Monday, April 23, 2012

තිස්දෙවන කොටස

සෙනසුරාදා ආන්යා නැගිටිද්දි උදේ අටත් පහු වෙලා. කලින්දා රෑ එකොලහ විතර වෙනකල් පීඨ දින උත්සවේ පැවැත්වුණ නිසා අනික් හැමෝම වගේම ආන්යත් උන්නේ මහන්සියෙන්. ඒ මදිවට හිතේ තිබුණ කුණාටුව ආන්යට එක් කලේ අමතර පීඩාකාරී බවක්. ආන්යා ඇඳෙන් නොනැගිටම ඇස් ඇරලා බලද්දි අනික් හතර දෙනත් තාම උන්නේ ඇඳවල්වල වග ඈ දැක්කා.
"ගුඩ් මෝනින්ග්" ඈ කිව්වේ ඈනුමකුත් අරින ගමන්.
"මෝනින්ග් තමා..මොකද අර ඊයේ ඩීජේ එකටවත් නොඉඳ, අපටත් හරියට නොකියා හොස්ටල් එන්න ආවේ?" එහෙම ඇහුවේ පාරමී.
අනික් අයත් හිස් හරවගෙන තමන් දිහා බලාගෙන උන්නේ උත්තරයක් බලාපොරොත්තුවෙන් වග ආන්යට තේරුඅණා.
"ඉන්න හිතක් තිබ්බේ නෑ පාරි ඒකයි"
"මොකෝ අර ආපු ගොබිලා හිත අරගෙනම ගියාද?" සම්මනිට නම් තියෙන්නේ පුදුම කටක්.
"ගොබිලා...ඊයා ඒ වචන කැත. ඊයේ ආපු කොලුවට නම් ඒ වචනේ ගලපෙන්නේ නෑ" එහෙම කිව්වේ පාරමී.
"ඒ ආවේ අභිමන්යු නේද ආන්යා?" ආන්යට එහා පැත්තේ ඇඳේ උන්නු රශ්මි ඇහුවා.
"හ්ම්" හැමෝගෙම අදහද් උදහස් වලට ආන්යා දුන්න උත්තරේ ඒකයි.
"එයා ඇයි ආවේ?" ඒ අංජලී.
ඉවුරු කඩාහැලෙන්න තරම් වියවුල් හිතේ තිබුණ නිසාදෝ, සිද්ධ වුණ සේරම ආන්යට කියවුණේ අනායාසයෙන්මයි. තනියෙම්ම හැමදේම හිතේ තද කරගෙන ඉන්න තවත් ඈට පුලුවන් වුණේ නෑ. ඈට ඕන වුණේ කාගේ හරි උදව්වක්, මේ පීඩාකාරි සිතිවිලි වලින් ගොඩ එන්න.
ආන්යා කතාව කියලා ඉවර වෙද්දි ඈ ඇරෙන්න අනික් අය සේරම උන්නේ ඇඳවල්වල ඉඳගෙන, ඈ දිහා බලාගෙන.
"හපොයි දෙයියනේ මාර වැඩේනේ" මුලින්ම තමන්ගේ මතය ප්‍රකාෂ කලේ පාරමී.
"ඉතින් ඕක ආර්යන් දන්නේ නැද්ද එතකොට?" රශ්මි ඇහුවා.
"නෑ..."
"ඇයි ඔයා එයාට නොකියන්නේ?" එහෙම ඇහුවේ අංජලී.
"මම කොහොම කියන්නද අංජු. කියන්වානම් ඒක කියන්න ඕන අභීමයි. මං ගැන ආර්යන් හිතන්නේ මොනවද කියලවත් මම දන්නේ නැතුව, මට ඉස්සර වෙන්න බෑ" ආන්යා කිව්වා.
"මට නම් තේරෙන විදියට, ආර්යන් දන්නෙත් නෑ වගේ ආන්යා ගැන කොහොම හිතන්නද කියලා. අභී ගැන තමා මට නම් දුක. ඔයාට එපා නම් මට දෙන්නකෝ ආන්යා" ඒ සම්මානි.
"විහිලු නෙවෙයි මානි...මම ඉන්නේ හොඳටම අවුල් වෙලා. මේ විදියට නම් මට ගෙදර යන්නත් බෑ. අම්මලට එහෙම තේරුණොත් මං මොනා කියන්නද?"
"හරි හරි, දැන් ඔයාගේ හිත තියෙන්නේ ඔය දෙන්නගෙන් කාටද?" සම්මානි ආයෙම අපූරු ප්‍රශ්ණයක් අහනවා.
"ආර්යන්ටනේ" උත්තර දුන්නේ පාරමී.
"ඔයාගේ හිත ගැන නෙවෙයි ඇහුවේ" සම්මානි පාරමීට එහෙම කියලා ආන්යා දිහා බැලුවා.
"අනේ මන්දා මානි. ආර්යන් අයියා ගැන එයාව අඳුනගත්තු දවසේ ඉඳලම මගේ හිතේ විශේෂත්වයක් නොතිබ්බා කියන්න මට බෑ. එයාගේ ගුප්ත, වැඩිය හිනා නොවෙන විදිහට මගේ හිත ගියා තමයි. හැබැයි මම එයාට ආදරේ කරනවාමයි කියලා කියන්න මට බෑ. හිත සසල වුණ පලියටම ඒක ආදරේමයි කියලා කියන්න බෑනෙ. කොහොම වුණත් මට අභී ගැනත් දුකයි" ආන්යා කිව්වා.
"එයා කියපුවයි කියන දේවල් අහද්දි නම් මටත් එයා ගැන දුකයි" අංජලී හඬ අවදි කලා ආයෙම.
"එහ්නම් ඉතින් ආන්යට වෙන්නේ එකගෙයි කන්න තමා" සම්මානි ඈනුමක් හෙම ඇරලා හොඳ කතාවක් කිව්වා.
"ඕන්න..ඔය කිව්වේ. අනේ හැබෑට ඔයාගේ කට නම් මානි! මේ කෙල්ල මේ නොකා නොබී දහ අතේ කල්පනා කර කර ඉද්දි ඔහොම කියලා හරියන්නේ නෑ. මොකක්ද මේකට විසඳුම කියලයි අපි බලන්න ඕන" රශ්මි කිව්වා.
"හරි, මම එහෙම නම් මට ආද රේ කෙනාව තෝර ගන්නවා. පේන විදියට ඒ අභීනේ. ආර්යන් ආදරේද නැද්ද කියලා ආන්යවත් අපිවත් දන්නේ නෑනෙ" සම්මානි කිව්වා.
"මම නම් හිතන්නේ හොඳම වැඩේ ඔය දෙන්නගෙන්ම ඈත් වෙන එක කියලා. මොකද දෙන්නම  ඔයාගේ තාත්තගේ බොස්ගේ ළමයි. ඒ ගෙදරට මේවා ආරංචි වුණොත් සමහරවිට ඔයාගේ තාත්තාගේ ජොබ් එකත් නැති වෙන්න පුලුවන්. ඔය ලොකු ලොකු උදවියගේ හැටි දන්න්වනේ. හොඳම දේ දෙන්න එක්කම තියෙන ඇයි හොඳයිය නවත්තන එක. මොකද මන්දා මට හිතෙනවා, අභී එක්ක කෙසේ වෙතත් ආර්යන් එක්ක තියෙන යාලුකම නිසා නම් ඔයට ගොඩාක් විඳවන්න වේවි කියලා" අංජලී තමන්ගේ මතය ඉදිරිපත් කලා.
"ඇයි ඒ?" ආන්යා ඇහුවේ හිත පුංචිත්තක් රිදිලා.
"දන්නෑ ආන්යා. සමහරවිට එයා ගොඩාක් ඕපන් නැති නිසා වෙන්න ඇති. ගොඩක් වෙලාවට ඔය බොහොම නිහඬ අය තම අමාරුකාරයෝ. තේරුම් ගන්න අමාරුයි නේ" අංජලී ආයෙම කිව්වා.
"හැබැයි ඒක නම් ඇත්ත කියලා මටත් හිතෙනවා. අංජු කිව්වා වගේ ඔය දෙන්නගෙන්ම ඈත් වෙන එක තමා නුවණට හුරු" රශ්මි කිව්වාම අනික් දෙන්නත් හිස වැනුවේ ඒක හරි කියන්න වගේ.
අන්තිමට වුණේ ආන්යගේ හිත තවත් පැටලුණ එක විතරයි. ඇත්තටම මේව දුරදිග ගියොත් කෙලවර වෙන්නේ තාත්තට රස්සාව නැති වෙලා, වත්තෙන් යන්න වෙලා නේද කියලා ආන්යටත් හිතුණා. ගෙදර එකම කෙල්ල විදියට ඒ වගේ ලැජ්ජාවක් තමන්ගේ පවුලට සිද්ධ කරන්න කොහොමටවත් බෑ කියලා ආන්යා තමන්ට තදින්ම කියා ගත්තා කීප පාරක්ම. කරන්න අමාරු වුණත් කරන්න ඕන දේ ආර්යන්ගෙ ඈත් වෙන එක කියලා අන්තිමේදි හිතාගත්තා. ඒත් ඒක ඈට කරන්න පුලුවන් වේවිද?
එදා හවස හදිසියේම අනුහස්ගෙන් කෝල් එකක් ආවාම ආන්යා ටිකක් විතර පුදුම වුණා.
"මීනු...මම ඔයාලගේ කොමන් ඒකේ ඉන්නේ පොඩ්ඩක් පහලට එන්න" අනුහස් කිව්වේ එහෙම.
"හදිසියක්ද අනූ"
"මේ..ප්‍රශ්ණ නාහා එනවද? හදිසියක් තමා"
හිස යන්තම් පීරගත්තු ආන්යා පොදු කාමරේ දිහාට දිව්වේ අනුහස්ගේ හදිසිය මොකක් වෙන්න ඇතිද කියලා හිතමින්. ඈ යද්දි අනුහස් පොදු කාමරේ රවුම් මේසයක් අසල වාඩි වෙලා උන්නා, තනියෙම.
"තනියෙමද ආවේ?" ආන්යා ඔහු අසලින් වාඩි වුණේ එහෙම අහගෙන.
"හ්ම්" අනුහස් කෙටි උත්තරයක් දුන්නා.
"මොකක්ද හදිසිය අනූ?"
අනුහස් ආන්යා දිහා මොහොතක් එක එල්ලේම බලාගෙන ඉඳලා ඈ දිහාට එබුණා.
"මට තියෙනවා ඔයාගෙන් දෙයක් අහන්න"
ආන්යා සුසුමක් හෙලුවා. නොකිව්වත් මේ අහන්න යන්නේ ආර්යන් හරි අභී ගැනහරි කියලා ආන්යට තේරුණා.
"අහන්න"
"මට ඇත්ත කියන්න ඕන හැබැයි"
"මම ඔයාට කවදාවත් බොරු කියලා තියෙනවද අනූ?"
"හරි හරි. මීනු...අභී ඔයාගෙන් මොනවා හරි ඇහුවද? මං අහන්නේ විශේශ දෙයක්?" අනුහස් ඇහුවා.
"ඔව්"
"ඇහුවා?"
"හ්ම්"
"ඉතින් ඔයා මොකද කිව්වේ?"
"මොනා කියන්නද අනූ මම බෑ කියනවා මිසක. අපි කොහොමටවත් ගැලපෙන්නේ නෑ"
"බෑ කිව්වේ ඒ නිසා විතරමද?"
"ඒ කිව්වේ"
"මං අහන්නේ ඔයා වෙන කාට හරි...ඔයාට තේරෙන්වනේ?"
ආන්යා හිස වැනුවා. ඒත් ඈ දැන් කියන්න යන්නේ ඇත්තක් නොවෙන නිසා ඈට අනුහස් දිහා බලන්න බැරි ගතියක් දැනුනා.
"නෑ අනූ...එහෙම කිසිම දෙයක් නෑ"
අනුහස් ලොකු සුසුමක් හෙලලා පුටුවට හේත්තු වුණා.
"සොරි මීනු, මම ඔයාව සැක කලා නෙවෙයි"
"මං දන්නවා අනූ"
"අභී මට ඊයේ කතා කලා යූ කේ ඉඳන්" අනුහස් කිව්වාම ආන්යා ටිකක් තිගැස්සුනා.
"අභී? ඒ මොකටද?"
"එයා මට වෙච්ච දේවල් සේරම කිව්වා. පැය ගාණක්, අනේ මන්ද බිල පවුම් දාහක් විතර යන්න ඇති"
"මොනාද කිව්වේ?" ආන්යා ඇහුවේ වෙව්ලන හඬින්.
"එයා ඔයා ගැන හිතන දේවල් තමා. ඔයා කැමති නෑ වගේ කියලත් කිව්වා"
"එයා...ඒ දේවල් ඔයාට කිව්වද? ඒත් ඇයි? එයා කිව්වද මාව යාලුකරලා දෙන්න කියලත්?"
"නෑ...එහෙම කිව්වේ නෑ මීනු. මහා දුක්ගැනවිල්ලක් තමා කිව්වේ. ඔයා කතා කරන්න එපා කිව්වලු. ඔයාට සම්බන්ධ කාට හරි කතා කරන්න ඕන කියලා හිතිලා මට කතා කලා කිව්වා"
"ඉතින් ඔයා මොකද කිව්වේ? ඔයාට තරහා ගියාද අනූ? ඔයා අභීට බැන්නද?" ආන්යා ඇහුවේ බර කරලා.
අභී ආන්යා දිහා ආයෙමත් මොහොතක් බලා උන්නා.
"ඔයාට ඕන මම එයාට බනින්නද?" උත්තරයක් නොදී ඔහු ඇගෙන් ඇහුවා.
"නෑ..."ආන්යා සුසුමක් හෙලුවා.
"මට ඇත්තම කියන්න මීනු. ඔයා අභීට කැමතිද? බෑ කිව්වේ ගෙදර ගැන හිතලද?"
ආන්යා හිස වැනුවා.
"නෑ. මම කැමති නෑ අනූ. ගෙදර එක හේතුවක් තමා. ඒ ඇරුණාම යාලුවෙක් විදියට ඇරෙන්න අභී ගැන වෙන විදියකට හිතන්න මට බෑ" ආන්යා කිව්වා.
අනුහස් කල්පනාවකට වැටුණා.
"මට තේරෙනවා" ටිකකින් අනුහස් කල්පනාවෙන් මිදිලා එහෙම කිව්වා."අනේ මන්දා මීනු...අභී ඉන්නේ ලොකු දුකකින් කියලා මට හිතෙනවා. ඒත් ඒකට ඔයාට කරන්න දෙයක් නෑ. ඔයා කරපු දේ තමා හරි"
අභී ගැන කිව්වාම ආයෙම ආන්යගේ හිතේ ඉපදුනේ දුකක්.
"මටත් අභී ගැන දුකයි අනූ, ඒත් මම මොනා කරන්නද? එයා හොඳ යාලුවෙක්. ඒ යාලුකම නැති වුණ එක අපරාදයක්"
"හ්ම්" අනුහස් කල්පනාබරව හිස වැනුවා.
"මේ දේවල් නිසා මගේ හිත හරියට අවුල් වෙලා අනූ. ඔයා ආපු එක හොඳයි. මට මේ දේවල් හිතේ තියාගෙන ඉඳලා ඇති වෙලා" ආන්යා කිව්වේ හැඬුම්බරව වගේ.
අනුහස් මේ දේවල් ගැන දැනගත්තු එකත්, ඒ ගැන මැදහත් සිතින් බලන නිසාත් ආන්යගේ හිතට ලැබුනේ තරමක අස්වැසිල්ලක්. අනුහස් ඈ දිහ ඇස් කොනකින් බැලුවා.
"මට පේනවා ඒක. ඔයා ඇදිලා ගිහින් වගේ. ඒත් මීනු, ඔයා එයාට අකමැති නම් මේ දේවල් ගැන වැඩිය හිතන්න එපා. අභී ඔයාට කරදර කරනවා නම් මට කියන්න, මං ඒකට මොනා හරි කරන්නම්. මේ ගැන ඇහුවාම මගේ හිතත් අවුල් වුණා තමා"අනුහස් කිව්වේ මේසෙට බර වෙන ගමන්. ඔහුගේ මූණේ තිබුණේ බැරෑරුම් පෙනුමක්.
"එහෙම කරදර කලේ නම් නෑ. ඒත්, එයා ඊයේ මෙහේ ආවා"
"මෙහේ?"
"හ්ම්"
"ඒත්...එයා ඊයේ නේද ගියෙත්?"
"ඔව්, යන්න කලින් ආවා, වාහනෙත් කොලඹ දාලා, බස් එකේ. හිතන්නා අනූ...මං දන්නෑ එයා මොනවා කරනවද කියලා" ආන්යා කිව්වේ අඳෝනාවක ස්වරයෙන්.
"පිස්සු යකෙක්නේ" අනුහස්ට කියවුණා.
"ගෙදරින් එහෙම දැනගත්තොත් මං ඉඳලා ඉවරයි" ආන්යා ආයෙම කිව්වා.
"ඔයා ඒක කිව්වේ නැද්ද එයාට? එයා ඉතින් අපේ වත්ත අයිතිකාරයගේ පුතානේ. අපේ ගෙදරින් කැමති වුණාම කියමුකෝ,ඒත් ඒ අය මොනවා කියයිද? අනිවාර්යෙන්ම අපට වත්තෙන් යන්න වෙයි" අනුහස් ඇහුවා.
"කිව්වා අනූ. කියන්න තියෙන හැම විදියකටම කිව්වා. ඒත් එයා කියනවා ඒ දේවල් එයා බලාගන්නම්ලු. පොඩ්ඩක්වත් කියන දේ අහන්න ලෑස්ති නෑ"
"එහෙමද? මිනිහා ඔයාට ගොඩක් ආදරෙයි වගේ" අනුහස්ට මෙවෙලෙත් විහිලු කරන්න පුලුවන් හැටි!
"අනූ!" ආන්යා සැර වුණා.
"හරි හරි සොරි. ඒත් ඉතින් මං කිව්වේ නම් ඇත්ත"
"ඔයා මගේ ඔලුව තවත් අවුල් නොකර ඉන්නවද? මට පේන්නේ මෙයා ඇවිත් තියෙන්නේ අභීගේ කපු කමටද කොහෙද. වෙන අයියලා නම් කොල්ලට ගහලයි පස්ස බලන්නේ"
අනුහස් හිනා වෙන්න ගත්තේ ආන්යව කෝප ගන්වමින්.
"එහෙම කරපු කලෙකුත් තිබ්බා ඔයා දන්නවනේ. මතකනේ අර දේවින්දට දුන්නා. ඒත් ඒවා මහ බොරු වැඩ මීනු-" එහෙම කියලා අනුහස් ලොකු හුස්මක්  අරන් ආයෙම කතාව පටන් ගත්තා.
"ඇත්තම කිව්වොත් අභී කියන්නේ නරක කොල්ලෙක් නෙවෙයි. එයා කතා කරපු විදියට මගේ හිතත් මොකක්ද වුණා වගේ. මිනිහා සෑහෙන්න ඩෙස්පරේට්, නැත්තම් මට ඔය තරම් විස්තරයක් කියන්නේ නෑ"
"ඔයා මොනවද කියන්න හදන්නේ?" ආන්යා ඇස් පුංචි කරලා අනුහස් දිහා බැලුවා.
"මොනවත් නෑ. මම කිව්වේ මට හිතුණ දේ විතරයි. කොහොමටත් මේක වෙන්න බැරි දෙයක් කියන එක ගැන කතා දෙකක් නෑ. මීනු...ඔයා ඔය දේවල් ගැන දැන් හිතන්න ඕන නෑ. මං අභීට පැහැදිලි කරලා දෙන්න බලන්නම්.  හොඳ කෙල්ල වගේ ඕවා නොහිතා වෙනදා වගේ ඉන්න බලන්න. නැත්තම් ගෙදර ගියාම අම්මලට වුනත් සැක හිතෙන්න පුලුවන්. ඔයාට තේරෙනවනේ?" අනුහස් අන්තිමට එහෙම කිව්වා.
"මට තේරෙනවා අනූ. ගෙදර යන්න මට බය හිතෙන්නෙත් ඒකයි. මේ දේවල් නිසා හරියට ජීවිතේම කණපිට පෙරලිලා වගේ" ආන්යා කිව්වේ කලකිරීමෙන් වගේ.
"ඔච්චරම කලකිරෙන්න එපා මීනු. ඔයා පුදුම විදියට කලකිරිලනේ. ඔව්වද මිනිස්සුන්ට වෙන්නේ? ඔයා අකමැති නම් කාටවත් බෑ ඔයාව බලෙන් කැමති කරගන්න. මම ඔයාට ඉන්නවනේ, දැන් ඉතින් වැඩිය හිතන්නේ නැතිව ඉන්න"
අනුහස් ආන්යට ලං වෙලා කිව්වේ මුදු හඬින්.
"කලකිරිලටත් වැඩිය මේක මගේ හිතට මහ වදයක් අනූ"
අනුහස් සුසුමක් හෙලලා නැගිට්ටා.
"ආයෙමත් අභී කතා කලොත්, මම කියනම් මීට පස්සේ මේ ගැන කියල ඔයාට කරදර කරන්න එපා කියලා. කෙලින්ම එහෙම කිව්වාම ඉවරයි නේ"
"නෑ අනූ... දැන් එයාට ඔහොමම ඉන්න දෙන්න. නැත්තම් ගිය වැඩෙත් අවුල් කර ගන්න බැරි නෑ. එයා ආවාම කියන එකයි හොඳ"
"හරි. ඔයා කියනවනම් එහෙම කරමු. හැබැයි, මූණ එල්ලගෙන ඉන්න බෑ එතකල් හොඳද?"
ආන්යා හිනා වුණා, දවසේ මුල්ම වතාවට.
"ඔයා හරි හොඳයි අනූ...දැන් මගේ හිතට හොඳයි, ඔයත් මේ ගැන දන්න නිසා" ආන්යා කිව්වේ ඇත්තටම ඇගේ හිතට පුංචි සැහැල්ලුවක් දැනෙමින් තිබුණ නිසා.
"ඔයාට පුලුවන් මට ඕනම දෙයක් කියන්න, තේරුණාද? ඕන වෙලාවක, ඕන දෙයක්..."


5 comments:

  1. ලස්සනයි...
    අනුහස් පීඨ දිනේට ආපු නැති එක ගැන නම් පුදුමයි

    ReplyDelete
    Replies
    1. මේකනේ රූ අනුහස් අල නේ. ඉතින් එයා ඕවට එන්නේ නැතුව ඇති...

      Delete
  2. At last! i was waiting waiting and waiting for you to post the next episodes after the new year... :)
    thanks and Happy New Year !!

    ReplyDelete
    Replies
    1. Thanks and wish you the same! I saw you have read 'oba heenayak wage' too. thanks again for all your comments. I am always trying my best to publish one post a day at least...

      Delete