Tuesday, July 16, 2013

අවසරයි ලං වෙන්න: දසවන කොටස



ඕන්න කල්පයක් වගේ දැනුන මාස දෙකහමාරකට විතර පස්සේ යාන්තම් රැග් එක ඉවර වුණා. ඒත් හොඳම කොටස තිබ්බේ වෙල්කම් එක දවසේ උදේ වරුවේ. තමන්ගේ උපරිම නපුරු කම අපට උදේ වරුව පුරා පෙන්නපු ජේෂ්ඨ තුමාලා තුමීලා, අන්තිමට ඒක ඉවර කලේ අපට හකුරු එක්ක තිත්තම තිත්ත වෙනිවැල් කසාය බොන්න දීලා. මං හිත්න්නේ මාස දෙකහමාරක ඇඟේ අමාරුව ඇරෙන්න කියලා වෙන්න ඇති. ඒ කොහොම වුණත්, ලස්සනට ඇඳ පැලඳගෙන ගිය අපට අන්තිමට හාස වෙල්කම් එකට යන්න වුණේ යාන්තම් පෝනි ටේල් එකක් දාගෙන. ඇයි ඉතිං උදේ වරුවේ අපි ලස්සනට හදාගෙන ගිය කොණ්ඩේ ගලෝලා දාන්න වුණානේ.
උදේ වරුවේ වුණ මහන්සිය හන්දා හවස වෙල්කම් එකට යද්දි මම නම් උන්නේ පාං කියා ගන්නවත් බැරුව. ඒ මදිවට හිසේ කැක්කුමකුත් හැදිලයි තිබුණේ. කොහොම හරි අන්තිමේදි උත්සවේ පටන් ගත්තා අපේ Dean හෙවත්, පීඨාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන්. නැටුම්, ගැයුම්,රැඟුම් රාශියක් එක්ක ලෑස්ති කරලා තිබුණ උත්සවය නම් ලස්ස්නයි. අපි සේරමල්ල හොඳ ආරාධිතයෝ පිරිසක් වගේ උජාරුවෙන් ඒවා දිහා බලාගෙන උන්නේ හෙට ඉඳන් අපේ නිදහස් ජීවිතේ ඇරඹෙන හන්දයි. මම එතන වාඩි වෙලා උන්නත් මගේ ඇස් හෙව්වේ භූපව. කීප පාරක් වට පිට බැලුවත් ඔහු පේන්න උන්නේ නෑ.
"කාවද අනේ හොයන්නේ?" මම කීප පාරක්ම වට පිට බැලුවට පස්සේ මගෙන් එහෙම ඇහුවේ ලඟ උන්නු චතූ.
"ම්ම්...නෑ කවුරුත් නෑ...." මම එහෙම කිව්වා.

අන්තිමේදී භූපව මට මුණගැහුණේ අපි කෑම කාලා ඉවර වෙලා, එවෙලේ පටන් අරගෙන තිබුණු ඩීජේ එකට එද්දියි. භූප වුස් කැන්ටිමෙන් එලියේ තියෙන සිමෙන්ති බංකුවක් ලඟට වෙලා, එයාගේ නල්ල මලේ යාලුවෝ දෙන්නත් එක්ක බලාගෙන උන්නා.
"හම්මේ...අද නංඟිව අඳුනන්නත් බෑනෙ" එහෙම කිව්වේ භූප අසල හිටපු මහත මිටි යාලුවා.
මම බිම බලාගෙන හිනා වුණා විතරයි.
"හ්ම්ම්...ඒකනේ නිකං උඩරට මැණිකේ කෙනෙක් වගේ නේ" එහෙම කිව්වේ භූපගේ උස යාලුවා.
"අනේ නිකං හිටහල්ලකෝ තවත් කරදර නොකර. දුලාරා..මේ ඉන්නේ සාලිය" භූප එහෙම කිව්වේ ඔහුගේ මිටී යාලුවා පෙන්නලා. "මේ...රනිල්"
මම හිස වනල හිනා වුණ ඒ දෙන්නටම.
"මේ නංඟිල කවුද එතකොට?" එහෙම ඇහුවේ රනිල් අයියා, මගේ ලඟ උන්නු චතූවයි, නිලීකවයි පෙන්නලා. මම ඊට පස්සේ ඒ දෙන්නව අඳුන්නලා දුන්නා.
"දුලාරා නටනවද?" භූප එහෙම ඇහුවේ දැන් දැන් වේග රිදම් ගීත වලිනුයි, දිලිසෙන එලි වලිනුයි හැඩ වුණු WUS වල දිහා බලලා.
"අනේ නෑ...මට ඔලුව රිදෙනවා උදේ ඉඳලම" මම කිව්වේ ඇත්තටම.
"එහෙමද?"
"අපි එහෙනම් යන්නම්...මේ දෙන්නට යන්න ඕන නේ මම නොගියට" මම භූපට කිව්වා.
"ඉතිං ඔලුව රිදෙනවා නම්?"
"ගාණක් නෑ... මම නටන්නේ නැති යාලුවොත් එක්ක ඉන්නවා"
මම එහෙම කියාගෙන භූපලාගෙන් සමු අරගෙන එන්නා ආවා.
කොහොමත් නටන්න පුදුම උණක් තිබ්බ චතූයි, නිලංකයි ගිය ගමන්ම dancing floor එකට පැන ගත්තා. මම වලේ ගැට්ට උඩ අපේ බැචියෙක් එක්ක වාඩි වෙලා පිස්සු හැදිලා වගේ නටන කට්ටිය දිහා බලාගෙන උන්නා.
"දුලාරා..." එහෙම ටික වෙලාවක් ගියාට පස්සේ, මගේ එහා පැත්තේ හිටපු බැචී මට කතා කලා.
'ඇයි ප්‍රියා?"
"අර...අතන අයියෙක් ඔයාට කතා කරනවා"
මම පුදුමෙන් වගේ හැරිලා බලද්දී, ඈත කොනක ඉඳගෙන මට අත වනමින් උන්නේ භූප. මම හිස වනලා ඇහුවා මොකද කියලා. ඔහු අතින් සන් කරලා මට කිව්වේ නැගිටලා පිටි පස්සට එන්න කියලා. මම එච්චර නොහිතා උන්නු තැනින් නැගිටලා සෙනග පීරගෙන පිටිපස්සට ගියා. මඳ අඳුරේ පෙනී නොපෙනී වගේ භූප මා ලඟට ආවේ ඊට ටික වෙලාවකට පස්සේ.
"කෝ යාලුවෝ?" මම ඔහු දැක්ක ගම ඇහුවා.
"අන්න නටන්න ගියා"
"ඉතිං ඔයා නොගියේ?" මම ඇහුවා.
"partner කෙනෙක් නෑනෙ" භූපගේ හිනාව මට මඳ අඳුරේ පෙනුනා.
"ගියා නම් එකට දහයක් හොය ගන්න තිබ්බා නේ" මමත් කිව්වේ හිනා වෙවී.
"මේ භූප එහෙම හැම කෙනා එක්කම නටන්නේ නෑ හරිද?"
"ඇත්තට? කා එක්කද දන්නෑ නටන්නේ එහෙනම්?" මම කිව්වා.
"ඒකෙන් වැඩක් නෑ. කියන්න ඔලුවේ කැක්කුම මොකෝ දැන්?" භූප හීන්න් නූලෙන් කතාව මගෑරියා.
"තාම ටිකක් රිදෙනවා. මේ සද්දෙට වෙන්න ඇති" මම කිව්වා.
"ම්ම්...ඔයා කැමති නම් අපි යමුද කැන්ටිම ඇතුලට? එතන සද්දේ එච්චරම නෑ. අනික වාඩි වෙන්න පුලුවන් නේ" භූප යෝජනා කලා.
"එතකොට ඔයා DJ එකට යන්නේ නැද්ද?"
"යමුකෝ...එන්නකෝ"
මම ඒ පාර මුකුත් නොකියා ඔහුගේ පස්සෙන් ඇවිදගෙන ගියා. හිතේ පොඩි තිගැස්මක් නොතිබුණා නෙවෙයි. ඒත් මට ඕන වුණේ නෑ ඒ ගැන අවධානය යොමු කරන්න. භූප මගේ හොඳම යාලුවගේ අයියා. මගේ අයියගේ හොඳම යාලුවා.
"වාඩි වෙන්න"
සෙනග එකා දෙන්න තැන තැන උන්නු කැන්ටිම ඇතුලේ කොනක හිස් මේසයක් පෙන්නලා ඔහු මට කිව්වා. මම එතන ඉඳ ගත්තම, ඔහු මට ඉස්සරහින් ඉඳ ගත්තා.
"උදේ වෙනකල් ඉන්නත් එපැයි නේද?" භූප එහෙම ඇහුවේ අපේ බකට් එක යෙදිලා තිබුණේ පාන්දර වෙන්න හන්දා.
"හ්ම්ම්" මම කිව්වා.
"ඔයාගේ සීනියර්ස්ලා බල බල යනවා. හිතනවා ඇති මේ ගොබිලා කවුද කියලා" භූප කිව්වේ වට පිට බලන් ගමන්.
මමත් යන්තම් වට පිට බැලුවා. පැය කීපෙකට කලින් අඳුන ගත්තු අක්කලා අයියලා කීප දෙනෙක් එහාට මෙහාට යන අතරේ මට යන්තම් හිනා වුණා.
"මොනා හිතන්නද? මට කමක් නෑ ඕන එකක් හිතා ගත්තට" මම කිව්වා.
භූප හිනා වුණා විතරයි. ඔහු දිහා බලාගෙන උන්නු මට හිතුණේ ඔහුගේ හිසකෙයි, රැවුලයි තවත් දික් වෙලාදෝ කියලා.
"භූප ඇයි හැබෑටම ඔහොම කොණ්ඩෙයි රැවුලයි වවන්නේ? මට මතකයි ඉස්කෝලේ යන කාලේ ඔයා ඔයිට වඩා හොඳට හිටියා" මම කිව්වා
මේසේ දිහා බලාගෙන උන්නෙ භූප හිස උස්සලා මා දිහා බැලුවේ එක පාරටම. ඒ බැල්මට මට බිම බැලුණා.
"වෙලාවක් නෑ මට ඕවා කප කප ඉන්න. ඒකයි"
"අම්මා නම් තරහයි නේද ඔහොම ඉන්නවට?"
"මේකනේ නංඟා...පිටින් මොනා වුණත් ඇතුලෙන් ඉතිං මම මමම නේ. අම්ම තරහා ගත්තට එක දන්නවා. දැන් ඔයා කියන්නේ මම මෙහෙම කැතයි කියලද?" භූප ඇහුවා.
මම ඔහු දිහා බැලුවේ ඇස් කොනකින්.
"ම්ම්...නෑ...එහෙමමත් අවුලක් නෑ"
"ඒකනේ"
මම යන්තමට හිනා වුණා. වල පැත්තෙන් ඇහෙමින් තිබුනේ තරමක් වේගවත් හින්දි සිංදුවක්. උඩ එල්ලල තිබුණ දිලිසෙන, කැරකෙන බෝලයෙන් නිකුත් වුණ එලි වලින් හාත්පසම විදුලි කොටනවා වගේ එලි වෙන හැටි මම මොහොතක් බලාගෙන උන්නා.
"මම හෙට උදේ ගෙදර යනවා" භූප ආපහු කතාව පටන් ගත්තේ එහෙම.
"උදේ?"
"ඔව් හයාමරේ. දුලාරා මේ සතියේ ගෙදර යනවද?"
"යන්න නම් ඕන. ඒත් උදේම කොහොම යන්නද නිදි මතේ"
"හයාමරේ ඉඩ තියේවි හයට විතර ගියොත්. යනවා නම් මම සීට් එකක් තියා ගන්නම්. එතකොට නින්ද ගියාට අවුලක් නෑනෙ"
"බලමු" මම කිව්වේ එවෙලෙත් මට හොඳ නිදි මතක් දැනෙමින් තිබුණ හන්දයි.
"ඔලුව තියාගෙන ඉන්න අමාරු නම්. මම කතා කරන්නම් නින්ද ගියොත්" භූප මා දිහා බලාගෙන ඉඳලා එහෙම කිව්වේ, මට නිදිමත වග තේරිලාදෝ කොහෙද.
ඒත් ඔලුව තියාගෙන ඉන්න වුණේ ටික වෙලාවයි. නටලා මහන්සි වුණ චතූලා එතනට ආවා. අපට ඉඩ දීලා භූප යන්න ගියා.
එහාට මෙහාට වැනෙමින්, පුටු උඩ, වුස් වලේ ගැට්ට උඩ ඉඳගෙන් ගෙවුණු කාලේ යාන්තම උදේ පහමාරට විතර දීපු බකට් එකෙන් අවසන් වුණා. අපි වතුරයි, නිදි මතයි එක වගේ පෙරි පෙරී බෝඩිං වලට ගියේ අවසිහියෙන් වගේ. බැචාලා කීප දෙනෙක් අපිව ඇරලන්න ආවා මට මතක තිබුණා. භූප එක්ක හයේ කෝච්චියට යන්න උන්නු මම ඇහැරෙද්දි නවයත් පහු වෙලා. දැන් නම් භූප ගෙදරත් ගිහිං ඇති කියලා මට හිතුණා.
මහන්සිය නිසාම එදා ගෙදර යන්න මට පුලුවන් කමක් තිබුණේ නෑ. ඒ නිසා දොලහට විතර උදේට කාලා අපි යාලුවෝ සේරම දලදා මාලිගාවට ගියේ, අපේ පලවෙනි නිදහස් දිනය උපරිමෙන් විඳ ගන්න. දලදා මාලිගාව ඇතුලෙදි හිතට දැනුනේ ලොකූ සහනයක්. එතනින් එලියට එද්දි මට දැනුනේ නිවුණු හැඟීමක්. හවස තුනට විතර බෝඩිමට ආපහු ආපු අපි කලේ කඩෙන් ගෙනාපු බත් එකක් කාලා ආයෙම නිදා ගත්තු එක. එක දවසක් නිදි මැරුවම දහ දවසක් විතර නිදිමත එන්නේ මොකද මංදා?
නරක කල දසාවක් වගේ ගෙවෙමින් තිබුණ රැග් කාලේ ඉවර වෙලා, එලඹුණු නිදහස් කාල පරිච්ඡේදය මට දැණුනේ හරිම සුන්දරව. චතූ, නිලීකා, තාරකා, අපි තුන් හතර දෙනා, ලෙක්චර්ස් යමින්, උදේ දවල් මෙලෝ රහක් නැති කෑම කමින්,රෑට සම පෝෂ සහ ක්‍රීම් ක්‍රැකර් සරණ යමින් වුණත් හොඳ සතුටෙන් කාලේ ගෙව්වා.
මම ගොඩක්ම ආස කලේ පේරාදෙණිය සරසවියේ තිබුණ සුන්දරත්වයට. උස මාර ගස්, කහ පාට මල් පිපෙන වැල්, මල් පිපෙද්දි රෝස පාටින්, කහ පාටින් වැහෙනවයි කියන රොබරෝසියා ගස්...ගුප්ත ස්වභාවයක් දනාපු, ඒත් අපට යන්න ඉදක් නොතිබුණු ආදර මාවට...මේ වගේ දහසකුත් එකක් දේවල් නිසා තනියෙම වුණත් සරසවියේ ඉන්න එක පාලුවක් ගෙන දුන්නු දෙයක් වුණේ නෑ කොහොමවත්ම.
ඒක එහෙම වුණත්, සති අන්තේ එලඹෙනකල් මගේ හිත බලාපොරොත්තුවෙන් උන්නා කියන එක මම මටම හංගගන්න හදපු රහසක් වුණා. කෝච්චියේ හිටගෙන යන්න වුණත්, භූප එක්ක ගෙදර යන්න මගේ හිත මටත් හොරාම මග බලාගෙන උන්නා. ඒත් මම දැනං උන්නේ නෑ භූපටත් එහෙම දැනුනද කියලා.
"දැං කාලයක් ආව ගිය නිසා, දුලාරට තනියෙම කෝච්චියේ එන්න පුලුවන් නේද?"
දවසක් කෝච්චියෙන් බැහැලා ගෙදර යන අතරේ භූප අරුම පුදුම ප්‍රශ්ණයක් ඇහුවා. මම ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"ඇයි එහෙම අහන්නේ? මට ඉස්සරත් තනියෙම යන්න පුලුවන්" මම කිව්වා.
"ඇත්තට?" භූප එක කරක තිබ්බ බෑග් එක අනෙක් කරට මාරු කරන ගමන් කිව්වා. "එහෙනම් අපරාදෙනෙ මම පව් කියලා රැග් කරන දවස් වල, එක්කගෙන ආවේ" භූප එහෙම කිව්වා.
මගේ හිත රිදුනේ අහේතුකවම. මම ඔහු දිහා බලලා අහක බලා ගත්තා.
"මාව ආරක්ෂා කරන්නේ මොකටද ඔයා?" මම එහෙම ඇහුවේ ඒ හිත රිදුම නිසා උපන්න සියුම් තරහ නිසා.
"ආරක්ෂා කරන්නේ, ඔයාගේ අම්මයි, අයියයි මගින් මගටම එහෙම කියපු හන්දා. අනික ඔයා මට මගේ නංඟි වගේ නිසා" භූප එහෙම කිව්වේ හෙමින්.
ඇයි ඒ කතා වලට මේ තරම් මගේ හිත පෑරෙන්නේ? කියන්න දෙයක් හිතා ගන්න බැරි වුණ හන්දා මම මුනිවත රැකගෙන එන්න ආවා.
"දැන් අපි third year හන්දා වැඩ වැඩි වීගෙන එන්නේ. ස්පෙෂල් කරන්න නම් GPA එක ගොඩ දා ගන්න ඕන. ඉස්සර වගේ මම ගෙදර එවෙන එකක් නෑ. ඒකයි මම කිව්වේ"
මගේ වෙනස තේරිලාදෝ භූප එහෙම කිව්වා. මම ඔහු දිහා බැලුවා. ඔහු ගැන හිතේ ඉපදුනේ පුංචි සංතාපයක්. ඒ එක්කම මහා ලෙන්ගතු කමක්.
"මට තනියෙම එන්න බැරි කමක් නෑ භූප. අනික ගමට එන්න මොන තනියක්ද? කොහොමටත් හැමදාමත් මාව පොඩි ළමයෙක් වගේ ගේන්න ගෙනියන්න ඕන කමක් නෑනෙ. අපේ අම්මලට පිස්සු... දන්නවා නම් මම මීට කලින් තනියෙම එන්න පටන් ගන්නවා" මොහොතකට කලින් හිතේ තිබ්බ තරහා සංසිඳිලා තිබුණේ භූපගේ ඇත්ත හේතුව දැනගත්තට පස්සේ.
"ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. මොකෝ මම ඔයාව උස්සගෙන එනවයැ. පිස්සු කතා අහ අහා, එන්න මම අකමැති නෑ. ඒත් කරන්න දෙයක් නෑ"
"මට තේරෙනවා" මම යන්තම් හිනා වෙලා කිව්වා.
ඒ වෙද්දි අපි හන්දියටත් ඇවිත්. හිත ආයෙමත් තිබුණේ බර වෙලා. භූපට සමු දෙන්න හිත අකමැති ඇයි මේ තරම්?
"ම්ම්...මම ආපහු හෙට කැම්පස් යන්න ඕන. අනිද්දට වැඩ වගයක් දාගෙන තියෙනවා" භූප මා දිහා හොරැහින් වගේ බලලා කිව්වා. ඒ කියන්නේ ඔහු ඉරිදත් එන්නේ නෑ.
"හ්ම්" මම හිස වැනුවේ හිත මුරණ්ඩුකමකින් පිරෙද්දි.
සමු ගන්න බැරුවා වගේ අපි තව මොහොතක් එහෙමම හිටගෙන උන්නා.
"අපේ ගෙදර එනවද නංඟි හම්බෙන්න හෙට?" භූප හිටි ගමන් එහෙම ඇහුවා.
"හෙට ක්ලාස් නේ එයාට"
"ආ...ඔව්මයි නේද?" එහෙම කියලා භූප කල්පනාවකට වැටුණා.
"මං එහෙනම් යන්නම් භූප" බැරිම තැන මම එහෙම කිව්වා.
භූප හිස හරවලා මා දිහා බලලා හිස වැනුවා හෙමින්. "හරි දුලරා...කැම්පස් එකේදි හම්බෙමු එහෙනම්"
මම හිස වනලා, ඔහුට පුංචි හිනාවක් පාලා අපේ පාරට එන්න හැරුණා. හිත ඒ පාර පිරිලා තිබුණේ පාලුවකින්. මම නිකමට වගේ ආපහු හැරිලා බලද්දි, භූප තාමත් උන්නු තැනම හිටගෙන මා දිහා බලාගෙන උන්නා. ඔහු යන්න හැරුණේ මම දැක්ක විගසමයි. මට ලොකු සුසුමක් හෙලුණා. ඇත්තටම මට මොකක්ද මේ වීගෙන එන්නේ?

"ලව් සික්...ඕකට කියන්නේ ලව් සික් කියලා"
කෑම කාමරේ මේසේ උඩ හැට්ටයකට පතොරමක් කපමින් හිටපු මායි සෙනුරි අක්කයි උඩ ගිහින් බිම වැටුනේ සද්දෙට. සාලේ උන්නු චේතිය එහෙම කියමින් උන්නේ අපේ පොඩි අයියට. මායි සෙනුරි අක්කයි මූණෙන් මූණ බලාගත්තා.
"ඇයි බං දුලියෝ, උඹ තවත් ඕක හිතේ තියාගෙන නො ඉඳ සාෂාට කියලා දැම්මා නම් ඉවරනේ" චේතිය කියනවා අපට ආයෙම ඇහුණා.
"සාෂා?" සෙනුරි අක්කා හෙමින් ඇහුවා. මම හිස වැනුවේ මම නම්  එහෙම කෙනෙක් දන්නේ නෑ කියන්න.
"අනේ චේති මේ...බණ කතා නොකර හිටපන්. මම මේ කල්පනා කර කර ඉන්නේ ලබන සතියේ තියෙන interview එක ගැන. උඹ මේ කෙහෙල්මලක් කියෝනවා"
"එතකොට සාෂා..."
"මේ....කෑ නොහගා හිටිං කෝ. අම්මට එහෙම ඇහුනොත් මෙතන ගිනි විජ්ජුම්බරයක් වෙයි" පොඩි අයියා එහෙම කිව්වේ රහසින් වගේ. ඒත් සාලේ අද්දරටම වගේ ලං වෙලා උන්නු අපි දෙන්නට ඒක ඇහුණා.
ඊට පස්සේ යාලුවෝ දෙන්නා කතා කලේ බොහොමත්ම හෙමින්. අපට නෑහෙන තරමට. අපි දෙන්නා ආයෙම හෙමින් අපේ වැඩේ කරන්න ආවා.
"එහෙනම් සාෂා ?" සෙනුරි අක්කා කිව්වේ දඟ හිනාවක් මූණට නගාගෙන. හෙට වෙද්දි ලොකු අයියගේ කනටත් මේ කතාව යන වගට ඉඟියක් තමා .
මට පොඩි අයියා ගැන ඇහුණ කාරණේ විශ්වාස කරන්නත් බැරි තරම් වුණා. ගල් බමුණෙක් වගේ ඉන්න පොඩි අයියා කෙල්ලෙක් ගැන හිතනවා කියන එක මට පුදුමයක් වුණේ, ඉස්කෝලේ යන කාලෙදි වත් ඊට පස්සෙදිවත් එහෙම දෙයක් ගැන අපට අහන්නවත් ලැබිලා නැති හන්දා. අඩු ගාණේ කාට හරි ට්‍රයි කලාවත් කියලා.ඒ නිසාම මට හිතුණේ මේ කියන සාෂා එසේ මෙසේ කෙනෙක් නම් වෙන්න බෑ කියලයි.

3 comments:

  1. ko kathawa boru wal pal ne thibune :/

    ammo me rag vistharanm iwara wechchi eka loku deyak oluwa vikal wela thibune eka kiyolaama

    ReplyDelete
  2. දුලාරා වැඩ කනවනේ.. භූප එතකොට රෝන්ග් සයිඩ් යාවි!!

    ReplyDelete
  3. aneeeee akkiyooooooooooooo i can't wait more to see another episode.. api ikmanate liyamukoooooooooooooooooo

    ReplyDelete