Friday, February 21, 2014

පනස් එක්වන කොටස



දවස් දෙකක් විතරක් ගෙදර නැවතුන අනුක්ලගේ තාත්තා සෙනසුරාදා උදේම ආපහු වත්තට යන්න ගියේ ඊලඟ සතියෙත් එන්න ඕන නිසා. උත්පලා අක්කව වදෙන් පොරෙන් වගේ මනමලයා එක එකට කැමති කර ගත්තු නිසා, ඊලඟ සෙනසුරාදා කියපු කට්ටියට එන්න කියලා තිබුණා.
"හම්මේ... දැන් මේක මගුල් සක්වලක් වෙයි. ඉස්සෙල්ලම ලොකු අක්කා. ඊට පස්සේ ගෝතමී... ඊටත් පස්සේ දුලාරයි, චේතියයි..." සාලෙට වෙලා කට්ටියම දහයට විතර තේ බිබී ඉන්දැද්දි එහෙම කිව්වේ යශෝ අක්කා. මට අනුක් දිහා බැලුණේ ඉබේටම. ඔහු උන්නේ තේ එකේ ඇඟිල්ලක් ඔබාගෙන කූඹිද කොහෙද අයින් කරමින්.
"එතකොට ඔයා? ඔයා හිතාගෙන ඉන්නේ ගෙදරට වෙලාම ඉන්නද?" උත්පලා අක්කා ඇහුවා යශෝ අක්කාගෙන්.
"ගෙදරත් කවුරු හරි ඉන්න ඕනනේ"
"හා... හිතාගෙන ඇති මෙයා. අක්කා ඉවර වුණ ගමන් ඊලඟට උඩට එන්නේ ඔයාගේ file එක. මෙලහකට අප්පච්චි MD කෙනෙක්වත් හොයලත් ඇති ඔයාටත්" ගොතමී අක්කා කිව්වා.
"නැත්තන් හෙම අපේ මලයා ගේන කවුරුහරි සමයමක් එක්ක වලි දදා ඉන්න තමා ඔයාට වෙන්නේ" ගෝතමී අක්කා ආයෙම කිව්වා.
"කූඹි ඉල්ලුවෙත් නෑ......මොකක්ද මං ගැනද කිව්වේ?" තාමත් තේ එකට එබීගෙන උන්නු අනුක් එක පාරටම ඇහුවේ අපි දිහා බලලා.
"හ්ම්... ගෝතමී කියන්නේ ඔයා සමයමක් ගේන්න යනවා කියලා" උත්පලා අක්කා කිව්වා.
"ආයේ සමයං මොකටද ඔයා ඉද්දි?" අනුක් එහෙම ඇහුවෙත් ගෝතමී අක්කාගෙන්මයි.
"අනේ මේ...යනවා හලෝ යන්න" ගෝතමී අක්කා කිව්වේ අනුක්ට රවලා.
"කොහේ යන්නද? යන්න ඉන්නේ ඔයලා නේ"
"...පේනවා නේද? ඔය හිතේ තියෙන ඒවා තමයි කියන්නේ" ගෝතමී අක්කා හදන්නෙම අනුක් එක්ක පැටලෙන්න.
"හිතේ තියෙන දේවල් මොකක්ද ආයේ. ඔයා හිතාගෙන ඉන්නේ දුලාරගේ අයියා මෙහේ බින්න බහින්න ඒවි කියලද?"
අනුක් ඇහුවම අපි සේරටම හිනා ගියා.
"අපිවනේ දැන් සමයංවගේ පේන්නේ. බලමුකෝ මෙයා ගෙනෙයි එහෙනම් මලින් උපන් කුමාරියක්..." ගෝතමී අක්කා කිව්වා අනුක්ට ගස්සන ගමන්.
"ගේනවා තමයි...මලින් උපන් කෙසේ වෙතත්, මගේ හීන කුමාරිව තමයි මම ගේන්වා නම් ගේන්නේ"
අනුක් කිව්වම මට හිනා ගියේ පේෂලී මතක් වෙලා. ඒත් මම කට වහගෙන උන්නා. මොනා වුණත් අනුක් මගේ යාලුවා නිසා. අක්කලා තුන් දෙනාම තාලෙකට "..." ගෑවත් අනුක් මොනවත් වුණේ නෑ වගේ හෙමින් එතනින් මාරු වුණා.

එහෙම ගියපු අනුක්ව ආයෙම මම දැක්කේ උදේ එකොලහට විතර ඔහු මාව හොයාගෙන වෙලේ. මම එවෙලේ උන්නේ ලතා අම්මා එපා කියද්දිම ඈට පලා තෝරලා දෙන ගමන් කුස්සියේ. අනුක් උන්නේ මොකක්දෝ කලබලේකින් වගේ.
"දුලාරා පොඩ්ඩක් එන්නකෝ" ඔහු මාව කුස්සියෙන් එලියට ඇදගෙන ආවා.
"ඇයි අනුක්?"
"...මේ...පොඩි ගමනක් යන්න ඕන. මා එක්ක එනවද?" අනුක් එක පාරටම කිව්වේ එහෙම.
"ගමනක්...කොහේද?"
"යන ගමන් කියන්නම්කෝ. එනවද කියන්න"
"මම එන්නම ඕනද? මේ දැන් නේ අක්කලා තුන් දෙනත් ටවුමට ගියේ"
"එන්න ඕන. ඉක්මණට ගිහින් එන්න පුලුවන්"
"ඉතිං කොහේද කියන්න බැරි ඇයි?"
"Hospital... මගේ යාලුවෙක් admit කරලා...please ගිහිං එමු"
අනුක් කියපු විදියට මට බෑ කියන්න හිතුණේ නෑ. මට ඒකේ අමුත්තක් දැනුනෙත් නෑ.
"ලතා අම්මා අපිත් ටවුන් එකට යනවා. පට් ගාලා එන්නම්"
අනුක් ගෙයින් එලියට බැස්සේ එහෙම කියාගෙන.
ඇඳුම අයන් කරන්න්වත් වෙලාවක් නොතිබුණ නිසා, මම පොඩිවුණ තැන් අතින් පිරි මැද මැද වාහනේට නැග්ගා.
"කොයි hospital ද අනුක් ඉන්නේ?" වාහනේ පාරට දාද්දි මම ඇහුවා.
"Kandy"
"මොනා වෙලාද?"
"දන්නේ නෑ"
"ඔයාගේ බැචෙක්ද?"
"නෑ...වෙන යාලුවෙක්" අනුක් උත්තර දුන්නේ නිකම් අවසිහියෙන් වගේ.
"හ්ම්... අනුක්.."
""
"යාලුවට ගොඩක් අමාරුලුද?"
"විස්තර දන්නේ නෑ"
"හ්ම්. එහෙමද?"
අනුක් උන්නේ වෙනම ලෝකෙක වගේ නිසා ඊට පස්සේ මම වෙන මොනවත් අහන්න ගියේ නෑ.
අපි දොලහට කලින්ම නුවර මහ රෝහල ලඟට ආවා. ඒත් දොලහයි පහ වෙනකල් වාහනෙ පාක් කරන තැනක් හොයන්න වුණා. අන්තිමට අනුක් මාවත් ඇදගෙන වාට්ටුව පැත්තත දිව්වේ  ෆෝන් එකත් කනේ ගහගෙනම.
වට්ටුවේ ගොඩක් ඇඳන් ලඟ සෙන්ග පිරිලා උන්නේ ලෙඩ්ඩු බලන වෙලාව නිසා. විවිධාකාර ලෙඩ්ඩු දැක්කම හිතත් මොකදෝ වුණා වගෙයි මට දැනුනේ. ඒත් කවුද මේ අනුක්ගේ ලෙඩා?
ඒකට උත්තරේ ලැබුණා තව අඩි දෙක තුනක් යද්දි. වාට්ටුව කොනේම බිත්තිය අයිනේ ඇඳ ලඟ හිටගෙන වට පිට බල බල උන්නේ රනිල් අයියා. ඔහුට වැහිලා නිසා ඇඳේ උන්නේ ලෙඩාගේ මූණ මට පෙනුනේ නෑ. ඒත් හිත මොකක්දෝ බයකින් පිරෙද්දි මගේ ගමන් වේගයත් බාල වුණා. ඉස්සරහින් යමින් උන්නු අනුක් හැරිලා මා දිහා බැලුවා.
"එන්න"
"අනුක්..."
ඊලඟට අපි උන්නේ ඇඳ ලඟ. රනිල් අපට ඉඩ දීලා අහක් වුණාමයි මම ඇඳ උඩ උන්නු කෙට්ටු රූපකාය දැක්කේ. මට හීල්ලුණා. එක්කම ඇඟට දැනුනේ පණ නැති ගතියක්. වම් අතට සේලයින් දෙන ගමන්, ඇඳේ උඩුබැලි අතට නිදාගෙන උන්නේ භූප. හිත දුකින් පිරෙද්දි මම භූප දිහා බලාගෙනම උන්නේ මොනවත්ම හිතාගන්න බැරිව.
"මොකද රනිල් අයියා වුණේ?" මම ගොලු වෙලා ඉද්දි එහෙම අහුවේ අනුක්.
"කියලා වැඩක් නෑ මල්ලි" රනිල් අයියා කිව්වේ අප්රසාදෙකින් වගේ.
මම රනිල් අයියා දිහා බලාගෙන උන්නේ අසරණව. ඔහු එක පාරක් මා දිහා බලලා බිම බලාගත්තා.
"පොඩි accident එකක්" ඊට පස්සේ ඔහු කිව්වා.
" accident?" මම මිමිණුවේ බයෙන්.
"කොහොමද වුණේ?" අනුක් ඇහුවා.
"මේ බයික් එකේ යද්දි" රනිල් අයියා කිව්වාම මම ආපහු භූප දිහා බැලුවා. ඒත් එකෙම හැප්පුන බවක් නම් පේන්න තිබුණේ නෑ.
"වෙලාවට serious injuries නෑ වුණාට නේද?" අනුක් උන්නෙත් භූප දිහා බලාගෙන.
කොහේදෝ ඉඳන් සාලිය අයියා එතනට ආවේ එවෙලෙමයි.
"...මල්ලිලා ආවද?"
අනුක් දෙන්නා එක්ක කතා කරන අතරේ මම හෙමින් භූප ලඟට ලං වුණා. ඔහුගේ හිසකේ තිබුණේ හැමදාමත් වගේම අවුල් වෙලා. මූණ පුරා රැලුව වැවිලා තිබුණේ දවස් ගාණකින් කපලා නෑ වගේ. දෙතොල් තිබුණෙත් වේලිලා, අවපැහැ වෙලා. තරමක් කිලුටු සුදු පාට T shirt එකක් ඇඳාලා හිඟන්නෙක් වගේ ඇඳේ වැතිරිලා උන්නු භූප දැක්කම තවත් මට හිත වාවගෙන ඉන්න බැරි වුණා. කඳුලු පිට පැන්නේ ඇසිල්ලෙමයි.මම ඔහුගේ හිස මත අතක් තිබ්බේ ඇස් පිහින්න මහන්සි නොවී. ස්පර්ෂය නිසාදෝ භූපට ඇහැරෙන්න ඇති. ඔහු ඇස් ඇරියා. හෙමිහිට.
"දු..දුලා..රා"
මාව දැකපු ගමන් භූප කලබල වුණා. ඔහු හොඳටම ඇස් ඇරගෙන මා දිහා බලාගෙන උන්නේ බය වෙලා වගේ.
"භූප" මම මිමිණුවා.
"දුලාරා...ඔයා... මෙහේ?" භූප මගෙන් එහෙම අහන ගමන් බැලුවේ තමන්ගේ යාලුවෝ දෙන්නා දිහා. ඒත් අයගේ මූණු වල හැඟීම් මම දැක්කේ නෑ. මම භූප දිහාම බලාඑන උන්නේ කතා කලොත් මට ඇඬෙන්න ඉඩ තිබුණ නිසා. භූප ඇස් කොනකින් මා දිහා බලලා අහක බලාගත්තා.
"භූප..." මම ඔහුට  කතා කලා හෙමින්. "මොකද මේ වුණේ?"
"මේක ලොකු දෙයක් නෙවෙයි..." භූප මිමිණුවා මා දිහා නොබලම.
"ලොකු දෙයක් නෙවෙයි නම් ඇයි මේ සේලයින් ගහලා? ඇයි මෙහෙම නතර කරගෙන ඉන්නේ?" මම ඇහුවේ භූප මට කියන්නේ ඇත්ත නෙවෙයි කියලා මට දැනුන නිසා.
"මට අමාරුවක් නෑ දුලාරා..." භූප ආයෙම කිව්වා.
ඒත් ඔහුගේ හඬ පවා තිබුණේ මලානික වෙලා.
"අමාරුවක් නැත්තම් ඉස්පිරිතාලේ නවත්තගෙන ඉන්නේ මොකටද?" මම ඇහුවේ සාලිය අයියලා දිහාත් බලන ගමන්. අය උන්නේ අනුක් එක්ක පහති හඬින් මොකක්දෝ කතාවක. මට දැනෙමින් තිබුණේ ලොකු දුකක්. මම ආයෙම භූප දිහා බලද්දිත් ඔහු උන්නේ අහක බලාගෙන.
"ඔයා ඇයි ආවේ දුලාරා...? ඇයි මෙහෙම මාව බලන්න ආවේ?" ඊට පස්සේ භූප ඇහුවා.
"ඇයි ඔයා එහෙම අහන්නේ, මං ආපු එක වරදක්ද? "
"දුලාරා...ඔයා දැන් යන්න. මාව බලන්න එන්න ඕන නෑ ආයෙම. මෙහෙම වග ආරංචි වුණොත් ඔයාටමයි නරක" භූප එහෙම කිව්වම මගේ හිත පෑරුණා වචන වලට.
"මම මෙතන ඉන්න ආවේ නෑ භූප...මම ඔයාගෙන් ආපහු ආදරේ ඉල්ලන්න ආපු ගමනකුත් නෙවෙයි මේක...මම මෙතන ඉන්නේ හතුරෙක්ට වුණත් කරදරයක් වුණ වග දැක්කම ගැන හොයන බලන එක අපේ පුරුද්ද නිසා" මම කිව්වේ ඒකයි.
භූප මම කියපු දේ අදහාගන්න බැරිව වගේ ටික වෙලාවක් බලාගෙන ඉඳලා, අනික් පැත්ත හැරුණේ මුකුත්ම නොකියා. මම ආපහු හැරුණා. අනුක් එක්ක, රනිල් අයියයි, සාලිය අයියයි මා දිහා බලාගෙන උන්නේ වික්ෂිප්ත වෙලා වගේ.
"අපි යමු අනුක්" මම අන්නුක්ට කිව්වා.
"පොඩ්ඩක් ඔහොම ඉන්න නංඟි" පාර රනිල් අයියා ඇඳ ලඟට ආවේ එහෙම කියාගෙන.
"භූප...මේ අහපන්. උඹ මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා. මේ වෙච්ච සේරම උඹේ වැරදි. හරි නම් අපි දෙන්නා වුණත් අද මෙතනත එන්න ඕන නෑ. උඹට කුද ගහ ගන්න කියලා අපටත් ඉන්න තිබුණා. ඒත් මේ කෙල්ල කිව්වා වගේ අපට එහෙම කරලා පුරුද්දක් නෑ. දුලාරා අද ආවේ අපි එයාට පණිවිඩේ දීපු නිසා තමයි. ඉතිං ඒකට උඹ අපට මොනා කරන්නද? උඹ කියපු කරපු ඒවයේ හැටියට දුලාරා උඹේ මූණ බලන එක ගැනවත් ස්තුතිවන්ත වෙයන්. නැතුව හිතක් පපුවක් නැති නරුමයෙක් වගේ මේ කෙල්ලගේ හිත ඔහොම රිද්දන්න උඹට අයිතියක් නෑ..."
"රනිල් අයියා....අනේ එපා" භූප තවමත් ගහක් ගලක් වගේ අහගෙන උන්නත් ඔහුට එහෙම කියද්දි මට අහගෙන ඉන්න පුලුවන් වුණේ නෑ. "අපි යන්නම්. භූප කැමති නෑනෙ මම එනවට. අපි යන්නම්" මම කිව්වා.
අනුක් මා දිහා බැලුවේ මොනවත් හිතාගන්න බැරුවා වගේ.
"භූප දෙයියන්ගේ නාමෙට දැන්වත් කට ඇරපන්..." රනිල් ආයෙම කිව්වා.
ඒත් භූප නිහඬවම අහක බලාගෙන උන්නා. මට තවත් බලාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. මම එතනින් එන්න ආවේ ඒකයි කාතවත් කියන්නවත් නතර නොවී. මට දැනුනා අනුක් මගේ පස්සෙන්න්ම ආපු වග.
"දුලාරා පොඩ්ඩක් ඉන්න..." අනුක් වාට්ටුවේ දොර ලඟදි මාව නතර කර ගත්තා.
"හලෝ... අනුක් මල්ලි"
එවෙලෙම වගේ අපි ලඟින් අහුණ හඬක් නිසා අපි දෙන්නම හිස හරවලා පැත්ත බැලුවේ එකටම.
"හල්ලෝ සම්පත් අයියා..."
අනුක් එහෙම කතා කලේ සුදු doctor කෝට් එකක් දාගෙන හිනා වෙවී ඔහුට අතට අත දීපු කෙනෙක් එක්ක.
"දුලාරා මේ doctor සම්පත්. අපේ ලොකු අක්කිගේ ස්කූල් මේට්" අනුක් අතරේ ඔහුව මට අඳුන්නලා දුන්නා.
"හලෝ doctor" මම හිනාවුණේ අපහසුවෙන්.
"ඉතිං ඉතිං...මොකද මේ පැත්තේ?" doctor ඇහුවා.
"අපේ යාලුවෙක් ඉන්නවා අයියේ මේ වාට්ටුවේ. එයාව බලන්න ආවා" අනුක් කිව්වා.
" ඇත්තද? කොයි එක්කෙනාද? මම තමයි මේකෙ දැන් on call ඉන්නේ" doctor ඇහුවේ වට පිට බලන ගමන්.
"අර කොනේම ඇඳේ ඉන්නේ. රැවුල පොඩ්ඩක් තියෙන, කෙට්ටු patient" අනුක් භූප උන්නු ඇඳ පැත්ත පෙන්නලා කිව්වා.
මම උන්නේ නො ඉවසිලිමත් වෙලා. මට ඕන වුණේ එතනින් ඉක්මණට යා ගන්න.
"අර කොනේම IV දීලා තියෙන එක්කෙනාද? කොණ්ඩෙත් පොඩ්ඩක් දිග?" doctor ආයෙම ඇහුවා.
"ඔව් ඔව්"
"ම්ම්" පාර doctor හිස වැනුවේ බැරෑරුම් විදියට කියලා මට හිතුණා.
"මල්ලිගේ හොඳ යාලුවෙක්ද?" ඊට පස්සේ ඔහු ඇහුවා.
"ඔව් අයියේ මේ කැම්පස් එකේ" අනුක් කිව්වේ මා දිහාත් ඇස් කොනකින් බලන ගමන්.
මම doctor  දිහා බලාගෙන උන්නේ ඔහු ඊලඟට කියන්නේ මොනාද කියලා. භූප මට මොනවා කිව්වත් මට ඔහු ගැන හොයා නොබලා ඉන්න බැරිවුණා. මම තරහට එන්න ආවත් හිතේ තිබුණේ ලොකු දුකක්. අතරේ doctor මෙහෙම කියද්දි හිතේ ඇති වුණේ පොඩි බයක්.
"ඇයි අයියේ patientට මොකක් හරි….?" අනුක් ඇහුවේ තතනමින්.
"නෑ නෑ. එහෙම දැනට ලොකු අමාරුවක් නෑ. ඒත් ඉතිං ඔය විදියට බොන්න ගියොත් නම් පස්සේ ලොකු අමාරුකම්  හැදෙන්න පුලුවන්. දන්නවා ඇති නේ යාලුවා ගෙනාවේ පොඩි alchohol poisoning එකක් නිසා. දවස් දෙකක්ම මෙයා fasting ඉඳලා තියෙන්නේ. ඒත් බීලා තියෙනවා. ඒකයි..."
doctor කියනවා මට ඇහුණේ හීනෙන් වගේ.
"බීලා?" මට ඇහුණා අනුක් අහනවා.
"මම දන්නෑ ඔයාලා කොච්චර close කියලා. ඒත් යාලුවට මොනා හරි problems තියෙනවද ඔච්චර බොන්න?" doctor ඇහුවා.
මම උන්නේ බිම බලාගෙන.ඒත් මට දැනුනා අනුක් මා දිහා බලපු වග. මගේ දෙකන් රත් වෙලා ඇඟ ගැහෙමින් වගේ තිබුණේ doctor කියපු කතාව නිසා.
"එහෙම කියන්න අපි නම් දන්නෑ අයියේ. මේ...දැනට අවුලක් නෑ නේද?" අනුක් ආයෙම ඇහුවා.
"නෑ. නෑ. ඒත් ඔය බොන එක නතර නොකලොත් නම් ඉතිං ලොකු ප්රශ්ණයක් වෙන්න පුලුවන් ඉස්සරහට. බය වෙන්න එපා මම එයාව specially බලන්නම්. දැන්  නම් බෙහෙත් කරගෙන යනවා. possibly හෙට-"
doctor අනුක්ට විස්තර කර කර හිටියත් මගේ හිතේ ඇවිලෙමින් තිබුණේ වෙනම සිතිවිලි ගින්නක්. රනිල්ලා මට බොරු කිව්වේ ඇයි  කියලා මම දැනගෙන උන්නේ නෑ. ඒත් භූපට මෙහෙම වුණේ බීලා කියලා දැනගත්තම මට ඉහිලුම් නැතුව ගියා. ඔහු එහෙම කරන්නේ හිතේ වේදනාවට වග මම වෙන කාටවත් වඩා හොඳින් දැනගෙන උන්නු නිසා. අතරේ මට මතක් වුණේ කේතකීවයි, භූපගේ ගෙදර අයවයි. අය ගැන හිතද්දි මට දැනුනේ මහා වරදකාරී හැඟීමක්. , මේ හැම දේකටම මමත් වග කියන්න ඕන නේද කියලා හැඟීමක් මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණ නිසා. පලවෙනි වතාවට මට හිතුණා අපි කවදාවත් මෙහෙම දෙයක් පටන් නොගත්තා නම් මේ කිසිම දෙයක් නෑ  නේද කියලා. අනුක්ටවත්, doctor ටවත් නොකියම මම ආපහු හැරිලා ඇවිත් නැවතුනේ භූපගේ ඇඳ ලඟ.
"...දැන් විඳවපන්. පුලුවන් නම් ආයෙම බීලා තව මොකක් හරි කර ගනින්. උඹ මහ..."
මම ඇඳ ලඟට යද්දි සාලිය ආපහු භූපට දොස් කියනවා. ඒත් මාව දැකපු ගමන් තුන් දෙනාම මා දිහා බැලුවේ ගල් ගැහිලා වගේ.
"නංඟි...?" රනිල් අයියා කතා කලා.
"මට භූප එක්ක තනියෙම කතා කරන්න ඕන" මම කිව්වා..
සාලිය අයියයි, රනිල් අයියයි මූණෙන් මූණ බලාගත්තා. භූප මා දිහා බලාගෙන උන්නේ මුකුත් හිතාගන්න බැරිව වගේ. ඊලඟට මුකුත් නොකියම සාලිය අයියයි, රනිල් අයියයි එතනින් යන්න ගියා. භූප තවමත් උන්නේ මා දිහා බලාගෙන.
"දුලාරා..."
"මොකක්ද භූප අර doctor  කියන කතාවේ තේරුම?" හිතේ තෙරපි තෙරපි තිබුණ පීඩනය නිසාම මම ඔහුට කතා කලේ නොරිස්සුමෙන්මයි.
"doctor ?"
"ඔයා මෙහාට admit කලේ accident එකක් වෙලා නෙවෙයි නේ?" මම හඬ වැඩි වෙන්න නොදී පාලනය කර ගත්තේ අමාරුවෙන්.
පාර භූප මගේ බැල්ම මගෑරලා අහක බලා ගත්තා.
" හැම දේටම කට වහගෙන ඉන්න එපා භූප. මට කියන්න….මම අහන එකට උත්තර දෙන්න" මම කිව්වා.
භූප සුසුමක් හෙලුවා.
"මොකක්ද දෙයියනේ ඔයා මේ කරන වැඩ වල තේරුම? අරහේ අම්මලා හෙම දන්නවා නම් මිනිස්සුන්ගේ පපුව පැලෙයි භූප. ඇයි මෙහෙම දේවල් කරන්නේ?" මම ඇහුවේ තවත් ඔහුට ලං වෙලා.
වෙලාවේ මට භූප ඇරෙන්න වෙන කිසිම දෙයක්, කිසිම කෙනෙක් පෙනුනේ වත් නැති ගාණයි. භූප තවමත් මුනිවත රකිනවා. නිසා මගේ නොරිස්සුම තවත් වැඩි වුණා.
"බලාගෙන යද්දි ඔයා මට කියලා තියෙන සේරම බොරු..." මම අන්තිමේදි එහෙම කිව්වේ මට හොඳටම කේන්ති ආපු නිසා. භූප මා දිහා බැලුවා ඇස් විසල් කරගෙන.
"සිගරට් අරක්කු බොන්නේ නෑ කිව්වා, මට ආදරෙයි කිව්වා, මාව දලා යන්නේ නෑ කිව්වා ඒත් අන්තිමට...අන්තිමට බලද්දි හැමදේම බොරු වෙලා නේද භූප?" මම ඇහුවේ නිර්දය විදිහට.
භූපගේ මූණේ හැඟීම් වෙනස් වුණේ බලාගෙන ඉද්දි. තොල් සැලුනත් ඔහු තවමත් මුකුත්ම කිව්වේ නෑ. ඒත් ඇස් මා දිහා බලාගෙන උන්නේ අසරණ විදියට.
"ඒකට කමක් නෑ භූප. ඒකට මූණ දෙන්න මගේ හිත දැන් ගොඩක් හැදිලා ඉවරයි. ඔයා හිතන්න එපා මම මේ ආයෙමත් ආවේ මාව දාලා යන්න එපා කියලා ඔයා ලඟ වැටිලා පිංසෙන්ඩු වෙන්න කියලා. මම ආවේ ඒක නෙවෙයි. මම ආවේ කේතකී නිසා. අනුලා නැන්දා, සූරි මාමා නිසා. මොකද මේ වෙච්ච හැමදේකටම මමත් වග කියන්න ඕන බව මම දන්න නිසා. මේ හැම දේම වුණේ මම ඔයාට ආදරේ කරපු නිසා. ඔයාට අද මෙතන ඉන්න වෙලා තියෙන්නෙත් ඒකයි. ගැන හිතේ තියෙන්නේ දුකක් විතරයි භූප. අපි කවමදාවත් ලං නූනා නම් අද මෙහෙම දේවල් වෙන එකක් නෑ" මම කිව්වේ වෙව්ලන හඬින්.
"දු..දුලාරා...එපා...එහෙම කියන්න එපා"
භූප මුල්ම වතාවට කතා කලේ එවෙලේ. ඔහු කතා කලේ පහත් හඬින්. මම ඔහු දිහා බැලුවේ බොඳ වුණ ඇස් වලින්.
"ඔයා දන්නෑ පුංචිම තප්පර වුණත් මට වටින තරම් දුලාරා...අපි ලං නොවුණා නම් කියලා කියන්න එපා. ඔයා මගේ ලඟින් උන්නු හැම තප්පරයක්ම විතරයි දුලාරා අද මට තියෙන්නේ. මගේ කාලකන්නි ජීවිතේ ඉතිරි ටික ගෙවාගන්නේ මම මතක වල උදව්වෙන්...එහෙම නැතුව මට තවත් ජීවත් කරවන්න ජීවිතයක් නෑ දුලාරා... " භූප කියාගෙන කියාගෙන ගියේ තෝන්තුවාවෙන් වගේ.
වචනයක්වචනයක් පාසා මගේ ඇස් කඳුලු පිරුවා. කොච්චර හංගන්න හැදුවත්, කොච්චර නෑ කිව්වත් හිතේ තියෙන ආදරේ හංගන්න බෑ. භූප මොන තරම් උත්සාහ කලත් ඒක ඔහුට කරන්න බැරි වග මම දැනගෙන උන්නා.
"ඔයා මොනාද මේ කියන්නේ භූප? එතකොට ඔයාගේ නංඟි, අම්මා, තාත්තා? අය බලාගන්නේ කවුද? භූප ඔයා ගෙදර එකම කොල්ලා. කෙල්ලෙක් නිසා ජීවිතයක්ම නාස්ති ක්රගන්න තරම් ඔයා මෝඩ ? එහෙම කරන්න එපා භූප. ඔයා එහෙම කලොත් පව් පිරෙන්නේ මට. ආත්ම ගාණක් ගියත් මට පව ගෙවල ඉවර කරන්න බැරි වෙයි" මම කිව්වේ පිටි අත්ලෙන් කඳුලු පිහින ගමන්.
"පව්කාරයා මමයි දුලාරා. ඔයාට පව් පිරෙන්නෙත් මම නිසා...මම අම්මලා ගැන හිතන්නේ නැතුව නෙවෙයි"
"හිතනවා නම් මෙහෙම කරගන්නේ ඇයි? ඇයි ඔය විදියට බොන්නේ?" මම ආපහු ඇහුවා.
භූප දිලිසෙන ඇස් වලින් මා දිහා බලාගෙන උන්නා මොහොතක්. හරියට, හිතෙන දේ කියනවද නොකියනවද කියලා කල්පනා කරමින් වගේ.
"අමතක කරන්න ඕන නිසා..." භූප කිව්වා.
"මාව...එහෙම නේද?"
"නෑ...අනේ නෑ. සත්තකයි...ඔයාව නෙවෙයි. මට අමතක කරන්න ඕන ඔයා මගේ නෙවෙයි තවත් කියන එක...සිහියෙන් හිටියොත් මට ඒක කරන්න බෑ. සිහියෙන් ඉද්දි මම මීටත් වඩා කාලකන්නි වෙනවා...ඔයා මගේ නෙවෙයි කියලා හිත පිලිගන්නෑ. අපට එකතු වෙන්න කවදාවත් බෑ කියලා හිත පිලිගන්නෑ.  එහෙම හිතද්දි මගේ ඔලුව අවුල් වෙනවා..." භූප කිව්වේ දෝතින්ම හිස බදාගන්න ගමන්.
මට දැනුනා හිත කීරි ගැහෙනවා. භූප වෙනුවෙන් තියෙන සෙනෙහසට වඩා ඔහු ගැන ලොකූ දුකකුයි මට දැනෙමින් තිබුණේ. අනික් එක, මම හිතුවා වගේම, මට දැනුනා වගේම භූප තවමත් මට ආදරෙයි නේද කියලා හිතද්දි දුක වැඩි වුණා විතරයි.
"ඒත්...බිව්වා කියලා ඇත්ත වෙනස් වෙන්නේ නෑ නේද?" මම ඇහුවා.
"මම ඒක දන්නවා"
" ඇත්ත වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුලුවන් ඔයාට විතරයි භූප. මටවත් ඒක කරන්න බෑ. මම ඔයාට කොච්චර ආදරේ වුනත් ඔයාට මාව බාරගන්න බැරි නම්, අපට එකතු වෙන්න බෑ. එක්කෝ ඔයා ඒක විදියට බාරගන්න ඕන. නැත්තම් ඔයා මාව බාරගන්න ඕන" මම කිව්වා.
"ඔයා හොඳටම දන්නවානේ ඒක විසඳුම නෙවෙයි කියලා" භූප කිව්වා.
"මොකක්ද කතාවේ තේරුම?"
"හිතන්න...මම අද ඔයාට කිව්වොත්, ඔයාගේ අම්මලා තාත්තලා, අයියලා සේරම දාලා මගේ ලඟට එන්න කියලා ඔයාට ඒක කරන්න පුලුවන්ද? මම කිව්වොත් අපි කසාද බඳිමු කියලා...ඔයාට එන්න පුලුවන්ද? ඔයා එනවද දුලාරා?" භූප එහෙම ඇහුවාම ඇත්තටම මම නිරුත්තර වුණා.
"අපි දෙන්නම දන්නවා එක කරන්න බෑ කියලා" භූප කිව්වා.
"අපිට ලං වෙන්න බැරි ගතින් විතරයි භූප. හිතිං අපි ලං වෙන එක වලක්වන්න කාටවත් බෑ..."
"ඒත් ඒක කොච්චර කාලයක් කරන්නද?"
"ඔයා හිතන්නේ මගේ හිත වෙනස් වෙයි කියලද?"
මම එහෙම ඇහුවම භූප මා දිහා බැලුවේ ඉස්සරරෝම දවසක වගේ සෙනෙහස පිරුණ ඇස් වලින්.
"ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි...කරුණාකරලා දැන් පිටින් ආපු අය එලියට යන්න"
මේ අතරේ වාට්ටුවට ආපු attendent කෙනෙක් කියාගෙන ගියා. පැත්ත බලපු අපි දෙන්නම ආයෙම එකිනෙකා දිහා බැලුවේ එකම වෙලේ.
"මට ආයෙම ඔයා බලන්න එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. ඒත් පුලුවන් වුණොත් මම එනවා භූප. එහෙම එන්න බැරි වුණත්, මතක තියාගන්න මම හැමවෙලේකම ඔයා ගැන හිතනවා. දැන් තවත් වැඩියෙන් හිතයි. අනේ ඒ නිසා දොස්තරලා කියන දේ අහලා, ඒ විදියට ඉඳලා ඉක්මණට සනීප වෙන්න"
මම එහෙම කියද්දි භූපගේ තොල් ආයෙම සැලුණේ, ඔහුගේ වතත් අඳුරු වෙද්දි.
"මට...මට ඔය තරම් ආදරේ කරන්න එපා දුලාරා... ඔයා දන්නවා නේද කවදාක හරි ඇස් පියවෙනකල් මම හිත හදාගෙන ඉන්න ඕන වග? ඔයාගේ ආදරේ, කරුණාව ලබන්න වටින මිනිහෙක් නෙවෙයි මං...අඩු තරමේ මට මගේ ජීවිතේම වෙච්ච ඔයාට සතුටක් දෙන්න බැරි වුණා. කාලකණ්ණි මට මෙච්චර ආදරේ කරන්න එපා මගේ නංඟි..."
භූප ඊට පස්සේ කිව්වේ වෙව්ලන හඬින්. මම උන්නේ හිත ගල් කරගෙන. නැත්තම් මම භූප ඉස්සරහදි හොඳටම කඩාවැටෙනවා සිකුරුයි. මට ඇඬෙන්න ආවත් මම ඉවසගෙන උන්නේ අමාරුවෙන්.
"පිස්සු කතා කියන්න එපා දැන්. අහන්න...භූප. මම නිසා නෙවෙයි, ගෙදර ඉන්න අම්මලා ගැන හිතලා නොබී ඉන්න ප්ලීස්...ඔයා ඔය බොන එක නැවැත්තුවේ නැත්තම් ඒක මටත් උහුලගන්න බැරි දුකක් වෙයි...මට පොරොන්දු වෙන්න බොන්නේ නෑ කියලා..." මම කිව්වා.
"මම කොහොමද එහෙම කරන්නේ? පොරොන්දුවත් මට කඩන්න වුණොත්? මට ඔයාට දීපු කිසිම පොරොන්දුවක් ඉෂ්ට කරන්න බැරි වුණානෙ..."
ඔහු කිව්වේ මගේ දෑස් වලට එබීගෙන. මට දැනුනේ හිත පිච්චිලා යනවා වගේ. භූපගේ ඇස් බොඳ කරපු කඳුලක් ඇස් අගකින් බේරෙද්දි මම ඇඟිලි තුඩු වලින් කඳුල නැවැත්තුවේ දෙපාරක් නොහිතම. හිත තිබුණේ වේදනාවෙන් ඔද්දල් වෙලා.
මගේ අත ගන්න කලින්ම, සේලයින් කටුව අමුණලා නොතිබුණ දකුණු අතින් ඔහු මගේ අත අල්ලගත්තා. එතකොටයි මම දැක්කේ පිටි අල්ල උඩ කොටලා තිබුණ ටැටූ එක. ඒක නිකං රවුමට ඇඳපු ලියවැල් මෝස්තරයක් වගෙයි මට පෙනුනේ. ඒත් ඒ ලියවැල් මෝස්තරේ මැද ලියවැලක ආකාරයටම තිබුණේ ඩී අකුරක්. මට දැනුනා හිත සීතල වෙලා ගියපු හැටි. මම ඒ දිහා බලලා භූප දිහා බැලුවා.
"මොකක්ද මේ?"
මම ඇහුවත් භූප ආපහු අත ඇදලා ගත්තා.
"ඇයි එහෙම කලේ?" මම ඇහුවා.
භූප ආපහු මගේ ඇස් වලට එබීගෙන උන්නේ උත්තරයක් නොදීම.
"මතක් වෙන්න" ඊට පස්සේ ඔහු කිව්වේ රහසින් වගේ.
මම ඒ ඇස් දිහා බලාගෙන උන්නේ මගේ හිත දියවෙලා යනවා වගේ මට දැනෙද්දි.
"වයලීන් එක play කරද්දි කඳුලු පිරෙන ඇස් දෙකක් මතක් වෙන්න..." භූප කිව්වේ ගොඩාක් හැඟීම්බරව.
ඒ ඇස් දිහාම බලාගෙන ඉද්දි මට පැනලා ඔහුව වැලඳගන්න හිතුණා. ආයෙම කවදාවත් යන්න නොදී මාව තියාගන්න කියන්න මට හිතුණා. ඒ ඇස් දිහා බලාගෙන ඉද්දිම මට මතක් වුණා ඈත දවසක ඔහු මට කියපු දෙයක්. ඊලඟ මොහොතේ මම මගේ ඇඟිලි තුඩු වල හාද්දක් තවරලා ඇඟිලු තුඩු භූපගේ දෙතොල් මතින් තිබ්බා. භූප ආපහු ඇස් විසල් කර ගත්තා.
"මට ආදරේ නම් ආයෙම බොන්න එපා..." මම ඊට පස්සේ ඔහුට කිව්වා, රහසින් වගේ.
"Miss වෙලාව නම් ඉවරයි..." attendent ඒ පාර උන්නේ භූපගේ ඇඳ ලඟ.
"ආයේ මෙහෙම එන්න එපා දුලාරා..." මම එන්න හැරෙද්දි ආයෙම මගේ අතකින් මුදුවට අල්ලගනිපු භූප කිව්වා.
"මට ඔයාගේ කඳුලු බලන්න බෑ. ඔයා මෙහෙම දුක් විඳිනවා මට බලන් ඉන්න බෑ. අපි ඈත් වෙලා හිටියොත්, හිත හදාගන්න ලේසි වෙයි. ඒක කරන්න අමාරු තමයි...ඒත් වෙන කරන්න දෙයක් නෑ...
මට ඒක තේරුම් ගන්න ඕන. ඔයා නැතිව ඉන්න මම ඉගෙන ගන්න ඕන. මම නැතුව ඉන්න ඔයා ඉගෙන ගන්න ඕන...මට තවත් ඔය හිත රිද්දන්න බෑ...ඔයා දකින්න මත ඕන. ඒත් ඒ දුක අපි දෙන්නටම විඳවන්න හරි අමාරු වෙයි...අද වුනත් ඒක එහෙම වෙයි. සති ගාණකට හිත හදාගන්න අපට බැරි වෙයි. ඔයා විඳවන වග දැන දැන මට ඉවසන්න වෙයි. ඒ අසරණකම මට දරාගන්න බෑ දුලාරා. ඔයා විඳවනවා මට බලන්න බෑ... ඒ නිසා...ආයෙම එන්න එපා දුලාරා..."
ඔහු එහෙම කියලා මගේ අත හෙමිහිට අතෑරලා අනික් පැත්ත හැරුණා.
"අවුරුදු ගාණක් දුරින් හිටියත් මගේ හිත හැදෙන එකක් නෑ භූප. මැරෙනකල්ම මම ඔයාට ආදරේ කරයි...ඔයා එනකල් මම බලාගෙන ඉඳියි...මම නාවත් මගේ හිත ඔයා ලඟම තියෙයි...ඔයාට බුදු සරණයි භූප...ඉක්මණට සනීප වෙන්න"
එහෙම කියලා මම එතනින් එන්න ආවේ හීනෙන් වගේ. එතකොටත් වාට්ටුවේ ලෙඩ්ඩු බලන්න ආපු සෙනග සේරම වගේ යන්න ගිහින්.

3 comments:

  1. මේ කොටස දාන ගොඩක් කල් ගියාට සමාවෙන්න ඕන. හයියෝ මාව විදියට වැඩ. වෙලාවකට එපා වෙනවා. ඒත් ඉතිං මොනා කරන්නද?

    යාලුවෝ සේරම සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න සති අන්තෙට කියවන්න කොටසක් දැම්මේ. ඉඩක් ලැබුණ ගමන් තව කොටසක් පල කරන්නම්.

    හැමෝටම සුබ සති අන්තයක් වේවා!

    ReplyDelete
  2. ලස්සන නව කතා පොතක් බැළුව වගේ ආයිබෝං . ලස්සනයි
    වෙලාවක් ආවොත් අපේ පැත්තෙත් ආවනං
    http://wigadam.blogspot.ca

    ReplyDelete
  3. ane amme athi yanthan dalaaaaaaaaaaaa :D <3 the story is getting complicated day by day

    ReplyDelete