Saturday, February 1, 2014

අවසරයි ලං වෙන්න : හතලිස් අටවන කොටස



මම ගොඩාක් ආස කරපු, ආදරය කරපු සරසවියට යන එක මට අද දැනුනේ මහා වදයක් විදියට. හැම තැනකම තිබුණේ හිත පාරවන මතක වල නතඹුන් විතරයි. ඒත් එහාට යනවා විනා මට කරන්න වෙන දේකුත් තිබුණේ නෑ. අස්ගිරියේ ගෙදර තනිවෙන එක මට ඊට වඩා අමාරු දෙයක් වුණා. ඒත් පුදුමෙකට වගේ අනුක්ගේ හිතවත්කම හැම දුකකටම මූණ දෙන්න මට පන්නරයක් දුන්නා කියලා මට හිතුණා.
මම මගේ දුක්බර ආදර කතාව මුලින්ම ඔහුට එලි කරපු වෙලාවේ ඔහු උන්නේ ඒක අදහාගන්න බැරිව වගේ. අන්තිමට ඔහුට තිබුණෙත් මම දස දහස් වතාවක් මගෙන්ම අහගත්තු ප්‍රශ්ණෙමයි. මට තරම්ම ආදරේ මගේ පවුලේ අය ඇයි භූපට තරම් අකමැති වුණේ කියලා. අනික් එක මට පණටත් වඩා ආදරේ කරපු භූප, මම කිසිදාක කැමති වෙන්නේ නැති චේතිය වගේ කෙනෙක්ට මාව ඉතිරි කරලා ගියේ ඇයි කියන එක. ඒත් ඒකට උත්තර අපි දෙන්නටම තිබුණේ නෑ.
"එතකොට දැන් ඔයා මොනාද කරන්න හිතාගෙන ඉන්නේ දුලාරා?" අනුක්ගේ ඊලඟ ප්‍රශ්ණේ වුණේ ඒක.
"මම දන්නෑ අනුක්. මට එහෙම හෙට ගැන කියලා ලොකු බලාපොරොත්තු නෑ. මම ගැන හිතන්නෙත් නෑ. මම දැන් ජීවත් වෙන්නේ මේ මොහොත ගැන හිතාගෙන විතරයි. මට අනාගතේ ගැන හිතන්න බෑ. මම හීන දැකපු මගෙයි භූපගෙයි අනාගතයක් තිබුණා. හීනවල මගේ ජීවිතෙ හැම වටින මොහොතකම භූප මගේ ලඟ හිටියා. ඒත් දැන් භූප අතීතයක්ම විතරක් වෙලා. එයා මගේ වර්තමානෙත් නෑ. කවදාවත් අනාගතේට එන එකකුත් නෑ මම දැකපු හීන වල වගේ. ඉතිං මම ඔහේ ඉන්නවා" මම කිව්වා.
අනුක් මා දිහා වරින් වර බැලුවේ දුකෙන් වගේ.
"ඒත් ඉතිං ඔහොම කොච්චර කාලයක් ජීවත් වෙන්නද? හරියට ලෙඩෙක් වගේ" අනුක් ඇහුවා.
"මම දන්නෑ අනුක්...ඒක කියන්න බෑ. සමහරවිට මාස දෙක තුනක්, අවුරුද්දක්, නැත්තම් මුලු ජීවිත කාලේම වෙන්නත් පුලුවන්"
"හිතාගන්න බෑ දුලාරා, කොහොමද ආඅදරේ මිනිස්සු මේ තරමට වෙනස් කරන්නේ කියලා. මේ තරමට මිනිස්සුන්ගේ හිත් හිතුවක්කාර කරන්නේ කොහොමද කියලා" අනුක් කිව්වේ එහෙම.
"ඔයා හිතන්නේ මම හිතුවක්කාරයි කියලද?" මම ඇහුවේ යන්තම් හිනා වෙලා.
"ඇත්තටම කිව්වොත් ඔව්. ඔයා කරන්නේ ඔයාට ඕන දේ. ඔයා කල යුතු දේ නෙවෙයි. ඒක හිතුවක්කාර වීමක් නෙවෙයිද?"
"අනේ මන්දා...ඒක එහෙම වෙන්නත් ඇති" අනුක් එක්ක වාද කරන්න මට මහන්සි නිසා මම එහෙම කිව්වා.
"ඒත් හිතුවක්කාරකමට වෙලාවකට මම කැමතියි" අනුක් එහෙම කිව්වම මම ඔහු දිහා බැලුවේ කුතුහලෙන්.
"මම කැමතියි වගේ හිතුවක්කාර විදියට ආදරේ කරන කෙල්ලෙක් මටත් හිටියා නම්. එහෙම වුණා නම් ලෝකේ පෙරලුණත් මම එයාව දාලා යන්නේ නෑ" අනුක් කිව්වම මගේ හිත ටිකක් සැලුණා.
"ඔයා එතකොට අම්මලගේ හිත් රිදුණත් ඒක කරනවද?" මම ඇහුවා බොලඳ විදියට.
"නෑ...අම්මලා කැමති වෙනකල්ම එයාලට කරදරයක් වෙවී පස්සෙන් යනවා. අර කුස රජතුමා වගේ මගේ පබාවතී වෙනුවෙන් මම ඕන දෙයක් කරනවා"
අනුක් කිව්වම මට හිනා ගියා.
"කුස්සියේ වැඩ, වත්තේ පිටියේ වැඩ, කුඹුරු වැඩ හෙම කරන්න පුලුවන්ද?" මම ඇහුවේ හිනා වෙලාමයි.
"හිතුවොත් මොනාද කරන්න බැරි" අනුක් කිව්වෙත් පොඩි හිනාවක් එක්ක.
"එහෙනම් පේෂලී හරි ලකී" මම කිව්වාම අනුක් මා දිහා බැලුවේ ගැස්සිලා වගේ.
"පේෂලී?"
"ඔව්...හැබැයි ඉතිං මම හිතන්නෑ ඔය දෙන්නා එකතු වුණොත් නම් ගෙවල් වලින් ප්‍රශ්ණයක් වෙයි කියලා" මම කිව්වා.
"ඇයි ?"
"නෑ ඉතිං, පේෂලී doctor, ඔයා engineer. දෙන්නම පෝසත්, දෙන්නම උඩරට. පෙනුමෙනුත් ගැලපෙනවා...ඉතිං තව වෙන මොනාද?" මම කිව්වා.
"හ්ම්...ම්ම්. ඔව් ඉතිං එව්වා නම් එහෙම තමා. ඒත් එක පොඩි පරහක් තියෙනවා"
" මොකක්ද?"
"පේෂලී මට කැමති නෑ"
අනුක් එහෙම කිව්වම මම ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"කැමති වෙන්න අහන්න එපෑ"
"බල්මුකෝ බලමුකෝ" අනුක් ඊට පස්සේ කිව්වේ මනමාල හිනාවක් හංගන්න ගමන්.
ඊට පස්සේ අපි ටික දුරක් කතාවක් නැතුවම ආවා. වාහනේ radio එක දාලා තිබුණ නිසා ඒකට සවන් දීගෙන.
"දුලාරා..." කැම්පස් එක ලං වෙද්දි අනුක් ආයෙම මට කතා කලා.
"ම්ම්"
"මම ඔයාගෙන් දෙයක් අහන්න, හිත රිද්ද ගන්නෑ නේද?"
"මොකක්ද?"
"හිත රිද්දගන්නෑ කියන්න"
"හිත රිදෙන දෙයක් කියලා සැක නම් අහන්නේ ඇයි?"
"නිකං...මට දැනගන්න ඕන නිසා"
"එහෙනං ඉතිං හිත රිදුනත් මම උත්තරයක් දෙන්නම්කෝ. කියන්න..."
"එක්කෝ ඕන නෑ. ඔයාගේ හිත රිදුණොත් මටත් අප්සට්"
"ඔය ඉතිං...දැන් කියලා අගේ කරනවා. හරි හරි හිත රිද්දගන්නෑ. අහන්න" මම කිව්වා.
"ඔයා තාමත් භූප ගැන හිතනවද?" මම දන්නෑ අනුක් එහෙම ඇහුවේ ඇයි කියලා. හිතට දුකක් නොදැනුනා නෙවෙයි. ඒත් මම හිනා වුණා.
" මේ ගලහා හන්දිය පාස් වෙන හැම මොහොතකම, අපේ ෆැකල්ටියේ මම ඇවිදින අඟලක් අඟලක් ගානෙම, පොලොන්නරුව, lecture හෝල් එක, libraryය, මේ හැම තැනකදිම. අතන විජේවර්ධන එක ලඟ පාලම ලඟදි කෝච්චි පාර දකින හැම වෙලේකම, වැස්ස වහිනකොට, කාමරේ මං තනි වෙනකොට, රෑට කාමර උඩ grill එක අස්සෙන් අහසේ තරු දිලිසෙනවා පේනකොට... කියන්නේ හැම මොහොතකම අනුක්. හැම මොහොතකම" මම එහෙම කියද්දි අනුක් අහගෙන උන්නේ කම්පා වෙලා වගේ.
මම ඔහු දිහා බලද්දිම ඔහුත් මා දිහා බැලුවා. ඇස් දැක්කම හිත හූල්ලනව මට දැනුනා.
"තව එක වෙලාවක් තියෙනවා..." මම හෙමින් කිව්වා.
"මොකක්ද?"
"ඔයා ලඟ ඉන්න හැම වෙලාවකමත් මට භූපව මතක් වෙනවා"
"මම ලඟ ඉද්දි, මොනා නිසාද?"
"මම මේක ඔයාට කියලා නෑ. ඒත් ඔයාගේ ඇස්...ඔයාගේ ඇස්දෙකත් හරියට භූපගේ වගේමයි. ඒකයි" මම ඇස් දිහා නොබලන්න උත්සාහ කරමින් කිව්වා.
"seriously?"
"ඔව්"
අනුක් ටික වෙලාවක් කටත් ඇරගෙන උන්නේ මොකවත් කියාගන්න බැරුව වගේ.
" කියන්නේ මම ලඟ ඉද්දි ඔයාට හිත හදාගන්න අමාරු ඇති, එහෙමද?"
"නෑ...එහෙම එකක් නෑ. ඇත්තම කිව්වොත් මගේ හිත මෙහෙම හරි හදන්නේ ඔයානෙ. මම ඒක කිව්වේ නිකං. ඔයා මොනවත් හිතන්න එපා. ඇස් එක වගේ වුණාට ඔයා භූප නෙවෙයි නේ..." මම කිව්වම අනුක් එක පාරක් මා දිහාට ඉක්මණ් බැල්මක් හෙලුවේ ගැස්සිලා වගේ.
"හ්ම්...thank god for that...මම භූප වෙලා මට ඔයා නැති වුණා නම් මම පිස්සෙක් වෙයි" අනුක් කිව්වේ සැහැල්ලුවෙන් වගේ.
"ඇයි?"
"මට එච්චර ආදරේ කරන කෙනෙක්ගෙන් ඈත් වෙලා මට ඉන්න බැරි වෙයි. ඒකයි"
අනුක් එහෙම කිව්වම මට දුක හිතුණා. භූප මතක් වෙලා. දැන් ඔහු කොහේ ඉන්නවද, මොනා කරමින් ඇත්ද කියලා මම කල්පනා කලා. අනුක් කියනවා වගේ ඔහුත් ඇත්තේ දරන්න බැරි දුකකින් වග මම දැනගෙන හිටියා. ඒත් මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. මොකද අපි වෙන් වෙලා ඉවර නිසා...හැමදාටම.
***
"නංඟියෝ...කෝ ඔයා මොකද කරන්නේ? ඇවිත් බලන්න කවුද ආවේ කියලා"
උත්පලා අක්කා කාමරේට එබුණේ එහෙම කියාගෙන. මම කියවමින් උන්නු සටහන පැත්තකින් තියලා පැත්ත බලද්දිත් යන්න ගිහින්. ඇවිත් ඉන්නේ චේතිය වෙන්න ඇති කියලා මට හිතුණා. මම කොණ්ඩෙවත් හදාගන්නේ නැතිව උන්නු විදියටම එලියට ගියේ ඒකයි.
ඒත් සාලේ දිහාට යද්දි ගෝතමී අක්කා එක්ක කතා කර කර උන්නු කෙනා දැක්කම මගේ දෙපා එකතැනම නතර වුණා.
"පොඩි අයියා?"
අහේතුකවම හිතේ පිරුණේ දුකක්. එක්කම මොකක්දෝ නොරිස්සුම් හැඟීමක්.
"...මෙන්න නංඟි පොඩ්ඩත් ඇවිත්.." මම බිම බලාගෙන හෙමීට දිහාට යද්දි මාව දැකපු ගෝතමී අක්කා කිව්වා. මම දැක්කේ නෑ අයියගේ මූණේ හැඟීම් මොන වගේ වෙනස් වුණාද කියලා.
"එහෙනම් ඔය දෙන්නා කතා කර කර ඉන්න. මම බොන්න දෙයක් හදාගෙන එන්නම්" ගෝතමී අක්කා එතනින් යන්න ගියේ එහෙම කියාගෙන. අයියා එතනම සැටියෙන් වාඩි වුණත් මම උන්නේ හිටගෙනමයි.
"කොහොමද ?" අයියා මුලින්ම ඇහුවේ එහෙම. ස්වරයේ තිබුණේ දයාබර බවක් කියලා මට දැනුනා.
"වරදක් නෑ" මම හිස වනලා කිව්වේ ඇහෙන නෑහෙන ගාණට. අයියගේ හඬ ඇහෙද්දි හිත නොසැලුණා නෙවෙයි. ඒත් මම තාමත් උන්නේ ඇතුලාන්තෙන්ම ගල් වෙලා වගේ. නිසා හිතේ දුකට ඇස් වලට තවත් කඳුලු ඉනුවේ නෑ.
"මං එන්න නම් හිතාගෙන හිටියේ ගොඩ දවසක ඉඳන්. ඒත් මේ probation period එක නිසයි, වැඩ වැඩි නිසයි එන්න බැරි වුණේ. ඔයාට මෙහේ හොඳයි නේද?"
පොඩි අයියා ඇහුවේ කිසිම දෙයක් වුණෙත් නෑ, ඒක මතකත් නෑ කියන ගානට.
"හ්ම්"
පාර මට ඇහුණා අයියා ලොකු සුසුමක් හෙලන සද්දේ.
"ඔයා තාම ඉන්නේ මා එක්ක තරහින් ද නංඟි?" ඊට පස්සේ ඔහු ඇහුවම මගේ හිත තව ටිකක් සැලුණා.
"මම කා එක්කවත් තරහා නෑ..."මම කිව්වේ වියලි හඬින්. "මේක නම් මගේ උරුමේ, මම මොකටද කා එක්කවත් තරහා වෙන්නේ?"
අයියා ආයෙම සුසුමක් හෙලුවා.
"ඔය කතා කරන්නේ ඔයා නෙවෙයි. ඔයාගේ හිතේ තියෙන ආවේගෙ. නොකිව්වට මම දන්නවා ඔයා ඉන්නේ මා එක්ක අමනාපෙන් කියලා. ඒකට කමක් නෑ. මා එක්ක අමනාප වෙලා වුණත් ඔයා මෙතන හොඳින් ඉන්නවනේ" අයියා කිව්වා.
"මම කිව්වනේ එහෙම එකක් නෑ කියලා" මම කිව්වේ තාමත් බිම බලාගෙනමයි.
"ඔයා කවදා හරි තේරුම් ගනියි අපි මේ දේවල් කලේ ඔයාගෙම හොඳට වග"
අයියා එහෙම කියද්දි ඔහුගේ ස්වරයේ තිබ්බෙත් පොඩි නොරිස්සුමක් කියලා මට හිතුණා. මම මුකුත් කියන්න ගියේ නෑ.
"කොහොමද ඉගෙනීමේ වැඩ?" අයියා ටික වෙලාවකට පස්සේ ඇහුවා.
"කරගෙන යනවා"
"හ්ම්...ඉගෙනීම පාඩු කරගන්න එපා මොනා නිසාවත්. අම්මලා මෙච්චර දෙයක් වෙලත් ආපහු ඔයාව මෙහේ එව්වේ, ඔයාව තවත් විශ්වාස කරන නිසයි. ඔයා ඒක දන්නවනේ"
අයියා කියද්දි මගේ හිතේ යාන්තමට තිබ්බ නොරිස්සුම වැඩි වෙනවා මට දැනුනා.
මම වචනයක්වත් නොකියා අහගෙන උන්නා. මම කතා කලොත් මොනා කියවෙයිද නොදන්න නිසා.
"කවද්ද ආයෙම ගෙදර යන්නේ?" අයියා ඊට පස්සේ ඇහුවා.
"හිතුවේ නෑ. කොහොමත් තනියෙම යන්නත් බෑනෙ" මම කිව්වේ ඕනවට එපාවට.
"ඔයාට යන්න ඕන නම් චේතියට කියන්න. එයා ගිහින් දායි. කොහොමත් තනියෙම නම් යන්න ඕන නෑ" අයියා කිව්වා.
මම ඉවසගෙන උන්නේ අමාරුවෙන්. අයියා කවදාවත් වෙනස් වෙන කෙනෙක් නෙවෙයි කියලා මට හිතුණා.
මේ වෙලාවෙ ගෝතමී අක්කා තේයි, කේත් වගයක්, කෙසෙල්ගෙඩි හෙම trolyයක තියාගෙන ආවේ මම කියන්න දෙයක් හිත හිත ඉද්දි.
"ඔයාට බඩගිනිත් ඇති නේ. දැනට මේවා කමු. ලතා අම්මා රෑට හොඳට උයයි" ගෝතමී අක්කා අයියට එහෙම කිව්වේ දයාබර හඬින්.
"රෑට කන්න ඉන්න බෑ ගෝතමී. අද මම ගෙදර යන්න ඕන. අම්මට මම කිව්වා මෙයාවත් බලලා ගෙදර එන්නම් කියලා" අයියා කිව්වේ කේක් කෑල්ලක් අතට ගන්න ගමන්.
"අනේ දුලිත...ඔයා සති ගාණකින් නේ ආවෙත්. අද ඉඳලා යන්නකෝ" ගෝතමී අක්කා කිව්වා.
මට ඕන වුණේ දෙන්නට කතාකරගන්න දීලා එතනින් එන්න.
"නේද නංඟි? කියන්නකෝ අයියට ඉඳලා යන්න කියලා" මම එන්න අඩිය උස්සදිම ගෝතමී අක්කා ආයෙම මාව කතාවට ඇදගත්තා.
මම අයියා දිහා බැලුවා.
"ඉඳලා යන්න බැරිද අයියේ?" මම ඇහුවේ ගෝතමී අක්කා නිසා.
"අනේ මොනාද දුලිත...අද හවස අප්පච්චිත් එනවා. චේතියත් එනවා. ඉන්නකෝ අනේ..." ගෝතමී අක්කා බෑගෑබර වුණා.
"හරි හරි ඉතිං රෑ වෙන්න තව කල් තියෙනවනේ...දැන් මට මේ තේ එක බොන්න දෙන්නකෝ" අයියා කිව්වේ යන්තමට හිනා වෙවී.
"නංඟියෝ ඔයත් තේ බොන්නකෝ" ගෝතමී අක්කා මටත් කිව්වා.
ටිකකින් උත්පලා ආකයි, යශෝ අක්කයිත් එතනට ආපු නිසා ආයෙම අයියා එක්ක තනියෙම කතා කරන්න මට වුණේ නැහැ.
"අයියා එහෙනම් යන්නේ නෑනෙ. මම පොඩි අසයින්මන්ට් එකක් කරන්න හද හද හිටියේ. මං ඒක ඉවර කරලා එන්නද?" මම ඇහුවා ඉඩක් ලැබුණ වෙලේක.
"... හරි හරි. ඔයා වැඩේ කරන්නකෝ. කොහෙද ඉතිං යන්න දෙන්නේ නෑනෙ" අයියා එහෙම කිව්වම අක්කලා තුන් දෙනාම අප්පුඩි ගැහුවා.
"අන්න හොඳයි..."
මම ආපහු කාමරේට යන වෙලේ තමයි, දවල් නිදාගෙනද කොහෙද උන්නු අනුක් නිදි ගැට කඩ කඩ පඩිපෙල බැහැලා ආවේ.
"මොකක්ද සද්දේ? මැච් එකක්ද?" අනුක් ඇහුවේ ඈනුමකුත් අරින ගමන්.
"අපේ අයියා ඇවිත්" මම කිව්වා.
"...මස්සිනා...හරි හරි" අනුක් පාර ඉක්මණින් පඩිපෙල බැහැලා සාලේ පැත්තට දිව්වා.
ඊට ටිකකට පස්සේ මට ඇහුණා ආයෙම කට්ටිය සාලේ හයියෙන් හිනාවෙන සද්දේ.

හවස මුලින්ම ආවේ චේතිය. එතකොට අයියා ඉන්න තීරණය කරලා ඉවරයි. එවෙලේ මම උන්නේ උත්පලා අක්කයි, ගෝතමී අක්කයි එක්ක කුස්සියේ. අර කවුද වගේ අනුත් හෙමත් ඇවිත් කුස්සියට වෙලා අපට අන දිදී හිටියා.
"pineapple upside down එකට ලොකු අන්නාසි හරියන්නේ නෑ" කුස්සියේ මේසේ උඩ තිබුණ අන්නාසි ගෙඩි තුනෙන් එකක් තෝර තෝර උන්නු ගෝතමී අක්කා කිව්වා.
"අනේ ඕන එකක් ගන්න. අපි කෑලි කපලා දාමු" කේක් එකට ඕන කැරමල් එක හද හද උන්නු උත්පලා අක්කා කිව්වා.
මම  හිටියේ පිටියි, බේකින් පව්ඩරුයි එකට කරලා හලමින්.
"මේවා පොතු අරින්න තමා එපා වෙන්නේ" පාර ගෝතමී අක්කා කන් කෙඳිරි ගානවා.
"මං කපලා දෙන්නද?" මම ඇහුවේ, අන්නාසි කපලා මට හොඳ පලපුරුද්දක් තිබුණ නිසා. ගමේ දන්සල් වලටයි, ඉස්කෝලේ එක එක උත්සව වලටයි බීම හදද්දි.
"ඔයාට පුලුවන්ද?" එහෙම ඇහුවේ උත්පලා අක්කා.
"මෙයාට පුලුවන් ඇති තමය්. පැත්තේ අන්නාසි හරියට තියෙනවනේ" ගෝතමී අක්කා කිව්වා.
"තිබ්බට ඉතිං අන්නාසි කප කප ඉන්නවයැ හැම තිස්සෙම. ඔන්න ඕක මේ මල්ලිට දෙන්නකෝ" උත්පලා අක්කා කිව්වා.
"මම?" කුස්සියේ fridge එක ඇරගෙන මොනාදෝ කමින් උන්නු අනුක් ඇහුවේ බය වෙලා වගේ මූණක් මවාගෙන.
"එපා මට පුලුවන්" මම කිව්වේ පිටි මිශ්‍රණය පැත්තක තියලා අන්නසි ගෙඩිය අතට ගන්න ගමන්.
"මේ මට අන්නාසි පොල්ල දෙන්න හොඳේ" අනුක් කිව්වා.
"පොලු දෙන්න බෑ, මේක පෙති කපන්නේ" ගෝතමී අක්කා පැනලා කිව්වා.
"දන්නවද නෝනේ...ඉස්සර ගම්වල මනමාලියෝ බලන්න ගියාම මනමාලිට දෙනවලු අන්නාසි ගෙඩියක් ලෙලි ගහන්න" අපේ වැඩ වලට පොඩි පොඩි උදව් කරමින් උන්නු ලතා අම්මා කිව්වා.
" ඇයි? ඇයි අන්නාසිම?" ඇහුවේ ගෝතමී අක්කා.
"අන්නාසි කියන දේ ලෙලි ගහන්න ඕන බොහොම ඉවසීමෙන් පරිස්සමෙන්. ඒක බාගෙට පොතු ගහලත් බෑ, හොඳටම ගැඹුරෙන් ලෙලි ගහලත් බෑ. ඉතිං මනමාලයගේ පැත්තේ උදවිය බලනවලු මේ මනමාලි කොහොමද ලෙලි ගහන්නේ කියලා. උඩින් උඩින් ලෙලි ගහනවා කියන්නේ ලෝබයි කියන එකලු. ගැඹුරෙන් ලෙලි ගහනවා කියන්නේ අරපරිස්සමක් නෑ කියන එකලු. ඉතිං ගාණට ලෙලි ගහන ඇත්තිව තමයි තෝරගන්නවා කියන්නේ" ලතා අම්මා කියද්දි මට හිනා.
"හාපෝ...මාර සිරිත් නේ. මේ ඔයාලා පැත්තෙත් සිරිත තියෙනවද? ඔන්න මට නම් අන්නාසි ලෙලි ගහන්න බෑ" එහෙම කිව්වේ ගෝතමී අක්කා.
"නෑ නෑ" මම හිනා වෙවී කිව්වා.
"බලන්නකෝ ඉතිං සිරිත් විරිත් කොච්චර ලස්සනද, කොච්චර තේරුමක් තියෙනවද කියලා නේද? ඒකට දැන්" උත්පලා අක්කා කිව්වේ සුසුමක් හෙලලා.
"ඇයි දැන් මොකෝ?" ගෝතමී අක්කා ඇහුවා.
"ගේ දොර වැඩ නොදත් එකී ගත්තු මිනිහා අමාරුවේ...ඒකයි මට කණගාටු, කියලා තමයි කියන්න වෙන්නේ" එහෙම කිව්වේ මගේ ලඟට වෙලා අන්නාසි කපන විදිහ බලාගෙන උන්නු අනුක්.
"අනේ මේ යනවා යන්න"
"කවුද ඔයාට කිව්වේ? ...මෙන්න මෙයා කපලා ඉවරයි. ලතා අම්මේ බලන්නකෝ මේක කොහොමද කියලා. මේ මනමාලි අපේ ගෙදරට හරියයිද?" අනුක් ඇහුවා.
ලතා අම්මා මා දිහා බැලුවේ හිනා වෙවී.
"කෝ බලන්න….ගාණට තියෙනවා පොඩි අප්පෝ"
"අපේ ගෙදරට?" ගෝතමී අක්කට ඇහෙන්නෙම ඒවා.
"අපේ ගෙදරට කියන්නේ අපේ පවුලට you silly...මෙයත් හරියට අර කවුද වගේ. වුණාට මොකද අන්නාසි ගෙඩියක් ලෙලි ගහ ගන්න බෑ" අනුක් කිව්වේ මම කපපු අන්නාසි පෙත්තක් කටේ ඔබාගන්න ගමන්.
"අනේ මේ. ඔයා ඉන්නවද? මට නෑනා ලෙලි ගහලා දෙයි" ගෝතමී අක්කා කිව්වේ මගේ ලඟට ඇවිත් කරට අතක් දාන ගමන්.
"හා..හා..හිතං ඇති නේ නෑනව ගෙදර තියාගන්න?" අනුක් කිව්වා.
"හයියෝ මේ කැරමල් එක හයි වෙනවා...ගෝතමී බටර් බීට් කරලත් නෑ. මේක කරන්නේ නැද්ද? පැටියෝ ඔයා ඔය අන්නාසි පෙති , core කරලා හතරට කපලා මට දෙන්නකෝ" අන්තිමට උත්පලා අක්කා කිව්වාමයි දෙන්නගේ වාදේ නැවතුනේ.
කොහොම කොහොම හරි අන්තිමේදි අපි හැමෝම ලස්සන, රසම රස අන්නාසි කේක් එකක් හැදුවා.

3 comments:

  1. මටත් ආස හිතුනා pineapple cake හදන්න.

    ReplyDelete
    Replies
    1. ඒක හදන්න එච්චර අමාරු නෑ. හැබැයි හරිම රහයි. මම ගොඩ පාරක් හදලා තියෙනවා. ඓන්තෙර්නෙත් එකෙ රෙසිපි එක තියෙනවා.
      http://www.bettycrocker.com/recipes/easy-pineapple-upside-down-cake/c4d3321d-fad9-41cb-8f29-8d91a4279b07

      Delete
  2. නෙතූ අක්කෙ.. හරිම තාත්විකයි..දිගටම ලියන්නකො!

    ReplyDelete