අඩියට දෙකට පුස්තකාල ගොඩනැගිල්ල දිහාට දුවලා නතරවුණ ආන්යා දිහා බලාගෙන හිනා වෙවී උන්නේ අභිමන්යු.
"ඔයා මොකද මෙහේ කරන්නේ?" ආන්යා ඇහුවේ පුදුමෙන්, හෙමිහිට හති දම දම.
"ඇයි? මේ පැත්ත ලංකාවේ මිනිස්සුන්ට තහනම් කලාපයක්ද?" සාකුවේ අත් දෙක ඔබාගෙන, හිස ඇල කරගෙන අභි ඇහුවා.
"ඔය ඉතින්..."
"ඔයා බලන්නමයි ආවේ කියලා හිතාගන්නකෝ"
"මාව බලන්න?"
"මම කිව්වේ හිතාගන්න කියලනේ..." ආන්යා අභි එක්ක කතා කරමින් ඉන්න අත්තරේ හැරි හැරී අනික් පිරිස උන්නු දිහාත් බැලුවා. අංජලී, රශ්මිත් එක්ක ඒ පැත්ත හොරෙන් බලමින් උන්නු හැටි ඈට පෙනුනා. දහම්ලත් ඔවුන් දිහා නොබැලුවා නෙවෙයි.
"තනියෙමද ආවේ?" ආයෙම අභි දිහා බැලුව ආන්යා ඇහුවා.
"ආපු අය බලන්න එන්නකෝ...ජීප් එක ඉස්සරහ තියෙනවා. යමුද?" අභි දඟකාර විදියට ඇහුවා.
ආන්යගේ හද ගැස්ම එක පාරටම වැඩි වෙන්න පටන් ගත්තා. ආර්යනුත් ඇවිත් ඇතිද?
අභි අද ඇවිල්ල තිබුණේ ආන්යා කලින් දැකලා නොතිබුණ අලුත් ජීප් එකක. එතනට යනකල්ම ආන්යා උන්නේ දෙගිඩියාවෙන් ගැහි ගැහී. ආන්යලා එනවා දැකලා ජීප් එකෙන් එලියට බැස්සේ වෙන කවුරුවත් නෙවෙයි, ආන්යාගේ තාත්තා.
"තාත්තා..." ආන්යා අභීව මග දාලා තාත්තා දිහාවට දිව්වා.
"කියන්නෙත් නතුවම ඇවිත්" ආන්යා කිව්වේ තාත්තාගේ අතක එල්ලෙන ගමන්.
"මමත් එන්න හිතපු ගමන්ක් නෙවෙයි. ඊයේ මම කොලඹ ගියා, මනී මහත්තයලගේ ගෙදර ඩිනර් ගන්න ගියාම අභීයි මතක් කලේ අද මෙහෙන් යන්න පුලුවන් නේද කියලා. යනවනම් ඔයාලවත් ගෙදර එක්කගෙනම"
ආන්යා එවෙලෙ එතනට ආපු අභී දිහා බැලුවා.
"මොකද හදිසියේම වත්තට යන්න හිතුණේ?" ආන්යා ඇහුවේ පුරුදු මිතුරු ලීලාවෙන්.
ඒ අතරෙම ඇගේ හිතේ එක පැත්තක් බලාපොරොත්තු කඩවුණ නිසාදෝ අඳුරු වෙලයි තිබුණේ. ආර්යන් හිටියා නම් මෙච්චර වෙලා ඇගේ දෑස් මායිමට නෑවිත් නො ඉන්න වග ඈ දැනගෙන හිටියා.
"හදිසියක් නෑ, නිකමට. මම නෙක්ස්ට් වීක් ආපහු යූ කේ යනවා. ගිහින් ටික දවසක් ඉන්න වේවි. ඒ නිසා ඔයාලව බලලා යන්න හිතුණා"
"අනේ වාසනාවන්...කොලඹ ගිහින් එක පාරක්වත් කතාවත් කලේ නෑ ඒ වුණාට"
ආන්යාගේ තාත්තා මේ දෙන්නගේ කතාබහ අහගෙන උන්නේ හිනා වෙවී.
"හරි ඉතින් කියන්නකෝ, දුව අද ගෙදර යනවද?" තාත්තා ඇහුවේ දෙන්නගේ කතාවට මදක් බාධා කරමින්.
"යන්න නම් නෙවෙයි හිටියේ. ඒත් ඉතින් තාත්තා ආපු නිසා දැන් නම් යන්න ඕන කියලා හිතෙනවා. හැබැයි හොස්ටල් ගිහින් බෑග් ගන්න ඕන"
"එතකොට අනුහස්?"
"එයාට එන්න වෙන එකක් නෑ තාත්තා, මේ දවස් වල ඉන්ටර් යුනිවර්සිටි ටීටී ප්‍රැක්ටිස්.
"ආ...අනුහස් ටීටී ප්ලේයර් කෙනෙක්ද?" අභි ඇහුවා.
"නිකම් ප්ලේයර් කෙනෙක් නෙවෙයි, හොඳ ප්ලේයර් කෙනෙක්. ඒකනේමේ ගෙදර යන්න දෙන්නෙත් නැතිව තියාගෙන ඉන්නේ" ආන්යා කිව්වේ තමන්ගේ සොහොයුරා ගැන උපන්න පුංචි ආඩම්බරෙකුත් එක්ක.
"ෂා ෂෝක් නේ"
"අනුහස් මම පෙරේදා කතාකලාම්ත් මොකක්ද ඔය ගැන කිව්වා තමා, ඒත් මං හිතුවේ ගෙදර යන්න පුලුවන් වෙයි කියලා" තාතා කල්පනාබරව කිව්වා.
"අපි නිකමට අහලා බලමුකෝ නේද?" අභි තමන්ගේ ෆෝන් එක අතට අරගෙන අනුහස්ගේ නොම්මරේ හොයන ගමන් කිව්වා.
"තාත්තේ මම යාලුවන්ට කියලා එන්නම්" මේ අතරේ ආන්යා ආපහු ශ්‍රවණාගාරය දිහවට ගියේ එහෙම කියාගෙන.
"කවුද අනේ ඒ හැන්ඩියා? ආර්යන්ද?" ආන්යා යද්දි ඇගේ යෙහෙලියෝ දෙන්න හිටියේ එලියේ පිට්ටනියේ. දහම්ලා නම් පේන්න උන්නේ නෑ.
"නෑ...එයාගේ මල්ලි" ආන්යා කිව්වේ අංජලීගේ ඇස් මගාරින ගමන්. ආර්යන් තරහා වුණ එකට අංජලීත් වග කියන්න ඕන කියලා ඈට හිතුණා. නැත්තම් අද ආර්යන් එන්නත් ඉඩ තිබුණානේ කියලා ඈ මතක් කලේ දුකෙන්. එදා සිද්ධියෙන් පස්සේ ආර්යන් එකම එක පාරක්වත් ආන්යට කතා කලේ නැහැ.
"මේ...මල්ලිව බැරිද මට සෙට් කරලා දෙන්න..." රශ්මි විහිලු කරනවා.
"මේකයි...අලි ආම්බාන් කරන්න නම් එයා කැමති වෙන එකක් නෑ" ආන්යා අහක බලාගෙන කිව්වාම අංජලීට හිනා ගියා. රශ්මි ආන්යව පැත්තකට තල්ලු කලෙත් හිනා වෙවීමයි.
"හරි හරි, අපට කවුරුත් ඕන නෑ. අයියයි, මල්ලියි දෙන්නම ඔයාම තියා ගන්න" රශ්මි අන්තිමට කිව්වාම ආන්යගේ හිතට ආයෙම බරක් එකතු වුණා, අහේතුකවම.
"අනුහස්ට එන්න විදියක් නෑලු ආන්යා, බලන්නකෝ" අභි ඉනට අත්දෙක තියාගෙන කිව්වේ නොමනාපෙකින් වගේ.
"මොනා කරන්නද ඉතින්? එයාට එන්නම විදිහක් නැතුව ඇති, නැත්තම නෑවිත් ඉන්නේ නෑ" ආන්යා කිව්වා.
"දුව නගින්න, අපි ඔයාගේ බෑග් අරන් එමු, හවස් වෙන්න කලින් යන්න පුලුවන් නම් හොඳයි නේ, අද ඩ්‍රයිවත් නැති නිසා" තාත්තා කිව්වා.
"
"ඩ්‍රයිවර් නෑ? එහෙනම් කවුද වාහනේ අරන් ආවේ?" ආන්යා නිකමට වාහනේ ඉස්සරහට එබුණා. රියදුරු ආසනේට හේත්තු වෙලා ඇස් පියාගෙන උන්නේ වෙන කවුරුවත් නෙවෙයි, ආර්යන්. ආන්යා එක පාරටම තිගැස්සුනා වගේ වුණා ඔහුව දැක්කම. ඒ එක්කම වගේ ඇගේ හිතට කාන්දු වුණේ කියාගන්න බැරි තරම් දුකක්. ආර්යන් මේ තරම් නපුරු ඇති කියලා ආන්යා කවදාවත් හිතලා තිබුණේ නෑ. ඒත් ඇත්තටම ඔහු නපුරුද? නැත්තම් නපුරු වුණේ තමන්ද කියලත් ආන්යට හිතුණා. ආර්යන් නිකමටවත් හැරිලාවත් බැලුවේ නෑ.
"අපි යමු නේ?" තප්පර ගාණක් ඇතුලත වෙච්ච දේවල් නොදැකපු තාත්තා ආන්යාගෙන් ඇහුවා.
ආන්යා අභි එක්ක වාහනේ පිටිපස්සට නැග්ගෙත්, නේවාසිකාගාරෙට ගිහින් ඇඳුම් අරගෙන ආවෙත් හීනෙන් වගේ. ඒත් ආයෙම වාහනේට නග්ගට පස්සේ කල්පනාකරන්න ආන්යට ඉඩක් ලැබුණේ නෑ. කතා නොකරන හැම තප්පරයක්ම මහා නාස්තියක් කියලා හිතුවා වගේ අභී නොකඩවාම කතා කලා.
"නේද අන්කල්...මේ පැත්ත දකිනකොට නම් හිතෙනවා ආයෙම මෙහේ යුනිවර්සිටි එන්න ඕන කියලා..."අභී කිව්වේ හවස ආපහු නේවාසිකාගාර බලා යමින් උන්නු ගෑනු ළමයි දිහා බලන ගමන්.
"අන්කල්...කවදා ඉඳන්ද තාත්තේ ඔයා මෙයාට අන්කල් වුණේ?" ආන්යා ඔලොක්කුවට වගේ ඇහුවා.
"මේකනේ...ඔයාලගේ නම හරි දිගයි, හදිසියකට කියන්න අමාරුයි, අනික ඉතින් අපේ තාත්තගේ හොඳම යාලුවෙකුට අන්කල් කිව්වාම ඇති වැරැද්ද මොකක්ද?" අභී ආන්යගේ පැත්තට හැරිලා ඇහුවා.
ඉස්සරහා රියදුරු ආසනේ උන්නු ආර්යන් යන්තමට ඉස්සරහ කණ්ණාඩියෙන් පිටිපස්ස බලනවා ආන්යා දැක්කා. ඈ මුවට හිනාවක් නගා ගත්තා අමාරුවෙන්.'නපුරා'
ගෙදරට සේන්දු එනකලුත්, කන්න මග නවත්තපු වෙලාවෙවත් ආර්යන් නෙවෙයි ආන්යා එක්ක වචනයක් වත් කතා කලේ. ආන්යා උන්නේ හිත රිදිලා. ඒත් ඒ වග අඟවලා ආර්යන්ට දෙවන වෙන්න ඈ කැමති වුණෙත් නෑ. ඒක නිසාදෝ අන්තිමට ඈ කලේ තවත් උනන්දුවෙන් අභී එක්ක කතා කරපු එකයි.
"එන්න එන්න ගෙට ගිහින් යමු" වාහනෙන් බැහැපු තාත්තා, ආර්යන්ටත්, අභීටත් ආරාධනා කලා.
ඒ වෙනකොට ආන්යා නම් වාහනෙන් බැහැලා ඉස්තෝප්පුවේ උන්නු අම්මා ලඟට දුවලත් ඉවරයි. ඈ එතන ඉඳගෙන බලාගෙන ඉද්දි දවසේ මුල්ම වතාවට ආර්යන් ඈ දිහා බැලුවා මොහොතකට. ඒ ඇස් වල තිබුණේ සීතල බවක්. ආන්යා අහක බලාගත්තා ඉක්මණටම.
"දැන් මහන්සියි නේ අන්කල්, හෙට එන්නම් හෙට. ආන්ටි අපට උයලා තියන්නකෝ දවල්ට. ආන්යා...හෙට අර ෆැක්ට්‍රිය ලග ගෝඩ් ට්‍රී එක බලන්න යමු හොඳේ. ඔන්න ලෑස්ති වෙලා ඉන්න ගෝපියි, රාධායි, කුට්ටියි එක්ක" අභී වාහනේ ඇතුලේ ඉඳන්ම කෑ ගැහුවා.
"හරි හරි" ආන්යා හිනාවෙලා අතක් වැනුවා.
අභීලා යන්න යද්දි ආන්යා ආර්යන් දිහා නොබලා ඉන්න උත්සාහ කලා. 'එයා නපුරු නම් මාත් එහෙමයි...මම සොරි කියලත්නේ..' ආන්යා හිතුවා. ඒ නිසාම ආර්යන් තමන් දිහා බැලුවද කියලත් ආන්යා දැක්කේ නෑ. වාහනේ ගේට්ටුවෙන් නොපෙනී ගියාට පස්සේ, ආන්යාට ලොකු සුසුමක් හෙලුණා.
"යමු පුතේ ගෙට" ආන්යගේ ඇඳුම් බෑග් එක ගත්තු අම්මා ඉස්සර වුණා.
"රුචිරානනී අහන්න යෙක පාර මා මරන්න..." ගෝපිගේ හඬ මිදුල දිහාවෙන් ඇහුනම දොරකඩ උන්නු ආන්යා හැරිලා බැලුවේ හිනා වෙවීමයි.
"හා..හා... යෙක පාර මරණකං ඔය බඩු ටික ඉක්මණට කුස්සියට ගිහිල්ල දානවා..." ආන්යා ලඟ උන්නු අම්මා කිව්වෙත් හිනා වෙවීමයි.
"මේ යනවා නෝනා..."
ලස්සනයි.. :)
ReplyDeletehe he yeke pare ma maraneeeeee :P :P lassanay ade post ekath :)
ReplyDeleteඅම්මෝ හරි නපුරුයි වගේනේ ආර්යන් හැබැයි එහෙම තමා ඉන්න ඕනා කොල්ලෝ
ReplyDelete