Monday, February 20, 2012

දහසයවෙනි කොටස


උදේ පාන්දරම් නැගිටලා බස් එකට දුවලා ඇවිත්, වෛද්‍ය පීය ලඟින් බැහැලා, සරසවි උයන පැත්තට යන පාර දිගේ ඇවිත් මුලින්ම දකුණට හැරෙන පාර දිගේ ඉස්සරහට ආවම කෙලින්ම හම්බවෙන්නේ කෘෂිකර්ම පීඨයේ අලුත් ආපන ශාලාව සහ පොදු කාමරය. උස කුලුණු හයකින්  දරාගෙන උන්නු ඉස්සරහ පියස්සෙන් ඇතුලු වුණාම තියෙන්නේ කැටයම් කරපු විසාල පලු දෙකේ දොරවල් දෙකක්. ගොඩ වෙලාවට මේ දෙක්කෙන් එකක් තමා ඇරලා තිබුණේ.
හතහමාරට විතර මෙතනට ආපු ආන්යා ඇතුලු පිරිස පොදු කාමරේට ඇතුල් වෙලා වට පිට බැලුවේ ඉඳගන්න තැනක් තියෙනවද කියලයි. මොකද අටට පටන් ගන්න දේශණ වලට යන්න කලින් උදේ කෑම ගන්න ගොඩක් අය මේ වෙලාවට එතනට ආපු නිසා.
"අර මේසේ කට්ටිය කාලා ඉවරයි වගේ, එතනට යමුද?" පාරමී මැද හරියේ මේසයක් පෙන්නලා කිව්වා. මේ අතරේ එහ මෙහා යමින් උන්නු සහ, රවුම් මේස වටේට වෙලා උදේ කෑම ගනිමින් උන්නු ආන්යලාගේ ජේෂ්ඨ අයියලා, අක්කලා වගයක් මේ අයට සුහද සිනා පෑවා. ආන්යාත් මේ අයට 'ගුඩ් මෝනින්ග්' කියලා පාරමී පස්සේ ඇදුණා. මීට මාදෙක තුනකට කලින් නම් මේ ස්ථානය ගැන හිතන්න පවා බය වුණා නේද කියලා ආන්යා මතක් කලා. ඒ රැග් එක දෙන්න ළමයි එකතු කරලා තිබ්බේ මෙතන නිසා. ගවුම් ඇගෙන, කොණඩ ගොතාගෙන, බයෙන් බයෙන් ජේෂ්ඨ තුමාලා තුමීලාගේ දහසක් ප්‍රශ්ණ වලට උත්තර බඳිමින් හිටපු ඒ කාලෙ, හිට්ලර්ගේ වධ කඳවුරත් මේ වගේ වෙන්න ඇති කියලා ආන්යට හිතුණා. ඒත් කිසිම වෙලාවක කිසිම ළමයෙකුට ශාරීරික වශයෙන් වධ දීමක් නම් මෙහේදි සිද්ධ වුණේ නෑ, වෙනත් තැන් වල වගේ. ඒ දවසුයි, දැනුයි කොච්චර නම් වෙනස්ද?
"දැක්කද අර යකා ජේෂ්ඨයා හිනා වුණ හැටි? හරියට අපට මොනාවත් කලේ නෑ වගේ. ඒ දවස් වල මට වැඩිපුරම බැන්නේ එයා" අංජලී රහසින් වගේ අනික් තුන් දෙනාට කිව්වා.
"ඒක නම් ඇත්ත. මටත් පේන්න බෑ තාමත්" ආන්යත් එකඟ වුණා.
"මොනාද කන්නේ?" බෑග් මේසය මතින් තියලා ආපන ශාලාව අසලට ඇවිත් කෑම මේසෙට එබෙන ගමන් පාරමී ඇහුවා. ආපනශාලාව කරන අන්කල් ඇණවුම් කරන කල් බලා ඉන්නවා.
"ම්ම්..මට පාන් කාලයි, අල හොදියි" ආන්යා කිව්වා.
"පිට්ටු, පරිප්පු"
"රෝල් දෙකයි, කෙසෙල් ගෙඩියයි"
"මට වෙගිටබල් කෑම එකක්"
අනෙක් අය ඇනවුම් කරන අතරේ ආන්යා මුදල් ගෙව්වා.
"ගාණ පහලවයි..පහක් නැද්ද මිස්?"
"ඉන්න බලන්න"

කෑම අරගෙන මේසේ දිහාට එද්දි ආන්යලගේ කණ්ඩායමේ පිරිමි ළමයි වගයක් දොරෙන් ඇතුල් වුණා.
"ලෝ ගුඩ් මෝනිං" හැමෝම වගේ ආන්යා ඇතුලු පිරිසට සුබ පැතුවා.
"මෝනිං...මෝනිං"
"ආ මැඩම්...කොහොමද ඉතින්?" ඒ අතර උන්නු දහම් ආන්යාගෙන් ඇහුවා.
දහම් කියන්නේ ආන්යගේ බකට් පාට්නර්. බකට් එක කිව්වේ රැග් එක ඉවර වෙලා දෙන පිළිගැනීමේ සාදය අවසානෙදි අලුතෙන් ආපු සියලුම නවක ශිෂ්‍ය ශිෂ්යාවන්ව පොකුනකට බස්සලා නාවලා ගන්න්  සිරිතට. කෘෂි පීඨේ එ නෑවිල්ලට යන්න හැම ගෑණු ළමයෙක්ම පිරිමි බකට් පාට්නර් කෙනෙක් හොයා ගන්න ඕන. ඒකයි සිරිත. තමට කැමති කෙනෙක්ව තෝර ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් දහම් තෝරගෙන තිබුණේ ආන්යව. තමන් කැමතියි කියලා කෙනෙක් නොහිටි නිසා ආන්යාට ඒකට කැමති වෙන්න සිද්ධ වුණා. ආන්යා අඳුනගත්තු විදිහට දහම් කියන්නේ පොඩ්ඩක් විතර නාහෙට අහන්නේ නැති කෙනෙක් වුනත්, හිත හොඳ පුද්ගලයෙක්.
"හොඳින් ඉන්නවා දහම්. ඔයාට කොහොමද?"
"වරදක් නෑ. හරි...මම කෑම අරන් එන්නම්කෝ"
ආන්යා ලඟ නැවතුණ දහම් ආයෙම කොල්ලෝ රැල දිහාට දුවලා ගියා.
දහම්ට තිබුණේ ටිකක් විතර අපිලිවෙල කැරලි හිසකෙස් එක්ක, කෙට්ටු දිග මුහුණක්. ඝණ ඇහිබැමයි, තියුණු ඇස් දෙකයි ඒ මුහුණට එකතු කලේ දඩබ්බර ස්වභාවයක්. ඒකටම හරියන්න ඔහුට තුර කටකුත්, දඩබ්බර හැසිරීමකුත් තිබුණා. දහම්ගේ තාත්තා රජයේ ආයතනයක උසස් නිලධාරියෙක්, අම්මා ගුරුවරියක්. දහම්ට හිටියේ එකම එක අක්කා කෙනෙක් විතරයි. දහම් පදිංචි වෙලා හිටියේ මහනුවර අනිවත්ත කියන දිහා. ඒ කොහේද කියලා ආන්යා නම් දැනං හිටියේ නෑ. මේ පවුලේ විස්තර ආන්යා කටපාඩමින් දැනගෙන හිටියේ රැග් කාලේ දහස් වතාවක් ඔය ටික ජේෂ්ඨයන්ට කියන්න වුණ නිසාමයි.
"අද උදේම තියෙන්නේ ප්ලාන්ට් ෆිසියොලොජි" සිසු දැන්වීම් පුවරුවේ දාලා තිබ්බ කාල සටහන බලපු අංජලී කිව්වා.
"දැන් ඕක ලිය ලිය ඉන්න වෙලාවක් නෑ. යමු. නැත්තම් පස්සෙ තමා වාඩි වෙන්න වෙන්නේ" රශ්මි කිව්වේ පඩිපෙලදිහාට ආන්යවත් ඇදගෙන යන ගමන්. දේශණ පැවැත්වුණේ බෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ, පළමු මහලේ දේශණ ශාලාවේ. ඒක පිහිටලා තිබුණේ පශූ වෛද්‍ය පීඨයට කෙලින්ම මුහුණට මුහුණලා ඉස්සරහින්. මේ දෙපාර්තමේන්තුව ඉස්සරහ ඉන්දියන් විලෝ කියන උස ගස් වර්ගය වවල තිබුණා. ඇතුල් වෙන ගේට්ටුව ලඟම තිබුණේ ට්‍රැවලර්ස් පාම් කියන ශාක වර්ගයෙන් එකක්.
කිව්වත් වගේම ආන්යලා යනකොට ගොඩාක් අය දේශණ ශාලාවට ඇවිත්. මේ හතර දෙනාම මැද පෙලකින් වාඩි වුණා. ටිකකින් දේශණය පටන් ගන්න මැඩම් ආවා. එතනින් පටන් ගත්තු කාර්යබහුල දවස විදුලි වේගෙන් ගෙවිලා ගිය කෑම පැයකින් පස්සෙත් හවස පහ වෙනකල්ම ඇදුනා. සම්මානි දේශණ වලට ආවේ උදේ දහයට. දවස අවසානේ යාලුවෝ පස් කට්ටුව දේශණ ශාලාවෙන් එලියට බැස්සේ හොඳටම හෙම්බත් වෙලා.
"මුලු දවසම ලෙක්චර්ස් තිබ්බාම එපා වෙනවා..." කකුල් ඇද ඇද පඩිපෙල බැහැපු පාරමී කිව්වා. අංජලී නම් ඒ වෙනකොටත් කාල සටහන ලියාගන්න පහලටැ දුවලා. ඒතන එකම සෙනග පොදියක්.
"අංජු උසයි නේ ලියාගෙන එයි. අපි එලියෙන් ඉමු" රශ්මි කිව්වා.
"මං හිතන්නේ අනික් දවස් වල ප්‍රැක්ටිකල් තියේවි හවස. මට අක්කා කෙනෙක් කිව්වා සිකුරාදට සමහර වෙලාවට ෆීල්ඩ් ට්‍රිප් තියෙනවලු" සම්මානි කිව්වේ අතේ ගෙනාපු ෆයිල් එක බෑග් එකට ඔබා ගන්න ගමන්.
මේ අතරේ දහම් දේශණ ශාලාවෙන් එලියට එනවා ආන්යා දැක්කා.
"මොකෝ මෙතන යන්නේ නැද්ද?" දහම් ඇහුවේ යන ගමන්මයි.
"අංජු කාලසටහන ලියාගෙන එන්න ගියා. එනකල් ඉන්නේ" ආන්යා උත්තර දුන්නා.
"අපි යනෝ එහෙනම්...කට්ටියටම කිව්වේ" අතකුත් වනාගෙන සේරටම කියලා දහම් ගේට්ටුව පැත්තට යනවා ආන්යා බලාගෙන හිටියා.
"යන්නේ නැතෙයි?" ආන්යා හැරිලා බලද්දි පාරමීලා එක්ක කතාකරමින් හිටියේ තිලාන්. ඔහු පාරමීලා එක්කම කෝච්චියේ ආව ගිය, මතර ඉඳන් ආපු කෙනෙක්. ඔහුට හිනාවක් පාපු ආන්යා පාරමීලට කතා කර ගන්න දීලා අහස දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා. අහසේ කැටි වලාකුලු පාවෙවී යනවා, හරියට රෑ වෙන්න කලින් ගෙදර යන්න හදිසියෙන් වගේ. ආන්යට ගෙදර මතක් වුණෙත්, ආර්යන් සිහියට ආවෙත් එකටමයි. ඊයේ දැනෙමින් තිබුණ හිතේ අමාරුව දැන් බොහෝදුරට තුනී වෙලයි තිබුණේ. ආර්යන්ටනම් තමන්ව අමතක වෙලත් ඇති කියලා ආන්යට හිතුණා.
"යං, මං ලියාගෙන ආවා. ප්‍රැක්ටිකල් ගෲප් ටිකත් දාලා තිබුණා. ඒකත් ලියා ගත්තා. යං" අංජලී ඇවිත්.
"රේල්පාර පැනලා විජේවර්නේ ලඟින් බස් එකට නගිමු නේද? පයින් නම් යන්න බෑ" සම්මානි ජෝජනා කලාම් හැමෝම කැමති වුණේ එක පයින්.
"අපි එහෙනම් යනෝ තිලාන්"

'ආන්යා...ඔයාගේ ෆෝන් එක වදිනවෝ" ඉස්සරහ රෙදි වනමින් උන්නු ආන්යට ඇහුණා රශ්මි කෑගහනවා කාමරේ ඉඳන්. ආන්යා නාලා, රෙදි හෝදලා ඉවර වුනා විතරයි.

රශ්මි ෆෝන් එක දෙද්දි ඒකේ සටහන් වෙලා තිබ්බේ ගෙදර නොම්මරේ. අම්මට නිතරම ආන්යව මතක් වෙන වග ඈ දැනගෙන හිටියා. අම්මා කතාකරලා කිව්වේ ගෙදර පාලුව තාමත් මැකුණේ නෑ කියලයි. අභී එක පාරක් ඇවිත් ගිය වගත් අම්මා කිව්වා. ඒත් ආර්යන් ගැන නම් මොනවත් කිව්වේ නෑ.

"අම්මා අනේරාධාට පොඩ්ඩක් කතා කරන්නකෝ" ආන්යා කිව්වේ අඩු ගාණේ රාධාගෙන්වත් විස්තරයක් අහගන්න බලාපොරොත්තුවෙන්.

"අර මොකටද?"

"නිකං කතා කරන්නනේ"

"ඉන්නකෝ, ඉන්නකෝ එහෙනම්"

මොහොතක් නිහඬව ගෙවිලා ගියා.

"බේබි නෝනා..." එහාපැත්තෙන් රාධාගේ කටහඬ ඇහුණා.

"රාධා කොහොමද?"

"හොඳින් ඉන්නවා අප්පා. බේබිලා නැතුව ගෙදර පාලුවේ බෑ"

"අපි මේ සති අන්තේ එන්න බලන්නම් කෝ. ඒක නෙවෙයි, අම්ම ඔය ලඟක ඉන්නවද?" ආන්යා ඇහුවේ රහසින් වගේ.

"ඉස්සරහ පැත්තට ගියායි බේබි?"

"හොඳයි. රාධා, ඔයා ඊට පස්සේ ආර්යන් මහත්තයව දැක්කේ නැද්ද?"

රාධා යන්තමට හිනාවුන වග ආන්යට දැනුනා.

"ඒක අහන්න නේ මේ කතා කරලා තියෙන්නේ. අපට ආදරේට නෙවෙයි"

"කියන්නකෝ විහිලු නොකර"

"නෑ බේබි. අභි මහත්තයා නම් ඇවිත් ගියා එක පාරක්. ලොකු දොරේව නම් දැක්කේ නෑ. හැබයි වානි කිව්ව මහත්තයා බංගලාවේ ඉන්න්වා දැක්ක කියල"

"ම්ම්...ඇත්තද?" ආන්යට සුසුමක් හෙලුනේ ඉබේටම.

"ලොකු නෝනා එනවා බේබි"

"හරි එහෙනම් මම තියනවා කියන්න"

ආන්යා කාමරේට ගියේ හිතේ නොසතුටින්. ආර්යන් මේ තරම් ඇගේ හිත නොසන්සුන් කරන්නේ ඇයි?

"මේ පාර අපි හතරදෙනා ප්‍රැක්ටිකල් ගෲප් හතරක. පාරමියි, සම්මානියි විතරයි එක ගෲප් එකේ" ඇඳ ඩ උක්කුටියෙන් වාඩි වෙලා කොලයක් දිහා බලාගෙන හිටපු අංජලී නිවේදනය කලා.

"මොනා කරන්නද?"

"සිංදුවක් වත් අහන්න" හෙම කියපු රශ්මි රේඩියෝව ක්‍රියාත්ක කලා

ආන්යා කොටුදැල් ගහපු ජනේලේ ලඟට ගිහින් හිට ගත්තා. කාමරේ ලයිට් එලියෙන් කොටුවක් වගේ එලිවුණ කොසක ගස් කොලන් කලු සෙවනැලි වගේ ඈට පෙනුනා. දවල්ට නම්  මේ ගස් අතරින් මහවැලිය ගලනවා පෙනෙනවා.

'කවදාද ආයේ එන්නේ...හමු වන්න මා ඉතින්...දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්...'

ශර්ලි විජයන්තයන්ගේ ගීතවත් හඬ ආන්යට ඇහුණේ තමන්ගේ හිත පතුලෙන් එනවා වගේ. ඇගේ හිතට පිවිසුනේ පුංචි වේදනාවක් මුසු, පාලු, බර හැඟීමක්. ඈ සුසුමක් හෙලුවා ආයෙමත්. ආර්යන් තමන් ගැනත් එහෙම හිතනවා ඇත්ද කියලා ඈ කල්පනා කලා. ෆෝන් එකේ එස් එම් එස් නාදේට ඇගේ දැහැන බිඳුනා. පුදුමෙකට වගේ ඒක එවලා තිබ්බේ අභි.

"අයි ස්ටිල් මිස් යූ" ඔහු සටහන්  කරලා එවලා තිබ්බා. මේ සති අන්තේ ගෙදර යන්න අනුහස් කැමති වේවා කියලා ආන්යා එවෙලේ ප්‍රාර්ථනා කලා.

 

6 comments:

  1. ලස්සනට ගලාගෙන යන කතාවක්. අද තමයි මේ පැත්තට ගොඩ වැදුනෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහෝදරයා...ආයෙ ආයෙ ඇවිත් මේ කතාව කියවාවි කියලා හිතනවා..

      Delete
  2. අභි මොකටද අන්යට මෙච්චර SMS එවන්නනේ..හ්ම්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නේද? මොකද..............දන්නෑ. ඉස්සරහදි බලමු නේ? ;)

      Delete
  3. meke nam thun kon premayak wenne wage yanne :P ohoma yanne akki lasana kathawe ane :)

    ReplyDelete
    Replies
    1. සමකෝණී පංචාශ්‍රයක් වෙන්නත් පුලුවන් නේද? පස් කොන් ප්‍රේමයක්!

      Delete