Monday, July 22, 2013

අවසරයි ලං වෙන්න: එකොලොස්වෙනි කොටස

"මේ...අපි යනවා කුඹුක් ලිඳට නාන්න. ආච්චි අම්මලගේ දිහා යනවා නම් එන්න යන්න"
ඉස්තෝප්පුවට වෙලා පොතක් බලමින් ඉද්දි දොරෙන් එබුණ අයියා කිව්වා. සෙනුරි අක්කා හැට්ටේ මහගන්න ගිය නිසා මම උන්නෙත් වස පාලුවෙන්. කේතකීත් ගෙදර නැති හන්දා අපට හම්බවෙන්නත් බැරි හන්දයි මම ගෙදරට වෙලා පොතක් කියවන්න ගත්තේ. ඉතිං ඒ වගේ වෙලාවක අයියගේ යෝජනාව ඉහලින්ම පිළිගන්න මම සැදී පැහැදී හිටියේ.
මම වෙන ඇඳුමක් දාගෙන ගෙයි පිළිකන්න පැත්තට යද්දි, අයියයි, චේතියයි තුවා දෙකකුත් කරේ දමාගෙන, යකඩ බාල්දියකුත් අරගෙන මම එනකල් බලාගෙන උන්නා.
"යමු" මම කිව්වා.
කුඹුක් ලිඳ කියලා කියපු තැන අපේ ගමේ හැමෝම අතර ප්‍රසිද්ධ නාන තොටක්. ලිඳ කිව්වට එතන ලිං දෙකක් තිබුණා. සිමෙන්තියෙන් කොටුවක් වගේ බැඳලා තිබුණ මේ ලිඳේ මට මතක ඇති කාලෙක වතුර නම් හිඳිලා නැහැ. අපේ ආච්චි අම්මලගෙයි, ලොකු තාත්තලගෙයි ගෙවල් වලට යන අතරමග තමයි ලිඳ තිබුණේ. අපේ ගෙවල් පැත්තේ ඉඳන් යද්දි වට රවුමක් වගේ දිවුණු පාර නිසා පාරේ මේ පැත්තේ ඉඳන් බලද්දි වෙල් යායට එහායින් ආච්චි අම්මලගේ ගෙවල් ඈතින් පෙනුනා. අපේ තාත්තට අයිති කුඹුරු යායත් ඒ අහල පහලක තමයි තිබුණේ. හරියටම කිව්වොත් ආච්චි අම්මලගේ වත්තයි, ලොකු තාත්තලගේ වත්තයි ඉස්සරහින්ම වගේ.
"මේ පාර අයිනෙම තියෙන කෑල්ල තාමත් අයිති ආච්චි අම්මට. ඊට එහා අර එරබදු ගස් පෙලින් මායිම් වුණ ඕවිට එක්කම තියෙන කෑල්ල තමා අපේ. තව එහාට යන්න ඕන ලොකු තාත්තලගේ  කෑල්ලට" පොඩි අයියා චේතියව පාර අද්දර නවත්තගෙන අපේ ඉඩ කඩම් පෙන්නනවා.
"එතකොට අර පේන සුදු පාට ගෙදරද මහ ගෙදර?" කුඹුරු යායට උඩින් පුංචි කඳු ගැටයක් උඩ පොල් ගස් පෙලකිනුයි, පර ගස් ලන්දකිනුයි අතරින් පෙනුන අපේ තාත්තලගේ සුන්දර මහ ගෙදර පෙන්නලා චේතිය ඇහුවා.
"ඔව් ඔව්. ඒක තමයි"
"අඩේ මාර පොට් එකක් නේ බං. ලස්සනයි ඈ" චේතිය කිව්වේ මා දිහාත් බලලා.
"මේ වතුර ඇල එන්න ආච්චි අම්මලගේ ඉඩම පැත්තකින්. ගෙදර ඉඳ පොඩි  දුරකින්. එතන තව ලස්සනයි" මම කුඹුරට වතුර ගේන ඇලට වැටෙන තව පොඩි අතු ඇලක් පෙන්නලා කිව්වා.
"ඉතිං එතන නාන්න බැරිද?" චේතිය ඇහුවේ උනන්දුවෙන්. මට හිනා ගියේ ඉබේටම.
"නාන්න තිබ්බා මීට අවුදුරු දහ පහලවකට කලින් වගේ නම්. එතන අපි වගේ අලින්ට නාන්න බෑ බං" පොඩි අයියා කිව්වේ හිනා වෙවී.  
"අපි නාලා කොහොමටත් එහේ යනවනේ. එතකොට උඹට බැලිය හැකි" අයියා චේතියට කිව්වා.
"දුලාරා නාන්නේ නෑනෙ. ඔයා කෙලින්ම ආච්චි අම්මලගේ ගෙදර යනවද?" චේතිය ඇහුවා.
"ඔව්. ලිඳ ලඟ ඉඳන් පොඩි දුරයි නේ. ඔයාලා නාගෙන එන්න" මම කිව්වා.
ලිං තිබ්බ තැනට පොඩ්ඩක් එහායින් තමා ගමේ පන්සල තිබුණේ. ඒක කවුරුත් අතර ප්‍රසිද්ධ, ලොකු පන්සලක්. පන්සලට යන පාර ලිඳ තිබ්බ තැනට අසලින් පටන් ගත්තත්, පන්සල තිබුණේ ඊටත් කිලෝමීටර් කාලක් විතර ඇතුලට වෙන්න. ඒ වටේටම තිබුණේ පන්සලේ ඉඩම්.
අපි තුන් දෙනා හෙමි හෙමින් ලිඳ ලඟට යද්දි, අපට පෙනුනා වෙන කොටත් එතන තව කීප දෙනෙක් නාන්න ඇවිත් උන්නු වග.
"කට්ටිය වැඩියි වගේ නේද?" එහෙම කිව්වේ චේතිය.
"ඉතිං කට්ටිය ගියාම නාමු අපි. උඹ නිකං ගෑණු ළමයෙක් වගේ නෙ" පොඩි අයියා කිව්වේ චේතියට ඇද කරන ගමන්.
"බාත් රූම් වල නාලා පුරුද්ද නිසා වෙන්න ඇති" මම කිව්වා.
"පිස්සුද එහෙම එකක් නිසා නෙවෙයි. හරි හරි යමුකෝ" චේතිය කිව්වා.
තව ටිකක් ලඟට යද්දියි  මට පෙනුනේ කට්ටිය අතර පොඩි අයියගෙම යාලුවෙකුත් උන්නු වග. පුබුදු අයියා.  ලඟම වගේ සබන් ගාමින් උන්නේ තරින්ද අයියා. තව  ගමේ නැන්දලා දෙන්නෙකුත් එතනම ලඟ තිබුණ රෙදි සෝදන ගල ලඟ රෙදි සෝදමින් උන්නා.  තව කෙනෙක් ලිඳ ලඟ නාමින් උන්නා.
"හාලෝ...දුලියා! මොකෝ අද මේ පැත්තේ. ජලසම්පාදනේ strike ?" එහෙම ඇහුවේ පුබුදු අයියා.
"ඇයි මෙතන උඹට ලියලා දීලද?" පොඩි අයියා ඇහුවේ බාල්දිය බිමින් තියන ගමන්.
"නෑ ඉතිං උඹලා දැන් ගමේ පේන්න නෑනෙ"
"කොහේ පේන්නද බං? මේ දවස් වල මම ගොඩක් උන්නේ කොලඹ" පොඩි අයියා කිව්වා.
අතරේ ලිඳ ලඟ නාමින් උන්නු කෙනා පඩි පෙල දිගේ උඩට එද්දියි මම දැක්කේ ඉඳල තියෙන්නේ භූප වග. අහේතුකවම මගේ හද ගැස්ම වැඩි වුණා.
"...උඹත් හිටියද?" පොඩි අයියා භූපට හිනාවක් පාමින් කිව්වා.
"ඔව් බං...පොඩි cricket පාරක් ගැහුවා හවස. මහන්සිය යන්න එක්ක නාන්න ආවා. කොහොමද දුලාරා?" භූප අයියා එක්ක කතා කරමින්ම මගෙන් අහුවා.
මම ඔහුට හිනා වුණා විතරයි.
"යකෝ...මූ බලපංකෝ? අද දැක්කා වගේනෙ කොහොමද අහන්නේ. අයි බං උඹලා එක කැම්පස් එකේ නේද ඉන්නේ? ගෙදර එන්නෙත් එකම කෝච්චියේ නේද?" එහෙම කිව්වේ තරින්ද අයියා.
"මේ...උඹ කටවහගෙන ගිහිං නා ගන්නවද?" භූප දිහාට හැරිලා කිව්වා.
"කොහොමද චේතිය ඉතිං?" ඊලඟට භූප චේතියට කතා කලා. ඊට පස්සේ පොඩි අයියා චේතියව අනික් දෙන්නටත් අඳුන්නලා දුන්නා.
කට්ටියම නා ගන්න බැස්සට පස්සේ උඩ ඉතිරි වුණේ මායි, ඇඳුම් මාරු කරගෙන ආපු භූපයි විතරයි.
"ඔයා නාන්නේ නැද්ද, උඩ බලාගෙන ඉන්නේ?" භූප මා ලඟට ඇවිත් ඇහුවා.
මම එවෙලේ උන්නේ උඩ බලාගෙන, ලඟ තිබුණ මී අඹ ගහේ ගෙඩි තියෙනවද බල බල.
"...අනේ නෑ. අම්මා හවස නාන්න දෙන්නේ නෑනෙ" මම කිව්වේ ඔහු දිහා යන්තමින් බලමින්.
"අඹ ඕනද?" භූපත් උඩ බලන ගමන් ඇහුවා.
"කොහොමද කඩන්නේ? ගොඩක් උඩ නේ තියෙන්නේ"
"ඔයාට ඕන නම් මම නැගලා කඩලා දෙන්නම්" භූප කිව්වා.
"පිස්සුද? එපා එපා. ඔයා මේ ගහ උඩින් පත බෑවුනොත් එහෙම, අම්මට කොල්ලෙක් ගෙනැත් දෙන්න වෙයි මට"
මම එහෙම කිව්වම භූපට හිනා ගියා.
"ඔයා හිතන්නේ මට ගහකටවත් නැග ගන්න බෑ කියලද?"
"අනේ නෑ. ඒත් එපා. මට එහෙමට අඹ කන්න ඕන කමක් නෑ"
"අඹ ඕන නම් අපේ ඕවිටේ ගහේ  තියෙනවා. ආවොත් කඩලා දෙන්න පුලුවන්" භූප කිව්වා.
මේ වෙලාවේ තරින්ද අයියත් නාගෙන ගොඩට ආවා.
"මොකද දෙන්නා එක්ක අඹ සෙවනේ උඩ බලාගෙන? ඉල්ලලා අඹ ගන්න වත්ද?"
තරින්ද අයියගේ කට නම් කිසිම චාරයක් නැති එකක්. කතාවට මම රතු වුණා. එක්කම මට දැනුනේ ලොකු ලැජ්ජාවක්. මම බිම බලාගත්තේ ඒකයි.
"උඹගේ කට නම් බං අප්පල්ලේ වගේ. කිසිම චාරයක් නෑ. ඔයා ඕවා ගණං ගන්න එපා දුලාරා" භූපගේ හඬේ තිබ්බේ පොඩි කෝපයක්.
"කෝප ගන්න එපා කොල්ලෝ, බොට විහිලුවක් වත් තේරෙන්නේ නැද්ද?"
"විහිලු කරන වෙලාවක් කලාවක් තියෙනවා"
"අනේ උඹේ කලාව මම නොදන්නවයැ" තරින්ද කිව්වා.
"මේ නෑවනං පිහිදගෙන ගෙදර පලයන්කෝ වද නොදී" භූප කිව්වා.
"හරි හරි මල්ලී...උඹ දැන් වීරයා වෙලා, වරෙංකෝ අපට දුක කියන්න"
තරින්ද අයියා එහෙම කිය කිය යන්න ගියා. මම භූප දිහා බැලුවා.'දුක කියන්න?'
"සොරි දුලාරා...ඔයා දන්නවනේ ඕකගේ කට"
මම මුකුත් නොකියා බිම බලාගෙනම යන්තම් හිනා වුණා.
"කේතකී ගෙදර ඉන්නවද භූප?" මම කලින් කතාව අමතක වෙන්න එක්ක එහෙම ඇහුවා.
"මම එනකොට ඇවිත් හිටියේ නෑ. මේ දවස් වල රිවිෂන් ක්ලාස් නේ. අනේ මන්දා එයා මේ පාරවත් ගොඩ දාගනීද කියලා. විද්‍යා පිඨ ඉල්ලන්න හිතෙනවා කිය කිය ඉන්නවා මේ දවස් වල" භූප එහෙම කිව්වා.
"ඇත්තද? කෝක වුණත් මේ පාරත් එක්සෑම කරලා බැලුවා නම් හොඳයි  කියලයි මට හිතෙන්නේ" මම කිව්වා.
"හ්ම්...බලමුකෝ නේද? භූප කිව්වේ සුසුමක් හෙලලා. "දුලාරා දැන් කොහෙද යන්නේ? ලොකු තාත්තලගේ ගෙදරද?" ඊට පස්සේ භූප මගෙන් අහුවා. 
"නෑ. ආච්චි අම්මලගේ ගෙදර. මේ අය නාගෙන එයි නේ. මං එහෙනම් යන්නද?" මම ඇහුවට හිත කිව්වේ එතන තව ටිකක් ඉන්න කියලා.
"යමු...මාත් කඩේට යන්න ඕන පොඩ්ඩකට" භූප කිව්වේ මම නොහිතපු විදියට.
අපේ ලොකු තාත්තලගේ ගෙවල් ඉස්සරහ තිබුණා අරනෝලිස් කියලා සීයා කෙනෙක්ට අයිති පොඩි කඩයක්. ගමේ මේ අපැත්තේ අයට හදිසියකට ඕන පොඩි පොඩි බඩු ගන්න තිබුන එකම තැන ඒක.
"මචෝ මම කඩේට ගිහින් එන්නම්" ඈට උන්නු තරින්ද අයියට කෑ ගහල කියපු භූප මට ඉස්සර වුණා.
"හරි..පැකට් දෙකක ගෙනෙං" තරින්ද අයියා කියනවා මට ඇහුණා.
"අයියේ මම යනවා ඔයාලා එන්න" ලිඳ ලඟට ගිහින් අයියලට එහෙම කියලා මම ඉක්මණ් අඩි තියලා භූප ලඟට ආවා.
"මොනාද පැකට් ගේන්න යන්නේ?" මම යන ගමන් එහෙම ඇහුවේ නිකමට වගේ.
"ඈ...ආ...මේ...කඩල"
"කඩල? හදිසියෙම?"
"ඔව්, මේ ගෙදර යන ගමන් හප හප  යන්න" භූප කිව්වේ මා දිහා නොබලා.
"ඉතිං දෙකක් ගන්නේ?  තුන් දෙනෙක් ඉන්නවනේ" මම කිව්වා.
"ඔව් නේ. තුනක් ගන්නවා එහෙනම්" භූප කිව්වේ නොසැලකිලිමත් විදියට.
මම ඊට පස්සේ ඒ ගැන අහන්න ගියේ නෑ.
"චේතිය ගොඩ දවස් වලට ඔයාලගේ ගෙදර නේද ඉන්නේ?" භූප හිටි ගමන් එහෙම ඇහුවා.
"හ්ම්ම්...එයා එහෙම තමා" මම කිව්වා.
"මනුස්සයගේ ගෙවල් මේ නුවරද කොහෙද නේද?"
"හ්ම්. ඔව්"
"අපරාදේ කියන්න බෑ හැබැයි හොඳ පොරක් වගේ පේන්නෙ" භූප ඊට පස්සේ කිව්වා.මම හිනා වුණා.
"භූප හෙට උදේම යනවද?" ඊට පස්සේ මම ඇහුවා.
"හවස යන්නේ. පහයි ගාණෙ"
"හ්ම්" මම කිව්වේ කල්පනාබරව.
"ඔයා අනිද්දා එන්නේ කෝචියෙද?"
"කියන්න බෑ. සමහරවිට බස් එකේ එවෙයි. කෝච්චියේ එනවනම් එකොලහයි ගාණේ එපෑ එන්න"
"කම්මැලි කෙල්ල. අපේ නංඟිට දෙවනි නෑ" භූප එහෙම කිව්වා හිනා වෙලා. මාත් හිනා වුණා.
ඒ වෙද්දි අපි ආච්චි අම්මලගේ ගෙවල් ලඟට සේන්දු වෙලයි උන්නේ. හිතේ ආයෙම මොකක්දෝ හැඟීමක් උත්සන්න වීගෙන එනවා මට දැනුනා.
"මම යන්නද එහෙනම්?" භූප ඇහුවා.
"හරි" මම එහෙම කිව්වේ හෙමින්.
භූප තව මොහොතක් බලා ඉඳලා මට හිනාවක් පෑවා. ඒ හිනාවේ තිබුණේ මොකක්දෝ අමුතු හැඟීමක් කියලා මට හිතුණා. හරියට ලොකු  සෙනෙහසක් වගේ.
මම භූප ගෙන් සමු අරගෙන ආච්චි අම්මලගේ ගෙදරට යද්දි ආච්චි අම්ම මිදුලේ වේලෙන්න දාපු ගොරකා වගයක් එකතු කරමින් උන්නා. මාව දැකලා හිස උස්සපු ඇගේ මුහුණේ ඇඳුනේ හිනාවක්.
"අප්පච්චියේ...මොකද නෝනා මේ හැන්දෑකොරේ මේ පැත්තේ?"
"ආච්චි අම්මව බලලා යන්න ආවා"
"තනියෙන්ම?"
"අයියලා නාන්න ගියා මග එනවා ඇති"
"හ්ම්...යමුකෝ එහෙනම් ගෙට"

භූප යන වග දැනගෙන උන්නු නිසාදෝ,සෙනසුරාදා ගෙවුණේ උදාසීනව. චේතිය එදත් අපේ ගෙදර උන්නා. ඔහු මා එක්ක විවිධ දේවල් කතා කරන්න උත්සාහ කලත්, මට ඒවට ලොකු උනන්දුවක් තිබුනේ නෑ. හිතේ තිබුණේ කියාගන්න බැරි තරම් පාලුවක්. මහා උදාසීන කමක්. ඒ භූප හන්දා.
ඉරිදා උදේම චේතියයි, පොඩි අයියයි කොලඹ යන්න ගියා. සෙනුරි අක්කලත් නෑ ගමන්ක් ගිහින් උන්නු හන්දා අපේ ගෙදර හිටියේ මම විතරයි. ඒත් උදේ දහයට විතර මගේ බලවත් සතුටට හේතු වෙමින්, කේතකී අපේ ගෙදර ආවා. පාලුවෙන් උන්නු මටත්, මගේ හිතටත් ඒක සහනයක් වුණා.
"අයියා ඊයේ ගියා නේද?" වත්තේ ඇවිදිමින් කතා කරමින් ඉද්දි මම ඇහුවේ මට භූප ගැන අහන්න, කතා කරන්න ඕන වුණ නිසාමයි.
"හ්ම් ඔය ගියේ. අනේ මන්දා එයාගේ වැඩ. ඒ පාර පුදුමාකාර photography පිස්සුවක් හැදිලා. නාට්‍ය, සිංදු, ෆොටෝ...ඕවා තමයි එයාගේ ජීවිතේ. අම්මා නම් වෙලාවකට බනිනවා ඕවා නොකර මොනා හරි රස්සාවකට වැදගත් වෙන දෙයක් කරන්න කියලා. ඒත් එයා අහන්නේ නෑ...එයාගේම මතේ තමා ඉන්නේ" කේතකී කිව්වා.
"photography කියන්නේ මේ කාලේ හොඳ රස්සාවක්" මම කිව්වා.
"ඒක ඇත්ත. ඒත් ඉතිං අම්මලා එහෙම හිතන්නේ නෑනෙ. එයාලා හිතන්නේ රජයේ රැකියාව තමා හොඳම කියලා. පඩිය සොච්චමක් දුන්නත් ඒකම තමා හොඳ. පෙන්ෂන් එකනේ මූලිකම දේ" කේතකී කිව්වේ ඇස් උස්සලා උපහාසෙන් වගේ.
"අම්මලා එහෙම තමා හිතන්නේ. අපේ අම්මලත් එහෙමයි" මම කිව්වා.
"ඒක නෙවෙයි දුලා...මට අයියගේ වෙනසක් තේරෙනවා ලඟදි ඉඳන්" කේතකී හිටි ගමන් එහෙම කිව්වාම මගේ හිත පොඩ්ඩක් සැලුණා.
"වෙනසක්?"
"හ්ම්. ගෙදර ආ වෙලේ ඉඳන් එක්කෝ කල්පනා කරනවා. එක්කෝ වයලීන් එක අරන් පැය ගණන් දුක් ගීත වාදනය කරනවා.ඇහුවට මට කියන්නෙත් නෑ. මං නම් හිතන්නේ අර කවි ලියන කෙල්ල නිසා වෙන්න ඕන" කේතකී කිව්වාම මම උඩ ගියා.
"කෙල්ලෙක්?"
"ඔයා හිතන්නැද්ද එහෙම? ඔයාට පුලුවන් නේ හොයලා බලන්න එහෙම හුට පටයක් තියෙනවද කියලා. කැම්පස් එකේ නම් ආරංචි වෙනවනේ" කේතකී මට කිව්වා.
"මම උත්සාහ කරන්නම්කෝ හොයලා බලන්න" මම කිව්වේ කේතකී දිහා නොබලා.
"හොඳ කෙල්ලෙක් නම් කවුරු වුණත් කමක් නෑ දුලාරා. මට බය නරක කෙල්ලෙක් වෙලා මෙයාට බූට් පාරක් වත් දුන්නොත්...අයියට පිස්සු හැදෙයි. එයා ඔහොම හිටියට ගොඩක් සංවේදී හිතක් තියෙන කෙනෙක්. මට බය ඒකයි"
"මං හොයලා බලන්නම් කේතකී" මම ඈට සහතික කරලම කිව්වා.
ඒ අතරේ මගේ හිත තිබ්බෙත් නොසන්සුන් වෙලා. ඇත්තටම භූප වෙන කාට හරි ලං වෙලාවත් ද?

No comments:

Post a Comment