Thursday, February 2, 2012

එකොලොස් වන කොටස


සඳුදා උදේම ගීතාන් යන්න ගියේ ආන්යගේ හිතට පුංචි දුකක් එකතු කරලා. තව දවස් තුන හතරකින් ඈත් අනුහස් එක්ක ආපහු විශ්ව විද්‍යාලේට යන්න පිටත් වෙන්න ඕන. ගෙදර ඉන්දැද්දි මුකුත් නොකලත් කාලේ ගෙවුනේ හරිම ඉක්මණට කියලා ආන්යට හිතුණා.එදා රෑ කෑම දවසින් පස්සේ දවස් දෙකක්ම යනකල් ආයෙමත් ආන්යට ආර්යන්වත් අභිවත් හම්බුනේ නැහැ. ආන්යට මොකක්දෝ පාලුවක් ක්දැනුනත් ඒ ගැන ඈට කරන්න දෙයක් තිබ්බේ නෑ.
"මීනු, අපි පීල්ලට නාන්න යනවා එනවද?"
තුවායක් කරේ දාගෙන බාල්දියකුත් අතින් අරන් ආපු අනුහස්, නිත්‍යා එක්ක වත්තේ මල් පාත්ති වල වල් ගලවමින් උන්නු ආන්යාගෙන් ඇහුවා.
"දැන්? දැන් දොලහටත් ලඟ ඇති" ආන්යා කිව්වා.
"දැන් නැත්තම් ඉතින් හෙටයැ? මායි, ගෝපියි යනවා. එනවානම් අම්මට කියලා එන්න"
අන්තිමට ආන්යත් රාධායි, නිත්‍යාවයි එක්කගෙන අනුහස් එක්ක එකතු වුණා.
"අපි නම් නාන්නේ නෑ. මේ නිකම් ජොලියට තමයි එන්නේ"
පාර දිගේ පල්ලම් බහිද්දි ආන්යා කිව්වා.
"අයියෝ බේබි ගඳ ගගහා ඉන්නේ නැතිව නාන්න ඕන" ගෝපි පිටිපස්ස හැරිලා කිව්වා.
"අපි ගෙදරදි නානවනේ. මොකෝ පීල්ලෙන් නෑවාම අමුතු සුවඳක් එනවයැ?"
"ඒ වුණාට පීල්ලෙන් නෑවාම නියම ජොලි තමා" ගෝපි අමුතු රංගනයක් දාලා කිව්වා.
"අනේ අපට ඒ ජොලියෙන් කමක් නෑ" ආන්යා ආපහු කිව්වා.
ආන්යගේ ගෙදර ඉඳලා වන්ගු දෙකක් විතර ගිහින් තේ වත්ත මැදින් පොඩි පල්ලමක් බැස්සාමයි මේ කියන නාන පීල්ල හම්බ වුණේ. වත්තේ මිනිස්සු වගේම ආන්යලත් මේ පීල්ලට සමහර දවස් වලට නාන්න එන්න පුරුදුවෙලා හිටියා. ඒත් ආන්යාට නම් ඒකට අම්මාගෙන් ඉඩ ලැබුණේ කලාතුරකින් තමා. කට්ටියම බහින තැනට සේන්දු වෙද්දි දැකපු දේකින් ආන්යගේ හද ගැස්ම එකපාරටම වැඩි වුණා. පඩිපෙල මුදුන ලඟට වෙන්න නවත්තලා තිබුණේ නාරදගේ කැබ් එක.
"ලොකු දොරේලත් ඇවිල්ලා වගේ" ගෝපි කිව්වා.
ආන්යට නිතැතින්ම බැලුනේ රාධා දිහා.ආන්යා තමගේ හිත ගැන මුකුත්ම රාධාට කියලා නැතත් ඇගෙ හිත තේරුම් ගන්න රාධාට තිබුණේ පුදුම හැකියාවක්. රාධා ඇස් දෙක කරකවලා යන්තමට හිනා වුණේ ඒකයි.
"හලෝ මචං...මම මේ එනකල් බලාගෙන හීටියේ"
ආන්යලා තව ටිකක් ලඟට යද්දි වාහනේ පිටි පස්සෙන් මතු වුණේ අභිමන්යු.
"ටිකක් පරක්කු වුණා. මේ ලේඩීස්ලා නිසා" අනුහස් කිව්වාම අභිමන්යු ආන්යා දිහා බලලා හිනා වුණා.
"සෙනගද දන්නෙත් නෑ. කමක් නෑ ගිහින් බලමුකෝ නේද?" ගෝපි ඉස්සර වුණා.
ආන්යා වට පිට බැලුවා. ඒත් නාරදවත්, ආර්යන්වත් පේන්න හිටියේ නෑ.
"ඔයා විතරද ආවේ?" තමන්ට ඉස්සරහින් ගියපු අභීගෙන් ආන්යා ඇහුවේ ඒ නිසා.
"ඔව්, වෙන කවුද? නාරද වැඩ, අන්නා ඊයේ කොලඹ ගියා. මම විතරයි බංගලාවේ. ඒකයි මම අනුහස්ට කතා කලේ කොහේ හරි යන්න එන්න කියලා" ඈ දිහාට වරින් වර හැරෙමින් අභි කිව්වා.
'ආර්යන් කොලඹ ගිහින්?' එහෙම හිතද්දි ආන්යගේ හිතට පිවිසුනේ පොඩි දුකක්. ඒත් ඒකට ආර්යන්ට කරන්න දෙයක් නැති වග ආන්යා දැනගෙන හිටියා, මොකද මේ සිතුවිලි එකක් ගැනවත් ඔහු දන්නේ නෑනෙ. හිතට ඕන ඕන විදියට අයාලේ යන්න තමන් ඉඩ දෙන්නේ ඇයි කියලා ආන්යා තමන්ගෙන්ම ප්‍රශ්ණ කලා. ඒත් තමන්ට ඇත්තටම ඕන මොකක්ද කියලා ආන්යා දැන්ගෙන හිටියේ නෑ.
"ඉතිං ඔයා නොගියේ?" ආන්යා ආයෙම ඇහුවා.
අභි පඩිපෙලේ නතර වෙලා ඈ දිහා බැලුවා.
"දැන් අපිව යවා ගන්නද ඕන?"
"අනේ එහෙම හිතලා කිව්වා නෙවෙයි. අනික ඉතින් මේ ඔයාලගේ වත්තෙන් ඔයාලව යවන්න මට පුලුවන්ද?"
අහි හිනා වෙලා ආයෙම පඩිපෙල බහින්න ගත්තා.
"මම තව ටික දවසක් මෙහේ ඉන්නවා. අන්නා සමහරවිට ආපහු එන්නත් පුලුවන් තව සතියකින් විතර. එහෙම වුනොත් එයා එක්කම ආපහු යන්වා. නැත්තම් නාරද කොලඹ යද්දි යනවා" අභිමන්යු ආයෙම කිව්වා.
'සමහරවිට, සතියකින් විතර?' ආන්යා සුසුමක් හෙලුවා. ඒ කියන්නේ සමහරවිට ආයේ හුඟ කාලෙකට නැත්තම් කවදාවත් ආර්යන්ව ඈට හම්බ නොවෙන්න පුලුවන්.
"අපිත් මේ ඉරිදා ආපහු පේරාදෙනියේ යනවා" ආන්යා ගොලු වෙලා ඉද්දි අභිට ඉස්සරහින් ගිය අනුහස් කිව්වා.
"මොනවා? නෑ! ඔය ඇත්තමද? අයියෝ...ඔයාලත් ගියොත් මට තමා පාලු" අභි ආයෙම පඩිපෙලේ නැවතුණා. ආන්යා ඔහුගේ ඇඟේ නොහැප්පී බේරුණේ අමාරුවෙන්.
"සඳුදා ලෙක්චර්ස් පටන් ගන්නවා" අනුහස් කිව්වා.
"දෙන්නටම?" අභි ඇහුවේ ආන්යා දිහා බලලා. ආන්යා හිස වැනුවා.
අභි කට ඇද කරලා තමගේ නොසතුට පෙන්නලා ඉතිරි පඩි කීපයත් බැස්සා. කතාවෙන් කතාවෙන් කට්ටිය පීල්ල ලඟටත් ඇවිත්. ඒ වෙනකොට වත්තේ  වැඩ කරන පිරිමි උදවිය දෙන්නෙක් පීල්ලේ නානවා. අනුහස්ලට එතන බලන් ඉන්න කියලා ගෑණු ළමයි තුන් දෙනා පීලෙන් යන දිය පාර නිසා හැදිච්ච පුංචි ඇල පාර බලන්න තව ටිකක් පල්ලමට බැස්සා. ඒ බැහැපු තැන ඉඳන් තේ වවපු අනෙක් කඳු ගැටේ මුණගැහෙනකල් විහිදුනේ තරමක් තැනිතලා වගුරු බිමක්. තැන තැන ගලාගෙන යන වතුර රැඳිලා එරෙන මඩ ගොහොරු හැදිලා තිබුණත් වත්තේ උලා කන හරක් නිතරම ගමන් කරන නිසා හැදුන නොඑරෙන අඩි පාරවල් කීපෙකුත් මේ වගුරු බිමේ තිබුණා. විවිධාකාර වගුරු පැලෑටි අතරේ, කොලපාට හීන් දිග නටුවකට සවි කරපු සුදු පාට බොත්තම් වගේ ඉහලට වැවිලා තිබුණේ කොක්මොට. ආන්යා විශේෂයෙන්ම මෙතනට ආවේ ඒවා කඩාගෙන යන්නමයි.
"කොහේද යන්නේ?" ආන්යලා යන අතරේ අභි ඇහුවා.
"පහලට, කොක්මොට කඩන්න"
"මාත් එන්නම්, තාම මේ අය නානවනේ" අභි කිව්වේ ආන්යලා උන්නු දිහාට එන ගමන්.
අනුහස් නම් ගෝපි එක්ක ගලක් උඩ වාඩි වෙලා උදාසීන කමින් යුතුව අව්ව තපිමින් බලාඅගෙන හිටියා මිස මේ මඩේ බහින්න උවමනාවක් දැක්වුවේ නෑ.
කලු කොට කලිසමකිනුයි, සුදු ටී ෂර්ට් එකකිනුයි සැරසිලා හිටපු අභී ආන්යලත් එක්කම හරි හරියට වගුරු බිම දිහාට බැස්සා. ඒ බැහැපු ගමන් ඔහු අඩිය තියලා තිබුණේ කෙලින්ම මඩ වලකට.
"අයියෝ..." ඔහු කෑ ගැහුවේ මඩේ එරුන සෙරෙප්පුව කකුලෙන්ම ඉහලට අදින්න උත්සාහ කරන ගමන්. ආන්යටයි, අනික් දෙන්නාටයි හිනා නොවී ඉන්න බැරි වුණා.
"බලාගෙන එන්න, මේ අපි අඩිය තියන් තැන් වලින් විතරක් අඩිය තියන්න. ආ...මේ කූඩැල්ලොත් ඉන්නවා හොඳේ" ආන්යා පස්සේ මතක් වුණ දෙයක් කිව්වා. ගොඩක් ගෑණු ළමයි වගේ ආන්යා කූඩැල්ලනට බය වුණේ නෑ. ඒත් අභි ඒකේ අනික් පැත්ත.
"කූඩැල්ලො...ඒ මොක්කුද? අර රබර් එක වගේ ඇදෙන, ලේ බොන සත්තුද? ඕහ් මෑන්! කලින් කියන්න එපැයි"
කකුලෙන් බැරි තැන අතින් සෙරෙප්පුව අරගෙන මඩ බේරි බේරි උන්නු අභි මූණත් ඇඹුල් කරගෙන කෙඳිරි ගාන්න වුණා. නිත්‍යා කට වහගෙන හිනා වෙනවා තවමත්.
"එහෙනම් වීරයා වගේ ආවේ මොකෝ?" එහෙම අහද්දිම ආන්යා දැක්කා අභිගේ කකුල දිගේ උඩට ඇදෙන කූඩැල්ලෝ තුන් දෙනෙක්. ඇගේ ඇස් ලොකු වුණා.
"අභි කකුලේ කූඩැල්ලෝ..." ඈ ඊට පස්සේ උන්ව පෙන්නලා කිව්වා. ඊලඟට වුණේ ඈ නොහිතපු දෙයක්.
"අනේ...අයියෝ..අයියෝ...මුන්ව...අහක් කරන්නේ ...කොහොමද?" අභි පිස්සෙක් වගේ උඩ පැන පැන කෑගහන්න ගත්තා. නිත්‍යා දෙකට නැමිලා හිනාවෙනවා. ආන්යටයි, රාධාතයිත් හිනා. ඒ එක්කම අභි පව් කියලත් ආන්යට හිතුණා.
"ඉතිං දඟලන්න එපා. උන්ව හෙමින් අරන් දාගන්න" ආන්යා ඔහු ලඟට යන ගමන් කිව්වා.
"ඊයා...මුන්ව අල්ලන්නේ කොහොමද?" අභි තාම උඩ පනිනවා.
"කෝට්ටකින් අරන් දාගන්න" ආන්යා නොඉවසිලිමත් වෙලා කිව්වේ කෝටු කෑල්ලක් හොයමින්. ඒත් අභි අහන පාටක් නෑ.
"කෝ ඉන්න, ඉන්න" බැරිම තැන කූඩැල්ලන්ව අරන් දාන්න ආන්යා ඉදිරිපත් වුණා. කෝටුවකින් ඇනලා, හූරලා වගේ ලේ බොමින් උන්නු සත්තුන්ව යාන්තම් ආන්යා අරන් දැම්මා. බිමට නැවිලා උන්නු නිසා ඇගේ ගවුම පිටිපස්සේ වාටිය එහෙම්මම මඩින් පෙඟිලා තිබුනා.
"අම්මෝ ඇති යන්තම්. මෙනි තෑන්ක්ස් ආන්යා..."අභි අන්තිමට කිව්වේ සැනසුම් සුසුමක් හෙලමින්.
"යූ ආර් වෙල්කම්. මහලොකු චන්ඩි...කූඩැල්ලන්ටත් බයයි" ආන්යා කිව්වේ හිනා වෙවී.
ඒකට මුකුත්ම නොකියා හිනා වුණ අභි දනි පනි ගාලා ආපහු කන්ද නැගලා අනුහස්ලා උන්නු දිහාට යන හැටි ආන්යා බලාගෙන උන්නේ රාධාගේ උස් හිනාවට එකතු වෙමින්.
"පීස්සෙක්!"


2 comments:

  1. heheh Rolling on the floor .. abhitath mare wade thama wenne :P :P keep writing akki <3

    ReplyDelete
  2. මේ ටිකේ කතාව කියෙව්වට comment දාන්න බැරි උන්නා .. සොරි අක්කි .. ඊලග කොටසත් ඉක්මනට දාන්න ...

    ReplyDelete