Tuesday, February 21, 2012

දහ අටවන කොටස

"මේ...හලෝ...මේ පොඩ්ඩක් අහන්නකෝ" ආන්යා උඩ ගිහින් බිම වැටුණා. ආන්යා ලඟ උන්නේ දහම්.
"ඇයි දහම්?"
"ඇයි කියන්නේ, කොයි ලෝකෙද අනේ ඔයා ඉන්නේ? මම දැන් දෙතුන්පාරක්ම කතා කලා" දහම් කිව්වේ ලඟ තිබුණ පුටුවෙන් වාඩි වෙන ගමන්. ආන්යා යාලුවෝ ටික කෑම අරන් එනකල් ආපනශාලාවේ මේසයක් ලඟට වෙලා කල්පනාවකට වැටිලයි උන්නේ.
"අනේ මම වෙන කල්පනාවක හිටියේ. කියන්නකෝ ඇයි කතා කලේ?"
"අද හවස ලෙක්චර් එකට මම ඉන්නේ නෑ. මට පොඩි සයින් එකෙක් ගහනවද?" දහම් කිව්වේ ආන්යට ඔහුගේ කෙටි අත්සන ගහපු කොලයක් දෙන ගමන්.
"අද ළමයි අඩු වුණොත් ගණං කරයිද දන්නේ නෑ" ආන්යා කිව්වේ කොලේ අතට නොගෙන දෙගිඩියාවෙන්.
"පොඩ්ඩක් බලලා සයින් කරන්නකෝ අනේ. ඔයා ඉතින් මගේ බකටිනේ"
"අනේ මන්දා දහම්. ඔන්න කට්ටිය අඩු වුණොත් මම සයින් කරන්නේ නෑ හොඳේ. ඉතිං දැන් ඔයා කොහෙද යන්නේ ලෙක්චර්සුත් කට් කරලා?"
"යාලුවෝ කට්ටියක් එක්ක පොඩි ගමනක් යනවා. දන්නැද්ද වීක් එන්ඩ් එකනේ. මම යන්වා එහෙනම් ඈ. තෑන්ක් යූ"
දහම් හිනා වෙලා කොලේ ආන්යා අතට දීලා යන්න ගියා.

කිව්වත් වගේම හවස ලෙක්චර් එකට සෙනග හිටියේ නැති ගාණයි. පැයේ ලෙක්චර් එකක් නිසා ගොඩක් අය ගෙදර යන්න ගිහිල්ලා තිබුණා. හැබැයි උගන්නපු කථිකාචාර්ය තුමා ඒක ඒ තරම් ගණන් ගත්තු වගක් නොපෙනුන නිසා ආන්යා බයෙන් සැකෙන් දහම් වෙනුවෙන් අත්සන් කලා. ඊට පස්සේ දේශණය ඉවර වෙනකල්ම පපුවේ බිත්තර තම්බ තම්බ හිටියා. ආයේ නම් මේ වැඩේ කරන්න නෑ කියලා ආන්යා හිතා ගත්තා. බයේ ඉන්නයි, ඉගෙන ගන්නයි දෙකක් කරන්න බෑනෙ.

"මම මෙහෙම්මම යනවා එහෙනම් ඈ. නුවරට ගිහින් එපෑ බස් එකට නගින්න. ඔයාලත් එහෙනම් පරිස්සමින් යන්න. මම ඉරිදා හවස එනවා" ආන්යා කාමරේ උන්නු මිතුරියන්ට කියලා ගලහා හන්දිය පැත්තට එන්න ආවා. ඇගේ හිතට දැනෙමින් තිබුණේ සැහැල්ලුවක්. ආයෙම ගෙදර...අම්මගේ රස කෑමයි...ලස්සන පරිසරෙයි...රාධා, නිත්‍යා, ගෝපිගේ පිස්සු වැඩයි...ආර්යනුයි...
නුවරින් බස් එකට නැගපු ආන්යාට නාවලපිටියත් පහු වෙනකල්ම නින්ද ගිහින් තිබුණා. ඈ නැගිටලා වට පිට බලද්දි හාත්පසම තිබුණේ වැහි අඳුරක්. ඈ ෆෝන් එක අතට අරන් බැලුවාම තාත්තා කතා කරලා තිබුණා.
"වටවල පාස් වුණා විතරයි තාත්තා, මම වෙනදා ඉන්න තැනම ඉන්නම් බැහැලා"
තාත්තට ඇමතුමක් දීලා ඈ ආයෙම වැහි අඳුර මැදින් පෙනෙන අක්කර ගනන් දිවෙන තේ වතු දිහාවට ඇස් යොමු කලා.
ආන්යා හැටන් වලින් බහිද්දි පහමාරට විතර ඇති. එතකොට හෙමි හෙමිහිට වැස්ස ඇද හැලෙන්න පටන් අරන්. පරිසරයත් තරමක් සීතල වෙන්න පටන් ගෙනයි තිබුණේ. ආන්යා කුඩේ අතට ගත්තත් ඒක දිගාරින්න කලින් තාත්තගේ වාහනේ ඈ ඉස්සරහා නැවැත්තුවා.
"නගින්න...නගින්න..."
එලිමහනේ යන්තමට තිබ්බ සීතල වාහනේට නැග්ගට පස්සේ තුනී වුණා වගේ ආන්යට දැනුනා.
"එද්දි කරදරයක් වුණේ නෑනෙ" ආන්යා දිහා යන්තම් බලමින් තාත්තා ඇහුවා. දැන් දැන් වැස්ස තරමක් වැඩි කරන්න වුණා.
"නෑ තාත්තා. යනකොටම බස් එක තිබ්බා, සෙනග හිටියෙත් ටිකයි" ආන්යා උත්තර දුන්නා.
ඊට පස්සේ වත්තට ලං වෙනකල් ආයෙම කතාවක් ඇති නූනේ ආන්යා ආයෙමත් හරි බරි ගැහිලා නිදි කිරන්න පටන් ගත්තු නිසයි.
වත්තට ඇතුල් වෙද්දි හොඳටෝම වහිනවා. කවදාවත් නැතිව ආන්යගේ හිත ටිකෙන් ටික නොසන්සුන් වෙන්න ගත්තා. හරියට උගුරට තරම් නොවෙන විසාල දෙයක්   උගුර මැද හිර වෙලා වගේ ඈට දැනුනා. 'ආර්යන්ව අද දකින්න ලැබේවිද?'
මගක් දුර ඇවිත් තාත්තා ගේ පැත්තට වාහනේ නොහරවා ෆැක්ට්‍රිය පැත්තට වාහනේ හැරෙව්වා.
"ඔයා බහින්න ඕන නෑ. මම ටක් ගාලා ඇතුලට ගිහින් එන්නම්" තාත්තා ආන්යව වාහනේම තියලා කන්තෝරුව දිහාට ගියා. 
ඉක්මණට එනවා කිව්වට විනාඩි පහක් විතර යනකල් තාත්තා ආවේ නැති නිසා ආන්යා වාහනෙන් බිමට බැස්සා. එතකොටයි ඈ දැක්කේ නාරදගේ  වාහනෙත් අනෙක් පැත්තේ නවත්තලා තිබුණ වග. තාතා නාරද එක්ක කතාවක පැටලිලා ඇති කියලා ඈ නිගමනය කලා. කන්තෝරුවේ පියස්ස යටට ආන්යා පැන ගත්තේ තවත් වැස්ස වැඩි කරපු නිසයි. ඈ තවත් යමක් හිතන්න කලින් කොහේ දෝ ඉඳන් දුවගෙන ආපු, වැහි කබායකින් හිසේ පටන් වහගෙන හිටපු කෙනෙක් පියස්ස යටට පැන්නෙත් එවෙලෙමයි. ආන්යා කෝකටත් කියලා ඈතට වුණා. වැහි කබාය අස්සෙන් මුහුණක් ඈ දිහාට යොමු වුණා.
"ආන්යා?"
ආන්යට එක පාරටම උනන්දුවෙන් බැලුවම වැහි කබායේ හිස් වැස්ම ඉවත් කරලා ඈ දිහා පුදුමෙන් බලාගෙන උන්නේ නාරද.
"ඔයා, අද මෙහේ?" නාරද ඇහුවේ පුදුමෙන්මයි.
"වීකෙන්ඩ් එක නිසා ගෙදර ආවා" ආන්යා උත්තර දුන්නා.
නාරද හිස වනලා හිනා වුණා.
"කෝ අනුහස් ආවේ නෑ?" නාරද ආයෙම ඇහුවා.
"එයා ආවේ නෑ. එයාට ලඟදි ස්පෝට්ස් ටූනමන්ට් එකක් තියෙන නිසා ප්‍රැක්ටිස්"
"ආ...මොනාද එයා කරන්නේ?"
"ටූනමන්ට් එක ටීටී, මේ ටේබල් ටෙනිස්"
"ආ..ඔව් මම දන්නවා. එතකොට ඔයා මොකද මෙතන, තාත්තා එනකල්ද?"
ආන්යා උත්තරයක් හිතන්නත් කලින්ම ඇතුලේ උන්නු ආන්යාගේ තාත්තා එලියට ආවා මොන්වදෝ ෆයිල් වගේකුත් කිහිලිගන්නගත්තු පියන් එක්ක.
"ආ...මේ නාරද මෙතනනේ. කොහේ ගිහින්ද මේ තෙමීගෙන? කෝ වාහනේ?" නාරද දැක්ක ගමන් තාත්තා ඇහුවා. ආන්යා හෙමිහිට ආපහු වාහනේ පැත්තට ලං වුණා.
"ඔව් සර්, හොඳට තෙමුණා. මම උඩ මස්ටර් ෂෙඩ් එක පැත්තට ගියා එස්.ඩී එක්ක. එතන දලු කිරන වෙලාවේ කට්ටියට පොඩ්ඩක් කතා කරන්න. ඊට පස්සේ මේ වැස්ස පටන් ගත්තානේ. ෆෝන් එකත් ජීප් එකේ දාලා ගිහින්, පස්සේ බැරිම තැන එස්.ඩී ගේ රේන්කෝට් එක ඉල්ලගෙන එන්න ආවා" නාරද උත්තර දුන්නා.
"එහෙමද? හරි, එහෙනම් අපි යන්නද? දුව මේ නුවර ඉඳන් එන ගමන්"
තාත්තා කිව්වාම නාරද ආන්යා දිහාට ඇස් හැරෙව්වා.
"ආ..ඔව්, මට කිය කිය හිටියේ ඒක තමා"
"නාරදත් දැන්ම යනවද?"
"නෑ, සර්‍. තව පොඩ්ඩකින් යනවා, අභීලා මග එනවලු"
නාරද කිව්වා.
"ආ...හරි හරි. එහෙම නම් අපි යනවා. මං හවසට ඒ පැත්තේ එන්නම්කෝ" තාත්තා වාහනේ අනික් පැත්තට යන ගමන් කිව්වා.
"යන්නං අයියා" ආන්යා ඉක්මණ් බැල්මක් ආර්යන් දිහාට යොමු කරලා කිව්වා.
"හරි, ගිහින් එන්න"
ආයෙම දෙයක් අහන්න කියන්න කලින් තාත්තා වාහනේ පණගන්වලත් ඉවරයි. ආන්යා පස්ස නොබල වාහනේට නැග ගත්තා.

"අයියෝ බේබි...මම ෆිල්ම් එකක් බැලුවා, කියලා වැඩක් නෑ"
රෑ කන්න ලෑස්ති කරනකල් ආන්යා ඉස්තෝප්පුවට වෙලා රාධායි, ගෝපියි එක්ක කතා කර කර ඉද්දි ගෝපි කියන්න වුණා.
"මොකක්ද ඒ?"
"කාවලන්. අපේ තලපති විජයිගේ"
"ආ...ඇත්තද? මම එයාට හරිම ආසයි. ඉතින් මොකක්ද ඒකේ වෙන්නේ?" ආන්යා ඇහුවා.
"කියලා වැඩක් නෑ, බලන්නම ඕන. මමයි, අභි මහත්තයයි ඒක බලලා දවල්ට කෑවෙත් නෑ"
ගෝපි පුරුදු නාට්‍යාකාරයෙන්ම කිව්වා.
"අනේ දුක හිතෙන එකක්ද?"
"දුකත් හිතෙනවා. හැබයි මාර ලස්සනයි"
"එඩික්ක වාවේ (අරන් එන්නකෝ), ආම් පාක්ක මුඩියුමේ(එතකොට ඔක්කෝටම බලන්න පුලුවන් නේ)" රාධා ගෝපිට කිව්වා.
"මගේ නෙවෙයි නේ. අභි මහත්තයාගේ. බේබි ඉල්ලුවොත් නං දෙයි" ගෝපි කිව්වා.
"ඉල්ලලා බලමුකෝ"
"බේබි දන්නෑනෙ ඒ මහත්තයට අද දවල් ඉඳන් මොකදෝ සනීප නෑ. ඊයේ රෑ හැටන් ගිහින් මොන මොනාදෝ කාලා ඇවිත් බඩේ අමාරුවක් තමා හැදිලා තියෙනවා"
ගෝපි කිව්වාම ආන්යා පුදුම වුණා.
"අනේ ඇත්තද? අයියෝ පව්. දැන් කොහොමද දන්නේ නෑ" ආන්යා කිව්වේ හැබෑම අනුකම්පාවෙන්.
"මෙහේ ලොකු නෝනා මොනාදෝ රසම්ද කොහෙද හදලා දුන්නා දවල්. දැන් නම් මොකද දන්නේ නෑ"
ගොර්පිගේ කතාව අහගෙනම ආන්යා කලේ අතේ තිබ්බ ෆෝන් එකෙන් අභීට ඇමතුමක් ගත්තු එක. ඔහු ගොඩක් හිතවත් නිසා එහෙම නොකර ඉන්න එක හොඳ නෑ කියලා ඈට හිතුණා.
"හෙලෝ" එහා පැත්තෙන් කතාකලා.
"අභි...මම ආන්යා"
තප්පරයක් විතර යනකල් එහා පැත්තේන් කතාවක් කෙරුණේ නෑ.
"ආන්යා? ම්ම්...මම ආර්යන්. අභි නම් මේ වෙලාවේ නිදිනේ"
ඒ වචන පෙල ආන්යගේ හදවත මොහොතකට නතර කලා. ඈ උන්නු තැනින් නැගිටලා ඉස්සරහට ආවේ අනික් අයට ඇහෙන නිසා.  ආන්යගේ හිත පිටිමෝලක් වගේ සද්දෙන් ගැහෙන්න පටන්ගෙනයි තිබුණේ. ඈ ඒ කැලඹිල්ල ආර්යන්ට නොදැනෙන්න කතා කරන්න උත්සාහ කලා. ඒත් මොකක්දෝ හේතුවකට ආර්යන් උන්නෙත් ඈ තරමටම නොසන්සුන් වෙලා කියලා ඈට දැනුනා.
"මේ...අභිට අසනීපයි කියලා ගෝපි කිව්වා. ඒකයි කතා කලේ" ආන්යා වචන ගටගහගත්තා.
"ඔව්, මේ මොනාද ජරාවක් කාලා, ඩයරියා වගේ මට හිතෙන්නේ. හවස බෙහෙත් ගෙනාවා. දැන් නම් නින්ද ගිහින්" ආර්යන්ගේ හඬේ නම් වෙනසක් තිබුණේ නෑ.
"කමක් නෑ, ඇහැරුණාම කියන්නකෝ මම කතා කලා කියලා. පුලුවන් වුනොත් හෙට බලන්න එන්නම් කියන්න. මං එහෙනං-"
"ආන්යා..." ආන්ය කතාව ඉවර කරන්න කලින් ආර්යන් ඈට බාධා කලා.
"හ්ම්..." ඈ එක පාරටම ගැස්සුනා වගේ. ආර්යන්ගේ හඬ හිටපු ගමන් අමුතු වෙලා.
"ඔයා ගෙදර ආවද?"
"ඔව්..."
"අද?"
"අද හවස"
ආර්යන් හුස්ම ගන්න හඬ ආන්යට ඇහුණා.
"යන්නේ?" ඔහු ඊට පස්සේ ඇහුවා.
"ඉරිදා..." ආන්යගේ හඬ වෙව්ලන්න වුණා.
"ම්ම්"
"ඇයි?" ආන්යා ඇහුවා.
"මොකක්ද?"
"යන දස ඇහුවේ?"
"නිකං"
ආන්යා ලොකු සුසුමක් හෙලුවේ බර වීගෙන වීගෙන ආපු හිත සැහැල්ලු කරගන්න හිතාගෙන.
"අ..ම්...මම තියන්නම් ආන්යා, අභිට පණිවිඩේ කියන්නම්. තෑන්ක්ස් කතා කලාට. ගුඩ් නයිට්" එක පාරටම හීනෙකින් අවදි වෙලා වගේ ආර්යන් කිව්වාම ආන්යට දැනුනේ පාවි පාවි ඉඳලා බිමට වැටුණා වගේ ගතියක්.
"ගුඩ් නයිට්" ඈ ඇමතුම විසන්ධි කලේ පුංචි නොසතුටකින්. ආර්යන් මෙහෙම හැසිරෙන්නේ ඇයි?


2 comments:

  1. ආන්යා හරි හොදයි අනේ.....

    ReplyDelete
  2. නෙතු දෙමල සිනමාව ගැන නමි ගොඩාක් දේවල් දන්නවා වගේ... මිහ්.. මම ගොඩාක් ආසාවෙන් කියවන කතාවක් මෙික නෙතු...!!!

    ReplyDelete