Wednesday, December 18, 2013

අවසරයි ලං වෙන්න: විසි නමවන කොටස


දාහත්වෙනිදා උදා වෙද්දි මම ගොඩක් නොසන්සුන් වෙලා, ගෙදර වැඩ ගැනත් වැඩි අවධානයක් නැතිව චේතිය දැන් එයි දැන් එයි කියලා මහා අපහසුවකින් උන්නත්, පුදුමෙකට චේතිය එදා ආවේ නෑ. හම්මේ මට දැනුන සැනසීම. ඒත් සැනසීම තිබුණේ තව දවසක් විතරයි. සිකුරාදා හවස තුනට විතර ගෙදර ඉස්සරහ වාහනයක් නවත්තපු සද්දෙට සාලේ අතු ගාමින් උන්නු මම ඉස්තෝප්පුවට ගියේ පුරුද්දට වගේ. මිදුලේ නවත්තලා තිබුණ චේතියගේ ජීප් එක දැක්ක ගමන්  මගේ හිත කඩා වැටුණා වගේ මට දැනුනා. චේතිය ජීප් එකෙන් එලියට බැස්සේ බෑග් ගොඩකුත් අත් දෙකෙන්ම අරගෙන. බැස්ස ගමන් ඔහු මාව දැක්කත්, මම නොනැවතී කුස්සියට දිව්වේ අම්මව හොයන්න.
"අම්මා....අම්මා...."
"මොකද ළමයෝ?" අම්මා කුස්සියේ දර ලිප ලඟ ඉඳලා දුම් අතරින් එලියට ආවා.
"චේතිය...." මම කිව්වේ එච්චරයි.
" ළමයා ඇවිත්ද? හත් දෙයියනේ... " අම්මා ටික කියා ගත්තේ තමන්ටමයි. "ඉතිං ඔයා ළමයට ගෙටවත් එන්න නොකියා මෙහාට දුවගෙන ආවද? ඔයා මහ පුදුම ළමයෙක්නේ. යන්න යන්න ගිහින් ළමයට ගෙට එන්න කියන්න. මම ටක් ගලා මේ අත් දෙක සෝදගෙන එන්නම්" අම්මා කිව්වා.
මම වෙන කරන්න දෙයක් නැති නිසා කකුල් අද්ද අද්ද යද්දි අම්මා ආයෙම මට කතා කලා.
"ඔය කොස්ස තියලා යන්න ළමයෝ"
මට ඒකත් අමතක වෙලයි තිබුණේ. පාර මම කොස්ස පැත්තක තියලා ගෙට යද්දි, චේතිය සාලෙට ඇවිත්. තාත්තාත් සාලේ උන්නා. මම එතනට ගියේ නොකැමැත්තෙන්. මාව දැකපු චේතිය හිනාවක් පෑවා.
"කොහෙද මාව දැක්ක ගමන් දිව්වේ?" චේතිය ඇහුවා.
"ඒක නේන්නම් මේ හරි ළමයෙක්නේ" තාත්තත් කිව්වා.
"මම...අම්මට කියන්න දිව්වේ" මම කිව්වේ බිම බලාගෙන.
"...පුතේ කොහොමද ඉතිං? කිව්වට මම හිතුවේ නෑ කලින්ම ඒවි කියලා" අම්ම්මා කිව්වේ සුහද විදියට.
චේතිය අම්මට වැඳලා අතේ තිබුණ බඩු ටිකත් අතට දීලා කතා කලා.
"ඔව් මමත් හිතුවට වඩා කලින් එන්න වුණා අපේ මේ ලොකු අප්පච්චිත් අඹේපුස්සට ආපු නිසා. දුලිත මට කිව්වේ එයා එද්දි කොහොමත් හත අට වෙයි කියලා"
චේතිය එහෙම කියද්දි මම කල්පනා කලේ මේ කිසි දෙයක් මම නොදැන උන්නේ කොහොමද කියලා. අයියා අද එන වග වත් මම දැනගෙන උන්නේ නෑ.
"බලාගෙන යද්දි මම මේ ගෙදර වෙන කිසිම දෙයක් දන්නෑනෙ" චේතිය මූන කට හෝදගන්න ගිය වෙලේ කුස්සියට වෙලා උන්නු මම අම්මට කිව්වේ ටිකක් නොසතුටු සිතින්.
"දැන් ඔය මොකක් ගැනද කියන්නේ. අර ළමයා ආපු එක ගැනද?" අම්මා ඇහුවේ චේතියට තේ හදමින් උන්නු එක පොඩ්ඩකට නවත්තලා මා දිහා බලන ගමන්.
"ඒක ගැනයි, අයියා අද එන එක ගැනයි ඔක්කොම ගැන තමා" මම කිව්වා.
"වෙනදත් අයියා ඔයාට කිය කිය ගෙදර ආවේ? මේ ළමයා අද එනවා කියපු හන්දා අයියා ඊයේ කතා කරලා මට කිව්වේ එන වග"
අම්මා කිව්වාම මම මුකුත් කියන්න ගියේ නෑ.
"ඔයා දැන් ටික දවසක ඉඳලා හරිම අමුතුයි දෝණි. වෙලාවකට කනවත් ඇහෙන්නෑ. මම දන්නෑ ඔයාට මොනා වීගෙන එනවද කියලා" අම්මා පාර කිව්වා.
"මට මොනා වෙන්නද අම්මේ?" මම කිව්වේ උන්නු තැනින් සාලේ දිහාට එන්න එන ගමන්.
"ඔය තේ මේසෙට  කැවිලි තියලා පොඩ්ඩක් හදන්න" අම්මා එද්දි මට කිව්වා.
***
"අපි දැනට තේ ටිකක් බොමු. මම ඉක්මණින් රෑ කෑම හදන්නම්" අම්මා චේතියට තේ පිලිගන්වන ගමන් කිව්වා. තාත්තත් උන්නේ තේ මේසෙට වාඩි වෙලා.
"කොහොමද ඉතිං පුතේ, අම්මලා හෙම සනීපෙන් ඉන්නවද?" එහෙම ඇහුවේ තාත්තා.
"ඔව් අන්කල්, වරදක් නෑ හොඳින් ඉන්නවා. මේ පාර අලුත් අවුරුද්දේ දළදා මාලිගාවට කිරි ආහාර පූජාව කලේ අපි. ඉතිං අම්මට මේ පාර හරි සතුටුයි" චේතිය කිව්වා.
"හපෙ අප්පේ ඒක මොන තරම් නම් පිනක්ද? දවස් වල අපි ගමේ ඉන්දැද්දි නම් අලුත් අවුරුද්දට අපි ඉස් ඉස්සෙල්ලම වඳින්න එන්නෙ මාලිගාව. මෙහේ ආවත් හරි යන්න වුණේ කී පාරද?" අම්මා කිව්වා.
"ඇන්ටිට හිතේ හැටියට දලදා වඳින්න මම ඉඩ හදලා දෙන්නම්කෝ. මම මේ පාර ගිය වෙලේ ඉඩමක් බැලුවා ගේකුත් එක්කම සංඝරාජේ පැත්තේ. කියන්නේ අම්පිටියේ පාරත් එක්කම උඩහින් තියෙන පැත්ත. එතනට මාලිගාව ලස්සනට පේනවා" චේතිය කිව්වා.
"ඒක කොච්චර එකක්ද?" අම්මා කිව්වා.
කරන්න දෙයක් නැති නිසයි, එතනින් යන්නත් බැරි නිසයි මම සාලේ දොර උලුවස්සට හේත්තු වෙලා මේ සේරම අහගෙන උන්නේ උදාසීන විදියට. අතරේ කොයි මොහොතේ හරි චේතිය මාව තනියෙම අල්ලගන්න වග දන්න නිසා. නිසා ඉන්න ගමන් මම කලේ හෙමිහිට කේතකීට මැසේජ් එකක් ගහපු එක. Troubleplease come quickly
 තේ බොමින් ඉන්න අතරේ තාත්ත හම්බවෙන්න ගමේ කවුදෝ ආපු හන්දා, තාත්තා කන්තෝරු කාමරේට යන්න ගියා. අම්මත් බීපු තේ කෝප්ප හෙම අරගෙන කුස්සියට ගියේ මට මේසේ අස් කරන්න කියාගෙන. ඉතිං නිසා අන්තිමේදි කෑම කාමරේ ඉතුරු වුනේ මමයි, චේතියයි විතරයි.
"ආයෙමත් කොහේ හරි පැනලා දුවන්නද කල්පනාව?" චේතිය ඇහුවේ තවමත් මේසේ ලඟම වාඩි වෙලා ඉන්න ගමන්. මම ඒකට මුකුත් කියන්න ගියේ නෑ හිණාවුණා මිසක.
"සඳුදා ලෙක්චර්ස් පටන් ගන්නවලු නේද?" ඊට පස්සේ චේතිය ඇහුවා.
"ඔව්" මම කිව්වේ ඉතිරිවුණ කෑම අදාල බාස්කට් වලට දාන ගමන්.
"මේ කොණ්ඩ කැවුම් නම් රසයි. ඔයාද හැදුවේ" පාර ලඟ තිබුණ පිඟානෙන් කැවුමක් අරගෙන චේතිය ඇහුවා.
"අනේ නෑ. ඔය ආච්චි අම්මලගේ ගෙදර ඒවා" මම කිව්වා.
"ඔයා දන්නැද්ද හදන්න?" චේතිය ඇහුවේ හිනාවෙලා.
"හරියටම දන්නේ නෑ"
"ඉගෙන ගන්න ඉගෙන ගන්න.පස්සට ඕවා ප්‍රයෝජන්වත් වෙයි" චේතිය කිව්වාම ආයෙමත් මම හිනා වෙලා ඉවසුවා.
"අයියත් දැන් කොහේ හරි වැඩද?"
කේතකී එනකල් කාලේ කන්න ඕන නිසා මම ඇහුවා. නැත්තම් මේ මාව තනි කරගත්තු වෙලේ වෙන මොනා හරි අහයි කියලා මම බයේ උන්නේ.
"ඔව්.ඔව්. දැන් නෙවෙයි ඉස්සරත් මම වැඩ තම. අපට antique items, බතික් රෙදියි විකුණන කඩ දෙකක් තියෙනවා. නුවරයි, කොලඹයි. දෙකේ තමා ඉතිං මගේ වැඩ. එහේ යනවා මෙහේ යන්වා"
"ඒවා විකුණන්නේ touristලට වෙන්න ඇති නේ?"
"හ්ම්... ගොඩක්ම අයට තමා. හැබැයි ඒවා ගන්න localsලත් ඉන්නවා"
"ඉතිං එතකොට ඔයා කරපු IT degree එක?"
"මෙහෙමයි...මගේ ප්ලෑනක් තියෙනවා Software development firm එකක් මමම පටන් ගන්න. තාම base වැඩ තමා කෙරෙන්නේ එකෑ. ඉතිං එතකල් මේක කරනවා" චේතිය කිව්වා.
මම හොරැහින් පාරා දිහාත් බල බල ඔහු කියන දේවල් අහගෙන හිටියා.
"ඒක හොඳයි" මම කිව්වේ වැඩි අවධානයක් නැතිව.
දැන් අස් කරන්න ඉතිරි වෙලා තිබුණේ චේතිය ලඟ තිබුණ කැවුම් පිඟාන විතරයි. හිත තාමත් තිබුණේ නොසන්සුන්වෙලා වුණත් මම වෙනසක් නොපෙන්නා එතනට ගියේ අස් කිරිල්ල ඉවර කරන්න ඕන නිසාමයි.
"අයියා තව කැවුමක් කන්න" මම පිඟාන අතට ගත්තේ එහෙම කියාගෙන.
"අනේ එපා ඇති ඇති"
ඔහු වතුර වීදුරුවක් ගන්න නැවෙන වෙලේ මම පිඟානත් අරගෙන ඇවිත් මේසේ අස් කරලා ඉවර කලා. 'කේතකී කොහේ ගිහින්ද මන්දා තාම නෑ' අතරේ මම එලිය බලන ගමන් හිතුවා. සමහරවිට ඇත්තටම කේතකී කොහේ හරි ගිහිල්ලා නම්...එයා එන එකක් නෑ. එහෙම වුණොත් මොනාද කරන්නේ කියලා හිත හිත ඉන්න අතරෙදි චේතිය ආයෙම මට කතා කලා.
"අස් කරලා ඉවර නිසා යමුද පොඩ්ඩක් එලියට අපි?"
චේතිය ඇහුවම මට එක පාරටම කියා ගන්න දෙයක් නැති වුණා. නිසා අන්තිමේදි මට වුණේ ඔහුගේ කීමට අවනත වෙන්න.
"දැන් මල් ගොඩක් පිපිලා නේ?" චේතිය අහුවේ මිදුලට බහින ගමන්.
"ඔව්. මේ මාසේ ඉතිං මල් පිපෙන මාසෙනේ" මම කිව්වේ ආයෙම පාරට එබෙන ගමන්.
තාත්තා මුණගැහෙන්න ඇවිල්ල උන්නු දෙන්නා තාමත් නොගිය නිසා, තාත්තත් තාම උන්නේ කන්තෝරු කාමරේ ඇතුලේ.
"ගස් වල විතරක් නෙවෙයි, සමහරුන්ගේ හිත් වලත් මේ කාලෙට මල් පූදිනවා දුලාරා" චේතිය එහෙම කියද්දි මට හීන් දාඩිය දාන්න ගත්තා. මම මුනිවත් රැකගෙන උන්නා.
"ඔයා මට අදවත් වෙලාවක් දෙනවද මේක කියන්න?" චේතිය ඇහුවාම මම උන්නේ අහක බලාගෙන.
"මොනවද?" දන්නෑ වගේ මම ඇහුවේ හෙමින්.
"මට හිතෙනවා දුලාරා මාව මගාරින්න හදනවා කියලා හිතා මතාම" ඔහු ඊලඟට කිව්වා.
මම ලඟ තිබුණ සේපාලිකා ගහේ කොලයක් පොඩි කර කර අහගන උන්නා. 'ඒකේ තේරුම මම අකමැතියි කියන එක මේ මනුස්සයට නොතේරෙන හැටි'
"එහෙම දෙයක් නෑ" මම ඒක තේරුම් කරලා දෙන්න උත්සාහ නොකර කිව්වා.
"දුලාරා....ඔයා එක්ක මෙහෙම කතා කරන්න අවස්ථාවක් ගන්න මං කොච්චර බලාගෙන හිටියද? චේතිය කතාව පටන් ගත්තේ එහෙම.
මම ලොකු හුස්මක් ගත්තේ හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්න.
"මට වහෙන් ඔරෝ කතා කරන්න ඕන නෑ දුලාරා. මම කෙටියෙන්ම කියන්නම්. දැන් කාලේක ඉඳන් මගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවා. ඒක මේ ජෝක් එකකටවත්, Time pass කරන්නවත් හිතාගෙන ඇති වුණ දෙයක් නෙවෙයි. මම මේ තරම් කල් බලාගෙන හිටියේ, ඔයා ඉගෙනීමේ මොකක් හරි ස්ථාවර තැනකට එනකලුයි, මගේ ඉගෙනීමේ වැඩ ඉවරයක් වෙනකලුයි කියලා හිතලා. දැන් සේරම ගොඩාක් දුරට හරි. නිසයි මම මේක කියන්න හිතුවේ.
එකම දේ...ඔයා මට ඒකට ඉඩක් නොදුන්න එකයි. ඒත් ඔයාගේ හැඟීම් මට තේරෙනවා. මම දන්නවා පවුලේ අයියලා දෙන්නෙක් එක්ක හැදුණ එකම ගෑණු ළමයා වුණාම මේ වගේ දේවල් ගැන හිතන්න ඔයා සමහරවිට බය ඇති. අයියලා මොනා කියයිද, අම්මලා මොනා කියයිද කියලා. මම හැඟීම් වලට ගරු කරනවා දුලාරා. ඔයාගේ විදියට, හැදිච්චකමට මං ගරු කරනවා. මම ඔයාට තව තවත් ලං වෙන්නෙත් ඒකයි. දුලාරා මම මේ දේ කියන්නෙ අවංකවම. මුලු හිතින්ම.. .මට ඕන ඔයා මගේ කර ගන්න"
චේතිය එහෙම කිව්වාම මට ඔහු දිහා බැලුණේ ඉබේටම. මගේ මූණේ තියෙන්න ඇත්තේ බය වුණ පෙනුමක් වෙන්න ඇති.
"ඔයා මා දිහා ඔහොම බලන්නේ, මම බොරුවක් කියනවා කියලා හිතලද?"
මම කොච්චර නොසන්සුන් වෙලා උන්නද කිව්වොත් මට වචනයක් වත් කියාගන්න බැරි වුණා. 
"මම කියන්නේ ඇත්තමයි. ජීවිතේ මට කෙල්ලෝ ගොඩාක් හම්බවෙලා තියෙනවා. මම එහෙම නෑ කියලා කිව්වොත් ඒක බොරුවක්. ඒත්...මගේ හිත මේ තරම් සසල කරපු, මේ තරම් හිතට ලං වුණ කෙනෙක් අතරේ ඉඳලා නෑ...එහෙම වුණේ ඔයා නිසා විතරයි...මට දැනෙනවා මේ තමයි මම මගේ ඉතිරි ජීවිතේ හැමදාටම බෙදා ගන්න ඕන කෙනා කියලා..." එහෙම කියලා ඔහු මා දිහා බැලුවා. මම උන්නේ බිම බලාගෙන. මගේ හිත ඇතුලේ ඇවිලෙමින් තිබුණේ ගින්නක්.
" දුලාරා...I love I love you very much"
චේතිය මේ හැමදේම කියද්දි මම ගල් පිලිමයක් වගේ අහගෙන උන්නා. වචන පෙල මගේ හිත තවත් ගිනි වැද්දුවා. මට ඕන වුණේ එතනින් පැනලා දුවන්න. එක්කෝ කෑ ගහලා මට තවත් ඕවා කියන්න එපා කියන්න. ඒත් දිව හොල්ලගන්න තරම් වත් මට ශක්තියක් තිබුණේ නෑ.
"ඔයා හිතලා උත්තරයක් දෙන්න. ඒකට කමක් නෑ. මම දැන්ම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ" චේතිය හෙමින් කිව්වේ ඉස්සරහ බලාගෙන.
මම ඔහු දිහාවත් නොබලා සේරම අහගෙන උන්නේ හැඟීම් දැනීම් නෑ වගේ. ඒත්  හැම වචනයක් පාසාම භූපගෙයි මගෙයි ලෝකේ ඉරිතලනවා වගේ මට දැනුනා.
"ඒයි...දුලා...හූ" මගේ සම්පූර්ණ දැහැනම බිඳුනේ එවෙලේ එක පාරටම ගේ ඉස්සරහින් ඇහුණ කේතකීගේ හඬ නිසා. මම හිස උස්සලා බලද්දි අත වන වන පාර දිගේ එනවා. 'ඕන්න එන වෙලාවක හැටි!'
"කවුද ?" චේතිය ඇහුවා.
"..මේ...මගේ යාලුවෙක්. අර අපි එදා ගොයම් කපන්න ගියේ. මේ...එයා...භූපගේ නංඟි" මම කිව්වේ කේතකී එන දිහාට යන්න හදන ගමන්.
"...මේ එයාද? මට ඈතට අඳුන්න බැරි වුණා"
මේ අතරේ කේතකීත් හිණා කටක් පාගෙන අපි උන්නු දිහාට ආවා.
"අද උදේ ඉඳන් එන්න හිටියේ. කොහෙද මේ අම්මා එක්ක යාලුවෙක්ගේ ගෙදර යන්න වුණානෙ..." කේතකී මට කිව්වා.
"ඇත්තද? කේතකී මේ චේතිය...ඔයාට මතකයි නේ ගොයම් කපන දා ආවේ"
"ඔව් ඔව් මට මතකයි..." කේතකී කිව්වා.
"හලෝ කොහොමද?" චේතියත් හිනා වෙලා කිව්වා.
"ඒක නෙවෙයි...මම ආවේ පොඩි බඩ්ඩක් ඉල්ලගන්න ඔයාගෙන්" කේතකී ඊට පස්සේ මා දිහාට හැරිලා කිව්වා.
මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුනත්, පිට දාලා අපි චේතියගෙන් ගැලවිලා ගෙට එන්න ආවා.
"එන්න පුලුවන් කමකට ආවා එවෙයි. ඒත් ඉංග්‍රීසියෙන් මැසේජ් එකක් එවලා තියෙනවා දැක්කාම මම හිතුවා මොකක් හරි තඩි අවුලක් තමා කියලා. ඒකයි ආවේ. බැලින්නම් අවුලක් තමා නේ?" කේතකී කිව්වේ ගේ දිහාට යන ගමන්.
"හ්ම්ම්"
අපි ගෙට යද්දි තාත්තා ඔන්න කාමරෙන් එලියට ආවා.
"කේතකී දුව...කොහොමද? යාලුවා නොබලා ඉන්නම බෑනෙ?" තාත්තා ඇහුවේ හිනා වෙවී.
"ඔව් මාමේ. හෙට දුලා යනවා කිව්ව හන්දයි ආවේ"
"...ඒක හොඳයි...දෝණි කෝ චේතිය?" තාත්ත එහෙම කියලා ඇහුවේ මගෙන්.
"අර ඉන්නේ තාත්තා මිදුලේ"
"හරි හරි"
පාර තාත්තා මිදුලට බැහැලා චේතිය උන්නු දිහාවට යද්දි අපි දෙන්නා මගේ කාමරේට ආවා.
"මොකදේ මේ මූණ කැවුමක් වගේ කරගෙන? අර පොර මොනා හරි කිව්වද?" කේතකී ඇහුව මගේ ඇඳෙන් වාඩි වෙන ගමන්.
ඊලඟට මම වෙච්ච සේරම කේතකීට කිව්වා. කියලා ඉවර වෙද්දි මට කිව්වට මොකද කේතකීගේ මූණත් තිබුණේ කැවුමක් වගේ ඇද වෙලා.
"මාර ප්‍රශ්ණයක්නේ" කේතකී.
"ඒක තමයි අනේ. මම දන්නෑ මොනා කරන්නද කියලා" මම කිව්වා.
"ඉතිං ඔයා කියන්න එපෑ ඔයා කැමති නෑ, ඔයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා" කේතකී කිව්වා.
"අනේ මංදා කේතකී...එයා ඕක කිව්වාම මට කතා කරගන්නත්  බැරිව ගියා. මොනා හරි කියන්න ලෑස්ති වෙද්දි තමා ඔයා ආවේ" මම කිව්වා.
"මම නාවා නං කියලා එහෙනම්?" කේතකී ඇහුවා.
"අනේ මංදා අනේ"
"දැන් අයියා මේක දන්නවද?"කේතකී ඇහුවා.
"අයියා කොහොමද දන්නේ? මේක දැන් නේ මේ වුණේ" මම කිව්වේ නො ඉවසිල්ලෙන්.
"හරි මම අහන්නේ, ඔයා අයියට මේක අදම කියනවද කියලා"
"අද කියන්නේ කොහොමද? අද හවස පොඩි අයියත් එනවා" මම කිව්වා.
"මේ අහන්න දුලා...ආදරේ කරනවා කියන්නේ මල් යහන් මතින් ඇවිදගෙන යනවා වගේ ලේසි, සුන්දර දෙයක් නෙවෙයි හැමවෙලේම. ආදරේ සුන්දර වෙන්න නම් බාධාවලුත් තියෙන්න ඕන. බාධා ජය ගද්දි තමා ආදරයක් ශක්තිමත් වෙන්නේ" කේතකී කිව්වේ මහ දැනමුත්තියෙක් වගේ.
"ඔයා කොහොමද එච්චර දේවල් දන්නේ?" මම ඇහුවා.
"මේ මම අත්දැකපු දෙයක් නෙවෙයි. ලොකේ ගොඩක් ආදර්වන්තයෝ අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි කියන ඒවා" කේතකී කිව්වා.
මම යන්තම් හිණා වුණේ මගේ හිතට නිසා සහනයක් දැනුන හන්දා.
" කොහොම වුණත්, ඔයා මේක ඉක්මණින්ම අයියට කියලා, කරන දෙයක් කල්පනා කරන්න. නැත්තම් පමා වෙලා මල පර වෙන්න පුලුවන්" කේතකී කිව්වා.
ඒක ඇහුවම ආයෙම මගේ හිත බර වුණා.
"මට බයකුත් දැනෙනවා කේතකී"
"අර ඇයි?"
"අනේ මංදා...හරියට ඔක්කොම වරදීවි කියලා වගේ"
"ඔච්චරම අසුභවාදී වෙන්න එපා" කේතකී කිව්වා.
"ගෙදරින් අකමැති වුණොත්?"
"එහෙම වෙන එකක් නෑ. අපි දන්න කියන කට්ටියනේ" කේතකී කිව්වා.
"බැරි වෙලාවත් එහෙම වුණොත්?"
"ම්ම්...ඔය දෙන්නා පැනලා එන්න අපේ ගෙදරට"
"ඔයාලගේ ගෙදරිනුත් අකමැති වුණොත්?"
"මට හොඳටම ෂුවර් ඒක වෙන්නෑ"
"ඔයා කොහොමද එහෙම කියන්නේ?"
"ඒක මට දැනෙන නිසා. අපේ අම්මයි, තාත්තයි දෙන්නම ඔයාට හරි කැමතියි"
"ඒක ඔය කියන තරම් ලේසි නම් මොනා කරන්න බැරිද? මට කොහොමටවත් අපේ අම්මලගේ හිත් රිද්දන්න බෑ කේතකී. ඔයා දන්නවනේ මම මේ ගෙදර එකම ගෑණු ළමයා. වගේ දෙයක් වුණොත් අම්මයි තාත්තයි ලැජ්ජාවටම මැරෙයි. මට එහෙම දෙයක් කරනවා තියා හිතන්නවත් බෑ. කොහොමහරි කැමති කර ගන්න්වා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ”
"එහෙම එන්න ඕන වෙන එකකුත් නෑ අනේ. ඔච්චර ගැන හිතන්න එපා. මූද හත් ගව්වක් තියලා අමුඩ ගහන්න ඕන නෑනෙ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මට නම් හිතෙන්නෑ අකමැති වෙයි කියලා" " කේතකී කිව්වා. මම යන්තමට හිනා වුණා.
" කොහොම වෙතත් දුලාරා...ඔයා චේතියට කෙලින්ම හැමදේම කියලා දාන්න. එයාට තවත් බලාපොරොත්තු දෙන එකේ තේරුමක් නෑනෙ. නැත්තම් ඕවා පස්සට කරදරයක් වෙයි. අනික අයියා වුණත් හිතයි ඇයි ඔයා මුකුත් නොකිව්වේ කියලා" කේතකී කිව්වා.
"මට කියන්න බැරි කමක් නෑ කේතකී. ඒත් ඊට පස්සේ මේ සේරම ඇදෙනවනේ. භූප කැමති නෑ දැන්මම අපේ ගෙදරට මේ ගැන කියනවට. එයා කියනවා එයා ජොබ් එකක් හොයා ගන්නකල් වත් ඉන්න ඕන කියලා. ඒත් දැන් මෙවෙලේ මේක ඇදුනොත්, භූපට පුලුවන්ද ඇවිත් අපේ ගෙදරට මේක කියන්න?" මම ඇහුවා.
"අපේ අයියා කැමති නෑ? එයාට පිස්සුද මන්දා. අහන්නකෝ...ඔයාලා දෙන්නම දැන් වැඩිහිටියෝ නේ. ඉස්කෝලේ යන ළමයි නෙවෙයි නේ. කැම්පස් එකෙන් අවුට් වුණාම ජොබ් එකක් හොයා ගන්න එක මහ වැඩක්ද? එහෙමයි කියලා මේවා නොකියා ඉඳලා අම්මලා ඔයාට වෙන මගුලක් වත් ජෝඩු කලොත් හෙම?" කේතකී කිව්වා.
"අනේ මංදා කේතකී"
"මම එයාට කතා කරන්නම්කෝ"
"එපා එපා. මම සඳුදට ගියාම ආයෙම කියලා බලන්නම්. එයාට සාධාරණ හේතුවක් නැත්තම් එයා මෙහෙම කරයි කියලා හිතන්න බෑ. අපි තව පොඩ්ඩක් බලමු" මම කිව්වා.
" මොනා වුණත්..ඔයා කැමති නැති වග දැන්ම අර යෝදයට කියන්න...පස්සේ ඤරු ඤුරු  ගාන්න එපා හරිද?"
කේතකී අන්තිමටත් එහෙම කිව්වා.
හවස යන්න ගියාට පස්සෙත් මම කාමරේට වෙලා කල්පනා කරමින් උන්නේ කියපු දේවල් ගැන. හිත තිබුණේ නූල් බෝලයක් වගේ පැටලිලා. ඒත් මම අන්තිමට හිතා  ගත්තා මම අකමැති වග චේතියට කියන බව. සඳුදට ගිහින් අපේ ගෙදරට, අඩු ගාණේ පොඩි අයියටවත් අපි ගැන කියන්න භූපව කැමති කර ගන්නවා කියලත් මම තරයේම හිතා ගත්තා.

No comments:

Post a Comment