Wednesday, June 11, 2014

හැටපස්වන කොටස



අපේ අවසාන semester එක ඉවර වෙන්න ලං වෙද්දි, කොච්චර වැඩ වැඩි වුණාද කිව්වොත්, අපට නැවතිලා හිත හිත ඉන්න කාලයක් තිබුණේ නැති තරම්.project එකේ අන්තිම report ලියන්නයි, viva එකට ලෑස්ති වෙන්නයි තිබුණ නිසා අපි හැමෝම උන්නේ ගොඩක්ම පීඩනයකින්. ඒවා එහෙම වෙද්දි, ගෙදරිනුයි චේතියගෙන්යි මට එල්ල වුණ පීඩනෙත් එන්න එන්නම වැඩි වෙමිනුයි තිබුණේ. ඒක ටිකක් දරුණු වුණේ ඇදි ඇදී තිබුණ උත්පලා අක්කාගේ මංගල්ලේ එක පාරටම තීන්දු වුණාට පස්සේ. චේතියලගේ අම්මලා අපේ ගෙදර එන එක හදිසි කලේ, ඒ මංගල්ලෙට එද්දි මායි චේතියයි අඩු ගාණේ engage වෙලාවත් ඉන්න ඕන කියලා කියමින්. මොකද එතකොට එයාලට මාව ප්‍රශ්ණයක් නැතුව මාව අඳුන්වලා දෙන්න පුලුවන් කියලා. නැත්තම් ඒක එයාලට හරි මදි නේද කියලා. චේතිය ඒ දේවල් පැහැදිලි කරද්දි මට දැනුනේ නොරිස්සුමක්. මට හිතාගන්න බැරි වුණා අනාගතේදි මම මේ මිනිස්සු එක්ක ඉන්න කොහොම හැඩ ගැහේවිද කියලා.
"අපේ ලොකු අම්මලා ටිකක් විතර සාම්ප්‍රදායිකයි. ඔයාව මෙහේ නවත්තන්න කැමති වුණ එකත් මට ඒ දවස්වල ලොකු පුදුමයක් වුණා. ඒත් එයාලා අයියට ගොඩක් ආදරෙයි නේ. ඒ නිසා එයා මොනා හරි ඕන කිව්වොත් එයාලා අකමැති වෙන්න හිතන්නේ නෑ. ලොකු අප්පච්චි නම් සැරයි, ඒත් ලොකු අම්මා කියන දේ අහනවා. ලොකු අම්මා මාර්ගෙන් තමා අයියා ලොකු අප්පච්චිව නම්මගන්නේ"
අනුක්ට මම කතාව කිව්වම ඔහු කිව්වේ එහෙම.
"හ්ම්... ඒකත් එහෙමද? එහෙනම් ලොකු අම්මලා මට කැමති වුණෙත් ඒ හන්දා වෙන්න ඇද්ද දන්නෑ" මම කිව්වේ ඇත්තටම මගේ හිතේ උපන් සැකේ නිසා.
"ඇයි එහෙම කියන්නේ?"
"නෑ ඉතිං, චේතියට ඕන හැටියේ ලස්සන, පෝසත් උඩරට මැණිකේ කෙනෙක් හොයලා දෙන්න තිබුණානේ. ඒත් අන්තිමට කරන්න වුණේ චේතියට ඕන දේනෙ"
මම එහෙම කිව්වම අනුක්ට හිනාවක් ගියා.
"ඉතිං ඔයා හොඳ උඩරට මැණිකේ කෙනෙක් වගේ තමයි. ඔයාලගේ අම්මලා හෙම උඩරට අය නේද?"
"ම්ම්..."
"ඔයාටත් පිස්සු. ඔයත් හරියට අර ආදි කාලේ ආච්චි කෙනෙක් වගේනෙ කතා කරන්නේ? දැන් ඔය කුල මල, භේද කවුරුත් හොයන්නේ නෑ"
"නැත්තේ මොකද? අපේ අම්මලත් හොයනවා. ඉතිං චේතියලගේ දේවල් නොහොයා ඉඳීවිද?"
"දැන් ඉතිං ඒවා ගැන හිතන්න ඕනද? එයාලා ඔයාට අකමැති නෑනෙ"
"මට හිතෙනවා අකමැති වුණා නම් කියලා"
මම කිව්වම අනුක් එක පාරටම මා දිහා බැලුවේ මම අරුම පුදුම දෙයක් කිව්වා වගේ.
"දැන් ඔය ගැන කතා කරලා වැඩක් නෑනෙ. කොහොමත් ඔයා චේතිය අයියව මැරි කරන්න කැමැත්ත දීලා ඉවරනේ" අනුක් කිව්වේ අහක බලාගෙන. හරියට ඒක මගේම වරද වගේ.
"හ්ම්..." මම සුසුමක් හෙලුවා.
ඒ පාර අනුක් කතාවක් නැතුවම වාහනේ පොලීසිය ඉස්සරහින් දිවෙන පේරාදෙණිය උඩ පාරට දැම්මා.
"අපිට ඊට පස්සෙත් හොඳ යාලුවෝ වගේ ඉන්න පුලුවන් වෙයි නේද අනුක්?"
මගේ අඳුරු, තිත්ත අනාගතේ ගැන කල්පනා කර කර ඉන්න ගමන්ම මම අනුක්ගෙන් ඇහුවේ නිකමට.
"ඇයි බැරි? ඔයාට ඕන වෙලාවක, ඕන දේකට මම ඉන්නවා. ඒක වෙනස් වෙන්නෑ" අනුක් කිව්වා.
මොකද මන්දා මට එවෙලේ අනුක් ගැණ දුකක් එක්කම ලෝබ කමකුත් දැනුනා.
"එහෙම වෙනවා නම් හොඳයි" මම කිව්වා.
"ඔයා ඒක කිව්වේ මහා එක විදිහකට. ඔයා හිතන්නේ මම බොරු කියනවා කියලද?"
"අනේ නෑ අනුක්. එහෙම නෙවෙයි. ඒත් හිතන්න, හැම දේකටම සීමාවක් තියෙනවනේ. කවදා හරි ඔයා මැරි කරපු  දවසක ඔයාගේ වයිෆ් කැමති වෙයිද අපි දෙන්න එච්චරම යාලු වෙලා ඉන්නවට?" මම ඇහුවා.
ඒ පාර අනුක් මා දිහාට ඉක්මණ් බැල්මක් හෙලුවා.
"ඒ ඉතිං වයිෆ් කෙනෙක් හිටියොත් නේ"
"ආ...මේන් වැඩක්! හතර වටේට බණ දෙසන පණ්ඩිත උන්නාන්සේ හදන්නේ නොබැඳ ඉන්නද? අක්කලා ඔයාව අල්ලලා ගහක හරි බඳී" මම කිව්වේ හිනාවෙන ගමන්.
අනුක් ලා හිනාවක් මුව තවරගෙන මා දිහා බැලුවා යන්තමට.
"මම ඔයා වගේ නෙවෙයි නේ. ගැලපෙන කෙනා නොහම්බුණොත්, මම ආදරේ කරන කෙනා නොලැබුණොත්, මම බඳින්නේ නෑ. තාම නම් ඒවා ගැන කොහොමටවත් හිතලා නෑ"
"අනුක් මට හින්ට් එකක් ගැහුවා නේ"
"හින්ට් එකක් නෙවෙයි"
මම මොහොතක් මුනිවත රැක්කේ අනුක් එක්ක තරහකින් නෙවෙයි. හිතට දැනෙන්න ගත්තු අහේතුක දුකක් නිසා.
"කොහොමත් මට ඕන කෙනා මට ලැබෙන්නේ නෑ කියලා මම දැන් දන්නවා" ඊලඟට අනුක් එහෙම කිව්වේ දුක්බර හඬකින් වගේ. මගේ හිත සසැලුණා.
"නොලැබෙන දේවල් ගැන හිතන එකත් දුකක්. අනුන්ට අයිති දෙයක් ගැන හිතන එක පවක්" මම කිව්වා.
"පිස්සෙක් වෙනවට වඩා පව් කාරයෙක් වෙන්න එහෙම නම් මම කැමතියි"
"විකාර කියන්න එපා අනුක්. ඔයාට කොච්චර ලස්ස්න, පැහැදිලි අනාගතයක් තියෙනවද? අනික ඔයාගේ අක්කලා ඔයා ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. එයාලා ඔයා ගැන හරියට වද වෙනවා. මං ඒක දන්නවා හොඳටම"
අනුක් යන්තම් හිනාවුණා.
"ඉස්සර ඔයා අපේ ගෙදරට එන්න කලින්, මට ඔයා නැති අතීතයක් තිබ්බා. ඒත් දැන් එහෙම නෑ. අද මගේ වර්තමානේ ඉන්න ඔයා මගේ අනාගතෙත් ඉඳීවි ඔයා කැමති වුණත් නැතත්. ඒක වෙනස් කරන්න බෑ" අනුක් කිව්වේ හැඟීම්බරව.
"ඔය වගේ දේවල් කියන්න එපා..." මම කිව්වේ හෙමින්.
"ඇයි? මගේ හිතේ තියෙන දේවල් අහන් ඉන්න ඔයාට බැරිද? ඔයා දන්නවා මට මේවා වෙන කා එක්කවත් කියන්න බැරි වග"
අනුක් ඇහුවා. සත්තකයි මම තිගැස්සුනා ඒ කතාවට. අනුක් දිග සුසුමක් හෙලුවා. මම උන්නේ වීදුරුවෙන් එපිට බලාගෙන. මට අනුක් දිහා කෙලින් බලන්න බැරි කමක් දැනුනා.
"ඔයා දන්නෑ මගේ හිත විඳවන තරම් දුලාරා..." අනුක් කිව්වම මගේ හිත දියවෙන්නා වගේ මට දැනුනා.
"ඔයාටත් වඩා, භූපටත් වඩා විඳවන්නේ මම. හිත රිදිලා තියෙන්නේ මගේ...ඒත් ඒක ඔයාඒ වරද නෙවෙයි. වරද මගේ...අයාලේ දුවන හිත මෙල්ල කරගන්න බැරි තරම් දුර්වල මගේමයි ඒ වරද"
ඒ පාර මට ඔහු දිහා බැලුණා. මගේ හිත තිබ්බේ ඔහු ගැන ඉපදිච්ච දුකකින් තැවෙමින්.
"මම හිතන්නෑ කොහොමටවත් ඔයා වැරදිකාරයෙක් කියලා" මම කිව්වා.
"ඔයා බොරු කියනවා මගේ හිත හදන්න"
"නෑ එහෙම නෙවෙයි. මම කියන්නේ ඇත්ත. හරි, ඉතිං ඔයා එහෙමම හිතනවා නම්, ඒ වරද නිවැරදි කරගන්න ඔයාට ඕන තරම් වෙලාව තියෙනවා"
"මම වැරදිකාරයෙක් වෙලා මෙහෙම ඉන්න කැමතියි" අනුක් හිනාවුණා එහෙම කියලා.
මම හිස වැනුවා. "මම දන්නෑ ඔයාට මොනා කියන්නද කියලා"
අනුක් ආයෙම හිනාවුණා. ඒත් ඒ ඇස්වල තිබ්බේ දුකක් නේද?
අපි අතරේ ආයෙම කතාවක් ඇති වුණේ නෑ අපි කැම්පස් එක ලඟට එනකල්ම. බහින්න ඔන්න මෙන්න තියා අනුක් ආයෙම කතා කලා.
"දුලාරා...මම දෙයක් අහන්න ඔයා මට ඇත්තම කියනවද?"
"අහන්න..."
"ඇත්තටම මම ඔයාගේ කවුද?"
අනුක් එහෙම ඇහුවේ ලොකු බලාපොරොත්තුවකින්  කියලා මට දැනුනා. ඒත් ඒ හිතට දුකක් දෙන්න මට ඕන වුණේ නෑ.
"ඔයා මගේ හොඳම යාලුවා අනුක්"
මම එහෙම කිව්වම ඒ වත මැලවුණා.
"ඒ විතරමද? ඔහු ඇහුවේ හිස ඇල කරලා. මට ඔහු ගැන දැනුනේ සෙනෙහසක්.
"මං දන්නෑ...මට ඒක කියන්න තේරෙන්නේ නෑ. හොඳම යාලුවා කියන්නේ ඔයා තමයි හොඳමම කියන එක. භූප ඇරුණම මගේ ජීවිතේට ගොඩක්ම සමීප පිට කෙනා ඔයා වෙන්න ඇති" මම එහෙම කිව්වේ අනුක් දිහා නොබලා.
"ඇත්තටම?" අනුක් ඇහුවේ පොඩි පුදුමෙකින් වගේ.
"ඔව්..."
"හ්ම්ම්...මං...හිතලා නෑ කවදාවත් ඔයා මම ගැන එහෙම හිතනවාවත් ඇති කියලා" අනුක් කිව්වේ මොහොතක නිහැඬියාවකට පස්සේ.
"ඔයා හිතනවට වඩා මම ඔයා ගැන හිතනවා අනුක්. ඒ ඔයා ගොඩක් හොඳ කෙනෙක් නිසා. ඔයා නොහිටින්න මට මෙහේදි ජීවිතේම එපා වෙන්න ඉඩ තිබුණා. ඒත් ඔයා තමයි මගේ බලාපොරොත්තු නැති වෙන්න ඉඩ නොදී, කලකිරෙන්න ඉඩ නොදී, කොටින්ම කිව්වොත් හොඳ සිහියෙන් ඉන්න මට ශක්තිය දුන්නේ.  ඒ කරපු හැමදේකටම මම ඔයාට කොච්චර ණයගැතිද කියලා කියන්න මට වචන නෑ අනුක්. ඇත්තමයි"
අනුක් මා දිහා බලාගෙන උන්නත් ඒ මූණේ හැඟීම් මට තේරුම් ගන්න පුලුවන් වුණේ නෑ.
"ඔයා මට ණයගැතියි කියලා හිතන්න එපා දුලාරා. මම කරපු හැම දෙයකටම හරියන්න තරම් යාලුකමක්, සතුටක් ඔයා මටත් දීලා තියෙනවා..."
ඔහු එහෙම කිව්වම මම ඔහුට හිනාවක් පෑවා.
"එහෙමනම් ඒක කොච්චර දෙයක්ද?" මම කිව්වා. අනුක් උන්නේ අහක බලාගෙන.
"මං බහින්නද එහෙනම්?" ටික වෙලාවක් එහෙමම ගියාට පස්සේ මම ඇහුවේ අනුක් කල්පනාබර වෙලා උන්නු හන්දා.
"ආ...හා. හරි " ගැස්සිලා වගේ කල්පනාවෙන් මිදුනු අනුක් කිව්වේ එකපාරටම.
“මම කොහොමත් එකොලහ විතර වෙද්දි යනවා. ගෙදරදි හම්බෙමු" මම බැස්සා එහෙම කියාගෙන.
"හරි එහෙනම්, good luck. අදවත් supervisor report එක finalize කරන්න අවසර දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. I will keep my fingers crossed"
අනුක් කිව්වම මම හිනා වුණා.
"තෑන්ක්ස් තෑන්ක්ස්"
*****
යාන්තම් අනුක්ගෙ ප්‍රර්ථනාවයි මගේ බලාප්පොරොත්තුවයි ඉෂ්ට වුණා මම වැඩ කරපු Professor අන්තිමේදි report එක අවසන් කරන්න අවසර දුන්නම. ඒත් semester එකේ අවසානේ ලං වෙද්දි නම් හිතට දැනෙන්න ගත්තේ දුකක්. ඒකට හේතු ගොඩක් තිබුණා. අවුරුදු හතරක් තිස්සේ, සතුට, දුක, එක එක විදිහේ අභියෝග, සිනා, කඳුලු, යාලුවෝ, එපා වෙන තරම් දිගට ඇදුන දේශණ , නිදි පෙති වලටත් වඩා ප්‍රබල විදියට අපිව නිදි කරවපු සමහර ලෙක්චරර්ස්ලා...භූප, මේ සරසවියෙදිම ඉපදිලා, සරසවියෙදිම මිය ගිය මගෙයි භූපගෙයි ආදර කතාව...මේ හැම දෙයක්ම මතක් වෙද්දි හිතට දැනුනේ සාංකාවක් වගේ හැඟීමක්. මොන හේතුවකටද මන්දා වෙන වෙන්න බැරි දුකක් මට දැනුනේ අනුක් ගැන හිතද්දි. මම ඒ ගෙදරට පය තියපු දා ඉඳලම මා එක්කම, මගේ ලඟින්ම අනුක් ඉඳපු එකට මම කොච්චර හුරු වෙලා උන්නද කිව්වොත්, ඔහු නැතුව උදාවෙන දවසක් මොන වගේ වෙයිද කියලා මං ගොඩ වෙලාවට කල්පනා කලා. ඒ හැම දේකටම වඩා හිත බය වුණ, හිත දුක් වුණ දේ වුණේ තව සතියකින් එලඹෙන චේතියගේ අම්මලා අපේ ගෙදර එන දවස ගැන. මගේ නිදහස, මගේ සතුට එදායින් පස්සේ ඉවර වෙයි නේද කියලා මට නිතරම හිතුණා.
"ඔයා දන්නවද නංඟි...ඔයා හරි ලකී" අපි සේරම එක වැස්ස වහින හවසක සාලෙට වෙලා කතා කර කර ඉන්න වෙලේක එහෙම කිව්වේ ගෝතමී අක්කා.
"ඇයි ඒ?" මම එහෙම අහද්දි මම දැක්කා මොකක්දෝ පොතක ගිල්ලීගෙන් උන්නු අනුක් හිස උස්සලා බලනවා.
"චේතිය අයියා වගේ කෙනෙක් ඔයාට ලැබෙන හන්දනේ. අනික අපේ පවුල් ගැන නොදන්න, අපිව අඳුනන්නේ නැති කෙනෙක් මේ නුවරම නෑ. ඉතිං එහෙව් නිලමේ කෙනෙක්ගේ මැණිකේ වෙන එක සුලු පටු දෙයක් නෙවෙයි" ඈ කිව්වේ ආඩම්බරෙන් වගේ.
"ආපෝ... මේ මෙයා වංශේ කබල් ගාන්න පටන් ගත්තා ඒ පාර" අනුක් කිව්වේ කට ඇද කරලා.
"අනේ මේ මල්ලි කට වහගෙන ඉන්නවද. මම කිව්වේ ඇත්තනේ" ගෝතමී අක්කා අනුක්ට රවද්දි, ලඟ උන්නු යශෝ අක්කටයි, උත්පලා අක්කටයි හිනා.
"වංශේ කෙසේ වෙතත් නංඟියෝ, ඔයා අපේම පවුලට එකතු වෙන එකයි අපට නම් තියෙන සතුට" ඊලඟට උත්පලා අක්කා කිව්වා.
"දැන් නංඟි ගෙදර යන්නේ කවද්ද?" යශෝ අක්කා ඇහුවේ ගෝතමී අක්කා තව මොනවදෝ කියන්න කට හදද්දි.
"ම්ම්...අනේ මංදා සෙනසුරාදා විතර යනවද කියලා හිතුවේ"
"එච්චර ඉක්මණට, මේ... අයියලා එන්නේ බ්‍රහස්පතින්දා නේද?" එහෙම ඇහුවේ අනුක්.
"ආ...මෙයා බලන්නකෝ. දුලාරට යන්න ඕන නම් ඔයාට මොකෝ?" ඒ ගෝතමී අක්කා.
"අනේ මේ...I have only two words for you. Shut your mouth…" අනුක් කිව්වේ ඇස් දෙක උඩ තියාගෙන හිස වනමින්.
"අනේ නිකං ඉන්න ගෝතමී. ඔයාලා දෙන්නා හරියට පොඩි ළමයි වගේ"
ආයෙම පොරේකට අර අඳින්න ගත්තු ගෝතමී අක්කට උත්පලා අක්කා එහෙම කිව්වේ දෙන්නගේ රණ්ඩුවට තිත තියමින්.

1 comment:

  1. ආදරේ කරනවා කියලා ඒක කරන කාලෙදි වදන් වලින් දෙන අරුම පුදුම අදහස් සේරම අද කතාවේ තියනවා සුපිරියටම. බැලූ බැල්මට සුකිරි කතාවක් වගේ වුණාට ඇත්ත මේ තුළ තියනවා. මෙන්න ඒකට ඉතාම කෙටි උදාහරණයක් //"මම ඔයා වගේ නෙවෙයි නේ. ගැලපෙන කෙනා නොහම්බුණොත්, මම ආදරේ කරන කෙනා නොලැබුණොත්, මම බඳින්නේ නෑ. තාම නම් ඒවා ගැන කොහොමටවත් හිතලා නෑ"//
    මෙව්වා නිකම්ම කියැවෙන දේවල් නොවේ.

    ReplyDelete