Monday, June 4, 2012

පනස් එක්වෙනි කොටස


හ්ම්" ආන්යගේ කතාව අහගෙන හිටපු අංජලී සුසුමක් හෙලුවා.
ආන්යා ඇඳ විට්ටමට හේත්තු වෙලා, ජනේලෙන් ඉවත බලාගෙන උන්නා.
"ඒ කියන්නේ දැන් ඔයා ආර්යන් අමතක කරලා අභීට කැමති වුණා?" සම්මානි ආන්යා කියපු දේම ආයෙම ඇහුවේ ඈට ඒක විශ්වාසකරන්න බැරි වුණා වගේ.
"ඔව්...ඒත් ඒක මට කරන්න සිද්ධ වුණා. මම නිසා අභීට මොනාහරි එදා වුණානම් කියලා හිතද්දිත් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා..."
"ඒත් ඉතින් ඔයා එයාට අනුකම්පාවෙන් ඕක පටන් ගත්තා නම්, ඔය කියන විදියට, මං දන්නෑ ඒක කොයිතරම් දුරට හරිද කියලා" රශ්මි කිව්වේ බැරෑරුම්ව.
"අනුකම්පාවක්ම නෙවෙයි රශ්මි...මට හිතෙනවා මම එන්න එන්න අභීට ලං වෙනවා කියලා. ආර්යන් කියන්නේ කවදාවත්ම මගේ නූණ, වෙන්නත් බැරි කෙනෙක්...මගේ හිත එයාට ඇදුනා තමයි, ඒත් අභීට වචනයක් දුන්න දා ඉඳලා මම, ආර්යන් අයියා ගැන නොහිතා ඉන්න උත්සාහ කරනවා. ඒත් එයා අර විදියට පිස්සු නටැද්දි මගේ හිතට හරි නෑ රශ්මි. මං දන්නෑ ඇයි එයා තවත් මෙහෙම කරන්නේ කියලා...මට එයා ගැන දුකයි. ඒත් මං කවදාවත් අභීට වුණ පොරොන්දුව කඩන්නෑ..." ආන්යා කිව්වේ හැඟීම්බරව.
"අන්න එහෙම එක සොලිඩ් අදහසක ඉන්න ආන්යා...නැත්තම් ඔය තුන් දෙනාටම විඳවන්නයි වෙන්නේ"
"මම එහෙම වෙන්න දෙන්නෑ...අභීගේ විශ්වාසෙ කවදාවත් මං කඩන්නෑ..." ආන්යා යෙහෙලියන්ට කිව්වට වඩා ශපථ කරගත්තේ තමන්ටමයි.
"දැන් ඉතින් ගෙවල් වලිනුත් දන්න හන්දා කොහොමත් මොනවත් කරන්න බෑනෙ. අනික ඔය කියන විදියට ආර්යන්ලගේ අම්මා ඔයාට ගොඩක් කැමතියි වගේ මට පේන්නේ. හොඳම දේ තවත් ආර්යන් මොනා කලත් ඔයා ඒව ගණං නොගෙන ඉන්න එක කියලයි මට හිතෙන්නේ. ඕවා කරලා කරලා කවදාහරි එයාටම තේරෙයිනේ මේක තේරුමක් නැති දෙයක් කියලා" හැමෝම කියන ඒවා අහගෙන උන්නු පාරමී ආන්යට කිව්වා.
"මටත් එහෙම හිතෙනවා ආන්යා. මොනා කලත් දැන් ඉතින් ඔයාගෙයි, අභීගෙයි කටයුත්තත් තීන්දු වුණා වගේ තමා" සුසුමක් හෙලපු සම්මානි කිව්වා.
"දැන් කවද්ද ආර්යන්ගේ මගුල තීන්දු කරන දවස? ඔයාලා එහේ යන්වනේ?" එහෙම ඇහුවේ අංජලී.
"හ්ම්...තිහ. අපට විසි අට එන්න කියලයි අරාධනාව නම්. ඒත් අම්මලා මොනවා කරයිද දන්නෑ" ආන්යා කිව්වා.
"ම්ම්...එතකොට මේ සේරම ඉවර වෙනවා ආන්යා. ආර්යන් ශර්මිලාව බඳීවි, ඒකේ දෙකක් නෑ. එයා අභීට ආදරේ නම් කීයටවත් දැන් එයා ඔය දෙන්නා අතරට එන්න හිතන එකක් නෑ. එතකොට ඔයාලා දෙන්නගේ අසම්පූර්ණ චැප්ටර් එක එහෙමම නිමා වෙනවා. ඊලඟට ඔයාට ඉතිරි වෙන්නේ අභී එක්ක පටන් ගනිපු අලුත් ජීවිතේ...ඔය පරණ දේවල් අමතක කරලා, දැන් අලුතින් හිතන්න ආන්යා..ඒකයි හොඳම වැඩේ" අංජලී ආයෙම කිව්වා.
"හ්ම්..." ආන්යා කිව්වේ එච්චරයි.
ඒත් මොකක්දෝ හේතුවකට ඈට ආර්යන්ව ආයෙම මතක් වුණා. ඒ මුලින්ම ඔහුව දැකපු දවස. ඔහු වත්තේ එස්.ඩී. කියලා වරදවලා හිතපු දවස. එදයි අදයි කොච්චර නම් වෙනස්ද කියලා ආන්යා කල්පනා කලා. ඒත් ඒ ගෙවිලා ගිය සියලුම දේ අතීතයට එක් වෙලා තිබුණා. ආයෙම කවදාවත් එකතු කරගන්න බැරි විදියටම.
නේවාසිකාගාරේ පාඩම් කරන මේසෙ අසලට වෙලා තනියෙම අහස දිහා බලාගෙන ආන්යා තැනින් තැන වලාකුලු අස්සෙන් පෙනුන තරු දිහා බලාගෙන උන්නා. කනේ තියාගෙන උන්නු ෆෝන් එකෙන් අභී හුස්ම ගන්න හඬ හෙමින් ඇවිත් ඇගේ සවනත හැපුණා.
"ඉතින් මොනාද කරන්නේ කියන්නකෝ..." අභී ඇහුවේ ලතාවකට.
"ම්ම්...ඔයාට කතා කරනවනේ" ආන්යා කිව්වා.
අභී හිනාවුණා.
"දන්නවද මීනු, ඔයා එක්ක මෙහෙම කතා කර කර ඉද්දි හිතේ තියෙන්නේ මාර සැනසීමක්. ඔයා පිට පිටම මාව එපා කියපු දවස් හරියට හීනයක් වගේ. ඒ දවස් වලදි මම හිතුවේ නෑ, අපි මේ තරම් ඉක්මණට මෙහෙම ලං වේවි කියලා" අභී හිටපු ගමන් හැඟීම්බර වෙලා.
"අපි හිතන දේවල් නෙවෙයි ඇත්තටම අපට ලැබෙන්නේ...අපට ලැබෙන්න සුදුසු දේවල්. එහෙමයි මට හිතෙන්නේ" ආන්යා කිව්වා.
"ඒකද ඔයාව මට ලැබුණේ?"
"ම්ම්...වෙන්න ඇති නේද?" ආන්යා එහෙම කිව්වාම අභී ආයෙම හිනාවුණා.
"ඔයාව මට හම්බුනේ ඔයා මගේ වෙන්න ඕන නිසා තමයි මීනු...යූ ආ ඔන්ලි මයින්"
ආන්යා මුනිවත රැක්කේ ඈට සියුම් ලැජ්ජාවක් දැනුන හන්දා වෙනා ඇති. අභීත් මොහොතකට නිහඬ වුණා. ඒ හිත් දේකේම තිබුණ හැඟීම් වල බර නිසා වෙන්න ඇති.
"ඒක නෙවෙයි, මට කියන්නකෝ කොහොමද දැන් කකුල කියලා. ප්ලාස්ටර් එක කැපුවට පස්සේ අමාරුද හෙලවෙද්දි, හැරෙද්දි හෙම?" ඊට පස්සේ කතාව වෙනතකට යොමු කරපු ආන්යා ඇහුවා.
"ටිකක් අමාරුයි නී එකට බර එද්දි. ක්ලච් එක නිතරම ඕන. කලක් යද්දි ආයෙම නෝමල් වෙයි කියලා ඩොක්ට කිව්වා. ඒත් අරක ගලවලා දැම්මට පස්සේ නම් මාර පහසුයි" අභී උත්තර දුන්නා.
"හ්ම්..." ආන්යා සුසුමක් හෙලුවේ අභී ගැන උපන්න දුකකින්.
"මීනු...ඇයි?" අභීට ඒ වෙනස තේරිලාද කොහෙද.
"නෑ...මං හිතුවේ එදා මම ඔයා එක්ක රණ්ඩු නූනානම් මේ මොනවත් නෑනෙ කියලා..."
"ඔන්න ඉතින් ආයෙම පටන්ගත්තා. එහෙම හිතන්න එපා මීනු. එහෙම නොවෙන්න අපි ලං වෙන්නෙත් නෑනෙ. හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ" ඔහු කිව්වේ දයබරව.
"කකුල කැඩුන එක හොඳක් වෙන්නේ කොහොමද?"
"හිත කැඩෙනවට වඩා ඒක හොඳ නැද්ද?" අභී ඇහුවා.
"ම්ම්...එහෙම නෙවෙයි. මට දුකයි ඔයා ගැන"
"දුක් වෙන්න එපා...කිසිම ප්‍රශ්ණයක් නෑ. කකුල කපන්න වුණේ නෑනෙ මීනු...ඩෝන්ට් බී පෙසිමිස්ටික්..සී ද බ්‍රයිට් සයිඩ් ඔෆ් දිස්..."
ආන්යා ආයෙම සුසුමක් හෙලුවා.
"සුසුම් හෙලන්න එපා මීනු...ඔයා දුක් වෙනවට මං ආස නෑ කියලා දන්නවනේ?"
"හරි හරි...ඉතින් මට කියන්නකෝ අම්මා එහෙම සනීපෙන්ද?"
ආන්යා ඒ පාර කතාව වෙන අතකට හැරෙව්වා.
"අපොයි ඔව්, හොඳින් ඉන්නවා, රටේ නැති කලබල ඔලුවේ දාගෙන"
"ඒ මොනාද?"
"ඇයි අන්නගේ නැකැත් බලන දවසේ වැඩ? මේ අපේ අප්පලගේ පැත්තේ කස්ටම්ස් වලටනේ ඕක කරන්න හදන්නේ. අනික ශර්මිලාගේ කට්ටියත් වෙරි කන්වෙන්ෂනල්. ඉතින් බඳින්න මාස පහකට විතර කලින් ඉඳලම මගුල්. අම්මා හරියට වයින් කරපු බෝනික්කා වගේ. අප්පත් මේ දවස් වල කෙන්යා ගිහින් නිසා, ඔක්කොම එයාගේ පිට නේ" අභී කිව්වා.
ආන්යගේ හිත යන්න්තමට සැලුනත්, ඈ ඒක අමතක කරන්න උත්සාහ කලා.
"ම්ම්...අන්නා තාම හැටන් නේද ඒ වුණාට?"
"හ්ම්...එයාට ගාණක් නෑ. සේරම අම්මා කරනවනේ. රිංග්ස් බලන්න්වත් ආවේ නෑ කියලා ශර්මි නාහෙන් අඬනවා. එයාගේ හැටි එහෙම තමයි. සයිලන්ට්, හාඩ් ටු අන්ඩස්ටෑන්ඩ්...බට් ප්ලැටිනම් මයින්ඩ්" අභී අන්තිම ටික කිව්වේ බර කරලා.
"ම්ම්" ආන්යා හූමිටි තිබ්බා.
"ඔයා එදාට එනවා නේද?" අභී ඊලඟට ඇහුවා.
"බලමු ගෙදරින් තමා කියන්න ඕන"
"බලමු කියන්නේ? බලමු නෙවෙයි එන්නම ඕන. ඔයා නෑවිත් කොහොම්ද? නෑයන්ට පෙන්නන්නත් ඕන කියලා අම්මත් කිව්වා. ඒ නිසා විසිඅට එන්න...ප්ලීස්. නැත්තම් මම එනවා අරන් යන්න"
ආන්යට හිනා ගියා.
"මං එන්නම් අභී...අම්මලා ඒවි"
"ම්ම්...ඔයාව බලන්න ඇස් පෙරුම් පුරාගෙන ඉන්නේ. කොච්චර කල් දැක්කේ නැද්ද? ඉට්ස් ලයික් ඒජස් ඇන්ඩ් ඒජස් සින්ස් අයි හැව් ලාස්ට් සීන් යූ..."
"අපි ඉක්මණට මුණගැහෙයි" ආන්යා කිව්වේ හෙමින්.
"ම්ම්...මම බලාගෙන ඉන්නවා"
"මමත්"


5 comments:

  1. ශා කියවන්න තියෙනවනේ ගොඩක්..මේ දවස් වල හම්බුන මෙගා ඔක්කොම හය හත යන්නේ..එව්වා ඔක්කොම එක හුස්මට කියෙව්ව හැකි..මේ ඉන්නේ දැන් එකක්..පනස් ගණන් නේ යන්නේ..මම හිමීන් සිරුවේ කියවන් එන්නම්කෝ අද ඉදන්.. :)

    ReplyDelete
  2. හෙමින් හෙමින් කියවන්න නිම්ෂා...මේ පැත්තේ ආවට ගොඩක් ස්තුතියි...කතාවට කැමති වෙයි කියලා හිතන්වා...
    පනස් ගාණක් ගියාට කොටස් එච්චර දිග නෑ :)

    ReplyDelete
  3. දැන් නම් හාට් බීට් එක වැඩි වෙනවෝ.....30 වෙනිදා මොනවා වෙයිද??? කාගෙවත් හිත් රිදෙන දෙයක් නම් වෙන්න දෙන්න එපා නෙතු අක්කියෝ

    ReplyDelete
  4. නෙතූගෙ අන්තිම කතාවත් සතුටකින් ඉවර වුන නිසා මේකත් එහෙම වෙයි කියලා හිතාගෙන ඉන්නවා..මේ වෙන දේවල් කියෙව්වාම වෙන දෙයක් හිතාගන්න අමාරුයි..

    ReplyDelete
  5. ආන්යට වැඩියෙන්ම ආදරේ කෙනාට එයාව හම්බවෙයි...ඒත් එහෙම කලා කියලා මා එක්ක සමහර අය අමනාප වේවිදත් මන්දා...

    ReplyDelete