"මම
නුවර ගිහිං ඔයාට ආපහු කතා කරන්නම්. මේ...එක එක දේවල් ගැන වැඩිය නොහිතා ඉන්න බලන්න.
හිටි ගමන් emotional වෙලා පිස්සු වැඩ කරන්න එහෙම යන්න එපා. මම දන්නවනේ ඔයාගේ හැටි.
මොනාටම හරි ඕන වුණොත් මට කතා කරන්න...හරිද? බ්‍රහස්පතින්දා මට එන්න වෙන්නේ නෑ. කැම්පස්
එකේ වැඩනේ. ඒත් මම කෝල් කරන්නම් හරිද?"
කලින්දා
ගෙදර එන්න ටිකක් හවස් වුණ හන්දයි, මං මොනා කරයිද කියන එක ගැන වැඩි විශ්වාසයක් අනුක්ගේ
හිතේ නොතිබුණ හන්දයි ඔහු ආපහු නුවර යන්න ලෑස්ති වුණේ පහුවදා උදේ. යන්න එලියට බැහැලා
ඔහු මට අවවාදයක් දුන්නම මම හිස වනලා ඒක පිලිගත්තේ අවංකවම.
"වෙන
දේවල් ඉවසගෙන ඉන්න බලන්න. කුඩප්පච්චිලා ආවා කියලා ඊලඟ දවසේ කසාද බඳින්නේ නෑනෙ. ඒ නිසා
ප්ලීස්, ඉවසලා ඉන්න" අනුක් ආයෙම කිව්වා.
"හරි
අනුක්...ඔයා දැන් පරෙස්සමින් යන්නකෝ" මම කිව්වේ ඔහු යන එක ගැන සියුම් දුකක් හිතේ
පැතිරෙද්දි.
ඔහු මොහොතක්
මා දිහා බලාගෙන උන්නෙත් දුකෙන් වගේ. ඒත් ඊලඟට එතනට අපේ අම්මයි, තාත්තයි ආපු හන්දා අපේ
කතාව එතනම නතර වුණා. අනුක ඒ දෙන්නට වැඳලා යන්න පිටත් වෙද්දි තාත්තා මග දුරක් ඔහු එක්කම
ගියා.
"අපරාදේ
කියන්න බෑ, චේතිය ළමයගේ නෑදෑයොත් ඒ ළමයා වගේම හොඳයි" මට එහා පැත්තේ උන්නු අම්මා
කිව්වේ අනුක් ගැන පැහැදීමෙන්. ඒත් ඒකේ ලකුණුත් බාගයක් වැටුණේ චේතියට.
"හ්ම්"
මම එහෙම කියාගෙන ගෙට එන්න ආවා.
යාන්තම්
දවල් වීගෙන එද්දි, ආච්චි අම්මයි, නැන්දලයි, සෙනුරි අක්කයි සේරමල්ල අපේ ගෙදර ඇවිත් පිරුණේ
ලඟ ලඟ එන විශේෂ දවස ගැන කතා කරන්න. මම මේ දේවල් ඉවසගෙන උන්නේ අමාරුවෙන්. හැමවෙලේකම
මගේ හිතේ වැඩකලේ භූප ගැන සිතුවිලි ගොඩක් විතරයි. කේතකී කියපු දේවල් මතක් වෙද්දි හිත
කීරි ගැහුණා ආයෙ ආයෙත්. මම නිසා භූප තාමත් විඳවනවා ඇති කියලා හිතද්දි මට දහස් වාරයක්
හිතුණා කෑ ගහලා අඬන්න. පුබුදු අයියා මොනා කිව්වත් භූපව අමතක කරලා අලුත් ජීවිතේකට හැඩගැහෙන්න
මට පුලුවන්කමක් තිබ්බේ නෑ. ඒත් කරන්න ඕන මොකක්ද කියන එක ගැන හිතේ තිබ්බේ මහා පටලැවිල්ලක්.
ඒත් හැමදේම
වෙනස් වෙන්න හේතු වුණේ එකම එක ෆෝන් කෝල් එකක් විතරයි. අඟහරුවාදා හවස මම ලොකු අයියගේ
පැංචි එක්ක සෙල්ලම් කර කර ඉද්දි, ලොකු නැන්දගේ දුව කාමරේට එබුණේ මට කෝල් එකක් කියාගෙන.
මම පැංචිව ඈ අතට දීලා සාලෙට ගියේ ඒ කවුරු වෙන්න ඇතිද කියලා හිතමින්. මොකද එවෙලේ චේතියයි,
අනුකුයි දෙන්නම මට කතා කරලා ඉවර වුණ විතරයි.
"හෙලෝ..."
මම කතා
කලත් එහා පැත්තෙන් හඬක් ඇහුණේ නෑ.
"හෙලෝ...හෙලෝ..."
මම ආයෙම
කතා කලා. ඒත් හඬක් ආවේ නෑ. මම ෆෝන් එක තියන්න හදද්දිම වගේ මට ඇහුණා එහා පැත්තෙන් සුසුම්
හඬක්.
"හෙලෝ...කවුද
මේ?" මම ආයෙම ඇහුවා.
"කවුද
අනේ?" එතනින් යන්න ආපු සෙනුරි අකා ඇහුවේ මම කීප පාරක් හලෝ හලෝ ගාපු නිසා.
"අනේ
මන්දා...කවුරුත් කතා කරන්නේ නෑ අක්කා" මම එහෙම කියලා ෆෝන් එක තියලා මගට එද්දි
ආපහු ෆෝන් එක නාද වුණා.
"හෙලෝ..."
මම ආයෙම කතා කලා. ඒත් තවමත් ඇහුණේ සුසුම් හඬක් විතරයි.
"හෙලෝ
කවුද අනේ මේ? ඇහෙනවද?" මම ඇහුවා. ඒත් ඇහුණේ හුස්ම ගන්න හඬ විතරමයි.
"අනේ
මන්දා කවුද කියලා..." මම එහෙම කියලා ෆෝන් එක තියන්න යද්දිම,
"දුලාරා..."
එහා පැත්තෙන් ඇහුණේ රහසින් වගේ. ඒ හඬ අඳුනගන්න මට තප්පරයක්වත් ගියේ නෑ. ඒ එක්කම මට
දැනුණේ පණනැති ගතියක්. ලඟ තිබ්බ පුටුව මම අල්ලගත්තේ එකයි.
"භූප...?"
"ඔව්..."
ඔහු එහෙම කිව්වම ඇස් වලට කඳුලු පිරුණේ ඇසිල්ලකින්.
"ඔයා...ඇ...ඇයි...
කොහොමද..."
"කතා
කරන එක කරදරයක්ද?" ඔහු ඇහුවම හිත කීරි ගැහිලා යනවා මට දැනුනා.
"නෑ...තියන්න
එපා. කතා කරන්න ඕන මට" මම කිව්වේ ඉක්මණට.
ටික වෙලාවක්
යනකල් ආයෙම භූප කතා කලේ නෑ.
"භූප..."
"මං
ඉන්නවා...මං අහගෙන ඉන්නේ"
"ඔයා
මේ කොහෙද ඉන්නේ භූප?"
"ඔයාගෙන්
ගොඩක් දුර..." ඔහු කිව්වම මගේ හිත පෑරුණා ආයෙම. මම මුනිවත රැක්කේ කථා කලොත් ඇඬේවි
කියලා මට හිතුණ නිසා.
"මං
කතා කලේ ඇයි කියලා අහන්නේ නැද්ද?" භූප ඇහුවා.
"ඇයි
කියලා මම දන්නවා..." මම කිව්වේ හෙමින්.
එතනින්
ආපහු යන්න ගිය සෙනුරි අක්කා මා දිහා උවමනාවෙන් බලාගෙන යනවා මට පෙනුනා.
"දන්නවා?"
"ඔව්"
භූප ආයෙම
සුසුමක් හෙලුවා. "කියන්න"
"මට
ආදරේ නිසා..." මම රහසින් වගේ කිව්වේ උගුර රිදුම් දෙද්දි.
භූප හුස්ම
පහල හෙලන හඬ මට ඇහුණා හොඳින්ම. ඉන් පස්සේ ඔහු උන්නේ ගොලු වෙලා.
"එහෙම
නෙවෙයිද?" මම ඇහුවේ ඒකයි.
මට ඇහුණේ
භූප හුස්ම ගන්න හඬ විතරමයි.
"භූප..."
"හ්ම්ම්"
"එහෙම
නෙවෙයිද කියලා කියන්න?"
"නෑ..."
භූප කිව්වම මාව ගැස්සුනා.
"නෑ?"
"කතා
කලේ ඒ නිසා නෙවෙයි..."
"එහෙනං?"
මම ඇහුවේ කඳුලක් කම්මුල දිගේ බේරෙද්දි.
"සුබ
පතන්න...අලුත් ජීවිතේට"
"ඒක..."
"මං
දන්නවා. කොහොමද අහන්න එපා"
භූප කිව්වා.
මම අල්ලගෙන උන්නු පුටුවෙම වාඩි වුණා.
"ඒත්....මට
ඉරිසියයි දුලාරා..." භූප කිව්වෙ මම මුකුත් ආපහු කියන්න කලින්. ඒ හඬේ ඒ පාර තිබ්බේ
ආවේගෂීලි බවක් කියලා මට හිතුණා. මම ඉකි ගැහෙන එක වලක්වගෙන උන්නේ අමාරුවෙන්.
"භූප..."
"ඉරිසියයි...ඒ
ආදරේ නිසා..."
ඒ පාර මට
තවත් හැඬුම නවත්තගන්න පුලුවන් වුණේ නෑ. මම එක අතකින් ඇස් දෙක වහගෙන ලඟ තිබුණ වීදුරු
කබඩ් එකට හිස වාරු කරගත්තේ කවුරුහරි දකීවි කියලා.
"අනේ
අඬන්න එපා මැණික..."
මට ඒ හඬ ඇහෙන වාරයක් පාසා තව තව ඇඬුනා.
"අඬන්න
එපා...ඔයා සතුටින් ඉන්නයි මට ඕන. කතා කලේ හිත රිද්දන්න නෙවෙයි...ඔයා තවත් දුක් ගත්තොත්
මාව පිස්සෙක් වෙයි දුලාරා. මම ඔයාට දීපු දුක් හන්දා තවත් මං විඳවනවා"
"ඔයා
මට දුකක් දීලා නෑ භූප..."
මම එහෙම
කිව්වම භූප ආයෙම මොහොතකට ගොලු වුණා.
"මං
තියන්නම් දුලාරා" භූප එහෙම කියද්දි ඒ හඬ තිබ්බේ වෙනස් වෙලා.
එපා කියන්නවත්
මට කතා කරන්න පුලුවන් වුණේ නෑ. මං උන්නේ හොඳටම දුකෙන් පරිපීඩිත වෙලා.
"තියන්න
එපා..." මම කිව්වේ හැඬුම් අතරින්මයි.
"පරෙස්සමින්
ඉන්න, හොඳින් ඉන්න...කතා කලේ අඬවන්න නෙවෙයි...සත්තකින්ම ඔයාට සුබ පතන්න. ඔයා සතුටින්
ඉන්න ඕන...එච්චරයි"
මම කියපු
දේ නෑහුණා වගේ භූප කිව්වේ එහෙම ගැස්සෙන හඬකින්. ඔහු උන්නෙත් හැඬුම්බර වෙලාද?
"භූප..."
"ඔයාට
බුදු සරණයි මගේ මැණික"
ඒ වචන පෙල
හීනෙන් වගේ ඇවිත් මගේ සවනේ හැපෙද්දි මම උන්නේ ගල් ගැහිලා වගේ. භූප ෆෝන් එක තියන හඬ
ඇහිලා විනාඩියක් විතර යනකලුත් මම උන්නේ රිසීවරේ කනේ තියාගෙන.
"දෝණි..."
මම පියවි
සිහියට ආවේ මගේ පිටිපස්සෙන්ම ඇහුණ තාත්තගේ හඬට. ඒ එක්කම ගැස්සුන මම අවසිහියෙන් වගේ
රිසීවරේ තියලා, එහෙන් මෙහෙන් කඳුලු පිහගෙන තාත්තා දිහාට හැරුණා.
"කවුද
කතා කලේ?" තාත්තා ඇහුවම මම පත් වුණේ ලොකු අපහසුතාවයකට.
"මේ...මේ...යාලුවෙක්"
"යාලුවෙක්?"
"ඔව්...
මේ
කැම්පස් එකේ"
මම එහෙම
කිව්වම තාත්තා මා දිහාට හෙලුවේ සැකමුසු බැල්මක්. මගේ වෙලාවට එවෙලේ නැන්දගේ දුව බබාවත්
වඩාගෙන එතනට ආවා.
"ඔයාගේ
කටහඬ ඇහුණම උඩ පනිනවා මේක" නැන්දගේ දුව කිව්වේ මගේ අතට පනින්න දඟලන පැංචිව පෙන්නලා
ආදරෙන්. ඒ පාර තාත්තගේ මූණේ ඇඳුනෙත් හිනාවක්.
"එන්න
පැටියෝ" මම පැංචිව අතට අරන් එතනින් එන්න ආවේ ආයෙම තාත්ත මුකුත් අහන්න කලින්.
ඒත් මට
තේරුණා තාත්තා මාව සැක කරපු වග. මට ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නෑ. හිත තිබුණේ යකාගේ
කම්මල වගේ කලබල වෙලා. භූප කතා කරපු එක හිතේ යටපත් වෙලා තිබ්බ දුක, ආවේග මේ සේරම ඇවිස්සිලයි
තිබුණේ. එවෙලේ භූප තරම් මට ඕන කරපු වෙන කිසිම දෙයක් තිබුණේ නෑ. ඔහුගේ ආදරේ වෙනස් වෙලා
නැති වග මම විශ්වාස කලා වගේම මට ප්‍රත්‍යක්ෂ වුණා. මට මතක් වුණේ අනුක් කියපු දේවල්.
ඊලඟත චේතිය කරපු කියපු දේවල්. ඊලඟට කේතකීගේ, එයාගේ අම්මගේ තාත්තගේ දුක පිරුණ මුහුණු...අන්තිමට
දකිද්දි ලේ පෙරාගෙන උන්නු භූපගේ මූණ, ඒ ඇස් දෙක...මම හුස්මක් උඩට ගත්තේ ආයෙම ඇඬේවි
කියලා හිතුණ හන්දා. ඒත් එවෙලේ එක පාරටම එලියක් පත්තු වුණා වගේ මම කරන්න ඕන මොකක්ද කියන
එක මට පැහැදිලි වුණා. ඒක ලොකු තීරණයක් වුණත්, හිත පුදුමාකාර විදියට හිතුවකාර වෙලයි
තිබුණේ. මට ඕන වුණේ හිතුණ දේ කරන්න විතරයි.
"අම්මෙ..."
රෑ කෑම කන අතරේ මම අම්මට කතා කලේ ගැහෙන හිතිං.
"ම්ම්?"
"හෙට..මේ..මම
කැම්පස් එකට ගිහිං එන්න ඕන"
"හදිසියෙම?"
එහෙම ඇහුවේ තාත්තා.
"ඔව්.
අර යාලුවෙක් කතා කරලා කිව්වේ. මගේ project එකේ වැඩකට. දැන් සේරම ඉවර කරලා
බාරදෙන්න ඕන නේ. ඒ ගමන්ම හොස්ටල්, ලයිබ්‍රි clearance ගන්නත් ඕනේ. ඒකයි"
මම කිව්වේ
තාත්තා දිහා නොබලා. එච්චරම ලොකු බොරුවක් මම කවදාවත් ගෙදරට කියලා තිබුණේ නෑ. ඒත් මම
එහෙම කලේ අම්මලව රිද්දන්න, රවට්ටන්න නෙවෙයි. කවදකහරි අපි හැමෝම පසුතැවිලි වෙන එක වලක්වගන්න
ඕන හන්දයි.
"හ්ම්.
එහෙනමන් ඉතිං මොනා කරන්නද? ගිහිං එන්න වෙනවනේ. අනේ මන්දා අනිද්දට අර මිනිස්සු එනවා.
කරන දෙයක් කරගෙන එහෙනම් ඉක්මණින් එන්න බලන්න. ඔයා චේතියට කිව්වා නේද?" අම්ම ඇහුවා.
"එයාට
ඔක්කොම කියන්න ඕනයැ" මම කිව්වේ නොමනාපෙන්.
තාත්තා
මදහිනාවක් පෑවා මිස මුකුත් කිව්වේ නැ.
"අනේ
මංදා ඔයා. මොනා කරත් කමක් නෑ, මේ ගෙදර එන්න ඔන්න මෙන්න අල්ලපනල්ලේ ඒ ළමයා එක්ක රණ්ඩු
හෙම ඇදගන්නවා නෙවෙයි" අම්මා කිව්වා.
මම මුකුත්
නොකියා උන්නේ ආයෙම අම්මගෙන් බැනුම් අහන්න ඕන නැති හන්දා. හිතේ තිබ්බේ බර ගතියක්. ඒත්
හිත කිව්වා මම කරන්නේ හරි දේ කියලා.
****
"ආ...
ඇහැරුණාද? තේ එකක් හදන්නද?"
මම උදේ
පාන්දරම ඇහැරලා කුස්සියට යද්දි උදේට උයන්න ලෑස්ති කරමින් උන්නු අම්මා ඇහුව්වෙ මා දිහා
බලන ගමන්.
"මං
හදාගන්නම් අම්මා"
"එහෙනම්
තාත්තටත් එක්කම හදන්න" අම්මා කිව්වේ හාල් හෝදපු වතුර එක පිළිකන්නට විසි කරන්න
යන ගමන්. මට සුසුමක් හෙලුණේ ඉබේටම.එලියෙ නිවිති මැස්සෙන් කොල මිටක් කඩාගත්තු තාත්තාත්
පිලිකන්නෙන් කුස්සියට ගොඩ වුණා මෙවෙලේ.
"කීයේ
කෝච්චියේද යන්නේ?" තාත්තා කොල මිට නෑඹිලියට දාලා ඇහුවා.
"මේ..පහමාරේ
ගම්පහට ගිහින් එහෙන් හයාමාරේ යන්වා. එහාට යද්දි කොහොමත් නවය විතර වෙයි" මම කිව්වේ
තාත්තා අතට තේ එක දෙන ගමන්.
"හ්ම්.
කෑම එකක් අරගෙන යන්න" තාත්තා කිව්වම හිතේ ඇතිවුණේ දුකක්.
"ඕන
නෑ. ගිහින්ම කනවා තාත්තේ"
මට ඒ මූණ
බලන්න බැරි කමක් දැනුනා. හිතේ තිබ්බේ වරදකාරී හැඟීමක්. ඒත් භූප වෙනුවෙන් හිතුවක්කාර
වුණ හිත ඒ සිතුවිල්ල යටපත් කලේ ඉක්මණින්. මම
තේ එක අරන් ඉස්තෝප්පුවට ආවේ තාත්තා ආයෙම මොනවත් අහයි කියන බයට.
මූණ හෝදගෙන
ලෑස්ති වෙලා, ෆෝන් එක බෑග් එකට දා ගනිද්දි මම ආයෙම කල්පනා කලා මම මේ කරන්න හදන දේ හරිද
කියලා. හිත කිව්වෙම ඒක කරන්න කියලා විතරයි.
"දෝණි...මේ
සල්ලි ටිකත් අරගෙන යන්න" මම කාමරෙන් එලියට එද්දි මගේ ලඟට ආපු අම්මා මට දාහේ කොල
පහක් දුන්නම හිතේ වරදකාරී හැඟීම ආයේම් උත්සන්න වුණා.
"සල්ලි
තියෙනවා අම්මා"
"කමක්
නෑ. මේකත් අරන් යන්න උවමනාවක් වුණොත් බැංකු ගානේ ඇවිදින්න ඕන නෑනෙ එතකොට"
එහෙම කියලා
අම්මා බලෙන්ම සල්ලි මගේ බෑග් එකේ එබුවා. මම හැඟීම් පාලනය කරගෙන උන්නේ අමාරුවෙන්. අම්මටයි,
තාත්තටයි වැඳලා ගෙදරින් එලියට බැහැලා එද්දි මට ආපහු පිටිපස්ස බැලුණා. අම්මයි තාත්තයි
ඉස්තෝප්පුවට වෙලා මම එන දිහා බලාගෙන ඉන්නවා දැක්කම මට ආයෙම ගෙදර දුවන්නත් හිතුණා. ඒත්
ආපහු භූප මතක් වෙද්දි මම කරන්න අදහස් කරපු දේ කරන්නම මට ඕන වුණා. මම ස්ටේෂන් එකට ඇවිදගෙන
ආවේ මගේ හිත මා එක්කම තර්ක කරද්දි. ස්ටේෂන් එකෙන් මම ගම්පහ කෝච්චියට නැග්ගේ හිතේ දෙගිඩියාවෙන්.
කෝච්චිය අද්දලා යද්දි එක වෙලාවක මට හිතුණා ගම්පහින් බැහැලා ආයෙම ගෙදර එන්නත්. ඒත් හිත
කිව්වෙම හැමදේම විසඳගන්න ආයෙම දවසක් එන එකක් නෑ කියලා. මම ගම්පහින් බැහැලා ටිකට් කවුන්ටරේට
ගියෙත් ගැහෙන හිතින්.
"හැටන්
වලට එකක්. Second class"
දෙපාරක්
නොහිතම මම ටිකට් එක අරගෙන එතනින් ඉක්මනින් එන්න ආවේ අඳුරන කෙනෙක් දකින්න කලින්.
No comments:
Post a Comment