Thursday, April 5, 2012

විසි නමවන කොටස

ආන්යගේ ගෙදර පිටිපස්සේ තිබුණේ වගා කරන්න පුලුවන් විදියේ තරමක හිස් ඉඩක්. රාමසාමි ගෙදර න්න් අදවල් වෙලාවට මේ වතු කෑල්ල කොටලා අම්මගේ අනුදැනුම ඇතිව එක එක බෝග වර්ග වවලයි තිබුණේ. පහුවදා උදේ වෙලා ගිහින් නැගිටපු ආන්යා, ගෙයි පිටිපස්සට නිකමට වගේ යද්දි, ගෝපියි, රාධායි ඒ වත්තේ හිටවලා තිබුන කැරට් වගයක් ගලවමින් හිටියා.
"ආනේ...කැරට්! අම්මා මමත් ගිහින් ගලවන්නද?" වත්ත අයිනට වෙලා ඒ දිහාව බලාගෙන උන්නු අම්මගෙන් ආන්යා ඉල්ලුවා.
"උදේ පාන්දරම මඩේ නටන්නද?" අම්මා ඇහුවත්, ඒ ලඟම උන්නු තාත්තා හිනාවෙලා ඈට යන්න කියලා හිසින් සන් කලා.
ආන්යා පාවහන් ගලවලා වත්තට පැන්නා.
"බේබි..." අම්මලා ඇහෙන නෑහෙන මානේ ඉන්දැද්දි ගෝපි හෙමින් ඈට කතා කලා.
"ඇයි?" ආන්යා ගලවගත්තු කැරට් අල කීපයක් ලඟ තිබ්බ බාල්දියට දමන ගමන් කිව්වා.
"බේබි අපි එක්ක තරාද?"
"අර මොකටද?"
"නෑ...ඊයේ වෙච්චි දේවල් නිසා"
ආන්යා කැරට් අලයක් ගලෝගෙන හිට ගත්තා.
"ඒකට මං මොකටද ඔයාලා එක්ක තරහා වෙන්නේ"
"අභී මහත්තයා බේබි එක්ක කතා කරන්න ඕන කිව්වාම, මට මුකුත් කියන්න බැරි වුණා බේබි"
"ඒකට කමක් නෑ ගෝපි"
ගෝපි යන්තම් හිනා වෙන්න උත්සාහ කලා. අනික් පැත්තේ උන්නු රාධාත් මේ කතාවට ඇහුම්කන් දීගෙන උන්නු වග ආන්යා දැක්කා.
"යේත් මට හරි දුකයි බේබි..." ගෝපි හිටි ගමන් ආයෙම එහෙම කිව්වා.
"ඇයි?"
"අපි කොච්චර ලස්සනට හිනාවෙලා හිටියද? අන්තිමට දන් සේරම දුක් තමයි වෙලා"
ගෝපිගේ කතාවට ආන්යට හිනා යන්න ආවත්, ඔහු කිව්ව කතාව කොච්චර ඇත්තද කියලා හිතුණාම ඇගේ හිතේ ඉපදුනෙත් දුකක්.
"ඒක අභී මාතියාගේ වැරැද්ද නෙවෙයි" ගෝපි අරුම පුදුම ප්‍රකාෂයක් කලා.
"ම්ම්? මොකක්ද ඒ කතාවේ තේරුම?"
ඒ පාර රාධාත් ලඟට ආවා. තුන් දෙනාම වත්තේ කෙලවර තියෙන පයිප්පය දිහාට ගියේ කැරට් හෝදන්න යන වග අඟවමින්.
"කොන්ජ මෙදුවා පේස (ටිකක් හෙමින් කතා කරන්න)" රාධා ගෝපිට කිව්වා.
" යාලුවන්ට වගේ තමා සලකනවා. හිත හොඳයි. ඒ වගේම බේබිට පණ හරි දෙයි. ඊයේ කතා කරද්දි මට යේක තේරුණා" ගෝපි කැරට් අල කීපෙක කොල ටික අඹර අඹර කිව්වා.
 "අභී මහත්තයා කිව්ව්ද පණ හරි දෙනවා කියලා" ආන්යා ඇහුවේ උපහාසෙන් වගේ.
ගෝපි ඈ දිහාට හෙලුවේ තියුණු බැල්මක්. ඒ බැල්මේ තිබ්බේ අමනාපෙක ලකුණු.
"බේබිට නම් විහිලු. හැම දේම විහිලු නෙවෙයි බේබි. අභී මහත්තයා පව්"
ආන්යා සුසුමක් හෙලුවා. කලින්දා හිතේ තිබුන තිබ්බ නොසන්සුන්, වෙහෙසකාරී ගතිය ආයෙමත් හිත වෙලා ගන්නවා ආන්යට දැනුනා.
"ඕක මහා තේරුමක් නැති කතාවක් ගෝපි" ආන්යා කිව්වා.
රාධා පයිප්පය ඇරලා කැරට් සෝදන්න පටන් ගත්තා.
"ඇයි බේබි? ඒ මාතියා හොඳ නෙද්ද? කවදාහරි මේ සේරම එයාලගෙනේ. සල්ලිද, හැඩද, ගතිගුණද, මොනාද අඩු?" ගෝපි හදන්නේ අභී ගැන තමන්ට 'තෙලක් ගහන්න' කියලා ආන්යට හිතුණා.
"අභී ගෝපිට කිව්වද මාව කොහොමහරි යාලු කරලා දෙන්න කියලා?" ආන්යා ගෝපිට බොරුවට රවලා ඇහුවා.
"අයියෝ...නෑ. නෑ. මට මොනාවත් එහෙම කිව්වේ නෑ. මම මට හිතෙන දේ තමා කිව්වා. අපේ බේබි හොඳට ඉන්නවටනේ අපිත් ආස. බේබිලා එමදාම මේ වත්තේ ඉන්නවා නම් කොච්චර හොඳද?"
ආන්යා හිනාවුණා, ඒ ගෝපිගේ ලෙන්ගතුකම ස්තුති කරන්න.
"ගෝපි හිතනවද, අභී මහත්තයා එක්ක මට හොඳට ඉන්න පුලුවන් කියලා?" ආන්යා ඊට පස්සේ ඇහුවා.
"ඔව් බේබි" ගෝපි කිව්වේ අවංකවම වග ඔහුගේ ඇස් වලින් පෙනුනා.
"ඒක කවදාවත් වෙන්නේ නෑ ගෝපි...පුලුවන් නම් අභී මහත්තයට කියලා දෙන්න"
ගෝපි අන්ද මන්ද වෙලා බලා ඉද්දි ආන්යා රාධා එක්ක කැරට් හෝදන්න එකතු වෙන ගමන් කිව්වා.
"මොකද මේ ඈලි මෑලි දුබල ගතියෙන්? යන්න කම්මැලිද?" ආන්යා රෙදි අස් කරමින් ඉන්දැද්දි කාමරේට ආපු තාත්තාගේ හඬට ආන්යගේ කල්පනා ලෝකය බිඳුනා.
"ආ...ම්ම්...කම්මැලි නම් තමා. ඒත් ඉතින් යන්න එපෑ" ආන්යා තාත්තා දිහාට හැරිලා කිව්වා.
ආන්යාගේ මේසේ අසල පුටුවට බර වුණා තාත්තා ආන්යා දිහා බැලුවෙ හිනාවක් මුවේ තවරගෙන.
"ඒ දවස් වල මමත් ගෙදර ඇවිත් ආයෙම කැම්පස් යද්දි මටත් ඔය වගේම යන්න බැරි ගතියක් දැනෙනවා මට මතකයි. ඒත් ඉතින් මොනවා කරන්නද පුතේ, ඉගෙන ගන්නත් එපෑ" තාත්තා කිව්වම ආන්යා හිස වැනුවා.
"පුතාට දැන් විභාග ලඟද?"
"විභාග නම් හැමදාම තියෙනව. අවසාන එකට නම් තව කල් තියෙනවා. ඇයි තාත්තා?"
"නෑ, මම මේ හිතුවේ අනූටත් නිදහසක් තියේ නම් සති අන්තෙක ගමේ ගිහින් එන්න යමුද කියලා"
ආන්යගේ හිතට එක පාරටම ආවේ සතුටක්.
"අනේ ෂෝක් නේ. යමුකෝ තාත්තා"
"බලමුකෝ අනූගෙනුත් අහලා නේද?"
ආන්යා ආයෙම මොනවත් අහන්න කලින් කාමරේ දොරෙන් එබුණේ අම්මා. දෙන්නම අම්මා දිහා බැලුවා.
"පොඩ්ඩක් එන්නකෝ, අන්න ෆැක්ට්‍රියේ වාහනේ මේ පැත්තට එනවා" අම්මා තාත්තට කතා කලා.
රෙදි නවන එක පැත්තක තිබ්බ ආන්යත් තාත්තා එක්කම කාමරෙන් එලියට ආවා.
ආන්යා තාත්තා පිටිපස්සෙන් එබිලා බැලුවම දැකපු දෙයින් ඇගේ හිත මොහොතකට නැවතුණා. ගෙයි දොරකඩින් ගෙට ගොඩ වෙමින් උන්නේ අභී.
"මේ...අභීනේ. මම බැලුවා කවුද මේ ෆැක්ට්‍රි වාහනේ ආවේ කියලා"
"අපේ ජීප් එකේ පන්ක්චර් එකක්. ඊයේ රෑ අන්නා කොහේදෝ ගිහින් එද්දි ඇනයක් ඇනිලා. මේ එකට ෆික්ස් කරන්න යන ගමනුයි මෙහාටත් ආවේ"
සේරටම කන් දීගෙන ආන්යා බිම බලාගෙන තාත්තා පිටිපස්සේ හැංගිලා වගේ හිටියා.
"මොනා හරි ඉල්ලගන්නද?" තාත්තා ඇහුවා.
"නෑ අන්කල්. මගේ ෆෝන් එක කොහේ හරි මිස්ප්ලේස් වෙලා. මම අර ගෝඩ් ට්‍රී එක පැත්තෙත් ගිහින් බැලුවා, එතන නම් නෑ. මං ආවේ බැරි වෙලාවත් මෙහේ කොහේ හරි වැටිලාවත්දෝ කියලා බලන්න"
"ආනේ ඇත්තද? එන්න එන්න. ගෙදර නම් අතුගෑව විතරයි. පොඩ්ඩක් බලන්නකෝ ඉඳගෙන උන්නු තැන් වල. සෙට් එක අස්සට වත් වැටිලද දන්නේ නෑ. රිං කරලා බැලුවේ නැද්ද?" අම්මා කිව්වේ ඔහුට ගෙට එන්න ඉඩ දෙමින්.
අභී ආන්යා දිහා යාන්තමට බලාගෙන ගේ ඇතුලට ආවා. එක පාරටම කාමරේට යන්නත් බැරි නිසා ආන්යා තාත්තා ලඟටම වෙලා හිටියා.
"බැලුවා, ඒත් මං හිතන්නේ ඒක ඕෆ් වෙලා. මං පොඩ්ඩක් බලන්නද එහෙනම්?"
"බලන්න බලන්න. ඉන්නකෝ මම ගෝපිටත් කතා කරන්න" අම්මා කුස්සියට ගියා.
අභී ආන්යලගේ ගෙදර සෝෆා සෙට් එක වටේම ඇවිදිමින් ෆෝන් එක හොයන්න වුණා.
"ආ...මේ තියෙනවා. මේ එජ් ඒකේ හිර වෙලා. කලු පාට නිසා පේන්නත් විදියක් නෑනෙ" අන්තිමට පුටුවක් අස්සේ තිබිලා අභී ෆෝන් එකක් එලියට ගත්තා.
"ඊයේ ඔතන වාඩි වෙලා කැරකි කැරකි ඉද්දි වැටෙන්න ඇති" තාත්තා හිනාවක් මුවට නගාගෙන කිව්වා.
"හම්බුණාද?" ගෝපි එක්ක කුස්සියෙන් මති වුණ අම්මා ආවේ එහෙම අහගෙන.
හම්බවුණ විදිහේ  වග විස්තරේ තාත්තා අම්මට කියන අතරේ, තමන් දිහාට විටින් විට යොමු වුන අභීගේ බැල්ම දැක්කාම, මේක හිතලම දාලා ගියාදෝ කියලා පුංචි සැකේකුත් ඇගේ හිතට ආවා.
"ආන්යා අද යනවා නේද?"  තාත්තලත් එක්ක කතා කරමින් ඉඳලා අභී ඇහුවේ ආන්යා දිහා බලලා.
"ඔව්" ආන්යා කිව්වේ එච්චරයි.
"අභී හිටගෙනම ඉන්නේ වාඩි වෙන්න. මම බොන්න දෙයක් අරන් එන්නම්"ආන්යගේ අමුතු හැසිරීම නොදැකපු අම්මා කිව්වා.
"ඕන නෑ ආන්ටි මම දැන් යන්න ඕන. පැච් එක දාගන්නත් ඕනනේ"
"ඔන්න ලෑස්ති වෙලා හිටියා නම් මීනුටත් යන්න තිබ්බ ටවුන් එකට මේ එක්කම" අම්මා කිව්වේ ආන්යව අපහසුතාවයකට පත් කරමින්.
"මට ටිකක් වෙලා නම් ඉන්න පුලුවන්"
'ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවෙ කිව්වලු' ආන්යට හිතුණා අභී එහෙම කිව්වාම.
"නෑ, නෑ. ඔයා යන්න. මම තාම බෑග් එක ලෑස්ති කරගෙනත් නෑ. මම තාත්තා එක්ක යනම්. තෑන්ක්ස්" ඈ ඉක්මණට කිව්වා.
"ඔව් අභී ඔයාගේ වැඩේකර ගන්න. දන්නැද්ද මේ ගෑණු ළමයි ලෑස්ති වෙන්න ගියාම. පොඩ්ඩක් ඉන්නකෝ, මම ටිකකට ෆැක්ට්‍රියට යන්න ඕන,පොඩි වැඩකට. මම අඉක්මණට ඇඳුමක් දාගෙන එන්නම්" තාත්තා ගේ ඇතුලට ගියේ එහෙම කියාගෙන.
'තාත්තටත් වැඩ මතක් වෙන්නේ මේ වෙලාවට තමා' ආන්යා හිතුවා.
"ඔය ගියාට එන්න වෙලා යනවා. ඉන්නකෝ මම කෝපි ටිකක්වත් හදාගෙන එන්නම්" අම්මත් කුස්සිය දිහාට ඇදුනේ ආන්යවයි, ගෝපිවයි, අභීවයි විතරක් සාලේ තනි කරලා.
ආන්යට දැනුනේ තම්න්ගේ හිස උඩ ගිනි මැලයක් ගහලා වගේ. සේරම් සිද්ධ වෙන්නේ අභීට වාසි වෙන විදියටමයි කියලා ඈට හිතුණා. ඈ ඉස්තෝප්පුවට විවෘත වෙන දොර ලඟ හිටගෙන ඉද්දි, අභී ඉස්තෝප්පුවට එන්න ආවා. ගෝපිත් ඒ පස්සෙන් ඇවිත් ඉස්සරහ කණුව අසලට ගියා. අභී ආන්යා උන්නු තැනට ලඟින්ම තිබුණ පුටුවට බර වුණා.
"මං ආවේ ඇයි කියලා දන්නවා නේද?" අභී හෙමින් ඇහුවාම ආන්යගේ හද ගැස්ම වැඩි වෙන්න ගත්තා.
"අයි වෝන්ටඩ්  ටු සී යූ...සෝ බෑඩ්ලි" ඔහු කිව්වේ යන්තම් හිස් උස්සලා ආන්යා දිහා බලලා.
"ඒත් ඊයේ මට හිතුණා, මගේ හිතේ තියෙන දේවල් ඔයාට නොකියම හිටියා නම් හොඳයි කියලත්. ඊයේ වෙනකල්ම මා එක්ක හිනා වෙවී, කතා කර කර හිටපු ඔයා, දැන් මාව දැකලා ගොලු වෙද්දි, බය වෙලා වගේ අහක බලාගෙන ඉද්දි...මට දුක හිතෙනවා මීනු"
ඒ වචන ආන්යගේ හිත පතුලටම කිඳා බහිනවා ඈට දැනුනා.
"මං මහා නරක කොල්ලෙක් කියලා හිතනවද?" ඔහු ආයෙම අහද්දි ඈට තවත් කතා නොකර ඉන්න හිත් දුන්නේ නෑ.
"නෑ අභී" ඈ කිව්වේ වෙව්ලන හඬින්.
"මට තේරෙනවා. දැන් ඔයාත තවත් ඉස්සර විදියට මා දිහා බලන්න බෑ. මොකද ඊයෙන් පස්සේ අපි අතරේ තිබ්බ රිලේෂන්ෂිප් එක සැහෙන වෙනස් වෙලා. මටත් ඒක දැනෙනවා"
ආන්යා සුසුමක් හෙලුවා.
"ඔයා නිසා මං සෑහෙන්න වෙනස් වෙලා. මං ජීවිතේ පලවෙන් වතාවට සිංහල සිංදුත් අහන්න පටන් ගත්තා. දේවල් ගැන හිතන්න, වෙනස් විදියට දකින්න, නොදැන වුණත් මට පාර කිව්වේ ඔයා...ඇත්තම කිව්වොත්, මම ඊයේ හිතලම මේක දාලා ගියේ අද ඔයා බලන්න එන්න ඕන නිසාමයි..."
අභී තමන්ගේ අතේ තිබුණ ෆෝන් එක කරකමින් කිව්වා. ආන්යා තවත් ඇතුලෙන් කැලඹුණා.
"ඔයා අද ගියාම අපි ආයෙම මුණගැහෙන්නේ ගොඩ කාලෙකින්. මම එහේ ගිහින් ඔයාට ෆෝන් කරන්නද?" අභී ඇහුවා.
"එපා..." ආන්යා යන්තම් වචනයක් හොයා ගත්තා.
අභි ඈ දිහා බලලා හිස පහත් කර ගත්තා.
"ඕකේ. ඔයාගේ කමැත්තක්"
"අභී...ප්ලීස් අහන්න. මේක වෙන්න බැරි දෙයක්. තේරුම් ගන්න. ඔයාලා යටතේ අපි වැඩ කරන්නේ. අපි දෙගොල්ලෝ හරියට අහසයි, පොලවයි වගේ. අනික මම සිංහල, කවදාවත් ඔයාගේ ගෙදර අය මේකට ඉඩ දෙන එකක් නෑ" ආන්යා බැරිම තැන රහසින් වගේ කිව්වේ, ගේ ඇතුලෙන් කවුරු හරි එනවද කියලා සැරින් සැරේ බලන ගමන්.
"මම කිව්වනේ මීනු, මං ඒ ගැන බලාගන්නම්. මං අන්නා වගේ නෙවෙයි. මම කොහොම හරි ගෙදර කැමැත්ත ගන්නම්. අනික් එක ඔයා සිංහල එක අපට කොහොමත් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. ඔයා නොදන්නවට, මගේ අම්මත් සිංහල"
ආන්යා බිම බලාගත්තා. අභී උන්නේ ආ දිහා බලාගෙන.
"කෝ මේ ළමයි? ආ මේ ඉන්නේ" තාත්තා  ගේ ඇතුලේ ඉඳන් සාලෙට ආවේ මෙවෙලේ.
ආන්යයි අභීයි ඇසිල්ලකින් දෙපැත්තට වුණා.
"මොකෝ මෙයා කියන්නේ?" තාත්තා අභීගෙන් ඇහුවේ ආන්යා පෙන්නලා. අභී හිනාවුණා විතරයි.
"කෝ පුතේ අම්මා?"
"කෝපි ගේන්න ගියා?"
"ඔන්න බලමුකෝ ඒකෙත් හැටි? මේ අක්කර ගණනාවක තේ වත්තකුත් තියාගෙන, ටොන් ගණන් තේ කොල හදන වත්තක මැනේජර්ගේ ගෙදර බොන්නේ කෝපි" තාත්තා කියපු කතාව හැමෝගෙම මුවගට හිනාවක් ගෙනාවා.
කොහොම හරි කෝපිම බීලා අහවර තාත්තා එක්ක අභී යන්න එලියට බහිද්දි මොකක්දෝ හේතුවකට ආන්යට ඔහුට කතා කරන්න ඕන වුණා.
"අභී..." වාහනේ අසලටම ගිහින් උන්නු අභී ඈ දිහාට හැරුණේ පුදුමෙන්.
"යන ගමන පරිස්සමින් ගිහින් එන්න. විෂ් යූ බෙස්ට් ඔෆ් ලක්..."
අභී තප්පරයක් විතර ඈ දිහා බලාගෙන ඉඳලා හඬ වදි කලා.
"තෑන්ක් යු..අයි විල්.ඇන්ඩ් යූ ටූ ටේක් කෙයා, ප්‍රින්සස්"
තාත්තා ඉන්නවා වත් කියලා නොබලා ඔහු එහෙම කිව්වා. ඒත් හොඳ වෙලාවට තාත්තා උන්නේ වාහනේට නගින්න එහා පැත්තට යමින්. වාහනට නැගපු අභී ආන්යා නොපෙනී යන්න ඔන්න මෙන්න තියෙද්දි ආයෙම ඇස් උස්සලා වාහනේ වීදුරුව ඇතුලෙන් ඈ දිහා බැලුවා. ආන්යට දුකක් දනුනා. ඒ ඔහු ගිය නිසා නෙවෙයි, ඉස්සර හිටපු පිස්සු අභී අතීතයක්ම විතරක් බවට පත් වුණ නිසා.



4 comments:

  1. ලස්සනට කතාව ලියලා තියෙනවා නෙතු... ගොඩාක් ස්තුතියි..!!!

    ReplyDelete
  2. ලස්සනට කතාව ලියලා තියෙනවා නෙතු... ගොඩාක් ස්තුතියි..!!!

    ReplyDelete
  3. Replies
    1. ඒක හරිම කණගාටුදායක දෙයක් නේ. ආදරේ නිසා යාලුකම් නැතිවෙන එක අපරාදයක්. හැබැයි ඉතින් මගේ අත්දැකීම් නම් වෙනස්. ගොඩක් අය තේරුම් ගත්තාම යාලුකම ඇරෙන්න දෙයක් තියෙන්න බෑ කියලා ඒ අය ආයෙමත් යාලුවෝ වුණා. අපි අදටත් හොද යාලුවෝ. පරණ දේවල් මතක් කරන්නේ වත් නෑ.
      …ඔයාට වෙච්ච දේ ගැන මට දුකයි. මොනා කරන්නද මිනිස්සු කියන්නේ හරි පුදුමාකාර කට්ටියක්නේ..

      Delete