්තා නොදන්නවට මං තාත්තා ගැන හොඳට දන්නවා තාත්තේ" ආන්යා කියද්දි ඇගේ තාත්තා
ඇ දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ. ආන්යා ඔහු දිහා බැලුවා.
"ඇත්ත නේද මං කිව්වේ?"
ගොලු වෙලා උන්නු තාත්තගෙන් ඈ ආයෙම ඇහුවා. ඔහු
හිනාවුණා විතරයි.
"මට සමාවෙන්න තාත්තා. ගොඩක් සමාවෙන්න. මේ සේරම වුණේ මගේ දුරදිග නොහිතා කරන
මෝඩ වැඩ හන්දයි. ඒත් ඇත්තටම මේ දේවල් මෙහෙම වේවි කියලා දන්නවනම් මම කවදාවත් අභී
වත්, ආර්යන්
වත් දිහා බලන්නේවත් නෑ" ආන්යා කිව්වේ හිත දුක්බර වෙද්දි.
තාත්ත පොඩ්ඩක් කලබල වුණා ඒ කතාව ඇහුවම.
"මොනවද දූ මේ කියන්නේ? එහෙම හිතන්න එපා. වෙන්න තියෙන දේ තමා වෙන්නේ. ඒක අපට වෙනස් කරන්න බෑ. ඔයා
අද මාව පුදුම කලා සුදු දූ. මම හිතුවේ නෑ කවදාවත් ඔයා මේ තරම් මාව තේරුම් අරන් ඇති
කියලා. ඔයා කියපු දේවල් ඇත්ත තමා. මම මේ වත්තට ආදරෙයි"
තාත්තා ඊට පස්සේ කතාව වෙන පැත්තකට හැරෙව්වා.
"මාත් එහෙමයි..." ආන්යා කිව්වේ දුකෙන්.
"ඒත් පුතේ අපි කවදාහරි යන්නම එපෑ අර අම්මා කියන්නා වගේ"
"මං දන්නවා තාත්තා. ඒත් දුක හිතෙන එක නවත්තගන්න මට තේරෙන්නෑ තාත්තා"
ඒ පාර තාත්තා කලේ ආන්යව එක අතකින් තමන්ට ලං කරගෙන
තුරුල් කරගත්තු එකයි. ඈ පුරුදු විදියට තාත්තගේ පපුතුරේ කම්මුලක් තියාගත්තා. ඈත කඳු
මුදුන් නැගගෙන එන හිරු රැස් වලින් කෙමෙන් කෙමෙන් ආලෝකමත් වෙන හැටි ආන්යට පෙනුනා.
"මම අද ආවේ වීරෙගේ බොස් හැටියට වඩා කාලයක් දන්න යාලුවෙක් හැටියටයි"
වේලිච්ච රෙදි වගයක් ගන්න පිළිකන්නට ගිහි උන්නු ආන්යා
මැද ගෙට එන්න එද්දිම වගේ ඈට ඇහුණේ මනී මහත්තයගේ කටහඩ. යන්න ආපු ගමන නවත්තලා ඈ හෙමිහිට
දොර රෙද්ද මෑත් කරලා සාලෙට එබුණා.
සාලේ ඈට පෙනුන පැත්තේ මනී මහත්තයයි, ඒ
නෝනායි වාඩි වෙලා ඉන්නවා ඈට පෙනුනා. මෙහා පැත්තේ පුටුවේ කවුරුත් උන්නද කියලවත් ඈට
පෙනුනේ නෑ. ඈ හෙව්වේ ආර්යන්ව.
"ඔව් සර්" තාත්තා කිව්වා.
"මට නොතේරෙන්නේ වීරේ, මේ අපේ පවුල් වල ඇතිවුණ ප්‍රශ්ණයක් හන්දා වීරේ ඇයි තමන් මේ තරම් හොඳට කරගෙන
ආපු රාජකාරිය අතාරින්න හදන්නේ කියලා. පවුල වෙනයි, වැඩ වෙනයි"
"එහෙම හන්දම නෙවෙයි සර්,
ඉතින් අපි කවදා හිටියත් මෙහෙන් යන්නම එපායැ"
"ඇයි වීරේ හිතුවද අස් නොවුණොත් මම අස් කරයි කියලා?"
එහෙම ඇහුවම තාත්තා රතු වුණ වග ආන්යා යන්තමට දැක්කා.
"අනේ නෑ සර්...එහෙම හිතුවා නෙවෙයි"
"හරි...අපි කෙලින්ම කාරණාවට බහිමුකෝ. වීරෙට අස් වෙන්නම ඕන නම් මම මේකට
සුදුසු කෙනෙක් හොයා ගන්නකල්වත් ඉන්න වෙනවා. නැත්තම් මේ වැඩ පාඩු වෙනවනේ. මම දැනටත්
ගන්න කෙනෙක් ගැන හිතලයි ඉන්නේ,
ඒත් එයාට තව ටිකක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ ගැන.
එයා එනකල් වීරෙට ඉන්න වෙනවා" මනී මහත්තයා කෙලින්ම කිව්වා.
තාත්තා අම්මගේ මූණ දිහා බැලුවා. අම්මා උන්නේ බිම
බලාගෙන.
"වීරේ මොකද කියන්නේ?"
මනී මහත්තයා ඇහුවා.
"ඔව් සර් මට තේරෙනවා සර් කියන එක. එහෙම නම් ඉතින් කවුරු හරි ගන්නකල් විතරක් වත් මම ඉන්නම් සර්. මට කම්පැනිය අමාරුවේ දාන්නත් බෑනෙ"
තාත්තා ටික වෙලාවක් අරන් එහෙම කිව්වා.
"ආන්න ඒකනේ. තෑන්ක් යූ වීරේ" මනී මහත්තයා කිව්වේ හිනාවෙලා.
"කෝ ආන්යා?" ආන්යගේ මහත් භීතියට හේතු වෙමින් මේ අස්සේ එහෙම ඇහුව ආර්යන්ගේ අම්මා.
"මේ හිටියා...ඉන්නකෝ මම බලලා එන්නම්. තේත් දැන් ලෑස්ති ඇති" එහෙම කියපු
ආන්යගේ අම්මා කුසිය දිහාට එද්ද්දි ආන්යා දොර ලඟින් මෑත් වුණේ ගැහෙන හිතින්.
"ආ... ඔයා මෙතනද?...අන්න අනුලා මැඩම් කතා කරනවා" අම්මා ආන්යව දැකලා
කිව්වා.
"අනේ අම්මා මට නම් යන්න බෑ...අනේ" ආන්යා කිව්වේ කටත් ඇද කරගෙන.
"මේ මොන පිස්සුවක්ද? ගිහින් කතා කරන්න. අපි වරදක් කරේ නෑනෙ, බය වෙන්න එපා. සාමාන්‍ය විදියට කතා කරලා එන්න"
අම්මා ආන්යා අතින් රෙදි ටික අරන් ඈව ඉස්සරහට යවන්න උත්සාහ කලා.
"අනේ අම්මා..."ආන්යා එක තැනම ඉඳගෙන කෙඳිරි ගෑවා.
"රූපා...සීනි අඩු තේ හදන්න" ආන්යා කුස්සියට වෙලා ඇඹරි ඇඹරි ඉන්දැද්දි
එහෙම කියාගෙන කුස්සියට එබුණේ අනුලා මැඩම්. ඈ ආන්යව එක පාරටම දැකලා හිනාවක් මුවට
නගා ගත්තා.
"මෙයත් කුස්සියෙද වැඩ?"
ආන්යා බිම බලාගත්තේ හිනා වෙන්නත් අමතක වෙලා. අනුලා
මැඩම් කුස්සිය ඇතුලට ආවා.
"අනේ මැඩම් මෙහාට මොකට ආවද?" අම්මා ඇහුවා.
"අනේ ඕක මොකක්ද? ආන්යා...දෝණි එක්කකෝ පොඩ්ඩක් මේ පැත්තෙන් එලියට යන්න" එහෙම කියාගෙන ඈ
කුස්සියේ දොරෙන් එලියට බැස්සා.
ආන්යා අම්මා දිහා බැලුවේ බියපත්ව. අම්මා ඉඟි කරලා
කිව්වා යන්න කියලා.
අනුලා මැඩම් ආන්යව තනි කරගන්න උත්සාහ කරනවා කියලා
ආන්යට හිතුණා. ඒත් ඒ මොනවා කියන්න වෙන්න ඇතිද කියලා ඈ හිතුවේ ගැහෙන හිතින්.
පිලිකන්නේ කොට්ටම්බා ගහ යටට අනුලා මැඩම් ඇවිදගෙන යද්දි ආන්යා ඒ පස්සෙන් ගියේ
කරගන්න දෙයක් නැතිව.
"මේ පුටුව තාම මෙතන තියෙනවා නේද?" අනුලා මැඩම් කොට්ටම්බා ගහ යට බංකුව පෙන්නලා එහෙම
ඇහුවේ ආන්යව පුදුමයට පත් කරමින්.
අනුලා මැඩම් ආන්යගෙන් උත්තරයක් නාහම ගිහින් ඒ බංකුවේ
වාඩි වුණා.
"එන්න වාඩි වෙන්න දෝණි" ඈ එහෙම කිව්වාම ආන්යා තවත් පුදුම වුණා. ඈ ඒ
නමින් තමන්ට කතාකරන්නේ ඇගේ හිතේ අමනාපයක් නැති
නිසාවද කියලත් ආන්යට නොහිතුණා නෙවෙයි. ආන්යා ගිහින් බංකුවේ එක කෙල්වරක වාඩි
වුණා.
"මම මනීව බැඳලා මුලින්ම ආවේ මේ වත්තට. එතකොට එයා මෙහේ මැනේජර් කෙනෙක්. ඔයා
දන්නේ නැතිව ඇති සමහරවිට අපි මුල් අවුරුදු දෙකේ විතර නැවතිලා හිටියේ මේ
ගෙදරමයි. මේ බංකුව මට හයි කරලා දුන්නේ ඒ දවස්වල ගෙදර වැඩට හිටිය මාඩසාමි කියලා
කෙනෙක්. මං හරි ආස තැනක් මේ" අනුලා මැඩම් කිව්වේ ආන්යව තවත් පුදුම කරමින්. ඈ
කියපු මේ දේවල් ඈ කවදාවත් දැනගෙන උන්නු දේවල් නෙවෙයි.
"ඒ වග මං දැනගෙන හිටියේ නෑ" මොනා හරි නොකිව්වොත් හොඳ නැති හන්දා ආන්යා
එහෙම කිව්වා.
අනුලා මැඩම් ඈට බලාගෙන හිනාවුණා යන්තම්.
"මම...මනී එක්ක ආවේ තනි කැමැත්තට. අපේ ගෙදරින් එකහෙලාම මේකට විරුද්ධ වුණා.
අපි නුවර වලව් පෙලැන්තියේ හන්දා. ඒත් මං ආවා. ගෙදරින් මං මැරුණා කියලා දානෙකුත්
දුන්නා(ඈ එහෙම කියලා ආයෙම හිනා වුණා). ඒත් එහෙම වුණා කියලා මම ගත්තු තීරණේ මගේ
නරකට හිටියේ නෑ. මනී කියන්නේ පුදුම හොඳ මනුස්සයෙක් නිසා. ඔයා බලනවා ඇති මං ඇයි මේ
ඔයාට මේවා කියන්නේ කියලා නේද?"
එක පාරටම දැහැනකින් මිදුනා වගේ ආන්යා දිහා බලපු අනුලා
මැඩම් කිව්වා. ආන්යා හිනාවෙලා බිම බලාගත්තා.
"දෝණි...ආදරේ කියන්නේ මොකක්ද කියලා මම හොඳට දන්නවා. එදා දවසේ වුණ
දේවල් එක්ක බලද්දි ඔයාගේ මානසිකත්වය මොකක්ද කියලා මට හොඳට තේරුම් ගන්න පුලුවන්.
ඒත් අභීවත්, ආර්යන්වත් නරක ළමයි නෙවෙයි. ඒ දෙන්නම එයාලගේ තාත්තා වගේ හොඳ, අවංක
ළමයි දෙන්නෙක් කියලා මට සහතික වෙන්න පුලුවන්.." ඈ එහෙම කියද්දි ආඅන්යා ඉක්මණට
ඈ දිහා බැලුවේ හිත දුකින් බරවෙද්දි.
"මං ඒක දන්නවා මැඩම්"
අනුලා මැඩම් ආන්යගේ දෑස් දිහා බලාගෙන හිටියා.
"මට ඔය තුන් දෙනා ගැනම හරි දුකයි. මම සිද්ධ වුණ සේරම දැන් දන්නවා. ඒක ඇහුවම
මට ඔය තුන් දෙනා ගැනම දුක හිතුණා හරියට. ගොඩක්ම ආර්යන් ගැන. එයා කවදාවත් අපට
අකීකරු නූන, හිත් නොරිදවපු ළමයෙක්. අපේ උවමණාවටමයි එයා ශර්මිට කැමති වුණේ. ඒත් පුතේ අපි
කොහොමද එයාගේ හිත කියවන්නේ? අපි කොහොමද දන්නේ එයාගේ හිතේ ඉන්නේ කවුද කියලා? අපි හැදුවේ එයාට හොඳක් වෙන දෙයක් කරන්න මිස, සල්ලි
නිසා නෙවෙයි. ශර්මිලා කියන්නෙත් ඔයා වගේම හොඳ ළමයෙක් හන්දා. ඒත් අපිට එතනදි
වැරදුනා. ආරු ආදරේ කලේ එයාට ඕන වුණේ ඔයාව. ඒකෙන්
වුණේ මෙහෙම දෙයක් වෙන්න අපිත් එක අතකින් දායක් වුණ එකයි. මනී අද දුකෙන් ඉන්නේ
ආරුගේ මැරෙජ් එක නූන නිසා නෙවෙයි, ආරුව එයාට හරියට තේරුම්ගන්න බැරි වුණා කියලයි. තමන්ට
ආදරේ කරන්න බැරි කෙනෙක්ව මොනම හේතුවක් නිසාවත් මැරි කරන්න ඕන නෑ කියන ස්ථාවරේ මමයි, මනීයි
දෙන්නම හිටියා. දැන් ආර්යන් නිදහස්. ඒත් ඔයයි, අභීයි වෙන් වෙලා. මේ දේවල් අපි දෙන්නටම දරා ගන්න හරි
අමාරුයි දෝණි" එහෙම කියලා අනුලා මැඩම් ලොකු සුසුමක් හෙලුවා. ආන්යට ඈ ගැන ලොකු
අනුකම්පාවකුත්, ආදරේකුත් දැනුනා. මේ දෙපල තමන්ගේ ළමයින්ව කොච්චර හොඳට තේරුම්ගෙනද කියලා ඈට
හිතුණා.
"මට සමාවෙන්න මැඩම්, මේ සේරටම මම ලොකු වැරදිකාරියක්" ආන්යා කිව්වා.
"ඔයා විතරක් නෙවෙයි අපි සේරම"
"ඒත් මම දැන් ඇත්ත තේරුම් ගත්තු නිසයි අභීගෙන් වෙන් වෙන්න හිතුවේ. මම හිත
හදාගෙන එයාට ලං වෙන්න උත්සාහ කලා. එතකොට මේ ප්‍රශ්ණේ ඇදිලා ආවා. එවෙලේ අභී කලේ
එයාගේ තරහා පිරිමහපු එක මිස ඇත්ත මොකක්ද කියලා හොයලා බලපු එක නෙවෙයි. ඒයා මගේ හිත
කැඩුවා මැඩම්, ඒකයි අපි වෙන් වුණේ" ආන්යා කිව්වේ මදක් ආවේගශීලීව.
""මං දන්නවා ඒක. අභී ඒ ගැන සෑහෙන්න කණගාටු වුණා. ඒත් ඔයාගේ හිතට එකඟ නැතිව
ඔයා ඇයි අභීට ලං වෙන්න හැදුවේ කියලා නම් මට හිතාගන්න බෑ"
ආන්යා අහක බලාගෙන සුසුමක් හෙලුවා.
"මට බය හිතුණා අභීට මොනාහරි වේවි කියලා. ඒ එක්කම ආර්යන් අයියා ශර්මිලාව
අතාරියි කියලත් මට බය හිතුණා. ඒ පවට දායක වෙන්න මට පුලුවන් කමක් තිබ්බේ නෑ"
ආන්යා ඉක්මණට කිව්වේ තිත්ත බේත් බොන්න වගේ හැඟීමකින්. මේවා ඉක්මණට කියලා ඉවර කරන්න
හිතාගෙන වගේ.
"ඔයා දැනගෙන හිටියද ආර්යන් ඔයාත ආදරේ වග?"
ආන්යා වචනෙන් උත්තරයක් නොදී හිස වැනුවේ දුකෙන් වගේම
ලැජ්ජාවකින්.
අනුලා මැඩම් මොහොතක් කතා නොකර උන්නා. ආන්යත් කැලඹුණ
හිතින් යුතුව ඔහේ වාඩි වෙලා උන්නා.
"මං දෙයක් අහන්න දෝණි මට ඇත්තම කියනවද?" ඊත පස්සේ ඈ ඇහුවාඅ.
ආන්යා ඈ දිහා බියපත්ව බැලුවේ මොනා අහයිද කියලා බයෙන්.
"ඔයා ආර්යන්ට තාම ආදරේද?"
ඒ ඇහුවේ ආන්යාට උත්තර දෙන්න අමාරුම ප්‍රශ්ණයක්. ප්‍රශ්ණේ
වුණේ උත්තරේ නෙවෙයි, ඒක කාටවත් කියන එකයි. ආන්යා උකුල උඩ
තිබ්බ තමන්ගේ දෑත් දෙක දිහා බලාගෙන උන්නා.
"ඇයි මොනවත් නොකියන්නේ, එහෙම දෙයක් නැති හන්දද?"
අනුලා නැඩම් ආයෙම එහෙම ඇහුවම ආන්යා ඈ දිහා යන්තමත
බැලුවා විතරයි.
"දෝණි...සමහර වෙලාවට ජීවිතේදි අපි හරි තීරණ වගේම වැරදි තීරනත් ගන්න අවස්ථා
ඕන තරම් තියෙනවා. එකම දේ අපි ගන්න වැදරි තීරණ අපට හිතන්න දෙයක් ඉතිරි කරනවා. ඉගෙන
ගන්න දෙයක්. එතකොට අපට පුලුවන් වෙන්න ඕන හරි දේ කරන්න ඒකෙන් පාඩම්ක් ඉගෙන ගන්න. මං
ඔයාට කියන්නේ මෙච්චරයි. ඔය මං අහපු දේට උත්තරේ මොකක් වුණත්, ඔයා හිතට එකඟව හරි දේ කරන්න. හිතට විරුද්ධව අභීව
තෝරගත්තා වගේ දෙයක් කරන්න එපා. මම මෙහෙම කියන්නේ ඔයා මගේම දුවක් වගේ කියලා මට
හිතෙන හන්දා. මම දන්නවා මෙතන ඔයාට ආර්යන් තෝරගන්නවද නැද්ද කියලා හිතද්දි හිතන්න ප්‍රශ්ණ
ගොඩක් තියෙනවා කියලා. ඒත් ඔයා හිතට එකඟව කරන්නේ හරි දේ නම්, ඔයාව අපේ ගෙදරට ආයෙම බාර ගන්න අපේ අකමැත්තක් නෑ
කියන්නයි මට ඕන වුණේ" අනුලා මැඩම් කිව්වා.
ආන්යට කරකැවිල්ලක් වගේ දැනුනා ඒවා අහද්දි. ඒ වගේම
අනුලා මැඩම් ගැන ලොකු ගෞරවයකුත් ඈට දැණුණා. මෙච්චර හොඳ මිනිස්සුත් ලෝකේ ඉන්න පුලුවන්ද
කියලා ඈට හිතුණා.
ඊට පස්සේ අනුලා මැඩම් එතනින් නැගිටලා යන්න ගියේ
ආන්යගේ හිසත් අතගාගෙන. ආන්යා කොට්ටම්බා ගහ යට බංකුවේ තනි වුණා. ඈට මීදුමෙන් වැහුන
හිස් අවකාෂය දිහා බලාගෙන ඈ කල්පනා කලේ ඇත්තටම තමන් දැන් කරන්න ඕන මොනවද කියලයි.
අදත් කතාව ලස්සනයි නෙතූ...
ReplyDeleteඅදනම් ලස්සනම ලස්සන අවසානයක් තියෙනවා නෙතු අක්කි...
ReplyDeleteහ්ම්................ ආර්යන්ට හිමි වෙයි කියලා හිතනවා....
ReplyDeleteආන්යා මැට්ටියේ.. තව මොනාද හිතන්න තියෙන්නේ.
ReplyDeleteඔහොම යන් ඔහොම යන්
ReplyDelete