Tuesday, April 3, 2012

විසි හත්වන කොටස

ආන්යා මගට එද්දි අතරමග නැවතිලා මග බලාගෙන උන්නු රාධායි, ගෝපියි එකපාරටම කලබල වෙලා ඈ දිහාට ආවා.
"බේබි...මොකද වුණේ බේබි?" රාධා ඇහුවේ බය වෙලා වගේ.
මොහොතක් බලා හිටපු ගෝපි පහලට දිව්වේ අභීව බලන්න.
"මොකද වුණේ කියන්න බේබි..."
"මුකුත් නෑ රාධා, අපි ගෙදර යමු"
"කෝ අභි මහත්තයා?"
"මං දන්නෑ රාධා, මම යනවා..." ආන්යා රාධාව එතන දාලා එන්න හැදුවත් රාධා පැනලා ඇගේ අතකින් අල්ලගත්තා.
"කොහෙද බේබි යන්න හදන්නේ?"
ඒත් ඒකට උත්තරයක් දෙන්න කලින්, එතනට දුවගෙන ආවේ අභී, ගෝපිත් එක්ක.
"මීනු...-" අභී මොනවදෝ කියන්න හැදුවත් ආන්යා මැදින් පැන්නා.
"ප්ලීස් අභී...ආයෙම මුකුත් අහන්න මට ඕන නෑ"
ආන්යා කිව්වේ ලඟ උන්නු රාධා හෝ ගෝපි ගැන නොහිතා.
අභී ඇගේ ලඟට එද්දි රාධගේ ග්‍රහණය ලිහිල් වෙනවා ආන්යට දැනුනා.
"නාන් ඉවර්කිට්ට තනියා පේසනුම් (මට මෙයා එක්ක තනියෙම කතා කරන්න ඕනා" අභි කිව්වේ රාධාටයි, ගෝපිටයි දෙන්නටම.
ආන්යා රාධා දිහා බැලුවාම ඈත් බලාගෙන උන්නේ බයෙන්, යම්දෝ නොයම්දෝ කියලා වගේ.
"පොයිඩ (යන්න)" අභී තදින් කිව්වාම ගැස්සිලා ගිය රාධා ගෝපි එක්ක ආයෙම ඈතට ගියා.
"ඔයාට පිස්සුද?" ආන්යා අභීගෙන් ඇහුවේ තරහින්.
"මට තේර්න්නේ නෑ මීනු..." අභී ආන්යා කියපු දේ නෑහුණා වගේ කිව්වේ ඈ දිහා දිලිසෙන ඇස් වලින් බලාගෙන. ඒ ඇස් දිලිසෙන්නේ දුකටද?
"ඔයා මේක අහලා මෙච්චර පුදුම වේවි කියලා මම හිතුවේ නෑ. මම හිතුවා සමහරවිට ඔයාට මං ගැන තේරිලා ඇති කියලා. මම ඔයාට හැමදාම එක එස්.එම්.එස්. එකක් හරි එව්වනේ. මට කියන්න මීනු...ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ?"
තමන් කරපු ලොකුම වැරැද්ද ඒක කියලා ආන්යා මේ වෙනකොටත් තේරුම් අරගෙනයි තිබුණේ. ඈ ඇස් දෙක පියා ගත්තා.
"අභී...මම ඒවට කවදාවත් උත්තර එව්වේ නෑ, එක පාරක් ඇරෙන්න. ඒත් ඒ එක පාර එව්වෙත් මම නෙවෙයි, මගේ යාලුවෝ. මං ගාව ඔයාගේ නොම්මරේ තිබුණ නැති නිසා මේවා එවන්නේ කවුද කියලා මම දැනගෙන හිටියේ නෑ. මම ඒවා නොසලකා හිටියේ ඒකයි. මේවා නිසා ඔයා මං ගැන වැරදියට හිතුවා නම්...අයෑම් රියලි සොරි"
බැරිම තැන ආන්යට සිද්ධ වුණේ බොරුවක් කියන්න. ඒ ඇර වුණ දේවල් පහදන්න හොඳ ක්‍රමයක් ඈ ලඟ තිබුණේ නෑ. ඒ එව්වේ ආර්යන් කියලා හිතපු වග අභීට කියන්න කීයටවත් ඈට බැහැ. අභී හෙලපු සුසුමක හඩ ඈට ඇහුණා.
"එතකොට, මේ සේරම වැරදියට තේරුම් අරන් ඉන්නේ මමද?"
"අභී ප්ලීස්...තේරුම් ගන්න. " ඇයි ඔයා තේරුම් නොගන්නේ? මම ඔයාට සැලකුවෙත් අනුහස්ට වගේ. මගේ හොඳ යාලුවෙක්ට වගේ. මට වෙන විදියකට ඔයා ගැන හිතන්න පුලුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ"
"මම හිතනවා..."
"අභී..."  
"මීනු...මගේ හිතේ ඔයා ගැන විශේෂත්වයක් ඇති වුණේ ගොඩ කාලෙකට කලින්. අපි මුලින්ම මෙහේ එද්දි වැස්සේ තෙමි තෙමී ඉඳලා ගේ ඉස්සරහ ඉඳන් අපට නාරදගේ ගෙදරට යන්න පාර කියපු දවසේ ඉඳන්. ඒ හිත වෙනස් කර ගන්න ඔයා ඔය කියන තරම් ලේසි නෑ..."
අභී හැඟීම්බරව එහෙම කිව්වම, ආන්යා මොහොතකට නිහඬ වුණා. 'අභීට කොච්චර දේවල් මතකද?' ඔහුගේ දෑස මගෑරලා වටපිට බලද්දි ඈත ඉඳන් ගෝපියි, රාධායි හොරෙන් බලමින් උන්නු හැටි ඈට ඇස් කොනකින් පෙනුනා.
"මිනු... ඇයි ඔයාට බැරි මං කියන දේ අහන්න? මං ඉල්ලන්නේ කල් අරන් හිතන්න කියලා විතරයි"
"මගේ උත්තරේ වෙනස් වෙන්නේ නෑ"
"ස්ටිල්, අයි ලයික් ටු ටේක් අ චාන්ස්..."
ආන්යා තමන්ගේ වම් මාපටැඟිල්ල හපාගෙන කල්පනා කරන්න වුණා.
"මං දන්නවා ඔයාට වෙන අෆෙයාර් එකක් නෑ කියලා, ඒහෙම තිබ්බ නම් මම කවදාවත් මෙහෙම ඔයාගෙන් අහන්නේ නෑ. මිනූ...මිනිහෙක්ට ලක්ෂරි විදියට ජීවත් වෙන්න ඕන හැමදේම මට තියෙනවා. මට පුලුවන් ඔයාව දුකක් නොදී බලා ගන්න"
ආන්යා ඇස් පියාගත්තේ තවත් අහන් ඉන්න බැරි තැන.
"අභී...කියන දේ අහන්න. ඔයා ඔය තරම් බලාපොරොත්තු තියාගන්න එපා. මං දන්නවා-"
ආන්යා කියද්දි ආයෙම අභී මැදින් කතා කලේ ඈ ලඟට තවත් ලං වෙලා.
"ෂ්! මුකුත් කියන්න එපා. මම ලබන සතියේ යූ කේ යනවා. ගිහින් එන්න මාසයක් වත් යයි. මං ඉල්ලන්නේ මේ ගැන ආයෙම පාරක් හිතන්න කියලා. ඔයා දැන් ඉන්නේ කලබල වෙලා. එහෙම නෙවෙයි, හිත නිදහස් වෙලාවක හිතන්න"
ආන්යා මොන්වත්ම කියන්න ගියේ නෑ. මොකද අභී නාහන බව ඈට තේරුණ නිසා.
"ඔයා මං ගැන දන්නවා. කවදාවත් මං කිසිම බොරුවක් ඔයාට කරලා නෑ. මට අෆෙයාර්ස් තිබිලා තියෙනවා. මං නෑ කියන්නේ නෑ. ඒත් ඒ කිසිම කෙනෙක් ඔයා තරම් මගේ හිතට ලං වෙලා නෑ. මට වෙන කෙනෙක් හොයා ගන්න බැරි කමකට නෙවෙයි මං මේ තරම් ඔයාට කියන්නේ. මට ඔයා ඕන නිසා මීනු. මට ඔයා ඕන නිසා..."
ආන්යගේ හිත බර වෙලා ආයෙම ඇස් වලට කඳුලු පිරුණා. ඒ ඇයි කියන්න ඈ දැනගෙන උන්නේ නෑ.
"ඒ නිසයි මං ඉල්ලන්නේ, හිතන්න...හිතලා මට උත්තරයක් දෙන්න" අභී හෙමින් තෙපලුවා.
"ඇයි  ඔයා තේරුම් නොගන්නේ? මේවා අපේ ගෙවල් වලට එහෙම ආරංචි වුනොත් මොනවයින් මොනා වෙයිද? ඔයා මගේ තාත්තාගේ බොස්ගේ පුතා. අපේ තාත්තාව රස්සාවෙනුත් අස් කරයි ආරංචි වුනොත්. මට එහෙම වෙන්න දෙන්න බෑ අභී. ඔයා කියන තරම් සේරම ලේසි නෑ"
අභී හිස වැනුවා.
"මම කීයටවත් එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ. මාව විශ්වාස කරන්න"
"මට බෑ අභී...මට බෑ..." ආන්යා එහෙම කියලා රාධලා උන්නු පැත්තට දුවගෙන ආවා.
"අපි යමු රාධා"
අභී මොනවද කරන්නේ කියලාවත් නොබලා ආන්යා  එන්න ආවේ අවුල් වුන හිතින්. අද උදේ මෙතනට එද්දි දේවල් තිබුණේ කොයි තරම් නම් වෙනස්වද? ඒත් දැන්?
"බේබි..." ගොඩාක් දුර එනකල්ම කතා නොකර ආපු රාධා එක පාරටම ආන්යගේ අතකින් අල්ලලා නැවැත්තුවා.ආන්යා රාධා දිහා බැලුවේ විඩාබරව, ඒත් ඊලඟ මොහොතේ ඈ දැක්කේ තාත්තාගේ ජීප් එක කන්ද දිගේ තමන් දිහා එන ආකාරය. ආන්යා ටිකක් කලබල වුණා.
"රාධා වෙච්ච දේවල් කාටවත් කියනවා එහෙම නෙවෙයි" ආන්යා ලද අවසරෙන් රාධාට කිව්වා.
කන්ද දිගේ ඉහලට ආපු ජීප් එක ආන්යලා උන්නු තැන නැවැත්තුවා. ඒත් ජීප් එකේ උන්නේ තාත්තා නෙවෙයි. ආන්යාගේ හිතට තවත් බරක් එකතු කරපු කෙනෙක්.
"මේ කොහේ ගිහින්ද? කෝ අභී?" රියදුරු ආසනේ ඉඳලා එලියට හිස දාපු ආර්යන් ඇහුවා.
"අභී...පහල එනවා" ආන්යා කිව්වේ ඔහු දිහා නොබලා.
"නගින්න මම ගිහින් දාන්නම්, මමත් එහේ යන්නේ. ඔයාගේ අම්මා අද ලන්ච් එකට ඉන්වයිට් කලා" ආර්යන් කිව්වා.
අහේතුකවම ආන්යගේ හිතේ ඉපදුනේ කෝපයක්. 'මුලු සතියක්ම කතාවක් වත් නොකර ඉඳලා, සමාව ඉල්ලුවාම වත් ගණං නොගෙන ඉඳලා දැන් එනවා මෙතන ලිෆ්ට් දෙන්න' ආන්යා රාධාව ඇදගෙන පැත්තකට වුණා.
"ඕන නෑ, අපි පයින්ම එන්නම්" ඈ කිව්වේ නිර්දය විදිහට.
ආර්යන් වෙච්ච දේ හිතාගන්න බැරිව වගේ තව මොහොතක් බලා හිටියා. එයාට ඕන දෙයක් හිතා ගන්න කියලා ආන්යා පාර පැනලා, ගේ දිහාට නගින පඩිපෙලට ගොඩ වුණේ ආර්යන් තවමත් වාහනය නවත්තගෙන බලා ඉන්දැද්දිමයි.
"මීනු...කෑම කන්න එන්නේ නැද්ද? ඇයි මේ කාමරේටම වෙලා? අසනීපයක්ද?"
ආපු වෙලේ ඉඳලා කාමරේටම වැදිලා උන්නු ආන්යාව බලන්න ආපු අම්මා ඇහුවා.
"නෑ අම්මා හිස කකියනවා, මං එන්නම් අම්මා යන්න"
"ම්...අන්න තාත්තත් ආවා. කෑම මේසේ ලෑස්ති කරලා තියෙන්නේ. එහෙනම් එන්න"
අම්මා ගියාට පස්සේ ආන්යා ඇඳෙන් නැගිට්තේ ආයාසයෙන්. හිත යන්තම් තද කරගෙන, හිසකේ අතින් සකසගත්තු ඇය ඉස්සරහට ගියේ කකුල් අද්ද අද්ද.
"ආ...මේ ආවේ. අපි මේ කන්න ලෑස්ති වුණා විතරයි" කෑම මේසේ අසුන්ගෙන උන්නු තාත්තා ආන්යව දැකලා කිව්වා.
"මට නම් බඩගිනිත් නෑ තාත්තා" ආන්යා කිව්වේ මේසේ උන්නු ඇනික් දෙන්නා දිහා නොබලා.
"දැන් එකත් පහු වෙලානේ ළමයෝ. පිස්සු නැතුව එන්න" තාත්තා තමන් අසල පුටුවක් ඇදලා දෙන ගමන් කිව්වා.
"මං පස්සේ කන්නම් තාත්තේ. ඔයාලා කන්නකෝ"
"එහෙනම් මටත් එපා" පිඟාන ඉස්සරහට තල්ලු කරපු අභී කිව්වා. ආන්යට දැනුනේ අසරණකමක්. ඊටත් වඩා බයක්, ගෙදර අයට මොනවා හරි දැනේවිවත්දෝ කියලා.
"ඔන්න, ඔයා නාවොත් යාලුවෝ කන්නෙත් නෑලු, එන්න එන්න" තාත්තා ආයෙම කිව්වේ හිනාවෙලා.
වෙච්ච දේවල් තාත්තා දන්නවනම්? කරන්න දෙයක් නැති තැන ආන්යට සිද්ධ වුණා කෑම මේසෙන් වාඩි වෙන්න. ඊට පස්සේ ඈ කතාවක් නැතිවම කෑම කන්න පටන් ගත්තා. තාත්ත නම් ආර්යන් එක්ක බර කාතවක්. ඒත් අභීගේ ඇස් තිබුනේ තමන් ලඟ වග ආන්යට දැනුනා. ඈ අමාරුවෙන් කටවල් දෙක තුනක් ගිල දැම්මා විතරයි.

"එහෙනම් ඉතින් ආයෙම අපි සෑහෙන කාලෙකට මුණගැහෙන එකක් නෑ වගේ නේද?"
කෑම කාලා අහවර සුවපහසුවට පුටුවේ හරි බරි ගැහුන තාත්තා අහුවේ ආර්යන්ගෙන්.
"ඔව්, මිස්ට වීරප්පෙරුම. අපි කොහොමටත් එහේ ටික කාලයක් ඉඳීවි"
"එතකොට මෙහේ වැඩ?"
"ශර්මිලාගේ තාත්තා ඉන්ඩියා ඉඳන් එනවා. හොටෙල් එක ගැන බලන්නේ එයා" ඒ පාර උත්තර දුන්නේ අභී.
ආර්යන් ඒ පාර උන්නේ මේසේ දිහා බලාගෙන.
"ආ... ශර්මිලා. හරි හරි. දැන් ඒ වැඩ කටයුතුත් ලඟ ඇති නේද?" තාත්තා ඇහුවේ ආර්යන්ගෙන්.
"තාම එහෙමම ලෑස්තියක් නෑ" ආර්යන් ඉක්මණට කිව්වා.
ඒ කතා වෙන්නේ මොකක් ගැනද කියලා ආන්යට නම් තේරුණේ නෑ.
"ඔව් ඔව්. හදිසි වෙන්න ඕන නෑ. තව ඉතින් මේ බිස්නස් එහෙම ටිකක් අල්ලගෙන, ඉගෙනගෙන...නේද?"
තාත්තා එහෙම කියද්දි ආන්යා නිකමට ආර්යන් දිහා බෑලුවා. ඔහුගේ මූණේ තිබුණේ අඳුරු හැඟීමක් වග ඈට බලපු ගමන්ම තේරුණා. 'කවුද මේ ශර්මිලා?'

"සේරටම ගොඩක් තෑන්ක්ස් මිසිස් වීරප්පෙරුම..."
ආපහු යන්න ලෑස්ති වෙලා ආර්යන් අම්මටයි, තාත්තටයි ස්තුති කරන අවසරෙන්, අභී මොහොතකට ආන්යව තනි කර ගත්තා.
"හෙට පරිස්සමින් යන්න. මට ඔයාව දාන්න එන්න ඕන වුණත්, මං දන්නවා ඔයා මට ඉඩ දෙන්නේ නෑ කියලා. මං ඔයාට කරදර කරන්නේ නෑ. ඒත් මීනු...මං තව මාසෙකින් එනවා, ඔයාගේ උත්තරේ අහන්න මං එනවා..."ඔහු මොහොතක් නැවතිලා සුසුමක් හෙලුවා. "ටේක් කෙයා දෙන්, ගුඩ් නයිට් ප්‍රින්සස්!"
එහෙම කියපු ඔහු තවත් එතැන නොරැඳී යන්න ගියා. ආන්යා එතනම ගල් ගැහිලා බලාගෙන උන්නා. ඔහුත් ගිහින් අම්මටයි තාත්තටයි ස්තුති කරනවා ඈට ඇහුනා. ඊට පස්සේ ඈ ලඟට ආවේ ආර්යන්.
"මට කතා කරන්න ඕන. මං රෑට කෝල් කරන්නම්. ගුඩ් නයිට්" ඔහු ආපු ඉක්මණින්ම යන්න ගියේ එහෙම කියලා.
ඔවුන් යනකල් බලා නොඉඳ කාමරේට ආපු ආන්යාගේ හිස ඇතුලේ සුලං ප්‍රවාහයක් වගේ වෙච්ච හම දෙයක්ම කැරකි කැරකි තිබුණා. ඈට දැනුනේ පුදුමාකාර විඩාබර ගතියක්. මේ තමන් මැදි වෙන්න යන්නේ මොනවගේ කුනාටුවකටද කියලා ඈ කල්පනා කරන්න වුණා. 'අභී...ආර්යන්...' ආන්යට හිතුණේ තමන් ගිරේට අහු වුණ පුවක් ගෙඩියක් වගේ කියලා.



3 comments:

  1. දිගටම ලියන්න අක්කෙ..ගොඩක් ලස්සනට කතාව ගලාගෙන යනවා.

    ඔයා පේරාදෙණි කැම්පස්ද?

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි වර්ෂා නගා. මම පේරාදෙණියේ කැම්පස් තමා. ඇග්‍රිකල්චර් ෆැකල්ටි. ඔයාත් අපේ කැම්පස් එකේද?

    ReplyDelete
  3. ශර්මිලා ඒ කවුද බොලේ තවත් කෙනෙක් කතාවට එකතුවෙයිද ????

    ReplyDelete