Faculty Day එක
දවසේ උදේ ඉඳන්ම මට භූපව මුණගැහෙන්න බැරි වුණේ එයාට සංවිධාන කමිටුවේ වැඩ තොගයක් කරන්න සිද්ධ වෙලා තිබුණ හන්දා. ඉතිං මම පුරුදු විදියට උදේ වරුවේ lectures ගිහින් ඇවිත්, හවස් වෙද්දි යාලුවෝ කට්ටියම එක්ක හවස වූස් එක පත්තට යන්න ලෑස්ති වුණා. මේ දවස special එකක් හන්දා කවුරුත් ලස්සනට ඇඳලයි උන්නේ.
"ඔයා සුදු හන්දා තැඹිලි පාට ඔයාට ලස්සනයි" මම ඇඳලා උන්නු ගවුම ගැන චතූ කිව්වේ එහෙම. මම එවෙලේ
උන්නේ ජනේලේ ග්‍රිල් වල අමුණලා තිබුණ පුංචි රවුම් කණ්ණාඩියට එබිලා කොණ්ඩේ පීරමින්.
"අනේ මන්දා...
අතට අහුවුණ එක ඇන්දා අනේ. ඔයාගේ සල්වාර් එකත් හරි ලස්සනයි. අපරාදේ මම දන්නවා නම් මාත් ඔහොම එකක් අඳිනවා" මම
කිව්වේ ඇත්තටම.
"මේ ඔය දෙන්නා අදම එනවද?" කණ්ණාඩිය ලඟට වෙලා හැරි හැරී උන්නු අපි දෙන්නට එහෙම කිව්වේ තාරකා.
ඒ පාර අපි හරි හරියේ බෑග් හෙමත් අරගෙන කාමරෙන් එලියට ආවා.
මේ වෙද්දි තරමක් අඳුර වැටෙන්න පටැන් ගෙනයි තිබුණේ. උත්සවේ පටන් ගන්න නියමිත් වෙලා තිබුනේ හතට. අපි පයින්ම වූස් එක දිහාට යන්න ඇදුනේ හත වෙන්න තව වෙලා තිබ්බ හන්දා.
"කෝ අද ඔයාගේ වල්ලභයා නාවේ මොකෝ?"
පාරට අවතීර්ණ වෙද්දි එහෙම ඇහුවේ නිලීකා.
"කවුරු?" මම
ඇහුවා.
"වල්ලභයා...ස්වාමියා...සරලව කිව්වොත් ඔයාගේ කොල්ලා"
නිලීකා කිව්වේ හිනා වෙවී.
"ආ...එයාද? එයාට ඉතිං ජනාධිපතිටවත් නැති වැඩ නේ. අද වූස් එකේ දවසෙම.
උදේ ආවෙත් නෑ. දැන් ගියාම හම්බවෙයි නේ"
"ආ...හරි හරි.
organizing
committee නේද?"
"හ්ම්..."
"ඒක නෙවෙයි,
අද භූප අර දිගා අයියයි, කුරුමා අයියයි එක්ක instrumrntal play එකක් කරනවා නේද?"
"හ්ම්...ඔව්. ඇයි මම
ඔයාලට එදා කිව්වේ"
"ම්ම්...අපරාදේ කියන්න බෑ, ඇත්තටම එයාගේ වයලීන් වාදනේ නම් මාර ලස්සනයි"
එහෙම කිව්වේ චතූ.
"ඔයා කොහේදිද ඒක ඇහුවේ?"
මම අහද්දි අනික් දෙන්නත් බලා උන්නේ චතූ දිහා.
"ගෙම්බා එකේ උඩ
ඒ අය practice වෙන වෙලේ. ඔයාලා අර පුස්තකාලේ පල් වෙවී හිටියේ group
වැඩකට පෙරේදා. අන්න එවෙලේ ඔයාලා එනකල් ඉන්න ගමන් මම එයාල්ගේ practice බැලුවා" චතූ කිව්වා.
"ඒක මිසක්"
තාරකා කිව්වේ මාව හිනා ගස්සමින්.
අපි වුස් එකට යද්දි,
සේරම ලස්සනට සරසලා, වේදිකාවත් ලස්සනට හදලා. ඉස්සරහින් හදලා තිබ්බ වලාකුලු බැම්මේ ආකෘතිය මට මතක් කලේ නුවර වැව රවුම.
ඒ වෙද්දි ඇවිත් උන්නු ලමයින්ගෙන් වුස් එකේ බාගෙකටත් වඩා පිරිලයි තිබුණේ. මේ
මහා සෙනග අස්සේ මගේ ඇස් හෙව්වේ භූපව.
"දුලා...අන්න ඉන්නවා ප්‍රේම කුමාරයා" තාරකා වැලිමිටෙන් ඇනලා මට පෙන්නුවේ වෙදිකාවේ එක පැත්තක දිගා අයියත් එක්ක කතා කරමින් මතු වුණ භූපව. පුරුදු විදියටම මගේ හිත ඉපිලුණා ඔහුව දැකලා.
ඒ එක්කම වගේ ඔහුත් අපිව දැක්කා.
ඒ මූණේ ඇඳුණේ අපූරු හිනාවක්. ඒ එක්කම වගේ අපි දිහා බලපු දිගා අයියත් අපට හිනාවක් පාලා භූපගේ පිටට තට්ටුවක් දැම්මේ යන්න කියන්න වගේ. සෙනග අතරින් භූප අපි ලඟට ආවා.
"අප්පේ අද කට්ටියව අඳුනන්නත් බෑනෙ"
භූප අපි හැමෝටම හිනාවක් පාන ගමන් එහෙම කිව්වා.
"ඇයි අපි ඒ තරම්ම කැත වෙලාද?"
එහෙම ඇහුවේ කට නවත්තගන්නම බැරි තාරකා.
"අනේ නෑ එහෙම නෙවෙයි,
කට්ටියම අද ලස්සනයි" භූප කිව්වා.
"ඒක මිසක්කා..."
"දුලා...අපි අර පැත්තට යනවා වාඩි වෙන්න. ඔයා එනවා නම් එහාට එන්න හොඳේ. අපි යනවා භූප" චතූ අනික් දෙන්නවත් ඇදගෙන යන්න ලෑස්ති වුණේ අපි දෙන්නට පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න වෙන්න ඇති.
"හරි චතූ මම එන්නම්"
මම කිව්වා.
"ඔයා අද ගොඩක් ලස්සනයි දුලාරා" ඒ අයට යන්න ඇරලා මා ලඟට කිට්ටු වුණ භූප එහෙම කිව්වේ රහසින් වගේ. මට දැනුනේ පුංචි ලැජ්ජාවක්.
ඒ හන්දා මම බිම බලාගෙනම උන්නා.
"අද විතරද?"
ඊට පස්සේ මම එහෙම ඇහුවා.
"හැමදාම ලස්ස්නයි තමයි.
ඒත් අද
වෙනදට වඩා ලස්සනයි"
මට දැනුනා භූපා මා දිහාම බලාගෙන උන්නු වග.
මට ලැජ්ජාවක් දැනුන නිසාම මම කලේ කතාව වෙන පැත්තකට හරවන්න උත්සාහ කරපු එක.
"කීයටද ඔයාලගේ event එක තියෙන්නේ?"
මම ඇහුවේ වේදිකාව දිහා බලන ගමන්.
"ම්ම්...පළවෙනි තෑගි බෙදා දීමෙන් පස්සේ"
"හ්ම්...එහෙනම් හොඳට play
කරන්න හරිද?" මම කිව්වේ ඔහු දිහාට ඉක්මණ් බැල්මක් හෙලලා.
"හොඳමයි හාමිනේ" භූප කිව්වේ හිනා වෙලා.
මමත් හිනා වුණා.
"ඒකේ අන්තිම වාදනේ ඔයාට..."
භූප ඊට
පස්සේ කිව්වා.
"ඒ මොකක්ද?
මම ඔහු දිහා බලලා ඇහුවේ පුදුමෙන්.
"ඔයා බලන්නකෝ මොකක්ද කියලා"
මම ආයෙම මුකුත් අහන්න කලින් භූපගේ යාලුවෙක් ආයෙම එතනට ආවේ භූපව තව මොකක්දෝ වැඩකට ඇදගෙන යන්න.
"ඔයා චතූලා ලඟට යන්න එහෙනම්. මම
වැඩ ඉවර වෙලා එන්නම් හරිද?" භූප එහෙම කියලා යන්න යද්දි මම ආපහු චතූලා හොයාගෙන එන්න ආවා.
උත්සවේ හතට පටන් ගත්තා. අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ කැම්පස් එකේ උපකුලපති තුමා. ඊට අමතරව අපේ පීඨාධිපති තුමා, ඒ වගේම තව අචාර්ය මහාචාර්යවරු ගොඩකුත් සහභාගී වුණා.
දවසට නියමිත අංග එක එක වේදිකාවේ පෙන්වද්දි, මම
බලාගෙන උන්නේ භූපගේ වාදනය කොයි වෙලේද එන්නේ කියලා.
"සංගීතය කියන්නේ ඉමල්කා විශ්ව භාෂාවක්...අපි මොන දේශයක, ලෝකේ මොන කොනක උන්නත්, ලස්ස්න සංගීතයකට පුලුවන් මේ සේරම සීමා බාධකා නොසලකා අපිව සනසන්න...නලවන්න..." නිවේදනය කරමින් උන්නු ධනුර අයියගේ හඬ ඇහෙද්දි මම වේදිකාව දිහාම බලාගෙන උන්නේ නො ඉවසිල්ලෙන්.
" ඔව් ධනුර...ඒක ඇත්තටම ඇත්ත. ඉතිං එහෙම නම් අපේ මීලඟ ආරාධනය...
මෙවන් වූ
සංගීතයෙන් අපව සනසන්න...අවප නලවන්න... භූප සඟමිත් සූරියකුල ඇතුලු අපේ අවසන් වසරේ දයාබ සහෝදර කැලට...." ඉමල්කා අක්කගේ හඬ රැව් දීලා ඉවර වෙන්නත් කලින්ම භූපයි, යාලුවෝ පිරිසයි වේදීකාවට ආවා.
ඊලඟ විනාඩි කීපය ගෙවුණේ විවිධාකාර රාග, තාල සහ රිද්ම වලින් සම්න්විත වුණ භූපලගේ වාදනය අහගෙන.
සෙනග උන්නේ මීයට පිම්බා වගේ නිහඬ වෙලා. ඒ සංගීතයට සම වැදිලා.
භූපගේ වයලීනයට අමතරව, බට
නලාවක්, ගැට බෙරයක්, සර්පිනාවක්, drum
set එකක් වගේම, තාලම්පටකුත් මේ දේශීය හා විදේෂීය වාදන සමූහය ඉදිරිපත් කරන්න යොදාගෙන තිබුණා. අන්තිමට වාදනය ටිකක් වේග රිද්ම තාලෙකට නැගලා එක
පාරටම නතර වුණා. තප්පරයක විතර විරාමයකට පස්සේ නැගීගෙන ආවේ භූපගේ වයලීනයේ ලයාන්විත හඬ.
ඒ වාදයන මම හොඳට අහලා පුරුදු එකක්.
ඒ Elvis
Presly කියන ගායකයගේ “ can’t help falling in
love….”ගීතයේ
අනුවාදනය.
ඒ වාදනය ලයාන්විතව ඇහෙද්දි මගේ ඇස් වල්ට කඳුලු ඉනුවේ ඉබේටම,හැමදාම භූපගේ වයලීන් වාදනයන් අහනකොට
වගේ. චතූ මගේ අතක් මුදුවට අල්ලගත්තේ ඒ වාදන්යේ තිබ්බ මියුරු බව නිසාම වෙන්න ඇති.
අන්තිමේදි ඒක නැවතුනාම ප්‍රේක්ෂකයින්ගෙන් නැගුනේ කන් බීරි වෙන තරමේ අත්පුඩි නාදයක්. මමත් හයියෙන්ම අත්පුඩි ගැහුවා.
"මාර ලස්සනයි දුලා...ඇත්තමයි" ඒ අස්සේ මට ඇහුණා නිලීකා මුමුණනවා.
ප්‍රධාන වැඩසටහන ඉවර වෙලා, කට්ටිය කෑම කන අතරතුරේ, DJ එක පටන් අරගෙන තිබුණා. මමයි භූපයි ඒ පැත්තට
නොගිහින් උඩහට ඇවිදගෙන ආවේ නිදහසේ කතා කරන්න හිතාගෙන.
භූපගේ අතක වෙලිලා,
Gym එක පැත්තේ අහසේ සිත්තම් වෙලා තිබුණ අඩ සඳ දිහා බල බල
හෙමි හෙමින් මම ඉස්සරහට ඇදුනා.
"අපි කොහේද යන්නේ භූප?"
මම ඇහුවේ ඒ අතරේ.
"තැනක් හිතේ නෑ...කකුල් රිදෙනකල් ඇවිදගෙන ගිහින්, හම්බවෙන
තැනක වාඩි වෙමු" භූප කිව්වේ එහෙම.
අපි දෙන්න විතරක් නෙවෙයි, මෙවෙලේ තව ජෝඩු එකා දෙන්නාත් අපි වගේම හඳ එලියේ ඇවිදින්න
අතිනත පටලගෙන යමින් උන්නා.
"ඔයාගේ අන්තිම music එක අහලා ඉවර වෙලා, මගේ
වටේට හිටපු ගොඩක් අය වර්ණනා කලේ මා එක්ක" මම භූපට කිව්වේ ඇත්තටම ඔහු ගැන
උපන්න පුංචි ආඩම්බරේකුත් එක්ක.
"එහෙමද?"
"හ්ම්...ඒක ඇත්තටම ගොඩාරියක් ලස්සනයි"
මම එහෙම කිව්වාම භූප හිනා වුණා.
"ඔයා ඒ සිංදුවේ lyrics හරියටම අහලා තියෙනවද?" භූප ඊට පස්සේ ඇහුවා.
"එහෙම හිතලම නම් අහලා නෑ. ‘I can’t help fallin in love with you’ කියන එක නම් මතකයි" මම
කිව්වා.
භූප මට හිනාවක් පාලා මගේ දෝතින්ම අල්ලගෙන Geography
hall එක ලඟින් හැරිලා එතන තියෙන ලොකු මාර ගහ ලඟ නතර වුණා.
“wise men say…only fools rush in…but I can’t help
fallin in love with you…” භූප මා ලඟට ලං වෙලා තාලෙට ගායනා කලා.
වාදනය වගේම භූපගේ හඬත් ගොඩාක්ම ලයාන්විතයි. ඒ වගේම ගීතවත්. මම ඒ හඬ අහගෙන උන්නේ වශී වෙලා වගේ.
“Like a river flows surely to the sea… Darling so it goes some
things are meant to be….Take my hand, take my whole life too…For I can't help
falling in love with you”
භූප
එහෙම කියලා, හෙමින්ම මගේ අත් දෙකම අරන් සිප ගත්තේ ආදරෙන්. මම සඳ එලියේ දිලිසෙන ඒ ඇස් වල බැල්ම දරන්න බැරි හන්දා බිම බලා ගත්තා.
"අපි
යමු..." ඉන්පස්සේ ඔහු හෙමින් කිව්වා. අපි ඇවිදගෙන ගියේ සෙනෙට් එක පැත්තට.
"රෑ
දහයත් පහු වෙලා...ඔයාට නිදි මත හෙම නැද්ද?" භූප ඇහුවේ ඒ යන ගමන්.
"අපෝ
නෑ... මට රෑට ඕන තරම් වෙලා ඇහැරලා ඉන්න පුලුවන්. උදේ ඇහැරෙන්න තමා අමාරු" මම කිව්වා.
"එහෙනම්
හොඳයි"
"ඇයි
ඒ?"
"නෑ
නිකං" භූප කිව්වේ කට කොනකින් හිනා වෙන ගමන්.
"ඇයී?"
"නෑ...
මම හිතුවේ හෙට පාන්දරම නොයා දහයේ කෝච්චියේ යමුද කියලා. ඒක හැබැයි ස්ලෝ"
"අනේ
කමක් නෑ. ඊට පස්සේ නිවාඩුනේ. අපි ඒක යමු. එතකොට අපට ගොඩක් වෙලා ලඟ ඉන්න පුලුවන්. ගෙවල් වල ගියාම එහෙම බෑනෙ" මම කිව්වා.
භූප
ආයෙම මා දිහා බලලා හිණා වුණා.
"ලඟ
ඉන්න ඔච්චරම ඕනද?"
"ඇයි?
ඔයාට ඕන නැද්ද?"
"ඕන
නිසා නේන්නම් ලං කරගත්තේ" භූප කිව්වේ මව තවත් ලඟට ඇද ගන්න ගමන්.
"ඔය
ඉතිං...නිකං ඉන්නකෝ භූප" මම කිව්වේ ඈත් වෙන්න උත්සාහ කරමින්. කවුරු හරි දැක්කොත් වස ලැජ්ජාවක් වග මට හිතුණ නිසා.
"ගෙදර
ගියා වුණාට මම ඔයාව බලන්න එනවා" භූප කිව්වේ ආයෙම මගේ අතකින් අල්ලගන්න ගමන්.
"අපේ
ගෙදර?"
"ඔව්...තහනමක්යැ? මම වෙනදත් ආවේ” භූප එහෙම කිව්වාම මට එක පාරටම මතක් වුණේ අම්මා කියපු කතාව. මට හිතාගන්න බැරි වුණා භූප නිතර අපේ ගෙදර එන්න ගියොත් අම්මා මොනවා කියාවිද කියලා.
”ඉරිදට
ඉතිං ඔයා එනවනේ අපේ කුඹුරට නේද?" භූප ඇහුවා.
මං
කල්පනාවෙන් මිදුණේ භූප එහෙම අහද්දි.
"ආ...ඔව් ඔව්. එනවා. අපේ ගෙදර හැමෝම ඒවි පුරුදු පරිදි. ඒ විතරක් නෙවෙයි, අර අයියගේ යාලුවා චේතියත් එනවා කිව්වා. ඉතිං බය වෙන්න දෙයක් නෑ කුඹුරු දහයක් කපන්න සෙනග ඉඳීවි" මම එහෙම කිව්වාම භූපගේ ගමන බාල වුණා.
"චේතිය?"
එයත් එනවා කිව්වද? ඔයාටද කිව්වේ?"
"මට
නෙවෙයි ඔයාලගේ තාත්තටමයි කිව්වේ. එයාට එන්න ඕනමලු" මම කිව්වේ හිනා වෙලා.
ඒ
පාර භූප මුකුත්ම නොකියා කල්පනාවකට වැටුණා.
"භූප...මොනාද ඔය තරම් හිතන්නේ ඒ පාර?" මම ඇහුවේ පොඩ්ඩක් වෙලා බලා ඉඳලා බැරිම තැන.
"ම්ම්...මුකුත් නෑ..." එහෙම කියලා ඔහු සුසුමක් හෙලුවා.
"නැති
වෙන්න නම් බෑ..."
මම
එහෙම කිව්වාම භූප එක පාරක් මා දිහා බලලා අහක බලා ගත්තා.
"මංදා
මොකෝ කියලා මට මනුස්සයා එච්චර අල්ලන්නේ නෑ"
"අනේ
ඒ මොකෝ?"
"අනේ
මන්දා...ඔයා මොකද එයා ගැන හිතන්නේ?"
"එහෙම
විශේෂ දෙයක් නම් හිතලා නෑ. ඒ වුණත් වරදකුත් නෑ. එකම දේ ඉතිං තැන නොතැන නොබලා විකාර විහිලු කරන එක තමයි"
"විහිලු?
කාටද ඔයාටද?"
"ඔව්...ඔයාට මතක නැද්ද? ඔයා ඉන්න දවසකත් එහෙම විකාර කියෙව්වේ. ඒත් ඒ එයාගේ හැටි වෙන්න ඇති"
"මොනවද
ඉතිං කරන විහිලු?"
"ආ...
මේ මොක්ද මෙයා මෙච්චර උනන්දුවෙන් ඒවා අහන්නේ? බය වුණාද? චේතිය මට කැමතියි වත්දෝ කියලා?" මම ඇහුවේ විහිලුවට. ඒත් භූප හිණා වුණේ නෑ.
"කියන්න
බෑනෙ" භූප එහෙම කිව්වේ අහක බලාගෙන. ඒ පාර මගේ හිනාවත් වියැකුණා.
"භූප...ඇයි ඔහොම කියන්නේ? එහෙම කිසි දෙයක් හිතන්න තරම් දෙයක් වෙලා නෑ කවදාවත්" මම කිව්වා.
භූප
මා දිහා බැලුවේ යන්තමට.
"ඉතිං
එහෙම දෙයක් වුණාම කියමු...ඒත් ඔයා හිතනවද මම වෙනස් වෙයි කියලා? මම ඔයාව අතෑරලා එහෙම වෙන කෙනෙක් ලඟට යාවි කියලා?" මම ඇහුවේ හිතේ පුංචි දුකක් පැතිරෙද්දි.
භූප
මා දිහාට හැරිලා මගේ ඇස් වලට එබුණා. ඒ ඇස් වල තිබුණේ ලොකු සෙනෙහසක්.
"මම
එහෙම හිතන්නේ නෑ"
"එහෙනං?"
"මුකුත්
නෑ දුලාරා. මම නිකමට හිතුණ දෙයක් කිව්වා විතරයි" භූප කිව්වා.
"එහෙම
නිකමටවත් කියන්න එපා" මම කිව්වා. "මං ආස නෑ"
"ආයේ
මම එහෙම කිසි දෙයක් කියන්නේ නෑ... හරි නේද?" භූප ඇහුවේ මගේ මූණට එබිලා.
"කිව්වොත්
මම තරහා වෙනවා...ඇත්තමයි"
මම එහෙම
කිව්වාම භූපට හිනා ගියා.
"එහෙම
තරහා වෙන්න දෙන්නේ නෑ. මම යාලු කරගන්න හැටි දන්නවා"
"ඇත්තට?"
"ඔව්
ඇත්තට"
"කොහොමද
දන්නෑ" මම කිව්වා.
"මෙන්න
මෙහෙම" එහෙම කියලා භූප කලේ එක පාරටම නැවිලා මගේ කම්මුල සිප ගත්තු එක. මම ගැස්සුනා.
ඒ එක්කම මොහොතකට මට වචනත් අමතක වුණා.
භූප මගේ
මූණ දිහා පුදුම වෙලා වගේ බලාගෙන උන්නේ මම මොනා කියයිද කියලා වගේ. ඒත් මම කලේ බිම බලාගත්තු
එක විතරයි. මට දැනුනේ මගේ කම්මුල් උණුසුම් වෙලා තියෙනවා විතරයි.
"තරහද?"
ඒ පාර භූප හෙමින් ඇහුවා. මම නෑ කියන්න හිස දෙපැත්තට වැනුවා.
"අපි
යං" ඒ පාර භූප කිව්වා.
මම මුකුත්
නොකියා ඔහුගේ ඇඟිලි තුඩු හෙමින් අල්ලගෙන ඔහු අනුව ගියේ පුරුද්දට වගේ.
රෑ දොලහට
විතර අපි ආපහු හොස්ටල් එකට යන්න එනකල්, මමයි භූපයි සරසවි බිමේ ඇවිද ඇවිද, ගෙවල් ගැන,
සිංදු ගැන, ආයෙම සෙනුරි අක්කා ගැන, වයලීන් ගැන (මට නොතේරුණත්) කතා කලා.
අන්තිමේදී
හොස්ටල් එකට ගිහින් නිදි මතේ වැනි වැනී ඇඳට වැටෙද්දි හඳ තිබුණේ අපේ ජනේලේ ඉද්දරමයි.
ගෙවිලා ගිය සුන්දර රැය ගැන කල්පනා කර කර, භූප මාව සිප ගත්තු කම්මුලේ අත තියාගෙන මම
නිදා වැටෙද්දී, මම දැනගෙන උන්නේ නෑ ඒ ලස්සන දවස් තව අපට තිබුනේ කොයි තරම් ඈතින්ද කියලා.
යාලුවෝ ටික තරහා වෙලා ඇති හොඳටම නේද? පෝස්ට් එකක දාන මාසයක් විතර ගිය හන්දා. අනේ තරහා වෙන්න එපා. අවුරුද්ද අන්තිම මාස දෙක තුන නිසා,ටිකක් වැඩ වැඩියි.
ReplyDeleteඉඩ ලැබෙන වෙලාවල ටික ටික තමයි ලියවෙන්නෙ. ඒ නිසා තරහා නොවී පොත් ගුලට එන්න හොඳේ...
ඔයාලට සුබ සති අන්තයක් වේවා!!!
kathava nam lassanata glagena yanava. issarahata duka hithena deyak vevi vage neda?
ReplyDelete