සොනාලි නික්ම ගිය පසු
කාමරය පාලුවට ගොස් තිබිණි. එමෙන්ම, බොහේ සිසුවියන් නේවාසිකාගාරයෙන් නික්ම ගිය බැවින් එයද වඩාත් පාලු ස්වරූපයක්
ඉසිලීය. සීත සමයේ නිරන්තරයෙන්ම වාගේ පරිසරයේ රැඳී තිබූ අඳුර, ඒ පාලුව දෙගුණ තෙගුණ කලා
යැයි මට දැනුනි. ළතිකා ඉදිරිඅපස කාමරයේ හිඳීම මහිතට සහනයක් ගෙන ආවේය. සිසුවියන්
රාශියක් නිකම ගියද, සැලකිය යුතු තරම්
පිරිසක් තවමත් නේවාසිකාගරයේ රැඳී උන් හෙයින්, ආපණ ශාලාව වසා ඩැමුණේ නැත. එනිසා, කෑම ගන්නා තුන් වේල,
හා තේ බොන්නට යන වෙලාවන්
වලදී මමත් ලතිකාත් එකට හමුවීමු. පළමු දවස කෙසේ හෝ ගෙවී ගියද ඉතිරි දින දෙක වඩාත්ම
පාලු වූයෙන්, එකොලොස් වෙනිදා උදෑසන
ඉක්මණින්ම එන්නේ නම් මැනවැයි මට කිහිපවරක්ම සිතුණි. මට තන්විව විසිය හැකි යැයි මා
නිගමනයකට ඇවිත් උන්නද, සොනාලි ඇතුලු යෙහෙලියන්
නිරන්තරයෙන් පිරිවරා හිඳීමෙන් පසු මගේ ඒ හැකියාව අතුරුදහන්ව ඇති බව මට වැටහිනි.
සැබවින්ම සොනාලි නැති පාලුව ඉමහත් විය. පොත් කියවමින්, අන්තර්ජාලයේ සැරිසරමින්, විටෙක සොනාලි හා චැට් කරමින්, ගෙවුණු කාලය ගෙවී ගොස්, අන්තිමේදී එකොලොස් වනදා උදෑසනට එලි වී තිබිණි.
උදෑසන කෑම ගෙන අහවර යලි
දත් මැද, සීත ඇඳුම් වලින් සැරසී,
මගේ පසුම්බිය සොයන
අතරතුරේදි නේවාසිකාගාර කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් ආවේ, මා එනතුරු ජේඩන් බලා හිඳින බවයි. මම දනි පනි ගා මේසය යට
වැටි තිබූ පසුම්බිය රැගෙන අමුත්තන්ගේ ශාලාව වෙත දිව්වෙමි.
ජේඩන් මා එනතුරු
දැන්වීම් පුවරුව අසල හිටගෙන උන්නේය. ඔහු, ඔහුගේ ප්‍රියතම කලු පැහැ ක්‍ර උස් පුලෝවරය සහ, කලු සීත කබාය ඇඳ හුන්
අතර, මෆ්ලරය මුවද වැසෙන සේ
ඔතාගෙන, කලු වූල් තොප්පියක්ද
පැලඳගෙන උන්නේය. එනිසා ඔහු මා දුටු විට සිනාසුනාදැයි මට පෙනුනේ නැත. එහෙත් මා ඔහු
අසලට ගිය විට ඵු මෆ්ලරය පහත් කොට මට කතා කලේය.
"සුබ උදෑසනක්...මොකද
පරක්කු? මට ලතිකාවත් හම්බවුණා
දැන් විනාඩි පහකටැ විතර කලින්" ඔහු එසේ ඇසද්දී, ඔහුගේ හඬ වෙනස්ව තිබූ අතර තවමත් ඔහුගේ අසනීප ගතිය පහව
නැතැයි මට වැටහිනි.
"මං එච්චරම පරක්කුද?
මම පර්ස් එක හොයන්න
ගිහිනුයි වෙලා ගියේ. අපි යමුද?" මා ඇසද්දීත් ඔහු ඉස්සර වී හමාරය. "ඔයාට තාම අසනීපයි නේද?"
ඔහුට සමාන්තර වෙමින් මම
විමසීමි.
"හ්ම්...ටිකක් විතර නහය
බරයි"
අපි නේවාසිකාගාරයේ
පඩිපෙල බැස ගොස්, ඉදිරිපස නවතා තිබූ මෝටර්
රථයට නැග ගතිමු. එය බී එම් ඩබ්ලිව් වර්ගයේ රථයක් වූ අතර, එහි වූ දිලිසෙන කලු පැහැය, සුදු හිම මැද කැපී පෙනුනි.
"නගින්න" ඔහු මට
ඉදිරිපස දොර ඇරදෙමින් කීවේය.
"කෝ ඔයාගේ යාලුවෝ ආවේ
නැද්ද?" මම නගින්නට පෙරාතුව,
හිස් වූ රිය ඇතලත බලමින්
ඇසීමි.
"ඒ දෙන්නව ගන්නේ මගේ
අපාට්මන්ට් එක ලන්නගින්. මගේ අසල්වැසියෝ කියලා මම කිව්වේ. මම එද්දි එයාලා නිදි.
දැන් ඇහැරිලා ලෑස්ති වෙලා ඉන්නවා කියලා කෝල් කලා, යමුද?" ඔහු රියදුරු අසුන වෙතට යමින් ඇසීය.
මම වාහනයට නැග, දොර වසා, ආසනපටි පැලඬගතිමි. දෙපස
තිබී සුදු හිම ඉවිරු මැදි අපි නගරය කරා යන්නට පටන් ගතිමු.
"ඉතිං, කොහොමද? සොනාලිලත් ගියා නේද?
පාලු දැනුනේ නැද්ද?"
ඔහු වාහනය මහ පාරට
දමන්නට මාර්ගය දෙපස පිරික්සමින් මගෙන් විමසීය.
"අනේ හරිම පාලුයි සෝනු
නැතුව. මට එපා වුණා දවස් දෙකක් ඉඳලා" මට ඉබේටම කියවිණි.
"ම්...එහෙමද? එහෙනම් තනියෙම ඉන්න
පුලුවන් කියලා පුරසාරම් කියෙව්වේ?" ඔහු ඇසූ විට මට සියුම් ලැජාවක් දැනුනි.
"අර ගොඩක් අය ඉඳලා එක
පාරටැම හැමෝම ගිය නිසා වෙන්න ඇති මට එහෙම දැනුනේ. අද හෙට වෙද්දි ඒක හුරු වේවි" මම කීවෙමි.
"ඇයි පංචලී ඔයා හැම වෙලේම
මිනිස්සුගෙන් හැංගෙන්න හදන්නේ? ඔයාට කරන්න අමාරු වුණත්,
ඔයා එහෙම කරන්න උත්සාහ
කරනවා කියලා මට හිතෙනවා" ඔහු එක් වරම ඇසූවට මම මොහොතකට ගොලු වීමි.
"එහෙම දෙයක් නෑ ජේඩන්. ඒ
ඔයා මාව දකින විදිය වෙන්න ඇති" මම ඉන්පසුව කීවෙමි.
"මම හිතන්නෑ එහෙමයි
කියලා. මොකද, ඔයාගේ කාමරේ ඉන්න
සොනාලිවත් ඔයා ගැන වැඩි දෙයක් දන්නේ නෑ" ඔහු කී විට මම තරමක් වික්ෂිප්ත
වුණිමි.
"සොනාලි? ඒත්...ඔයා කොහොමද ඒක
දන්නේ?"
ජේඩන් මදෙස බලා යලි
ඉදිරිපස බලා ගත්තේය.
"අපි ඉන්න ගමන් එක එක
වෙලාවල කතා කරද්දි මට ඒක තේරුණා. සමහර දේවල් ගැන මම ඇහුවේ නෑ කියලා කියන්නත් මට
බෑ"
ඔහු එසේ කී විට මම තරමක්
අපහසුතාවයට පත් වීමි.
"සොනාලි මම ගැන නොදන්න
දේවල් තියෙන්නේ එකයි ජේඩන්, අනික් සේරම එයා දන්නවා.
මම ආස නෑ, මගේ ජීවිතේ ගොඩක්ම
පෞද්ගලික සමහර දේවල් කා එක්කවත් බෙදා ගන්න. ඒ මගේ හැටි වෙන්න ඇති. ඒත් ඒකට මට
කරන්න දෙයක් නෑ. ජේඩන්, ඔයා හිතනවද මම හිතේ
දේවල් හංගගෙන, බොරු කියන, ඔයාලව රවට්ටන කෙනෙක්
කියලා?" මගේ වචන තරමක් දරුණු වග
මට හැඟුනත් එසේ කියන්නට මට උවමනා විණි.
ජේදන් සුසුමක් හෙලුවේය.
"අනේ නෑ නෑ, එහෙම නෙවෙයි පංචලී.
වරදවා හිතන්න එපා. කරුණාකරලා, මට සමාවෙන්න. මම ඔයාගේ
පෞද්ගලිකත්වයට බාධා කරන්න හිතුවා නෙවෙයි. ඒත් මට හිතුණා ඔයා ගොඩක් දේවල් හිතේම
හංගගෙන ඉන්න හදන්නේ, ඒවා අමිහිරි හන්දාවත්දෝ
කියලා" ඔහු කීවේය.
"ඔයා එහෙම හිතාගන්න"
මම කීවෙමි.
ජේඩන් යලි මදෙස බලා අහක
බලාගනු මට පෙනුනි.
"පංචලී, ඔයා අහලා තියෙනවද
කියමනක්, 'තව කෙනෙක් එක්ක බෙදා
ගත්තම, සතුට වැඩි වෙනවා,
දුක අඩු වෙනවා' කියලා?"
"ජේඩන්...අපි මේ කතාව
නවත්තමුද? ඇයි ඔයා මගේ දුක
බෙදාගන්න ඕන කියලා හිතන්නේ?" මම ඇසීමි.
"අපි යාලුවෝ හන්දා
නේ" ඔහු කීවේය.
"ජේඩන්...මට ඇත්ත
කියන්න. මොකද්ද ඔයාට මගෙන් දැන්ගන්න ඕන?" මම අවසන
ඇසුවෙමි.
ඔහු ලොකු
හුස්මක් ගෙන මදෙස යන්තමින් බලා වාහනයේ වේගය අඩු කලේය.
"හරි, මම කෙලින්ම අහන්නම්කෝ. මේක මේ මම වෙනුවෙන් විතරක් අහන
දෙයක් නෙවෙයි හරිද? පංචලී...ඔයාට
ආදරවන්තයෙක් ඉන්නවද?" ඔහු හිතට දිරි ගෙන ඇසූ
ලෙසක් මට වැටහිනි.
මම සුසුමක්
හෙලා අසුනට හේත්තු වුයෙමි. ඔහුට මේ ගැන කියම්දෝ නොකියම්දෝ කියා මසිත දෙපැත්තට
වැනෙන්නට විය. එහෙත් කිසිවක් නොකීම තවත් ප්‍රශ්ණ වැලකට මග පාදන වගත්, මොනවා හෝ කියා දමා මේ
කරදරයෙන් මිදීම වඩාත් අවශ්‍ය බවත් මහිත මට කීවේය.
"ම්...මෙහෙමයි. ඒක හරිම
සංකීර්ණයි"
"ඒ කිව්වේ?"
"මම කෙනෙක්ට ආදරෙයි, ඒක ඇත්ත" මම සුසුමක් හෙලා කීවෙමි.
"ඔයා එහෙම කියන්නේ, එයා ඔයාට ආදරේ නැද්ද?" ඔහු වාහනයේ
වේගය හොඳටම බාල කොට තිබිණි.
"මම දන්නෑ... මං
හිතන්නේ නැතුව ඇති" මට කියවිණි. ඒ ඇසිල්ලේ සංකේත් මතක් වී මගේ දෙනෙත් උණුසුම්
වන්නට විය. එහෙත් ජේඩන් වැනි ආගන්තුකයෙකු ඉදිරියේ හඬන්නට මට උවමණා නොවිණි.
"ඔයා ආදරේ වග එයා
දන්නවද?" ඔහු සෙමෙන් විමසුවේය.
"මං හිතන්නේ නෑ"
මම කීවෙමි. සැබවින්ම මා මෙතරම් ආදරේ වග දන්නවානම් සංකේත්ට මා හට මේ සා රිදවන්නට
බැරි වග මම තරයේ ඇදහුවෙමි.
"එතකොට ඔයා කියන්නේ, ඔයාට ආදරේ නොකරන, ඔයා ආදරේ
වගවත් නොදන්න කෙනෙකුට ඔයා ආදරේ කරනවා කියලද?" ජේඩන් ඇසුවේ
අවිශ්වාසයෙන් මෙනි.
"ඔව්, එහෙම තමයි පේන විදියට නම්"
"මට තේරෙන්නේ නෑ පංචලී.
ඇයි ඔයා එහෙම කරන්නේ කියලා. ඒක හරිම තේරුමක් නැති වැඩක් නෙවෙයිද?" ඔහු ඇසීය.
"එහෙම වෙන්න ඇති
තමයි.ඒත් මට ඒ ගැන කරන්න දෙයක් නෑ. ආදරේ බලෙන් ඇති වෙන්නෑ වගේම, බලෙන් නැති කරගන්නත් බෑනෙ" මම කීවෙමි.
"මං දන්නෑ පංචලී...මේක
මහ අරුම පුදුම කතාවක්" ඔහු එසේ කියද්දී මම
දෑස් පියා ගතිමි. තවත් මේ කතාව ඉදිරියට ගෙන යන්නට මට උවමනා නොවිනි.
"ජේඩන් කරුණාකරලා අපි
මේ කතාව නවත්තමුද? මට ඒ ගැන කතා කරන්න ඕන
නෑ තවත්. ඔයාට දැනගන්න ඕන දේ මම කිව්වනේ” බැරිම තැන මම
එසේ කීවෙමි. ඒ තවත් මේ ගැන කතා කලහොත් මට ඉඳුරාම හැඬෙන වග මම දැන උන් හෙයිනි.
"ඔව් ඔයා කිව්වා තමයි.
මගේ ප්‍රශ්ණ දෙකටම උත්තරේ ඔයා දුන්නා. මම දැන් දන්නවා ඔයා ඇයි ඔය තරම් දුකින්
ඉන්නේ කියලා" ඔහු කීවේය.
"ජේඩන්, කරුණාකරලා...ඕක නවත්තගන්න. එහෙම බැරි නම් මාව ආපහු
ගිහින් දාන්න" මම තදින් කීවෙමි.
මදෙස තිගැස්සී
මෙන් බලා හිඳි ජේඩන් කිසිවක්ම නොකියා,
යලි වාහනයේ
වේගය වැඩි කල අතර, බොහෝ දුරක් යන තුරුම
කිසිවක් කතා කලේ නැත. මම අලුතින් යලි පෑරුණු සිත තවන්නට උත්සාහ කරමින් උන්නෙමි.
"ඔන්න අපි නගරෙට ඇතුලු
වුණා" එසේ කියමින් ජේඩන් අප අතර වූ දීර්ඝ නිහැඬියාව බිඳ දැම්මේ කලින් කිසිවක්
සිදු නොවූවාක් මෙනි.
මම හිස ඔසවා
වට පිට බැලුවෙමි. සුදු පැහැ හිම ඇතිරිල්ල මැද විවිධාකාර වූ උස හා මිටි ගොඩනැගිලි
විසිර පැතිර තිබූ අතර ඒවා නත්තල් සැරසිලි වලින් අලංකාරව බැබලෙමින් තිබිණි. ඇතැම්
ගොඩනැගිලි වල දොරටු වල රවුමට එතූ හොලී අතු එල්ලා තිබෙනුද මනෙතට හසු විය. වාහන ගමන්
ගන්න මං තීරු අතර තරමක විශාල තීරුවක උස සයිකැමෝර් ශාක වවා තිබුණු අතර
ඒවායේ මුල් පැතිර ගිය බිම් තීරුවද හිම වලින් වැසී ගොස් තිබිණි.
"ඔයා මා එක්ක අමනාපෙන්ද
ඉන්නේ පංචලී" මගේ නිහැඬියාව නිසාදෝ ජේඩන් මා විමසද්දි මට සියුම් ලැජ්ජාවක්
දැනුනි. ඒ මා තවමත් මට ආගන්තුක වූ ඔහු හා අමනාපයක් සිතේ මවා ගැනීම ගැනයි.
"අනේ නෑ...එහෙම දෙයක්
නෑ" මම කීවෙමි.
"හ්ම්...අන්න එහෙම
හොඳයි. අපි ඔය වෙච්ච කතාව අමතක කරමුකෝ. ඔයා කා එක්කවත් බෙදාගන්න අකමැති නම්, ඔයාගේ පුද්ගලික ජීවිතේ ගැන අහන්න අපට අයිතියක් නෑ. වෙච්ච
දේ ගැන මට කණගාටුයි. ඒත් නත්තල් තෑගක් කියලා හිතාගෙන මට සමාව දෙන්නකෝ" ඔහු කීවේ
අවංකවම වග මට වටහුණි.
"තේරුම් ගත්තට ස්තුතියි
ජේඩන්. ඒත් ඔයා සමාව ඉල්ලන්න තරම් දෙයක් කලේ නෑ. ඇත්තමයි" මම සෙමෙන් ඔහු දෙස
බලා කීවෙමි.
"එහෙමනම් කමක් නෑ.
ආ...අන්න මගේ යාලුවෝ දෙන්න මගටම ඇවිත්" ජේඩන් අනවධානයෙන් මෙන් එසේ කියා, අසල වූ පදික වේදිකාවක් අසලට වාහන ගෙන යදී මම ඔහුගේ
යහලුවන් කවුදැයි බලන්නට මදක් ඉදිරියට නැවුනෙමි. එහෙත් පදික වේදිකාවේ හුන් කුඩා
ලමුන් කීප දෙනෙකු හැරෙන්නට එහි වෙන කිසිවෙක් උන්නේ නැත.
"කෝ කොහෙද? මට පේන්නේ නෑනෙ" මම වට පිට බලමින් කීවෙමි.
"ඇයි ළමයෝ අර
ඉන්නේ...අර, මට අත
වනන්නේ"
ජේඩන් කී විට මම යලි ඉදිරිපස බැලීමි.
මගේ මවිතයට
හේතු වෙමින්, ජේඩන්ට අත වනමින්
උන්නේ පදික වේදිකාවේ හුන් කුඩා ලමුන් කීප දෙනාගෙන් දෙදෙනෙකි.
"ඔහ්...ඒ...පොඩි ළමයි
දෙන්නෙක් නේ. මම හිතුවේ..." මම තතනමින් කියද්දී, ජේඩන් වාහන පදික වේදිකාව අයිනේ නැවැත්වීය.
"ඔයා හිතුවේ ලොකු
දෙන්නෙක් කියලද?" මට සිනා පාමින්, ජේඩන් ළමුන් දෙදෙනාට වාහනයේ පිටුපස දොර හැර දුන්නේය.
"හායි නෙලී, හායි ඩෙනිස්...මම පරක්කු වුණාද?"
"නෑ.නෑ. අපි දෙන්නම
දැනුයි මෙතනට ආවේ"
එසේ පිලිතුරු
දුන්නේ, වැඩිමල් යැයි සිතිය හැකි නෙලී ය. ඈ සැබවින්ම
සුන්දර බෝනික්කියක් වන් දැරියක් වූවාය. ඇගේ කැරලි හිසකේ රන්වන් පැහැ වූ අතර, දිගු ඇසිපිය හා නිල් දෑසක් ඈ සතු විය. ඈ පැලඳගෙන උන් රෝස
පැහැ තොප්පිය තරම්ම ඇගේ දෙතොල්ද, කම්මුල්ද රෝස පැහැ
විය. ඈ අසලම හිඳ මදෙස කුතුහලයෙන් මෙන් බලා හුන් ඩෙනිස්ටද තිබුණේ නෙලීගේ හැඩහුරුකම්
වූ අතර ඔහුගේ හිසකෙස් පමණක් රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගත්තේය. ඔවුන් දෙදෙනාම
සීත කබා, තොප්පි සහ මෆ්ලර් වලින් මැනවින් වැසී උන්නහ.
වැඩිම වුවහොත් නෙලීට අවුරුදු හතක් අටක් සහ, ඩෙනිස්ට
අවුරුදු පහක් විය හැකි යැයි මම නිගමනය කලෙමි. මදෙස බලා හුන් ඔවුන් දෙදෙනාට මම සිනහවක්
පෑවෙමි.
"නෙලී, ඩෙනිස්...මේ ඉන්නේ පංචලී. පංචලී, මේ නෙලී. මේ ඩෙනීස්" ජේඩන් අපව එකිනෙකාට හඳුන්වා
දුන් අතර ඔව්න් ආචාරශීලීව මට අතට අත දී ලැජ්ජාවෙන් මෙන් සිනාසුනෝය.
"හඳුනගන්න ලැබීම
සතුටක්" මම මුව පුරා සිනා සී කීවෙමි.
"ජේ...මේ ඔයාගේ ගෑණු
ළමයද?" එවර මාව ලැජ්ජාවට පත්
කරමින් එසේ ඇසුවේ ඩෙනිස්ය.
"ආහ්...නෑ, ඩෙනිස්. පංචලී මගේ යාලුවෙක් විතරයි. හරියට මේ...ඔයාලා
වගේම"
මා ඉදිරිපස
බලා ගනිද්දී, ඩෙනිස් බැරෑරුම් ලෙස
හිස වනනු මට යන්තමට පෙනුනි.
"එහෙමනම් අපි යමු නේද?" ජේඩන් යලි වාහනය පණගන්වමින් කීවේය.
නත්තල් සාප්පු
සවාරියක් යෑම එතරම් විනෝදජනක දෙයක් වෙතැයි මම දැන උන්නේ නැත. පාට පාට අලංකරණ භාණ්ඩ
සහිත සාප්පු වල ඇවිදිමින්, නත්තල් ගස්
මිලට ගැනීමට කේවල් කරමින්, මිලට ගත යුතු
දෑ ගැන වාද විවාද කරමින්, නත්තල් ගසේ
එල්ලන්නට විවිධ අලංකරන මිලදී ගනිමින් සහ, මහන්සි වූ විටෙක විවිධ දෑ කමින් බොමින්,
ඉතාමත්ම හුරතල් හා
විනෝදකාමී වූ පුංචිවුන් දෙදෙනා සමග ගත කල එම වරුව මා ජීවිතයේයේ සදාකල්හිම පවතින
මතක සටහනක් වනු ඇති බව මට නිසැක විය. අන්තිමේදි දහවල් ආහාරයද ගෙන අහවර, මිලට ගත් දෑ පුරවාගත්
මලු රාශියක්ද සමග අප නැවත මෝටර් රථයට නගිද්දී සවස දෙකද පසු වී තිබිණි. ඉදිරිපස
දොරෙ එල්ලන්නට ගත් හොලී කොල රවුමක්, නත්තල් ගසේ එල්වන පාට පාට බෝල සහිත පෙට්ටියක්, ඩෙනිස්ට සහ නෙලීට
හොරෙන් ඔවුන් සඳහා මිලදී ගත් තෑගි සහ, මා විසින් ජේඩන් සඳහා මිලදී ගත් නත්තල් සීයාගේ බඳු වූ
මේස් යුගලක්, මා අත වූ බෑග්
වල තිබිණි. තව භාණ්ඩ රාශියක් රැගෙන ආ ජේඩන්, අවසානයට අප මිලදී ගත් පයින් ගස, කාරයෙන් පිටට ගත් කුඩා
ට්‍රේලරයක පටවා ගත්තේය.
"ඔන්න අපි දැන්
නත්තලට ලෑස්තියි" ජේඩන් දිලෙන් මුහුණු වලින් හා, සාපු සවාරියක් යෑමේ ප්‍රීතියෙන් ඉපිලෙමින්
උන් අපට කීවේය.
ඉන්පසු විනාඩි
පහලවකට පමණ පසු, අපි අපගේ
ගමනාන්තය වූ ජේඩන්ගේ නිවෙස අසලට පැමිණ උන්නෙමු. එය සැබවින්ම තනි නිවෙසක් වූ අතර,
මා බලාපොරොත්තු වූ
පරිදි තට්ටු නිවාසයක පිහිටි එකෙක් නොවිනි.
"මම හිතුවේ ඔයා
ඉන්නේ අපාර්ට්මන්ට් එකක කියලා" වාහනයෙන් බැස නිවෙස දෙස බලමින් කීවෙමි.
"ම්ම්...මේක තමා මගේ
අපාට්මන්ට් එක...මොකක්ද ඉතින් වෙනස?"
ඔහු උරහිස්
හකුලවමින්, සිනා සී කීවේය.
"වෙනස? වෙනස තමයි මේක කොහොමවත් එහෙම එකක් නොවෙන එක" මම
කීවෙමි. මේ අතරේ තමන්ට පුලු පුලුවන් ලෙසට මලු අතට ගත් නෙලී සහ ඩෙනිස්, යන්තමින් හිමෙන් වැසුණු පටු මාර්ගය ඔස්සේ නිවස දෙසට පිය
නගමින් උන්නහ. මෙවෙලේම වාගේ සිහින් හිම පතනයක්ද ආරම්භ වූයෙන් අපි ද වාද කිරීම නවතා
නිවස දෙසට පියනැගුවෙමු.
ඉදිරිපස
ලීවලින් තැනූ බිමක් සහිත පටු ඉස්තෝප්පුවකට යාව වීදුරු වලින් නිර්මිත වූ සාලය
පිහිටියේය. එහි බිත්තිය බාගයක් ලෑලි සහ අනෙක් බාගය වීදුරු වලින් නිර්මිත විය. එහි
හිඳගැනීමට වේවැල් වලින් වියුවාක් වැනි පුටු කිහිපයක් හා, මිටි ටීපෝවක් තිබිණි. එය ඊලඟට විවෘත වූයේ මැද ගෙයටයි.
බිමට එලන ලද බුමුතුරුණේ පටන්, බිත්තියේ එල්වන ලද
පිංතූරය දක්වාම එහි වූ සියල්ල කලු, සුදු හා තද නිල්
පැහැයෙන් යුක්ත විය. සුදු පැහැ සැප පෙනුමැති සෝපා පුටු කට්ටලයක් සාලය මැද තබා තිබූ
අතර, එයට ඉදිරියෙන් හෝම් තියටර් සිස්ටම්
එකක් තිබුණි. එයට අමතරව සාලයේ සෑම තැනකම, කලු, සුදු හා නිල් ‘බීන් බෑග්’ නම් පුංචි රවුම්
කුෂන් ආසනද විසිරී තිබිණි. සාලයේ වම් පසින් වූයේ මුලුතැන්ගෙය හා පැන්ට්‍රියයි.
දකුණු පස පැසේජයක් තිබූ අතර එය නිදන කාමර දෙක, නාන කාමර සහ, ඇඳුම් තබන කාමරය ඇති බව ජේඩන් මට කීවේය. එහි වූ
අලංකාරත්වය, පිලිවේල සහ පිරිසිදුකම
මසිතට සියුම් විමතියක් ගෙන එන්නට සමත්ව තිබිණි. ජේඩන් සෑහෙන තරම් යමක් කමක් ඇති
අයෙක් වග සිතන්නට මට අපහසු නොවිනි.
"ඔයාගේ ගෙදර කියලා
හිතාගෙන, නිදහසේ ඉන්න. ළමයි මොනාද බොන්නේ ඔයාලා? පංචලී ඔයා මොනාද බොන්නේ? වයින්, ෂෙරි නැත්තම් බ්‍රැන්ඩි?" ජේඩන්
මුලුතැන්ගෙය දෙසට යමින් ඇසුවේය.
"ආ...මම ඔය මද්‍යසාර
වර්ග නම් බොන්නේ නෑ" මම කීවිට ඔහු මදක් නැවතී, දෑස් විසල්
කොට සිය පුදුමය දක්වා සිටියේය.
"මොනවා? මේ ජාති මොනවත්ම බොන්නේ නැද්ද? අඩු ගාණේ බියර් වත්?" ඔහු ඇසුවේය.
"මට බියර් එකක්
හම්බවෙයිද?" පුංචි කමට එසේ ඇසුවේ
මා අසල උන් ඩෙනිස්ය.
"අනිවාර්යෙන්ම, තව අවුරුදු පහලවකට විතර පස්සේ, පොඩි කොල්ලෝ. දැන් නම් ඒ ගැන හිතන්නවත් එපා. ඔයාලට ම ම
දෙන්නම් නියම හොට් චොකලට්, මාෂ් මෙලෝව්ස් එක්ක.
ඔයාටත් ඒවා හොඳයි නේද පංචලී?"
ඔහු එසේ
අසාගෙනම මුලුතැන්ගෙයි කබඩ් අදින්නට වූ අතර, මගේ අවධානය මා
අසල උන් නෙලී සහ ඩෙනිස් වෙත යොමු විය. ඔවුන් දෙදෙනා නත්තල් ගස ඉදි කිරීමට සුදුසුම
තැන කොතැනදැයි වාද කරමින් උන්නහ.
"මම හිතන්නේ ඒක පඩිපෙල
බහිනකොටම පේන්න තියෙන්න ඕන" නෙලී කියා සිටියාය.
"ජනේලෙනුත් පේනවනම් තමා
හොඳ. එතකොට අපේ ගෙදර ඉඳන් අපට ඒක බලතෑකි" ඒ ඩෙනිස් ය.
"එහෙම තිබ්බොත් පඩිපෙලට
ඒක පේන්නේ නෑනෙ ඩෙනිස්"
මට සිනා
නැගිනි.
"ඔයාලගේ ගෙදර නත්තල් ගහ
කොතනද තියෙන්නේ?" මම ඔවුන්ගෙන් ඇසීමි.
"අපි තියන්නේ ගිනි මැලේ
ලඟ. ඒක සාලෙටත් කිට්ටුයි. ජේ ගේ ගිනි උදුන තියෙන්නේ අර කොනේ හන්දා, ඒක ජනේලෙන්වත්, පඩිපෙලටවත්
පේන්නේ නෑ" නෙලී සාලයේ ඈත මුල්ලක වූ ගිනි උදුනක් පෙන්වා කීවාය. එය සාලයේ ඈතම
කෙලවර වූ අතර, තිරයකින් ඒ පෙදෙස
බාගෙට ආවරණය වී තිබුණෙන් මට හරි හැටි එම පෙදෙස පෙනුනේ නැත.
"ඉතිං ඔය දෙන්නා නත්තල්
ගහ හදලා ඉවරද?" මම යලි ඇසුවෙමි.
"නෑ...අපි අද හදනවා. ජේ
අපට ගොඩක් දේවල් අරන් දුන්නා නේ" ඩෙනිස් කීවේය.
මහිතට
අමුත්තක් දැනුනි.
"එහෙනම් ඔයාලගේ අම්මයි, තාත්තයි බලාගෙන ඇති ඔයාලා ඇවිත් ඒක හදනකල් නේද?" මම යලි ඇසුවෙමි.
එවිට නෙලීගේ
හා ඩෙනිස්ගේ මුහුණු එකවරම අඳුරු විය. ඔවුන් දෙදෙනාම බිම බලාගත් අරත නෙලී මුලින්ම කතා
කලාය.
"අපේ අම්මයි තාත්තයි
ජීවතුන් අතර නෑ"
ඈ එසේ කී විට
මහිත මහත් කම්පාවට පත් විය. මට ඩෙනිස් ද්ස බැලුණේ ඉබේටමය.
"අපි ඉන්නේ අපේ
අත්තම්මා එක්ක" ඩෙනිස් කීවේය.
"අනේ...මට හරිම
කණගාටුයි. මම දැනං හිටියේ නෑ..." මට කිව යුතු අන් යමක් සිතාගත නොහිනි.
"ඒක්ට කමක් නෑ. අපි
දැන් ඒක්ට ටිකක් පුරුදු වෙලා ඉන්නේ. අනික අපේ අත්තම්මයි, සීයයි ගොඩක් අපට ආදරෙයි. ඒ වගේමයි ජේ..." නෙලී
සුසුමක් හෙලා කීවාය.
එහෙත්
දෙමාපියන් තරම් ළමුන්ට අන් කිසිවෙකුටක්ත් ලං විය හැකිද යන්න මට පැනයක් විය.
සත්තකින්ම මේ පුංචිවුන් දෙදෙනා අද මා සතුටු කල තරමටම මාව දුකටද
පත් කරන්නට
සමත්ව තිබිණි. ජේඩන් උණුසුම් පානයන් රැගෙන එද්දී මම උන්නේ අඳුරු සිතිණි. නෙලී හා
ඩෙනිස්ද ගොලු වී උන්නහ.
"මොකද මේ කට්ටියම මූණු
එල්ලගෙන? ආ...මේවා බො න්නකෝ. එතකොට ඔය සේරම
මගෑරේවි" ජේඩන් ප්‍රීතිමත් හඬින් කීවේය. "ඩෙනිස් කොහොමද අපි එකතු වෙලා
අපේ පූල් එක අයිනේ මේ නත්තල් ගහ හැදුවොත්? එතකොට ඔයාලගේ
උඩ තට්ටුවටත් ඒක පෙනේවි"
ඒ වචන ඩෙනිස්ව
ප්‍රීතියට පත් කරන්නට සමත් වූ වගක් පෙනුනි.
"ඔයත් ඉන්නවා නේද?" ජේඩන් මගෙන් විමසුවේය.
මම ඔහුට
උත්තරයක් දෙන්නට පෙර අත වූ ඔරලෝසුවේ වෙලාව බැලීමි. එහි සවස තුනහමාර සටහන්ව තිබිණි.
"තුනහමාරයි...හතර පහ
වෙද්දි කලුවරත් වැටේවි..." මම තරමක් අදි මදි කරමින් කීවෙමි.
"අනේ කරුණාකරලා ඉන්නකෝ.
ඔයා අද දවසමත් ඉඳලා මේක නොහදා ගියොත් ඒක අඩුවක් වේවි" ජේඩන් පොඩි එකකු සේ
කීවේය.
"අනේ ඔව්...ඉන්න පංචලී' මගේ අතේ එල්ලුණ නෙලීද කීවාය.
"කරුණාකරලා" ඒ
ඩෙනිස්ය.
මම සුසුමක්
හෙලුවෙමි. ජේඩන් කෙසේ වෙතත්, මේ සුරතල් දරුවන්
දෙදෙනාගේ ඉල්ලීම් වලට පිටුපාන්නට මට සිතක් නොවිනි.
අන්තිමේදී, අපි සැම ජේඩන් විසින් ඔසවගෙන විත් නාන තටාකය අසල එලිමහනේ, බීම කාමරයට ඉදිරියෙන් සවි කරන ලද නත්තල් ගහ සරසන්නට
වීමු. ගලවමින්ද, නැවත සවි කරමින්ද, අඩු පාඩු බලමින්ද කරගෙන ගිය එම කාර්යය ඉතාමත් විනෝදකාමී
දෙයක් විය. මා උන්නේ බොහොමත් සතුටෙනි.
සියල්ල
සියල්ලන්ගේම සිතැඟි වලට සරිලන අයුරින් අන්තිමේදි නිම කර අවසන් වද්දී සවස පහටත්
ආසන්නව තිබිණි. අවට පරිසරය වේගයෙන් අඳුරු වන්නටත්, සීතල වන්නටත් පටන්ගෙන තිබිණි. ජේඩන් විදුලිය
ලබාදුන් පසු නත්තල් ගසේ එල්වූ විදුලි බුබුලුද, අවට පඳුරු හා, කණු වල එලා තිබූ විදුලි බුබුලුද අලංකාරව,
පාට පාටින් දැල්වෙන්නට
වුණි. එය මා දුටු ඉතාමත්ම අලංකාරම දසුනක් විය. ජේඩන්ටත් වඩා උස් වූ නත්තල් ගසේ උඩම
එල්ලා තිබූ නත්තල් තරුව රන් පැහැයෙන් බබලමින් තිබිණි.
"මේක නම් හරිම
ලස්සන නත්තල් ගහක්" ඩෙනිස් කීවේ සතුටිනි.
"දැන් නම් මම
යන්නම ඕන" නෙලී හා ඩෙනිස් නත්තල් ගසේ හැඩ බලමින් ඉන්නා අතරතුර මම ජේඩන්ට
කීවෙමි.
"එතකොට රෑ කෑම?"
"අනේ බෑ ජේඩන්.
ඔයා අද මං වෙනුවෙන් ඕනවටත් වඩා දේවල් කලා" මම කීවෙමි.
"නෑ. ඒ මං
වෙනුවෙන් කල දේවල් ඔයා"
අවසන අපි සැම
තම තමන්ගේ නවාතැන් වලට නික්ම යාම සඳහා එකිනෙකාගෙන සමු ගතිමු.
"අපි ආයෙම
හමුවෙමු දවසක පංචලී. සමහරවිට නත්තලට" නෙලී කීවේ මගේ කම්මුලක් සිඹිමිනි.
"නත්තලට නම්
එන්න බැරි වේවි. ඒත් මම ආයෙම එනවා ඔයාලව බලන්න,ඉඩ ලැබුණ ගමන්ම" මමද ඈව සිප කීවෙමි.
"මම ඔයාට
කැමතියි පංචලී" පුංචි ඩෙනිස් මට කීවේ එසේය.
"මමත් එහෙමයි,
පුංචි මහත්තයෝ"
මම ඔහු වෙත නැමී කීවෙමි.
"මම ඔයාගේ
කම්මුලට හාද්දක් දෙන්නද?" ඔහු
මාගෙන් ඇසීය.
මට සිනා නැගිනි.
"අනිවාර්යෙන්ම"
මම ඔහුට කම්මුලක් පාමින් කීවෙමි.
ඔහු මගේ ගෙල වටා
අත් දෙක දමා මගේ කම්මුලක් සිප ගත්තේය. මහිත සතුටකින් මෙන්ම, දෙමාපියන් නැති මේ
දරුවන් ගැන වූ දුකක් හා සෙනෙහසකින්ද පිරුණි.
"ආපහු අපි
බලන්න එන්න පංචලී" ඔහු ඉන්පසු කීවේය.
"මම එනවාමයි.
පොරොන්දු වෙනවා"
"අපි ගිහින්
එන්නම්, සුබ රාත්‍රියක්
පංචලී, ජේ"
ඔව්න් අප දෙදෙනා මොහොතකට තනි කර නික්ම ගියෝය.
"පව්" මට
කියවිණි.
"හ්ම්...අහිංසක
ළමයි" ජේඩන්ද සුසුමක් හෙලුවේය.
"එහෙනම්...මාව
දැන් ගිහින් දානවද?"
ඩෙනිස් හා නෙලී නොපෙනී
යනතුරු බලාහුන් මම ඇසීමි.
"හරි...ඉන්න මම
මගේ කබාය අරන් එන්නම්"
සිහින් පුලුන්
බෝල සේ බිම වැටෙන හිම වරුසාව අතරින් ජේඩන් සහ මම යලි නේවාසිකාගාරය දෙසට එමින්
උන්නෙමු.
"අද දවස හරිම
හොඳින් ගෙවුනා නේද?" ජේඩන් ඇසුවේ
තෘප්තිමත් හඬකිනි.
"හ්ම්...නෙලීයි,
ඩෙනිසුයි හරිම ෂෝක්
ලමයි දෙන්නෙක්"
"ඔව්. එයාලගේ
ආච්චි අම්මත් එහෙමයි. හරිම ප්‍රිය මනාපයි" ජේඩන් කීවේය.
"මොනා වෙලාද
දෙමාපියෝ නැති වෙලා තියෙන්නේ?"
"රිය
අනතුරක්...මේ දෙන්න ඊස්ටර් නිවාඩුවට මෙහේ ඇවිත් ඉද්දි. දැන් අවුරුදු දෙකක් විතර
වෙනවා" ජේඩන් කිව්වේ ශෝකයෙන් මෙනි.
"හ්ම්" මම
සුසුමක් හෙලීමි.
ඉන් පසු ටික
දුරක් අපි කතා බහකින් තොරව කල්පනාවේ නිමග්නව එන්නට ආවෙමු.
"ජේඩන්...ඔයා
මට කිව්වේ නෑනෙ අච්චර විසාල 'අපාට්මන්ට්'
එක කාගෙද කියලා.
ඇත්තටම ඔයා ඇයි මේක කලින් අපට නොකිව්වේ?" මම මතක් වුණ යමක් ඇසීමි.
"ආ....ඒකද?"
ඔහු හිනැහුනේය.
"මේ ගෙදර මගේ නෙවෙයි ඇත්තටම නම්. මේක මගේ නැන්දගේ. ඒත් එයා බැඳලා නැති හන්දා
දිගටම මම තමයි මේකේ ඉන්නේ. එයා ආච්චි අම්මා එක්ක ඉන්නවා"
"එතකොට එයා
එන්නෙම නැද්ද?"
"එනවා, සමහර දවස් වලට. ඒත්
එයා මෙහේට වැඩිය ආස නෑ.ඒ නිසා මෙහාට ආස මට එයා මේක දීලා තියෙනවා"
"ඒක ලස්සන
ගෙදරක්" මම කීවෙමි.
"තව ලස්සනයි
වසන්ත කාලෙට. පිටිපස්සේ මිදුලෙයි, ඉස්සරහයි මල් පිපිලා, ක්‍රැබ් ඇපල් ඩි හැදිලා, චෙරි ගස් වල මල්
හැදුනම...ඔයා බලන්න ආසවෙයි"
"අනේ ඇත්තමද?
මම ආසයි තමයි"
ඔහුගේ කතාව අසා ප්‍රමෝදයට පත්ව මම කීවෙමි.
"වසන්ත කාලෙක
මම එක්ක එන්නම්කෝ ආයෙම" ඔහු කීවේය.
මම කිසිත්ත්
නොකියා හිනැහුනෙමි. එකතකට මට ආගන්තුකයෙකු වූ මොහුට මෙතරම් කුලුපග වීම සුදුසුදැයි
මසිත මගෙනම ප්‍රශ්ණ නොකලා නොවේ.
"ඔව්, සමහරවිට" මම
ඉන්පසු කීවේ එබැවිනි.
"ඒත් වසන්තෙට
කලින් මම කැමතියි, ඔයා නත්තල්
සාදෙකට මගේ ගෙදර එන්වා නම්" මා කීව නෑසුනාක් සේ ජේඩන් යලි කීවේය.
"ආ...අනේ මට
බැරි වෙයි ජේඩන්. මගේ අම්මලා දහ නවය මෙහේ එනවා. ඊට පස්සේ අපි බොස්ටන් යන්වා. ඒත්
ඔයත් නිව්යෝර්ක් යන්න නේද ඉන්නේ?" මම ඇසීමි.
"ම්ම්...මම
යන්නේ විසි දෙක විතර. ඊට ක්ලින්, නත්තල් පෙර සාදයක් දෙන්නයි මම හිතුවේ" ඔහු සෙමෙන්
කීවේ දුකකින් මෙනැයි මට සිතිණි.
"මට බැරි වෙයි'
මම කීවෙමි.
ජේඩන් මදෙස
යන්තමට බලා අහක බලා ගත්තේය. මම වීදුරුවෙන් පිටත බලා ගතිමි. අවට දැන් සම්පූර්ණයෙන්ම
අඳුරු වී තිබිණි.
"අද දවසට ගොඩක්
ස්තුතියි ජේඩන්. පාලුවෙන් හිටපු මට ඔයා ලොකු සතුටක් ගෙනැල්ලා දුන්නා, ඇත්තමයි"
නේවාසිකාගාරය
අසලට විත් වාහනයෙන් බහින්නට පෙර මම ඔහුට එසේ කීවෙමි.
"ඒකට මක් වෙනවද?
ඔයා ආවයින් අපේ දවසත්
සතුටුදායක එකක් වුණා" ඔහු කීවේය.
මට සුසුමක්
හෙලුනේ ඉබේටමය.
"ඇත්තටම,
මම මෙහෙම හිතපුර
සතුටින් හිටියේ අවුරුද්දකට විතර පස්සේ" මම එතරම් නොහිතා කීවෙමි.
ජේඩන් මදෙස
බලා උන්නේය.
"කොහොම වුණත්,
ඒක එහෙමයි" මම
අන්තිමේදී
කීවෙමි.
ඉන්පසු රියෙන්
බැස මා නේවාසිකාගාරයේ පඩිපෙල නගිද්දීත් ජේඩන් මා ඇරලවන්නට ආවේය.
"එහෙනම් ආයෙම
දවසක මුණගැහෙමු" මම දොරටුව අසලදී කීවෙමි.
"කවදද?"
ඔහු මා අපේක්ෂා නොකල
පරිදි ඇසුවේය.
"ම්...මංදා,
දවසක" මම අන්ද
මන්දව කීවෙමි.
"හෙට කොහොමද?"
ඔහු ඇසුවේ හෙමිනි.
"හෙට?"
මම ඔහු දෙස බැලුවේ
පුදුමයෙනි.
"හෙට දොලොස්
වෙනිදා. ඔයා බොස්ටන් යන්නේ දහ නවය. ඉතින් දවස් හයක් ඔයා පාලුවේ මේක ඇතුලට වෙලා
ඉන්නවට වඩා අකමැතිද අපි තුන් දෙනා එක්ක පොඩ්ඩක් විනෝද වෙන්න එන්න" ඔහු ඇසීය.
මෙය මා බලාපොරොත්තු වූවක් නොවුනෙන් මට කීමට දෙයක් සිතා ගත නොහිනි.
"අනේ මන්දා...මම
හිතන්නෑ ජේඩන්. මට එන්න බැරි වෙයි"
"කරුණාකරලා
උත්සාහ කරලා බලන්නකෝ" ඔහු ආයාචනාත්මකව කීවේය. "ඩෙනිස්ලා සතුටු
වේවි"
"අනේ
මන්දා" මම පැකිලුනෙමි. දවස හයක් පාලුවෙන් ඉන්නට වන වග සැබෑ වුවද, මෙසේ ජේඩන් හා නිතර
එහේ මෙහේ යාම අනවශ්‍ය දෙයකැයි මසිත මට කීවේය.
"අපිට ගොඩක්
සතුටු වෙන්න පුලුවන් වේවි" ඔහු කීවේය.
"බලමු, මම හෙට කියන්නම්. දැන්
මම යන්නද?"
"හොඳයි...අනේ
හිතලා බලන්න"
ඔහු කී පසු
සමු ගැනීමට මත්තෙන් අප අතර සුලු නිහැඬියාවක් ඇති විය. මම ඉවත බලාගෙන උන් අතර,
ඔහු වට පිට බලමින්
උන්නේය. අපට අමතරව එහි තවත් ජෝඩු කිහිපයක්ද තැනින් තැන් උන්නා මට පෙනුනි.
"එහෙනම්...සුබ
රාත්‍රියක්" අවසන මම කීවෙමි.
"සුබ රාත්‍රියක්...පංචලී"
ඔහු සේ කියා
මා යලි කිසිවක් සිතන්නටත් පෙරාතුව පහත් වී මගේ කම්මුලක් සිප ගත්තේය. සීතලට හෝ
නොවුණු පරිදි මා ගත කිලිපොලා ගියේය. මම ගල් පිලිමයක් සේ අන්ද මන්දව එතැනම සිටගෙන
සිටියදී, ඔහු යලිත්
මදෙස නොබලා යන්නට ගියේය. මගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබිණි. එහෙත් එය හුදු මිත්‍රශීලි
සමුගැනීමක්ම පමණක් වග මම මට ම කියාගතිමි. කම්මුලක් සිප ගැනීම මේ සමාජයේ ඉතාමත්
සාමාන්‍ය දෙයක් විය. ඒය මිත්‍රත්වය ප්‍රකාශ කිරීමක් මිස අනෙකක් නොවන වග මම දැන
උන්නෙමි. ඒහෙත් ජේඩන් පිළිබඳව වූ කිසියම් වූ දෙයක් මහිත සසල කරවන බව මට වැටහී
යමින් තිබිණි. එය මා බියට පත් කලේය. සංකේත් නිසා උවමනාවටත් වඩා සසලව තිබූ සිත
යලිදු පාරගන්නට මට ඇවැසි නොවූ නිසාය. ජීවිතයේ යලි කවරදාවත් මම කිසිම පිරිමියෙකු
කෙරෙහි නොබැඳෙනු ඇත, කිසිවකුවත්
විශ්වාස නොකරනු ඇත. ඒ සංකේත් නිසා මා එතරම්ම කඩාවැටී ගිය තැනැත්තියක් වූ
නිසාමය.
මමයි එක හුරේ අද ගොඩක් දීලා
ReplyDeleteපන්චලිට ජේඩන්ව ගැලපෙනවා නේ
ඔයා හැමදාම ඉතින් කලින් එනවනේ... :) කතාව එක්ක එකතු වෙලා ඉන්නවට ස්තුතියි ලක්ෂ්...
Deleteබලමුකෝ පංචලී මොනා කියාවිද කියලා නේද?
I missed you so much nanga, I will write something later, I just came to see you and say hi, I hope everything ok with you.
ReplyDeleteLux has come very early, as always,, good luck you to lux...
අනේ ඒකනේ අක්කියෝ ඔයා කොහේද අනේ ගිහින් හිටියේ? මම බැලුවා කෝ මේ මල් වැස්සේ තෙමෙන්න ආපු කට්ටිය කියලා. ඉතින් වැඩ ගොඩක් අස්සේ හරි මාව මතක් වුනාට ඔයාටත් ස්තුතියි අක්කේ. අපි සේරම දැන් නම් හොඳින් ඉන්නවා. ආපහු ලෙක්චර්ස් පටන් ගත්තු නිසා මටත් එක දිගටම ලියන්න වෙන්නේ නෑ.
Deleteඔයාට ඉවර වෙලාවක ඇවිත් කතාව එක්ක එකතු වෙන්න. හැමදේම හොඳින් සිද්ධවෙන්න කියලා සුබ පතනවා ඔයාට.
ලස්සනට ලියනවා ඔයා. මම නොවැරදීම මේ කතාව කියවනවා. සතුටුදායක අවසානයක් බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි සිතු... ඔයාව පොත් ගුලට ආදරෙන් පිළිගන්නවා. අවසානේ සතුටුදායක වේවිද කියලා බලමුකෝ නේද? පොත් ගුලට නිතරම ඒවි කියලා මම හිතනවා... :)
Delete