Saturday, February 8, 2014

අවසරයි ලං වෙන්න : හතලිස් නමවන කොටස



හවස හය විතර වෙද්දි චේතියයි, අනුක්ලගේ තාත්තයි දෙන්නම එකටම වගේ ගෙදරට ආවා. ඉතිං ආයෙම පාඩම් කරන්න යන්න මට වෙලාවක් ලැබුණේ නෑ. කොච්චර කවුරු හිටියා වුණත්, අනුක්ලාගේ තාත්තා ආවට පස්සේ ගෙදර අමුතුම පිරුණු ගතියක් ආවා කියලා මටත් දැනුනා. සමහරවිට ගෙදර කට්ටිය වැඩි වුණ නිසාද, එහෙමත් නැත්තම් හැමෝම උන්නේ ගොඩක් සතුටින් නිසාද මන්දා.
"කොහොමද ඉතිං මේ ලමයගේ වැඩ කටයුතු? අපේ ගෙදර අය දුවට හොඳට සැලකුවා හෙමද?" අනුක්ලගේ තාත්තා මාව මුණගැහුණ වෙලේ ඇහුවේ එහෙම.
"අනේ ඔව් අන්කල්. කිසිම කරදරයක් නෑ, මට දැනෙන්නේ මගේ ගෙදර වගේමයි" මම හිනාවෙලා කිව්වා.
"ඒක එහෙම වෙන්න එපායැ. නැද්ද පුතේ. ඔය දෙන්නම ඉතිං දැන් අපේම ළමයි නේ" අනුක්ලගේ තාත්තා ලඟම උන්නු අයියවත් ඇදලා අරගෙන කිව්වා.
"අප්පච්චිලා මේ කරන්නේ අපට ගොඩක් ලොකු උදව්වක්. ඒකට කොහොම ස්තුති කලත් මදි..." අයියා කිව්වේ ගෞරවය මුසු වුණ ස්වරයකින්.
"පිස්සුද පුතා...ඕක මහ ලොකු දෙයක් නෙවෙයි නේ...එහෙම හිතන්න ඕන නෑ. මේ ළමයා අපට අපේ ගෝතමී වගේම තමා. මෙහේ එයාට හොඳ  නම්, ආරක්ෂාවයි නම් එච්ච්රයිනේ. හා...යමු යමු...පොඩාක් මොනා හරි කන්න බොන්න"
අනුක්ලගේ තාත්තා අපි දෙන්නම ඇදගෙන එලියට ආවේ අද කෑම මේසේ ලෑස්ති කරලා තිබුණේ ගෙයි දකුණු පැත්තේ එලියේ හදලා තිබුණ ලොකු summer house එක ඇතුලේ නිසා. අපි හරියට යද්දි චේතිය ඉස්සරහට ආවා. නිසා මාව මග දාලා දෙන්නා යන්න ගියේ මගේ සතුට වියැකෙද්දි.
"කොහෙද මේ දුවන්නේ?" චේතිය ඇහුවේ මා දිහා බලලා හිනාවක් පාන ගමන්. මම බිම බලා ගත්තා.
"චේතිය අයියා මොනා හරි කෑවද?" මම වෙන අහන්න දෙයක් නැති නිසා ඇහුවා.
"තාම නෑ. ඔයා නැතුව මම තනියෙම කන්නේ නෑනෙ" ඔහු එහෙම කිව්වම මට දැනුනේ අපහසුතාවයක්.
"අපි යමු එහෙනම් කන්න. අක්කලා එතන නේද?"
"පොඩ්ඩක් ඉන්නකෝ ඉතිං. ඔයාට බඩගිනිද?" චේතිය එහෙම ඇහුවම මම මුකුත් කිව්වේ නෑ.
"මට දවස් ගානක් එන්න බැරි වුණේ ඇයි කියලා අහන්නේ නැද්ද?" ඊට පස්සේ චේතිය ඇහුවා.
"මම හිතුවා කොලඹ වැඩක වෙන්න ඇති කියලා" මම බොරුවක් කිව්වා.
"කොලඹත් ගියා තමයි. ඒත් ඊටත් වඩා මට හිතුණා ඔයාට පොඩ්ඩක් කාලේ දෙන්න ඕන කියලා හිත හදාගන්න. මම ඒකමයි ඔයාට direct call එකක් වත් නොදුන්නේ. ඒත් මම ඔයා ගැන හොයලා බලන්නේ නැතුව හිටියේ නෑ" චේතිය එහෙම කිව්වේ මුදු ස්වරයකින්.
"හ්ම්" මම හිස වැනුවේ වෙන කරන්න දෙයක් නැති නිසා.
"ඔයා හිත හදාගන්න ඕන තරම් කල් ගන්න. ඒකට කමක් නෑ. ඒත් පොඩි ප්රශ්ණෙකට තියෙන්නේ, අපේ ගෙදරඉන් මේ කටයුතු ඉක්මණ් කරන්න කියන එකයි. අම්මලා කියන්වා අඩු තරමේ ඔයා out වුණ ගමන්ම වගේවත් මේක කරන්න කියලා. මොකද මගේ කේන්දරේ හැටියට අවුරුදු තිහ වෙන්න කලින් බඳින්න ඕනලු. දන්නැද්ද අම්මලගේ හැටි. එයාලා ඕවා හරියට විශ්වාස කරනවනේ. මට මුකුත් කියන්නත් බෑනෙ" චේතිය කියාගෙන යද්දි මගේ හිස ගිනි ගන්නවා වගෙයි මට දැනුනේ.
"අම්මලා කියනවා දුලාරා මේ අවුරුද්දේ අනිතිමට වගේ ඔයාලාගේ ගෙදර එන්න ඕන කියලා. මම දුලිතටත් කිව්වා. ඔයාගේ තාත්තටත් මම කතා කලා. එහෙම වුණොත් ඊලඟ march වලට කලින් registration එක ගන්නවට ඔයා මොකද කියන්නේ? අම්මලා නම් කිඅයන්නේ පස්සෙව් වෙඩින් එක ගන්නකල් register කරලා තියන්න කියලා" චේතිය කිව්වේ පරෙස්සමට වචන එකතු කරන ගමන්.
මම ඔහු දිහා හිස උස්සලා බැලුවා.
" වෙද්දිත් මට හිත හදාගන්න බැරි වුණොත්?" මම ඇහුවේ එච්චරයි.
පාර චේතියගේ මූණේ හැඟීම් වෙන්සස් වුණා.
"ඒක අම්මලා දන්නේ නෑනෙ දුලාරා. අනික මට පුලුවන්ද එහෙම දේවල් අම්මලට කියන්න? උත්සාහ කලොත් ඔයාට හිත හදා ගන්න බැරි වෙන එකක් නෑ... එකම දේ ඔයා එහෙම කරන්න හිත හදාගන්න ඕන. බැන්දට පස්සෙත් ඔය දේවල් හිත හිත ඉන්නද? මටත් ඉන්න පුලුවන් සීමාවක් තියෙනවනේ." චේතිය කිව්වම මගේ හිතේ පිරුණේ ලොකු නොරිස්සුමක්.
"out වෙනකල් මට බඳින්න නම් බෑ. මට මේ ඉගෙනීම නිදහසේ කරගන්න ඕන. අඩුගාණේ මට ඒකටවත් ඉඩ දෙන්න චේතිය අයියා. ඔයාට පුලුවන් නම් මේක අම්මලට තේරුම් කරලා දෙන්න. ලබන අවුරුද්දේ මුල නම් කොහොමවත් බෑ... අවුරුද්දේ project එකත් තියෙනවා. එතකොට මගේ ඔලුව නිදහසේ තියෙන්න ඕන. මට බඳිනවා වගේ දෙයක් හිතන්න බෑ එතකොට" මම කිව්වා.
"වෙඩින් එක ගන්නේ නෑනෙ" චේතිය කිව්වා.
"වෙඩින් එක නොගත්තට රෙජිස්ටර් කරන්වා කියන්නේ බඳින එකමනේ" මම කිව්වා.
චේතිය සුසුමක් හෙලුවා.
"මෙතන් තියෙන්නේ ඔයාගේ වැඩ ගැනම ප්රශ්ණයක්ද, නැත්තම් ඔයා මාව මැරි කරන්න අකමැති එකද?"
ඔහු ඊට පස්සේ ඇහුවේ මගේ දිහා එක එල්ලෙම බලන ගමන්. මම ආයෙම බිම බලාගත්තා.
"මම කිව්වනේ. මට තාමත් හිත හදාගන්න බෑ. ඒත්...අම්මලට ඕන මේක නම් මට වෙන කරන්න දෙයක් නෑ. ඔයත් ඒක දන්නවනේ. මාව තේරුම් ගන්න..." මම කිව්වා.
"මටත් කියන්න තියෙන්නේ ටිකම තමයි දුලාරා. ඔයා මාව තේරුම් ගන්න. මම මේ හැමදේම කරන්නේ ඔයාට ආදරේ නිසා. ඔයාව මගේ ලඟට ගන්න මට ඕන නිසා. ඔයාට අබමල් රේණුවක තරම්වත් දුකක් නොදී මට ඔයාව බලාගන්න ඕන නිසා. නිසා මං ගැනත් හිතන්න"
ඔහෙ එහෙම කියලා එතනින් යන්න ගියා.
මම එහෙමම එතනම නැවතිලා උන්නේ, අවුල් වෙච්ච හිත සංසුන් වෙනකල්.
"දුලාර..."
මම හිස උස්සලා බැලුවේ අනුක්ගේ හඬට. ඔහු එනවාවත් මම දැක්කේ නෑ.
"මෙතන මොකෝඅ කරන්නේ? යන්නැද්ද කන්න?"
"යන්න ඕන" මම කිව්වේ ඕනවට එපාවට.
"මොකද මේ මූණ ඇඹුල් කරගෙන? චේතිය අයියා මොනා හරි කිව්වද?" අනුක් ඇහුවම මම ඔහු දිහා බැලුවා.
"නෑ මම දැක්කා දෙන්නා කතා කර කර ඉන්නවා" ඔහු ඊට පස්සේ කිව්වා.
"එයාට පිස්සු අනුක්...ලබන අවුරුද්දේ වෙඩින් එක රෙජිස්ටර් කරමුද අහනවා" මම ඔහේ කිව්වා.
"what .... what...?? wedding? ඔයා එතකොට out වෙලත් නෑනෙ" අනුක් කිව්වා.
"ඒක තමයි මාත් කිව්වේ. අඩුගාණේ out වෙනකල්වත් ඉමු කියලා" මම කිව්වා හිතේ දුකක් පෙරලි කරද්දි.
"දුලාරා...මේ බලන්න..." අනුක් පාර කිව්වේ දයාබරව.
මම යන්තම් ඔහු දිහා බලලා ආයෙම බිම බලාගත්තා. ඇස් දිහා මට බලන්න බෑ.
"ඔයා හිතන්වද වෙද්දි ඔයාගේ හිත හැදිලා තියෙයි කියලා? මම එහෙම අහන්නේ, ඔයා මේ විදියටම ඉඳගෙන චේතිය අයියව මැරි කලොත් ඒක ඔය දෙන්නටම කරගන්න අසාධාරණයක් හන්දා" අනුක් කිව්වා.
"මම දන්නවා අනුක් ඒක. හිත හදාගන්න නම් මට මැරෙනකල්ම පුලුවන් වෙන එකක් නෑ. ඒත්...අපේ අම්මලට, චේතියට, එයාලේ අම්මලට ඒක තේරුම් කරන්නෙ කොහොමද මම?" මම ඇහුවා.
"ඉතිං ඔයා බඳින්න බෑ නොකියන්නේ ඇයි?" අනුක් එහෙම ඇහුවම මම පොඩ්ඩක් විතර තිගැස්සුනා.
"..බෑ.. කියන්න? එහෙම කොහොමද කරන්නේ?"
"ඉතිං ඔයා මට එහෙනම් කියන්නේ. ඔයා මට කී දවසක් කියලා තියෙනවද චේතිය අයියව බඳින්නේ නෑ කියලා. එහෙමම ඇයි එයාට කියන්න බැරි?" අනුක් ඇහුවා.
"මං දන්නෑ අනුක්. මම අම්මලා ගැනත් හිතන්න ඕන" මම කිව්වා.
"අම්මලා ඔයා කිව්වොත් තේරුම් නොගෙන ඉඳීවිද?"
"මම දන්නෑ දෙයියනේ...මම ඔය ගැන හිතන්නවත් ආස නෑ" මම කිව්වේ ඇත්තටම කලකිරීමකින්.
"හරි හරි. දැන් මූන ඇඹුල් කරගන්න එපා. අපි බලමුකෝ මොකද කරන්න පුලුවන් කියලා. දැන් යන් කන්න. එන්න"
අනුක් කිව්වත් මට කන්න පිරියක් තිබුණේ නෑ. ඒත් මම ඔහු එක්ක ඔහේ ඇවිදගෙන ගියා. කට්ටියම හිනා වෙවී, විහිලු කර කර උන්නත් මගේ හිත තිබුණේ දොම්නසකින් අඳුරු වෙලා. චේතිය වගේම අනුක් පවා මා දිහා විටින් විට බලනවා මම දැක්කා. ආයෙම භූප මතක් වෙලා හිත ගොඩක් දුක්බර වුණේ, අපි එකට උන්නා නම් මට මේ සේරම කරදර විඳගන්න ශක්තිය තියේවි නේද කියලා මට හිතුණ හන්දා.
****
"තාරු අන්න මහපොල දාලලු"
නෝට් වගයක් ෆොටෝ කොපි කරන්න ගිය නිලීකා ගෙම්බා එකට ආවේ එහෙම කියාගෙන.
"අනේ ඇත්තද? එහෙනම් කාලා යමු ටක් ගාලා. හප්පේ රිම් එකත් ගෙවිලයි තිබුණේ අද වෙද්දි. යන්තම් ඇති දාලා නම්"  තාරකා කිව්වේ කන එක තව ඉක්මණ් කරන ගමන්.
අපි හතර දෙනාගෙන් මහපොල ලැබුණේ නිලීකටයි, තාරකාටයි විතරයි. මගෙයි චතුරිගෙයි තාත්තලා රජයේ සේවකයෝ හන්දා අපට මහපොල හම්බවුණේ නෑ.
"එහෙනම් අද හවස තේ ඔය දෙන්නා ගාණේ නේද?" මම ඇහුවා.
"බලමු බලමු"
 අපි කාලා ඉවර වෙලා සෙනෙට් එක පැත්තට ඇවිදගෙන ගියේ ඒක කෙලවර තිබුණ ලංකා බැංකුවට යන්න. තාරකා නිලීකා එක්ක ඉක්මණට ගිය නිසා, මමයි චතූයි, සෙනෙට් එකට යන ප්‍රධාන පඩිපෙල නැගලා ගියේ, අව්වෙන් බේරෙන්න සෙනෙට් එක ඇතුලට යන්න.   බිම් මහලේ තිබුණ ගල් කණු හරියට අපට දැනුනේ කාලෙක ඉඳන් දන්න යාලුවෝ පිරිසක් වගේ. පාඩම් කරන්න, වල් පල් කියව කියව ඉන්න, කවුරු හරි එනකල් බලා ඉන්න, ඔහේ ඇවිදගෙන යන්න, අපි ගොඩ වෙලාවට සෙනෙට් බිම් මහල පාවිච්චි කලා.
"ඒක නෙවෙයි දුලා... මට ඔයාට කියන්න බැරි වුණානෙ. අර ඔයා එක්ක එන අනුක් මම දැක්ක දවසක් අර සාලිය අයියලා එක්ක කතා කර කර ඉන්නවා" චතූ කිව්වේ අපි පඩිපෙල නගින අතරතුරේ.
"කවද්ද? මට පෙන්නුවේ නෑනෙ ඔයා"
"ඔයාලට එවෙලේ ITC එකේ practical ගිහින්"
"එහෙමද? මොකද දන්නෑ අනුක් එයා එක්ක කතා කලේ" මම එවෙලේ හිතමින් උන්නු දේ වේචනෙට නැගුවා.
"අනේ මන්දා. එයා භූප ගැන දන්නවද? චතූ ඇහුවා.
ඒත් මම ඒකට උත්තරයක් දෙන්න කලින්, සෙනෙට් එකේ උඩ තට්ටුවේ ඉඳන් එන ප්ඩිපෙල දිහේ බහිමින් උන්නු සාලියව මගේ ඇස ගැටුණා.
"අම්මෝ, ඔලුවේ පණ තියෙනකල් මැරෙන්නෑ. අර සාලිය අයියා නේද?" චතූත් ඔහුව දැකලා.
අපිව දැකපු ගමන් සාලිය නැවතුණේ බය වෙලා වගේ. එක පාරටම වුණ දේ නිසා මට හිනාවෙන්න්න මතක් වුණෙත් නෑ. එක්ක්ම අපි තව එතනට ලං වෙද්දි, රනිල් එක්ක පඩිපෙල බැහැගෙන ආවේ භූප. චතූ මගේ අතකින් අල්ලගත්තා.
භූපත් එවෙලෙම වගේ අපි දෙන්නව දැක්කා. මම දන්නෑ ඔහුට ආපහු හැරෙන්න හිතුණද කියලා. ඒත් ඔහුට එහෙම කරන්න වෙලාවක් තිබුණේ නෑ. මාව දැකපු භූප උන්නෙත් මොහොතක් තුෂ්නිම්භූත වෙලා.
"අපි යමු" චතූ මගේ අතකින් ඇදලා කිව්වේ රහසින් වගේ.
" නංඟිලා මේ කොහේ යන ගමන්ද?" මොන්වත් වුණේ නෑ වගේ සාලිය එහෙම ඇහුවේ අපි හැරෙන්න හිතද්දි.
"බැංකුවට" උත්තර දුන්නේ චතූ. මම උන්නේ බිම බලාගෙන.
"මහපොලද?" රනිල් ඇහුවා.
"අපට නම් නෑ. නිලීකලා ගන්න ගියා" චතූ කිව්වා.
"අපිත් මේ ආවා නංඟි clearance ගන්න. පොඩි ගාස්තු වගයක් due තිබ්බා ටික ගෙවන ආවේ" සාලිය කිව්වා.
මම දැක්කේ නෑ භූප එවෙලේ කරමින් උන්නේ මොකක්ද කියලා.
"දුලාරා නංඟි තාම ඉන්නේ අස්ගිරියෙද?" මම නොහිතපු වෙලාවක එහෙම ඇහුවේ රනිල් අයියා.
මම හිස උස්සලා බලද්දි භූපගේ ඇස් තිබුණේ මම ලඟ. ඒත් ඊලඟ ඇසිල්ලේ ඇස් වෙනතක හැරුණා.
"ඔව්" මම කිව්වේ ඇහෙන නෑහෙන ගාණට.
භූප උන්නේ අහක බලාගෙන. මගේ හිතේ ඔහු ගැන ඇති වෙමින් තිබුණේ දුකක් එක්කම මුහු වුණ කෝපයක්. ඔහු මාව දැක දැක මෙහෙම ඉන්නේ කොහොමද කියලා අහන්න මට ඕන වුණා. මගේ හිත හැම මොහොතම ඔහු වෙනුවෙන් තැවෙන හැටි, දුක් වෙන හැටි, දැවෙන හැටි ගැන වගක්වත් නැතුවා වගේ ඔහු ඉන්නේ කොහොමද කියලා මට දැනගන්න ඕන වුණා.
"කොහොමත් ඊට පස්සෙත් මම ගොඩක් වෙලාවට නුවරම ඉඳීවි" මම කියන්න ගත්තේ මෙතනට කොහෙත්ම අදාල නැති දෙයක්.
"එහෙමද? මෙහේ ජොබ් එකක් වත් හම්බවෙන්න යනවද?" එහෙම ඇහුවේ රනිල් අයියා.
"නෑ. මම ලබන අවුරුද්දේ මැරි කරනවා. මැරි කරන කෙනාගේ ගම මෙහේ. ඒකයි"
මම නිර්දය ව්දියට එහෙම කිව්වේ භූප දිහාම බලාගෙන. මට දැනුනා මගේ සියොලඟම යන්තමින් වෙව්ලන හැටිත්. මට ඕන වුණේ භූපට රිද්දන්නද?
"...එහෙමද?" සාලිය අයියා ඇහුවේ අපහසුවෙන් වගේ, භූප දිහාත් ඇස් කොනින් බලන ගමන්.
"අපි යන්නද අයියේ එහෙනම් අරයලා බලාගෙන ඇති. දැන් එකට ලෙක්චර් එකක්. යමු නේද දුලා?" චතූ කිව්වේ තව එතන හිටියොත් මම තව තව අප්සට් යන වග දන්න නිසා වෙන්න ඇති.
මම තාමත් උන්නේ භූප දිහා බලාගෙන. අපි යනවා කිව්ව නිසාදෝ ඔහු හිස උස්සලා බැලුවා. නිදිබර ඇස් තිබුණේ රතු වෙලා. එක නිමේෂයකට අපේ ඇස් හමුවෙලා තියෙන්න ඇති. හිත කඩා වැටෙද්දි භූප අහක බලාගත්තා.
"කේතකීව මම මතක් කලා කියන්න භූප" මම එහෙම කියාගෙන එන්න හැරුණා. චතූ මගේ අතක් තදින්ම අල්ලගෙන හියියේ මම පැනලා දුවයි කියලා වගේ.
භූප වචනයක් වත් නොකියා, මගේ දිහාවත් නූබලා ඉන්න හැදුවේ ඇයි කියලා මම දැනගෙන උන්නේ නෑ. නිසාම හිත තිබුණේ ගොඩක්ම රිදිලා. බැංකුව ලඟට එද්දි මම උන්නේ මාවම පාලනය කරගන්න බැරි මට්ටමක. ඇස් වලට කඳුලු උනන්න වුණේ උල්පතක වගේ.
"ප්ලීස් දුලා...අඬන්න නම් එපා. අනේ වගේ මහා කොන්දක් නැති මිනිහෙක් වෙනුවෙන් ඔයා අඬන්නේ ඇයි දුලා? පොඩ්ඩක් හිතන්න අම්මලා ගැන. අයියා ගැන. චේතිය ගැන. වෙච්ච දේ අමතක කරන්න දුලා. බලන්න අඩුගාණේ ඔයා එක්ක එක වචනයක්වත් කතා කලාද? ඔයා ඇයි එහෙව් එකේ තවත් එයා ගැන හිතන්නේ?" චතූ කියවගෙන කියවගෙන ගියා.
ඒත් බැංකුව එහා පැත්තේ බිත්තියට හේත්තු වෙලා මම හොඳටම ඇඬුවා. මට තවත් හිත ගල් කරගෙන ඉන්න පුලුවන් වුණේ නෑ. චතූ මුකුත්ම කිව්වේ නෑ. මොනවත් ඇහුවෙත් නෑ. මම දැනගෙන හිටියා චතූ උන්නේ තරහින් කියලා.  චතූට තේරෙන්න නැතිව ඇති නෑ ගෙ හිතේ තියෙන වේදනාව. වේදනාව දිය වෙන්න අඬනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් මම දැනගෙන උන්නේ නෑ.
***
හවස ගෙදර යන්න කාර් එකට නැග්ගම, වාහනේ start නොකරම අනුක් මා දිහා බලාගෙන උන්නා.
"ඔයා අද වෙනස්. අදත් මොනා හරි කේස් එකක් වුණාද?"
අනුක් ඇහුවම මම මොහොතක නිහඬවම උන්නා. අනුක්ට මගේ වෙනසක් තිබුණොත් දැනුනේ ඉවෙන් වගේ. වෙලාවකට ඒක හිතට සහනයක් වුණත්, තව වෙලාවකට ඒක මට මහා වදයක් වගෙත් දැනුනා. මම දැනං උන්නේ නෑ ඇයි අනුක් මේ තරම් මා ගැන සැලකිල්ලක් දක්වන්නේ කියලා.
"මුකුත් වුණේ නෑ අනුක්" මම ඊට පස්සේ කිව්වා.
"ඔයාගේ ඇස් රතු වෙලා...ඔයා අඬලා-"
"අනේ අනුක් දෙයියන්ගේ නාමෙට මට මගේ පාඩුවේ ඉන්න දෙනවද? මට ඔය තරම් ඔයාගේ ප්රශ්ණ වලට උත්තර බඳින්න බෑ" හැමදාකම වගේ මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ ගොඩ වෙලාවක් යන්න කලින්ම.
"..කේ.. අයෑම් සොරි. සොරි. අයෑම් ටෝටල් ජර්ක්. හැමදාම ඔයාට උදව් කරන්න ගිහින් මම ඔයාගෙන් බැනුම් අහනවා. මම කවදාවත් පාඩමක් ඉගෙන ගන්න මිනිහෙක් නෙවෙයි..." අනුක් පාර වාහනේ start කලේ තමන්ටම එහෙම කියාගනිමින්.
හැම්දාකම වෙන්නා වගේ මට එවෙලේ අනුක් ගැන දුක හිතුණා. ඇත්තටම මට කරුණාවන්ත ඔහු හින්දද මම හිතේ තියෙන සේරම තරහා ඔහු පිටින් යවන්න හදන්නේ?
"ඔයාට බැන ගන්න එපා" මම කිව්වේ ඒකයි.
"නෑ නෑ. ඔයා මා ගැන හිතන්න ඕන නෑ. ඔයාට මොනා හරි වුණාම අන්තිමට පලි මමනේ. මම උදව් කරන්න යන එක තමයි මම කරන ලොකුම වරද..."
"අනුක්-"
"මට දැන් කතා කරන්න එපා. ඔයාට පාඩුවේ ඉන්නනේ ඕන වුණේ. ඉතිං පාඩුවේ ඉන්න"
"අනුක්...I am sorry අනුක්..."
පාර අනුක් වාහනේ නතර කලා එක පාරටම, Science Faculty ලඟදි.
"සොරි කිව්වම සේරම හරියනවද? දුලාරා...මටත් තියෙන්නේ හිතක්. හැඟීම් දැනෙන හිතක්. මම ඔයාගේ හිත හදන්න හදද්දි, ඔයාට උදව් කරන්න හදද්දි ඔයා හැම වෙලේකම මාව condemn කරනවා. ඔයාගේ ego එක නිසා. ඔයා හිතන්නේ සේරම තනියෙම කර ගන්න පුලුවන් කියලා...ඒක්යි" අනුක් කිව්වේ අමනාපෙන්.
"මම දන්නෑ අනුක් මට මොනා වෙලාද කියලා. භූප දැක්කම මම දන්නෑ මට මොකද වෙන්නේ කියලා. හිතේ ඉතිරි වෙන්නේ හැමදේ ගැනම එපා වීමක් විතරයි. please මට සමාවෙන්න..." මම කිව්වේ අඬන්න ඔන්න මෙන්න.
අනුක් සුසුමක් හෙලලා ආයෙම යන්න පටන් ගත්තා.
"දැන් භූප කොයි වෙලේද හම්බුණේ?" ටික වෙලාවකින් අනුක් ඇහුවා.
"අද දවල්"
"කොහේදිද? එයාල දැන් out නේද?"
"ඔව්. ඒත් සෙනෙට් එකට ඇවිල්ලා යන වෙලේ අපට හම්බවුණා"
"ඉතිං එයා මොකද කිව්වේ?"
"මුකුත් නෑ"
"මුකුත් නෑ? ඉතිං...මුකුත් නොකියම ඔයා ඔච්චර අප්සට් ගියේ?"
"මම දන්නෑ අනුක්. එයා මුකුත්ම නොකියා අහක බලාගෙන උන්නම මගේ හිත රිදුනා. මං දන්නෑ...එයා ආපහු ඇවිත් මාව ආපහු ලං කර ගනී, ආයෙම අපට එකතු වෙන්න පුලුවන් වෙයි කියලා මගේ හිතේ හැම වෙලේකම බලාපොරොත්තුවක් තියෙනවා. එයා එහෙම ගියේ මට ආදරේ නැති නිසා නෙවෙයි. ඒත් මෙහෙම කතා නොකර ඉද්දි මට ඒක දරා ගන්න අමාරුයි අනුක්" මම ඔහේ කියෙව්වා.
අනුක් ආයෙම සුසුමක් හෙලුවා. එතකොට අපි ගන්නෝරුව පාලම ලඟින් උඩ පාරට හැරෙව්වා විතරයි.
"අපි Delight එකෙන් මොනා හරි බීලා යමුද? මට මාර බඩගින්නක් එනවා"  අනුක් පාර ඇහුවා.
"හා" මම කිව්වේ එච්චර නොහිතා.
අපි Delight එක ලඟට යනකල්ම අපි ආතරේ ආයෙම කතාවක් ඇති වුණේ නෑ.
"දුලාරා...මේ බලන්න"
Delight එකේ වාඩි වෙලා කන්න දේවල් හෙම අරගෙන ඇවිත් අනුක් කතා කරද්දිත් මම උන්නේ කල්පනාවක.
"ම්ම්"
"ඔහොම ගියොත් ඔයාට වැඩිකල් නොගිහින් පිස්සු හැදෙයි. ඔය තරම් දේවල් ගැන හිතන්න එපා දුලාරා. ඔයාම හිතලා බලන්න මේ තියෙන තත්වේ විදිහට තවත් ඔය ගැන හිතලා වැඩක් තියෙනවද කියලා?" අනුක් කිව්වේ දයාවෙන්.
මම මේසේ මතුපිට දිහා බලාගෙන අහගෙන හිටියා.
"මට භූපව අමතක කරන්න බෑ අනුක්. මම උත්සාහ නොකරනවා නෙවෙයි. ඒත් මගේ හිත කියන්නෙම භූප තවමත්   මට ආදරෙර්යි කියලා. එහෙම හිතෙද්දි මට එයාව අමතක කරන්න හිත හදාගන්න බෑ" මම මිමිණුවා.
"ඔයා ඇයි එහෙම හිතන්නේ?"
"මට භූප කියපු දේවල් නිසා, කේතකී කියන දේවල් නිසා එහෙම හිතෙනවා" මම කිව්වා.
" ඔයා එහෙම බලාපොරොත්තු වෙන නිසා වෙන්න බැරිද? ඔයා psychology දන්නවනේ. එහෙම වෙන්න බැරිද?" අනුක් ඇහුවා.
"මම දන්නෑ අනුක්. එහෙම වෙන්නත් ඇති. ඒත්...ඒක මම හරියටම දැනගන්න ඕන. මව දාලා භූප ගියේ ඇයි කියලා මට හරියටම දැනගන්න ඕන. එහෙම නැතුව මට කොහොමවත් හිත හදාගන්න බෑ අනුක්" මම කිව්වා.
අනුක් පාර මා දිහාම බලාගෙන උන්නා මොහොතක්.
"එහෙමද?...හරි, හිතන්න අපි ඔය හේතු ප්‍රත්‍ය සේරම හොයා ගත්තා කියලා. හිතන්න ඔයා කියන විදියට භූප ඔයාට තාමත් ආදරෙයි කියලා අපි හොයා ගත්තා කියලා. ඊට පස්සේ? ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඔයා හිතනවද එහෙම වුණාම ගෙදරින් කැමති වෙයි කියලා? එතකොට ප්‍රශ්ණ විසඳෙනවා කියලා? එතකොට ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ දුලාරා. ආපහු සේරම මහා අවුල් ජාලයක් වෙයි"
මම අනුක් දිහා බැලුවා. ඔහු මගේ දෑස් දිහා බලාගෙන උන්නා.
"එහෙම වෙන්නේ නෑ අනුක්. භූප තාමත් මට ආදරෙයි කියලා දැනගත්තා කියලා මම ආපහු එයා ලඟට යන්නේ නෑ. මට ඒක කරන්න බෑනෙ. මට අම්මලගේ හිත් රිද්දන්න බෑ. ඒත් මම කවදාවක් කසාද බඳින්නේ නෑ. භූප වෙනුවෙන්, එයාට ආදරේ කර කර මම මැරෙනකල්ම තනියෙම ඉන්නවා අනුක්" මම කිව්වේ ඇත්තටම.
well that will be a real tragedy then
Iam serious Anuk
"Yeah, I know, I am serious too. But I don’t understand you dulara. මට මම කරන්නේ මොනාද කියලවත් වෙලාවකට තේරෙන්නේ නෑ. හරි නම් මම ගන්න ඕන චේතිය අයියාගේ පැත්ත. ඒත් මම දැන් ඉන්නේ ඔයාගෙයි, භූපගෙයි පැත්තේ. Anyway, ඔයාට ඕන භූප ගැන දැනගන්න නම්, අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා"
අනුක් කිව්වම මට ඔහු ගැන දැනුනේ ලොකු ආදරයක්. ඇත්තටම ඔහු මා ගැන කොච්චර නම් හිතනවද? මම ඔහු දිහා බලාගෙන උන්නේ හැඟීමෙන්මයි.
"ඇයි ඔහොම බලන්නේ? මම කියන්නේ බොරුවක් කියලා හිතුවද?" අනුක් ඇහුවේ කන්න ගෙනාපු රෝල් එකක් කටේ ඔබාගන්න ගමන්.
"ඇයි අනුක් ඔයා මට මේ තරම් උදව් කරන්නේ?" මම ඇහුවේ දයාබරව.
අනුක් ආයෙම මගේ ඇස් වලට එබුණා.
"Frankly...මම දන්නෑ දුලාරා. ඒත් ඔයා ගැන මට දුකයි. ඔයා හිනාවෙලා ඉන්නවට මම ආසයි. මට හිතෙනවා ඔයා මේ දැන් ජීවත් වෙන ජීවිතේ ඔයාට බලෙන් ආරෝපණය කරපු එකක් මිස ඔයාට ජීවත් වෙන්න ඕන විදිය නිසා නෙවෙයි කියලා. එහෙම බලද්දි ඔයා හරියට කූඩුවක හිරවුණ කිරිල්ලියක් වගේ. අන්න ඒකට මම ආස නෑ දුලාරා. මම විශ්වාස කරන්නේ අපේ ජීවිතේ නිදහස තියෙන්න ඕන කියලා. මොනා හරි හේතුවක් නිසා ඒක නැති වෙනවා නම් ඒක මහා දුකක්. අන්න දුක ඔයාට වෙනවට මම ආස නෑ. මොකද ඔයා මගේ ගොඩාක් dearම යාලුවෙක් නිසා" අනුක් කිව්වා.
මම බිම බලාගත්තා, ආයෙම ඔහු ගැන ලොකු හැඟීමක් හිතේ පිරෙද්දි.
ඊට පස්සේ අපි කාලා බීලා ඉවර වෙලා ගෙද එන්න ආවා. එන අතරමග අනුක් ආයෙම භූප ගැන ඇහුවේ නෑ.
"අපි සෙනසුරාදා උදේ පන්සල් යමුද? එතකොට ඔයාගේ ඔය හිතේ තියෙන අප්සට් එක වුනත් පොඩ්ඩක් හරියන්න පුලුවන්. මම ඔයාව අපේ රාහුල පොඩි හාමුදුරුවන්ටත් අඳුන්නලා දෙන්නම්කෝ. හාමුදුරුවෝ හොඳට දන්නවා මිනිස්සුන්ගේ හිත් හැදෙන්න කතා කරන්න" අනුක් කිව්වේ වාහනේ ගෙදර මිදුලට හරවද්දි.
"හා" මම කිව්වා.
අනුක් මා දිහා බැලුවේ හිනාවක් නගාගෙන. මමත් ඔහු දිහා බලලා යන්තම් හිනාවක් පෑවා. අපේ ඇස් තිබුණේ හමුවෙලා.
"ඔයාට තියෙන්නේ හරි අමුතු ඇස් දෙකක් දුලාරා..." අනුක් හිටි ගමන් එහෙම කිව්වම මම ඇස් ලොකු කර ගත්තා.
" කිව්වේ?"
"අනේ මංදා...නිකං කොල්ලෙක්ගේ හිත ටිං ටිං ගානේ විදිහේ" අනුක් කිව්වම මම ඔහුට රැව්වා.
"අනේ යන්න අනුක් විකාර නොකියා" මම කිව්වේ බහින්න බෑග් හෙම අතට ගන්න ගමන්.
අනුක් හිනා වෙවී වාහනේ නැවැත්තුවාම, මම ඒකෙන් බැහැ ගත්තා. මම ගෙයි එලියේ පඩිය උඩ හිටගෙන උන්නේ අනුක් ගෙට එනකල්.
"... දෙන්නා ආවද?"
මම ගැස්සුනා හඬට. සාලේ ඉඳන් අපි දිහාට එමින් උන්නේ චේතිය.

2 comments:

  1. මොකෝ දුලාරා ගැස්සුණේ චේතිය එහෙම ඇහුවාම.. හොර හිත!! හැබැයි මොනවා වුණත් අනුක් දුලාරාට ගැළපෙනවා..!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. මටත් හිතෙනවා දුලාරාට අනුක් ගැලපෙනවා කියලා...

      Delete