Friday, August 24, 2012

දසවන කොටස


ඒ නත්තලට පෙර ජේඩන් මට හමු වූ අවසාන වතාව විය. මමත්, ලතිකා සහ බ්‍රයනුත්, ඩීනෝත් ඩොල්ලීස් අවන්හලේ සවස තේ පානයට ගොස් බලා උන්නේ ජේඩන් එන තුරු ය.
"ලෙක්චර්ස් ආපහු විසි අට වෙනිදා පටන් ගන්න එක අපරාදේ. එතකොට 31 රෑ සාද, උත්සව හෙම ගෙදර ඉඳන් සමරන්න බැරි වෙනවනේ" ලතිකා මේස වටා අසුන්ගෙන උන් අප සැමට කීවාය.
"මොන පිස්සුද? මෙහේ 31 රෑ පාටියට ගහන්න එකක් නෑ ඔය කොහේවත්. මට මතකයි ගිය පාර අපි උත්සවේ තිබ්බේ ගණිත අංශයේ, තාරකා නිරීක්ෂණාගාරයේ වහල උඩ කොටසේ. අපි මල් වෙඩි පත්තු කරලා, කාලා, බීලා, නටලා, හොඳට විනෝද වුණා. හොඳම දේ තමයි යාලුවෝ සේරම එවෙලේ එකට ඉන්න එක" එවිට එසේ කීවේ බ්‍රයන් ය.
"හ්ම්...ඔය කිව්වේ" ලතිකා හිනැහී ඔහුට ඇද කලාය.
"මේ සැරෙත් අපි එහෙම දෙයක් සංවිධානය කරන්න බල්මු" ඩිනෝද උනන්දුවෙන් කීවේය.
"ආ...අන්න අරයා ඇවිත්. හේයි, ජේ...අපි මෙහේ" ජේඩන් පැමිණි වග මුලින්ම දුටුවේ බ්‍රයන්ය. මම දොර දෙසට පිටුපා උන්නෙන් ඔහු ආ බව මට නොපෙනුනි. එනිසා මා පිටුපස හැරී, අප වෙත එමින් උන් ජේඩන් දෙස බලා සිනාවක් පෑවෙමි. ඔහුද සිය දීප්තිමත් සිනාව අප සැම වෙත පාමින් විත් මා අසලින් වාඩි ගත්තේය.
"පරක්කු වුණා, ටිකක්. ඔයාලා කෑවා, බිව්වද?" ඔහු සිය අත් වැසුම් ගලවමින් අපෙන් විමසීය.
"නෑ, අපිත් මේ දැන් දැන් ආවේ. මොනා හරි කමු එහෙනම් නේද?"
ඉදින් අපි බ්‍රවුනීස්, ක්‍රීම් ටාට්ස්, පේස්ටීස් හා ජේඩන්ගේ කැමතිම කෑම වූ ක්‍රීම් පිරුණු කේක් කමින්, කෝපි පානය කරමින් සහ විවිධ දෑ කතා කරම්න් පැයක් පමණ ගෙවා දැමූවෙමු. ඉනික්බිති ඩීනෝ පසුදා නිවෙස බලා යෑමට ඇති බැවින් අපෙන් සමු ගෙන නික්ම ගිය අතර, බ්‍රයන් හා ලතිකාද මද වෙලාවකින් අපෙන් සමු ගෙන ගියේ, අවන්හලින් එලියට බට මා, ජේඩන් හා තනිකර ලමිනි.
"එතකොට ඔයා අනිද්දට බොස්ටන් යනවා නේද?" ජේඩන් සිය අත වූ බෑගය කරේ දමා ගැනිමින් ඇසුවේය.
"හ්ම්. මට ඉවසිල්ලක් නෑ ගෙදරින් එනකල්. ඒ අයව මාස කීයකින් ද මම දකින්න යන්නේ...හිතාගන්න බා මම කොහොම හිටියද කියලා අම්මලා කවුරුවත් නැතිව මෙහේ තනියෙම" මම කීවෙමි.
"තනියෙම? ඔයා තනියෙම හිටියේ නෑනෙ. අපි ඔයා එක්ක හිටියනේ" ඔහු එවර කී විට මම ඔහු දෙස බලා ලොකු සිනාවක් පෑවෙමි.
"අනේ ඔව්. ඒක නම් ඇත්ත තමා. ඔයාලා නිසා තමයි එක නොදැනුනේ. ඇත්තටම ඔය සේරම හරිම හොඳ යාලුවෝ ටිකක්" මම ඔහුව පසසමින් කීවෙමි.
ඔහු මා කීවට පෙරලා සිනහවක් පෑවා පමණි. අප දෙදෙනා නිශ්චිත අරමුණකින් තොරව පටු පාරවල් දිගේ ඔහේ ඇවිද ගියෙමු.
"කොහොම වුණත්..." ජේඩන් යලි කතාව ඇරඹීය. "ඔයා හෙට ගියාම මට පාලු දැනෙයි. මම යන්න ඉන්නේ විස්ස නිව්යෝර්ක්. ඊට පස්සේ අපි ආයෙම ආවාම අපට මෙහෙම කතා කරන්න ඉඩලැබෙන එකක් නෑ. මොකද ඔයාගේ පරිවාර සේනාවත් එනවනේ. ඔයා ඉතින් සොනාලි අතෑඅරලා අඟලක් වත් හෙල්ලෙන එකක්යැ" ඔහු කලේ විහිලුවකැයි මා සිතුවෙමි.
"එහෙම නෑ ජේඩන්. අපි හැමෝම එකටනේ ඉන්නේ. ඒත් ඇත්තටම, ඒ අය ගිය හන්දා තමයි මට ඔයාව මේ තරම් දැන් ඇඳිනගන්න ඉඩ ලැබුණේ. ඔයා මම වෙනුවෙන් කරපු හැම දේටම ඔයාට ස්තුතියි ජේඩන්. මම හිතනවා අපි හැමදාම හොඳම යාලුවෝ වේවි කියලා" මම කීවේ සිතට එකඟවමය.
"ඇත්තටමද?"
"හ්ම්"
"ම්ම්...වෙලාවකට මටත් පුදුම හිතෙනවා අපි සේරම් මේ තරම් කොහොම යාලු වුනාදත් කියලා. මට කවදාවත් මේ වගේ කවලම් වෙච්ච යාලුවෝ පිරිසක් ඉඳලා නෑ. අනික අපි හුවමාරු කර ගන්න අදහස්, ඒ උදව් පදව්, හරිම ලෙන්ගතුයි කියලා මට දැනෙනවා. එතකොට ඒ අතරේ ඔයා...ඔයා මට ගොඩක් විශේෂ කෙනෙක් පංචලී" ඔහු අවසන් වදන් පෙල කීවේ මා දෙස බලා ඇහෙන නෑහෙන හඬිනි.
ඒ මන්දැයි අසන්නට මසිතට දිරියක් නොතිබිණි. මහිත නොසන්සුන් වන්නට පටන්ගෙන තිබූ අතර, ඔහු මෙතැන දමා දිවයන්නට සිත්දෙන තරම් එය බලවත් විය.
"මට ඔයාගෙන් දෙයක් අහන්න ඔයා, වරදවා හිතන්නේ නෑ නේද මා ගැන?" මා කිසිවක් නොකී තැන ඔහු මගෙන් විමසුවේය.
"මොකක්ද?" මම ඇසුවේ ගැහෙන සිතිනි.
"ඔයා තාමත් අර ලංකාවේ  ඉන්න කෙනා ගැන හිතනවද?" ඔහු වදනින් වදන සෙමෙන් ගලපමින් මගෙන් විමසුවේය.
"ඔව් ජේඩන්" ඔහු එසේ ඇසුවේ මන්දැයි නාසා මම පිළිතුරක් දුනිමි. එය සමහරවිට දරුණු වැඩිදෝ කියාත් මට නොසිතුනා නොවේ.
ජේඩන් ඉවත බලාගෙන සුසුමක් හෙලුවේය.
"ඔයා හිතනවද කවදාහරි ඔයාට එයාව ආපහු හම්බවේවි කියලා?" ඔහු ඉන්පසු ඇසුවේ එසේය.
ඔහුට පිලිතුරක් දෙන්නට මට වෙලා ඇවැසි විය. ඇත්ත කියම් ද නොකියම්ද කියා මසිතේ දෙපැත්තට ඇදෙමින් පැවතිණි. ඔහුට කිසිවක්ම නොකියන්නට මට උවමනා විනි. එහෙත් එය විසඳුමක් නොවේය වග මසිතේ එක පැත්තක් කීවේය. 
"මම කිව්වනේ ජේඩන්, මං ආස නෑ කියලා ඒ ගැන කතා කරන්න" මම බැරිම තැන කීවෙමි.
ඔහු හුන් තැනම නැවතී මදෙසට හැරුණේ මුහුණේ කුමක්දෝ අසහනකාරී හැඟීමක්ද ඇතිවය.
"ඇයි ඔයාට මං අහන දේට උත්තරයක් දෙන්න බැරි?"
මම ඔහුගේ බැල්ම මගැර බිම බලා ගතිමි.
"පංචලී..." ඔහු යලි මා ඇමතීය.
"මේකයි, එයා මට හම්බවුණත් නොවුනත් මම එයාට ආදරෙයි. ඒක එහෙමමයි" මට තරමක් කෑ ගැසෙන්නට ඇත. මගේ සැනසීමට හේතු වෙමින්, අප අසල ඇහෙන මානයේ කිසිවකු උන්නේ නැත.
"ඒත් නොලැබෙන දෙයක් පස්සේ ඔහොම යන එක, මෝඩකමක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?" ඔහු සන්සුන්වම මගේන් ඇසුවේය.
මම ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි.
"ඔයා කවදාවත්, කාටවත්ම ඇත්තටම ආදරේ කරලා නැද්ද?" මම ඔහුගෙන් ඇසුවෙමි.
"ඔයා...මොනාද...ඇයි මෙහෙම අහන්නේ?"
"එහෙම කලා නම් ඔයාටත් තේරේවි, දවසකින්, දෙකකින් දේවල් අමතක කරන්න බෑ කියන එක"
"ඒක ඇත්ත පංචලී, ඒත් අපි අපේ ජීවිත වලින් ගිලිහුන දේවල් ගැන හිතමින් ලත වෙනවට වඩා, ජීවිතේට ආයෙම ලැබෙන දේවල් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන නැද්ද?" ඔහු ඇසුවේය.
"ඔයා කියන දේ මට තේරෙනවා ජේඩන්. ඒත් ඇත්තටම අලුතෙන් දෙයක් ගැන හිතන්න මම බයයි. අපි කොහොමද කෙනෙක්ව විශ්වාස කරන්නේ?"
"හැමෝම එක වගේ නෑ පංචලී"
"අපි කොහොමද දන්නේ ජේඩන්? ඔයාගේ ජීවිතේම ගන්න. ඔයා කී පාරක් යාලු වෙලා අතෑඅරලා තියෙනවද? ඔයාට කී පාරක් ඒක වෙලා තියෙනවද? එහෙම නොවෙයි කියලා සහතික වෙන්න අපට බෑ"
"ඔව් ඒක ඇත්ත. අපට එහෙම හිතන්න බෑ තමා. ඒත් ඒක එහෙම නම්, ඒක ඒ විදියට බාර ගන්න එකයි හොඳ. අපට ජීවිත කාලෙම වැලපෙමින් ඉන්න බෑ එක දෙයක් මත්තේම. අනික එක්කෙනෙක් වෙනුවෙන්ම කැප වෙලා ඉන්න බැරි වෙන්න පුලුවන්. එහෙම ඕන තරම් වෙනවා"
ඔහු එසේ කියද්දී, මහිතේඔහු ගැන වූ කුමක්දෝ හැඟීමක් සිත පතුලට, පතුලට ඇදී ගොස් නොපෙනී යන්නාක් සේ මට දැනුනි.
"ජේඩන්...ඒ ඔයාලගේ සමාජේ. මම හැදුන වැඩුන සමාජේ ඊට වෙනස්. අපේ සමාජ වල එකම එක්කෙනෙක් වෙනුවෙන් කැප වෙලා ජීවිත කාලෙමත්, ඒ කෙන නැති වුනාට පස්සෙත් ඉන්න ඕන තරම් ගෑණු, පිරිමි ඉන්නවා. අපේ රටේ මිනිස්සු,අනෙක් කෙනාගේ දුර්වලතාවයක් නිසා දුක් විඳින්න වුණත් ඒක උහුලගෙන ඒ කෙනා වෙනුවෙන් කැපවෙලා ඉන්න අවස්ථාත් ඕන තරම් තියෙනවා. ඒක මේ සති පූජාවක් වගේ අන්තවාදී කැප කිරීමක් නෙවෙයි, හදවතින්ම කරන දෙයක්. මගේ අම්මයි තාත්තයි ඒ වගේ දෙන්නෙක්. දෙන්නගෙන මුල්ම ආදරය, කවදාවත් දරුණු විදියට රණ්ඩු වෙලා නෑ. බැන්දට පස්සෙත් නෑ. ඒ දෙන්නා අදටත් එහෙමයි. මම හැදුනේ එහෙම සමාජෙක නිසා වෙන්න ඇති මමත් එහෙම දේවල් බලාපොරොත්තු වුණේ. ඒක මට නොලැබුණ එක මගේ අවාසනාව..." මම හැල්මේ කියාගෙන කියාගෙන ගියේ ජේඩන්ගේ මුහුණේ ඇඳි විවිධ ඉරියව් හා හැඟීම් ද නොසලකා ය.
"සමාජ වෙනස්කම් තියෙන වග මම පිලිගන්නවා පංචලී. ඒත් ඔයා ඔය කියන විදිහේ සම්බන්ධත මෙහෙත් නැත්තේ නෑ. එහෙම දේවල් තියෙනවා. එකම වෙනස අපේ සමාජ වල ඉන්න මිනිස්සුන් බලාපොරොත්තු වෙන නිදහසේ සීමාවන් වෙන්න ඇති. එකේ අදහස, අපේ රටේ මිනිස්සු චපලයි කියන එක නෙවෙයි"
"මම එහෙම කිව්වා නෙවෙයි නේ. මම දන්නවා හැමෝවම එකම මිම්මෙන් මනින එක අසාධාරණයි කියලා. මම කියන්න උත්සාහ කලේ, කොයි දීපංකරේකින් ආවත්, ඒ සමාජේ මොන විදිය එකක් වුණත් ආයෙම මට කාටවත් ලං වෙන්න බෑ කියලයි..."
ජේඩන් කිසිවක් අසන්නේත් නැතිව, මම ඔහුගෙන් විමසන්නේවත් නැතිව මට දැනුන දේ මම කියා දැමීමි.
අවසන ජේඩන් සුසුමක් හෙලුවේ තර්ක විතරක කොට මහන්සි වූවාක් මෙනි.
"ඔයාට ඕන තව කාලය විතරයි පංචලී. කාලා සේරම විසඳනවා. හැම තුවාලයක්ම සුවපත් කරනවා. අපට මේ ලෝකේ තියෙන සේරම කාලේ තියෙනවා පංචලී...ඒ නිසා දැන් අපි මේ විවාදේ නතර කරමු. නැත්තම් ඔයා තරහා වෙලා ගියොත් හෙම, මගේ පාලුව දෙගුණ වෙයි" ඔහු ඉන්පසු කීවේ මසිත මදක් මුදු බවට හරවමිනි.
"කියපු දෙයක් හන්දා හිත රිදුනා නම් මට සමාවෙන්න ජේඩන්" මම සෙමෙන් කීවෙමි.
"ප්‍රශ්ණයක් නෑ" ඔහු මදහසක් පා කීවේය.
අපි නොදැනුවත්වම වාගේ පිවිස තිබුණේ, විශ්වවිද්‍යාලීය භූමියේ වූ මිදුන පුංචි විල අසලටය. නිවාඩු දවස් වූ බැවින් එහි කිසිවකු උන්නේ නැත.
අප එහි ඉවුර අසල වූ ලී බංකුවක වාඩි වී නත්තල් තෑගි හුවමාරු කර ගතිමු. මගේ තෑග්ග දැක ජේඩ්නට හොඳටම සිනා පහල විය.
"අනේ, මේක නම් හරිම ෂෝක්. මට නිදා ගන්නකොට දාගන්න පුලුවන්. එතකොට මත හිතේවි මම ආයෙම පුංචි කාලේට ගියා කියලා. 'සැන්ටා මේස්'...මං ආසයි මේකට" ඔහු මට කීවේය.
"මම කවදාවත් නත්තලකට තෑගි දීලා නැති නිසා ගන්න දෙයක් මට හිතාගන්න බැරි වුණා. ඒකයි ඕක ගත්තේ" මම ලැජ්ජාවෙන් මෙන් කීවෙමි.
"මේක ඇත්තටම ගොඩක් වටිනවා මට" ඔහු බර කොට කීවේය.
මම ඉන්පසුව ඔහු දුන් තෑග්ග දිගහැරියෙමි. එතුල වූයේ පුලුං පුරවා සකසන ලද තරමක් විශාල, දිගු කන් ඇති සුදු හාවෙක් සහ පුංචි ස්වර්ණාභරණ පෙට්ටියකි.
"අනේ...ලස්ස්න බනී කෙනෙක්. ආ...මේ මොකකද මේ?"
මම පෙට්ටියේ පියන ඔසවා බලද්දී, රතු පහැ වෙල්වට් අසුරනයක් තැන්පත් කර තිබී අලංකාර ගවුම් කටුවක් මගේ නෙත ගැටිනි. එය ඇත්දත් පැහැ ඕකිඩ් මල් දෙකකින් හා පොහොට්ටු කීපයකින් නිර්මිත වී තිබූ අතර, ඒවායේ දාර රත්තරක් පැහැයෙන් දිලිසුනි. ඒවා ඇත්ත මල් මෙන්ම පෙනෙන සේ ඉතා සියුම්ව නිම කර තිබිණි.
"ඔහ්...ජේඩන්, මේක...හරිම...ලස්සනයි"
"ඕක මගේ අම්මගේ එකක්. අම්මා ආසම කරපු එකක්. ඒත් අපේ පවුලේ උන්නේ පිරිමි ලමයිම හන්දා ඒක දෙන්න ඈට කෙනෙක් හිටියේ නෑ. පස්සේ කාලෙක මම අම්මා මතක් වෙන්න ඒක අරන් ආවා. මට මේක් ඔයාට දෙන්න ඕන වුණා පංචලී. මොකද ඔයත් මගේ අම්මා තරම්ම හොඳ කෙනෙක් වග මගේ හිතට තේරෙන හන්දා. ඔයත් එයා වගේම අහිංසක හන්දා" ඔහු කීවේ හැඟුම්බරව වූ අතර, මගේ දෑස් අහේතුකවම තෙත්ව ගියේය.
"මම අහිංසක නෑ ජේඩන්"
"මට පේන්නේ එහෙමයි"
"ඔයාගේ අම්මා ගැන, මට කියන්නේ කවද්ද?" මම ඉන්පසු ඇසුවේ ඔහු ඒ ගැන මට තවමත් නොකී නිසාවෙනි.
"ඒක මෙහෙම කියන්න බෑ. මේ වෙලාවේ බෑ. ඒත් මම කියන්නම් අනිවාර්යෙන්ම දවසක. එයාගේ ෆොටෝ හෙම පෙන්නලාම. හරිද?"
ජේඩන් ඔහුගේ මවගෙන් ඈත් වී උන්නාද නැතිනම් ඇය මියගොස් උනාද කියා මේ කතා බහ තුලින් මට සිතාගත නොහැකි විය. කුමක් වුවද එය ඔහුට මහත් වේදනාවක් ගෙන දුන් එකක් වන්නට ඇති වග මට සහතික විය. එනිසාම වෙනත් කිසිවක් ඔහුගෙන් නාසන්නට මම ප්‍රවේසම් වුණෙමි.
සැන්දෑවේ අඳුර වැටෙන්නට පටන් ගත්තේ  හිම වරුසාවක්ද ගෙන එමිනි. එලිමහන සිටගෙන සිටීමට හෝ ඇවිදීමට නොහැකි තරම් සීතල වූ බැවින් අපි වහවහා නවාතැන් බලා එන්නට ආවෙමු.ජේඩන් මා නේවාසිකාගාරයට අසලට ඇරලවීය. අප සමුගන්නට පෙර මදක් එහි දොරටුව අසල නැවතුනෙමු.
"එහෙනම්, අපි විසි අට මුණගැහෙමු ආයෙම නේද?" මම එසේ කීවෙමි.
ජේඩන් සිය තොප්පියට යටින් වූ දිලිසෙන දෑස් මවෙත පාවේය.
"පංචලී...මම ඔයාට එහෙට කෝල් කරන්නද?" ඔහු තරමක් කල්පනාකොට මගෙන් ඇසුවේය.
ඔහුට එපා කියන්නට මගේ දිව නොනැමුණි. එය කරදරයක් විය හැකි වුවද, ඔහුගේ සිත රිද්දනු නොහී මම ඔහුට මගේ දුරකථන අංකය ලබා දුන්නෙමි.
"මං කතා කරන්නම්" ඔහු එය ලියූ කොල කැබැල්ල සාක්කුවේ රුවා ගනිමින් කීවේය.
"ඔයා පරෙස්සමෙන් ගිහින්, විනෝද වෙලා, පරෙස්සමෙන් ආපහු එන්න" මම කීවෙමි.
"ඔයත්"
ඔහු එසේ කියා මදෙස බලා හුන් අතර, මට කියන්නට දෙයක් මතක් නොවිනි. ඉන්පසු ඔහු යලිදු වතාවක් අනවසරයෙන් මගේ කම්මුලක් සිප, එක් වරක් පමණක් මදෙස බලා යන්නට ගියේය. හිතේ කුමක්දෝ පාලුවක් මෝදු වෙද්දී, මම ඔහු යනතුරු බලා නොසිට නේවාසිකාගාරය තුලට එන්නට ආවෙමි. අනාගතය එන්න එන්නම අපැහැදිලිව යමින් තිබිණි. එහෙත් මම ඉන්නේ සතුටින් යැයි මට මුල්ම වතාවට හැඟිනි.


2 comments:

  1. "පංචලී...මම ඔයාට එහෙට කෝල් කරන්නද?" ඔහු තරමක් කල්පනාකොට මගෙන් ඇසුවේය.
    ඔහුට එපා කියන්නට මගේ දිව නොනැමුණි. එය කරදරයක් විය හැකි වුවද, ඔහුගේ සිත රිද්දනු නොහී මම ඔහුට මගේ දුරකථන අංකය ලබා දුන්නෙමි. ( ඇතියන්තම් මොලේ ඇති වැඩක් කරලා )

    ReplyDelete
  2. panchali tikak napury wadi wage ane :(

    ReplyDelete