Tuesday, December 17, 2013

අවසරයි ලං වෙන්න: විසිඅටවන කොටස



"ට්‍රීං...ට්‍රීං..."
උදේ දහයට විතර ගෙදර ෆෝන් එක නාද වෙද්දි, මම අයියලා දෙන්නයි, සෙනුරි අක්කයි එක්ක උන්නේ සාලේ ඕමි ගහමින්. තාත්තයි පොඩි අයියයි එක පැත්තක. මමයි පොඩි අයියයි එක පැත්තක. මොන හේතුවකටද මන්දා අම්මා සෙනුරි අක්කට ඕමි ගහන එක තහනම් කරලා තිබුණ නිසා, උන්නේ පැත්තකට වෙලා අපි ඕමි ගහන් එක බලාගෙන.
"අනේ හැබෑටම මේ එක්කෙනෙක්ටවත් බැරිද මේ කෝල් එක ගන්න ? මම කුස්සියේ ඉඳලම එන්න ඕන" අම්මා අපට දෝස් මුරයක් දාගෙන කුස්සියේ ඉඳලා ආවා කෝල් එක ගන්න.
තාත්තා ඔලුව උස්සලා අම්මට හිනාවක් පාලා ආයෙම කාඩ් කොල දිහා බලාගෙන ගහන කොලේ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. තුරුම්පු ආසිය මගේ ලඟ තිබුණ නිසා මම බය නැතිව උන්නේ නොදින්නත්, මේ වාරේ සෙපෝරු කර ගන්න පුලුවන් වෙයි කියලා ෂුවර් නිසා.
"අයියෝ තාත්තා" පොඩි අයියා කිව්වේ තාත්තා එක පාරටම දැම්මේ තුරුම්පු කොලයක් නිසා.
"තිබ්බෙත් එකයි" එහෙම කියාගෙන පොඩි අයියා අටේ කොලයක් දැම්මා.
මම ආසියා කොලේ දාලා කොල ටික එකතු කර ගත්තා.
"යන්තම් සෙපෝරුයි" මම කිව්වා.
"මදෑ ජාමේ බේරගත්තා ඔයින්. නැත්තම් මේ පාරත් කියලා පැරදි නිසා දෙකක් දෙන්න වෙනවා" පොඩි අයියා කිව්වේ අන්තිම කොල සෙට් එක ලොකු අයියා එකතු කර ගනිද්දි.
"හානේ එහෙමද? නෑ..නෑ...අපට පුලුවනි එන්න" ඔය අතරේ අම්මා ෆෝන් එකෙන් කාටදෝ කියනව මට ඇහුණා.
"කාගෙන්ද කෝල් එක?" අම්මා ෆෝන් එක තියලා අපි ලඟට එද්දි තාත්ත ඇහුඒ පොඩි අයියා මේ දැන් බෙදපු කොල හතරක් අතට අරන් බලන ගමන්.
"සූරිලා ගෙදරින්" අම්මා කියපු ගමන් මගේ අවධානේ මුලුමනින්ම යොමු වුණේ දිහාට.
"හෙට රෑ එහේ කෑමට ආරාධනා කරන්න. අපටයි, ලොකු පුතාලටයි" අම්මා කිව්වා.
අවුරුදු දවස ඉවර වුණාට පස්සේ ගමේ හිතවත් අයට, නෑයින්ට කෑම වේලක් දෙන එක අපේ තිබුණ සිරිතක්. සාමාන්‍යයෙන් අපේ නෑයෝ නම් සේරම එකතු වුණේ මහ ගෙදරට. අවුරුදු දා දවල් කෑමට. ඊට පස්සේ අපි අපේ නෑයින්ටයි, හිතවත් අයට අපේ ගෙදර කෑම දුන්නා.   වගේම අපටත් ගෙවල් හය හතකට කෑමට යන්න ආරාධනා ලැබුණා. මේ අවුරුදු පතා කෙරුණු කෑම දීමදි අපට විශේෂම වුණ හිතවතුන් දෙතුන් දෙනාගෙන් එක පවුලක් වුණේ භූපලගේ පවුල.
අම්මා කියපු එක ඇහුණ ගමන්, සෙනුරි අක්කා හෙමීට මගේ පිටට ඇඟිල්ලකින් ඇන්නා. මට කිති කැවුණත් මම අමාරුවෙන් ඉවසගෙන උන්නා.
"දැන් පොඩි පුතා කවද්ද යන්නේ?" තාත්තා ඇහුවා.
"මම දා හතත් නිවාඩුවක් දාලා ආවේ තාත්තේ. සමහරවිට චේතිය එන්න පුලුවන් නිසා" පොඩි අයියා කිව්වා.
"තාත්තේ තුරුම්පු කියන්නකෝ" චේතිය ගැන අහන්න ඕන නැති  නිසා මම කිව්වා.
"තුරුම්පු නෙවෙයි, දැන් එන්න ඕන රෑ කෑම ලෑස්ති කරන්න" අම්මා එහෙම කියාගෙන කුස්සියට ගියා.
"අපි මේ සති අන්තේ අම්මලා ගමේ යන්න ඉන්නේ. එහෙමම දෝණිවත් කැම්පස් එකට දාලා එනවා. පුතාට පුලුවන් නේ සිකුරාදා හවස මාතලේ එන්න" තාත්තා ඇහුවා.
"පුලුවන් තාත්තේ"
"මොනාද තුරුම්පු?" මම දෙවනි පාරටත් ඇහුවා.
"ඉස්කෝප්ප"
තාත්තා කිව්වාම පොඩි අයියා මා දිහා බැලුවා. මම එයාට හොර හිනාවක් දැම්මා. ආසිය, Queen , දහය කොල තුනම මට ඇවිත් තිබුණ නිසා.

*****
"ඔන්න අපි කලින්ම ආවා සූරි"
පහුවෙනිදා හවස හතට විතර භූපලගේ ගෙදරට අපි ගියපු වෙලේ තාත්තා ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.
"ඒක ඉතින් කොච්චර එකක්ද? එන්න පුතේ ගෙට" සූරි මාමා අපිව සාදරෙන් පිලි ගන්න ගමන් කිව්වා.
භූපලගේ අම්මත් මෙවෙලේ ගෙයි ඇතුලේ ඉඳන් සාලෙට ආවා.
"එන්න එන්න. මෙහාටම එන්නකෝ" අපට ලොකු හිනාවකින් සංග්‍රහ කරලා කිව්වේ අපේ අම්මගේ අතින් අල්ලගෙන සාලේ දිහාට යන ගමන්.
අපි නැන්දටයි මාමටයි වැඳලා ආචාර කලා. අතරේ මගේ ඇස් හෙව්වේ භූපව.
"කෝ නැන්දේ භූප?" පොඩි අයියා එවෙලෙම වගේ ඇහුවා.
"අන්න ඉන්නවා කාමරේ ඇතුලේ. අර පුබුදුයි, කුමාරසිරියි කට්ටිය ඇවිල්ලා නේ" භූපගේ අම්මා කිව්වා.
"...උනුත් ආවද? මාත් එහෙනම් පැත්තට ගිහින් එන්නම්" පොඩි අයියා එහේ කියාගෙන භූප ඉන්න කාමරේ පැත්තට යන්න ගියා. මේ අතරෙම වගේ කුස්සියේ උන්නු කේතකිත් සාලෙට ආවා.
"හානේ...මෙයාලා ඇවිත්. නැන්දේ...අක්කේ..." කේතකී හැමෝටම ආචාර කරන ගමන් කිව්වා.
මේ අතරේ ගමේ තව හිතවත්තු කීප දෙනෙකුත් රෑ කෑමට කේතකීලගේ ගෙදරට ආපු නිසා, මුලු ගෙදරම වගේ තිබුණේ පිරිලා වගේ.
අම්මලා දෙන්නා පුරුදු පරිදි කුස්සියට යන්න ගිය අතරේ, සෙනුරි අක්කා උන්නේ ගෙදරට ආපු තවත් අක්කා කෙනෙක් එක්ක කතාවක පැටලිලා. තාත්තලා අයියලා, ආපු පිරිමි උදවිය එක්ක සතුටු සාමීචියේ යෙදිලා ඉද්දි, මමයි කේතකීයි එලියට බැස්සේ ගේ ඇතුලේ තද බදේයි, රස්නෙයි නිසා.
"ඉතිං ඉතිං?"
කේතකී ඇහුවේ අඹ ගහ යට බංකුව දිහාට යන ගමන්. මුලු ගෙදරම වගේ ලයිට් දාලා තිබුණ නිසා පැත්ත තිබුණෙත් එලිය වෙලා.
"ඉතිං නෙවෙයි, කෝ භූප?" මම ඇහුවා.
"හනේ හනේ. ඔන්න ඕකට තමයි කියන්නේ, ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙනවා කියලා. භූප නෑ" කේතකී බොරු අමනාපෙකින් කිව්වා.
"නපුරි. මෙන්න" මම කේතකීට මගේ තෑග්ග දික් කරන ගමන් කිව්වා.
"මටද? මේ මොනාද?" කේතකී ඒක දිගාරින ගමන් ඇහුවා.
මම ඈට තෑගි කලේ The Lover shop  එකෙන් ගත්තු ලස්සන පාට පාට ගල් අල්ලපු කරාඹු තියෙන කාඩ් එකක්.
"අනේ..හරි ලස්සනයි දුලා. හැම පාටම වගේ තියෙනවා නෙ. තැන්ක් යූ" කේතකී කිව්වේ හිනා වෙවී උඩ පනින ගමන්.
"ගොඩක් ලොකු දෙයක් ගන්න බැරි වුණා. ඔයා දන්නවනේ ඉතිං මම දුප්පතානෙ" මම කිව්වා.
'පිස්සු...මේ ඕනවාටත් වඩා ඇති"
කේතකී කිව්වේ හැඟීම්බර හඬින්. මම හිනා වුණා.
"අයියට නම් මොනවත් ගන්න වුණේ නෑ. දන්නවනේ ගන්න විදිහක් නෑනෙ" මම කිව්වා.
"පිස්සු කෙල්ල. එයාට ඔයා ඔයා ලඟ තියෙන වටිනම දේ දුන්නට පස්සේ ආයෙම මොනා දෙන්නද?" කේතකී කිව්වේ පණ්ඩිතයෙක් වගේ.
මම හිනා වුණා ආයෙම.
"අයියගේ යාලුවෝ සෙට් එක ඇවිල්ලනේ. ඉතිං මෙලෝ සිහියක් නෑ. කාමරේට වෙල දෙඟ නටනවා ඇති, පිස්සු විකාර කියව කියව" කේතකී කිව්වා.
හිතට පුංචි දුකක් දැනුනත් මම හිස වැනුවේ දේවල් මම තේරුම් අරන් ඉන්න ඕන නිසා.
"ඒක නෙවෙයි දුලා...මම අහන්නම හිටියේ. මොකක්ද මේ චේතියගේ චේස් එක? චේතිය කියන්නේ අර එදා අපේ වෙලේ ගොයම් කපද්දි ආපු කෙනා නේද ඔයා එක්ක?"
බංකුවේ වාඩි වෙලා අපි දෙන්න කියව කියව ඉද්දි, එක වෙලාවක කේතකී ඇහුවා.  මම දිහා බැලුවේ ඒක කොහොමද දන්නේ කියලා.
"ඔව් එයා තමයි. කොහොමද ඔයා දන්නේ කේස් එකක් තියෙනවා කියලා.  කවුද ඔයාට කිව්වේ, භූපද?"
"හ්ම්. මිනිහා ඔයාට line වගේලු නේද?" කේතකී ඇහුවේ විහිලුවෙන්. ඒත් ඒක මට විහිලුවක් වුණේ නෑ.
"අනේ. හොල්මනට පිස්සු. මම දන්නෑ මොනා කරන්නද කියලා. මම කලින් හිතුවේ මේ විහිලුවටයි එක එක ඒවා කියන්නේ කියලා. දැන් බලද්දි ගමකට සීරියස්" මම කිව්වා.
"ඉතිං එයා ඔයාගෙන් ඇහුවද?"
"නෑ. මම එහෙම කතා කරන්න ගියේ නෑ"
"එහෙනම් ඔයා කොහොමද දන්නේ එයා ඔයාට ලයින් කියලා?"
"අයියෝ...එයා මේ නොකියා කිව්වා එක එක දේවල්. මට තේරෙන්නැද්ද කේතකී"
"හ්ම් හ්ම්. එහෙනම් පොර අපේ අයියගේ දුෂ්ඨයා වෙන්නයි යන්නේ"
"ඔයාට සේරම විහිලු. මම මේ ඉන්නේ ඔලුව ගිනි අරන්"
"ඔයා මොකට බය වෙනවද? කෙලින්ම කියන්න ඇහුවොත් ඔයා අපේ අයියා එක්ක යාලුයි කියලා. එයා මොනා කරන්නද? අනික ඉතිං ගෙදරින් වුණත් මුලින් සලකා බලන්නේ ඔයා කැමති කෙනානෙ" කේතකී කිව්වා.
ඒත් ඒක එහෙම වෙයි කියලා හිතන්නවත්, නොහිතන්න්වත් මට කාරණා තිබ්බේ නෑ.
"බලමුකෝ" මම කිව්වා.
"කොහොම වුණත් ඉතිං අයියා නම් ඉන්නේ ගැන පොඩි අප්සට් එකකින්. කවුද කැමති තමගේ කෙල්ලට තවත් අය ලයින් දානවට. ඒත් ඉතිං ඔයා වගේ ලස්සන...ආකර්ෂනීය...කෙනෙක් වුණාම කොල්ලෝ පස්සෙන් එන එක සාධාරණයි කියලා එයා පිලි ගන්න ඕන" කේතකී ඇදලා පැදලා කිව්වාම මම හෙමින් ඈට එකක් ගැහුවා.
"මෝඩි"
මේ අතරේ අපේ පිටි පස්සේ කොල සර සර ගාන සද්දෙට අපි දෙන්නම ගැස්සිලා හැරුණේ එක පාරටම.
"කවුද ඔය?" කේතකී ඇහුවා හයියෙන්ම.
"අයියෝ...කෑ ගහන්න එපා. මේ මම" ගස් අතරේ අඳුර අතරින් මතු වුණේ භූප. මගේ හිතට දැනුනේ ලොකු සතුටක්.
"කොහෙද දෙයියනේ මෙයාවත් ඇදගෙන යන්නේ? මම ගෙයි හැම තැනම හෙව්වා" භූප කිව්වා.
ඔහු අද ඇඳගෙන උන්නේ අලු පාට අත් නැති T shirt එකකුයි, කොට කලිසමකුයි. ඇඳුමට මට ඔහුව පෙනුනේ හුරුබුහුටිවට.
'ඔයාලා ඉතිං සුරාමේරය මජ්ජපමා කියලා බියර්‍ ටිකක් එහෙම තොල ගා ගත්තම මෙලෝ දෙයක් මතක නෑ, ඉතිං කොහෙද කරන්නේ?" කේතකී කියද්දි මම උඩ ගියා.
"බියර්?" මම ඇස් ලොකු කරගෙන එහෙම අහද්දි භූප උන්නේ කේතකීට රවාගෙන.
"ඉතිං බොරු කියන්නේ ඇයි? ප්‍රේමවන්තයෝ වුණාම දෙන්නා අතරේ රහස් තියෙන්න බෑනෙ. හා නැද්ද?"
කේතකී කිව්වේ කෝකටත් භූපගෙන් ඈත් වෙන ගමන්. මම භූප දිහා බැලුවෙත් තරහින්.
"නෑ. නෑ දුලාරා. මේ හටනට පිස්සු. මම බිව්වේ නෑ" භූප කිව්වා.
"එහෙනම් අර බියර් කෑන් දුසිම් දෙකක් විතර ගෙනාවේ?" කේතකී තවත් ඈතට යන ගමන් ඇහුවා.
" මගේ නෙවෙයි. තාත්තගෙනේ" භූප කිව්වා.
"අනේ මේ. තාත්තාලා බොන්නේ ගල්, පොල්. බියර් නෙවෙයි"කේතකී ආයෙම කිව්වා.
"මේ තමුසේ මගෙන් ගුටි නොකා අන්න අරහෙන් ටිකක් ඉන්නවද? නොදන්න මගුල් නොකියා" භූප කේතකීව මිදුලේ මැදකටම වගේ එලෙව්වා.
"හරි හරි. තව පොඩ්ඩක් එහාට ගියා නම් හොඳයි. ගමේ අයට වීදි නාට්‍ය පෙන්නන්නේ නැතුව" කේතකී අපි ලඟට ඇවිත් එහෙම කියලා ආයෙම ඈතට දිව්වා.
ඒත් මම උන්නේ තාමත් තරහින්. අපි පොඩ්ඩක් විතර ලයිට් එලිය තිබුණ තැනින් මෑත් වෙලා අඹ ගහ යටට ආවා.
"ඔය ඉතිං මා එක්ක තරහින්ද ඉන්නේ?" භූප ඇහුවා.
"එපා මා එක්ක කතා කරන්න" මම කිව්වා.
"දුලාරා..." භූප මගේ අතකින් අල්ලගත්තා.
"ප්ලීස් මාව විශ්වාස කරන්න. මම බිව්වේ නෑ"
"එතකොට බීලත් නෑ?" මම ඇහුවා.
"හරි. මම ඇත්තම කියන්නම්කෝ. බීලා තියෙනවා. බියර් විතරක් නෙවෙයි, එක පාරක් කසිප්පුත් පොඩ්ඩක් බීලා තියෙනවා. ඒත් දැන් මම බොන්නෑ. සත්තයි"
"බිබී ඉඳලා එහෙම ගහෙන් ගෙඩි එන්නා වගේ නැවැත්තුවා?" මම ඇහුවා.
"නෑ. හේතුවක් ඇතුව නැවැත්තුවේ" භූප කිව්වා.
"මොකක්ද ඉතිං අරුම පුදුම හේතුව?"
"ඔයා" භූප කිව්වේ මා දිහාට ලං වෙන ගමන්.
"බොරු කියන්න එපා ඔය තරම්" මම භූපගෙන් ඈත් වෙලා කිව්වා.
"ඔයාට මාව තරම්ම අවිශ්වාසද?"
"ඔව්"
"දුලාරා...මේ අහන්න. මම බීලා තියෙනවා. එක්ක යාලු වුණාට පස්සේ මම ඒක නැවැත්තුවා. ඔයා නිසා තමයි. මම ඔයාව දකින්නේ ගොඩක් නිර්මල පිවිතුරු කෙනෙක් විදියට. ඇත්තමයි...එහෙම සිගරට් බීගෙන අරක්කු බීගෙන ඔයා ලඟට එන්න මට ඕන වුණේ නෑ. මම කවදාවත් එහෙම ඇවිල්ලත් නෑ.
මේ අහන්න… ඒක අතාරින එක ලේසි වුණා කියලා මම කියන්නෑ. බොන්න කියලා කට ලඟටම ගත්තු වෙලාවල් තිබුණා. ඒත්...මට එක නොකර ඉන්න පුලුවන් වුණා. මට තාමත් පුලුවන්. ඔයා ඕන කෙනෙක්ගෙන් අහන්න මම දැන් බොනවද කියලා. මම එහෙම කරන්නේ නෑ. ඔයා විශ්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත. මම ඔයාට එච්චර ආදරෙයි දුලාරා. මට ඔයාට බොරු කියන්න ඕන නෑ. ඔයාට මගේ ලඟින් එහෙම සුවඳක්වත් එනවද? නෑ නේද?" භූප එහෙම කියද්දි නම් මට දුක හිතුණා.
"සුවඳක්?" මම ඇහුව යන්තම් හිනා වෙලා.
භූප මා දිහා බලාගෙන උන්නේ ආදරෙන්.
"භූප...ඒක ඔයාට හොඳ දෙයක් නම් මම එපා කියන්නෑ. ඒත් ඒක හොඳ දෙයක් නෙවෙයි. අනික ඔව්වා බීලා බීලා බේබද්දෝ වෙන්නේ දන්නෙම නැතිව. මාත් ඔයාට ආදරෙයි හු ඟක්. ඒකයි කියන්නේ" මම කිව්වා.
"මම දන්නවා මැණික" භූප එහෙම කියලා මගේ කම්මුලක් මුදුවට අල්ලගත්තා.
"භූපයෝ..."
අපි දෙන්නගේ සොඳුරු විනාඩිය එක මොහොතකින් සබන් බෝලයක් වගේ පුපුරලා ගියේ, ගෙයි පිටිපස්සෙන් ඇහුණ පුබුදුගේ හඬට.
"කෝ බං මූ? වැසිකිලියටවත් ගියාද?"  අස්සෙන්ම ඇහුණේ භූපගේ තවත් යාලුවෙක්ගේ හඬ.
"එහෙනම් ඉතිං අල්ලපු ගෙදර එකට ගිහිං වෙන්න ඇති. නැත්තම් ඇහෙන්න එපෑ බං" පුබුදු කියනවා ඇහුණම මට හිනා ගියා හොඳටම.
"ඔයා යන්න භූප. අපේ අම්මලත් මාව හොයනවද දන්නෑ" මම කිව්වේ හිනා වෙවීම.
"අපේ නංඟි කොච්චර වුණත් කියන් එක හරි. මුං වගේ අපාය සහා මිත්‍රයෝ ටිකක් තුන් ලෝකෙම නැතුව ඇති" භූප බැන බැන ගෙයි පිලිකන්න දිහාට යද්දි, මම මිදුලේ කට්ට කකා උන්නු කේතකී දිහාට එන්න ආවා.
"වැඩේ හරිද?" කේතකී ඇහුවා.
"හරිද තමා. අයියා ගැන කේලම් කිය කිය. හරි නංඟි මෙයා. තව ටිකෙන් පවුලක් කැඩෙනවා"
"හා. මෙන්න වැඩක්. ස්වාමියාව හදා ගන්න අවස්ථාවක් අරන් දුන්නම ඔහොමද මට සලකන්නේ. දැන් මන් බියර් නංඟි. ඊට පස්සේ විස්කි, බ්‍රන්ඩි වෙලා අන්තිමට ගල් පොල් වෙද්දි තේරෙයි. මම කිව්වට අහන්නෑ. අම්මට කියන්නත් බෑ"
"භූප එහෙම නෑ කේතකී. එයා ඔයාලට ආදරෙයි. එයා එහෙම බේබද්දෙක් වෙන එකක් නෑ. කවදාවත්" මම කිව්වා.
"ඔව්. ඔයා එයා එක්ක හැමදාම හිටියොත් එයා එහෙම වෙන එකක් නෑ"
"ඔයා හිතන්නේ මම එයාව කවදා හරි දාලා යයි කියලද?" මම ඇහුවා.
"නෑ...එහෙම හිතලා කිව්වා නෙවෙයි" කේතකී කිව්වා. මම හිනා වෙලා ඇගේ අතක් මිරිකගෙන ගෙට එන්න ආවා.

"හැබෑටම අනුලා...මේ දෝණියන්දැගේ කොණ්ඩෙට වඩා දැන් පුතාගේ කොණ්ඩේ හැදිලා නේ?"
කෑම කාලා අතුරුපස ගන්න අතරේ, හැමෝම ඉන්න තැන අම්මා එහම ඇහුවේ භූපත් වටලප්පන් කෝප්පයක් අරන් අපි ලඟින් වාඩි වුණ වෙලේ. මම අම්මා දිහා බැලුවේ පුදුමෙන්.'අම්මට මොනා වෙලාද මන්දා"
"අනේද කියන්නේ. මට නම් පේනකොටත් තරහේ බෑ. කෝ ඉතිං කිව්වට අහන එකක්යැ. මම දැන් කියන්නෑ. කිව්වා නාහන ගුරු ඉහල නම් ඉහල.පහල නම් පහල කිව්වලු. ඒකටම හරියන්න ඉන්නවනේ තාත්තණ්ඩියි, නගයි" භූපගේ අම්මා කිව්වෙත් අමනාපෙන්.
ඒත් භූප උන්නේ හිනා වෙවී.
"කපන්න වෙලාවක් නෑ නැන්දේ. අනික ඉතිං මේකනේ දැන් style එක" භූප කිව්වා.
"උඹට ඔහොම හොඳයි බං" අපේ අයියත් කිව්වා.
"ඒක යසයි" අපේ අම්මා කිව්වේ උරහිස හකුලුවලා.
"මේකනේ දෝණිලගේ අම්මේ..." පොඩ්ඩක් විතර වැඩි වෙලාද කොහෙද උන්නු තාත්තා අපේ අම්මට අමුතුම විදියට ආමන්ත්‍රණය කරලා කතාව පටන් ගත්තා.
"ඔය දිග කොණ්ඩේ කියන්නෙත් සමහර ලෝකප්‍රකට පිරිමින්ට තිබුණ දෙයක් නෙව. ලොකේ හොඳ හොඳ කලාකාරයෝ කී දෙනෙක් නම් ඉන්නවද දිග කොණ්ඩ තියෙන"
"ඒක කියන්න" වැඩි වෙලා බාගෙට ඇස් පියවිලා උන්නු, ස්ටේෂන් එකේ watcher සීය කිව්වේ වෙරි මරගාතෙමයි.
"මේ අපේ ජනප්‍රිය ගායක වික්ටර් රත්නායක ෂූරීන්, එතකොට රවීන්ද්‍රනාත් තාගෝර් තුමා...ඊලඟ ගියාම මේ අපේ සුගතපාල සිල්වා ෂූරීන්... මයිකල් ජැක්සන්…"
"බොබ් මාලේ..." එතන උන්නු භූපගේ අනෙක් යාලුවා කිව්වේ තාත්තගේ කතාවට මැදින් පැනලා.
"...දැන් ඔය වගේ සේරම ප්‍රසිද්ධ කලාකාරයෝ..."
"ඇයි වික්ටර් රත්නායක මහත්තයා...." වොචර් සීයා හදිසියේම කිව්වා. එයා දැන්ද කොහෙද ඇහැරලා තියෙන්නේ.
"...ගත්තම...කොණ්ඩේ මේ ළමයගේ වගේ දිගට තිබුණා. කවුද දන්නේ මේ ළමයත් කාලෙකදි වගේ දක්ෂ කලාකාරයෙක් වෙයිද කියලා. ඔය කලා පීඨයෙන් එහෙම කී දෙනෙක් නම් බිහිවෙලා ඇත්ද?" තාත්තා කතාව අවසන් කලේ එහෙම.
"කවුද? කොණ්ඩේ දිග පිරිමි?" අම්මා ඇහුවා. කේතකීයි, මමයි, භූපයි හිනා නොවී උන්නේ අමාරුවෙන්.
"ඇයි ඇල්බට් අයින්ස්ටයින්?" මේසෙට වෙලා කෑම අත ගගා උන්නු කුමාරසිරි අවසිහියෙන් වගේ එක පාරටම කිව්වා.
"කවුද... අයින්ස්ටයින් කලා පීඨෙන් බිහි වුණා?" පුබුදු.
"නෑ...මං කිව්වේ මේ කොණ්ඩේ දිග..." පුබුදු අන්තිම වචන් පෙල කිව්වේ ඇහෙන නෑහෙන ගානත.
"අනේ උඹයි මමයි දන්න කොණ්ඩේ දිග අයින්ස්ටයින් " පුබුදු අයියා කිව්වේ නක්කලේට වගේ.
බැරිම තැන මමයි කේතකීයි හොඳටම හිනා වෙන්න ගත්තා. අම්මලාගේ මූණු වල තිබුණෙත් හිනාවක්. මෙවෙලේ මුකුත්ම නොකිව්වේ අපේ ලොකු අයියයි, භූපලගේ තාත්තයි විතරයි. කොහොමටත්, ඔය බීම ටිකක් වැඩි වුණාම, භූපලගේ තාත්තා වැඩිපුර කතා කරන කෙනෙක් නෙවෙයි කියලා කේතකී මට කියලා තිබුණා. භූපත් මේ කතා වලට හිනා වෙවී උන්නා මිසක මොනවත් කිව්වේ නෑ. හැබැයි ඉතිං ඇත්තටම බැලුවාම භූපගේ කොණ්ඩේ කේතකීගේ කොණ්ඩෙට වඩා දිගින් අඩු වුණේ ටිකයි. කියලා මටත් නං හිතුණා.
කාලා ඉවර වෙලා ඕන්න අටහමාරට විතර පටන් ගත්තේ සංගීත සාජ්ජේ. භූප වගේම භූපගේ තාත්තත් හොඳ වාදකයෙක්. හැබැයි සූරි මාමා වාදනය කලේ තබ්ලාව. අපේ ලොකු අයියා, භූපගේ පරණ ගිටාර් එක වාදනය කරන්න ගත්තා. ගෑණු උදවිය සේරම ලඟ තියෙන පුටු වලින් වාඩි වෙලා මේ සාජ්ජෙට සහභාගී වුණා.
ශාන්ත මේ රෑ යාමේ, මද  සීත නල රැල්ල, චන්ද්‍රා මේ රෑ පායා ආවා වගේ තාත්තලගේ ආසම සිංදු වලින් තමයි ඒක පටන් ගැනුනේ. ඔහොම ටික වෙලාවක් ගිහින් භූප අලුත්ම ගීතයක් පටන් ගත්තා. එවෙලේ ඇස් තිබුණේ මා ලඟ නැවතිලා.
"කුඹුක් ගහේ මල් පිපිලා බඹරු නටන රඟේ...තිඹිරි ඉදී රතු පාටින් පලබර වී සැලේ...හිත ඉගිලෙයි දණ්ඩේ සමනල් කැල පොරේ... සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුලු වගේ..."
සූරි මාමගේ තබ්ලා හඬ ගීතයට ලස්සනට තාලේ දුන්නා.
"උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ...මට විතරක් ඇහුණම ඇයි හොඳ නැතුවද නගේ...සිතකට මම මේ තරම්ම එබිකම් කර නැතේ...ඉලුක් මලක් වෙන්ට එපා සිත් ඉවුරේ මගේ..." අන්තිම පද පේලිය කියද්දි භූපගේ ඇස් ආයෙම මා ලඟ නැවතුනා. මම ඔහු දිහා බලා උන්නේ ආදරෙන්. හඬ කොච්චර නම් ගීතවත්ද?
"අයියේ...උපුල් නුවන් විදහා කියන්නකෝ" අසන්නන්ගේ ඉල්ලීම ඉදිරිපත් කලේ කේතකී.
"උපුල් නුවන් විදහා....ඔබ සිනාසුණා..." භූපයි, අපේ අයියයි, පුබුදුයි පටන් ගත්තා.
"මම ගොනා වුණා..." අවාරෙට පොල් වැටෙන්නා වගේ අත්පුඩු ගහමින් උන්නු භූපගේ මම නම නොදන්න යාලුවා කිව්වාම, සෙනුරි අක්කට බිබී උන්නු වතුර එකත් ඉස්මොලේ ගියා.
"යකෝ සිංදු කන්න එපා බං. කෑවා මදි නම් අර කුස්සියට ගිහිං තව දංකුඩ ටිකක් කාපන්කෝ" එහෙම කිව්වේ කුමාරසිරි.
අන්තිමේදි, හිනාවෙන් කතාවෙන්, ගීතයෙන් සංගීතයෙන්, රෑ එකොලහ වෙනකල්ම අපි උන්නේ කේතකීලගෙ ගෙදර.
අම්මලාට මේ වෙද්දි පුටු වලම නින්ද යන්න පටන් ගෙන තිබුණ හන්දා, තාත්තා තීරණය කලා දැන් ගෙදර යන්න ඕන කියලා.
"දැන් නම් මොන්වත්ම කරන්න බෑ. මෙහෙමම නිදනවා ඇරෙන්න. හෙට තමා මොනවත් හෝදන්නේ" කේතකීලගේ අම්මා අපේ අම්මට කියනවා.
මේ අතරේ තාත්තා අනෙක් සීයලා, මාමාලාගෙන් සමු ගන්නවා. අයියත් පුබුදුලා එක්ක. ඔය අතරේ මටයි භූපටයි පොඩි විනාඩි දෙකක් විතර ලැබුණා කතා කරන්න.
"මම හෙට උදේම යනවා දුලාරා. ආයෙම ඉරිදා එන්නම්. ඔයා ලෑස්ති වෙලා ඉන්න හොඳේ" භූප කිව්වේ මගේ හිතට දුකක් එකතු කරමින්.
"ඉරිදා එන්න වෙන්නෑ භූප. අපි සිකුරාදා මාතලේ යනවා. අම්මලා එන ගමන් මාව පේරාදෙණියෙන් බස්සගෙන ඒවි"
"...එහෙමද? එහෙනම් ආයෙම හම්බෙන්න වෙන්නේ ලබන සඳුදා තමයි නේද?"
" වගේ තමයි"
"මම කෝල් කරන්නම්"
"එපා එපා. පුලුවන් වෙලාවට මම ගන්නම්"
"හරි එහෙනම්."
"හෙට පරෙස්සමින් යන්න"
"හ්ම්. ඔයත් පරෙස්සමින් ඉන්න ඕන හොඳද?"
"හා..."
අම්මලා ආපු නිසා අපට කතාකරන්න වුණේ එච්චරයි. ඊට පස්සේ අපි ගෙදර එන්න ආවා. හිතේ ආයෙම තිබ්බේ සංතාපයක්. හිතේ තිබුණ අනෙක් කරදරේ චේතිය අද කතා කරපු එක භූපට කියන්න බැරි වුණ එක. හම්බවුණ පොඩි වෙලාවෙත් හිත රිදෙන දේවල් කියන්න මට ලෝබ හිතුණ නිසයි ඒක වුණේ. ඒත් භූප හෙට ගියාම ආයෙම හම්බවෙනකල් හිතේ මේ සේරම කොහොම දරාගෙන ඉන්නද කියලා මම දැනගෙන උන්නේ නෑ.  ආදරේ කියන්නේ කොච්චර ඉක්මණින් දුකට සහ සතුටට පෙරලෙන්න පුලුවන් දෙයක්ද කියලා මට හිතුණා.

No comments:

Post a Comment