"දැන් හුඟ කාලෙකින් ඒ පැත්තේ ගියේත් නෑනෙ..."
ආන්යා මූණ සෝදගෙන සාලෙට එද්දි අම්මයි තාත්තයි බර කතාවක්.
"කොහෙද මේ දෙන්නව අල්ලගන්න හරි අමාරුයි නේ දැන්" අම්මා කිව්වේ ආන්යා දිහා බලලා. ආන්යා ඇවිත් තාත්තා ලඟින් ඉඳගත්තා.
"කොහේ යන්නද අම්මා?"
"ගමේ ගිහින් එන්න යන්න. අත්තා මේ ලඟකදිත් මතක් කරාලු අපි ආවේවත් නෑ කියලා. චුටි බාප්පා කතා කලා ඊයේ" උත්තර දුන්නේ තාත්තා.
ආන්යාගේ තාත්තගේ ගම වුණේ අනුරාධපුරේ නාච්චදූව කියන පලාත. ආන්යා එහේ යන්න කවදත් ආස කලා. තාත්තලට එහේ ගොඩක් ඉඩම් තිබුණා. තාත්තගේ පවුලේ පිරිමි ළමයින්ම හයක් උන්නත් අන්තිමට ඒවා බලාගන්න ඉතිරි වුණේ චූටි බාප්පා, ඒ කිව්වේ ආන්යගේතාත්තගේ බාලම මල්ලි විතරයි. අත්තයි, අත්තම්මයි එක්ක බප්පයි, පුංචියි එයාලගේ දුවලා තුන් දෙනයි තමා දැන් අනුරාධපුරේ මහ ගෙදර හිටියේ. ආන්යගේ මේ ගම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගමක්. ගමේ වැව, වැව ගාව ලොකු විහාරේ, වැව ඉහත්තාවෙන් ගමයි විහාරෙයි යාකරන, දෙපැත්ත කොහොඹ ගසින් ගෙවුණු ගුරු පාර...මේ සේරටම ආන්යා ගොඩක් ආස කලා. තේ වතුවලට තරම්ම.
"අපිවයැ අල්ලන්න අමාරු, තාත්තවනේ. නැත්තම් අපට නිවාඩු තිබ්බ දවස් වල ගිහින් එන්න තිබ්බනේ" ආන්යා කිව්වා.
"ඒකනේ වෙලා තියෙන්නේ" තාත්තත් එකඟ වුණා. "මේ දවස් වල හරි අමාරුයි නිවාඩු ඉල්ලන්න, තේ ඉල්ලුම බැහැලා නේ. ඉතින් රටේ තියෙන ඔක්කොම දහංගැට දාන්න ඕන ප්‍රොෆිට් තියා ගන්න. ඒ අස්සේ වතු දෙක තුනක් මාසෙකට පාරක් ස්ට්‍රයික් කරනවා. ඉතින් මොන නිවාඩුද? දුවත් මේවා ගැන දන්නවනේ"
තාත්තා කියන්නේ ඇත්ත. ඉස්සර වගේ ලංකාවේ තේ වලට දැන් ලෝකේ ඉල්ලුමක් නැති වග ආන්යා දැනගෙන හිටියා.
"දැන් ලොක්කා හදන්නේ වෙන බිස්නස් මොනාටහරිත් අත ගහන්න. මොකද අපි නම් හෙට අනිද්දට අයින් වෙයි. ඒත් මේ මිනිස්සු මොනවා හරි කරලා මේක කරන්න එපැයි. මනී මහත්තයාගේ අදහස මේ පැත්තේ පොඩි ටුවරිස්ට් හොටෙල් එකක් හදන්න. ළමයි දෙන්නා මෙහාට එව්වෙත් ඒකයි මහිතේ. දැන් ඉතින් ලංකාවේ රැල්ල ඒ පැත්තටනේ" තාත්තා ආයෙම කිව්වා.
"ඒකත් ඇත්ත" අම්මා කල්පනාකරමින්ම කිව්වා.
"ඒක නෙවේ තාත්තා, දැන් අභිට කොහොමද? තාත්තා ඊයේ බලන්න ගියාද?" ළමයි දෙන්නා කිව්වාමයි ආන්යට අභි මතක් වුණේ.
"ඊයේ හවස යද්දිත් ඒ තරම්ම ගුණයක් නෑ, දොස්තර කිව්වලු දවස් තුන හතරක් යාවි හොඳවෙන්න කියලා"
"මේ ළමයි දෙන්නා කොහොම කනවාවත්ද දන්නෑ. දවල්ටවත් මොනා හරි හදලා ගිහින් දෙන්න ඕන" අම්මා කිව්වේ විස්සෝපෙන් වගේ. අම්මා මේ දෙන්නටත් සලකන්නේ ගීතාන්ටයි, අනුහස්ටයි වගේ කියලා ආන්යාට හිතුණා.
"තාත්තේ මම රාධායි, ගෝපියි එක්ක ගිහින් අභිව බලලා ආවට කමක් නැද්ද?" ආන්යා පරිස්සමින් ඇහුවා.
"ම්ම්...කමක් නෑ ගිහින් එන්න. ඔය කට්ටිය ඉතින් යාලුවෝ නේ" තාත්තා කිව්වේ හිනා වෙලා.
"ඒක කියන්න. මෙයාලා නැති දවස් වල ගෝපි උන්නේ එහේමයි. නොගිය දවසට කෝල් එකක් දීලා හරි ගෙන්නගන්නවා" අම්මත් කිව්වේ හිනා වෙවී.
"බර්ඩ්ස් ඔෆ් ෆෙදර් ෆ්ලොක් ටුගෙදර් කියනවනේ රම්‍යා..."
උදේ දහයට විතර අම්මා හදලා දීපු බැදිහාල් කැඳ වගයකුත් අරගෙන ආන්යයි, රාධායි ගෝපි එක්ක උඩ බංගලාවට යන්න පිටත් වුණා. කලින්දා තිබ්බ වැහි අඳුර තාමත් පහ වෙලා ගිහින් තිබුණේ නෑ. ඈත කඳු වලල්ල ලා මීදුම් පටලයකින් වැහිලා තියෙනවා ආන්යා දැක්කා. ඒ දසුන ඇගේ හිතට එක් කලේ නැවුම් හැඟීමක්.
"ආර්යන් මාතියා අභී මාතියා වගේ නෙවෙයි" ගෝපි මහත්තුරු දෙන්න ගැන විස්තර වර්ණනාවක් කරන්න පටන් ගන්න හදන්නේ.
"ඒ මාතියා කාමරේට වෙලා එක්කෝ කොම්පියුටරේ වැඩක්, නැත්තම් පොතක මූණ ඔබාගෙන, එක්කෝ කුස්සියේ, එහෙමත් නැත්තම් අර ඉස්සරහ බංකුව උඩ. තනියෙම්මයි ඉන්න කැමති. ඒකට අභි මාතියා...කෙලින්ම අනික්පැත්ත"
ආන්යා ගෝපි දිහා බැලුවේ හිනාවක් මුවේ තවරගෙන.
"ගෝපිටත් ඉතින් හොඳයි නේද? අම්ම කිව්වා කොයි වෙලේකවත් හොයා ගන්න නෑ කියලා"
"අනේ නෑ බේබි, මම අනිවාර්යෙන් රෑට නිදා ගන්න ගෙදර එනවා"
ඒ පාර ආන්යගේ හිනාව පුලුල් වුණා.
"ඒ මදෑ නේද රාධා?"
ආන්යලා ගේට්ටුවෙන් ඇතුල් වෙද්දි ගෙදර අප්පු මිදුලේ වැට කපනවා. සුදු කොට කලිසමකින් සැරසිලා, දුඹුරු පාට තොප්පිය එක්කම තියෙන ජර්සියක් දාගෙන එතන හිටගෙන උන්නේ ආර්යන්. ඔහුගේ අතේ විසාල කැමරාවක්. ආන්යා ඇතුලු පිරිස දක්ක ගමන් ආර්යන් එක පාරටම ගල් ගැහුණා. ආන්යගේ හද ගැස්ම එක පාරටම වැඩි වෙන්න පටන් ගත්තා.
"ආ...මේ ඔයාලනේ, උදේම ඇවිත්" ඔහු කිව්වේ පුදුමෙන් වගේ.
"ඔව්, අම්මා මේ කැඳ වගයක් හදලා දුන්නා අභිට. ඒක දෙන්නත් ඕන නිසා උදේම ආවා" ආන්යා කිව්වා.
ආර්යන් තව මොහොතක් කියාගන්න දෙයක් හොයමින් වගේ ගත කලා.
"ම්ම්...අභිට කොහොමද?" බැරිම තැන ආන්යා ඇහුවා.
"දැන් නම් ගොඩක් හොඳයි වගේ. ප්ලීස් එන්න ඇතුලට" ආර්යන් හැමෝටම ආරාධනා කලා.
"අද සැටඩේ නිසා අපි ටිකක් දවල් වෙනකල් නිදියගත්තා" ඇතුලට යද්දි ඔහු එහෙමත් කිව්වා.
"නාරද අයියා නැද්ද?" ආන්යා ඇහුවා.
"උදේම ගෙදර ගිහින් එන්න කියලා ගියානේ. කලින් වීක් තුනක් විතරම දවස් හතම වැඩ කරපු නිසා යන්න බැරි වෙලා" ඉස්සරහින් ඇවිදගෙන යන ගමන්ම ආර්යන් කිව්වේ පිටිපස්ස නොබලා.
ඔහු සාලේ නොනැවතීම කෙලින්ම ආන්යලව එක්ක ගියේ අභී උන්නු කාමරේට. ඒත් රාධායි, ගෝපියි නම් කාමරේට එන්න අදි මදි කරලා එලියෙම නැවතුණා. ආන්යා ඇතුලට යද්දි නිකට දක්වාම පොරවගෙන, ඇස් බාගෙට ඇරගෙන අභි ඇඳේ නිදියගෙනයි උන්නේ. දැකපු ගමන්ම ආන්යට හිතුනේ ඔහු ඇදිලා ගිහින් වගේ කියලයි. ඇයව දැකපු අභි හිනාවෙලා නැගිටින්න උත්සාහ කලා.
"හෝ..හෝ..නැගිටින්න එපා, ඔහොම ඉන්න" ආන්යා කිව්වේ ඔහු අසලට යන ගමන්.
"වාඩි වෙන්න ආන්යා" ඇඳ අසලම තිබ්බ පුටුවක් පෙන්නලා ආර්යන් කිව්වා.
"මොනවද මේ කරගන්නේ ඈ? දැන් කොහොමද?" ආන්යා මුදුවට ඇහුවා.
"ඊයෙට වඩා නම් හොඳයි වගේ. ඊයේ වෙව්ලලා උණ ගත්තේ නෑ අද නම්. ටිකක් නෝෂස් ගතියක් තියෙනවා ඒ වුණාට." අභිගේ හඬ දුර්වලයි. ආන්යගේ හිතට දැනුනේ දුකක්.
"මොකට කන්න ගියාද අරවා මේවා. දන්නවනේ මෙහෙ ගොඩක් තැන්වල කෑම හරි නෑනෙ. දැන් බලන්නකෝ වුණ දේ" ආන්යා කිව්වා.
"මම එන්නම්" ආර්යන් එහෙම කියලා කාමරෙන් පිට වුණේ එවෙලෙමයි.
"කමක් නෑ, ඉතින් මොනවා කරන්නද? අඩු ගාණේ ඔයා මාව බලන්නවත් ආවානේ" අභි ආයෙම හිනා වුණා.
"විහිලු නෙවෙයි අභි, මෙහේ ඔයාගේ පේරන්ට්ස්ලත් නෑ,ලෙඩක්වුණාම අමාරු ඔයාලටමනේ"
"අන්නා ඉන්නවනේ. එයා ඉද්දි අම්මයි, අප්පයි දෙන්නම ඉන්නවා වගේ තමා"
ඒ වචන ආර්යන් ගැන ආන්යගේ හිතේ තිබ්බ පැහැදීම තවත් වැඩි කලා.
උගුරට එනවා වගේ ඒ පාර..." එහෙම කියපු අභී එක පාරටම බිමට නැමිලා වමනේ කරන්න පටන් ගත්තා. ආන්යා හොඳටැම බය වුණා. එවෙලේ කාමරෙන් පිට උන්නු ගෝපි කාමරේ ඇතුලට දුවගෙන ආවා. නොනවත්වා වමනේ යද්දි බලා ඉන්න බැරි තැන ආන්යා ගිහි න් අභීගේ පිට අතගෑවේ ඒකෙන් පහසුවක් දැනේවි කියලයි.
"ගෝපි..ගිහින් ආර්යන් මහත්තයට එන්න කියන්න, ඉක්මණට"
"බේබි පපුව පහලට අතගාන්න" කාමරෙන් ඉවතට දුවන ගමන් ගෝපි කිව්වේ කලබලෙන්. ආන්යා වැඩිය නොහිතා ගෝපි කිව්ව විදියට කලා. යාන්තම් ඒ පාර වමනේ යන එක අඩු වුණා. අභි දුර්වලව ඇඳට වැටුණා. ආන්යා ලඟ තිබ්බ තුවාය, වතුර ටිකක් දාලා පොඟවලා අරන් අභිගේ මුව පිස්සා. ඈට අභි ගැන දුකක් වගේම බයකුත් දැනෙමිනුයි තිබුණේ. ඇගේ ඇස් වලට කඳුලුත් පිරුණා.
"මොකද, මොකද?" ආර්යන් කාමරේට දුවගෙන ආවේ කලබලෙන්.
"වමනේ ගියා" ආන්යා කිව්වා.
ආර්යන් අභී දිහා මොහොතක් බලාගෙන උන්නෙත් බය මුසු දුකකින් කියලා ආන්යට තේරුණා.
"අනේ ආර්යන් අයියා, ආයෙම ඩොක්ට කෙනෙක්ට පෙන්නුවොත් මොකද?" ආන්යා ඇහුවේ බයෙන්.
"නෑ...නෑ..දොස්තරලා ඕන නෑ. මම ටිකක් වැඩිපුර වතුර බිව්ව නිසා වෙන්න ඇති. වමනේ ගියාට පස්සේ සනීපයි වගේ" අභි හෙමිහිට කිව්වා.
ආර්යන් මොහොතක් කල්පනා කලා.
"අද හවස් වෙනකල් බලමුකෝ එහෙනම්..." ඔහු සුසුමක් හෙලලා කිව්වා." ගෝපි...අප්පුට කියන්න ඇවිත් මෙතන සෝදලා දාන්න කියලා. අභී එතකල් මගේ කාමරේට යං" ආර්යන් ඇඳේ අනික් පැත්තෙන් ගිහින් අභීව ඇඳෙන් බස්සගත්තා.
"එන්න ආන්යා..."
ආන්යා කැඳ භාජනෙත් අරන් මේ දෙන්නා පස්සෙන් ගියා.
ආර්යන්ගේ කාමරේ තිබුණේ, අභිගේ කාමරේට එහා පැත්තේ. ඒක ගෙයි ඉස්සරහා පැත්තට වෙන්න පිහිටලා තිබ්බ නිසා, ලොකු ජනෙල් පලු දෙක අතරින් බංගලාවේ පිට්ටනියත්, ඈත කඳු වලල්ලත් හොඳටම පෙනුනා. කාමරේට ඇතුල් වුණ ආන්යට පුදුම නොවී ඉන්න බැරි වුණා. ලීබඩුයි, මේසේ මත තිබුණ මල් පෝච්චියයි ඇරුණාම කාමරේ තිබ්බ අනික් සේරම සුදු පාටින් යුක්ත වුණා. සේරම පිරිසිදුවට, ලස්සනට අස් කරලත් තිබුණා. කාමරේ තිබුණේ, ඇඳයි, අල්මාරියයි, ඇඳ ලඟ තිබුණ ලියන මේසෙකුයි, පුටුවකුයි විතරයි. ආර්යන් එක්ක ආපු අභි ඇඳෙන් වාඩි වුණා. ආන්යා මේසේ අසලට වුණා.
"වොෂ් පන්න වෙන්ඩුම් අන්නා" අභි කිව්වා. ඒ කිව්වේ මොකක්ද කියලා ආන්යට තේරුණා.
"එහෙනම් ඔයා ඇඟ සෝද ගන්න මම එලියෙන් ඉන්නම්" ආන්යා කිව්වේ ඒ නිසයි.
"නෑ, නෑ. ඔයා ඉන්න. මම ඉක්මණට එන්නම්. ගෝපිත් ඉන්නවනේ" අභි කිව්වා.
"කමක් නෑ මං එලියෙන් ඉන්නම්කෝ"
ආර්යන් ඒ වෙද්දි අභිගේ රෙදි ගේන්න එලියට ගිහින්. ඔහු එන්න කලින් අභි ගෝපිගේ උදව් ඇතිව නාන කාමරේට ගියා. මොහොතකට ආන්යා ආර්යන්ගේ කාමරේ තනි වුණා. ඈ පිලිවෙලකට පොත්, ෆයිල් කවර තියලා තිබුණ මේසේ ඇස් දිවෙව්වා. ඒ මේසේ උඩින් තුනී වීදුරුවක් දාලා තිබුණ වග ආන්යා දැක්කා. ඒකේ යට කවිද කොහෙද ලියපු කොල කෑලි, පෝස්ට් කාඩ් වගේම ෆොටෝ එහෙමත් තියෙන වගත් ඈ දැක්කා. එතනින් එන්න හදද්දිම වගේ හදිසියේම ඇගේ ඇස් මේසේ ඈතට වෙන්න තිබුණ පින්තූරයක් ලඟ නැවතුණා. ඈ තව ලං වෙලා නැවිලා බලද්දි, ඒතන ඈ දැක්කේ ආර්යන්ටයි, අභිටයි මැදිවෙලා උන්නු තමන්මයි. එදා කෑම දීපු දවසේ ගත්තු ෆොටෝ එකක්. ආන්යගේ හදගැස්ම ආයෙම වැඩි වුණා. ආර්යන් ඇයි මේක මෙතන තියාගෙන ඉන්නේ?
ස්තුතියී නෙතු.. ඊලග කොටසත් ඉක්මනටම දාන්න....!!!
ReplyDelete