Monday, July 1, 2013

අවසරයි ලං වෙන්න : හත්වන කොටස



"හාපෝ මැඩම්ව දකින්න තියෙන අමාරුව" මම උදේ දහයට විතර කේතකීගේ ගෙදර යද්දි, ඉස්තෝප්පුවට වෙලා මම එන මග බලාගෙන හිටපු කේතකී එහෙම කිව්වේ කට පුරාම හිනා වෙලා.
කේතකීට ක්ලාස් හන්දා හවස එහේ යන්න හිටපු මට උදේම එන්න වුණේ, ඈ මට කතා කරලා ක්ලාස් යන්නෑ, එන්න කියපු හන්දයි.
"මාවයැ? මෙයාවනේ අල්ලගන්න අමාරු" මම එහෙම කියාගෙන ගෙට ගොඩ වුණා."මේන් මේක අම්මා දෙන්න කිව්වා" ගෙදර හදපු බිලිං අච්චාරු බෝතලයක් කේතකීට දෙන ගමන් මම කිව්වා. අම්මා ඒක මට දුන්නේ කේතකීලගේ අම්මට ගෙනිහින් දෙන්න කියලයි.
"ෂා...බිලිං අච්චාරු! අයියා අද බත් මුට්ටියම ගිලියි මේක එක්ක" කේතකී ඒක අතට ගත්තේ එහෙම කියාගෙන.
"කෝ ගෙදර කට්ටිය?" මම ඇහුවේ වට පිටාවේ කවුරුත් පේන්න නැති හන්දයි.
"අම්මා කුස්සියේ, තාත්තා වැඩට ගිහිං. අයියා තාම නිදි"
"තාම?"
"හ්ම්...එයා ගෙදර ඉන්න දාට දවල්ට කන්න තමා නැගිටින්නේ"
"එහෙමද?" මම ඇහුවේ හිනා වෙලා.
"පොඩි දූ..."
අපි ගේ ඇතුලට යද්දි, කේතකීගේ අම්මා තේ කෝප්පයකුත් අරගෙන සාලෙට එනවා කුස්සියේ ඉඳන්.
"ආ...යාලුව ඇවිත් ඉන්නේ උදේම. ඕං අද ක්ලාසුත් කට් කරගෙනයි මේ නැවතිලා ඉන්නේ" කේතකීගේ අම්මා මාව දැකලා හිනාවෙලා කිව්වා.
"බොරු!" මම කේතකී දිහා බැලුවේ පුදුමෙන්.
"අද විතරයි අනේ. අද තියෙන කොටස ඒ තරම් අමාරු නෑ. ඒකයි"
"ඔයාට පිස්සුනේ. අපට හවසත් හම්බෙන්න තිබ්බා"
"ඔය ඉතිං! මම කිව්වනේ අවුලක් නෑ කියලා"
"දැන් ඉතිං කරන්න දෙයක් නෑ. දූ මේ තේ එක අයියට දීලා එයාව කූද්දන්න. වෙලාව දහයත් පහු වෙලා" අනුලා නැන්දා කිව්වේ තේ එක දික් කරන ගමන්. මම ඒක අතට ගත්තා කේතකීගේ අතේ බෝතලේ හන්දා.
"ඔය මොනවද?" ඒක දැකපු අනුලා නැන්දා ඇහුවා.
"බිලිං අච්චාරු. මාලනී නැන්දා එවලා තියෙන්නේ"
"ආනේ...හැබෑද? අම්මට ගොඩක් ස්තුතියි කිව්වා කියන්න දුවේ ඈ" අනුලා නැන්දා හිනාවෙලා අච්චාරු බෝතලේ අතට ගන්න ගමන් කිව්වා.

"අපේ අම්මා අයියා එක්ක තරහා වෙලා ඉන්නේ" අනුලා නැන්දා කුස්සියට ගියාට පස්සේ, භූප ගේ කාමරේට යන ගමන් කේතකී මට කිව්වේ රහසින් වගේ, හිනාත් වෙවී.
"ඈ...ඒ මොකද ඒ?"
"එයාගේ කොණ්ඩෙයි, රැවුලයි වැවිල්ල හන්දා. ගමේ මිනිස්සු අහනවලු තපසට යන්නද කියලා" එහෙම කියලා කේතකී හිනා වුණා.
"ගමේ අයට පිස්සු. එහේ ඉන්නවා ඕන තරම් ඔය වගේ අය" මම කිව්වා.
"ඒක ඉතිං අපේ අම්මා දන්නේ නෑනෙ"
"ඉතිං මොකද වුණේ ඊට පස්සේ?"
"අයියා හිනා වෙවී ඉඳලා, බතුත් කාලා නිදා ගත්තා" කේතකී එහෙම කිව්වාම නම් මටත් හිනා ගියා.
කොහොමහරි අපි භූපගේ කාමරේට යද්දිත්, භූප හොඳටෝම නිදි.
කාමරේ තිබුණේ පුදුම අපිලිවෙලක්. රෙදි හැමතැනකම. ඒ මදිවට පොත්, කොල මේසේ පුරායි, බිමයි විසිරිලා. ෆෑන් එකත් මහා හයියෙන්ම කැරකෙන්න දාලා. මම වටපිට බැලුවේ ඇස් ලොකු කරගෙන.
"සතියෙම මම අස් කරලා තියාගෙන ඉන්නවා. මෙයා ඇවිල්ලා එක රැයින් කාමරේ අනික් පැත්ත පෙරලනවා" කේතකී කිව්වේ රහසින් වගේ.
මම, ඇඳේ අල්ප දයන්නක් වගේ නිදාගෙන උන්නු භූප දිහා බැලුවා. කියනවත් වගේ ඔහුගේ තරමක් දිග කොණ්ඩේ ෆෑන් එකට විසිරෙමින්, කොට්ටේ පුරාම විහිදිලා තිබුණා.
"දුලා...අපි වැඩක් කරමුද?" කේතකී ඇහුවේ හොඳ දඟ පෙනුමක් මූණට නගාගෙන.
"මොකක්ද?" මම ඇහුවේ සැකෙන් වගේ.
"ඔහොම ඉන්න මම පට ගාලා එන්නම්. මෙයාව ඇහැරවන්න එහෙම එපා" එහෙම කියපු කේතකී කාමරේ මාව තනි කරලා එලියට දිව්වා. ඒ ගිය සැනින්ම වගේ ඈ ආපහු ආවේ අතේ මොනාදෝ ගුලි කරගෙන.
"මොනාද ඔය?" මම ඇහුවා.
"ෂ්...කෑ ගහන්න එපා. මේ කොණ්ඩ බෝල" ඈ මට අත්ල පාලා කිව්වා.
ඈ අතේ ගුලි කරගෙන ඇවිත් තියෙන්නේ, අපි ලස්සනට කොණ්ඩේ පලඳින චූටි රවුම් රවුම් වගේ තියෙන, පාට පාට කොණ්ඩ බෝල ගොඩක්.
"ඔයා හදන්නේ...." මම නොකිව්වට ඈ කරන්න හදන දේ මට දැන් වැටහුණා.
"කෑ ගහන්න එපා. මෙහෙම කරාම වත් ලැජ්ජා හිතිලා කොණ්ඩේ අඩු කර ගනියි නේ" කේතකී කිව්වේ රහසින්.
මම නිදාගෙන උන්නු භූප දිහා බැලුවා. කරන්න යන දේ හිනා යන වැඩක් වුණත් ඔහු පව් කියලා මට හිතුණා.
"අනේ පව් කේතකී.."
"පිස්සු නැතුව මෙන්න මෙහේ එන්න. මේවා ගහන්න මට උදව් වෙන්න"
"ඇහැරුණොත් හෙම?"
"අපි දුවමු වෙලට"
අන්තිමේදි මට වුනේ කේතකීගේ අදහසට එකඟ වෙන්න.
අපි චූටි කොණ්ඩ බෝල එක එක භූපගේ දිගු කොණ්ඩෙ රඳවද්දි, භූප හෙලවුණේවත් නෑ. ඒ තරම්ම නින්ද. ඒ වුනත් මගේ නම් ඇඟිලි වෙව්ලමිනුයි තිබුණේ. ඊලඟට වුණේ නොහිතපු දෙයක්.
අපි දෙන්නම නොහිතපු වෙලාවක භූප දඩස් ගාලා නැගිට්ටා. එවෙලේ ඔහුගේ කෙස් රොදකට කොණ්ඩ බෝලයක් අමුණමින් හිටපු මම එක පාරටම ඇඳේ ඉන්දවුණා. මීයෙක් වගේ කෑ ගහපු කේතකී පස්ස නොබලා කාමරෙන් එලියට දිව්වා. නිදි මත විකාරෙන්ම වගේ භූප පැනලා මගේ අතකින් අල්ලගත්තේ හයියෙන්ම.
"අනේ මාව අතාරින්නකෝ..." මම බැගෑපත් වුණා.
"අතාරින්න...? ඉන්නවා අතාරින්න. දෙන්නම එකතු වෙලා මගේ කොණ්ඩේ කපන්න නේද හැදුවේ?" භූප ඇහුවේ මගේ අත අත නෑරම.
"අනේ නෑ...නෑ. එහෙම දෙයක් අපි කලේ නෑ" මම කෙඳිරි ගෑවා.
ඒ පාර භූප කලේ මගේ අතින් ඇදගෙනම කාමරේ තිබුණ කණ්ණාඩිය ලඟට ගිය එක. තමන්ගේ මූණ ඒකේ දැකපු භූපට තරහා යනවා මට ඇඟට දැනුනා වගේ.
"මෙවුන් දෙන්නා...අනේ අම්මපා..." එහෙම කියපු භූප නිදහස් අතින් ඔහුට පේන්න තිබ්බ ඒරම කොණ්ඩ බෝල ටික ගලවලා වීසි කලා. ඔහු කටින් නොකිව්වට හිතින් අපි දෙන්නට හොඳට බනින වග නම් මට තේරුණා.
"මම හිතුවේ මෙයා අහිංසකයි කියලා. බලං යද්දී දෙන්නම එකයි. එනවා යන්න. කෝ අනික් චිංචිමානවිකාව?" භූප මාවත් ඇදගෙනම කාමරෙන් එලියට ආවා.
"අනේ ප්ලීස් මාව අතාරින්නකෝ භූප" මම ආයාචනා කලත් ඔහු ඒක නෑහුණා වගේ කේතකීව හොයන්න ගත්තා. අන්තිමේදි අපි දෙන්නම කේතකීව දැක්කේ එකටම වගේ. ඈ කඩුල්ල ලඟටන්ම දුවලා ගිහිං ගේ දිහා බල බල උන්නා.
"ආ...අර ඉන්නේ. මේ...නෝනා මහත්තයා... මේ පැත්තට එනවද,මං එන්නද?" භූප අහුවේ කෑගහලා.
"මම එන්නේ නැතෝ"කේතකීත් කෑගැහුවා.
"එහෙමද...? එහෙනම් යාලුවට ඩබල් පනිෂ්මන්ට් ඈ?"භූපත් කෑගහලා එහෙම කියද්ද්දි මට හීන්දාඩිය දැම්මා.
"අනේ කේතකී එන්න..."මම භූපගේ අතට අහු වුණ අත ගලවගන්න උත්සාහ කරමින් කිව්වා.
ඒ පාර කේතකී මුකුත් කිව්වෙත් නෑ, හැබැයි ලඟට ආවෙත් නෑ.
"ආවේ නැත්තම්, අද යාලුවා මගේ කාමරේ ඉඳීවි දවසම ඈ" එහෙම කියපු භූප මාව ආයෙමත් ඔහුගේ කාමරේ දිහාට ඇදගෙන ගියේ මම හොඳටම දඟලද්දි. යන්තම් දොර ලඟට යද්දි, කේතකී හති දාගෙන එතනට දුවගෙන ආවා.
"අනේ අයියේ දුලාව අතාරින්න. අපි විහිලුවක් නේ කලේ"
කේතකී ආපු ගමන් මාව අතෑරපු භූප කේතකීගේ කනකින් අල්ලගත්තා.
"විහිලුවක්...යස විහිලුව ඒක. යකෝ මගේ කොණ්ඩෙ නේ හැමෝටම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ"
"ආ...අනේ අම්මා....අයියා මට ගහනවෝ" ඒ පාර කේතකී මහා හයියෙන් කෑ ගහන්න ගත්තා.
"මොකද ළමයිනේ මේ බෙරිහන් දෙන්නේ ඈ? මොකෝ මේ?" අනුලා නැන්දා හැන්දකුත් අතින් අරගෙන අපි උන්නු දිහාට ආවා.
මම හිටියේ එතන බිත්තියට හේත්තු වෙලා.
"මොකද පුතා ඔය කරන්නේ?" එහෙම අහගෙන ආපු නැන්දගේ ඇස් එක පාරටම නතර වුණේ තවමත් කොණ්ඩ කටු එක දෙකක් රැඳිලා තිබ්බ භූපගේ හිස දිහාට.
"කෙස්ස වවනවා මදිවට ඒ පාර කොණ්ඩ කටුත් ගහන්න පටන් ගත්තද?"
එහෙම අහද්දි මට හිනා යන්න ආවේ ඉබේටම.
"මම නෙවෙයි, මුන් දෙන්නගේ වැඩ මේ" භූප කිව්වේ කේතකීගේ කන අතනෑරම.
"ඌයි...ඌයි...අනේ අම්මා....අතාරින්න කියන්නකෝ"
"පුතා ඔය ලමයා අතාරින්න...ඔන්න...ඔය කවුරු හරි කතා කරනවා නේද ඇහෙන්නේ. කේතකී...කට අඩු කරන්න ළමයෝ. මිනිස්සු හිතයි මෙතන ගුටි ඇනගන්නවා කියලා" අනුලා නැන්දා කිව්වේ ඉස්සරහට යන ගමන්.
භූප ඒ පාර කේතකීවත් ඇදගෙනම සාලේ දිහාට ගියා.
බැලින්නං ඇත්තටම කට්ටියක් ඇවිත්. ඒ භූපගේ ගමේ යාලුවෝ දෙන්නෙක් වුණු, තරින්ද අයියයි, පුබුදු අයියයි.
"මොකෝ බං මෙච්චර සද්දේ? හරියට නිකං  ගෙදර කුකුලෙක් මරන්න යන්නා වගේ" එහෙම අහගෙන ගෙට ගොඩ වුණේ තරින්ද අයියා.
ඒ දෙන්නගෙත් ඇස් මුලින්ම යොමු වුණේ භූපගේ කොණ්ඩේ දිහාට.
"උඹ කොහේ හරි යන්නද? " කට කොනකින් හිනා වෙමින් එහෙම ඇහුවේ පුබුදු අයියා.
"ඇයි? මොකෝ එහෙම අහන්නේ?"
"නෑ ඔය කොණ්ඩ කටු හෙම ගහගෙන" පුබුදු අයියා ආයෙම කිව්වා.
භූපගේ මූණ රතු වුණා. කේතකීට රවපු ඔහු මා දිහා බැලුවෙත් රවලා.
"මෙන්න මුන් දෙන්න ගේ  පිස්සු වැඩ බං" භූප කිව්වේ කේතකීව අතෑරලා, අත් දෙකෙන්ම හිස අතගාලා ඉතිරි වුණ කොණ්ඩ කටු හොයන ගමන්.
"ආ...ඒක මිසක්. අපි හිතුවා උඹ කොහේ හරි මේ ගෝත්‍රික නැටුමකටවත් යන්න ද කියලා" තරින්ද අයියා කිව්වේ, හයියෙන්ම හිනාවෙන පුබුදු අයියටත් තට්ටුවක් දාන ගමන්.
"අනේ පල පල යන්න...මගුලක් කියවන්න ආවා...ආවා නං ඔන්න ඔහෙන් හිටහං. මම මුන් දෙන්නට වැඩක් පවරලා එන්නම්" එහෙම කියාගෙන භූප ආපහු කේතකීවත් ඇදගෙන ගේ අස්සට ගියේ මා දිහාත් බලාගෙනමයි.

කොහොමහරි අන්තිමේදි, මායි කේතකීයි කොස්සකුයි, මොප් එකකුයි අරගෙන භූපගේ කාමරේ හිටගෙන උන්නා. අපේ පනිෂ්මන්ට් එක වුණේ කාමරේ අස් කරලා, මොප් කරලා, රෙදි ටික හෝදලා, භූපගේ නාට්‍ය පිටපතක් අලුතෙන්ම පිටපත් කිරීම. ඔයින් ගියා මදෑ, මට හිතුණා.
රෙදි සෝදන සහ මොප් කරන වැඩේ කේතකී බාර ගත්තු හන්දා, මට බාර වුණේ කාමරේ අස් කරන්න. අපායට අල්ලපු වත්ත වග තිබ්බ කාමරේ කොහෙන් අස් කරන්න පටන් ගන්නද කියලා මට හිතා ගන්න බැරි වුණ. වට පිට බලලා මම ඇඳ අස් කරගෙනම වැඩේ පටන් ගත්තා. මේසේ අස් කරන්න යද්දියි මම පුදුම වුණු දෙයක් දකින්න ලැබුණේ. භූපගේ මේසේ හදාගෙන තිබුණේ, ලී මතුපිටට තව වීදුරුවකුත් දාලා. වීදුරුවට යටින් තිබුණේ විවිධාකාර කවි, කියුම්, පත්තර කෑලි...ඊට අමතරව මම හොඳටම දන්න ෆොටෝ තුනක්. එකක් අනුලා නැන්දගෙයි, සූරි මාමගෙයි. අනික මායි, පොඩි අයියයි, කේතකීයි භූපයි, පුංචි කාලේ, අපේ ගෙදර උත්සවේකදි ගත්තු එකක්. අන්තිම එක මායි, කේතකීයි දොලහ වසරේ ඉන්න කාලේ ස්ටේෂන් එකේදි ගත්තු ෆොටෝ එකක්. ඒවා දැක්කම මගේ හිතට ආවේ පුදුමයක්. ඒ එක්කම මට යන්තම් හිනාවක් ගියේ, ඒ ෆොටෝ ගත්තු දවස් මතක් වෙලා. අපේ චූටි කාලේ ෆොටෝ එක දැක්කාම මට හිතුණා අපි කොච්චර ඉක්මණට ලොකු වෙලාද කියලා. ඊට පස්සේ මම මේසේ අස් කරන්න පටන් ගත්තා. ඒත් මොහොතකින් ආයෙම මගේ අවධානය වෙනස් වුණේ, මේසේ උඩ හුලඟේ යන්න ඔන්න මෙන්න තිබ්බ කඩදාසියක ලියලා තිබුණ කවියක් දැකලා.
"තාරකා මල් පිපී හිනැහෙන
රාත්‍රිය නිදි නොම ගෙනෙයි...
නුඹේ දෑසට ලංව මා උන්
නිමේෂය මතකෙට නැගෙයි...
නුඹේ සුසුමේ සුවඳ උණුහුම
පවා තවමත් මට දැනෙයි...
හිතෙ ගුලි වුණු නුඹට නොදැනුනු
විහඟ පෙම තව සිත දවයි..."
මම ඒ කවිය කියවමින් ඉද්දි මට දැනුනා කවුරු හරි කාමරේට ආපු වග.
"ඔය අස් කරන හැටිද?" මම හැරෙන්නත් කලින්, මගේ අසලින් ඇහුණේ භූපගේ හඬ. මම කවි කොලේ මේසේ උඩින් තියලා ආපහු අස් කරන්න පටන් ගත්තා.
"කෙල්ලෝ ඇලජික් කිව්වට එහෙමම නෑ වගේ නේද?" මම ඒ ගමන්ම එහෙම ඇහුවේ, ආපහු කාමරේ මොනාද හොයන්න ගිය භූපට.
"මොකක්ද?" ඔහු ඇහුවා.
"නෑ මම මේ කිව්වේ, කෙල්ලෝ ඇලජික් කිව්වට කවි එහෙම ලියලා තියෙන්නේ කියලා"
ඒ පාර භූප විදුලියක් වගේ මම උන්නු දිහාට ඇවිත්, මගේ අතේ තිබ්බ කොලේ උදුරලා වගේ ගත්තා. ඊට පස්සේ වචනයක්වත් නොකියා, මා දිහා යන්තමට බලලා යන්න ගියා. විනාඩියක් විතර යනකල් මම උන්නේ තුෂ්නිම්භූත වෙලා. මට හිතුණා භූප තරහා වුණාදෝ කියලත්.
"මට හිතුණා මොකක් හරි පටලැවිල්ලක් නම් ඇතිමයි කියලා" ලැබිච්ච පලවෙනි අවසරෙන්ම මම මේ ආරංචිය කේතකීගේ කනේ තිබ්බම ඈ කීවේ එහෙම.
"හෙමිච්චා වගේ හිටියට ලේසි නෑ නේද?"
"ම්ම්...ඒක නම් ඇත්ත. මොනා වුණත් කෙල්ල හොඳ මසුරු සිටානෝ කෙනෙක්ගේ දුවක් වෙන්න ඕන. නැත්තම් ඉතින් මේ යෝදයට රුපියල් දහයක් පහලවක් දීලා කොණ්ඩෙයි, රවුලයි කප්පවයි නේ" කේතකී එහෙම කිව්වා.
" කවුරු වුණත් හොඳ කෙනෙක් නම් හොඳයි අපේ සෙනුරි අක්කා වගේ. වාත නෑනා කෙනෙක් වුණොත් නම් එපා වෙයි" මම කිව්වා.
"හ්ම්ම්...ඒක නම් ඇත්ත" කේතකී කිව්වේ කල්පනාබරව. මමත් එවෙලේ කල්පනා කලේ භූපගේ මේ mystery girl  කවුරු වෙන්න ඇතිද කියලා. ඒත් ඒකට උත්තරේ තිබුණෙත් මා ගාවම වග මට නිකමට හරි එදා දැනුනා නම්?

4 comments:

  1. මං ආසම කතාව අස්සෙ තියෙන මේ ඉගි බිගි වලට...!!!!

    ReplyDelete
  2. :o භූපව නෙමේද අන්තිමේට හම්බවෙන්නේ :/ හෙලා දකිනවා එකනම් ඈ -_-

    ReplyDelete
    Replies
    1. කොහොම වෙයිද කියලා බලන්න කතාවේ බාගයක් යන්කල් ඉන්න වෙනවා මලේ... :)

      Delete