Saturday, February 18, 2012

පහලොස්වන කොටස


ඉර බැහැගෙන යන හවස් යාමේ පේරාදෙණිය සරසවිය වෙනදට වඩා පොඩ්ඩක් කලබලකාරී වෙලා තිබුණා. ඒ ගම් රටවල් බලා ගිහින් ආපහු සරසවියට එන මානව මානවිකාවෝ නිසා. අඟුණාවෙල පාලමෙන් බස් එක හරවද්දි බහින්න ලඟ බව මතක් වෙලා ආන්යා බෑග් ටික ලං කරගත්තා.
"ඔයා එන්න ඕන නෑ අනූ, මට ගලහ හන්දියෙන් බැහැලා බස් එකක යතහැකි. ඔයා අක්බාර් එක ලඟින් බැහැගන්න"
ආන්යා අනුහස්ට කිව්වා. කලින් නම් හැමදාකම වගේ අනුහස් ආන්යව නේවාසිකාගාරයට ඇරලවන්න එනවාමයි.
"තනියෙන් යන්න පුලුවන්ද?"
"පුලුවන්, ඔයා බහින්න"
"ෂුවර් නේ? ගිහින් කෝල් එකක් දෙන්න ඕන හරිද?" අනුහස් කිව්වේ දෙගිඩියාවෙන් වගේ.
"හරි හරි" ආන්යා හිස වැනුවා.
"අනම් මනම් නොහිතා පාඩම් වැඩ කරන්න ඕන හරිද?" අනුහස් ආයෙම කිව්වා. එහෙම කිව්වේ මොකෝ කියලා ආන්යට තේරුම් ගන්න බැරි වුණා. අනුහස්ට මොනවාහරි වෙනසක් තේරිලවත්ද?
"හොඳායි. මං ඉතින් මොනා ගැන හිතන්නද?" ආන්යා කිව්වේ ඔච්චමට වගේ.
"හරි එහෙනම් මම බහිනවා මීනු, පරිස්සමින් යන්න ඕන හොඳේ?"
"ඔයත් පරිස්සමින් ඉන්න අනූ"
ආන්ය කිව්වේ තමන්ගේ සහෝදරයා ගැන උපන් සෙනෙහසකින්.

රාමනාදන් ශාලාවට දිවෙන පාරේ වම් පැත්තේ උසට උසේ වැවුනු රජ තල් ගස් පෙල, නිල් පාට හැන්දෑ අහසේ පාවෙවී උන්නු ලා කහ පාට වලාකුලු පසුබිමේ හුලඟට හේ හෙමිහිට වැනි වැනී උන්නේ නේවාසිකාගාරේ ඉස්සරහා හිටවපු මුර සෙබලු පෙලක් වගේ.  බස් එකෙන් බැහැලා හරි හරියට නේවාසිකාගාරේ දිහාට දුවන ගෑණු ළමයි එක්කම ආන්යත් ඉස්සරහට ඇදුනා.
අමුත්තන් මුණගැහෙන්න වෙන් කරලා තිබුණ පොදු කාමරේ,පෙම්වතුන්, ගෙදර ඉඳලා ආපු උදවිය, වෙන වැඩ වලට ළමයි මුණ ගැහෙන්න ආපු පිරිමි ළමයි වගේ පිරිස් රවුම් මේස අසල වාඩිවෙලා එක්කෝ කතා කරමින්, එහෙම නැත්තම් මග බලමින් උන්නා. දොරෙන් ඇතුල් වෙනකොටම තිබුණ ඉස්තෝප්පුව වගේ කොටසේ දෙපැත්තේ බිත්ති වල සවි කරලා තිබුණ ටෙලිකොම් සහ ට්‍රයි ටෙල් කාසි දුරකතන ගෙවල් වලට කතා කරන, කරන්න බලාගෙන ඉන්න කීප දෙනෙක්ගෙන් වැහිලයි තිබුණේ. මේ සේරම් බලමින් ආපු ආන්යා උප ශාලාධිපතිනියගේ කන්තෝරුව අසලින් එලියට බැස්සා. ඇගේ පීයේ ළමයින් නැවතිලා හිටියේ ප්‍රධාන ශාලාවට පිටින් මහවැලි ගං ඉවුර අසලටම වගේ වෙන්න හදලා තිබ්බ තට්ටු දෙකේ තනි තනි නිවාස දෙකක. ඒ එක නිවසක ළමයි පස් දෙනෙකුට ඉන්න පුලුවන් තරමේ කාමර දහයක් තිබුණා. ආන්යා ඇගේ යාලුවෝ හතර දෙනා එක්ක උන්නේ සී 18 කාමරේ.
පඩිපෙල නැගලා කාමරේ දිහාවට යද්දි අනෙක් කාමර වල ඇවිත් උන්නු අය තුවා හෙම අරගෙන නාන කාමර බලා යනවා.
"දැන්ද එන්නේ?" ආන්යගේ කාමරේට එහාපැත්තේ උන්නු හිරුනිකා පඩිපෙල ලඟදි හම්බවෙලා ඇහුවා.
"ඔව් අනේ. මහන්සියි..." එහෙම කියාගෙන ආන්යා කාමරේ දිහාට ඇදුණා. හොඳ වෙලාවට කවුරු හරි එක්කෙනෙක් ඇවිත්. නැත්තම් ආයේම් බඩු සේරම බිම තියලා බෑග් එක අදින්න එපැයි යතුර හොයන්න.
"හා...ඔයා ආවද?" නාලා හිස පිහිමින් කාමරේ උන්නේ අංජලී.
තමන්ගේ ඇඳට බෑග් ටික විසි කරපු ආන්යා මෙහා පැත්තේ තිබ්බ පාරමීගේ ඇඳෙන් වාඩි වුණා.
"ඔව්. අද අනූ ආවේ නෑ ඇරලවන්න. මම එපා කිව්වා. බෑග් උස්සගෙන් ඇවිත් උරහිස් දෙක ගැලවෙන්න එනවා"
"තේ එකක් හදන්නද?" හිස පිහලා අහවර ආන්යා දිහා බලපු අංජලී ඇහුවා.
"අනේ එපා අංජු, ඔයාටත් මහන්සියිනේ"
"නෑ, නෑ. මාත් මේ තේ එකක් බොන්නයි යන්නේ. හදන්නද?"
"හා එහෙනං"
අංජලී වතුර ගේන්න කුස්සියට ගියා. අංජලී කියන්නේ ඉන හරියට දිග ලස්සන වරලසක් තිබුණ, ලොකු ඇස් දෙකකුයි, දිගටි මුහුණකුයි හිමි, පැහැපත් කෙනෙක්. ඇගේ ගම වුණේ පිළියන්දල. රැග් කාලේ එක ලඟ බෝඩිම් දෙකක ඈත් එක්ක  හිටපු ආන්යා නේවාසිකාගාරෙට එද්දි ඈවත් එකතු කර ගන්න තීරණය කලේ අංජලී හොඳ හිතක් තිබ්බ, ආදරණීය මිතුරියක් වුන නිසාමයි.
මෙට්ටේ ගසා දාලා ඇඳ රෙද්ද එලනකම් අංජලී තේ හැදුවා. තේ බොන්න හදද්දිම වගේ තමා පාරමීයි, රෂ්මියි කාමරේට ආවේ. ඒ දෙන්නම හිටියේ ගාල්ලේ. ඒ නිසා ආවේ ගියේ එකටමයි. මේ දෙන්න තමා කාමරේ මහතම දෙන්නා වුණේ. පාරමී නම් රශ්මිට වඩා ටිකක් විතර මහත අඩු, ලස්සන හිනාවක් තිබුණ රවුම් මූණක් තිබුණ ගෑණු ළමයෙක්. රශ්මි මහත වුණත් හරිම හුරතල් පෙනුමක් තිබුණ නිතරෝම හිනාවෙන  කෙනෙක්. මේ හැමෝම අතරින් ආන්යා ගොඩක්ම ලං වෙලා හිටියේ රශ්මිට. ඒ මොකද බෝඩිමේ ඉන්න කාලේ එක කාමරෙ උන්නේ ඒ දෙන්න නිසා. රශ්මිට තිබුණේ ඕනම් කෙනෙක්ව සනසන්න පුලුවන් විදිහේ උණුසුම් හදවතක් කියලා ආන්යා හැමවෙලේම කිව්වා.
"මානි අද එන්නේ නෑලු. හෙට උදේම එනවලු. කෝ මටත් තේ උගුරක් දෙන්න ආනු" රශ්මි ආන්යා ලඟින් වාඩි වෙන ගමන් කිව්වේ කාමරෙ උන්නු අනික් යාලුවාඅ සම්මානි ගැන. සම්මානි හිටියේ නුවර එලියේ නිසා ගොඩ වෙලාවට සඳුදා උදේ තමා ඇය දේශණ වලට ආවේ. ආන්යා හැම වෙලේකම කිව්වේ සම්මානි හරියට 'බාබී ඩෝල්' කෙනෙක් වගේ කියලා. සම්මානි ඇත්තටම රෝස පාට හමක් තිබ්බ කෙනෙක්. රශ්මි  නම් සම්මානිට විහිලුවට කිව්වේ 'පුස් බනිස්' කියලා. සම්මානිගේ ලස්සනටම හරියන්න ඈට තියුණු කටකුත් තිබුණා. හෙමින් කතා කරනවා කියන එක නොදැන හිටපු කෙනෙක් තමා සම්මානි.
"හෙට එහෙනම් දවල් කෑම එයා අරන් එයි නේද?" අංජලී ඇහුවා.
"ඔව් අරන් එනවා කිව්වා" බෑග් එකෙන් මොනවදෝ අදිමින් උන්නු රශ්මි උත්තර දුන්නා.
"කට්ටිය වැඩි වෙන්න කලින් වොෂ් දාගන්න යන්න. නැත්තම් රැ වෙයි" අංජලී ඇඳට නැගලා රේඩියෝව අතට ගන්න ගමන් කිව්වා.
ආන්යයි, පාරමියි, රශ්මියි එක පාරටම මූණෙන් මූණ බලලා තුවාත් අතට අරන් පිම්මේ දිව්වේ දොර ලඟට. ආන්යා අංජලීගේ ඇඳ උඩින් පැනලා යන්න්තම් කලින්ම දොර ලඟට යා ගත්තා.
"අර...ඔහොම ඉන්න...ආන්යා!"
 ඈ නොනැවතීම හිනාවෙවී නාන කාමරේට දිව්වේ දොර ලඟ තිබ්බ අංජලීගේ සබන් පෙට්ටිය අරන්. පාරමීයි, රශ්මියි දොරට පොරකන් හඬ ඈට කාමරේ පැත්තෙන් ඇහුනා.
"එක ලයිට් එකයි අනේ වැඩ. කලුවරේ බෑ. එකක් ඉල්ලලා දා ගන්න වෙයි" ආන්යා නාන කාමර පෙල තිබ්බ කොටසට යද්දි නාගන එලියට ආපු, කෙලවරේම කාමරේ උන්නු සමාධි කිව්වා.
"ඉල්ලලා ඉතින් ජූනියර් බැච් එකටවත් හම්බුනොත් ඇති" ඒ එක්කම ආපු හිරුණිකාගේ කතාවට හිනා වීගෙනම ආන්යා ඇතුලට ගියා.

"කමු කමූ"
ගෙදරටයි, අනුහස්ටයි කතා කරලා ආපහු කාමරේට ආවාම රශ්මි කෑ ගැහුවා. ඊට පස්සේ ගෙදරින් ගෙනාපු බත්ගෙඩි හතරම පාරමීගේ ඇඳ උඩ දිග ඇරුණා.
"අම්මේ මේ බටු බැදුමේ රහ" පාරමී කිව්වේ අංජලීගේ බත් එක කන ගමන්. අංජලීගේ අම්මට කොහොමත් රසට උයන්න පුලුවන්කම තිබ්බා. ඇගේ රස කෑම අතරින් ආන්යත් ආසම කලේ මේ වම්බටු බැදුමට.
"ම්ම්...ඇත්තමයි" කටේ බත් පුරෝගෙන හිටපු රශ්මිත් කිව්වා.
'මලහිරු බසිනා සන්දෑයාමේ...'
මේ අතරේ රේඩියෝවේ අමරදේවයන්ගේ ගීතයක් වාදනය වුණා. ආන්යට එකපාරටම ආයෙම ගෙදර මතක් වුණා. ඊට පස්සේ ආර්යන්. ඒ අය දැන් මොනවා කරනවා ඇතිද කියලා ආන්යා කල්පනා කලා.
"ඔය කාලා ඉවරද?" කෑම පිරිය නැති වුණ පාර ආන්යා නැගිටිද්දි අංජලී ඇහුවා.
"මට ඇති, ඔයාලා කන්න"
කලුවරේම කුස්සියේ අත සෝදන වෙලෙත් ආන්යා සිහි කලේ ආර්යන්ව. ඔහුගේ හැසිරීම ආන්යගේ හිතට එක් කරලා තිබුණේ කුතුහලයක්. ඔහු අද ඇරලවන්න ආවේ ආන්යා නිසාද, නැත්තම් හැමෝටම එහෙම උදව් කරන නිසාද? එහෙමනම් ඔහු අර විදියට ඈ දිහා බලන්නේ ඇයි? හිත එන්න එන්නම බර වෙද්දි ඈ සුස්මක් හෙලුවා.

කාලා ඉවර වෙලා හතර දෙනාම ඇඳවල් හතරට වෙලා කතා කරමින් , තම තමන්ගේ වැඩ කරන්න ගත්තා. පාරමී හෙට ගෙනියන්න ෆයිල් හදනවා. රශ්මි පොතක් කියවනවා. අංජලී ඇස්පියාගෙන සිංදු අහන්වා. ආන්යා හිටියේ ආර්යන් දීපු බිස්නස් කාඩ් එක දිහා බලගෙන අද වුණ දේවල් ආයෙම සිහි කරමින්.
"මොකක්ද ඔය භාවනාවක් ලියලා තියෙන කොලයක්ද?" ජනේලේ අසල තිබුණ කණ්ණාඩිය ලඟට ආපු පාරමී ආන්යා අතේ තිබුණ කාඩ් එකට එබුණා.
"භාවනාවක්?" ආන්යා ඇහුවා.
"නැත්තම්? දැන් පැය බාගයක් තිස්සේ ඕක දිහා බලාගෙන කල්පනාකරනවා මම බලාගෙන. කෝ කෝ..පෙන්නන්න, මොකද හංගන්නේ? ෆොටෝ එකක්ද?"
 "ෆොටෝ එකක් ?"
පාරමීගේ සද්දෙට අනික් දෙන්නත් තමන්ගේ වැඩ නවත්තලා ආන්යාගේ ඇඳ දිහාට ආවා.
"බලමු බලමු"
"අනේ මොනවත් නෑ"
"මොන්වත් නැත්තම් පෙන්නන්න බරි මොකෝ?" රශ්මි තමන්ගේ දැඩි අත පාවිච්චි කරලා ආන්යා පිටිපස්සට කරගෙන උන්නු අතින් කාඩ් එක උදුරලා ගත්තා.
"අනේ අනේ...රශ්මි එපා...අනේ ඉරන්න නම් එපා..." ආන්යා කෑ ගැහුවා.
අනික් දෙන්නම රශ්මි අතේ තිබ්බ කාඩ් එකට එබුණා.
"එම්. ආර්යන්...මැනේජින් ඩිරෙක්ටර්...හප්පට සිරි මේ කවුද?"
ප්‍රශ්නාර්ථයක් දල්වගත්තු ඇස් හයක් ආන්යා දිහාට එල්ල වුණා.
"මම දන්න කෙනෙක් අනේ" ආන්යා අහක බලාගෙන කිව්වා.
"සෑහෙන්න දන්න කෙනෙක් වෙන්න ඇති නේද?" පාරමී බර කරලා ඇහුවා. ආන්යා මුනිවත රැක්කා.
"ඉතින් මේක දිහා බලාගෙන භාවනා කරන්න තරම් දන්න කියන කෙනා කවුද අප්පේ? අපට කියන්න බැරි කෙනෙක්ද?" රශ්මි ඇහුවා.
"කියන්න කැමති නෑ වගේ" ඒ අංජලී.
"අයියෝ...එහෙම කෙනෙක් නෙවෙයි දෙයියනේ. මේ  අපේ වත්ත  අයිතිකාර මහත්තයාගේ පුතා" ආන්යා බැරිම තැන කිව්වා.
"ආ..." අනික් තුන් දෙනාම ඇදලා පැදලා කිව්වා. "ඉතින් ඉතින්..."
"ඉතින් මොනාද? එයා ඕක මට දුන්න උවමනාවක් වුණොත් කතා කරන්න කියලා. එච්චරයි"
"එච්චරයි නම් වෙන්න බෑ" එහෙම කියලා තුන් දෙනාම් ආඅන්යගේ ඇඳේ වාඩි වුණා.
"හරි දැන් ඇත්තටම වෙච්ච දේ කියන්නකෝ. පොර ලයින් පාරක්වත් දැම්මද?"
"අනේ පිස්සු කියන්න එපා රශ්මි. එයා එහෙම කෙනෙක් නෙවෙයි"
"හම්මේ කෙල්ලට තරහාත් යනවා. මට පේන්නේ එයා නෙවේ මෙයා ලයින් වගේ" පාරමී කිව්වම ආන්යට අමනාපයක් එක්කම ලැජ්ජාවකුත් දැනුනා.
"එහෙම දෙයක් නැ. ඕක මෙන්න මෙහාට දෙන්න"
ඒත් රශ්මි ඒක් පිටිපස්සට කර ගත්තා.
"කොල්ල ලස්සනද?" රශ්මි ඇහුවා.
"අනේ මොනාද අනේ මේ අහන්නේ?"
"ලස්සනද කියන්නකෝ"
"හ්ම්..." වෙන කරන්න දෙයක් නැති තැන ආන්යා හිස වැනුවා. ආන්යට මේ යාලුවන් හංගන්න දෙයක් තිබුණේ නෑ, මොකද දුකට සැපට උදව්වට මේ සේරටම උන්නේ ඒ අය නිසා. ඒත් ආර්යන් ගැන ඈ මොනවා කියන්නද?
"ආන්යත් ලේසි නෑනෙ බලන් යද්දි. ලොක්කගේ පුතා ඈ?"
"අනේ එහෙම දෙයක් නෑ. මම එයා ගන කල්පනා කලා නෙවෙයි, මේක් දැක්කම මට ගෙදර මතක් වුණා. අම්මා පාලුවෙන් ඇති කියලයි මම හිත හිත උන්නේ" ආන්යා සාර්ථක විදියට බොරුවක් කිව්වා. ඒ පාර අනික් තුන් දෙනාම මොහොතකට ගොලු වුණා.
"වැඩිය හිතන්න එපා ආනු. මොනා කරන්නද? ආ...මෙන්න"
රශ්මි  කාඩ් එක ආපහු දුන්නා. අනික් දෙන්නම ආන්යට යන්තම් හිනා වෙලා තමගේ ඇදන් උඩට ආපහු යන්න ගියා. ඈට දුකක් හිතුණත් ඇගේ සිතුවිලි ක එක්කවත් බෙදා ගන්න තාම ඈට පුලුවන් කමක් තිබ්බේ නෑ.
ආන්යා නිදා ගන්න ඔන්න මෙන්න තියෙද්දි, ආන්යගේ ෆෝන් එක  නාද වුණා.'දන්නැති නම්බර් එකක්?'
"හෙලෝ...කවුද මේ?" ආන්යා ඇහුවේ සැකෙන්.
"හෙලෝ...මීනූ..." එහා පැත්තෙන් ඇහුණේ අභිගේ හඬ.
""අභි?"
"ම්ම්...අඳුනගත්තා නේ? කොහොමද පරිස්සමින් ආවද?"
"ආවා, ආවා. ඉතින්?"
"ආයියෝ අපට නම් මෙහේ හරි බෝරින්ග්. අර ඔයාලගේ ගෙදර ඉන්න ගෝපිව ගෙන්නගත්තා ඒ නිසා. ඔයාලා නැතිවා පාලුයි නේද කියලා අන්නාත් කිව්වා"
අන්තිම වචන ටික ආන්යගේ හිත සීතල කලා.
"ම්ම්...එහෙමද?  මොනා කරන්නද. මොකද ඉතින් මේ රෑ නැගිටගෙන කරන්නේ?"
"අපි මේ ගිනි තපිනවා. නාරද නම් බොනවා. අන්නා සිංදු අහනවා. ඕවා තමා. මම අනුහස්ටත් කතා කලා. එයා තමා ඔයාගේ නම්බර් එක දුන්නේ"
"තෑන්ක්ස් කතා කලාට. අපි දැන් නිදා ගන්න යන්නේ. මම තියන්නම් එහෙනම්. ආයෙම කතා කරන්නකෝ පස්සේ. ම්ම්....ආර්යන් අයියව මතක් කලා කියන්න"
"ඕකේ, ඕකේ. හෙට වැඩත් නේ නෙද? හරි එහෙනම් නිදා ගන්න. ගුඩ් නයිට් මීනු"
"ගුඩ් නයිට්"
ෆෝන් එක පැත්තක තියපු ආන්යා ඇඳේ අනික් පැත්තට හැරුණා. පාරමී ඔලුවේ හිතන් පොරවගෙන නිදි. රශ්මි නම් ගොරවනවත් එක්ක. රශ්මිට වැහිලා අංජලීව පේන්නේ නෑ. ආන්යා ඇස් පියා ගත්තා. 'හෙ ඉඳන් ආයෙම අර කලබලකාරී, අවිවේකී ජීවිතේ පටන් ගන්න එපැයි...'

2 comments:

  1. මම මගේ මේ කතාව මගේ හොඳම යාලුවෝ වුණ, සඳ, ශමී, තිමාලි සහ ලංකිටත්, මගේ විශ්ව විද්‍යාලේ හොඳම යාලුවෝ වුණ කාවින්දි, මුදී, ඉටි සහ අනෙක් යාලුවෝ සේරටමත් පුදන්න කැමතියි...

    ReplyDelete
  2. නාදන් එකේ ඉදන් කරපු පිස්සු වැඩ හැම එකක්ම ආයෙත් අකුරක් නෑර මතක්වුනා..ස්තුතියි නෙතූ..හොස්ටල් ජීවිතේ තරම් ජොලි කාලයක් ආයෙ නෑ..

    ReplyDelete