Monday, February 20, 2012

දාහත්වන කොටස

"ආන්යා සොයිල් ප්‍රැක්ටිකල් කීයටද තියෙන්නේ?" දවල් කාලa අත හෝදන්න යද්දි කොහේදෝ ඉඳන් ආපු දිමුතු ඇහුවා. දිමුතුයි, ආන්යයි උන්නේ එකම ගෲප් එකේ.
"තුන පහ නේද?"
"එහෙමද? එක තුන බයෝ කෙමිස්ට්‍රි නේද? බැරි වෙයිද දන්නෙ නෑ කාගෙන් හරි මියුචුවල් එකක් ඉල්ලගන්න" දිමුතු හිස කස කස වටපිට බැලුවේ මියුචුවල් බිම වැටිලා තියෙනවා වගේ.
"අහලා බලන්න. කැමති අය ඇති" ආන්යා එහෙම කියලා එන්න ආවා. දිමුතු මේ තරම් උනන්දුවෙන් හුවමාරුවක් හොයන්නේ මොකද කියලා ආන්යා දැනගෙන හිටියේ නෑ.
"ඔයලට ආරංචිද අලුත්ම නිව්ස් එක?" කාලා අහවර ප්‍රැක්ටිකල් වලට යන අතරතුර එහෙම ඇහුවේ සම්මානි.
"මොකක්ද?"
"අපේ මිංචි, අර වරකාපොල එක්කෙනා, මොකක්ද මේ නම-"
"මාලිකාද?" අංජලී ඇහුවා.
"අන්න හරි. එයා අර ගොඩගම බෝයි දිමුතු, දිගා, අන්න එයා එක්ක හිච් වෙලාලු"
"ආ...ඇත්තද? හැබැයි මට ගිය සෙමෙස්ටර් එකෙත් තේරුණා පොඩ්ඩක්" රශ්මිත් කිව්වා.
"එහෙනම් ඒකයි මේ දිමුතු ඒ ගෲප් එකට මියුචුවල් එකක් හොයන්නෙ" ආන්යා මොහොතකට කලින් වුණ සිද්ධිය මතක් වෙලා කිව්වා.
"අනේ හොඳයි නේද? දෙන්නම ෂේප් එකේ ඉන්න අය නේ"
"ඔව් ඔව්"

ආන්යා මගින් හැරිලා ආහාර විද්‍යා අංශය පැත්තට යන්න ආවා. දැන් තියෙන්න නියමිත ප්‍රැක්ටිකල් එක තිබුණේ එතන හන්දා. ඇය ලැබ් එකට යද්දි ළමයි කීප දෙනෙක් ඇවිත්. ලැබ් එකේ දෙපෙලකට දාලා තිබුණ ලොකු විද්‍යාගාමේස උඩ , වීදුරු බීකර, බියුරෙට්ටු, පිපෙට්ටු, පරීක්ෂණ නල, වීදුරු බට, වට අඩි ප්ලාස්කු වගේ මෙකී නොකී සේරම ජාති තියලා තිබුණා. එක මේසයක් ගෲප් හතරකට වෙන් කරලයි තිබුණේ. ආන්යගේ ගෲප් එකේ උන්නු මිෂානියි, විධුරයි ඇරුණාම එතන හිටපු දහම්ව දකලා ආන්යා පුදුම වුණා. දහම්ගේ ගෲප් එක ඒ හෝ බී කියලයි ආන්යා හිතුවේ.
"ඔයා අපේ සබ් ගෲප් එකේද?" ආන්යා ඇහුවේ ඒකයි.
"නෑ, මම ඇපලේගේ එකේ. ඒත් ඒකෙ ටොම්බි විතරයි ඉන්නේ, ඒ පාර අර මිස් කිව්ව අපට ලඟ තියෙන ගෲප් දෙකකට අද යන්න කියලා"
"මම හිතුවේ ඔයා ඒ ගෲප් එකේ කියලා"
"ඒ තමා. මම අර දිමාට මියුචුවල් එකක් දුන්නා"
ආන්යා හිනා වුණා. ඒත් තව කතාවක් පටන් ගන්න කලින් ඔන්න මැඩම් ආවා.
"ඕකේ, වී ෂැල් බිගින් විත් අයිඩෙන්ටිෆයින්ග්...."
ඒක ඉවකරන්න පැය දෙකයි තව විනාඩි කීපයක්ම ගන්න වුණේ එදාම පොත් බාරදෙන්නත් වුණ හන්දයි. ඊට පස්සේ ආන්යා අනෙක් කට්ටිය එක්කම පඩිපෙල් නැගලා, බැහැලා දිව්වේ සොයිල් ලැබ් එකට. ඒකත් අරක වගේමයි. එතනත් මුලින්ම තිබ්බේ උපකරණ සහ පස් වර්ග හඳුනාගැනීමේ සහ සටහන් කරගනීමේ පැය දෙකක වැඩක්.
'කෝ ඔයාගේ අර මිත්‍ර සේනාව?" සොයිල් ලැබ් එකේ ඉඳන් එද්දි මගදි ආන්යාත් එක්ක එකතු වුණ දහම් ඇහුවා.
"අපි වෙන වෙන ගෲප් වල ඉන්නේ. කෝල් එකක් දීලා බලන්න ඕන කවුරුහරි ඉන්නවද කියලා හොස්ටල් යන්න. ඉක්මණට ඉවර වෙලා නම් ගිහින් ඇති"
"ඉතින් තනියෙමද යන්න හදන්නේ?"
"බලමුකෝ"
"තනියෙම යනවා නම් මම ගිහින් දාන්නද?" දහම් ඇහුවාම ආන්යා ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"ඔයා මගේ බකටිනේ ඒකයි ඇහුවේ"
බකට් පාට්නර් වුණාම බකට් එකේදි විතරක් නෙවෙයි අනික් හැම වෙලාවකමත් තමන්ගේ බකටාට හරි, බකටිට හරි සියලුම ආකාරයෙන් උදව් කල යුතුයි, ඒකයි සිරිත කියලා ජේෂ්ඨයෝ ගොක් අයගේ හිත් වලට දාලයි තිබුණේ. ඒත් ආන්යා නම් ඒවා එච්චර ගණං ගත්තේ නෑ.
"අනේ එපා දහම්. මට යන්න පුලුවන්. ගොක් අය නාදන් යනවනේ"
"ඕ කේ එහෙනම් අපි ගියා. හෙට හම්බෙමුකෝ" දහම් පුරුදු දඟකාර විලාසෙන්ම පඩි දෙක තුනක් අතෑරලා බිමට පැනලා යන්න ගියා. ආන්යා රාමනාදන් ශාලාවට යන තවත් ගෑණු ළමයි හය හත් දෙනෙක්ට එකතු වෙලා නේවාසිකාගාරයට යන්න ආවා.

"මම මේ සතියේ නොයා ටීටී ප්‍රැක්ටිස් කරන්න ඉන්නේ මීනු, යුනිවර්සිටි ටූනමන්ට් එක ලඟයි නේ. ඔයාට යන්නම ඕනද?" ගෙදර යන එක ගැන අහන්න අනුහස්ට කතා කලාම ඔහු කිව්වේ ඒ වගේ දෙයක්.
"ඔව් අනූ. රූම් එකේ සේරම අය යනවා" ආන්යා බොරුවක් කිව්වා. රශ්මියි, පාරමීයි ගමන දුර නිසා, හැමදාම යන්න බැරි නිසා සති අන්තේ උන්නේ ශාලාවේමයි.
"හ්ම්...මම කෝච්ටත් කියලයි තියෙන්නේ මේ සතියේ කරමු කියලා. මොකේ කරන්නේ...ම්ම්..." අනුහස් කල්පනා කරන්වා.
"මම තනියෙම යන්නම් අනූ. මට පුලුවන්. අනික හැමදාම ඔයාට මට තනි රකින්න එන්න බෑනෙ. ආ?"
"තනියෙම? හපෝ අම්මා මගේ ඔලුවත් කයි"
"නෑ. එහෙම කරන එකක් නෑ. මම තාත්තට හැටන් වලට එන්න කියන්නම්. එක බස් එකයි නේ අනූ. පැය දෙකහමාරනේ"
"අනේ මන්දා" අනුහස් තාමත් උන්නේ දෙගිඩියාවෙන්.
"මම තාත්තට කතා කරලා කියන්නම්. ඔය මුකුත් කියන්න ඕන නෑ. මම හෙට යනවා" ආන්යා අන්තිමට කිව්වා.
ආන්යා ඊලඟට කලේ තාත්තට කතා කරන එක. ඈ තනියෙම එනවට අම්මා අකමැති වුණත්, අනුහස්ගේ වැඩේ නිසා ඔහුට කරදර නොකර එනවට තාත්තා කැමති වුණා.
"මම හැටන් වලට ඇවිත් ඉන්නම් දුව එන්නකෝ පරිස්සමින් එහෙනම්"

ආන්යා උන්නේ සතුටින්. ගෙදර යන්න කොහොමත් ආස කල එකට අමතරව ඇයට ආර්යන්වත් බලන්න හම්බවෙනවනේ. ඩයරියේ ඇතුලක තිබුණ ආර්යන්ගේ බිස්නස් කාඩ් එක අතට ගත්තු ආන්යා ඔහුගේ ෆෝන් එකේ නොම්මරේ දිහා බලාගෙන හිටියා.ඈ එන වග ඔහුට කතා කරලා කියනවද කියලා. ඒත් එහෙම කියන්න තරම් ඔවුන් දෙන්න අතරේ හිතවත්කමක් නෑ නේද කියලා ඊලඟට ආන්යා තර්ක කලා. ඒ නිසා ඈ කලේ අභීට එස් එම් එස් එකක් යවපු එක.
'අයෑම් කමිං ටුමොරෝ'
'ග්‍රේට්! අයි විල් ස්ටාට් කවුන්ටින්ග් අවර්ස් දෙන්. සීයූ ටුමොරෝ' හැරෙන තැපෑලෙන්ම අභි උත්තර එවලා තිබුණා.
"මම හෙට හවස ගෙදර යනවා" ආන්යා කාමරේටම නිවේදනය කලේ ඊට පස්සේ.
"බලාපල්ලකෝ මූණේ තියෙන සිරියාව. බොස්ගේ පුතා බලාගෙන නැතෑ නේ?" රශ්මි ඇදලා පැදලා කිව්වා. 
"අනේ මේ...නිකං ඉන්න රශ්මි" ආන්යා ඈට රවලා අහකබලාගත්තා. ඒත් ඇගේ මුවේ ඇඳුනේ සිනාවක්. ඇත්තටම බොස්ගේ පුතා බලාගෙන ඉඳීවිද?’


2 comments:

  1. මුලින්ම සමාවෙන්න ඕනි..මට එක පෝස්ට් එකෙන් පොස්ට් එකට කමෙන්ට් දාන්න බැරි උන එක ගැන..මොකද මම එක හුස්මට ඔක්කොම ටික කියවගෙන ගිය නිසා අක්කි.....ඇත්තටම ඔයා ගොඩක් දක්ෂයි....කතාව ඇත්තටම සාර්තකයි.............අපි බලන් ඉන්නවා ආන්යා ගෙදර යනකම්.....

    ReplyDelete
  2. ස්තුතියි මල්ලි... :)
    එහෙම පෝස්ට් නොදැම්මට කමක් නෑ. ඔයාලා මේක බලන වග මම දන්නවා...ඒකටත් ස්තුතියි!

    ReplyDelete