ස්ටේෂන්
එකට මෙහායින් තිබ්බ ලොකු හබරල ගාල තාමත් ඒ විදියටම නොවෙනස්ව තිබුණා. ඊට එහා කඩ මණ්ඩිය,
පරණ පුරුදු ස්ටේෂම...මේ හැමදේම එහෙමමයි කියලා මට හිතුණා. වෙනස් වෙලා තිබුණේ එතනට ආව
ගිය සමහර මිනිස්සු විතරක් වෙන්න ඇති. ඒ අතරේ මමත් උන්නා. කෝච්චියෙන් මුලින් බැස්සේ
මම. එපා කියද්දි මගේ බෑග් එකත් අරගෙන අනුක් ඊලඟට බැස්සා. ඒ ගමන්ම වගේ මගේ ඇස් යොමු
වුණේ ස්ටේෂමේ කෝච්චියක් එනකල් හිටගෙන් උන්නු යුවලක් දිහාවට. 'සූරි මාමයි, නැන්දයි?'
එතකොටම
වගේ ඒ දෙන්නත් මාව දැක්කා. සූරි මාම හිනා වෙන්න උත්සාහ කලත්, නැන්දා නම් කලේ මාව නොදැක්කා
වගේ අහක බලාගත්තු එක. ඒ පාර මගේ හිතට ආවේ මොකක්දෝ ආවේගයක්, දුකක් එක්කම. මම ඒ දෙන්න
උන්නු දිහාවට ගියේ අනුක් අනද මන්ද වෙලා වට පිට බල බල ඉද්දි.
"මාමේ"
නැන්දා අහක බලාගෙන උන්නු නිසා මට යන්තම් හිනාවක් පාපු සූරි මාමට මම කතා කාලා.
"ආ...දුව,
කොහොමද? කාලෙකින් දැක්කේ. කැම්පස් ඉඳන් එන ගමන් වෙන්ඩෑ?"
"ඔව්...මාමලා
කෝච්චියක් එනකල්ද?"
"ඔව්,
මේ ගම්පහට ගිහින් එන්න කියල, නැන්දට බෙහෙත්..."
"කෝච්චිය
එන වෙලාව හරි. අපි අරෙහට යං"
මාමා කියාගෙන
එද්දිම නැන්දා මටත් ගස්සලා වගේ කිව්වේ අපි උන්නු තැනින් එහාට යන ගමන්. මාමා මා දිහා
බැලුවේ අසරණ වෙලා වගේ. මගේ හිත රිදුනා හොඳටම. තවත් එතන ඉන්න එකේ තේරුමක් තිබුණේ නෑ.
"අපි
ගිහිං එන්නම් මාමෙ" මම එහෙම කියලා තාමත් අන්ද මන්ද වෙලා උන්නු අනුක් දිහාට එන්න
ආවා.
"මගේ
කොල්ලගේ ජීවිතේ නාස්ති කලා මදිවට දැන් ඇයි හොඳයිකම් පාන්නත් එනව. ලැජ්ජනැතිකම..."
භූපගේ අම්මා
එහෙම කියනවා මට හොඳටම ඇහුණා. ඒත් මම ඒ පැත්ත නොබලා නෑහුණා වගේ එන්න ආවේ, හිත දුකකිනුයි,
ලැජ්ජාවකිනුයි වෙලෙද්දි. ඒත් නැන්දා ගැන මට තරහක් දැනුනේ නෑ, මොකද ඈ කිව්ව කතාව ඇත්තම
ඇත්තක් නිසා.
"කවුද
ඒ දුලාරා?" අනුක් ඇහුවේ අපි ස්ටේෂන් එකෙන් බැහැලා එන්න එද්දි.
"භූපගේ
අම්මයි, තාත්තයි"
"නෑ!
really?" අනුක් එහෙම අහලා ආපහු දෙතුන් පාරක් ඒ පැත්ත හැරි හැරී බල බල මා පස්සෙන්
ඇදුණා.
"එයාලා
ඔය දෙන්නගේ ප්‍රශ්ණේ දන්නවා නේද?" අනුක් ඇහුවා.
"ඔව්.
දැක්කේ නැද්ද නැන්දගේ මූණ. මම නම් තරහක් නෑ. ඒත් නැන්දා ඉන්නේ තාමත් තරහින්. ඒ දෙන්නා
එතනදි මට කම්මුල් පාරක් ගැහුවත් මම එයාලට වරදක් කියන්නේ නෑ අනුක්. භූපට මෙහෙම වෙච්ච
එකට වග කියන්න ඕන මම.භූප ඒ දෙන්නගේ එකම පුතා. මම ඒ නැන්දා වුණා නම්, මම ඇත්තටම කම්මුල්
පාරක් ගහයි" මම කිව්වා.
"හම්මෝ
මම වුණා නම් ඒ පැත්තේ යන්නෑ. ඔයාට මාර ගටක්නේ තියෙන්නේ" අනුක් කිව්වා.
ඒත් මට
ඔහු කියන ඒවා නෑහුණ තරම්. මට මතක් වෙමින් තිබුණේ කේතකී. දැන් ගෙදර ඇත්තේ කේතකී විතරයි
එහෙනම්. මම ඉක් ඉක්මණින් හිතන්න ගත්තා. භූප ගැන දැණගන්න, කේතකීගෙන් සමාවගන්න මට ආයෙම
වෙලාවක් එන එකක් නෑ කියලා මට හිතුණා. අපේ ගෙවත් දෙකට හැරෙන් හන්දිය ලඟදි මම එක පාරටම
නැවතුණාම පස්සෙන් වට පිට බල බල ආපු අනුක් මගේ ඇඟේ ඔන්න මෙන්න නොවැදී තමයි නතර වුණේ.
"what
now?" අනුක් ඇහුවේ ඉක්මණින් වට පිට බලමින්.
"අනුක්,
අපි ගෙදර යන්න කලින් පොඩි ගමනක් යමුද?" මම ඇහුවා.
"කොහෙද?"
අනුක් ඇහුවේ පුදුමෙන් වගේ.
"පොඩි
ගමනක්. please"
අනුක් මා
දිහා මොහොතක් බලාගෙන උන්නේ කල්පනාවෙන්.
"ගුටි
කන්න වෙන එකක් නෙවෙයි නේ"
"ඔයා
බයද?"
"බය...නෑ
නුවරදි නම්. ඒත් මේ ඔයාගෙ ගම නේ"
"ගුටි
කන්න වෙන එකක් නෑ. අපි යමු"
"කොහෙද
මේ යන්න එන්න කියන්නේ කියන්නකෝ ඉස්සෙල්ලම"
"භූපලගෙ
ගෙදර" මම කිව්වේ හන්දියෙන් දකුණට හැරෙන ගමන්.
"මොකක්?
ඇයි අපි එහේ යන්නේ?"
"භූපගේ
නංඟි තමයි මගේ හොඳම යාලුවා. ඒත් එයා දැන් ඉන්නේ මා එක්ක තරහා වෙලා. ආයෙම මට කේතකී හම්බෙන්න
මෙහෙම වෙලාවක් එයිද නැද්ද දන්නේ නෑ අනුක්. ඒ නිසා මේ හම්බුණ වෙලාවේ මට එයා එක්ක කතා
කරන්න ඕන. අපට භූප ගැනත් මොනාහරි දැනගන්න බැරිවෙන එකක් නෑ" මම කිව්වේ ලහි කරලා
ගුරු පාර දිගේ යන ගමන්.
"මං
දන්නෑ ඔයා මොනා කරන්න හදනවද කියලා. ඕන එකක් එහෙනං ගිහිං බලමුකෝ. අනිමට කොහේවත් ඉන්න
මටත් ගුටි කන්න වෙලා හරි මේක කෙලවර වෙන්නේ නැතෑ" අනුක් මා පස්සෙන් ආවේ එහෙම කිය
කිය.
මම කෙලින්ම
ගෙදර නොගිහින් පිට පාරෙන්ම භූපලගේ ගෙදර ගිය වග දැනගත්තොත් ගෙදරින් මට විසුමක් නොවෙන
වග මගෙ හිත මට මතක් කලත්, කේතකීව මුණගැහෙන්න තිබුණ උවමනාවයි, භූප ගැන මොනා හරි තොරතුරක්
දැනගන්න ඕන වුණ එකයි, ඊට වඩා වැඩියෙන් මට දැනුනා. සමහරවිට ඒක මත මේ තරම් උවමනා වෙන්න
ඇත්තේ භූපගේ අම්මලව දැක්ක නිසත් වෙන්න ඇති.
කේතකීලගේ
ගෙදර ගේට්ටුව ලඟදි මගේ ගමන් වේගය බාල වුණේ ඉබේටම. මගේ හදවත තිබ්බේ වේගෙන් ගැහෙමින්.
අනුක්ටත් ඒක තේරෙන්න ඇති.
"මේකද
ගෙදර?" අනුක් ඇහුවා.
"ඔව්..."
"දුලාරා...ඔයාට
ඇතුලට යන්න බෑ හිතෙනවා නම් අපි ආපහු යමු" අනුක් කිව්වා.
ඒත් මම
කල්පනා කර කර උන්නේ ඒ ගැන නෙවෙයි, ඉස්සර මම කොයි තරම් නම් වාරයක් මේ ගේට්ටුවෙන් ඇතුලු
වෙලා ඇද්ද, ඒ දවසයි අදයි අතරේ තියෙන වෙනස කොච්චරනම් ද කියලා. ඒ දවස් වල හිතේ තිබ්බ
නිදහස, සැහැල්ලු බව, ආදරේ...මේ හැමදේම කොච්චර නම් වෙනස් වෙලාද කියලා මට හිතුණා.
"නෑ...අපි
යමු. එන්න" මම එහෙම කියාගෙන වත්තට ඇතුලු වුණේ හිත දැඩි කරගෙන.
භූපලගේ
ගෙදර තාමත් තිබුණේ මම අන්තිමට දකිද්දි තිබ්බ විදියටමයි. ගෙදර ඉස්සරහ කවුරුත් පේන්න
උන්නේ නෑ.කේතකී මට මොන විදිහේ ප්‍රතිචාරයක්ක් දක්වයිද කියලා හිතේ පොඩි කුකුසක් තිබ්බත්
මම ඉස්තෝප්පුවට නැගලා, ඉස්සරහ දොරට තට්ටු කලා. ඒ සැනින්ම වගේ ගෙයි ඇතුලේ ඉඳන් කේතකී
එබුණම මම පොඩ්ඩක් විතර තිගැස්සුණා. ඒත් මටත් වඩා තිගැස්සුනේ කේතකී.
"දුලාරා..."
කේතකීට කියවුණේ ඉබේටම වෙන්න ඕන.
ඒ එක්කම
වගේ සාලේ ඉඳගෙන උන්නු පුබුදු අයියගේ රුවත් කේතකී ලඟින්ම මතු වුණා. මම පුදුම වෙලා පුබුදු
අයියා දිහා බලාගෙන උන්නේ ඔහු එහේ මොනවද කරන්නේ කියලා හිතමින්. කේතකීගේ ඇස් වල තිබුණ
පුදුමය, කෝපයක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
"ඇයි
මෙහේ ආවේ?"
කේතකී ඇහුවේ
දොර ලඟට එන ගමන්.
මගේ උගුර
රිදුම් දෙමින් තිබුණ. ඒ එක්කම ඕන වෙලාවක කඩාවැටෙන්න පුලුවන් කඳුලු ගොඩක් ඇස් වල රැඳිලා
තිබුණා.
"මට
ඔයා එක්ක කතා කරන්න ඕන කේතකී"
"තවත්
මොනා කතා කරන්නද?" කේතකී ඇහුවේ ඒ ගමන්ම තවමත් මිදුලට වෙලා උන්නු චේතිය දිහාත්
බලමින්. පුබුදු අයියත් ඒ එක්කම ඉස්සරහට ආවා.
"ඔයාට
කතා කරන්න දෙයක් නැති වුණාට මට කියන්න දේවල් තියෙනවා" මම කිව්වේ ආයාචනාත්මකව.
කේතකී මා
දිහා බලාගෙන් උන්නේ මුකුත් නොකියා උනත් ඒ මූණේ තිබ්බ නපුරු පාට එහෙමම තිබුණා.
"ඔයා
මේ කොහේ හරි ඉඳන් එන ගමන්ද? අම්මලා දන්නවද මෙහේ ආපු වග?" මේ අතරේ එතන උන්නු පුබුදු
අයියා ඇහුවා.
"නෑ.
මම මේ නුවර ඉඳන් එන ගමන්. කෙලීන්ම ආවේ මෙහාට" මම කිව්වේ ආපහු කේතකී දිහා බලන ගමන්.
"එහෙමද?
ඔයාගේ අර චණ්ඩි අයියටයි, චණ්ඩි කොල්ලටයි ආරංචි වුණොත් ඒවි මෙහේ මරාගන්න. අනේ අපට තවත්
පව් නොදී මෙතනින් යන්න දුලාරා" කේතකී කිව්වා.
මගේ ඇස්
වලට කඳුලු පිරුණා ඇසිල්ලකින්. ඒත් මම උත්සාහ කලා නාඬා ඉන්න.
"ඇයි
මට කතා කරන්න නොදෙන්නේ? භූප එයාට කියන්න ඕන ටික කියලා යන්න ගියා. ඔයා ඔයාගේ හිතේ තියෙන
ටික කියලා යන්න ගියා. ඇයි කවුරුත් මගේ හිතේ තියෙන දේවල් කියන්න ඉඩක් නොදෙන්නේ?"
මම එහෙම ඇහුවම කේතකීගේ මූණ වෙනස් වුණේ මම බලාගෙන ඉද්දි.
"අපි
මේගොල්ලන්නට ඉස්සෙල්ලම ඇතුලට එන්න කියමුද?" කේතකීගෙන් එහෙම ඇහුවේ පුබුදු අයියා.
ඊලඟට කේතකී
දොර ලඟින් අයින් වුණේ අපට එන්න ඉඩ දෙන්න වගේ. අනුක් ගෙයි ඇතුලට නෑවිත් එලියෙ පුටුවකට
බර වුණා. මම සාලෙට ගිහින් පුටුවක්ට බර වුණේ කේතකී හිටගෙන ඉද්දිම. පුබුදු අයියා මා දිහා
බලාගෙන උන්නා.
"ගොඩක්විට
ලබන අවුරුද්ද මුල වෙද්දි මට චේතියව බඳින්න වෙයි" කතාව මම පටන් ගත්තේ එහෙම. කේතකී
ආයෙම ඇවිලුණ වග මට දැනුනා.
"ඒක
කියන්නද...."
"මං
කියන දේ අහලා ඉන්න කේතකී..." මම ඈට කිව්වේ බැගෑබරව. "එහෙම දෙයක් වුණාම ඔයාලා
හිතයි, මම භූප දාලා ගිහින්, එයාගේ ජීවිතේ ඔහේ අයාලේ යන්න ඇරලා සල්ලිකාරයෙක් බැඳගත්තා
කියලා. සමහරවිට භූප වුණත් එහෙම හිතයි. ඒත් ඇත්ත ඒක නෙවෙයි. මට මේදේවල් කරන්න වෙලා තියෙන්නේ
අපේ අම්මලට අකීකරු වෙන්න මට බැරි හන්දා. මොනා කලත් පොඩි අයියට මම ආදරේ හන්දා. ඊටත්
වඩා භූපට මම ආදරේ හන්දා කේතකී..." මම කිව්වා.
"ඒක
යකාගේ කතාවක්නේ...ආදරේ හන්දද වෙන කෙනෙක් බඳින්න හදන්නේ?" කේතකී ඇහුවේ තරහින්.
"මට
ඉස්සෙල්ල කියන්න දෙන්න කේතකී" මම කිව්වම ඈ අහක බලාගත්තේ තරහින් වගේ..
"මට
දුක මෙච්චර මම ගැන දන්න ඔයාටවත් මේක තේරුම් ගන්න බැරි වුණ එක. අපි තුන් දෙනාම දන්නවා
ඉස්සෙල්ලම ප්‍රශ්ණ ඇතිවුණ වෙලේ, අපේ සම්බන්ධේ නතර කරමු කිව්වේ භූප, මම නෙවෙයි. මම භූපට
හැමදාම ආදරේ කලා. තාමත් එහෙමයි. ඒත් එයා අන්තිමට මාව හොයාගෙන ඇවිත් මට කතා කරද්දි හැමදේටම
ප්‍රමාද වැඩියි. චේතියට කැමති වෙනවා ඇරෙන්න මට වෙන විකල්පයක් තිබ්බේ නෑ. චේතිය මට තර්ජනය
කලා. අයියා ගැන කියලා, භූප ගැණ කියලා. මට මම නිසා ඒ අයගේ ජීවිත විනාස කරන්න ඕන වුණේ
නෑ. සමහරවිට මගේ ලොකුම වරද ඒක වෙන්න ඇති...ඒකද මගේ වරද කේතකී? ඒකද?"
මම ඇස්
වලින් එලියට ආපු කඳුලක් ඈට හොරා පිහ දැම්මා.
"හරි
වැරැද්ද දැන් හොයලා ඇති පලේ මොකක්ද? දැන් සේරම වෙලා ඉවරයි. ඒත් ඔයා නොදන්න දේවල් ගොඩක්
තව තියෙනවා. ඔයා හිතාගෙන ඉන්නේ, අයියා මුලින්ම ඔයාට අෆෙයර් එක නතර කරමු කිව්වේ ඇයි
කියලද? චේතිය තර්ජනය කලේ ඔයාට විතරක් නෙවෙයි. චේතිය මං ඉස්සරහදිම දවසක් මහ පාරෙදි අයියට
තර්ජනය කලා. ඔයාව අත නෑරියොත්, දුලිත අයියගේ කසාදෙත් කඩලා, ඔයාගේ ජීවිතේ අපායක් කරනවා
කියලා. ඒත් අයියා ඇහුවේ නෑ. ඊලඟට එයා කලේ ඔයාව කැම්පස් නොයවා ඉන්න දුලිත අයියට උල්පන්දම්
දීපු එක. එයා දිගින් දිගටම ඔයා ගැන කිය කිය අයියට තර්ජනය කලා. ඔයාව නුවර නැවැත්තුවාම
අයියා උන්නේ ගොඩක් බයෙන්. ඊලඟට එක දවසක් චේතිය අම්මයි, තාත්තයි දෙන්නම ගෙදර ඉන්න දවසක
ගෙදරටම ඇවිත් අයියට බැනලා ගියා. එදා ඔයාගේ අයියත් ආවා. මට හිතුණා මේ පොඩි කාලේ ඉඳම්
මම දැකපු දුලිත අයියමද කියලා එදා. ඔයාගේ අයියා මෙතන කෑ ගැහුවේ රාක්ෂයෙක් වගේ. ඒත් අයියා
නෙවෙයි එයාට වචනයක් කිව්වේ. මම දන්නෑ ඒ මොන යාලුකමක්ද කියලා. අයියා ඇහුවෙම මොකක්ද එයාගේ
අඩුපාඩුව කියලා විතරයි. ඒත් ඒකට දෙන්න උත්තරයක් ඔයාගේ අයියට තිබුණේ නෑ. අන්තිමට ඔයාගේ
අයියා කියලා ගියේ මොකක්ද දන්නවද, ඒ දෙන්නා අතරේ යාලුකම ඉවරයි කියලා...මගේ අයියගේ හිත
කොච්චර බිඳුනද ඒකෙන් කියලා ඔයාට හිතන්නවත් බෑ දුලාරා...
අම්මලා සම්බන්ධේ නවත්තන්න කියලා අයියට නොවැන්ද ටික
විතරයි. අන්තිමේදි අයියා ඒක නවත්තන්න හිතුවේ අම්මා වහ බොනවා කියලා කිව්වට පස්සේ. ඒ
මුලු කාලෙම අපේ ගෙදර හරියට මල ගෙදරක් වගේ තිබුණේ. ඒකේ වේදනාව ඔයා දන්නෑ දුලාරා. ඔයාට
ඒක විඳවන්න වුණේ නෑ. ඔයා මොකද කලේ, ඔයා ලේසියෙන්ම හිත හදාගෙන චේතියව බඳින්න කැමති වුණා.
ඒත් මගේ අසරණ අයියා...එයා තාමත් ඔයා ගැන හිත හිත කාලකණ්ණි වෙනවා. මාසෙකට පාරක් එක දවසකට
ඇවිත් යන්න එනවා විතරයි ගෙදර. ඒ ආවම ඒ ඇස්වල මට හැමදාම පේන්නේ එකම දෙයයි. ඒ දුක...ඔයා
නිසා ඇතුලාන්තෙන්ම එයාව පුච්චන දුක දුලාරා...ඔයාට ඒක එහෙම දැනිලා තියෙනවද? එයාට ඔයා
නැතිව ජීවත් වෙන්න බැරි වග ඔයා දන්නේ නැද්ද දුලාරා? තාමවත් එයා ඒක කරන්න ඉගෙනගෙන නෑ…"අන්තිමට
කේතකීගේ හඬ බිඳුණා.
"කේතකී..."පුබුදු
අයියා කිව්වේ තදින්. "මොනාද ඔයා මේ කියන්නේ?"
මම උන්නේ ලොකු කම්පනයකට පත් වෙලා. මේ ඇහෙන දේවල්
මට අදහාගන්න බැරි වුණා.
"එන්න...මෙහාට
එන්න" පුබුදු අයියා කියපු එක නෑහුණා වගේ කඳුලු පිහ පිහම ඊලඟට කේතකී මාව බලෙන්ම
වගේ ඇදගෙන ගියේ භූපගේ කාමරේට. එතනින් භූපගේ පුංචි මේසේ ලඟට. දුලාරා..ඔයාට මතකද මේක..."
කේතකී ඇහුවේ මේස වීදුරුව ඇතුලේ තිබුණ මගෙයි ඇගෙයි පරණ pohto එක පෙන්නලා. මගේ හිත හූල්ලනවා
මට දැනුනා. ඒත් තාමත් මම උන්නේ ගොලු වෙලා, මගේ කඳුලු තිබුණේ ඇස් වලම මිදිලා.
මගේ ඇස්
යොමු වුණේ පිලිවෙලකට අස් කරලා තිබුණ මේසේ උඩ තිබුණ අනෙක් දේවල් දිහාට. එතන තිබුණා මම
කාලෙකට කලින් ඔහුට තෑගි කරපු එකම එක සුදු ඩේසි
මලක් තියෙන පුංචි මල් පෝච්චිය. මගේ උගුර හිර වෙනවා මට දැනුනා. මම මේසේ අල්ලගත්තේ මට
පණ නැති ගතියක් දැනුන නිසා. ඊලඟට මගේ ඇස් යොමු වුණේ මෙසේට එහායින් තිබුණ හිස් බෝල කූඩුවට.
ඒ ලඟම බිම තිබුණේ භූපගේ පරණ සෙරෙප්පු කබල.
"අනේ
ඔයා ගොඩේ වගේ භූප ඔය පරණ කබල දාගෙන එද්දි. මොකක්ද අනේ අලුත් දෙකක් ගන්නකෝ..."
මට මතක් වුණා දවසක් ඔහුට මම කියපු විදිය.
"ඇයි
මේක දාගෙන එද්දි ඔයාට මා එක්ක එන්න ලැජ්ජද?" ඔහු ඇහුවා මට මතකයි.
"මට
නම් කමක් නෑ. ඒත් අපේ අම්මලා හෙම බැරි වෙලාවත් දැක්කොත් ඔයාට කීයටවත් මාව දෙන එකක්
නෑ"
"ඇයි
ඒ?"
"සෙරෙප්පු
දෙකක් වත් ගන්න බැරි ගොඩයෙක් කියලා"
මම එදා
විහිලුවට එහෙම කියලා හිණාවුණත්, අද ඒක මතක් වෙලා තව හිත රිදුණා විතරයි. මට හිතන්න වෙලාවක්
නොදී ආයෙම කේතකී මාව ඇදගෙන ගියේ භූපගේ අල්මාරිය ලඟට.
ඊලඟට මේ
කණ්ණාඩිය ලඟ...මේ බලන්න...එන්න, මේ...මේ අල්මාරියේ දොර ඇතුල් පැත්තේ...මේ හැමතැනකම
ඉන්නේ ඔයා දුලාරා.
කේතකී කිව්වා
වගේම ඒ හැම තැනකම භූප මගේ පුංචි පුංචි photo අලවලා තිබුණා. එලියට එන්න දඟලන්න මග ඝෝෂාවක්
හිත ඇතුලේ නලියන්වා මට දැනුනා. මගේ හිස පැලෙන්න තරම් රිදුම් දෙමින් තිබුණා මෙවෙලේ.
ඒ මගේ දුක මං ඇතුලෙම මිදිලා තිබුණ හන්දා වෙන්න ඇති. කේතකී එක්ක රූකඩයක් වගේ ඇදිලා ගිය
මම අන්තිමට භූපගේ ඇඳ ලඟ නතර වුණාම, කේතකී භූපගේ කොට්ටේ මගේ අතට දුන්නේ ඒකේ උරේ ඇතුලෙන්
මොකදෝ අදින ගමන්. ඈ ඒකේ ඇතුලෙන් ඇදලා ගත්තේ හදා පරණ වෙච්ච මගේම ලේන්සුවක්. ඒ එක්කම
එකෝමෙක දවසක් පන්සලේදි මල් මිටක් අත තියාගෙන ඉද්දි ගත්තු මගේ තව පොටෝ එකක්. මම එතන
උන්නේ වෙව්ලමින්. ඒ මම ඇඬෙන්න ආපු එක වලක්වගෙන් උන්නු නිසා වෙන්න ඇති. ඒත් ඒ පරණ ලේන්සුව
දැක්ක ගමන් මගේ හිත කඩාවැටුණා වගේ මට දැනුණා. මගේ භූප මට මේ තරම්ම ආදරේ කරලද? මම එහෙමම
බිම වාඩි වුණේ තවත් හිටගෙන්න ඉන්න බැරි කමක් මට දැනුන නිසා.
"දුලාරා...?"
මම හිටපු ගමන් බිම ඉඳගත්ත නිසාදෝ කේතකී එක පාරටම කලබල වුණා.
ඒත් මම
එහෙමම උන්නා. භූපගේ පය වැදුණ මේ පොලවේ ඔහුගේ පහස උණුසුම රැඳිලා තියෙනවා කියලා මට හිතුණා.
ඒ එක්කම පලවෙනි වතාවත භූප මේ කාමරේදිම මගේ දෙතොල් සිපගත්තු හැටිත් මට ආයෙ ආයෙම මතක්
වුණා. මම තාමත් උන්නේ ගල් ගැහිලා වගේ, අඬන්න කෑගහන්න ඕනවුණත් මොකක්දෝ දේකින් ඒ හැමදේම
හිත ඇතුලෙම තද කරගෙන ඉන්නවා වගෙයි මට දැනුනේ.
"දුලාරා...අනේ
නැගිටින්න...පුබුදු අයියා, අනේ එන්නකෝ" කේතකී කෑ ගහනවා මට ඇහුණා.
මොහොතකින්,
පුබුදු අයියයා කාමරේට දුවගෙන ආවේ අනුක් එක්කමයි.
"දුලාරා..."
මාව දැකපු ගමන්ම අනුක් මගේ ලඟ දණගහගත්තා. "මොකද මේ වුණේ?"
"දන්නෑ...හිටි
ගමන්ම ඔහොමම බිම වාඩි වුණා" ඒ කේතකීගේ හඬ.
"දුලාරා
ප්ලීස් නැගිටින්න" අනුක් මාව නැගිට්ටවන්න හැදුවත් මම උන්නේ මොකක්දෝ විස්මෘතියක
ගැලිලා වගේ.
"දුලාරා
අනේ ප්ලීස්"
"මට
මෙහෙම ඉන්න දෙන්න..." මම කිව්වේ තදින්. "මට මෙහෙම ඉන්න දෙන්න..."
"කෙතකී
ඔයා වතුර එකක් අරන් එනවද?" මට ඇහුණා පුබුදු අයියා කියනවා.
කේතකී චේතිය
ගැන කියපු දේවල්, භූපගේ කාමරේ, මගේම හිතේ හැඟීම්...මේ හැමදේම නිසා මම උන්නේ කම්පනය
වෙලා වගේ. මම කොහොමවත් හිතුවේ නෑ චේතිය ඇවිත් භූපට තර්ජනය කරන්න ඇති කියලා. ඊලඟට අපේ
අයියා එහෙම හැසිරෙන්න ඇති කියලා. මම ආපහු අවසිහියෙන් වගේ කාමරේ සිසාරා බැලුවා. මගේ
භූප...මගේ රත්තරං භූප මට කොච්චර නම් ආදරේ කරලද? තාමත් මා අතේ තිබ්බ පොඩි කොට්ටේ දැක්කම මගේ හිත කීරි ගැහුණා වගේ. මම
ඒ කොට්ටේ අරන් තුරුලු කරගත්තේ ඈයෙම ඇස් තෙත් වෙද්දි. භූපගේ හිසේ හුරු පුරුදු මුදු සුවඳ
මට යන්තමට දැනුනා. මම රහසෙන් විඳපු, විඳින්න ආස කරපු ඒ මුදු සුවඳ...හිතේ ආවේගේ ලොකු
ජල ධාරාවක් වගේ පිට පනිද්දි මම කොට්ටෙම මූණ ඔබාගෙන හොඳටම ඇඬුවා. ඒ කොච්චර වෙලාවක්ද මම දන්නේ නෑ. මට මතක අනුක් ඒ
මුලු වෙලාවෙම මා ලඟින් ඉඳගෙන උන්නා විතරයි.
****
"භූප
දැන් කොහෙද ඉන්නේ?"
තව පැයකට
විතර පස්සේ, දේවල් ටිකක් සමනය වෙලා අපි භූපගේ කාමරේම ඉඳගෙන ඉන්දැද්දි මම ඇහුවා කේතකීගෙන්.
එවෙලේ ඈ අපට හදාගෙන ආපු තේ එකක් අනුක්ට දුන්නා විතරයි.
"එයා
නුවරින් යන්න ගියා" කේතකී කිව්වා.
"එයා
රට ගියාද?" මම ඇහුවේ ගැහෙන හිතින්.
"දැන්
ඒවා මොනාටද...වැඩක් නෑ" ඈ කිව්වා.
"මට
දැනගන්න ඕන කේතකී... " මම කිව්වා. කේතකී මා දිහා යන්තමට බලලා අහක බලාගත්තත් ඒ
ඇස් වල තිබුණේ මොකක්දෝ දුකක් කියලා මට හිතුණා.
"මට
කියන්න..." මම ආයෙම ආයාචනා කලා.
"එයා
ඉන්නේ...හැටන් වල" මට උත්තර දුන්නේ පුබුදු අයියා.
"හැටන්
වල?"
"ඔව්...එයා
වැඩ කරන්න එහේ ඉඳන්"
"ඇයි
හැටන්...එහේ කවුද ඉන්නේ?"
"කවුරුත්
නෑ...එයා එහේ ඉන්නේ ඒකයි. එයාට ඕන තනිවෙන්න"
"එහේ
මොකද කරන්නේ?" මම ඇහුවේ සුසුමක් හෙලලා.
"භූප
දැන් phtography තමයි කරන්නේ. ඉඳහිට වයලින් solo play කරන්නත් යනවා මහිතේ හොටෙල් වල" පුබුදු අයියා
කිව්වා.
"තේ
එක බොන්න නිවෙනවා" කේතකී කිව්වේ හැමදෙයක්ම දිහා කම්පනයෙන් වගේ බලාගෙන උන්නු අනුක්ට.
"භූප
එහේ ඉන්නේ හිතේ නිදහසින්ද?" මම එහෙම ඇහුවේ ඔහු හොඳින්ද, සතුටින්ද කියලා අහන්න
බැරි නිසා. මොකද එහෙම නෙවෙන වග මේ දැන් කේතකී මට කිව්ව නිසා.
පුබුදු
අයියා හිනාවුණා. ඒත් ඒ හිනාවේ තිබ්බේ දුකක්.
"ඒක
අහන්න ඕන භූපගෙන්මයි" ඔහු අන්තිමට කිව්වා.
"මට
භූපව බලන්න ඕන" මම කිව්වා.
ඒක ඇහුණම
තුන් දෙනාම කලබල වුණේ එක විදිහට.
"ඒක
කරන්න බෑ දුලාරා.." ඒ කේතකී.
"භූප
ඒකට කැමති වෙන එකක් නෑ" ඒ පුබුදු අයියා.
"ඔයාට
පිස්සුද?" ඒ අනුක්.
මම අනුක්
දිහා බැලුවා.
මම අනුක්
දිහා බැලුවා.
"මට
එයා එක්ක කෙලින්ම කතා කරන්න ඕන. මට මගේ ඇස් දෙකෙන්ම බලන්න ඕන මගේ භූප හොඳින් ඉන්නවා
කියලා. එයාගේ කටින්ම මට අහන්න ඕන...එයාට මාව අමතක කරලා සදහටම මගෙන් වෙන් වෙලා යන්න
පුලුවන්ද කියලා. මට එයාට කියන්න ඕන...මං...මං...තාමත් එයාට ඉස්සර වගේම ආදරෙයි කියලා"
අන්තිමට
මගේ හඬ බිඳුනම අනෙක් තුන් දෙනාම සුසුම් හෙලුවා.
"දුලාරා
නංඟි...හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න හිතන්න එපා ඔහොම. හොඳම දේ ආපහු කවදාවත් ඔයා
භූපව හම්බනොවී ඉන්න එක. අනික ඔය ඔයා කියන දේවල් කිව්වම කියමු භූපට. ඊලඟට මොකද වෙන්නේ?
එයාගේ හදාගෙන ඉන්න හිත ආයෙම අවුල් වෙයි. ඔයත් අවුල් වෙයි.ඊට පස්සේ චේතිය? එයා මොනා
කියයිද? එයා දැනගත්තොත් ඊලඟට මේවා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ. ඔයා අමතක කරන්න එපා,
ඔයා දැන් එයාට කැමති වෙලා ඉවරයි කියන එක. පිස්සු විකාර වැඩ නොකර, ගත්තු තීරණේ විදිහට
ජීවිතේට මූණදෙන්න හිත හදාගන්න" පුබුදු අයියා කිව්වා.
"මට
චේතියගෙන් වැඩක් නෑ. මට කිසි දේකින් වැඩක් නෑ..."
"දුලාරා...අපි
බලමු තව ටිකක් හිතලා කරන්න පුලුවන් මොනාද කියලා" හඬ අවදි කලේ අනුක්.
"මං
මහා කරුමක්කාර කෙල්ලෙක් අනුක්...මේ හැමදේම වුනේ මං හන්දා. මං මැරිලා ගියා නම් මීට වඩා
හොඳයි. එතකොට කාටවත් දුකකුත් නෑ, කරදරේකුත් නෑ" මම කිව්වේ තෝන්තුවාවෙන් වගේ.
"මොනාද
දුලාරා ඔයා මේ කියන්නේ?" කේතකී කිව්වේ සැරෙන් වගේ වුණත් ඒ වචන වල තිබ්බේ අපේ පරණ
පුරුදු යාලුකමේ සෙනෙහසමයි. මට ඈ දිහා බැලුණේ ඒකයි.
"මං
කියන්නේ ඇත්ත නෙවෙයිද කේතකී?"
"වෙච්ච
දේවල් වලට දැන් කරන්න දෙයක් නෑ. විකාර හිතන්න එපා. අයියා හිත හදාගෙන ඉන්නේ ඔයා හොඳින්
ඉන්නවා ඇති කියලා හිතලා. ඔයා ඉන්නේ දුක් කියලා දැනගත්තොත් එයාගේ පපුව පැලෙයි..."
කේතකී කිව්වේ ඒ ඇස් බොඳ වෙද්දි. මට ආයෙම ඇඬුණා.
"දැන්
තවත් ඔය කතාව කතා කරලා වැඩක් නෑනෙ කේතකී. දුලාරා නංඟි, ඔයා දැන් මෙහේ ආවේ මේ පරණ අතීතේ
හාරාවුස්සලා ආපහු හිත් රිද්දගන්න නෙවෙයි නේද? අනික දැන් හෙට අනිද්දට චේතියලගේ අම්මලා
ඔයාලගෙ ගෙදර එනවා නම්, කරන්න තියෙන්නේ ගිහින් එකට ලෑස්ති වෙන එක. තවත් භූප ගැන හිතන්න
එපා. එයා එයාගේ ජීවිතේ හදා ගනී. ඔයා ඔයාගේ ජීවිතේ සාර්ථකව ඉස්සරහට ගෙනියන්න බලන්න.
හැමදේම අතීතෙට එකතු වෙලා ඉවරයි" පුබුදු අයියා ආයෙම කියද්දි මට හිතුණා ඔහුගේ හිතේ
කිසිම තෙතමනයක් නෑ කියලා. ඒත් තිත්ත වුණත් ඔහු කිව්වේ ඇත්ත කියලා පිලිගන්න මට සිද්ධ
වුණා.
මම පුටුවෙන්
නැගිට්ටේ තවත් මුකුත් නොකියා. කේතකී මා දිහා බැලුවේ පුදුමෙන් වගේ. අනුක් පුටුවෙන් නැගිටලා
මා ලඟට ආවා.
"ඔය
නැගිට්ටේ යන්නද?" ඊලඟට එහෙම ඇහුවේ කේතකී.
"ඔව්"
මම කිව්වා.
කේතකී මා
දිහා බලාගෙන උන්නේ දුකෙන්.
"මං
ආවේ වෙච්ච දේටම පුලුවන් නම් මට සමාවදෙන්න කියන්න. ඔයා මට බැන්නත්, ගැහුවත් මම තරහා
නෑ කේතකී. මොකද මං දන්නවා ඒ මොන දේ කරත් අන්තිමට ඔයා මාව තේරුම්ගන්න බව. අද නැතත් කවදකහරි" මම කිව්වම
කේතකීගේ මූණ වෙනස් වුණා. ඈ බිම බලාගත්තා.
"මං
එක්ක තරහා වෙන්න එපා කේතකී. මගේ කරුමෙට මට භූප නැතිවුණා. ඒත් පුංචි කාලේ ඉඳලම තිබුණ
අපේ යාලුකම එහෙම නැති වෙන්න දෙන්න බෑ. ඔයා මං එක්ක තරහා වුණත්, මට හැමදාමත් මගේ හොඳම
යාලුවා ඔයාමයි. මං ආවේ ඒක කියලා යන්න"
අනුක් එක්ක
පුබුදු අයියා අපි දෙන්නා දිහා බලාගෙන උන්නේ ලොකු සංතාපයකින් වගේ.
"මගේ
තරහක් නෑ...හිත දුකට තරහා ආවට මම හිතේ තියාගෙන ඉන්නෑ…අම්මලා එන්න කලින් ඔයාලා යන්න.
තාමත් අම්ම ඉන්නේ හිතේ දුකෙන්. ඒ නිසා මොනා නමුත් අම්මගෙ කටින් කියවුණොත් ඒක ඔයාටත්
දුකක්, ඒක අම්මටත් දුකක් වෙයි." කේතකී එහෙම කිව්වේ හෙමින්. මා දිහා නොබලම. ඇස්
ආයෙම බොඳවුණා මගේ.
"අපි
ගිහින් එන්නම් එහෙනං" අනුක් කිව්වා.
"අපි
ගිහිං එන්නම්" මම කිව්වම කේතකී හිස වැනුවෙත් බිම බලාගෙන.
"මාත්
මෙහෙමම යන්වා කේතකී එහෙනම්" පුබුදු අයියත් පාරට බැස්සේ අපි එක්කම.
කේතකී හිස
වැනුවා. ඒ එක්කම ඈ දිහා බලාගෙන උන්නු මගේ දෑස් ඒ දෑස් වල පැටලුණා. කේතකී...මගේ ආදරණීයම
යෙහෙලිය...ඇස් වල ලොකුම ලොකු දුකක් තවරගෙන මා දිහා බලාගෙන උන්නා. මතක ඇති කාලේ ඉඳන්
මගේම සහෝදරියක් වගේ මා එක්ක හැදුණු වැඩුණු, දුක සැප බෙදාගනිපු මගේ ආදරනීයම මිතුරිය
ඈ නේද කියලා මට එවෙලේ හිතුණා, කොච්චර කැම්පස් එකේ යෙහෙලියෝ උන්නත් කේතකී තරම් සමීප
වුණ කෙනෙක් මට උන්නේ නෑ. එහෙව් අපි දෙන්නට මේ වුණේ මොන තරම් අසාධාරණයක්ද කියලා හිතද්දි
හිතේ දුක තව තව අලුත් වුණා විතරයි.
"අපි
යමුද?" අනුක් අහනකල්ම මායි, කේතකීයි උන්නේ මූණට මූණ බලාගෙන. මම එන්න හැරුණා ඔහේ.
නොහිතා ආවා වුණත් මේ ආපු ගමනෙනුත් වුණේ වේලුණ තුවාල ආයෙම පෑරිච්ච එකද කියලත් මට නොහිතුණා
නෙවෙයි. ඒත් කේතකී තරහා නෑ කියන එක විතරක් හිතේ සැනසීමට ඉතුරු වෙලා තිබුණා.
"නපුරු
පාටක් පෙන්නුවට කේතකී උන්නෙත් ගොඩක් දුකෙන් දුලාරා නංඟි. ඔය දෙන්නගේ ආශ්‍රයත් නැති
වෙලා ගියා කියලා හිතලා. ඔය දෙන්න චූටි කාලේ ඉඳන්ම ගොඩක් එකතු නිසයි, භූපත් ගෙදර දැන්
නැති නිසයි ඒක එයාට ගොඩක් දැනුනා. මොනා වුණත් අද ඔයා ඇවිත් ඒ යාලුකම ආපහු අලුත් කර
ගත්තු එක නම් ගොඩක් ලොකු දෙයක්. කේතකී පව්. අයියගේ, අම්මලගේ දුක් සේරම බල බල, ඒවා විඳගෙන
එයා ඉන්නේ හිත ගොඩක් තද කරගෙන...මං හිතන්නේ දැන් නම් හිතේ පොඩි සතුටක් හරි ඇති එයාගේ"
අපි එන අතරේ පුබුදු අයියා කිව්වේ එහෙම.
මම ඔහු
දිහා බැලුවේ ඔහු ඒ තරම්ම දේවල් දන්නේ කොහොමද කියලා.
"නංඟි
සමහරවිට නොදන්නවා ඇති, මම කේතකී ගැන එයාලගේ ගෙදරින් අහලා තියෙන්නේ. අපි ලබන අවුරුද්දේ
විතර බඳින්න ඉන්නේ" ඔහු කිව්වේ මගේ හිතේ තිබුණ ප්‍රශ්ණේ තේරිලා වගේ.
මම පුංචි
හිනාවක් නැගුණේ කේතකී ගැන උපන්න සතුටට.
"ඒක
කොච්චර දෙයක්ද?"
"මම
භූපගෙ ප්‍රශ්ණෙදි තදින් කතා කරාම, ඔයා හිතන්න ඇති මම මහ පුදුම යාලුවෙක් තමයි කියලා.
ඒත් නංඟි අපි වැඩ කරන්න ඕන දේවල් තර්කානුකූලව හිතලා. පොඩි කාලේ වගේ හිතට එන පලියට වැඩ
කරන්න බෑනෙ. ඒ නිසා දේවල් මේ වෙන විදියටම වෙන්න දෙන එකයි හොඳ. ආයෙමත් භූප වෙනස් කරන්න
පුලුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. ඌ කොහොමටත් හිතුවක්කාරයි නෙ. අනික තමයි දැන් ඔයාට
භූප වෙනුවෙන් කරන්න දෙයක් නෑ"
"ඇ...ඇයි
එහෙම කියන්නේ?"
"නෑ...මං
මේ කිව්වේ, දැන් වෙච්ච දේවල් වෙලා ඉවර නිසා" පුබුදු අයියා මා දිහා වැඩිය නොබලා
එහෙම කිව්වම හිතේ මොකක්දෝ සැකයක් ඇති වුණත් මම ඒ ගැන තවත් අහන්න නොවුණේ, අපේ ගෙවල්
වලට හැරෙන හන්දියටම අපි ඇවිත් තිබුණ නිසා.
"එහෙනම්
මම යනවා දුලාරා නංඟි. ඔය දෙන්න එහෙනම් පරෙස්සමින් යන්න. වුණ දේවල් වුණේ නෑ කියලා හිතලා
අමතක කරන්න. මේ ලෝකේ වෙන වුණ එකම couple එක ඔය දෙන්න විතරක් නෙවෙයි...තව කී තැනක මෙහෙම
දේවල් වෙලා ඇත්ද, වෙනවා ඇත්ද? ඒක තමයි ජීවිතේ හැටි. හමුවීම්, වෙන්වීම්...දේවල් වෙන්නේ
අපි ලබා උපන් හැටියට. ඒ නිසා...හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන, පටන් ගන්න ඉන්න
අලුත් ජීවිතේට මූණදෙන්න හිත හදාගන්න. ඔයාගෙයි, භූපගෙයි දෙන්නගෙම යාලුවෙක් හැටියට මට
කියන්න තියෙන්නේ එච්චරයි…ගිහින් එන්නම් මල්ලි මම "
පුබුදු
අයියා එහෙම කියලා අපෙන් සමුගෙන යද්දි මම අනුක් එක්ක ගෙදර එන්න හැරුණා. අනුක් සුසුමක්
හෙලුවේ අහලගම් හතක් පාලු වෙනතරම් හයියෙන්. මම ඔහු දිහා බැලුවා.
“I
don’t know what to say” ඔහු කිව්වේ කලකිරිලා වගේ.
“You
don’t have to say anything…I am so glad you were there with me. But.. මම හිතුවේ නෑ දේවල් මෙච්චර මෙහෙම
වෙයි කියලා. මේකට ඔයාවත් ඇඳගත්තට මට සමාවෙන්න අනුක්" මම කිව්වා.
"එහෙම
හිතන්න ඕන නෑ. ඒ ආපු එකෙන් මම ගොඩක්
දේවල් දැනගත්තා"
"ගොඩක් දේවල් දැනගත්තා? මොනාද?"
"ඔයා
ගැන, භූප ගැන, කේතකී ගැන..." අනුක් කතා කලේ මා දිහා නොබලා. මමත් සුසුමක් හෙලුවේ
හිත බර සැහැල්ලු කරගන්න.
"දන්නවද?
මං ඔයා වුණා නං හෙම, මම කවදාවත් භූපව අතාරින්නේ නෑ" අනුක් කිව්වම මම තිගැස්සුනා.
"මම
මහා දුර්වල කෙල්ලෙක් අනුක්"
"ඒ
ඔයා හිතන විදිහ. අපි කවුරුත් දුර්වල නෑ. අපි දුර්වල වෙන්නේ විහින්. දුලාරා තමන්ට හොඳ
මොනාද කියලා තෝරගනිද්දි තමයි අපි ගොඩක්ම ශක්තිමත් වෙන්න ඕන. විශ්වාසයක් තියෙන්න ඕන
අපි කරන දේ ගැන..."
"ඔයා
කියන්නෙත් මම වැරදියි කියලනේ"
"මම
කියන්නේ ඒක නෙවෙයි. You just should not take things for granted. If you want
something you should fight for it. You should be determined. You just cannot let
others emotionally blackmail you…”
"ඉතිං
දැන් ඔයා මට කරන්න කියන්නෙ මොනාද?" මම ඇහුවා.
"දැන්
මොනවත් කරන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ දුලාරා. It’s upto you to decide what to
do. මං කෙලින්ම කියන්නම්. මට අද ඇහුණ දේවල්, දැක්ක දේවල් ගැන හිතුවම මට හිතෙන එකම දේ
මේකයි. චේතිය අයියා ඔයාට ගැලපෙන කෙනා නෙවෙයි. ඒ නිස මොනා කරන්නත් කලින් ආයෙම හිතන්න.
ගොඩක් හිතන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. Whatever your decision would be, I
will be always there to help you. It’s all I can do for you and I will do it no
matter what”
අනුක් එහෙම
කිව්වම මට ඔහු ගැන දැනුනේ ලොකු සෙනෙහසක්. මම ඔහු දිහා බැලුවා මදහසක් එක්ක.
"අපි ඉක්මණට යමු. දැන් අපි මෙහේ බැහැලා
පැය දෙකකටත් වඩා ගිහින්. අම්මලා බලාගෙන ඇති..." අනුක් එහෙම කිව්වම මම ටිකක් පය
ඉක්මණ් කලා.
අපි අතරේ
ඉන්පස්සේ කතාවක් ඇති වුණේ නෑ. අනුක් උන්නෙ කල්පනාබරව, මමත් එහෙමයි. මට තීරණයක් ගන්න
ඕන වුණා. ඒත් ඒක මොකක්ද කියලා මම තාම හිතන්න පටන් අරන් තිබුණේ නෑ. ඒත් එකමෙක දෙයක්
තදින්ම මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණා. ඒ...මට අනාගතේදි කණගාටු වෙන්න වෙන දෙයක් මම
කොහොමවත් කරන්නේ නෑ කියන එක. ඒ එක්කම හිතේ එක පැත්තක්ම රිදුම් දිදී තිබුණේ භූප වෙනුවෙන්.
ඔහු ගැන වෙන් කවරදාකටත් වඩා ආදරයක් වේදනාවක් හිතේ පිරිලා තිබුණා. දැන් මට කරන්න තිබුණේ ඊලඟට වෙන්න ඕන දේ තීරණය කරන්න විතරයි.
No comments:
Post a Comment