Monday, June 25, 2012

හැට තුන්වන කොටස

ආයෙම උදා වෙලා තිබුණේ වස්සාන කාලේ. ඒ කියන්නේ වහින කාලේ. ආන්යා ආසම කරපු කාලේ. උදේ හවස වෙනසක් නැතිව වැහැ වැහැ තියෙද්දි ආන්යට ඕන කලේ පාඩම්කරන්වට වඩා ඒ වැස්ස දිහා බලාගෙන ඉන්න. ගෙදර කාමරේ ජනේලෙන් එලිය බලාගෙන,සිතිවිලි වලට ඔහේ දඟ කරන්න ඉඩ දීලා ඉද්දි ආන්යට හිතුණේ ආපහු කැලඹිච්ච ජීවිතේ කෙමෙන් කෙමෙන් ඉස්සර වගේ වීගෙන එනවා කියලයි. ඉස්සර වගේ ආයෙම හිත පුරා හිනාවෙන්න, තාත්තයි, අම්මයි එක්ක හුරතල් වෙන්න, කුට්ටි එක මල් කඩන්න යන්න ඈට ආයෙම පුලුවන් වෙලා තිබුණා. ආන්යගේ මේ වෙනසින් කාටවත් වඩා සතුටු වුණේ තමන්ගේ තාත්තා කියලා ආන්යා දැනගෙන හිටියා. මේ හැම වෙනසක්ම අස්සේ ආර්යන් හෙවනැල්ලක් වගේ ආන්යා පස්සෙන් උන්නේ ඇගේ හැමදේකටම උදව් කරමින්. ආන්යගේ හිතේ ඔහු ගැන ආදරේකට වඩා තිබුණේ ගෞරවයක්.


"බේබි යමුකෝ...වැස්සක් එන්න යන්නේ" ගෙයි පිටිපස්සේ වත්තේ ආන්යා එක්ක රාබු ගලවමින් උන්නු රාධා කතා කලේ ආන්යට වත්තෙන් එන්න කිසිම අදහසක් නොතිබ්බ හන්දයි.
"වැස්සට ඔච්චරම බයද රාධෝ...පොඩ්ඩක් තෙමුණට දිය වෙන්නෑ, නැද්ද ගෝපි?" ආන්යා ඇහුවේ ගලවපු රාබු මල්ලකට පුරවමින් උන්නු ගෝපිගෙන්.
"ඒකනෙ..."
ආයෙම ආන්යා මොනවත් කියන්න කලින්ම මොර ගෙඩි වැස්සක් එක පාරටම ඇද වැටෙන්න ගත්තා. ආන්යා උඩ බලාගෙන වැහි බිංදු මූණට වැටෙන්න ඉඩ දුන්නා. සීතලට මූණේ වැදිලා බිඳිලා යන වැහි බිංදු වල පහස ඈට ගෙනාවේ සතුටක්.
"අයියයියෝ...මම නම් දුවන්වා" රාධා දුවන්න ලෑස්ති වෙද්දි ආන්යා ඇගේ අතකින් අල්ලලා තමන්ගේ පැත්තට ඇදගත්තේ හිනා වෙවී. ගෝපිටත් හිනා. රාධා කෑ ගහනවා. කොහොමොඉන් හරි විනාඩි දෙකක්වත් යන්න කලින් තුන් දෙනාම හොඳටම වැස්සෙන් තෙත බරිත වුණා. වත්තේ පස් හේදිලා එතන දැන් තිබුණේ එකම මඩ ගොහොරුවක්.
"පිස්සුද බේබි මෙහෙම මඩේ නටන්නේ?" රාධා ඇහුවේ ආන්යා උඩ පනිද්දි ඇඟට මඩ විසිවෙන එක වල්ක්වගන්න උත්සාහ කරමින්.
"ආන්යා..." මේ අස්සේ ගෙදර ඉඳන් අම්මා කෑ ගැහුවා.
"අපි මෙහේ..." ආන්යා වත්තෙන් උඩත නගින පඩියකට නැගලා කෑ ගැහුවා. එතකොටයි ඈ දැක්කේ අම්මා පිළෛකන්නේ එලිපත්තේ හිටගෙන උන්නේ තනියෙම නිවෙන වග. බෙල්ල දික් කරගෙන ඈ උන්නු දිහාට එබිකම් කරගෙන උන්නේ ආර්යන්. කවදාවත් නැතිව අද හොඳට කෝට් හෙම දාලා, ලස්සන මහත්තයෙක් වගේ. ආන්යා එහෙමම පඩිපෙල නැගලා ගෙයි දිහාඅ ආවේ ලැජ්ජාවෙන් වගේ. තවමත් අනෝරා වැස්ස එක දිගටම ඇදහැලෙමින් තිබුණා.
"හනේ හනේ...ලස්සනයි ගෑණු ළමයෙක්ගේ හැටි...වැස්සේ තෙමිලා ලෙඩක් හෙම හැදුනොත් ඔන්න මට නම් කියන්න එපා කසාය තම්බන්න. හැමදාම කියනවා හවසට වැස්සේ ත්ගෙමෙන්න එපා කියලා" අම්මා ආන්යා දිහා බලලා ඉනටත් අත් දෙක තියාගෙන කිව්වා.
ආන්යා ආර්යන් දිහා බලලා හිනාවුණේ උරහිස් හකුලුවමින්.
"ඔහොම ඉන්න, මාත් එනවා" ආන්යා ගෙට ගොද වෙන්න යද්දි ඈව නවත්තපු ආර්යන් කිව්වේ ඇඳගෙන උන්නු කෝට් එක ගලවන ගමන්.
"ඔහොම?" ආන්යා ඇහුවේ පුදුමෙන් වගේ.
"ඔව්" සපත්තු දෙකත් ගලවලා එතනම් තියපු ආර්යන් කලිසමේ කකුල් දෙක නවාගෙන ආන්යා උන්නු තැනට පැන්නේ අම්මා පුදුමෙන් ගොලු වෙලා බලාගෙන ඉද්දි.
"මේ ළමයි දෙන්නටම පිස්සු. ඕන එකක් කරගන්න එකයි. කිව්වා නාහන ගුරු ඉහල නම් ඉහල, පහල නම් පහල කිව්වලු" අන්තිමට එහෙම කියල, ආර්යන්ගේ ඇඳුම් ටිකත් අරගෙන අම්මා ගෙට යන්න ගියා.
ඒ පස්සෙන්ම රාධාත් ගෙට දිව්වා. රාබු මල්ල අතේ අරගෙන උන්නු ගෝපි වැස්සේ තෙමෙන දෙපල දිහා බලාගෙන උන්නේ හිනාවෙමින්.
ආර්යන් දෑත් දෙපසට කරගෙන උඩ බලාගෙන උන්නා.
"හරි ෂෝක්...වැස්සේ තෙමෙද්දි මාර ජොලි. ඉස්කෝලේ ගිය කාලෙට පස්සෙම මේ මම වැස්සේ මෙහෙම තෙමෙනවාමයි"
ආන්යා තෙමෙමින්ම වටයක් කැරකුනා.
"ඉතින් ඇයි අද මේ පැත්තේ?" ඊට පස්සේ ඈ ඇහුවා.
"ලොකු වැඩකට ආවා"
"කෝට් බෝට් ඇඳගෙන ඉද්දි මට හිතුණා. මොකක්ද ඉතින් ලොකු වැඩේ?"
"මගේ හාමිනේ බලන එකනේ" ආර්යන් කිව්වේ ආන්යා දිහාට ආදරණීය බැල්මක් හෙලමින්.
"ඇත්තට? කවුද අප්පේ ඒ? ඔයාට මෙහේ හාමිනේ කෙනෙකුත් ඉන්න වග අපි දන්නෑනෙ" ආන්යා කිව්වේ විහිලුවට.
"දන්නෙම නැද්ද?"
"ම්හු..."
"එන්නකෝ පෙන්නන්න" එහෙම කියපු ආර්යන් ආන්යවත් ඇදගෙන දිව්වේ වත්ත කෙලවර කොට්ටම්බා ගහ යට බංකුවට. එතනත් තිබුණේ හොඳටම තෙමිලා. ඒත් ඒ වග නොතකා දෙන්නම එතනින් වාඩි වුණා.
"කෝ ඉතින්?" ආන්යා ඇහුවා.
"මේ ඉන්නේ?" ආර්යන් නහය පෙන්නුවා.
"අනේ ඔයා හරි නරකයි"
"දන්නෑ වගේ අහන්නේ ඇයි එහෙනම්?"
ඒ පාර ආන්යට හිනාවක් ගියා.
"ඇයි කියන්නකෝ ඉතින් මේ ලස්සනට ඇඳගෙන?"
"ඔයා බලන්න තම මේ ආවේ. ම්...ඊට කලින් එහේ ඔෆිස් එකේ පොඩි උත්සවේකුත් තිබුණා. අප්පා මටයි, අභීටයි අද අපේ බිස්නස් එකේ ෂෙයාස් පවරලා දුන්නා..."
ඒක ඇහුවාම ආන්යගේ හිතේ උපන්නේ ලොකු සතුටක්.
"ඒ කියන්නේ ඩිරෙක්ටර් මහත්තයෙක්?"
"හ්ම්..හ්ම්..." ආර්යන් හිස තාලෙට වනමින් කිව්වා.
"හම්මෝ බයේ බෑ. දැන් ලොකු මහත්තයෙක් නේ" ආන්යා කිව්වේ ඔහුගෙන් ඈතට යන වගක් අඟවමින්.
ආර්යන් ඇගේ උරහිස වටා අතක් දාලා ඈව තමන් දිහාට ලං කරගත්තා.
"එහෙම නෑ...මම තාමත් ඉස්සර හිටපු ආර්යන්මයි. ඩිරෙක්ටර් කෙනෙක් වුණත්, ඔයාගේ තාත්තගෙන් පස්සේ ජී.එම්. වෙලා මෙහාට එන්නේ මමම තමයි" ආර්යන් කිව්වේ ඇගේ මූණට එබෙන ගමන්. ආන්යා ඒ දැස් දිහා බැලුවා.
"ඔයා මෙහාට එච්චරම ආසද?"
"මං ආස නිසාටත් වඩා, ඔයා ආස හන්දා" ඔහු කිව්වේ ආදරෙන්.
ආන්යා මොන්වත්ම නොකියා ඔහුගේ උරහිසින් හිස තියා ගත්තේ, ඔහු ගැන උපන් සෙනෙහස හිත උතුරා ගලද්දි.
"ඔයාට මතකද ආන්යා, අපි මුලින්ම හම්බවුණ දවස? අර ඔයා මම එස්.ඩී. කියලා වැරදියට අඳුනගත්තු දවස?"  ආර්යන් මතක් කලා.
"ම්ම්...මතකයි" ආන්යා කිව්වෙත් ඒ සිදුවීම මතක් වෙලා හිනා වෙමින්.
"එදා හිතුවද මේ මරුමුස් කොල්ලා කවදාහරි ඔයාට මෙහෙම ලං වේවි කියලා?" ආර්යන් ඇහුවා.
"ම්...එහෙමම නෙවෙයි, ඒත් මීට කලින් දන්නවා වගේ හැඟීමක් නම් ආවා"
"කලින් ජීවිතේක්දිත් ඔයා මේ වගේ මගේම වෙලා ඉන්න ඇති, ඒක්යි ඒ" ආර්යන් කිව්වේ ආන්යගේ අතක් අරගෙන දෝතට මැදි කරගන්න ගමන්.
ආන්යා ඈට පේන මාරගස් පෙල මත ඇස් රැඳෙව්වා. දෙන්නා ඉඳගෙන උන්නු කොට්ටම්බ ගහ යට බංකුව උඩට කොට්ටම්බා කොල දෙක තුනක් පතිත වුණේ හමාගෙන ගිය සුලඟ හන්දයි. ගස් කොලන් ඒ සුලඟින් වැනෙද්දි ආන්යා අහස දිහා බැලුවා. මුලු අහසම තිබුණේ අලු පාට වෙලා.
"වැස්ස නවතින පාටක් නෑ වගේ" ආන්යා ඊට පස්සේ ආර්යන්ට කිව්වා.
"මම වැස්සට ආසයි...ඒ ඔයා නිසා"
"මං නිසා? ඒ කිව්වේ?"
"අපි අතර වුණ හැම ලොකු සිදුවීමක් එක්කම වැස්සකුත් තිබුණා, ඔයාට මතකද මන්දා. වැස්ස හරියට අපේ ආදරේම කොටසක් වගේ" ආර්යන් කිව්වා.
 මොර ගෙඩි වැහි බින්දු එක දෙක ටොක් ටොක් හඬින් කොට්ටම්බා කොල මත පතිත වෙන්න පටන් ගත්තා. ආර්යන්ගේ අත හෙමිහිට මිරිකපු ආන්යා උඩ බැලුවා.
"අපි යමු, වැස්ස තදින් වහියි වගේ" ආන්යා කිව්වා.
"නෑ...අපි ඉමු, ඉඳලා වැස්සේ තෙමෙමු..." ආර්යන් යෝජනා කලා.
"අනේ බෑ. ඔයාට මේ වැස්ස පුරුදු නෑනෙ. ඔයා ලෙඩ වෙයි" ආන්යා කිව්වා.
"කමක් නෑ, මේ මගේ හාමිනේ ඉන්නේ මාව බලාගන්න" ආර්යන් කිව්වේ හිසට කම්මුලක් හේත්තු කරගන්න ගමන්.
ආන්යා හෙමිහිට සුසුමක් හෙලුවා. ආර්යන් ලඟ ඉද්දි ඇගේ හිතේ තිබුණේ පුදුමාකාර සාමකාමි, සන්සුන් භාවයක්.
"අපි ගෙට යමු, මේ තෙමුණා මදෑ. ඔයාට නිකං හරි කිඹුහුමක් ගියොත් අපේ අම්මා මට තමා දෙහි කපන්නේ" නිහඬව ටික වෙලාවක් උන්නු ආන්යා කිව්වා.
"ඔව් ඔව්. අදම මං ආපහු යන්නත් එපැයි" ආර්යන් එහෙම කිව්වාම ආන්යා හැරිලා ඔහු දිහා බැලුවේ මූණ ඇද කරගෙන.
"අනේ අදම යන්වද?"
"යන්න එපැයි පැටියෝ" ආර්යන් කිව්වේ හිස ඇල කරලා.
"අනේ...අද ඉඳලා යන්නකෝ...ප්ලීස්. මෙච්චර දුර ඇවිත්, අදම යන්න හදන්නේ? කොච්චර දවසකින්ද ආවේ?" ආන්යා කෙඳිරි ගාද්දි ආර්යන් කලේ නහය හකුලුවලා හිනාවුණ එක.
"හරි ඉතින් ඉස්සෙලා ගෙට යමුකෝ, වෙන ඇඳුමක් දාගන්නත් එපැයි" අන්තිමේදි ආර්යන් කිව්වා.
"අද ඉන්න, ප්ලීස්" ආන්යා කිව්වේ ආර්යන් දිහාට නැවිලා.
ආර්යන් මොහොතක් ඈ දිහා බලාගෙන උන්නා.
"හරි හරි...අනේ මන්දා හැබැයි මෙහෙම ගියෝතින් මට ජී.එම්. නෙවෙයි මේ වත්තේ කංකානි පට්ටමක් වත් හම්බවෙන්නැති වෙයි" ආර්යන් කිව්වා ඊට පස්සේ.
"ඇයි?"
"මෙච්චර නිවාඩු දැම්මාම?"
"ම්...එහෙනම් යන එකයි ඇත්තේ" ආන්යා අහක බලාගත්තේ බොරු අමනාපයක් මවාගෙන.
"ඔය ඉතින්, මං කිව්වනේ ඉන්නම් කියලා. ඔයා ඉන්න්වනම් මම කංකානි වුණත් මොකද?" ආර්යන් කිව්වේ හිනා වෙවීමයි.
ආන්යා ආපහු ඔහු දිහාට හැරුණාම ඔහුගේ හිනාව නතර වෙලා ඒ ඇස් දෙක ආන්යගේ ඇස් දෙකේ පැටලුණා.
"විහිලු නෙවෙයි, මම අද විතරක් ඉන්නම්. හැබැයි හෙට උදේ පාන්දරම මම යන්න ඕන" ආර්යන් කිව්වේ ඇත්තටම.
"හ්ම්" ආන්යා හිස වැනුවා.
වැස්ස තිබුණේ හෙමිහිට අඩු වෙමින්.
"පිස්සු කෙල්ල" ආර්යන් එහෙම කිව්වේ ඔහුගේ නළල ආන්යගේ නලලේ හප්පමින්. ආයෙම දැස් හතර එකටෙක පැටලුණා. ආර්යන් ආන්යගේ තෙමුණ මුහුණ දෝතට මැදි කරගත්තාම ආන්යට බිම බැලුණේ ඉබේටම. ඇගේ හද ගැස්ම වැඩි වෙලා තිබුණා අහේතුකවම. ආයෙම කිසිවක්ම නොකියා ආර්යන් ආන්යව මුදුවට සිපගනිද්දි ඇගේ දෑස් ඉබේටම පියවුණා. ඒ උණුසුම් මොහොත තප්පරයක් දෙකක් තියෙන්න ඇති. ඊලඟට ආන්යා දෑස් ඇරියා. ආර්යන් දිහා තව එක පාරක් බලපු ඈ, ඔහුගෙන් මිදිලා ගෙට දිව්වේ කන්පෙති රත් වුණ, කම්මුල් රතු වුණ ලැජ්ජාවකින් මිරිකිලා. ආර්යනුත් තනියෙම හිනාවෙලා ඈ පස්සෙම ගෙට එන්න ආවා.


"අම්මගෙයි, තාත්තාගෙයි අකමැත්තක් නැත්තම්, ආන්යගේ ඩිග්‍රි එක ඉවර වුණ ගමන් එයාව මැරි කරන්නයි මගේ අදහස"
රෑ කෑම අරගෙන අහවර සාලේ කතා කරමින් උන්නු ආර්යන් එහෙම කිව්වේ, ආන්යගේ තාත්තා ආර්යන්ගෙන් ඉස්සරහට කරන්න ඉන්නේ මොනවද කියල ඇහුවාමයි.
"අපට අකමැති වෙන හේතු නොතිබ්බා නෙවෙයි ආර්යන්, ඒත් මට දැන් හිතෙනවා, මගේ කෙල්ලට හරියන්නේ ඔයාම තමයි කියලා. අනික අපි මොනවා කිව්වත් ඔය දෙන්නා ඔයාලගේ සම්බන්ධේ නතර කරන්නෙත් නෑනෙ?" තාත්තා ඇහුවේ හිනාවකුත් මුවේ නගාගෙන.
අම්මා ලඟ උන්නු ආන්යා බිම බලගත්තා ලැජ්ජාවෙන්.
"අපට ඕන මීනුව ආදරෙන් බලාගන්න, ආරක්ෂා කරන, අපි වගේම එයාව බලාගන්න කෙනෙක් ආර්යන්. ඒක ඔයා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දමයි, කලින් වුණ සේරම අමතක කරලා අපි ආයෙම ඔයාට චාන්ස් එකක් දුන්නේ" එහෙම කිව්වේ ආර්යන් අසලම වාඩි වෙලා උන්නු අනුහස්. ආන්යා අනුහස් දිහා බැලුවේ ලොකු සෙනෙහසකින්.
"මම එක දන්නවා අනූ. ඒ විශ්වාසේ මා අතින් කැඩෙන්න මම ඉඩ තියන්නෑ"
ආර්යන් එහෙම කියලා ඔහුගේ බැල්ම ආන්යා ලඟ නතර කලා.
"අපට ඕනත් එච්චරයි" අම්මා කිව්වා.


ඉස්සරෝම දවස්වල පුංචි කාලේ වගේ ආන්යයි, අනුහසුයි අම්මගේ උරහිස් දෙකට වාරු වෙලා ඇගේ දෙපැත්තෙන් වාඩි වෙලා හිටියා. තාතා ඒ ලඟම අම්මට පිටිපස්සෙන් වාඩි වෙලා ආන්යගේ හිස අතගාමිනුයි උන්නේ. උදේම යන්න ඕන හන්දා ආර්යන් නිදාගන්න ගිහින් උන්නා.
"මෙහෙම ඉද්දි රූපා මට මතක් වෙනවා ඔයාට මේ දෙන්නා හම්බවෙන්න හිටපු දවස්...හම්බවුණාට පස්සේ තමා හොඳම සෙල්ලම පටන් ගත්තේ නේද?" තාත්තා කිව්වාම අම්මා හිනාවුණා විතරයි.
"ඇයි තාත්තා?" ආන්යා ඇහුවා.
"ඔයා මගේ අතේ නින්ද යාගෙන එද්දිම මෙයා පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න ඔයත් ඇහැරෙනවා. අපි දෙන්නා ආයෙම නලවන්න පටන් ගන්නවා.(අම්මයි, තාත්තයි දෙන්නම හිනා වෙනවා)ඒ දවස්වල මම ඔෆිස් ඇවිත් මට මේසේ උඩ නින්ද යන්වා...හොඳ වෙලාවට හැබැයි ඔයාලගේ අච්චි අම්මලා දෙන්නා හිටියා අම්මගේ උදව්වට"
තාත්තා කියද්දි ආන්යා අහගෙන උන්නේ ආසාවෙන්.
"මම නම් නෙවෙයි, මෙයා වෙන්න ඇති වැඩියෙන්ම වද දෙන්න ඇත්තේ" අනුහස් ආන්යා දිහාට නැවිලා කිව්වා.
"අනේ යනවා යන්න"
"නෑ, නෑ. ආන්යා පොඩි කාලේ ඉඳන්ම සයිලන්ස් එක්කෙනෙක්. ඔය තමා දඟ මල්ල. අයියටත් ගහනවා" එහෙම කිව්වේ අම්මා.
"ආ...ඇද්ද අහගත්තා?" ආන්යා අනුහස්ට ඇද කලා.
"හරි හරි. කමක් නෑ..." අනුහස් හිස නවාගෙන කිව්වා.
"ඉතිං තාත්තා තව කියන්නකෝ අපි ගැන" ආන්යා තාත්තගෙන් ඉල්ලුවා.
"මම එදා මුලින්ම ඉස්පිරිතාලෙට ගියාම, ඔය දෙන්නා පොඩි ගුලි දෙකක් වගේ අම්මා ලඟ දොයි (තාත්තගේ හඬ හැඟුම්බර වුණා). මම දැනගෙන හිටියේ නෑ, පොඩි කෙල්ලෙකුත් එතන උන්නු වග. ඒත් මම මුලින්ම අතට අරන් තිබුණේ ඒ කෙල්ලව. ඒ වෙලාවේ දැනුන හැඟීම මට අදටත් විස්තර කරන්න බෑ දරුවෝ..." තාත්තා එහෙම කියලා පුංචි කල්පනාවකට වැටුණා.
ආන්යා දැක්කා අම්මගේ ඇස්  දිලිසෙනවා. ඇගේ ඇස් තිබුණෙත් අහේතුක කඳුලකින් බොඳ වෙලා. අනුහස් අම්මට තව ටිකක් තුරුල් වුණා.
"අපි අපට දෙන්න පුලුවන් හැම සැප සම්පතක්ම දීලා ඔයාලව හැදුවේ, කවදාහරි ඔයාලගෙන් ඒවා ආයෙම බලාපොරොත්තුවෙන් නෙවෙයි. හැමදාම ඔය තුන් දෙනා සතුටින්,හොඳඉන් ඉඳීවි කියන ආසාව ඇතුව. ඔයාලගෙන් කාට හරි පොඩි දුකක් වුණත් අපේ හිත් ගොඩක් රිදෙනවා පුතේ. ඒක්යි අපි හැමවෙලේකම ඔයාලගේ සතුටට ඉඩ දෙන්නේ" තාත්තගේ කතාව නැවතුන හන්දා අම්මා කිව්වා.
ආන්යා අම්මට තුරුල් වුණේ ආදරෙන්.
"අපි ඒක දන්නවා අම්මා" අනුහස් මිමිණුවා.
ආන්යා තමන්ගේ උරහිස මත තිබුණ තාත්තගේ අතින් තද කරලා අල්ලගත්තා.
"ඔය දෙන්නගේ හිත් රිදෙන දෙයක් කවදාවත් අපි කරන්නෑ..."
"ඔයාලා ඒක ඔප්පු කරලා තියෙනවා පුතේ. අපට ඔය තුන් දෙනා ගැනම හරිම ආඩම්බරයි. ඒ වගේම, ආර්යන් වගේ හොඳ කොල්ලෙක් අපේ පවුලට ලැබෙන්න යන එක ගැනත් අපට ආඩම්බරයි" තාත්තා කිව්වා.
ආන්යා තාත්තගේ අත තව ටිකක් තදින් මිරික ගත්තා. ඒ මොහොතේ තමගේ දෙමව්පියන් දෙන්නා ගැන උතුරා හැලෙන සෙනෙහසක්, ආදරයක් ආන්යගෙයි, අනුහස්ගෙයි දෙන්නගෙම සිත් වල තිබුණා.








9 comments:

  1. හරිම ලස්සනයි...

    මමත් ආදරෙයි වැස්සට...

    ReplyDelete
  2. Hi nanga,,, man hithuwa vidiyatama Aaryanata Aanya wa labei wage,,, . Man kamathi Aaryanata.

    Lassanai kathawa, wassa ta themenna, madawagure bahala sellam karanna man thamath asai,, .. Samahara dawas walata wahiddi daruwo dennath ekka themenawa,, mahaththaya gedara awama randu godai,,,

    ReplyDelete
  3. ප්‍රීති මම 3

    මමත් ආසයි වැස්සේ නාන්න (ඒත් කොහින්ද එහෙම වාසනාවක් )
    දැන්ද මන්දා කතාවේ ආදරණියම කොටස් යන්නේ

    ස්තුතියි අක්කි

    ReplyDelete
    Replies
    1. ලක්ෂ් .....

      ඔයාට වැස්ස අගුණයිද ...?????

      Delete
    2. පිස්සුද අනේ මට එහෙම දෙයක් නැ අපි ඉන්න රටට‍ වැහිනේ සිත කාලෙට විතරනේ ඉතින් ඒ කාලෙට වැස්සේ තෙමුනොත් මට ඉස්පිරිතාලයක් ඕඩර් කරලා තමා එහෙම කරන්න වෙන්නේ හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

      Delete
    3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ඒකත් එහෙමද....ඔය වෙන රටවල ඉන්නේ නැතුව ලංකාව ආවනම් ඉතින් හොදට වැස්සේ තෙමෙනවනේ....

      Delete
  4. wasse natane eke nam harima joli wade.. :D :D the feeling u get wen u r in the rain is once in a life time feeling :D this post is very romantic akki.... i feel sad abt abhi but am so happy dt aryan got anya :D keep writing.. tc

    ReplyDelete
  5. ඈහ්..... නිමි එහෙම නෑ නේද????

    ලස්සන කතාව අප්පා..... ඉවර වුන ගමන් තව එකක් ඕනෙ හොදේ...

    ReplyDelete
  6. නියමයි නෙතු, නිකමි හීනෙන් නුවරඑළියේ ගිහිං වැස්සේ තෙමුනා වගේ දැනෙනවා. කොළඹ හිරවෙලා ඉන්න මටනමි නිකමිවත් ඔහොම චාන්ස් එකක් නැහැ. නියමෙට ලියලා තියෙනවා නෙතු...!!!

    ReplyDelete