Monday, July 15, 2013

අවසරයි ලං වෙන්න: නමවන කොටස



හීනයක් සේ මගේ ඇස් යට - නිදා ඉන්නා සමනලී
කියා ගන්නට දහස් දේ ඇත - නමුදු දොඩමලු වනු බැරි..
කියා ගනු බැරි සහස් හැඟුමන් හිතේ ඉතිරී යයි තිරී
එපා ඔය ලෙස බලන්නට නුඹ දැවෙයි මා හිත පෙම්බරී...
ආ...හා...හා...හා... මදෑ! මේන් මෙයා මහ ලොකු කාලිදාස කෙනෙක් වෙලා"
භූපගේ රෙදි ලොට් එකක් උස්සගෙන හෝදන ඒවා තෝරමින් උන්නු කේතකී මට කිව්වේ, ඔහුගේ කලිසම් සාක්කුවක තිබිලා එලියට ගත්තු කොල කෑල්ලක ලියවුණු කවි පද කීපයක් කියවන ගමන්.
අයිනකට වෙලා වයලීනයක් කූරු ගාමින් හිටපු භූප විදුලි සැරයක් වැදිලා වගේ නැගිටලා ඇවිත් කොල කැල්ල උදුර ගත්තා. මමයි කේතකියි ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"මේ අනුන්ගේ personal දේවල් වලට හොට නොදා ඉන්නවද?"
"එහෙනම් ඉතිං personal දේවල් හෝදන්න නොදා ඉන්නවා නම් තමා හොඳ" කේතකී ගත් කටටම කිව්වා.
"මේ...වද නොදී දෙන්නා එක්ක ගිහින් ඕන්න ඔය ටික හෝදගෙන එනවද? මට මෙහේ වැඩ තියෙනවා" භූප එහෙම කිව්වා.
"මෙයා එහේ රැග් නොකරට ගෙදරදි රැග් කරන හැටි බලන්නකෝ" කේතකී කිව්වා.
මම භූප දිහා බැලුවේ 'ඒක තමයි' කියන්න. භූප මා දිහා බැලුවේ ඇස්  කොනකින්.
"අපි මේවා පුරුදු නොකරොත්, රැග් වෙන්න වෙන්නේ බොලාව ගන්න මනුස්සයට" භූප එහෙම කිව්වා.
"ආ...මෙන්න මෙයාට සත්ත්ව කරුණාව පහල වෙලා. අපේ මිනිස්සු ගැන හොයනකල්, කියන්නකෝ අගේ නොකර... කාටද ඔය දුක් කවි ලියන්නේ කියලා?" කේතකී කිව්වා.
මමත් භූප දිහා බැලුවේ උනන්දුවෙන්.
"යකෝ මිනිහෙක්ට නිදහසේ කවි පදයක් ලියන්න බැරි කාලයක්ද මේක? මම ඒක කාටවත් ලිව්වා නෙවෙයි. හිතට ආවට ලිව්වා එච්චරයි" භූප කිව්වේ මා දිහා නොබලා.
භූපට ගස්ස්පු කේතකී ආයෙම රෙදි එක එක තෝරන්න ගත්තා හෝදන්න. භූප මාස දෙක තුනක්ම රෙදි හෝදලා නැද්ද මන්දා.
"අපි රෙදි සෝදගෙන ගෙදරට ආපහු යද්දි, ඒ පැත්තෙන් ඇහුණේ ලයාන්විත වයකීන් නාදයක්. හුරු පුරුදු ගතියක් දැනුන වාදනයක් වුණත් ඒ මොකක්ද කියලා මතකයක් තිබුණේ නෑ මට. කේතකී රෙදි වනනකල්, මම ගියා වයලීන් නාදේ ඇහුණ පැත්තට.
භූප ඉස්තෝප්පුවේ කොනේ කණුවකට බර වෙලා, හෙමීට පැද්දෙමින් වයලීනය වාදනය කරමින් හිටියා. මම ඊට මෙහා පැත්තේ කණුවකට හේත්තු වෙලා ඒ දිහා බලාගෙන, වාදනය අහගෙන හිටියා. ඒ වාදනය හිතට එකතු කලේ පුදුමාකාර හැඟීමක්.  හරියට, බර හැඟීම් ගොන්නක් හිතේ පතුලට, පතුලට කිමිදෙන්නා වගේ. වාදනය ඉවර වෙනකල්ම මම එතන උන්නේ හීනෙන් වගේ. තමන් පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ දැනුන නිසාදෝ භූප හැරිලා බැලුවා. ඒ ඇස් වල ඇඳුනේ පුදුමයක්.
"දුලාරා..." ඒ හඬේ තිබ්බේ පුදුමාකාර මුදු බවක්.
"ලස්සනයි..." මම හෙමින් කිව්වා. ඇසිපිය ගහද්දියි මට තේරුණේ මගේ දෑස් වල කඳුලු පටලයක් තියෙන වග.
"ඇයි මේ?" භූප ඇහුවා.
"මුකුත් නෑ...මම.."
"ඇයි ඇස් වල කඳුලු?" භූප ආයෙම ඇහුවා.
"දන්නෑ" මම එහෙම කියලා බිම බලා ගත්තා.
භූපත් බිම බලාගෙන මොහොතක් එහෙමම උන්නා.
ආයෙම ඇස් උස්සද්දි, ඔහුගේ ඇස් ඉස්සුනෙත් ඒකටම වගේ. ඒ නිදිබර ඇස් ලඟ මොහොතක් මගේ ඇස් නැවතුනා. එකම එක තප්පරේකට. එවෙලේ දැනුන සසල වීම මගේ ආත්මයේ පතුලටම දැනුනා ව්ගෙයි මට තේරුණේ. දෙපාරක් නොහිතා මම එතැනින් එන්නා ආවා.  මගේ හිත තිබුණේ කලබල වෙලා. කවදාවත් නැති විදිහට. හරියට මම භූපව හරියටම දැක්කේ අද වගේ. ඒ එක්කම මට දැනුනේ වරදකාර හැඟීමක්.
මම ආපහු ගෙදර එද්දි සෙනුරි අක්කයි, ලොකු අයියයි ගෙදර ඇවිත් උන්නා. නිවාඩු දවස් වල උදේ දහය වෙනකල් විතර නිදාගෙන ඉන්න දෙන්නා කොහොමත් දවල් උයාගන්න කම්මැලි වුණාම අපේ ගෙදරට එන එක සාමාන්‍ය දෙයක්.
"හා...මේ එනවා රස්තියාදු හැටේ ඇවිදලා අපේ ගෑණු ළමයා" ඉස්තෝප්පුවට වෙලා තේ එකක් බිබී උන්නු එනුරි අක්කා, එතන උන්නු අයියට කිව්වා. අයියා හිණා වුණා විතරයි.
"මම රස්තියාදු ගහන්න ගියේ නෑ. මම ගියේ කේතකීගේ ගෙදර" මම ගෙට ගොඩ වෙන ගමන් කිව්වා.
"ආවොත් ඇත්නං එක්කෝ එහේ, නැත්තම් වෙලේ" මෙවෙලේ ඉස්තෝප්පුවට ආපු අම්මා කිව්වා.
"එහේ පැණි වක්කරලා තියෙනවද?" සෙනුරි අක්කා ඇහුවා.
"නෑ කිරි වක්කරලා තියෙන්නෙ" මම එහෙම කියලා අම්මා ලඟට වුණා.
අම්මා අයියලත් ඉන්න හන්දා පොලොස් ගෙඩියක් මැල්ලුම් හදලා තිබුණා. පොලොස් මැල්ලුම් මම ආසම නැති කෑමක්. ඒත් ලොකු අයියා නම් හරිම ආසයි. දවල් කෑමට සෙනුරි අක්කයි මමයි කරවල හොද්දකුත් හැදුවා. පොඩි අයියා චේතිය එක්ක කොලඹ උන්නු හන්දා කෑමට උන්නේ අපි ටිකයි තාත්තයි විතරයි.
"දැන් මාස දෙකක් ගිහිල්ලත් තාම ඉවර නැද්ද අනේ ඔය වාත රැග් එක"
සෙනුරි අක්කා අහුවේ මමයි, අයයි මගේ කාමරේට වෙලා කතා කරමින් ඉද්දි. රැග් එක ගැන මම ඇත්තම කියලා තිබුණේ සෙනුරි අක්කට විතරයි.
"ලඟදි ඉවර වෙයි" මම කිව්වා.
"තාම අර යකා ජේෂ්ඨයා ඔයාට බනිනවද?" සෙනුරි අක්කා ඇහුවා.
"හ්ම්ම්...මට නම් හිතෙන්නේ ඒ පොර ගිය ආත්මෙකදි අපේ හතුරෙක් ද කොහෙද? මාරාවේෂ වෙලාමයි නිතරම ඉන්නේ"
මම එහෙම කියද්දි සෙනුරි අක්කා හිනා වුණා.
"ආ...ඒකයැ, මට චේතිය මාර තෑග්ගක් ගෙනැත් දුන්නා නෙ" මට ඒ ගැන සෙනුරි අක්කට කියන්න මතක් වුණේ එවෙලේ.
"මොකක්ද?"
"ඉන්නකෝ පෙන්නන්න"
මම චේතියගේ තෑග්ග පෙන්නුවම, සෙනුරි අක්කගෙත් ඇස් උඩ ගියා.
"බුදු අම්මෝ, මේක මාර ගණං ඇති"
"ඒක තමයි. මොකට මෙච්චර වියදම් කලාද මන්දා" මම කිව්වා.
සෙනුරි අක්කා මං දිහා බැලුවේ කල්පනාබරව වගේ.
"වියදමක්ද, අනාගත ආයෝජනයක්ද දන්නේ නෑ"
"ඒ මොකක්ද ඒ කතාවේ තේරුම?" මම ඇහුවා.
"තේරුමද? තේරුම තමයි, පොර තෑගි බෝග දීලා ඉල්ලන්නද දන්නෑ ඉන්නේ කුමාරිකාවගේ අත, අයියණ්ඩිලාගෙන්"
"අනේ මේ...පිස්සු නොකියා ඉන්න හලෝ. එයාට මෙලහකටත් ඇති නුවර හොඳ මැණිකේ කෙනෙක්" මම කිව්වා.
"ඔව්වා කියන්න බෑ නගෝ. කැරකිලා ඔයා ලඟටම ඒවිද දන්නවයැ. කොහොමද එතකොට?"
"අනේ අනේ මේ...ඕවා කාටාවත් ඇහුණොත් මම ඉවරයි. පොඩි අයියා මාව හම ගහයි. විකර නොකියා ඉන්න" මම කිව්වේ ඇත්තටම බයෙන්.
"හ්ම්ම්..හ්ම්ම්...බලමුකෝ. මේ කුමාරිගෙ හිත ගන්න සපුමල් කුමාරයා කවුද කියලා" සෙනුරි අක්කා එහෙම කියලා ඔරලෝසුව අරන් අතේ දමාගෙන හැඩ බලන්න වුණා.
ඒකේ දිලිසෙන අත් පටිය දිහා බලාගෙන මම කල්පනා කලේ සෙනුරි අක්කා කියපු දේ ගැන. ඇත්තටම ගෙදර මේ තරම් ආදරයක් ලබන මට පිටින් ආදරයක් දැන්මම ඕනමද?

හැම ඉරිදාවකම වගේ පහුවදාත්, අම්මා උදේ ඉඳන් ලහි ලහියේ ලෑස්ති වුණේ මට ගෙනියන්න දේවල් ලෑස්ති කරන්නයි, රෑට කන්න බත්මුල් බඳින්නයි.
ඒ අතරේ මම සාලෙට වෙලා තාත්තා එක්ක වාද කරමින් උන්නේ මට එකොලහයි තිස්පහේ කෝච්චියට යන්න බෑ කියලයි.
"අනේ තාත්තා එතකොට ගෙදර ඉන්න තියෙන කාලෙත් අඩු වෙනවා. මම හවස් වෙලා බස් එකක යන්නම්කෝ"
"පිස්සුද ළමයෝ. මේ ගිය අලුතම රෑට රෑ වෙලා යන්න නරකයි නොදන්න පලාත් වල. යනවා නම් දෙකටවත් යන්න ඕන බස් එකේ නම්"
මම මූණ බුම්මගෙන ඉද්දි, මට ඇහුණේ අපේ කඩුල්ල වැටෙන සද්දේ. තාත්තයි මමයි ඒ දිහා බැලුවේ ඉබේටම වගේ. ඈතින් එන රුව දැකපු ගමන් හිත පිනුමක් ගැහුවා වගෙයි මට දැනුනේ. ඒත් එක මොහොතකට විතරයි. ඊටපස්සේ සේරම ආයෙම හරි ගියා වගේ.
"ආ...මේ, මේ ළමයනේ. එන්න පුතේ ගෙට" භූප දැකපු තාත්තා හිනාවෙලා ඔහුට ගෙට ආරාධනා කලා.
බිම තාත්තා ලඟ ඉඳගෙන උන්නු මම එතනින් නැගිට්ටා.
"කෝ මාමේ, දුලිත ඉන්නවද?" භූප ආවේ එහෙම අහගෙන.
"දුලිත අර චේතිය ළමය එක්ක ගියා නෙව කොලඹ"
"ආ...ඇත්තද?"
"මොකක් හරි හදිසියක්ද පුතේ?"
"නෑ...මම මේ මගේ CD දෙකක් දුලිත ගාව තියෙනවා ඒක බලන්න ආවේ. කැම්පස් එකේ වැඩකට. කමක් නෑ මාමේ. මට ලබන සතියේ ගත්තත් ඇති වෙයි" භූප තාමත් උන්නේ හිටගෙන.
"භූප වාඩිවෙන්න" මම බැරිම තැන කිව්වා.
ඔහු මා දිහාට හීන් හිනාවක් පාලා ලඟ තිබ්බ වේවැල් පුටුවට බර වුණා.
"ඉතිං...පුතා අද පේරාදෙණි යනවද?"
"ඔව් මාමේ හවස යන්නයි ඉන්නේ. දුලාරත් යනවා නේද?" භූප ඇහුවේ මගෙන්.
"හ්ම්" මම හිස වැනුවා.
"පුතාට පිං සිද්ධ වෙනවා, මේ කෙල්ලව හැමදාම සිකුරාදට පරෙස්සමින් ගෙනැත් දානවට. තාම පලාතට අලුත් නේ. ඔය තරම් දුර තනියෙම ගිහිං පුරුද්දකුත් නෑනෙ" තාත්තා එහෙම කියද්දි මට දැනුනේ පුංචි ලැජ්ජාවක්. මම බිම බලාගෙන උන්නේ ඒකයි.
"අනේ ඕක මොකක්ද මාමේ. ඒවා ඉතිං අපේ යුතුකම් නේ. දුලාරා මොකද මට මගේ නංඟි මොකද"
"හ්ම්ම්...ඒක ඉතිං අපි නොදන්නවයැ" තාත්තා හිස වන වන කිව්වා.
"භූප තේ ටිකක් බොමුද? උදේ හදපු හාතාවාරිය කැඳත් තියෙනවා බොනවා නම්" නිහඬතාවයෙන් ගෙවුණු තප්පර කීපෙකට පස්සේ මම ඇහුවා.
"කොල කැඳ? අන්න ඒක නම් හොඳයි"
"පුතේ මටත් වීදුරුවක් ගේන්න"
මම දෙන්නටම කොල කැඳ අරන් යද්දි, තාත්තා මේ කන්නේ කුඹුරු කරන එක ගැන භූප එක්ක ලොකු කතාවක්.
"තාත්තට කියන්නකෝ දවස අපට දැනුම් දෙන්නයි කියලා. මම කොහොමත් ඊට දවස් දෙක තුනක් පහු වේවි. මුලින්ම ඔය ළමයින්නේ කුඹුරේ වැඩ ටික කරලා දාමු"
"හොඳයි මාමෙ"
"මෙන්න" මම කොල කැඳ පිලිගන්වද්දි, භූප යන්තම්ට මට හිනා වුණා.
"දුලාරා අද බස් එකේද යන්නේ?"
"ම්ම්...පහයි හතලිස්පහේ යන්න බෑනෙ රෑ වෙන හන්දා"
"ඔව් ඔව්. ඒකේ ගිහින් බෑ. බස් එකේ යන්න"
"භූප යන්නේ කොහොමද?" මම ඇහුවේ පුරුද්දට වගේ.
"බලන්න ඕන. තාම හිතුවේ නෑ"
මම අම්මත් එක්ක ගාට ගාට බස් නැවතුම්පොලට එද්දි, භූපත් හිතලා තිබුණේ බස් එකක යන්න වගේ මට පෙනුනේ බස් නැවතුමට වෙලා ඈත බලාගෙන උන්නු භූප දැක්කමයි.
"අර භූප ළමයා නේද?" අම්මත් ඔහුව දැක්ක ගමන්ම අඳුනගෙන. ඇයි ඉතිං එහෙම වරලසක් වෙන කිසිම කොල්ලෙක්ට තියෙන එකක්යැ.
"එයා තමයි"
"හප්පේ ඒකත් ලොකු දෙයක්. මම මේ හිතේ ගින්දරේ උන්නේ තනියෙම යවන එක ගැන" අම්මා ලොකු සුසුමක් අරගෙන කිව්වා.
"හරි වැඩක්නේ අම්මා. ඔය ඕන තරම් කෙල්ලෝ බස් වල යන්නේ. අනික භූප බැඳිලා ඉන්නවයැ මාව ආරක්ෂා කරන්න?"
"පණ්ඩිතකම් නොකියා මේන් මෙහේ එන්න. දැන් බස් එකක් ආවොත් නැගලා යන්න"
අපි භූප ලඟටම ගියාට පස්සෙයි ඔහු අපිව දැක්කේ. ඊට මොහොතකට පස්සේ බස් එකක් ආපු හන්දා මම අම්මව ඉඹලා සමු අරගෙන භූප එක්ක බස් එකට නැග්ගා.
"පරෙස්සමෙන් පුතේ, දෙන්නම"
බස් එකේ සීට් එකක් තිබුණේ මට විතරයි. භූප උන්නේ හිටගෙන. මම ඔහුගේ බෑග් එක ඉල්ලලා ගත්තා. එදා ඉරිදා නිසාදෝ සෙනග මාහා කන්දරාවක් බස් එකට නැග ගත්තා. අන්තිමේ භූප සෙනගින් වැහිලා ගිහින්. කම්මැලි කමටත් එක්ක මට ඊට පස්සේ හොඳටෝම නින්ද ගියා.
මට ඇහැරුණේ කඩුගන්නාවෙදි විතර. එතකොට සෙනග පොඩ්ඩ්ක් අඩු වෙලා ගිහින්. ඒත් භූප තාමත් උන්නේ හිටගෙන. මා ලඟ.
"අනේ ඔයා තාම හිටගෙන නේද?" මම ඇහුවේ ඔහු ගැන හිතේ උපන්  පොඩි දුකකකුත් එක්ක.
"ගාණක් නෑ. ටික දුරයි නේ තව" ඔහු බෙල්ල නවලා මා දිහා බලලා කිව්වා. මම මුකුත් නොකියා ඉස්සරහ බලා ගත්තා.
අපි පේරාදෙනියට ලං වෙද්දි, මෙන්න එහාට හොඳටෝම වහිනවා. මොනා කරන්නද ඉතිං. බහින්නත් එපායැ. ගලහා හන්දියේ බස් නැවතුමෙන් බැස්සා විතරයි, වැස්ස මාව බාගයක්ම තෙත බරිත කලා. ඊලඟට භූපව. අපි දෙන්නම දැනටමත් සෙනග රැස් වෙලා උන්නු බස් නැවතුම අස්සට වදෙන් පොරෙන් රිංග ගත්තා.
"ඔයාට කුඩයක් නැද්ද?" භූප ඇහුවා මගෙන්.
"තියෙනවා පොඩි එකක්"
"එහෙමද? ඔයාට පුලුවන් නේද එහෙනම් බෝඩිමට යන්න. මම වැස්ස පෑව්වාම යන්නම්"
භූප මට එහෙම කිව්වා. මම ඔහු දිහා බැලුවේ ඔහුව දාලා යන්න බැරි මොකක්දෝ හැඟීමක් හිතේ ලියලද්දි.
"මට ඇවිත් ඇරලන්න පුලුවන් ඒත්, කවුරුහරි දැක්කොත් ඔයාට ප්‍රශ්ණයක් වෙයි දුලාරා. ඒකයි" භූප කිව්වේ හෙමින්.
මට ඔහු කියන දේ නොතේරුණා නෙවෙයි. ඒ නිසා මම බෑග් එකෙන් කුඩේ අරගෙන බස් නැවතුමෙන් එලියට ඇවිත් ඒක ඉහලුවා.
"පරෙස්සමින් හොඳද" බස්නැවතුමේ අගටම ආපු භූප හෙමින් කිව්වා.
"සිකුරාදට ගෙදර යනවද?" මට එහෙම අහන්න හිතුණේ ඇයි කියලා මම දන්නෑ. මා දිහාට යොමු වෙලා තිබ්බ භූපගේ ඇස් වල ඇඳුනේ පුදුමයක්ද මන්දා.
"එන්න ඕනද?"
ඔහු එහෙම ඇහුවාම මට ලැජ්ජා හිතුණා, මම අහපු දේ ගැන.
"නෑ….මම නිකං ඇහුවේ"
'තුන හමාරට එහෙනම්" භූප කිව්වේ එච්චරයි.
මම ඔහු දිහා වරක් බලලා තාමත් ඇදහැලෙන වැස්සෙන් තෙත් වෙන පාර පැනලා තැපැල් කාර්යාලය දිහාට එන්න ආවා. මට පිටිපස්ස හැරිලා බලන්න ඕන වුණත් මම ඒ හැගීම මැඩගෙන එන්න ආවා.හිත තිබුණේ පොඩ්ඩක් විතර අමුතු වෙලා. මට දිග සුසුමක් හෙලුණේ ඉබේටම. ඒත් ඒ සුසුමට හිතේ බර අරගෙන යන්න බැරි වුණා.

2 comments:

  1. මේ කතාවට ඇබ්බැහි වෙලාද මන්දා..ඊළඟ කොටස එනකම් බලා ඉන්නවා..

    ReplyDelete