"දෝනි...පොඩ්ඩක්
මෙහාට එන්නකෝ"
තාත්තා
මට කතා කලේ මම සාලෙට වෙලා ඔහේ නිනව්වක් නැතිව ටීවී එක දිහා බලාගෙන ඉද්දි.
"මේ
එනවා තාත්තේ" මම ඉස්තෝප්පුවේ උන්නු තාත්තා ලඟට යන ගමන් කිව්වා.
මම යද්දි
තාත්තා උන්නේ මිදුලට බැහැලා.
"තාත්තා
කොහේ හරි යන්නද?" මම ඉස්තෝප්පුවට යන ගමන් ඇහුවා.
"අපි
දෙන්නම යමු එන්න" තාත්තා කිව්වා.
මට දැනුනේ
පුදුමයක්. තාත්තා සාමාන්‍යයෙන් එහෙම නොකරන නිසා. අම්මා එක්ක නම් ඕන තරම් මම ගමේ ඇවිදින්න
ගියාට, පොඩි කාලෙදි ඇරෙන්න තාත්තා එක්ක මම එහෙම ගිහින් නැහැ.
"කොහේද
අපි යන්නේ තාත්තේ?" මමත් මිදුලට බහින් ගමන් ඇහුවා.
"අපි
යමොකෝ ආච්චි අම්මලගේ දිහාට පොඩ්ඩක් ගිහින් එන්න. කාලෙකින් යන්න බැරි වුණා මට මේ වැඩ
හන්දා" තාත්තා එහෙම කියාගෙනම ගමන පටන් ගත්තා.
මාසෙකට
දවසක් දෙකක්, අපි එක්ක නොගියත් තාත්තා සාමාන්‍යයෙන්
ආච්චි අම්මගේ ගෙදර යන වග අපි දැනගෙන උන්නේ පුරුද්දෙන්මයි. ගිහින් ගෙදර ඕනෑ එපාකම් හොයලා
බලලා, බඩු ටිකක් හෙම ගෙදරට ගිහින් දාන එක තාත්තා එදා ඉඳන්ම කලා. සීයා ඉන්න දවස් වල
පවා තාත්තා ඒක කලා. ඒත් මම කල්පනා කලේ තාත්තා හදිසියේම එහේ යන්න මට කතා කලේ මොකද කියලයි.
"අයියට
කවද්ද දෝණි අවුරුද්දට නිවාඩු හම්බවෙනවා කිව්වේ?" අපි පාර දිගේ ඇවිදගෙන යද්දි තාත්තා
ඇහුවා.
"මම
හිතන්නේ දොලහද කොහෙද"
"එහෙමද?
අවුරුද්ද කටේ තියලා තමා එහෙනං. ඒකෙත් හැටි බලමොකෝ ඉතිං. ඉස්සර නම් අප්‍රේල් පලවෙනිදා
ඉඳලම ගමේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක අවුරුද්දට ලක ලෑස්ති වෙවී උන්නු ළමයා. දැන් රස්සා කරන්න
පටන් ගත්තට පස්සේ ඒ නිදහස ආයෙමත් නෑ" තාත්තා කිව්වේ හිනාවක් එක්ක වුණත්, ඒ වචන
වල තිබුණේ අපේ ගෙවිලා ගිය පුංචි කාලේ ගැන තාත්තගේ හිතේ තියෙන සංතාපය කියලා මට හිතුණා.
ඉස්සෙල්ලම
ලොකු අයියා ගෙදරින් ගියා. දැන් පොඩි අයියත් ඈත් වෙලා. ඊට පස්සේ මම...මමත් ඒ වගේ ඈත්
වෙයිද? එහෙම හිතද්දි මගේ හිතේ ඉපදුනේ දුකක්.
"දෝණිට
ඊයේ අයියා මොනා හරි කිව්වද?"
නොහිතපු
වෙලාවක තාත්තා එහෙම ඇහුවා.මම තාත්තා දිහා බැලුවේ පොඩ්ඩක් විතර ගැස්සිලා වගේ.
"ඇ..ඇයි
තාත්තා එහෙම ඇහුවේ?"
තාත්තට
මම උත්තරයක් දුන්නේ නෑ එක පාරටම. මට සුසුමක් හෙලුණේ ඉබේටම. ඊයේ රෑ වුණ කතා බහ මට අමතක
කරන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
"ඔයා අද අර විදිහට දමලා ගහලා යන්න ගිය එක හරිම
වැරදියි නංඟි. ඔයා දන්න්වද ඒක?" අයියා කතාව පටන් ගත්තේ එහෙම.
"ඒක
මහ පුදුම කතාවක් නේ. මම එහෙම දමලා ගහලා ගියා නෙවෙයි. මට හිතුණා මම ගියා"
"ඒත්
චේතිය ඒ නිසා ගියෙත් අප්සට් එකේ" අයියා කියද්දි මම ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
කොහොමද මෙහෙම එයා මට කියන්නේ කියලා හිතාගන්න බැරුව.
"ඇයි
ඒ?" මම පුදුම වෙලා වගේ ඇහුවා.
"ඇයි
කියලා එයා ඔයාට කියන්න ඇති නේද?" අයියා ඊට පස්සේ කිව්වා.
"මම
දන්නෑ අයියා මොනාද කියන්නේ කියලා. මට චේතිය මොනවත් කිව්වේ නෑ" මම ඕනවට එපාවට කිව්වා.
"මොනවත්
කිව්වේ නෑ?" ඒ පාර අයියා ඇත්තටම පුදුම වෙලා.
මම නෑ කියන්න
හිස වැනුවා.
"ඒකත්
එහෙමද?" අයියා කියාගත්තේ තමන්ටමද කොහෙද.
හරි කමක්
නෑ. අපි ඒක පැත්තක දාමුකෝ. එයා එහෙමනම් ඔයාට කතා කරයි නේ" අයියා කිව්වා.
"ඇයි
එයා මට කතා කරන්නේ?" මම අයියා දිහා කෙලින්ම බලලා ඇහුවා. ඒ මගේ හිතේ මෝදු වෙමින්
තිබුණ කෝපයයි, දුකයි නිසාමයි.
"ඒක
එයාම ඔයාට කියයි. ඒත් මම දන්නවා ඔයාට ඒක මොකක්ද කියලා හිතා ගන්න පුලුවන් ඇති කියලා"
අයියා කිව්වේ මා දිහා නොබලා.
මම අයියට
ගස්සලා වගේ අහක බලා ගත්තා. අයියා මේ තරම් චේතියට උල්පන්දම් දෙන්නේ ඇයි කියලා මට තේරුණේ
නෑ.
"අපි
දැන් පොඩි ළමයි නෙවෙයිනේ නංඟි. ජීවිතේ සමහර තීරන තීන්දු අපට දැන් ගන්න සිද්ධ වෙනවා.
ඔයාට තේරෙනවා නේද? සමහර වෙලාවට අපිම දන්නෑ අපි ගන්න තීරණ හරිද වැරදිද කියලා. ඒ නිසා
තමයි අපි තීරණ ගන්න අනෙක් අයගෙ උපදෙස් ඕන වෙන්නේ. මොකද සමහර වෙලාවට අපි හැඟීම් වලට
වහල් වෙලා ගන්න තීරණ, අපේ ජීවිතේම නැති නාස්ති වෙන්න බලපාන්න පුලුවන් හන්දා"
අයියා ඒ
පාර මොකදෝ කාරණාවකට එන්න ලොකු අටුවාවක් ගොතනවා. මම මුකුත්ම නොකියා අහගෙන හිටියේ හිත
තවත් හිතුවක්කාර වෙන්න උත්සාහ කරද්දි.
"මම
ඔයාගෙන් දෙයක් අහන්න, ඔයා මට ඇත්තම කියනවද?"
"මොකක්ද?"
මම අහුවේ කිසීම හැන්ගීමක් නැතුව.
අයියා එහෙම
අහද්දි මගේ හිත අහේතුකවම නොසන්සුන් වෙන්න ගත්තා.
"නංඟිට
කැම්පස් එකේ හරි වෙන කා එක්ක හරි affair එකක් තියෙනවද?" මම ඉවෙන් වගේ දැනුනා
අයියා අහන්න යන්නේ මේක තමයි කියලා.
"නෑ"
මම හැරෙන තැපෑලෙන් එහෙම කිව්වා.
"ඔයා
ඔය කියන්නේ ඇත්තම නේද?"
"මම
කියන්නේ ඇත්ත තමයි" මම කලබල වෙලා උන්නු නිසාදෝ මට කෑ ගැහුණත් වගේ.
අයියා මා
දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ.
"ඔයා
මේවා ඇයි මගෙන් අහන්නේ?" මම ඊට පස්සේ ඇහුවා.
"ඒවා
අපි දැනගන්න ඕන නිසා"
මම ඊට පස්සේ
ආයෙම මුකුත් ඇහුවේ නෑ.
"ඔයා
තමයි මේ ගෙදර එකම ගෑණු ළමය. ආච්චි අම්මා කියනවා වගේ, ගෙදර පහන, නම්බුව සේරම ඔයා. මට
මතක ඇති කාලේක ඔයා කවදාවත් අකීකරු ලමයෙක් වෙලා ඉඳලා නෑ. ඒ නිසා, මම ඔයාව විශ්වාස කරනවා.
ඒ වගේම මම හිතනවා ඔයා කවදා හරි එහෙම තීරණයක් ගනිද්දි, ඔයා මේ ගෙදරට වටින තරම් ඔයා මතක්
කර ගනී කියලා"
අයියා එහෙම
කියද්දි නම් මගේ හිත පොඩ්ඩක් විතර සැලුණා. ඒත් මම ගෙදරට අවනම්බු වෙන දෙයක් කලේ නෑ කියන
එක මම දැනගෙන උන්නු නිසා ඒ වචන මට වැරදිකාර හැඟීමක් දැනෙව්වේ නෑ.
"මම
මේවා කියන්නේ ඔයා දැන ලොකු ගෑණු ළමයෙක් නිසයි. රටේ ලෝකේ වෙන දේවල් ඇහුවම ඔයාට තේරෙනවා
ඇති නේ, සමාජේ ඉන්න මිනිස්සු කොච්චර විෂම අයද කියලා. මුලින් පණ දෙන්න වගේ ආදරේ කරලා
ඊට පස්සේ වෙන වෙන දේවල් පස්සේ යන්වා. සමහර වෙලාවට අග හිඟ කම් එද්දි, අර ආදරෙත් නෑ,
මොනවත් නෑ. රණ්ඩු විතරයි. ඔයා දන්නවනේ අර අපේ ලොකු තාත්තලගේ අල්ලපු ගෙදර ඉන්න කපල්
එක. පැනලා ඇවිත් දැන් විඳින දුක. ඒකයි නංඟි මම කියන්නේ. අපි කෙනෙක් හොයා ගනිද්දි හැම
පැත්තම හිතන්න ඕන. නැත්තම් අන්තිමට අපට කිසි දෙයක් ඉතිරි වෙන්නේ නෑ. අඩු ගාණේ ආදරේ
වත්.
ඒ නිසා
ඔයා ඒ දේවල් ගැනත් හිතන්න. අනික තමයි ඔයාගේ ඉදිරි අනාගතේ ගැන තීරණයක් ගනිද්දි මතක තියා
ගන්න ඒක හැම වෙලේකම අපේ අම්මට, තාත්තට, නෑයින්ට මේ සේරටම බලපානවා කියලා. මොකද අපි මේ
ලොකේ තනියෙන් ඉපදිලා මැරිලා යන අය නෙවෙන නිසා. අපට ඕන ඔයා සැපෙන් ඉන්නවා බලන්න. හොඳින්
ඉන්නවා බලන්න. ඔයා මං කියන එක තේරෙනවා නේද?" අයියා ඇහුවේ දයාබරව.
පොඩ්ඩ ඇත්නම්
මරු නගින, නාහෙට අහන්නැති පොඩි අයියා, අද සාන්තුවරයෙක් වගේ මා ඉස්සරහා මට උපදෙස් දෙද්දි,
මට එයා ගැන පුදුම නොවී ඉන්න බැරි වුණා. ඒත්, මේ බටර් ගෑමේ යටි අදහසක් තියේදෝ කියන මගේ
සැකය හන්දා, මට එක හිතින් ඒ කියන දෙවල් පිලිගන්න පුලුවන් වුණේ නෑ.
ඒ අතරෙම හිතේ කොනක බලාපොරොත්තුවක් නොතිබ්බම නෙවෙයි.
භූප කියන්නේ අපි කාලාන්තරයක් තිස්සේ දන්න, පවුල් සේරම අඳුනන, හොඳ කෙනෙක් හන්දා. සමහරවිට,
සේරම හොඳින් සිද්ධ වුණොත්, අපි දෙන්නට ගෙවල් දෙකෙන්ම ආශීර්වාද ලැබෙන්න පුලුවන් කියලත්
මට හිතුණා. මොකද අයියා චේතියට කැමති වෙන්න කියලා කෙලින්ම මට කිව්වෙත් නැති හන්දා. හිතේ
සිතුවිලි තිබුණේ දෙපැත්තටම බර වෙවී. ඒ මොනා වුණත්, මෙච්චර කල් මම රැකගෙන ආපු විශ්වාසය,
කීකරු කම මට මෙවෙලේ බිඳ දාන්න ඕන වුණේ නෑ. මොකද මම හිතුවා කවදාක හරි, බැරි වෙලාවත්
මටයි, භූපටයි ප්‍රශ්ණයක් ඇති වුණොත්, මගේ මේ කල්කිරියාව එදාට මට වැදගත් වෙයි කියලා.
"මට
මීට කලින්ම මේ ටික ඔයාට කියන්න ඕන වුණා. ඒත් මට වෙලාවක් තිබුණේ නෑ. මං හිතනවා ඔයා මුකුත්ම
නොකියා හිටියත්, මම කියපුවා ඔයා හිතට ගන්න ඇති කියලා" අයියා ආයෙම කිව්වා.
මම ඔහු
දිහා බලලා මද හිනාවක් පාලා හිස වැනුවා. අයියා මගේ හිස අතගෑවේ සෙනෙහසින්.
අයියා කියපු
දේවල් ආයෙම හිතලා බලද්දි ඒකේ යටි අදහස මාව එන්න තියෙන ලොකු දේකට සූදානම් කරන එකද කියලත්
මට නොහිතුණා නෙවෙයි. ඒත් මම උදක්ම හිතුවා මගේ කැමැත්තටත් ඉඩ දෙන්න ගෙදර අය කැමැති වෙයි
කියලා. මොකද චේතිය තරම්ම, නැත්තම් ඊටත් වඩා භූප අපේ පවුලට සමීප නිසා.
"දෝණි
මොනාද ඉතිං ඔය අහස පොලව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?"
මම පියවු
ලෝකෙට ආවේ තාත්තගේ හඬට. අපි ඒ වෙනකොට උන්නේ කුඹුක් ලිඳට ලඟින්.
"මුකුත්
නෑ තාත්තා" මම කිව්වා.
"මොකද
නැත්තේ? ඔයා ඔය හිතන්නේ අයියා කියපුවා ගැන නෙවෙයිද?" තාත්තා ඇහුවා.
මම යන්තම්
හිනා වුණා.
"අයියා
එහෙම විශේෂ දෙයක් කිව්වා නෙවෙයි තාත්තේ. එයාට මොනවදෝ හිතිලා, මට අවවාද ගොඩක් දුන්නා.
එයා බය වෙලා මම කැම්පස් එකේදි මොනා හරි පටලැවිල්ලක් හදා ගනී කියලා" මම කියාගෙන
ගියා.
තාත්තත්
නිනා වුණා.
"ඒක
ඉතිං අයියා විතරක් නෙවෙයි අපි වුණත් හිතන දෙයක්නේ" තාත්තා කිව්වා.
මම ඔහු
දිහා බැලුවා.
"මම
කවදාවත් එහෙම අපට නොගැලපෙන දෙයක්, අවනම්බු වෙන දෙයක් කරන්නේ නෑ තාත්තේ" මම කිව්වේ
හෙමින්.
එතකොට තාත්තත්
මා දිහා බැලුවා. ඒ ඇස් වල තිබුණේ සෙනෙහසක් එක්කම ලොකු හැඟීම්බර බවක්.
"මගේ
දෝණි මට විශ්වාසයි" තාත්තා ඊට පස්සේ කිව්වා.
මම බිම
බලාගත්තා.
වෙච්ච හැමදේම
නිසා, හිත තිබුනේ යකාගේ කම්මල වගේ වෙලා. ජීවිතේ හිටපු ගමන් සම්පූර්ණයෙන්ම හැඩි වෙලා
ගිහින් වගේ. මේ හැමදේටම හේතුව චේතිය කියලා මට හිතුණා. එයා නොවෙන්න මට හිතන්න මේ තරම්
ප්‍රශ්ණ තියෙන එකක් නෑ කියලයි මගේ හිත කිව්වේ. කොහොම හරි මම
නො ඉවසිල්ලෙන් හිටියේ ආපහු භූප හම්බවෙනකල්. එයාට මේ හැමදේම කිව්වම හිත පොඩ්ඩක් හරි
නිදහස් වෙයි කියලා මට හිතුණා.
හැමදාම කියවලා සටහනක් නොතිබ්බත් අද කොටස ගැන නම් නොකියා යන්න බැරිකමක් දැනුනා..
ReplyDeleteමට තාමත් හිතාගන්න බැරි දුලාරා ගෙදරට බොරු කරන්නේ ඇයි කියලා..තමන්ට මෙච්චර ආදරය කරන පවුලේ අයට තමන් ආදරය කරන කෙනෙක් නෑ කියලා කිවුවාම අවුල් වගේ.. මේ දෙන්නට මේක ගෙදරට කියන්න බැරි සාධාරණ හේතුවක් තියනවා කියලා නම් මට පේන්නේ නෑ..මේ වගේ දේවල් වුනාම ලස්සනට ගොඩ නගපු කතාවේ අන්තිමට මේ වගේ බොළඳ තැනකටද එන්නේ කියලා හිතෙනවා..
නෙතූගේ පාඨකයෝ තරමක් දුරට හරි ඉගෙන ගත්ත අය නිසා එයාලාව කුතුහලයෙන් තියන්න අමාරුයි තමා ඒත් මේ වගේ දේවල් වලින් කලකිරවන්න එපා..