Thursday, June 7, 2012

පනස් හතරවන කොටස


ආන්යා ඇසිපිය නොහෙලා අභී දිහා බලාගෙන උන්නා. ඇගේ හද ගැස්ම හොඳටම වැඩි වෙලා, හිත ගිනි වැදිලා ගියා වගේ ආන්යට දැනුනා. අභී අත් වාරුවට බර දීගෙනම ආන්යා දිහාත් ආර්යන් දිහාත් බැලුවා. ඊට පස්සේ ඔහු කලේ අත් වාරුව විසි කරලා නොන්ඩි ගගහම ආන්යා දිහාට ආපු එක. ආර්යනුත් මේ සේරම බලාගෙන උන්නේ ගල් පිලිමයක් වගේ අන්ද මන්ද වෙලා.
"එහෙනම් මේකයි ඇත්ත?" අභී ආන්යගෙන් ඇහුවේ කෝපයෙන් පිපිරි පිපිරි.
"අ...අනේ අභී මං-" ආන්යට ගොත ගැහුණා.
අභී තමන්ගේ මුලු හයියම යොදවලා ආන්යගේ බාහුවකින් රිදෙන්නම අල්ලගත්තා. ආන්යා ඒ වේදනාවට ඇකිලුනා.
"තමුසේ මාව මැරුවා නම් මීට හොඳයි" අභී කිව්වේ ආන්යව හොලවන ගමන්.
"අභී...අවර විට්ටඩ (අභී...එයාව අතාරින්න)" ආර්යන් කෑ ගැහුවා.
"මාට්ටේන්..නී යෙන්න පන්නවේන් ආ..යෙන්න? (බෑ..ඇයි මොනා කරන්නද ආ...මොනා කරන්නද?)" අභී ආර්යන්ට කතා කලෙත් සැරෙන්මයි.
මේ අතරේ ආන්යා අත ගලවගන්න උත්සාහ කරමින් හිටියා.
"විට්ටඩ අභී(අතාරින්න අභී)" ආර්යන් ආයෙම කිව්වා.
"අභී මාව අතාරින්න ඔයා මට රිද්දනවා..." බැරිම තැන ආන්යත් කෑ ගැහුවා.
අභී ආන්යව වැරෙන් තල්ලු කරපු පාර ඈ ගිහින් බිම ඉන්දවුණා.
"හවු කුඩ් යූ ඩූ දිස් ටු මී? හව් කුඩ් යූ?" අභී ගේ දෙවනත් වෙන්න කෑ ගහලා ආර්යන්ගෙනුයි, ආන්යාගෙනුයි ඇහුවා.
"අභී...ප්ලීස් සත්තම් පෝඩ වේනා (අභී ප්ලීස් කෑ ගහන්න එපා)"
"නී...නා යෙන් උයිර විඩ උන්න තාන් නම්බනේන් (ඔයා...මම මගේ ජීවිතේටත් වඩා ඔයාව විශ්වාස කලා),ඉව, නාන් ඉවන උයිරක්ක උයිරා කදලිච්චේන් (මේකි, මේකිට මම පණ වගේ ආදරේ කලා), බට් වට් ඩිඩ් යූ ඩූ? යූ බැක් ස්ටැබ්ඩ් මී අන්නා...යූ රුයින්ඩ් මයි ලයිෆ්..." අභී කෑගැහුවා ආයෙම.
"අනේ අභී අහන්න...ප්ලීස් කෑ නොගහා අහන්න. මෙතන වුණේ ඔයා හිතන දේ නෙවෙයි" ආන්යා නැගිටලා අභී අසලට යන්න උත්සාහ කරමින් කිව්වා.
අභී ආන්යගේ ලඟටම ඇවිත් ඇගේ මූණට එබුණා.ඒ ඇස් කෝපයෙන් දිලිසෙමින් තිබුණා.
"මට හිතන්න දෙයක් නෑ...මම සේරම මුල ඉඳන් අහගෙන හිටියේ...මාව පුලුවන් තරම් රවට්ටලා, දෙන්න එක්කම මගුල් නටන්නද තමුසේ හිතාගෙන හිටියේ?" අභී පුදුම තරම් කෝප වෙලා.
ආන්යා අස් ලොකු කර ගත්තා ඒ කියපු කතාවට. ඈට කියාගන්න දෙයක් මතක් වුණේ නෑ, ඈ අභී දිහා බලාගෙනම උන්නා විතරයි.
"අභී...මොනාද මේ කියන්නේ? ආන්යට ඔහොම කතා කරන්න එපා" ආර්යන් කිව්වේ සන්සුන් වෙන්න උත්සාහ කරමින්.
"ඔව්...මෙයාට බනිද්දි තමුන්ට හරි අමාරු ඇති නේ"
"අභී, වෙච්ච දේවල් දැනගෙන කතා කරන්න" ආර්යන් කිව්වේ තර්ජනය කරනවා වගේ. ඒකෙන් වුණේ අභීට තවත් තරහා ගිය එක.
"දැනගන්න...දැනගන්න ඕන නෑ මම දෑහින්ම දැක්ක, වුණ දේ, මට ඇහුණා හමදේම...මම මොකෙක් කියලද හිතාගෙන ඉන්නේ. මගේ කකුල කැඩුණා විතරයි, වෙන මොනවත් වුණේ නෑ" අභී ආයෙම කෑ ගහලා කිව්වා.
"ඔයා හිතාගෙන ඉන්න දේ වැරදියි  අභී" ආන්යා ආයෙම කිව්වා..
"ඒ පාර අභී කලේ ඈ ලඟට පැනලා ඇගේ කෙස් වැටියෙන් අල්ලගත්තු එක.
"මොනාද හිතාගන්න තව තියෙන්න? කියනවාමම තමුසෙට මොනා කලාටද මෙහෙම මට කලේ? මොනා කලාටද?"
ඔහු කෙස් වල්ලෙන් අල්ලලා අහද්දි, ආන්යට කෑ ගැහුණා, ආර්යන් පැනලා ආන්යව පැත්තකට ඇදගත්තා. ආන්යා ඇදිලා ගිහින් ආර්යන්ගේ ඇඟේ වැදිලා නැවතුනා.
"අභී මෙතන මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා. ලැජ්ජ නැද්ද ගෑණුන්ට අත උස්සන්න? මනුස්සයෙක් වගේ දේවල් විසඳගන්න බලනවා. ඉස්සෙල්ලා වෙච්ච දේ අහගන්නවා..." ආර්යන් කිව්වේ කෝපය මැඩගෙන වග ආන්යට තේරුණා.
ආන්යා උන්නේ අඬමින්.
"ඔව්, මට තේරෙන්වා මම මෝඩයෙක් තමා කියලා...නැත්තම් මම මෙහෙම ඔය දෙන්නටම රැවටෙයිද? වයි ඩිඩ් යූ ඩූ දිස් ටු මී අන්නා...හව් කුඩ් යූ? අයි ලව්ඩ් හර් මෝ දෑන් එනිතිංග්...මෝ දෑන් මයි ලයිෆ්...අයි වස් රෙඩි ටු ඩයි ෆෝ හර්...ඉස් දිස් වට් අයි ගෙට්?" අභී ඇහුවේ ලොකු වේදනාවකින් වග දැක්කාම ආන්යට දැනුනේ මැරෙන්න තරම් දුකක්.
"මම ඔයාට වරදක් කලේ නෑ අභී...අනේ මාව විශ්වාස කරන්න" ආන්යා ආපහු අභී ලඟට ගිහින් කිව්වා.
ඒත් අභී කලේ අහක බලාගත්තු එක. ආන්යා ඉකි ගසමින් අඬන්න පටන් ගත්තා.
"ආන්යා කියන්නේ ඇත්ත අභී...අපි අතර මොනවත් එහෙම දෙයක් තිබ්බේ නෑ... මං ආන්යට ආදරේ කරපු බව ඇත්ත. එයාව දැකපු දවසේ ඉඳන්ම මම එයාට ආදරේ කලා...ඒක බොරුවක් නෙවෙයි. ඒත්... අපි අතර මොනවත් එහෙම දෙයක් තිබ්බේ නෑ " ආර්යන් කිව්වේ හිස පාත් කරගෙන.
අභීට ආයෙමත් තරහා ගියා. ඔහු කලේ එහෙමම කැරකිලා අසල තිබ්බ පොත් රාක්කෙකට වැරෙන් පහරක් දීපු එක. පොත් රාක්කේ හෙලවිලා පොත් ගොඩක් බිමට වැටුනේ මහා සද්දෙන්.
ඒ එක්කම වගේ ආන්යට ඇහුණා ඒ පැත්තට කවුරුහරි දුවගෙන එන සද්දයක්. ටිකකින් එතන පෙනී හිටියේ රෑ ඇඳුමින් සැරසිලා උන්නු අභීගේ අම්මයි, ආන්යගේ අම්මයි, තාත්තයි, අනුහස් එක්ක තවත් කීප දෙනෙකුයි.
"මොකද මේ මෙතන වෙන්නේ?" අභීගේ අම්මා ඇහුවේ තැන තැන උන්නු තුන් දෙනාම දිහායි, හැඩි වුණා කාමරේ දිහායි බලමින්. ආන්යට දැනුනේ තමන්ගේ මුලු ලෝකෙම විනාස වෙලා ගියා වගේ හැඟීමක්.
"මොකද වුණේ කියන්න...ආර්යන් මොකද මේ? ඔයාල රණ්ඩු වුණාද?" අභීගේ අම්මා ආයේම් ඇහුවේ කිසිම කෙනෙක් උත්තරයක් නොදුන් හන්දා.
"මේ දෙන්නගෙන්ම අහගන්න එකයි ඇත්තේ" අභී එහෙම කිව්වාම ආන්යා ඔහු දිහා බැලුවේ ඇස් අදහාගන්න බැරිව වගේ. මේ ඉන්නේ දැන් මොහොතකට කලින් තමන්ට ආදරෙන් සමු දීපු අභීමද කියලා හිතාගන්න බැරිව.
"මොකක්ද ඒ කතාවේ තේරුම?" අභීගේ අම්මා ඇහුවේ බයෙන් වගේ.
"තේරුම? තේරුම තමා අම්මගේ ලොකු පුතා අපි හැමෝවම රැවැට්ටුවා කියන එක. කටවත් නොදැනී දෙන්නා එක්ක අපට හොරෙන් නාඩගම් නැටුවා කියන එක" අභී ගිගිරුවා.
ආන්යා ඇස් දෙක පියා ගත්තා. මේ චෝදනා නාහා තමන් මැරුණා නම් හොඳයි කියලා පවා ඈට හිතුණා.
"අනේ දෙයියනේ මොනාද මං මේ අහන්නේ?" අභීගේ අම්මා ලඟ තිබ්බ පුටුවකට බර වුණේ කලන්තයක් හැදිලා වගේ.ආන්යගේ තාත්තා දෑස් විසල් කරගෙන ගල් පිලිමයක් වගේ නොසෙල්වී ඉද්දි, ආන්යගේ අම්මා අනුහස්ට වාරු වුණා.
"අභී..." ආර්යන් කෑ ගැහුවේ ගේ දෙවනත් වෙන්න.
ආන්යා එහෙමම බිම ඉඳගත්තා. අඬන්නවත් පනක් නැතිව ඈ කලේ හූල්ලපු එක විතරයි.
"ආන්යා...මොනවද මේ අභී කියන්නේ? මොනාද මේ අපට අහන්න වෙලා තියෙන ජරා කතා?" එහෙම ඇහුවේ ආන්යගේ තාත්තා.
ආන්යා හිස දෙපසට වැනුවා විතරයි, කඳුලු ඇස් වලින් ගලද්දි.
"ආන්යගේ මොනම වරදක් වත් නෑ...එයා කිසිම වරදක් කලේ නෑ. එයාට දොස් කියන්න එපා. වරද මගේ. මගේම විතරයි...මායි ආන්යට ආදරේ කලේ. ශර්මිලා එක්ක එන්ගේජ් වෙලා ඉද්දිමයි මම ඒක කලේ..."
"මොනවා?" අභීගේ අම්මා ඇහුවේ දුඑවල හඬකින්.
"ඔව් අම්මා මං ආන්යට ආදරේ කලා තමයි. මම කවදාවත් ශර්මිලාට අදරේ කලේ නෑ, ඒක අම්මා දන්නවා. මම එදා එයාව මැරි කරන්න කැමති වුණේ අප්පා හන්දා කියලත් අම්මා දන්නවා. ඒත්...ජීවිතේ කවදහරි අපි කැමති කෙනෙක්ට හිත ඇදෙන එක නවත්තගන්න පුලුවන්ද? මට ඒක කරන්න බැරි වුණා. ඒත් ආන්යා ඒකට කැමති වුණේ නෑ...අපි අතරේ අෆෙයාර් එකක් පටන් ගැනුනේ නෑ. අනික මම කීයටවත් දැනගෙන හිටියේ නෑ අභී ආන්යට ආදරේ කරන්වා කියලා. එහෙම දන්නවා නම් කවදාවත් මම ආන්යා දිහා හැරිලාවත් බලන්නෑ..." ආර්යන් එහෙම කියලා ලොකු සුසුමක් හෙලුවා.
සේරම උන්නේ ගල් ගැහිලා වගේ.
"එහෙනම් ඇයි අද? අද මොකටද කවුරුත් නැති අතරේ මෙතනට ආවේ? මොකක්ද මේකේ තේරුම? ඇන්ඩ් අයි සෝ යූ කිසින්ග් හර් ෆෝහෙඩ්...අයෑම් සෝ ඩෑම්න්ලි අෂේම්ඩ් මෑන්...වයි ද හෙල් ඩිඩ් යූ කිස් හර් ෆෝ?"
ආන්යා කන් දෙක අතින් වහගත්තා. ඈට පෙනුනා අම්මා අනුහස්ගේ පපුතුරේ මූණ හංගගන්නවා. තාත්තා උන්නේ බිම බලාගෙන.
"මට අන්තිමට කියන්න දෙයක් තිබුණා. අනිද්දා වෙද්දි පරන ආර්යන්ගෙන් මිදිලා, අතීතේ වල දාන්න මට ඕන වුණා. මට ඕන වුණේ මගේ හිතේ තිබුණ දේවල් ආන්යට කියලා හිත නිදහස් කරගන්න විතරයි...අභී ආන්යා ඔයාගේ. මට එයාව මොනම විදිහකින්වත් ඔයාගෙන් උදුරගන්න ඕන වුණේ නෑ. යූ ආ මයි බ්‍රදර්, ඇන්ඩ් අයි ලව් යූ..."
"බුල්ෂිට්...යූ ආ ටෝකින්ග් බුල්ෂිට්" අභී කිව්වේ තරහින්මයි.
"මම ආන්යගේ නලල ඉම්බා තමයි, ඒත් ඒ ඔයගේ අයියා විදිහට මිසක්, වෙන විදිහකට නෙවෙයි. ඉන් යුරෝප් වී කිස් එව්‍රිවන්...හග් එනිවන්. වට් ඉස් ද බිග් ඩීල්? අයි ඩිඩ් නොට් කිස් හර් ඔන් ලිප්ස්..."
අභී හිස වැනුවේ කෝපයෙනමයි.
"දිස් ඉස් නොට් යුරෝප්...ඇන්ඩ් වට් යූ ඩිඩ් වස් ඇස් ගුඩ් අස් යූ කිසිංග් හර් ඔන් ලිප්ස්..."
ආන්යට තවත් අභී කියන දේවල් අහගෙන ඉන්න පුලුවන් වුණේ නෑ.
"ඇති...ඔය ඇති...නවත්තගන්න. මත තවත් ඔය නින්දා අපහාස විඳින්න බෑ...ඔයාට මාව අවිශ්වාස නම් මේ මොනවත් අහන්න කියන්න ඕන නෑ. ඔයා මාව දාලා යන්න. ඒත් මේ තුන් හිතකවත් නොතිබුණ දේවල් කිය කිය මටයි, ආර්යන්තයි අපහාස කරන්න එපා. ආර්යන් මට ආදරේ කරපු එක ඇත්ත, එයා ඕන නම් ශර්මිලාව දාලා වුඇන්ත් මා ගාවට එන්න ලෑස්ති වෙලා උන්නා. ඒත් එයා ඒ ආදරේ හිතේම හිරකරගත්තේ ඔයා නිසා අභී. ඔයා මට ආදරෙයි කියලා දැනගත්තු නිසා අභී...එයා එහෙම කලේ එයාගේ සතුටට වඩා ඔයා ගැන එයා හිතපු නිසා, එයා මට වඩා ඔයාට ආදරේ කරපු නිසා. එයාට ඔහොම කතා කරන එක පව්..."
අභී ආන්යා දිහා බලාගෙන උන්නේ ඇගේ මේ වෙනස අදහාගන්න බැරිව වගේ.
"කවුරුත් කවදාවත් නොදැන උන්නු දේකුත් මම කියන්න ඕන..." ආන්යා ඊට පස්සේ කිව්වේ හෙමිහිට, කඳුලු නොන්වත්වා ඇස් වලින් ගලද්දි.
""ආර්යන් ගැන මොන්වත්ම නොදන්න කාලේ, මගේ හිතේ එයා ගැන පැහැදිමක් තිබුණ කාලෙකුත් තිබ්බා. ඒත් හැමදේම දැනගත්තට පස්සේ, මම ඒක නැතිකරගන්න උත්සාහ කලා. අභී මම ඔයාට කැමති වෙන්න අදි මදි කරපු හේතුව ඒකයි. ඒත් ඇක්සිඩන්ට් එකට පස්සේ මම තේරුම් ගත්තා ඔයා මට කොච්චර අදරේද කියලා. ඒකයි මම ඔයාට කැමති වුණේ...මම එහෙම කලේ, ඔයා එක්ක මුලු ජීවිතේම ඉන්න මට පුලුවන් කියලා හිතලා. මායි ආර්යන් අයියයි අතර කිසිම දෙයක් තිබ්බේ නෑ, කවදාවත්. මාව විශ්වාස කරන්න අභී... ඒක හිතේ තිබ්බ පැහැදීමක් විතරයි."
අභී ආන්යා දිහා මොහොතක් බලාගෙන උන්නා.
"යූ බ්‍රෝක් මයි හාට් ආන්යා...ඔයාලගෙ හිත් වල හරි එහෙම දෙයක් තිබ්බා නම් එක්කෙනෙක් හරි ඇයි මට නොකිව්වේ? එක වචනයක් කිව්වා නම්, මම ඔය දෙන්නට ඉඩ දීලා අයින් වෙන්නත් තිබුණා...ආර්යන් වෙනුවෙන් මට ඒක කරන්න තිබුණා. ඇයි මොනවත්ම නොකිව්වේ? එහෙම වුණා නම් අද මේ දේ වෙන්නෑ නේද? මම කොහොමද දැන් හිත හදාගෙන ආයෙම මුකුත් නූනා වගේ ඉන්නේ. ආර්යන් ඔයාට ආදරේ කලවග දැන දැන, කොහොමද ආන්යා අපි...." අභීට එතනින් එහාට කතා කරගන්න බැරි වුණා.
ආන්යා ආපහු අඬන්න ගත්තා. අභීගේ අම්මා උන්නේ අත්දෙකේ මූණ ගහගෙන, අඬමින් වෙන්න අති.
"අභී...ප්ලීස් අවසරපට්ට ඉප්පුඩි වේල සෙයියාද (අභී...කලබල වෙලා මෙහෙම වැඩ කරන්න එපා ) තප්පු යෙන් මේල ඉරික්කුම් පෝද ඉවරක දණ්ඩන කුඩුක කුඩාද (වරද මගේ අතේ තියෙද්දි, මෙයාට දඬුවම් දෙන එක වැරදියී නාන ඉනිමේ උන්නෝඩ වාල්කයිල වර මාට්ටේන් (මම ආයෙමත් ඔයාගේ ජීවිතේට එන්නෑ) ප්ලීස් අභී ඩෝන්ට් ඩූ දිස්..." ආර්යන් කිව්වෙත් අඬන්න වගේ.
අභී හිස නවාගෙන මොහොතක් අහගෙන හිටියා.
"මොනවද ආර්යන් මේ ඔයා කරගත්තේ? දැන් අනිද්දට මොකද අපි කරන්නේ?" ඒ අස්සේ ආර්යන්ගේ අම්මා ඇහුවා.
"අනිද්දා දේවල් වෙනස් වෙන්නෑ අම්මා, මම ශර්මිලාව බඳිනවා. නැකැත් බලන එක වෙනස් කරන්න එපා...මේක පවුල ඇතුලේ වුණ දෙයක් විතරයි නේ. පිටට දෙන්න ඕන නෑ" ආර්යන් කිව්වා.
"යූ කාන්ට් ඩූ දැට් අන්නා...ඒක ශර්මිලාට කරන වරදක්. ඔයා ආදරේ ආන්යට නෙවෙයිද? ඔයාඑග හිතේ ඉන්නේ එයා නෙවෙයිද? හිතේ එකක් තියාගෙන තව දෙයක් කරන්න ඔයාට පුලුවන්ද?" එහෙම ඇහුවේ අභී.
ආන්යා අභී දිහා බැලුවේ පුදුමෙන්. කොහොමද ඔහු එහෙම කතා කරන්නේ කියලා.
"අභී...මොනාද මේ කියන්නේ?" ආර්යනුත් උන්නේ පුදුම වෙලා. "ආන්යා මගේ නෙවෙයි...ඔයාගේ අභී...ඔයාගේ"
ආන්යට දැනෙමින් තිබුණේ අසරණකමක්.
"මම ඔය දෙන්නා අතරේ පාස් කරගන්න සෙල්ලම් බඩුවක් නෙවෙයි ආර්යන්...මටත් හිතක් තියෙනවා...අභී, මම හිතුවා ඔයා මට ආදරේ ඇති කියලා, කාටත් වඩා මාව තේරුම් ගනී කියලා. ඒත් මෙච්චර කියද්දිත් ඔයාට මාව අවිශ්වාස නම් තවත් අපි එකට ඉන්න එකේ තේරුමක් නෑ. ඔයා හැමදාම මාව සැක කරයි...මට එහෙම ජීවත් වෙන්න බෑ. මට සමාවෙන්න අම්මා, ඒත් මට තවත් මේ නින්දා ඉවසගෙන ඉන්න බෑ..." ආන්යා අන්තිම ටික කිව්වේ ඈ දිහා පුදුමෙන්, ඒ වගේම දුකෙන් බලාගෙන උන්නු අභීගේ අම්මට.
අභී අඟලක් වත් නොහෙල්ලී එහෙමම අහගෙන හිටියා මිස වචනයක්වත් කිව්වේ නෑ. ආන්යා ඔහු දිහා මොහොතක් බලා ඉඳලා, තමන්ගේ අම්මලා ලඟට එන්න ආවා. ඒ අය ආන්යා දිහා බලාගෙන උන්නේ දුකෙන්.
"මට සමාවෙන්න අම්මා, තාත්තා...මම නිසා ඔයාලටත්-" ඒත් ආන්යා තවත් මොනවත් කියන්න කලින් ආන්යගේ තාත්තා ඇවිත් ඈව තුරුලු කරගත්තා.
"අපි ගෙදර යමු..." ආන්යා කිව්වේ අඬමින්.
"ආන්යා ප්ලීස්...මෙහෙම ප්‍රශ්ණ විසඳන්න බෑනේ. යන්න එපා..." ආර්යන් එලියට දුවගෙන ආවා.
"වීරේ...ප්ලීස් ඔහොම එක පාරටම යන්න හදන්න එපා. තරහා ගිහින් තියෙද්දි අපට තීරණ ගන්න බෑ. ගත්තත් ඒවා වැරදි වෙන්න ඉඩ වැඩියි. අපි අභීට කාලේ දීලා බලමු. එක පාරටම මොනවත් වෙනස් වෙන්නෑනෙ. මම ආර්යන් හරියි කියන්වා නෙවෙයි...ඒ ගැන අප්පා ආපුවාම මම කතා කරනවා. ඒත් ආන්යා කියන්නේ බොරුවක් නෙවෙයි වග මට විශ්වාසයි...හැමදේම අපි හරිගස්සගමු. ඔහොම කලබලෙන් යන්න එපා" අභීගේ අම්මත් එතනට ඇවිත් කිව්වා.
ඒත් අභී ආවේ නෑ. ඔහු තවමත් උන්නේ හිටපු තැනමයි. ආන්යා හිස හරවලා ඔහු උන්නු දිහා බැලුවේ ඔහු මොනවම හරි කියයිද බලන්න. ඒත් ඔහු හිස උස්සලාවත් බැලුවේ නෑ.
"අපි යමු තාත්තා" ආන්යා කිව්වේ ඇස් වලින් ආයෙම උණු කඳුලු ගලද්දි.
"ආන්යා ප්ලීස්...අන්කල් ප්ලීස්" ආර්යන් පිංසෙන්ඩු වුණා.
"අභී මොන්වත් කියන්නැත්තම් අපට යන්න වෙනවනේ ආර්යන්" එහෙම කිව්වේ මෙච්චර වෙලා නිහඬව උන්නු අනුහස්.
"අභී... ඒගොල්ලන්නව නවත්තන්න...ඔයාට තේරෙන්නැද්ද ඒ ළමයා කියන්නේ ඇත්ත කියලා?" එහෙම කිව්වේ අභීගේ අම්මා.
ඒත් අභී හෙලවුණේවත් නෑ. ඇහුන්නෑ වගේ උන්නා මිසක.
"අභී..." ඔහුගේ අම්මා ආයෙම කතා කලේ ඔහුට.
ඒත් ඔහු ඊලඟට කලේ කා දිහාවත් නොබලා එතනින් පිටවෙලා යන්න ගිය එක. ආර්යනුත්, අභී හේ අම්මත් ඔහු පස්සෙන් දිව්වා. ආන්යා ඇස් පියාගෙන තාත්තට තුරුල් වුණා.
ටිකකින් ඇහුණේ වාහනයක් මහා සද්දෙන් රේස් කරගෙන ගෙදරඉන් පිටවෙන හඬ විතරයි. ඒත් ඒ ගැන ආන්යට දැන් කරන්න පුලුවන් කිසිම දෙයක් තිබුණේ නෑ.



4 comments:

  1. අනේ දෙවියනේ.. මේ මොනවද වුණේ..? ආයෙ අභීවයි ආන්යවයි ළං කරන්නද හදන්නෙ. හපොයි එහෙම නම් වෙන්නෙපා දෙය්යනේ.

    ReplyDelete