සිංහල
අලුත් අවුරුද්ද ලං වීගෙන එන හන්දා, අපේ ගෙදර මේ දවස් වල තිබුණේ එක්තරා විදියක කලබල ස්වභාවයක්. කැවිලි පෙවිලි හදන්න අම්මයි, අහල පහල නැන්දලා කීප දෙනෙකුයි පුරුදු විදියට උදේ හවා එකතු වෙලා උන්නා. මට ඉතිං තිබුණේ අම්මට සයිඩ් සපෝට් එකක් දෙන ගමන් හදන දේවල් පොඩ්ඩක් රහ බලන්නයි, ගෙදර අනික් අස් පස් කරන වැඩ ටික කරන්නයි තමයි. සෙනුරි අක්කා ගිය අවුරුද්දේ අලුත් තිර රෙදි දෙවල් දෙක තුනටම මහලා තිබුණ නිසා මේ අවුරුද්දේ අපට අමුතුවෙන් ඒවා මහන්න ඕන වුණේ නැහැ.
"දෝනී..."
අම්මා එලියේ හදලා තිබුණ තාවකාලික කුස්සියේ ඉඳන් මට කතා කරද්දි මම හිටියේ සාලේ අස් කරන ගමන් පුටු සැටිය වෙන පැත්තකට හරවන ක්‍රමයක් ගැන හිත හිත.
"එනවා
අම්මා" මම වැඩේ පැත්තක තියලා ඒ දිහාවට ගියා ඊට පස්සේ.
"දෝණි,
හවස සෙනුරි එනවා කොකිස් බදින්න. අපේ අච්චුව සූරි නැන්දලගේ ගෙදර. ඔයාට බැරිද පොඩ්ඩක් දුවලා ගිහින් ඒක අරන් එන්න" අම්මා කැවුම් බදින ලිපෙන් එන දුම අතින් අයින් කරන ගමන් මගෙන් ඇහුවා.
ඒක
ඇහුවම මගේ හිත ඉපිලුණේ එතකොට මට භූපවත් බලන්න පුලුවන් වෙන හන්දා.
"හා
අම්මා"
"හැබැයි
කයිය ගගහා නො ඉඳ ඉක්මණට එන්න ඕන හොඳේ. තව ගෙදර අස් පස් කරන එකත් තියෙනවනේ" අම්මා කිව්වේ මම එක පිම්මේ ආපහු එන්න හැරෙද්දි. මම හිනාවක් නගාගෙනම කාමරේට දිව්වේ වෙන ගවුමක් ඇඳගන්න.
මම
ඇඳුම මාරු කරගෙන එලියට බහිද්දි, තාත්තා කන්තෝරු කාමරේ ඉඳලා එලියට ආවා ගමේ වෙද මහත්තයත් එක්ක. වෙදකම් වලට වගේම ගුරුකම් වලටත් දක්ෂයි කියලා ප්‍රසිද්ධ වෙලා උන්නු නිසාම අපි එයාට කිව්වේ වෙදගුරු ආතා කියලා.
"හා...කොහෙද මේ දෝනි ඒ පාර යන්නේ?" මාව දැකපු තාත්තා ඇහුවා.
"සූරි
මාමලගේ ගෙදර, කොකිස් අච්චුව ගේන්න" මම එහෙම කියාගෙනම එන්න ආවා.
කේතකීලගේ
ගේ ලං වෙනකොටම මම දැනගත්තා භූප ඉන්නේ ගෙදර වග. මොකද ගෙදරට හැරෙන වංගුව ලඟදිම මට ඔහු වයලීනය වාදනය කරන හඬ ඇහෙන්න වුණ නිසා. හිතේ පිරුණේ සතුටක් එක්කම භූප ගැන ලොකු ආදරයක්. ඔහු වාදනය කරමින් උන්නේ, මල් ලියකම් රැදි කියන වික්ටර් රත්නායකයන්ගේ මම ගොඩක්ම ආස කරපු සිංදුවක්. ඒ හඬ අහගෙනම මම මිදුලට යද්දි භූප තව යාලුවෝ දෙන්නෙකුත් එක්ක සාලේ
වාඩි වෙලා උන්නු වග. තව ලං වෙද්දියි මම දැක්කේ එතන උන්නේ පුබුදු අයියයි, කුමාරසිරියි
කියලා. මම ඒ අයව දකිද්දිම වගේ එයාලත් මාව දැක්කා. භූපගේ වාදනෙත් නැවතුනා. මම ගෙට ගොඩ
වුණේ තුන් දෙනාටම හිනාවක් පාගෙන.
"සංගීත
සාජ්ජයක්ද?" මම ඇහුවේ භූප දිහා බලලා.
"අයියෝ
නෑ නංඟි අපි මේ නිකං ආපු ගමන්. කොහොමද ඉතිං තොරතුරු? අයියා හෙම ආවේ නෑ තව?"
මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ පුබුදු අයියා.
"නෑ
අයියා. එයාට නිවාඩු දොලහලු. එදා තමයි එන්නේ" මම කිව්වා.
"මේ
පාර නම් අවුරුදු සරු වෙයි නේ? අයියත් දැන් බර කාරයා වෙලා නෙ" කුමාරසිරි කිව්වා.
"අනේ
මන්දා ඒක නම්. අපිට ඉතිං කොහොමත් අවුරුදු සරුයි. අවුරුද්ද කියන්නේ ඉතිං සරු කාලේ තමා"
මම කිව්වා.
"ඒක
ඇත්ත" කුමාරසිරි හිස වැනුවා.
"අපි
මේ ඔයාව මතක් කර කර තමා හිටියෙත්, නේද මචං? ඒ පාර පුබුදු අමුතු විදියට කිව්වේ භූප දිහාත්
බලලා.
"මාව?
ඇයි ඒ?"
"නෑ
මේ, පාටිය දෙන්නේ කවද්ද කියලා අහන්න" පුබුදු කිව්වේ මා දිහා නොබලා.
"පාටිය?"
"මේ
පුබුදුවෝ, කට වහගෙන ඉන්නවද?" භූප ඔන්න මුලින්ම කතා කලේ එවෙලේ.
"කට
වහගෙන කොහොමද? මෙච්චර මේ සුබ කටයුත්තක් සිද්ධ වෙලා තියෙද්දි. නේද නංඟි? ඉතිං කවද්ද
අපට පාටිය දෙන්නේ?" පුබුදු ඒ පාර මගෙන් ඇහුවා.
"මොන
පාටියද අනේ?"
"ඔය
දෙන්නගේ පාටිය" පුබුදු කිව්වේ මාවයි භූපවයි පෙන්නන ගමන්.
"මේ
ගොනෝ පුලුවන් නම් තව හයියෙන් කියපන් අපේ අම්මටත් ඇහෙන්න. දුලාරා...අම්මලා ඉන්නවා කුස්සියේ
ඔයා යන්න" භූප මට කිව්වේ පුබුදුගේ උරහිසට අනින ගමන්.
"ඕක
ඉතිං කවදා හරි දැනගන්න දෙයක් නේ බං. අද දැනගත්තම මොකෝ. අනික ගෙවල් වල අය නොදන්න්වට
ගමේ නං ගොඩක් අය මේක දන්නවා පුතේ"
පුබුදු
එහෙම කිව්වාම නම් මගේ හිත ටිකක් සැලුණා. මට භූප දිහා බැලුණේ ඉබේටම.
"ඔබ
නොදනී මුලු ගමම දනී" කුමාරසිරි කිව්වේ තාලෙට.
"මචං
වඳින්නම් කෑ නොගහා හිටපල්ලකෝ. දුලාරා ඔයා යන්න" භූප මට ආයෙම කිව්වා.
"පාටිය
නම් ඕන නගා" මම යද්දි පුබුදු කෑ ගැහුවා.
මම යන්තමට
හිනා වෙවීම, කුස්සියට යද්දි මට ඇහුනා පිටි කොටන සද්දේ.
"ආනේ
මේ දුලාරා නෙ. මම ඒත් බැලුවා කවිද කියලා. කොහෙද ළමයෝ මේ උදේ වරුවම දුං කකා දොදොල් හැඳි
ගෑවානෙ. දැන් ඇස් දෙකත් මොකද වෙලා. ඉතිං පුතේ හදිසියකට ආවද...?
මාව මුලින්ම
දැක්කේ පිටි හල හල උන්නු කේතකීගෙ අම්මා. කුස්සිය ඇතුලෙත් තවමත් දුම් නගිමින් තිබ්බේ
දර ලිපෙන් පත්තු කරලා තිබුණ නිසා වෙන්න ඇති.
"ඔව්
නැන්දේ අම්මා කිව්වා කොකිස් අච්චුව ඉල්ලගෙන එන්න කියලා" මම කිව්වේ කේතකීට හිනාවක්
පාන ගමන්. ඈ තමයි පිටි කොටමින් උන්නේ.
"හනේ
අම්මපා මට ඒක අමතකම වුණා නෙව. මම ඊයේ රෑ කොකිස් ටික බැදලා අද උදේ මේක යවන්න හිටියේ"
ඒ පාර පිටි
හල එක නවත්තලා හැඳි රාකේ දිහාට යන ගමන් කේතකීලගේ අම්මා කිව්වා.
"අනේ
කමක් නෑ නැන්දේ. මං ටිකක් කොටලා දෙන්නද?" ඒ අතරේ මම හති හල හල උන්නු කේතකීගෙන්
මෝල් ගහ අතට ගන්න ගමන් කිව්වා. කේතකී එපා කිව්වේ නැහැ. පිටි කොටන එක ලේසි වැඩක් නෙවෙන
වග මම දැනගෙන උන්නේ ගෙදරත් ඕන තරම් මේ වැඩේ මටත් බර වෙලා තියෙන හන්දා.
"ඒ
පාර ඒ වැඩේ මේ ළමයට බාර දුන්නද? හිටින්නකෝ මම මේක පත්තරෙක ඔතලම දෙන්න" කොකිස්
අච්චුව අරගෙන සාලේ දිහාට යමින් උන්නු කේතකීලගේ අම්මා ඇහුවා.
"ගාණක්
නෑ නැන්දේ මම ටිකක් කොටලා දෙන්නම්"
"ඔව්
ඔව් ඉතිං, මොකද වෙන්නේ නෑනට ටිකක් උදව් කලාම. තමන්ගේ ගෙදරම වැඩ තමා මේවා" කේතකී
එහෙම කිව්වේ අම්මා ලඟ නැති බව දන්න නිසා.
"පව්
කියලා කොටලා දෙන්න ගත්තම, ලොකු කතා එපා නෑනෙ හොඳේ"
"හරි
හරී...මගේ හොඳ නෑනානෙ. ඔය ටික කොටලා දෙන්නකෝ" කේතකී මට බටර් ගානවා.
ඔය අතරේ
දොර රෙද්ද මෑත් කරගෙන කුස්සියට ආවේ භූප.
"හා...මෙයාවත්
අල්ලගත්තද වැඩට?" භූප ඇහුවේ මා දිහා බලන ගමන්.
"ඔව්
ඔව්. තමන්ගේ වැඩ නේ මේවා. කෝ ඔයාගේ අර පාප මිත්‍රයෝ දෙන්න ගියාද?" කේතකී ඇහුවා.
"නෑ
නෑ. අර ඉන්නේ. මම මේ තේ ටිකක් හදන්න ආවේ" භූප කිව්වා.
"ඔයා
ඉන්න මම හදන්නම්" කේතකී කිව්වා.
"කමක්
නෑ ඔයාලා පිටි කොටන්නකෝ. මම සේරටම හදන්නම්" භූප කිව්වා.
"එහෙනම්
හදන්නකෝ. පොඩි එකාගෙ ආසාවනේ. මම ඉක්මණට එන්නම් ඈ"
කේතකී එක
පාරටම එහෙම කියලා කුස්සියෙන් යන්න ගියාම මාව අන්ද මන්ද වුණා.
ඒ සැනෙන්
භූප උන්නේ මා ලඟ.
"අනේ
භූප අම්මා දැන් එයි" මම කිව්වේ ඔහුගෙන් ඈත් වෙන ගමන්.
"ඊයේ
කොහෙද ගියේ?" මම කියපු එක ඇහුණේ නෑ වගේ ඔහු ඇහුවා.
"ඊයේ?"
"ඔව්.
මම උදේ ආවා ඔයාලගෙ ගෙදර. කොකිස් අච්චුව ඉල්ලගෙන යන්න. කෝ ඔයා හිටියේ නෑනෙ"
"ආ..ඔව්.
මම සෙනුරි අක්කලත් එක්ක අවුරුද්දට බඩු ගේන්න ගියානෙ"
"හ්ම්...ඉතිං
ළමයා අලුත් ඇඳුම් එහෙම ගත්තද අවුරුද්දට?" භූප ඇහුවා.
"එකක්
දෙකක් ගත්තා. තව තාත්තා අරන් දුන්නේ නෑ. ලොකු අයියගේ තෑගි විතරයි" මම කිව්වේ හෙමින්
පිටි කොටන ගමන්.
"මේ
පාර පොඩි අයියගෙනුත් බරට තෑගි ලැබෙයි නේ?" භූප ඇහුවා.
"හ්ම්"
"දුලාරා?"
භූප ආයෙම මොනාදෝ අහන්න ලෑස්ති වුණා.
"ම්ම්?"
"දැන්
අර ළමයද පිටි කොටන්නේ?"
කේතකීගෙන්ද
කොහෙද එහෙම අහගෙන භූපගේ අම්මා එන හඬ ඇහුණ නිසා භූප ආපහු ඉක්මණට ලිප ලඟට ගියා.
කේතකීයි,
අම්මයි කුස්සියට ආවේ එකටම.
"දෙන්න
දුලා මම දැන් කොටන්නම්" කේතකී කිව්වා.
"කමක්
නෑ මට තව ටිකක් කොටතහැකි"
"ඉන්නකෝ
බලන්න. කෙටිලා ඇති වගේ. ඉන්න මම ඔය කොටපු ටික හලන්න" කේතකී කිව්වම මම කොටන එක
නැවැත්තුවා.
"මෙන්න
දුවේ. පුතා මොකද ඔය ලිප ලඟ කරන්නේ?" මම කොකිස් අච්චුව දෙන ගමන් සූරි නැන්දා භූපගෙන්
ඇහුවා.
"තේ
හදන්න අම්මා. අරුන් දෙන්නටත් එක්ක"
"කෝ
ඉන්න මම හදන්න"
"එපා
අම්මේ. අම්මා ඔය වැඩේ කරන්නකෝ. මං හදන්නම්"
ඒ පාර නැන්දා
ලඟ තිබුණ මේසේ උඩ වහලා තිබුණ තැටි වගයක් ඇර ඇර බලන්න ගත්තා. ඒ දොදොල් තැටි.
"මේ
පාර පොල් ටික නං පංකාදුයි. තවත් තෙල් උනනවා. දූට දෙන්නද දොදොල් කෑල්ලක් කන්න?"
නැන්දා ඇහුවේ මගෙන්.
මම හිනා
වුණා.
"තාච්චිය
හූරපුවා කන්න. ඒවා තමයි රස" කේතකී මට දොදොල් ඉතුරු බිතුරු පිඟානක් දික් කරන ගමන්
කිව්වා. කොහොමින් හරි මම අන්තිමේදි කුස්සියෙන් එලියට ආවේ භූප හදපු තේ එකත් අරන්, දොදොල්
ගොඩක් කාලා පොඩ්ඩක් මත් වෙලා වගෙත් එක්ක.
කට්ටියම
සාලෙට වෙලා තේ බීලා අහවර වෙද්දි, කේතකීලගේ අම්මා සාලෙට ආවේ පාරසලේකුත් අරන්.
"දුවේ
මේ කොස් ඇට කලු පොල් මාලුව අක්කත ගෙනිහින් දෙන්න. ඒ ළමය මේ වගේ කෑම වලට ආසයි නෙව"
"හා
නැන්දේ. මම එහෙම නම් ගිහින් එන්නම්" මම කිව්වේ නැන්දටයි, අනෙක් සේරමල්ලටයි එක්ක.
"හොඳයි
එහෙනං. වැඩත් ඇති නොවැ සෑහෙන්න. මාත් අර පිටි ටික කොටලා ඉවරයක් කරන්න ඕන"
නැන්දා
තාමත් දොරකඩ උන්නු නිසා මට භූපට මොන්වත්ම කියන්න බැරි වුණා. මම කලේ ඔහු දිහා බලලා පොඩි
හිනාවක් පාපු එක විතරයි. භූප මා දිහා බලාගෙන උන්නේ මුකුත් කියාගන්න බැරිව. මම ආයෙම
කේතකී දිහා බලලා ඈටත් හිනාවක් පාලා ආපහු ගෙදර එන්න මගට බැස්සා. තේ බිබී ඉඳලා වෙලා ගිය
නිසා, මම පය ඉක්මණ් කලේ අම්මගෙන් බැනුම් අහන්න වෙයි කියලා. මම එහෙම එන ආවත් හිතේ තිබුණේ නම් පොඩි දුකක්. මොකද
භූප එක්ක හරියට වචනයක්වත් කතා කර ගන්න බැරි වුණ හන්දා. ඔහුට කියන්න කොච්චර නම් දේවල්
මට තියෙනවද? ඒත් ඒ හැමදේම කියන්න ගමේදි නම් ආයෙම දවසක් තියේවි කියලා මට හිතුණේ නෑ.
අවුරුදු ලං වෙන්න වෙන්න වුණේ අපි දෙන්නට මුණගැහෙන්න තියෙන ඉඩත් නැති වෙන එක විතරයි.
භූපලාගේ
ගේ ලඟ වංගුව පහු වුණා විතරයි මගේ අතේ තිබුණ ෆෝන් එක නාද වෙන්න ගත්තා. Caller ID එක
දැක්කම මට හිනාවක් නැගුනේ ඉබේටම.
"භූප..."
"ඔයා
කොයි හරියෙද ඉන්නේ?" භූප එක පාරටම ඇහුවේ එහෙම.
"රත්නායක
ටීචර්ලගේ ගේ ලඟ වංගුව පහු වුණා විතරයි. ඇයි?" මම ඇහුවා.
"එහෙමද?
ආපු ගමන් කවුද වගේ යන්න ගියා නේ. වචනයක් වත් හරියට කතා කරගන්න බැරි වුණානෙ. මම දුවලා
එන්නද ඔයා පොඩ්ඩක් ඉන්නවනම්?" භූප ඇහුවේ දයාබරව.
භූප එක්ක
කතා කරන්නමට තිබුණ උවමනාව මෙච්චරයි කියලා කියන්න බැහැ. ඒත් ගමේ හුඟාක් අය පාර තොටේ
උන්නු හන්දත්, ගෙවල් වල ඉඳගෙන වුණත් බලා ඉන්න බැරි කමක් නැති හන්දත් මට හිතුණේ නෑ,
අපි ගමේදි ඒ තරම් කතා කරන්න ඕන කියලා. පුබුදු අයියා කියපු දේ නිසාත් මගේ හිත පොඩ්ඩක්
විතර බය වෙලයි තිබුණේ.
"අනේ
භූප දැන් එන්න ඕන නෑ. පාරේත් ගොඩාක් අය ඉන්නවා. මේ අවුරුදු කටේ තියලා ප්‍රශ්ණ ඇති කරගන්න
ඕන නෑනෙ. අනික පුබුදු අයියා කියපු එක දැක්කනේ" මම කිව්වා.
"ඌ
එහෙම කියන්න ඇත්තේ විහිලුවට. ඔයා ඒවත් ගණං ගන්නවද?"
"විහිලුවට
නෙවෙයි. එයා කිව්වේ ඇත්තට. මට එදා සෙනුරි අක්කත් ඔය ටික කිව්වනේ" මම කිව්වා.
"එහෙනම්
එන්න එපා, එහෙමද?"
"ඔව්
භූප. දැන් එන්න එපා"
"මට
ඔයාව අද දැක්කේ දවස් තුනකට පස්සේ. මට ගෙදර එන්නත් බෑ. කෝල් කරන්නවත්, මැසේජ් එවන්නත්
අවසර නෑ. අඩු ගාණේ මෙහෙමවත් එන්න එපාලු. කොහොමද දුලාරා මම මෙහෙම ඉන්නේ? මට ඔයාව හම්බවෙන්න
ඕන. කතා කරන්න ඕන. ඔයා දන්නෑ මගේ හිතේ තියෙන දුක" භූප කිව්වේ චෝදනාත්මකව වගේ.
මගේ හිතට
දැනුනේ දුකක්.
"ඔයා
හිතන්නේ මට එහෙම දුකක් නෑ කියලද?"
"මම
එහෙම හිතන්නෑ. ඒකනේ මම එන්නද ඇහුවේ"
"කවුරු
හරි දැක්කොත්?"
"මම
පුබුදුලා එක්කම එන්නම්. ඔයා පොඩ්ඩක් හෙමින් යන්න. අපි බයිසිකල් වල එන්නම්" භූප
කිව්වේ ආයෙම මුකුත්ම නාහා.
හිතේ පොඩි
බයක් තිබුණත්, භූපව මුණගැහෙන්න තිබුණ උවමනාව ඊට වැඩියෙන් මට දැනුනා.
"දුලා...ඒයි.
කොහෙද අනේ මේ කල්පනා කර කර යන්නේ"
මගේ ලඟින්
ඇහුණ කතහඬ හන්දා මම කල්පනවෙන් මිදිලා වට පිට බලද්දි, වංගුවේ මහන ගෙදර ඉඳලා මා දිහාට
එමින් උන්නේ අපේ ලොකු තාත්තගේ දුව මාලතී අක්කා. ඈව දැක්කාම අඩු වෙමින් තිබ්බ හිතේ බය
ආයෙම ඉස්මතු වුණා. 'දැන් මම කොහොමද භූප එක්ක කතා කරන්නේ?'
"ආනේ
ආක්කා. මම මේ කේතකීලගේ දිහා ගියා කොකිස් අච්චුව ගේන්න. ඔයා කොහෙද ගියේ?" මම ඒ
බව නොපෙන්නා කතා කරන්න උත්සාහ කලා.
"මමත්
මේ ආවා හැට්ට වගයක් මහන්න දෙන්න. දැන් අලුත් අවුරුද්දට ඉස්කෝලෙට ඇඳගෙන යන්න එපැයි"
මාලතී අක්කා කිව්වා.
දැන් ඉතිං
අපේ ගෙදර ලඟටම යනකල් ඇයත් එන නිසා මම උන්නේ කරගන්න දෙයක් නැතිව. දැන් භූප ආවාම මොනා
කියන්නද කියලා හිතාගන්නත් බැරුවයි මම උන්නේ.
"අපේ
ගෙදරත් තාම කැවිලි හදනවා. ඒක නෙවෙයි දුලිත මල්ලි කවද්ද එන්නේ?" මාලතී අක්කා වගේ
වගක් නැතිව කතා කරනවා ඒ අස්සේ.
"ආ...මේ...
දොලහනේ"
මම එහෙම
කියද්දිම වගේ මට ඇහුණා අපට පිටිපස්සෙන් බොරලු පාරේ බයිසිකල් වල සද්දේ. මම ඒ පැත්තවත්
නොබලා හිටියත්, මාලතී අක්කට නම් ඉබේටම ඒ දිහා බැලුණා. ඒ එක්කම වගේ ආපු බයිසිකල් තුන
අපි ලඟදි වේගය බාල කලා. මම යාන්තම් හිස හරවලා භූප දිහා බැලුවේ අසරණව.
"මේ
මෙයාලනේ. කොහෙද තුන්කට්ටුව මේ පිඹගෙන යන්නේ?" මාලතී අක්කා ඇහුවේ හිනාවෙලා.
"අපි
මේ අලුත් අවුරුද්දේ බයිසිකල් රේස් එකට පුරුදු වෙනවනේ" එහෙම කිව්වේ පුබුදු අයියා.
"ආ
ඇත්තද?" මාලතී අක්කා එහෙම අහද්දි කට්ටියම බයිසිකල් වලින් බැහැලා අපි එක්කම ඇවිදගෙන
එන්න පටන් ගත්තා.
"ඔයාලා
කොහෙද ගියේ?" කුමාරසිරි ඇහුවා.
"ඇයි
දුලාරා ගියේ ඔයාලාගෙ ගෙදර නේද?" මාලතී අක්කා එහෙම ඇහුවේ භූපගෙන්.
මම ඇහුණේ
නෑ වගේ අහක බලාගත්තා.
"ආ....ඇත්තද?
අපි මේ වෙන දිහාක ගිහින් එන ගමන් නේ. දුලාරා එහේ ආවද?" භූප ඇඟට පතට නොදැනී බොරු
කියද්දි මට හිනා යන්නත් ආවා.
"ඔව්"
පුබුදු
අයියයි, කුමාරසිරියි ෂේප් එකේ මාලතී අක්කව කතාවට අල්ලගෙන ඉස්සර වෙද්දි භූප, ගමන බලා
කරපු මා එක්ක ඒ අය්ගේ පිටිපස්සෙන් ඇවිදගෙන එන්න පටන් ගත්තා. ඒත් ඉතිං ලොකු දෙයක් කතා
කරන්න නම් අපට පුලුවන් වුණේ නෑ. මම භූප දිහා බලද්දි, ඔහුත් එක පාරටම මා දිහා බැලුවා.
වෙච්ච දේ ගැන හිතද්දි අපි දෙන්නටම හිනා ගියේ ඉබේටම.
"කිඹුලා
උදලු තමා අපට වැටෙන්නේ නේද?" භූප අහුවේ රහසින් වගේ.
"මොනා
කරන්නද?" මම කිව්වේ හිනා වෙවී.
"වෙලාව
තමයි. ඒත් කමක් නෑ, ඔය මූණ හරි බලාගෙන යන්න පුලුවන් නේ" භූප කිව්වා.
මම බිම
බලාගත්තා මට සියුම් ලැජ්ජාවක් දැනුන නිසා.
"මේ
දෙන්න මොනාද මේ පිටිපස්සට වෙලා කුටු කුටු ගාන්නේ?" මම නොහිතපු වෙලාවක මාලතී අක්කා
අපි දිහාට හැරුණා.
"ඔය
මොකක් හරි විශ්ව විද්‍යාලේ ප්‍රශ්ණයක් වෙන්න ඇති. ඊලඟට කොහේද ස්ට්‍රයික් කරන්නේ කියලා
වගේ..." කුමාරසිරි කිව්වා.
"ආ...උඹ
හිතන්නේ මේ අපට ඒවට වැඩිය වෙන වැඩ නෑ කියලද?" භූප ඇහුවේ අපි හිනා වෙද්දි.
"පේන්නේ
නම් එහෙම තමා"
"අනේ
මේ, නොදන්න ඒවා නොකියා හිටපං"
"හරි
හරි අපි දන්නෑ. උඹ විතරයි දන්නේ. ඔහොම යමුකෝ මල්ලි" කුමාරසිරි කිව්වේ පුබුදු අයියා
ආයෙම මාලතී අක්කව මොකක්දෝ කතාවකට ඈඳ ගනිද්දි.
"දුලාරා...මම
හන්දියෙන් නවතිනවා. දිගටම එන්න බෑනෙ. මම දන්නෑ මෙච්චර ලඟ ඉඳලත් අපිට දුරින් ඉන්න වෙද්දි
මොනා කරන්නද කියලා. බලමුකෝ මොකද කරන්නේ කියලා" භූප හෙමින් කිව්වේ සුසුමක් හෙලන
ගමන්.
මම ඔහු
දිහා බලාගෙන උන්නේ අද්දරෙන් වගේම අපි දෙන්න ගැනම උපන් දුකකින්.
"අපි
හම්බ නොවුණට, මම දන්නවා භූප ඔයා මට ගොඩක් ආදරෙයි කියලා. හැමවෙලේකම ඒක මගේ හිතට දැනෙනවා.
ඒ මට ඇති මේ දවස් ටික මෙහෙම ඉන්න. මමත් ඔයා ගැන හැම වෙලේකම හිතනවා. ඔයා ඒක දන්නවා නේද?
ඒ නිසා අපි කොහොමහරි ඉවසගෙන ඉමු. කැම්පස් ගියාම ආයෙම හම්බවෙන්න පුලුවන් නේ" මම
කිව්වා.
භූප මා
දිහා බලලා පුංචි හිනාවක් පාලා හිස වැනුවා.
"අද
එනවදෝ?" අපි දෙන්නා පහු කරලා ගොඩ දුරක් ගිහින් උන්නු මාලතී අක්කලා කෑ ගැහුවා.
ඒ නිසා අපි ගමන ඉක්මන් කලා. භූපලා හන්දියේදි අපෙන් සමු ගත්තට පස්සේ අපි දෙන්න හෙමි
හෙමින් ඉතුරු වංගු දෙක පහු කරලා ගෙදර එන්න ආවා.
"මොනවද
අප්පේ ඔය දෙන්නට ඔය හැටි කතා කරන්න තිබුණේ?" මාලතී අක්කා ඇහුවේ මම තාමත් භූප ගැනම
කල්පනා කරමින් ඉද්දි.
"ආ...නෑ.
එහෙම විශේෂ දෙයක් නෙවෙයි" මම ඕනවට එපාවට කිව්වා.
"නැත්තේ
මොකෝ? මම දැක්කා යන්න ලෑස්ති වෙලා කොල්ලා බලපු බැලිල්ල. විශේෂ නැත්තම් කෙල්ලෙක් දිහා
එහෙම බලන්න බෑ" මාලතී අක්කා කිව්වේ මගේ මූණ දිහාම බලාගෙන හිනා වෙවී.
"අනේ
ඔයාට පිස්සු" මම කිව්වේ නොරිස්සුමින්.
"මට
නම් පිස්සු නෑ. හැබැයි ඔය ගමේ ඔහොම තනියෙම කතා කර කර ඉන්න එක නම් එච්චර හොඳ නෑ නංඟෝ.
ඔව්වා අනාගතේටත් ප්‍රශ්ණ වෙන්න පුලුවන්. අපි කතා කරන්නේ හොඳ හිතින් තමයි, ඒත් දකින
අය එහෙම හිතන්නේ නෑනෙ" මාලතී අක්කා ඒ පාර කිව්වේ බැරෑරුම් විදියට.
"අනේ
අක්කේ, අපි පුංචි කාලේ ඉඳන්ම ගොඩක් එකතුයි නේ. ඔයා ඒක දන්න්වනේ. එහෙම නැතත් ඉතිං අපි
අතරේ මොනා හරි තිබ්බම කියමු. ඒත් ඉතිං මොකෝ?" මම ඇහුවාමා මාලතී අක්කා මා දිහා
බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.
"එතකොට
අර ගෙදරට ජීප් එකෙන් එන කොල්ලට මොකෝ වෙන්නේ?" ඈ ඇහුවා.
ඒ පාර ඇස්
ලොකු කර ගත්තේ මම.
"කවුද...
චේතිය යද? එයාට මොනා වෙනවද කියලා මම දන්නෑ. අනික ඔයා කොහොමද චේතිය ගැන එහෙම හිතන්නේ?
එයා එන්නේ මම නිසා නෙවෙයි නේ, එයා එන්නේ පොඩි අයියා නිසා"
"අපට
නම් ආරංචි එහෙම නෙවෙයි"
"එහෙනම්
කොහොමද?"
"අපට
ආරංචි එයා එන්නේ ඔයාව බලන්න කියලා"
"කවුද එහෙම කියන්නේ?" මම ඇහුවා.
"ඒක වැඩක් නෑනෙ කතාව ඇත්ත නම්"
"කවුරු කිව්වත් ඒක ඇත්ත නෙවෙයි. එච්චරයි" මම කිව්වා.
මේ වෙද්දි අපි දෙන්නා උන්නේ අපේ ගේ ලඟමයි. මාලතී අක්කා ආයෙම ඒ ගැන මුකුත් කිව්වේ නෑ. ඒත් එයා මොනා හිතුවද කියන්න මම දන්නේ නෑ.
"ගෙට ගොඩවෙලා යන්න එන්න" මම ඊට පස්සේ ගේ ලඟදි ඈට කිව්වා.
"දැන් බෑ යන්නම්. අම්මා බලාගෙන ඇති, හවස සිල්ලර බදින්න. ගිහිං එන්නම්කෝ ඈ"
මාලතී අක්කා ගෙට නෑවිදින්ම යන්න ගියේ මගේ හිතේ ප්‍රශ්ණ ගොඩක් ඉතුරු කරලා. මට හිතාගන්න බැරි වුණ එකම දේ, චේතිය ගැන මේ හැමෝම දන්නේ කොහොමද කියලයි, එයා මා නිසා එන වග දන්නේ කොහොමද කියලයි. ඒ අස්සේ භූප වෙනුවෙන් උපන්න දුකකුත් හිතේ තිබුන නිසා මගේ හිතේ තිබුණේ ලොකු බරක්.
මම කුස්සියට යද්දි සෙනුරි අක්කා ඇවිත්. අම්මා කොකිස් මිශ්‍රණය ලෑස්ති කරනවා.
"ඇයිළමයෝමෙච්චරවෙලා?" මාවදැක්ක ගමන්අම්මා ඇහුවා.
"තේ බොන්න ඉන්න කිව්වා අම්මා. දොදොල් හදලා තිබ්බ හන්දා මාත් හිටියා" මම කිව්වේ කොකිස් අච්චුව අම්මා අතට දෙන ගමන්.
"ආ...මේ පාරත්දොදොල් හදලද? අපිත් හදනවද කියලා බලන්න ඕන. දුවේ මම කොකිස් පිටි නම් දැන් හරි. දැන් බදින්න පටන් ගන්න නම් පුලුවන්" අම්මා කිව්වේ අපි දෙන්නටම.
සෙනුරි අක්කා මට මද හිනාවක් පාලා හිස වැනුවා "පටන්ගමු නේ?"
No comments:
Post a Comment